බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, May 16, 2011

කේන්තියෙන් ලියමි ... x(

අද post  එක ලියන්නේ කේන්තියෙන් .. ලේ, මස්, ඇට, නහර උතුරවාගෙන එන කේන්තියෙන් ... ඒ නිසා කලින්ම කියලා තියන්නම් ...  post එකේ වචන නරක වෙන්න පුලුවන් ... අඩෝ කියන්නේ හරිම posh, trendy, classy, sexy වචනයක්, නමුත් තමුසේ කියන්නේ මහ නරක චාරයක් නැති වචනයක් කියල හිතන අමුතු භාෂා විශාරදයන්ට දරාගන්න බැරි වෙන්න පුලුවන් .. සභ්‍ය විනීත සුකොමල කාන්තාවට සහ එහෙම කාන්තාවන්ට පමනක් කැමති පුරුෂ පක්ෂයට fuse පිච්චෙන්නත් පුලුවන්. ඒ නිසා post එක කියවලා පස්සේ පුප්පගෙන කෑගහන්නේ නැතුව දැම්ම මේක  කියවන එක නවත්තන එක හොදයි එහෙම චරිතවත් උන්දැලා.

මම බස් වල ගිහින් පුරුදු කෙනෙක් නෙමෙයි.මම වැඩිය සමාජයට නිරාවරනය වෙලා පුරුදු කෙනෙකුත් නෙමෙයි. ලොකු කමකට කියනව කියලා හිතන්නෙපා. ඇත්තටම සමාජයට මුහුන දීල පුරුදු නැති නිසා මම වින්ද දුක් අනන්තයි අප්‍රමානයි.මිනිස්සු පැල් බැදගෙන මගෙන් ප්‍රයෝජන ගත්තේ මගේ තිබුනු ඒ නොදැනුවත්කම නිසාමයි.මම හිතුවා හිනා උනාම, ඔලුව අතගෑවම ඒ ඇත්තටමයි කියලා. ඒ මිනිස්සු එහෙම කරන්නේ ඇත්තටම මම ගැන හිතන නිසා කියලා. ඒත් තමන්ගේ වැඩේ ඉවර උනාම වට පිටාවේ අයයි .. තමන්ගේ අලුත් කෙනයි එක්ක ... මට හිනා වෙලා මාව විසි කරල ගියාමයි මට තේරුනේ ඔලුව අතගාල තියෙන්නේ අං එනවද බලන්නයි කියලා :D

කොහොම හරි ... ඒ යට ගියාව ගැන කතා කරන්න නෙමෙයි අද post එක ලියන්නේ. අද බස් එකේදි උනු දේවල් තොගයක් ගැන කියන්නයි මට ඕනි උනේ.ඒත් සුපුරුදු පරිදි වැල් වටාරම් ගොඩක් කියලයි කතාවට එන්නේ. අද කොහොමත් මගේ චේන් පැනලා නිසා මේ post එකේ මුලක් මැදක් අගක් නැති වෙයි.

අද දවස හරිම මහන්සි දවසක්. එක එක්කෙනාගේ බණ දේශනා එහෙමත් අහන්න උනා ඒ මදිවට. හරි චරිතවත් කෙනෙක් එක්ක සම්බුද්ධ ජයන්තිය සමරන හරිම චරිතවත් එක්කෙනෙක් මට ගරුත්වය රැක ගන්න හැටි ගැන ඉගැන්නුවා. පුදුම සතුටුයි, මට එච්චරයි අඩු වෙලා තිබුනේ ඒ වෙලාවේ.ආයේ post එක කැලේ යනවෝ :( හරි ඔන්න දැන් නම් බස් එක ගැන කියනවාමයි.

අපේ පාරේ බස් වල සෙනග පිරිලා. දොරෙන් නම් අතුල් වෙනවා බොරු. ජනේලෙකින් වගේ තමයි බස් එක ඇතුලට රිංගගත්තොත් රිංගගන්න වෙන්නේ. අනේ ඉතින් බණ අහල මහන්සි වෙලා බස් එකට නැග්ග මමත් කොහොම හරි තුන්වෙනි පේලියේ සීට් එකක් හොයගෙන වාඩි උනා. කොන්දොස්තර මහත්තයා ආවා .. අල්ල කොනිත්තලා ඉතුරු සල්ලි දුන්නා x( ලිංගික අවපීඩනය. මේ මිනිස්සුන්ට අන්දකයිප්පු. කොහොම හරි ඔරවා බැලීමකින් පමනක් සෑහිමකට පත් වෙලා දෙයියනේ කියලා ටිකක් හේත්තු වෙලා හරි බරි ගැහිලා වාඩි උනා කියමුකෝ.බස් එකේ ඉතින් ගිනි කසේට සෙනග. හිටගෙනම පේලි තුනක්. ඔය අස්සේ ඇබින්දිත්තන් පැට්ටෙක් වඩාගෙන කාන්තාවක් බස් එකට නැග්ගා. මාස ගානක් වයස පොඩි එකා විලාප තිය තිය අඩනවා. අනේ ඉතින් මේ ගෑනු කෙනා කුනාටුවකට අහු උනු නැවක එනවා වගේ එක අතකින් ළමයව බදාගෙන අනිත් අතින් බස් එකේ අහු වෙන අහු වෙන තැන් අල්ලගෙන බොහොම අමාරුවෙන් නැග්ගේ. මට එක පාරටම මතක් උනේ හුනු වටේ කතාවේ ගෘෂා. සතුරො එලවගෙන එද්දි ගෘෂා වැල් පාලමේ ගියා වගේමයි ඒ අම්මා දරුවව වඩාගෙන නැග්ගේ. මේ මනුස්සයා පලවෙනි සීට් පෝලිම ලගට ආවා, එකෙක් නෙමෙයි නැගිටලා සීට් එක දුන්නේ.දෙවෙනි සීට් පෝලිම ලගට ආව, ඒ වෙනකන් ගජරාමෙට sms යව යව හිටපු උන් මෙන්න බුදි. ඊලගට මම.මමත් සත් ගුණවත් බෝධි සත්වයෙක් නෙමෙයි.උදේ ඉදන් මැරිලා මැරිලා කෙලින් හිටගන්න පණ නැතුවයි මමත් ආවේ.ඒත් මට ඉදගෙන ඉන්න බෑමයි කියල හිතුනා. මම හරීම හොද සීලවන්ත ගුනෝපේත ගෑනු ලමයෙක් කියල පෙන්නන්න හදනව නෙමෙයි. මම නැගිට්ටෙත් ඒ අම්මට හිතෙන් බැන බැන. දැන් මට මාවම කාගන්න තරම් දුකක් ඒ ගැන ඇති වෙනවා උනත් ඒ වෙලාවේ මට හිතුනේ මේ රෑ ළමයිවත් උස්සගෙන කොහේ දේවාලේ යනවද කියලයි :(

සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙල ගැහෙන රටේ ... ධර්මද්වීපය කියල ගිරිය පුප්පන් කෑගහන රටේ ... ඇටිකිත්තෙක් උස්සගෙන බස් එකට නගින ගෑනු කෙනෙක්ට සීට් එකක් දෙන්න එකෙක් නෑ. ඒ උනාට මොකද කථා කරලා බැලුවම හතරපෝයට සිල් සමාදන් වෙන බෝ පැල ඉන්න රටක් මේක. Love කරන්න trend එකට කොල්ලත් එක්ක පන්සල් යන උන් සහ ඕප දූප දොඩවන්න පන්සල් යන උනුයි මේ රටේ වැඩි.වචනෙට කියන්නෙත් පන්සල් යනවා කියලනේ. zoo එක බලන්න යනව, ෆිල්ම් එකක් බලන්න යනවා වගේ පන්සලුත් යනවා :D

අනේ ඉතින් අර පැටියගේ කෑගැහිල්ල නවත්තන්න බැරි තැන අම්ම කිරි ටිකක් දෙන්න හැදුවා. පොදු ස්ථාන වල සහ පොදු ප්‍රවාහන සේවා වල මව් කිරි දීමට මම තරයේම විරුද්ධයි.එකක් ඒ නිසා බබාට විෂබීජ යන්න පුලුවන් දාඩිය එහෙම එක්ක කවලම් වෙලා, අනික මේ කුපාඩි මිනිස්සු ඉන්න රටේ පුලුවන් නම් හිජාබ් එකක් ඇදගෙන එලියට බහිනව මිසක් දරුවට කිරි ටිකක් දෙන්නවත් හැට්ටේ ඈත් මෑත් කරන්න නරකයි. ඉතින් සුපුරුදු පරිදි පිරිමි රොත්තක් වලිකනවා මොනා හරි පේන දෙයක් බලාගන්න. අජූතයි.. මට පුලුවන්කමක් තිබ්බානම් උන් හැම එකාවම මරලා දාන්න මම මරනවා එකෙක් නෑර.

හරි.. කොහොම හරි ඉතින් ඒ ගෑනු කෙනා වාඩි උනා. මම හිටගත්තා. එතකොටම මෙන්න එකෙක් ඇගට වාරු වෙලා. මම හැරිලා බැලුවා ඇග පත වාරු නැති සීය කෙනෙක්වත්ද කියලා .. මොන.. හොද හයේ හතරේ මිනිහෙක්. මිනිහගේ ටිකට් එකේ සල්ලි හරි නම් මටයි දෙන්න  ඕනි, මොකො මිනිහා ගියේ මගෙ කර පිට මිසක් බස් එකේ නෙමෙයිනේ. හිටියා හිටියා එන පොට හොද නැති බව තේරුනාම සුලලිත ලලිතකම පැත්තකට දාල ප්‍රසිද්ධියේ භාවිතාකරන්න පුලුවන් උපරිම සුභාෂිතයෙන් මිනිහට ඇමතුවා. අපරාදේ කියන්න බෑ ඒ මනුස්සයට ඒ භාෂාව තෙරුනා.මිනිහා ඊලග halt එකෙන් බැස්සා.මම දිනුම් :) 

හ්ම්ම්.. හුස්මක් අරගෙන ඒ වෙනකන් බිම තියන් හිටි කකුල උස්සගෙන උස්සගෙන හිටි කකුල බිමින් තිබ්බා. බස් එකේ ඉඩ තියෙන්නේ එක කකුලක් තියාගන්න විතරයි. හිතුවා ඉතින් දැන්වත් ගෙදරට යනකන් නිදහසේ යන්න පුලුවන් වේ කියලා. කොහෙද ඊලග episode එක පටන් ගත්තා එතන ඉදන්.බස් එකට නැග්ගා couple එකක්. මම මිනිස්සුන්ට ගරහන්නේ නෑ බාහිර පෙනුම නිසා කවදාවත්. ඒ මමත් සර්ව සම්පූර්න ඉටි රූපයක් නොවෙන නිසා. ඒත් මනුස්සයෙක් දිහා බලපුවාම ඇදුමෙන් පැලදුමෙන් හැසිරීමෙන් ඒ අය ගැන නිගමනයකට එන්න පුලුවන් මට (එහෙම බැරි උනේ එකම එක අවස්ථාවකදි විතරයි. ඒ වැරදි තේරුම් ගැනීම නිසා මම අදටත් විදවනවා ). නැග්ග couple එක දමිත් අසංගගේ සිංදු අහන සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතා කියවන දෙන්නෙක් බව දැක්ක ගමන් පැහැදිලියි. ගරහනවා නෙමේ. නමුත් ඒ මගේ type එක නෙමෙයි සහ මම අකමැති එහෙම අයට.කොහොම හරි..දැන් ඉතින් බස් එකෙ පේලි තුනක් හිටගෙන. ඒ අතරමැද්දේ මේ ජෝඩුව හරහට හිටගෙන..දෙන්න දෙන්නව බදාගෙන.දැන් හිතන්නෙපා මට මේ ආදර couple එකක් දිහා බලාගෙන ඉන්න බැරි අමාරුවක් තියෙනව කියලා. කාගෙ හරි උරහිසකට වාරු වෙලා යන්න පිනක් මට නැති උනත් එහෙම එකක් දිහා බලාගෙන, නැහැදිච්ච එව්න් කියල දත්මිටි කාල නැටුමක් නටන්න තරම් කුහක හිතක් මට නෑ. ඒත් මේ couple එකෙ ආදරේ නම් මට මහ ඉසරදයක් උනා. වෙන මුකුත් නිසා නෙමෙයි, ගෑනු ලමයා  මහතයි. එයා කොල්ලව බදාගෙන ඉන්නව මිසක් බස් එකේ කොහෙන්වත්  අල්ලගෙන නෑ. ඉතින් බස් එක බ්‍රේක් ගහන ගහන පාරට මේ සද්දන්ත කාන්තාව මගෙ අසරණ ඉල ඇට කූඩුව උඩ. ඒ දෙන්නගේ ආදරේට මම පලි නෑනේ :( කමක් නෑ.. ආදරේ අන්ධ නිසා මට වෙන දුක දෙන්නට පේන්නේ නැතුව ඇති කියලා මම හිත හදා ගත්තා. මාවව්ලෙක් වගේ බස් එකේ උඩම පොල්ලේ එල්ලිලා චීන සර්කස් එකේ වගේ කොහොම හරි ප්‍රේම කපල් එකේ බරත් බැලන්ස් කරගෙන ගමනේ ඉතුරු ටික යන්න හිත හදාගත්තා විතරයි මෙන්න මුනු මුනුවක් ඇහෙනවා කන ගාවින් ... " මගේ රත්තරනේ ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ .. bla bla bla.."ඉතින් මටත් බෑනේ මගේ පාඩුවේ ඉන්න.මමත් බැලුවා මේ මොන සමයන් සින්දුවක්ද කියලා.ඒ මදිවට කෝදුරු සද්දෙන් ඇහෙන්නේ. කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු... ප්‍රේම couple එකෙ ගෑනු ලමයා එයාගේ පිරිමි ලමයට තමයි මේ ගීතය ගායනා කරන්නේ. හ්ම්ම්ම් .. ඒකත් ජයසිරි මංගලම් කියලා මම අයෙම මගේ පාඩුවේ වෙන අතක් බලාගන්න හදකොට මෙන්න බොල couple එකේ කොලුවා ඇස් ගහනවා මට.. විකාරයි .. හැබෑටම මොකද්ද මේ ආසියානු සදාචාරය? මම හැමදාමත් කියන්නේ ආසියානු සංස්කෘතිය බටහිර සංස්කෘතියෙන් වෙනස් වෙන ප්‍රධානම නිර්ණායකය තමයි එහේ එලිපිට කරන දේවල් මෙහේ හැංගි හොරා කරන එක... ඒකයි වෙනස  :)

දිගයි post එක. මෙහෙමයි, කෙනෙක් හිතන්න පුලුවන් මේ මුලු කථාවම මවා පෑමක් කියලා.ඒත් මේ හැම වචනයක්ම ඇත්ත. එක දවසට දරගන්න බැරි තරම් දේවල් ගොඩක්. සත්‍ය හැම වෙලේම ප්‍රබන්ධයකට වඩා පුදුමාකාරයි :) තවත් කෙනෙක් කියන්න පුලුවන් පිරිමි ඇගට එන්නේ නරක ගෑනු ලමයින්ගේ විතරයි..අනේ මගේ ගෑනු ලමයා නම් හරීම හොදයි. හරීම සුලලිතයි, කෝමලයි, මම ටිකක් හයියෙන් කතා කලත් ඇකිලෙන තරම් ගැහැනු ගති පිරිලා.එයාට නම් කවදාවත් ඔහොම දේවල් වෙන්නේ නෑ කියලා. වෙන්න පුලුවන්... මේ මගේ කථාව මිසක් ඒ ගෑනු ලමයින්ගේ කථාව නෙමෙයි :)

කේන්තියට ලිව්වේ .. හැබැයි වන සිව්පාවුන් මැද දෙවි දේවතාවනුත් නැතුව නෙමෙයි. ඒත් හිඟයි ... කුපාඩි 1000 ට හොද මිනිස්සු 1 අනුපාතයක් වගෙ තමයි ඉන්නේ.

පිහිටක් නැති සරනක් නැති...
සතුටක් ඇති මුහුනක් නැති...
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ ... !!



8 comments:

  1. "කුපාඩි 1000 ට හොද මිනිස්සු 1" මේක තමා ටිකක් පිළිගන්න අමාරු... :D

    ReplyDelete
  2. ඇයි කුපාඩි 1000 ට එක හොඳ මනුස්සයෙක්වත් නැද්ද ? :P

    ReplyDelete
  3. හා හා හා නෑ මන් කියන්නේ ඊට වැඩිය ඉන්නව කියලා... :D

    ReplyDelete
  4. හ්ම්ම්.. වෙන්න පුලුවන් .. ඒත් මට හම්බුනු අයගෙන් තමයි මම ඔය නිගමනයට ආවේ ...

    ReplyDelete
  5. "මම හැමදාමත් කියන්නේ ආසියානු සංස්කෘතිය බටහිර සංස්කෘතියෙන් වෙනස් වෙන ප්‍රධානම නිර්ණායකය තමයි එහේ එලිපිට කරන දේවල් මෙහේ හැංගි හොරා කරන එක... ඒකයි වෙනස"

    අනිවා. දාන්න 5ක්. මේක මමත් පැහැදිලිවම කියන දෙයක්. මං ප්‍රසිද්ධියෙක් ඕක කියලා තියෙනවා. ස්ටේජ් එකේ රැස්වීමක නෙමෙයි :0. පොඩි පොඩි චැට් වලදී. ඉතිං මට මාර හැපි තව කෙනෙක් ඒකම කියන කොට. ඒකියන්නේ මං හිතං ඉන්න විදිහේත් මොකක් හරි ඇත්තක් ඇති. සංතෝෂයි!

    ReplyDelete
  6. 50% 50% ආදරය !! ත් කියෙවුව. නියමයි (y)

    ReplyDelete