බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, February 17, 2014

අන්තඃපුරිකාවන් වෙත ලියමි ...

2014 ජනවාරි ...

පට්ට වැස්ස, වාහනෙන් බැහැපු තැන ඉඳන් එක සීරුවට තෙමීගෙන සරුව පිත්තල බඩු කඩේක ටකරං වහල යටට ගාල් උනා කියමුකො. රුවන්වැලි සෑය පේන මානේ උනත් මේ වැස්සේ කොහොමද යන්නේ. ගියත් වැදුම් පිදුම් කරන්න බෑනෙ.රටකජු ගොට්ටක් අරගෙන වැස්ස පායනකන් කඩේ මිනිස්සු එක්ක කදේ දාගෙන ඉන්න එක තමයි වෙලාවේ හැටියට ඔප්ටිමම් සොලූෂන් එක.ඒ තීරණෙත් එක්ක, කඩෙං නොමිලේ හම්බුන පුටුකට්ටට සරීරේ බර වාරු කරලා වට පිටාව දිහාවේ බලං හිටියා කියමුකො.

ඔන්න දෘස්ටි පථයට ආවා කපල් එකක්. පැහැදිලිවම ඉහල පාන්තික දෙන්නෙක්. කසාද බැඳලද, නැත්තං ආදරේ කරන කාලේද කියන්න දන්නෙ නෑ. බොහෝ දුරට කසාද බැඳලා වෙන්න ඕන. කොහොම හරි කපල් එකක්. අර අනෝරා වැස්සෙ එක කුඩේ යටින්. පිරිමි ළම‍යා පුදුම ලස්සනයි. උසයි, තලෙලුයි, සික්ස් පැක් සරීරේ. කොටින්ම ඕනම ගෑණු ළමයෙක්ගේ හීන කුමාරයා ටයිප් කොල්ලෙක්. ගෑණු ලමයා ෂේප් ලුකිං. ඒ කිව්වේ කඩාහැලෙන තරමේ ලස්සනක් නෑ. පට්ට කෑල්ලක් නෙමේ. සාමාන්‍ය පෙනුමක් තියෙන සීදේවි ගෑනු ළමයෙක්.

කපල් එකක් ... එක කුඩේ යටින් ...
ආවු.. ආවු..

වැස්ස වෙලාවක, ආන්ඩුවට පලු පැලෙන බනින අන්කල් කෙනෙක්ගේ කන්දොස්කිරියාව අස්සේ, ඒ වගේ සුභ දසුනක් දැක්කම, ඇස් ගෙඩි දෙක නිකන්ම ඒ පැත්තට ෆෝකස් උනා කියමුකො.

ඔන්න ඔතනයි කථාවේ ආරම්භය ...

එක කුඩේ..
ඒ කුඩේ අල්ලගෙන හිටියේ ගෑණු ළමයා. බොහොම අමාරුවෙන්, ඇගිලි තුඩු වලින් ඉස්සීගෙන ...
මුලු කුඩේම .. සීයට අනූවක්ම කොල්ලගේ පැත්තට බර කරගෙන ..
මල් බෑග් එකයි, තව මොන මොනාවාදෝ දාපු අඩුම කුඩුම බෑග් එකයි අනිත් අතින් එල්ලගෙන ..
පිරිමි ළමයගේ එක කොන්ඩ ගහක් තෙමෙන්න ඉඩ නොදී ..
තමන්ගේ සරීරේ එක පැත්තක් එහෙම් පිටින්ම තෙමිලා තෙත බරියං වෙලා තියෙන එක ගැන වගේ වගක් නැතුව ..

දැං ඔන්න ඒ දිහා බලන් හිටපු ඇස් දෙකට ඔල්මොරොන්දන්. පොතු ඇරලා කටට දාගන්න ගත්තු රටකජු ගෙඩිය කොයි වෙලේ අතින් ලිස්සලා බිම වැටුනද කියලා දන්නේ නෑයි කියමුකො ..
වට පිටාව ඔක්කොම වැහිලා ගිහින් දැං පේන්නේ ඒ දෙන්නවම විතරයි. සිංදු කෑලිත් ෆයර් වෙනවා හෝ හෝ ගාල බැක්ග්‍රවුන්ඩ් එකෙන් ...

"මැණිකක් රකිනා නා රජිදෙකු සේ මම ඔබ නිරතුරු රකිමී ..
"නෑ නෑ ඒක හරි නෑ ..
" කලා වැවෙන් ගත් දිය දෝතක් සේ අගී අගී ඔබ මටමැ අගී ... "
එක්කො
" ඔබෙන් තොර ලෝකයක් කොහෙන්දෝ .. "
ඊට හොඳයි 
" ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ .. "

මොකක් හරි, ඒ වගේ සිංදුවක් .. 
ඇස් බෝල දෙක එලි‍යට පනින ගානට සූම් කරලා බැලුවම ඒ ගෑණු ළමයගේ ආදරේ ඉතිරෙන, ආඩම්බරේ ඉතිරෙන මූණ දැක්කයි කියමුකො. ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක් ගහන්න තිබ්බා ඒ මූණේ එළියෙන් ..

කතාවේ අනිත් චරිතේ ..

තමන්ගේ දිහා වටපිටාවේ ඉන්න සියලූම ස්ත්‍රී පරාණ බලන බව අනිත් චරිතෙට බොහොම හොඳින් තේරිලා තිබුනේ. ඒ වගේ සුන්දර ග්‍රීක දේව පිළිම සරීරයක් එක්ක ඒ අවධානය අමුතු අලුත් දෙයක් නොවෙන්න ඇති ඒ චරිතෙට. සීන් එකෙන් ඇවිදින ගමන්, සික්ස් පැක් තව ටිකක් පෙන්න පපුව පුම්බලා බර අඩි තියන්න ඇත්තෙත් තමගේ වටේ ඉන්න ප්‍රේක්ෂක පිරිසට හොඳම දර්ශනයක් ලබා දෙන්න කියමුකො. තමන්ගේ කොන්ඩේ හදාගන්න, කකුලට ඉහෙන මඩ බින්දුවක් පිහිදාන්න ඒ තරම්ම සැලකිල්ලක් දක්වපු කුමාරයට, තමන්ගේ ගෙඹි කුමාරි, තමන්ටම මුතු කුඩේ ඉහලන ගමන්, පීනසේ හැදෙන තරම් තෙමිලා හිටි බව දකින්න වෙලාවක් නොතිබෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති.

පැහැදිලිවම පෙනුන විදියට ලොකු ගෙදරක සුකුමාර විදියට හැදිලා වැඩුන ගෑණු ළමයා, තමන් ජීවිතේට නොගිනියපු තරම් බරක් එක උරේක එල්ලගෙන, අනිත් අතින් තමන්ගේ සක්විති කුමාරයට කුඩේ ඉහලගෙන, හරීම සන්තෝසෙන් .. ආඩම්බරෙන් .. තෙමි තෙමීම..
සහ
එයාගේ කුමාරයත්, තමන් වගේ සෙන්ටර් ඔෆ් අට්‍රෑක්ශන් චරිතෙකට, නෝමල් ලුකින් කෙල්ලෙක්ට කුඩේ ඉහලන්න ලැබෙන එකත් වාසනාවක් කියලා පෙන්නන තාලේ ලොකු ලයින් එකක් දාගෙන  ඇස් මානයෙන් ඈතට ගියයි කියමුකො.

-----------------------------------------------------------------------------------------------------------

සිරුරතර ගැල්වූ කොකුම් සැවැන්දරා නේක විධ ආලේපයෙන් සර්ව සම්පූර්ණව, ලමැද යන්තම් වැසෙන්නට පෙරවූ කසී රට ලියන් සියතින් ගෙතූ දුහුල් සලු හැඳ, මාළිගය පුරා තන් තන්හි පැනවූ වෙණ වයන්නියන්, රඟන්නියන්, චාමර සලන්නියන් නිසි පරිදි තත් සේවයේ යෙදෙන්නේදැයි සැක හැර දැනගෙන, කුමරි තොමෝ සුපුරුදු කවුලුව වෙත පිය මනින්නීය.

මෑත අතීතයේ එක් නියම් ගමක පල වැල නෙලමින්, කැලේ කොලේ පනිමින්, දෙමාපියන් හිතවතියන් සමග රෑණේ වැටුනු නියාවද, ගමේ නාම්බන්ගේ හද කිතිකවන කැකිරි හිනා සලමින් නිදැල්ලේ වැටුනු නියාවද, එහෙව් එක් දිනෙක රටට අධිපති බලු ගැත්තන්ගේ මහ රජතුමා ගම්තුලානට පැමිණි නියාවද, දුටුමතින් සිත් ගත්තායැයි කියමින් .. අන්තප්පුර බිසෝ පට බඳින්නට..  හැරෙන පරක්කුවෙන් මහ වාසලෙන් පල්ලැක්කියක් පැමිණි නියාවද, එහෙම රජෙකුගේ බිසෝ වන්නට පෙර වාසනා මහිමයම බලපෑවායැයි අම්මා අප්පා යහලු යෙහෙලි කැලැත්තම කියූ නියාවද, දෙපාරක් නොහිතා ඒ පල්ලැක්කියට නැග ආඩම්බරෙන් සන්තෝසෙන් මාළිගාවට පැමිනි නියාවද ඕතොමෝගේ ඇස් ඉදිරිපිට මැවෙන්නීය.

එදා ඒ ආදාම රෑ, මහා නරපති .. භූපති .. රජතුමා .. තමන් ඉදිරිපිට අත දරුවෙක් වූ අරුමය කුමරි තොමෝ සිහි කළාය. කෙඳිරිලි චාටු වදන්, සුසුම් රැසක් මැද රැය එළි උනා ඇයට මතකය. එතැන් පටන් ගෙවුනු සති කීපය ඇගෙන් තොර ලෝකයක් රජුට නොතිබුනු බවද ඇයට මතකය. දෙමාපියන් බලන්නට ගොස්, රාජ තේජස, රාජ රූපය, රාජ සිරිය, තව දෙතුන් ගුණයක් වැඩිකර වැනුවා මතකය. ඒ වචනයක් වචනයක් පාසා, ඒ රජු මගේය, මගේම පමණය, කියා සිතුවාද මතකය. ඒ රාජශ්‍රීයෙන්, ඒ රුවෙන්, ඒ තෙදින් බැබලුනා මතකය.

ඒ සති දෙක තුනෙන් පසු මේ මැදුර දෙස බලමින්ම රජු අන් මැදුරු කරා ගිය දවස් එමටය. ගම්පතීන්ගේ දුවක්ව, දැසි දසුන් පිරිවරා, ගමේ රැජිණියව උන් කල අමතක කර, සියතින්ම අහර පිස, පැන් වඩා රජු එන තුරු මේ කවුලුව ලඟම දෑස රිදෙන තුරු බලා සිටි දින ගනන් බොහෝය. රජුගේ අන්තඃපුරිකාවක් වීමම භාග්‍යක් කොට ගෙන ඔහු වෙනුවෙන් ඇන්දා පැලැන්දා මතකය, ඔහු වෙනුවෙන් ගැයුවා වැයුවා මතකය, ඔහු වෙනුවෙන් නිදි වැදුනා නිදි වැරුවා මතකය .. සූසැට බරණින් සැරසීගෙන,  නිළමේවරුන්ගේ ඉඟි බිගි නොදුටු ඇසින්, මෙලෙසම මේ කවුලුව තුලින් ඔහු එනතුරු බලා සිටියා මතකය.

මාස ගනනාවකට පසුව උන් හිටි ගමන් ඔහු ආවා මතකය. ඒ සිරුර, එක රෝමයක් රෝමයක් පාසා, දස දහසක් කාන්තා ඇසින්, අතින් .. පංචවිධ සංවේදනයන්ගෙන්ම ඉඳුල් වී කිළිටි වී ඇති බව දැන දැනම .. නෑඹුල් නෙළුමක් දෝතට ගන්නා සෙනෙහසින් බදා වැලඳ ගත්තා මතකය. රාජ චාටු කතා.. දස දහසක් කාන්තාවන්ට, සැඩොල් කුලේ සිට රාජ කුමරියන්ට තෙක්.. එක ලෙසින් කියවුනු රාජ චාටු කතා, තමන්ටම පමණක් කියවෙන ඒවා ලෙසට ගෙන, ලය පිරුනු සතුටින් රැයක් එළිවන තුරු අසා සිටියා මතකය.

ඒ එක රැයට .. එක මොහොතට..  ඒ සිරුර පිදුවා මතකය, වැන්දා මතකය, ‍යැද්දා මතකය. ඒ හදවත කිරුළක් කර හිස පැලැන්දා මතකය, ඒ සිනාව මුතුහරක් කර ගෙල පැලැන්දා මතකය, ඒ ජීවිතය.. ආත්මය .. කලලයක් කර ගර්භයෙහි ලා අනන්ත ආදරෙන් රැක්කා මතකය.

කුමරිතොමෝ කවුලුව වෙත හිඳ රජතුමා එන තෙක් බලා හිඳින්නීය..
සුපුරුදු මානයෙන්, රජෙකුට අයිති වීමේ මානයෙන් ..

ඔහු අදද අන් මැදුරක් කරා ඇදෙනු ඇත,
නැතහොත් අබිසරු ලියන් වටකර ප්‍රීති වනු ඇත,
නැතහොත් නියම් ගමක අහිංසක ගැමි කෙල්ලක හා නිදිවදිනු ඇත,
නැතහොත් තමා වෙත එළැඹෙනු ඇත.

එළැඹ, රජෙකුට හිමි වීමට තරම් පිං කර තිබීම ගැන තමන් ගැනම සතුටු වීමට ඇයව පොළඹවනු ඇත. ඉඳ හිට හෝ රාජ වරප්‍රසාද ලැබීම ඇය වැන්නියකට කප් රුකක් පහල වීමක්යැයි ඇයට ඒත්තු ගන්වනු ඇත.

ඇය,
අන්තඃපුරිකාවක් වීමේ අල්හාදය, ආඩම්බරය, මොහොතකට හෝ රජෙකු සතු වීමේ ප්‍රීතිය, අන් කාන්තාවන්ට නැති තමන්ට වෙසෙසින් ලැබුනු වරප්‍රසාදය, ඔහු ලඟ සිටින මොහොතට විඳිනු ඇත.
ඒ ආඩම්බරෙන් සතුටින් ඔහු නැවත ඇය වෙන එලැඹෙන තුරු බලා හිඳිනු ඇත.

-----------------------------------------------------------------------------------------------------------

නා නා විධ වේෂයෙන් පෙනී සිටින..
රජු වෙනුවෙන් වෙසෙන, ඔහු වෙනුවෙන් මියෙන..
අන්තඃපුරිකාවන් වෙත ලියූ මේ ලිපිය ...
කුමරි, රජු, රුවන් වැලි සෑ බිමේ දුටු යුවල හෝ වෙනයම් කරුනක් සිහි වීම නිසා නෙත උපන් කඳුලින් යුතුව ..
ලියුම්කරු මෙතෙකින් නිමා කරයි.

දී එන්ඩ් ..







16 comments:

  1. අන්තඃපුරේ කුමාරිකාවන් ගැන පුදුම දුකක් දැනුනේ...:D

    ඔයාගේ ලිවිල්ලේ වෙනසක් දැක්කා. //කියමුකො// හරියටම මෙහෙම උණේ නැති උණත්, එහෙම උණා කියලා හිතමුකෝ වගේ හැඟීමක් දෙන ඒ යෙදීම ලස්සණයි සහ අලුත් කියන හැඟීමක් හිතට ආවා...

    ලස්සණ ලියවිල්ලක් කියලා කියමුකෝ....:)

    ReplyDelete
    Replies
    1. හාකො .. බොහොම ස්තූතියි කියමුකො කොමෙන්ටුවට =)

      Delete
  2. පිස්සුද අප්පා රාජ සැප ලැබෙද්දී කෝමද...

    අනික හිතන්න අන්ත පුරේ කුමාරිකාවෝ 60යි කියල (මීට දස ගුණයක් වැඩී අනිවාර්යයෙන්..)
    රජුට දවසට දෙන්නෙක් අවශ්‍ය නම් .. එක් අයෙකුට චෑන්ස් එක එන්නෙ මාසෙකට සැරයක් නොවැ..

    මොනව කියල අඩුවක්ද ඉතිං..

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මොනවයින් කියලා අඩුවක්ද, රජාට ....
      ඒක තමයි ඉතිං කියන්ට උත්සාහ කලෙත් .
      ජය වේවා, ස්තූතියි ඇවිත් ගියාට =)

      Delete
  3. ඔයාගෙ හොඳම සටහන් වලින් එකක් යාළු. නිර්මාණශීලී කෙනෙකුගේ හිත පුංචිම පුංචි දේකින් උනත් පණ ගැන්වෙන හැටි හරිම අපූරුයි. හිතන්න දේවල් ගොඩක් ඇතුළත් කරපු වචන වලින් සුන්දරව ගලා යන සටහනක්. :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි යාලු, කියෙව්වට සහ හිතුන දේ ලීවට :)

      Delete

  4. අන්තපුර කුමරිලාගේ අවලස්සන ජීවිතේ ගැන ලස්සන ලිවිල්ලක් ... ඇත්තටම ඒ කුමරිලා එහෙම ඉන්නේ ඇයි? ඉස්සර නම් no choice කියල හිතන්න පුළුවනි. දැන්? :(

    කලින් කියවලා ගියාට කමෙන්ට් කරේ නෑ මම හිතන්නේ...අර තාරකා ගැන කතාව නම් කීප පාරක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අන්තඃපුරිකාවන් එහෙම ඉන්නේ ආදරේ නිසා, මල්පොකුරක මලක් වෙලා හරි කමක් නෑ ඒ ගහේම රැඳෙන්න ලැබෙනව නම් කියලා හිතන නිසා.

      බොහොම ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  5. අම්මපා මේකේ තේරුම මම තවම කල්පනා කරනවා. හැබැයි ඉහත කතාවේ වගේ කොල්ලට කුඩේ ඉහලන් යන කෙල්ලෙක්...... එකනම් හීනයක් තමයි. අපේ හාමිනේට කුඩා ඉහලන්න වෙන්නේ මටනේ :(

    ReplyDelete
    Replies
    1. හික් හික්. ඉතිං එහෙම තමයි හොඳ ස්වාමි පුරුසයෝ.
      සන්තෝසයි කාලෙකින් කොමෙන්ට් කොලාට :D

      Delete
  6. අනේ එහෙමත් පිනක්! අපේ නෝන කුඩේ දාගෙන යද්දි මම නං කිට්ටුවෙන් ඉන්නෙ නෑ. කොයි වෙලේ ඇස්දෙකේ වදියිද කියල.

    ReplyDelete
    Replies
    1. හිකිස්, ඉතිං ඇහේ වැදුනත් ගනන් ගන්නෙපා. කුඩේ ගෙනියන එකම මදැයි ;)
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  7. පූර්වාපර සන්ධි ගැලපීම සාකල්‍යයෙන් පිළිගත නොහැකි වුවද ඒ පිළිබඳව වැඩිදුර කථා නොකරමි. රැවන්වැලි සෑ අබියස හුන් යුවතිය ඇතොවුරෙහි ලියකට / යකඩ දෝලියකට සම කිරීම අනුචිත බව මගේ හැඟීමයි. කාලගෝල තෙමේගේ ඉතිරි පිළිබිඹුවක්සේ ඇය විස්තර කිරීම වඩාත් උචිතයැයි හඟිමි.

    එසේම එදවස සිට ඉතිරින්ගේ දෛවය වනුයේ ඇතොවුර ලියන්සේ දිවිගෙවීම සේම වර්තමානයෙහිද ඒ තත්වයෙහි බොහෝ වෙනසක්වී නොමැති බවද එලෙසම සත්‍යයකි.

    " අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න "

    නොට් දී එන්ඩ්.... වුඩ් හැපන් අගේන් ඇන්ඩ් අගේන්...

    ReplyDelete
    Replies
    1. පිළිගනිමි. කුමක් හෝ හේතුවක් නිසාවෙන් රුවන්වැලි සෑ ඉතිරිය දුටුවනම මට ඇතොවුර ලියක් සිහි වූ නිසාවෙන් ලීවෙමි.

      සන්ධි ගැලපීමේ අඩුපාඩු ඇති බව සැබෑය. උත්සාහ කරමි, අඩුපාඩු අඩු වන තුරු උත්සාහ කරමි.ඒ ව්‍යායාමයේදී කියවන ඔබ සැමගේ ගුණදොස් දැක්වීම් ඉතා අගේ කොට සළකමි.

      යෙප්, තිංස් විල් හැපන් අගේන් ඇන්ඩ් අගේන්, ඉට්ස් අ සයිකල් ඔෆ් ලයිෆ් ආෆ්ටර් ඕල්.

      තැන්කූ වෙරිමච් ෆෝ ද කොමෙන්ට් :D

      Delete
  8. සුජීවාApril 3, 2014 at 3:36 AM

    දුටුවා.. කියෙව්වා. වින්දා.ඇත්තටම ලස්සනයි. ඔන්න මම මූණු පොතටත් දැම්මා. අද.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මල් මිටට :)

      Delete