බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, April 28, 2012

වසන්තය එනවා .. සත්තයි !!

දිගු සීත නිද්‍රාවෙන් අවදිවූ මම ලෝකයට දෙනෙත් විවර කලෙමි... බොඳ උනු අඳුරු ඡායවල් මැදින් හරිත වර්නයෙන් දිදුලන වසන්තය සොයන්නට වෙහෙසෙමි... නමුදු හාත්පස පෙනෙන සීතලට මිදුනු ශ්වෙත වර්ණ ලෝකය මිස දකින්නට සිත තිබූ වසන්තය තවමත් පෙනෙන තෙක්මානයක නැත. අඩන්නට ඇසට කඳුලක් නො එන්නේ දිගු ශීත ඍතුවේ ලය තිබූ සියලු කඳුලු ඉවර වූ නිසාවෙන්ද නැත්නම් අන්තිම කඳුලු බ්ඳුවත් ශීතලෙන්ම මිදුනු නිසාදැයි සොයන්නට මම නොවෙහෙසෙමි ... මට ඇවැසි විවේකයයි.. මගේ දෙනෙතට ඇවැසි විවේකයයි ... එනිසා මම නැවත ස්වප්න නිද්‍රාවට යමි ... ඇස් පනාපිට නොපෙනෙන සොඳුරු වසන්තය සිහින ලොවේදි දෑස් අද්දර දිග හැරෙන අරුමය ගෙවුනු කාලය තුල සේම නැවතත් මම වින්දනය කරමි ... මම මගේ සිහිනය දකිමි ....

වසන්තය ....


ලා හරිත වර්න තුරු හිස් වලින් සැරසි මල් ඔටුනු ලාගත් වසන්තය ... මගේ නෙත් අද්දරටම පැමින ඉගිබිගියෙන් මා වසග කොට ඔබත් එක්ක එන්න යැයි මට කල ආරාධනය .. වචන වලට ඉඩක් නොතිබුනු ඒ සොඳුරු වසන්තයේ මට ඉහලින් සිටි ඔබ දිගු කල අත අල්ලා ගන්නට පා ඇඟිලි වලින් එසවී අහසට අත දිගු කල හැටි මට කවමදාවත් අමතක වන්නේද නැත ... ඇඟිලි එකට ගැටෙන නොගැටෙන මානයේ අහසට එසවී  සිටි මට ලෝක‍ය පෙනුනේ මා පා ඇඟිලි සිඹින්නට වෙර දරන පුංචි දිය බුබුලක් ලෙසට බව ඔබ නොදැන සිටින්නට ඇත. වසන්තයේ දාහයෙන් මත්ව, වසන්තයේ පහසට ලොල්ව දෑස පියාගෙන ආකාසේ නිදහසේ පියෑඹුවා මිස වසන්තයට පසු සියලු දේ හිස් අවකාශයක ගිල්වන ශීතකාලයක් එන බව මට කිසිම ලෙසක මතක තිබුනේද නැත. වසන්තයේ දෙහි කොල සුවඳට, වසන්තයේ උතුරාහැලෙන සිනාවට, වසන්තයේ ගෘංගාර ගීතයට මම ආදරය කල තරමක් අද වෙනතුරු මමද නොදන්නා තරම්ය... 




ආදරණීය වසන්තය ... ඔබම මිස වෙන ඍතුවක් මගේ ජීවිතයේ නැතැයි මා සිතා සිටි කාලයක් විය ... සිසිරයක්, ගිම්හානයක්, ශීත කාලයක් කිසිදා මගේ ලෝකයට නොපැමිනෙන බව එක සිතින් විශ්වාස කල කාලයක් මගේ ජීවිතයේ විය... ඔබේ හැම වෙනසක්ම විදාහල දෑතින් බදා වැලඳ ගන්නට සූදානම් වූ කාලයක් මගේ ජීව්තයේ විය ... ඒත් ඒ කාලය ශීතයේ හිම තුහින මා වටා සරන්නට පටන්ගත් දිනවලම අවසන් වූ බව ඔබට වැටහෙන්නට ඇත ... එකින් එක හිම කැටිති මා වෙල ගන්නා සඳ ... මගේ උණුසුම් හදවත ශීතලෙන් ගල් වෙන කල, වසන්තය නිමා වූ බව තේරුම් ගන්නවා හැර මට තිබුනු වෙනත් විකල්පයක්ද නැත ...අද මට වසන්තයක් තිබුනු බවවත් මතක නැත... මගේ මතක සියල්ලම ශීතලෙන් ගල් වී ඇත.. ඒත් .. ස්වප්න නිද්‍රාවේදී පෙනෙන ඒ අපැහැදිලි රූප ඔබේ බව මම දනිමි ... ඇඟිලි තුඩුවලට දැනෙන ඒ පහස ඔබේම බව මම දනිමි... හීනයත් සැබෑවත් අතර මංමුලාවන මම වසන්තය පිලිගන්නට දෑස හරිමි.. එසැනින් හීනයෙන් මිදෙන මම පියවි ලෝකයේ ශීතලෙන් මිදුනු හිස් තැනිතලාවට නෙත් යොමාගෙන සිටිමි.. හනි හනික යලි දෑස පියන්නේ එබැවිනි... යලි ඔබ සමග හීනයක වෙලෙන්නට මම නින්දට යමි ....



හීනයේ නිදන මගේ සවනතට  අල්තිනායි සහ දුයිශෙන් මෙසේ මුමුනති ...

නපුරු හිම කැට වැටේවී
අවු වැසි සුලි සුළං හමාවි
ඒත් ...
වසන්තය එනවා සත්තයි ... !!

මම හීනෙන් හිනා වෙමි ... 
ඔව්.. 
වසන්තය පැමිනේවි ... 
පෙනුම මාරු කරගෙන, වෙන මුහුනකින් වසන්තය පැමිනේවි ..
ඒ එනතෙක් ...
මම නිදමි ... !!



Friday, April 27, 2012

~ මන්දාරම සහ නුඹ ~

සෙනසුරාදා.. හැමදෙනෙක්ම බලාගෙන ඉන්නේ සති අන්තය එනකන් උනත් මට සති අන්තය කියන්නේ මහා භයානක හීනයක්.. සතිය පුරාවට එක සීරුවට වැඩ කරගෙන හිතට එන්න නොදී වැටක් බැඳලා තියෙන දහසකුත් එකක් මතක සති අන්තය එනකන් බලගෙන ඉන්නේ මගේ හිත බදු ගන්න. සෙනසුරාදා ඉරිදා දවස් දෙක පුදුම තරම් දිගයි.. අවුරුදු ගානක මතක මොලේ ආක්‍රමනය කරකොට හිතෙන්නෙම ඔලුව  පිපිරිලා මැරිලා යනව නම් කොච්චර එකක්ද කියලයි වෙලාවකට... 

කොහොම හරි.. අදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි :) 
එල්ලයක් නැති ලියමනකින් අවුරුද්ද සමරන්න හිතුවා.. කොහෙන් පටන් ගත්තත් හැමදාම නවතින තැනටම ඇවිත් නතර වෙයි ... බලමු ...

වැස්ස ... හැමෝම ජීවිතේ කොයියම්ම කාලෙක හරි ආදරය කල ... හැමෝටම කොයියම්ම විදියකට හරි දැනෙන අපූර්ව ස්වභාවික සංසිද්ධියක් ... මුහුදු වෙරලක නැත්නම් තැනිතලාවක ඉදගෙන වැස්ස දිහාව බලාන ඉන්න ඇත්නම් කියලා හිතිලා තියෙනවා නේද ...
ඒත් ... කවමදාවත් හිතිලා තියෙනවද මහ නගරක් මැද ඉදගෙන වැස්ස දිහාව බලාන ඉන්න ඕන කියලා.. මම හිතන්නේ නෑ... පාලු බිමකට වගේම මහ නගරෙකට වහින වැස්ස දිහාත් ටික වෙලාවක් බලාගෙන ඉන්න .. ඒ වෙලාව කවදාවත් අපතේ යන්නේ නෑ... 

මම වැස්ස දිහා බලාගෙන හිටියා .. මෙන්න මගේ ලියමන ... 



වීදුරු කවුලුවෙන් පේන කොටුව නගරය දිහා මම බලාගෙන උන්නෙමි.ලඟ ලඟ එන වැස්සට කලියෙන් තම තමන්ගේ ගමනාන්ත කරා දුවන මිනිසුන්ගේ හිස්ගෙඩි නලියන කුහුඹු රැලක් මෙන් මට පෙනේ.. කොයිතරම් නම් කතා ගොඩක් ඒ මිනිසුන් ලග ඇත්ද.. කෙනෙක් රැකියාවට යනවා වෙන්න ඇති .. තවත් කෙනෙක් කාව හරි මුණගැහෙන්න යනවා ඇති ... අවුරුද්දකින් දෙකකින් එහෙමත් නැත්නම් කල්පකාලන්තරේකින් හමු නොවුනු කෙනෙක් බලන්න යනව වෙන්න ඇති ... තවත් සමහරු ඉබාගතේ යනව වෙන්නත් පුලුවන් ... හැම මනුස්සයා ගාවම එක කතාවක් ඇති,එයාම විතරක් දන්න... වැස්ස ඒ ගොඩක් දෙනෙක්ට බාධාවක් වෙලා වගේ.. මන්දාරම් අහස දිහා කෝපයෙන් මිස ආදරෙන් බලන ඇස් දෙකක් නැති ගානයි ... 

වැඩ වලින් මොහොතකට මිදුනු මම උදේ ඉදන් පත්තු වෙන පරිගනක තිරය නිවා දමලා වීදුරු කවුලුවට නහය ඔබාගෙන ඇස් දෙක කවුලුවේ අලවගත්තේ ඒ මිනිස් ගංගාවට එපිටින් පෙනෙන වරාය දිහා බලන්න ... වරායට නැවක් ඇවිත් .. වැහි අඳුර අතරින් පේන පාට පාට විදුලි බුබුලු සිය දහස් ගානකින් එලිය උනු නැව අතරමං උනු විසාල මාලුවෙක් වගෙ ... වරායට පහල පාරේ දුවන මිනිස් ගඟ පසුබිමේ පේන යකඩ දොඹකර වලින් වට උන වරායත් ... තනියෙම මූදු රැල්ලට උඩ යට යන සුදු පාට නැවත් ... ඒ හැමදේටම පසුබිමින් මන්දාරම් අහසත් දකින මට නුඹව මතකයට ආවේ ඇයි කියන්න මම තාමත් දන්නේ නෑ.. වීදුරු කවුලුව එපිටින් වැහි බින්දු වලින් තෙමෙද්දි මෙපිටින් කඳුලු වැල් වලින් තෙමෙන හැටි දකින්න නුඹ ලඟ හිටිය නම් කොයි තරම් දෙයක්ද කියලා මට නොහිතුනා නෙමේ .. මම හැමදාමත් ආදරය කරන Wake up Sid චිත්‍රපටියේ බොම්බායේ වැස්ස ගැන කියවෙන අන්තිම දෙබස් කීපය කනට මුමුනන්න නුඹ මෙතන හිටිය නම් ...

මගේම ප්‍රශ්වාස වාතයෙන් මීදුම් රටා මැවුනු, නහය ඔබාගෙන හිටි තැන විහිලු සහගත රවුමක් ඇඳුනු, වීදුරු කවුලුවෙන් මම ඈත් උනේ හීනෙට තවත් හීන දකින්න දුන්නොත් මට ඒ හීනෙන් මිදෙන්න බැරිවෙන බව දන්න නිසාමයි ... මේසේ උඩ කප්පරක් වැඩ ගොඩවෙලා ... මූදයි, නැවයි, මිනිස්සුයි, නුඹයි හැම දෙයක්ම ඇස් ඉස්සරහම බොඳ වෙද්දි ආයෙම මගේ පුරුදු රාජකාරියට මම යන්න ඕන ..

මම වැස්සට වෛරකරනවා ... වැස්ස මට නුඹව මතක් කරනවා, වැස්සට, නුඹට ආදරය කරන අයව මතක් කරනව ... ඒ නිසා වැස්ස මට සතුටක් ගේන්නේ නෑ.. 

ඒත් මම වැහි මන්දාරමට ආදරෙයි ... 
වැස්සට තනි රකින ඒ අඳුරු අලු පාටට මම ආදරෙයි .. 
ඒ මන්දාරම පසුබිම් කරගත්තු හැම පින්තූරෙටම මම ආදරෙයි ...  
නුඹ මට ඉතුරු කරල ගිය මන්දාරමට මම හැමදාමත් ආදරෙයි ... !!



Monday, April 9, 2012

~ ඈ... මොනාලිසා... නම් වන්නීය .... !! ~




ඈ ... 
මොනාලිසා ...
නම් වන්නීය ....


ලෙතෙත් බැල්මෙන් 
මුවඟ මදහසින් 
යනෙන හැම දෙස එකසීරුවට බලා ඉන්නා 
ඈ..
මොනාලිසා නම් වන්නීය .... !!

කී දෙනෙක් නම් කී විදියකට ඇයගේ ආගිය තැන් කියන්නට ඇත්ද...

ඈ....

ලියනාඩෝ ඩාවින්චිගේ පෙම්වතිය ...
විකාරද ... 

මේ ඉන්නේ දහසය වැනි ශතවර්ෂයේ කුල කාන්තාවක් ...
ඔව් ඔව්.. කුල කාන්තාවක් තමයි ...
ඩාවින්චිට කියලා තමන්ගේ ආලේඛය චිත්‍රයක් ඇඳ ගන්න ඇති ...
ඇයි මේ හණමිටි කතා...
පොඩියක් නූතන තාක්ෂනේ පාවිච්චි කරන්නකෝ....
පේන්නේ නැද්ද ක්ලෝස් අප් වලට...
මේ ඉන්නේ ඩාවින්චිමයි ...
ඩාවින්චි විස්වාස කලාලුනේ හැම මූනකම කාන්තා සහ පිරිමි ලක්ෂන තියෙනවා කියලා...
මේ ඒකට සාක්ෂි...
ඩාවින්චිමයි මූනේ ගැහැනු ප්‍රතිරූපය...
අපොයි මේ පණ්ඩිතයන්ගේ කතා...
මේ නිකන්ම නිකන් ගැමි ගැහැනියක්...
හැබැයි ඇය ගර්භනී..
පේන්නේ නැද්ද අත්දෙක තියාගෙන ඉන්න විදිය...
හ්ම්ම්ම්..
ඒකත් වෙන්න පුලුවන් තමයි ...
තේරුමක් නැති කථා..
ඩාවින්චි සමලිංගිකයෙක් ..
මේ ඉන්නේ එයාගේ සමලිංගික පෙම්වතා උනු ගෝලයා...

දාහක් මතවාත ...
ඇගේ පැටිකිරිය සොයන්නට ආචාර්ය විශාරද පණ්ඩිතවරු ගොතන දාහක් කතන්දර ...

නොමියෙන මදහසින් බලා ඉන්නා
ඈ ...
මොනාලිසා නම් වන්නීය...


ඇයගේ ආගිය මඟ කියන්නට...
දන්න දෙදෙනාම....
ඇයත් ඇයගේ නිර්මාපකයාත් ...
අතීත සිහිවටන පමනය ....
එහෙව් ලොවක ...
ඇගේ ආගිය මුලගිය පැටිකිරියට නොව ...
ඇගේ ලතෙත් සිනාවට පෙම් බඳින ....
යමෙක් එනතුරු ...
දෑස දල්වා එක සීරුවට බලාසිටින්නී..
ඈ...
මොනාලිසා නම් වන්නීය .... !!


 

මුතු බෙල්ලා ... !!




සිරුරතර 
මුතු 
රකින ...
මුතු
නිසාම 
වටින ....
මුතු 
නිසාම 
මියෙන .... !!