බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, October 21, 2014

අතැර යන යෞවනය, සෙනෙහසින්.. නුඹට ..




දවසේ රාජකාරියට පිටව යන්නට මොහොතකට පෙර, සුවඳ විලවුන් වත්සුනු අතර තනි උන මම .. ඇස් යටින් ලාවට මෝදු වෙන, දස දහසකුත් ක්ෂුද්‍ර රේඛා මකන්නට දරන තැත..

දයාබර යෞවනය ...

එක පිට එක, එක පිට එක අතුල්ලන, පුයර තට්ටු වලට, තව කී කාලයක් හැකි වෙයිද නුඹේ පලායාම සඟවන්ට..

හිස පීරන්න බයයි මට, කෙස් ගස් පදාසයක් මගේ වට බිම හැම තැනම එක පනා පාරට.කෙස් ගස් දෙක තුනයි, යන්තං වැහෙන්නට හිස් කබල.. නුඹ යද්දි අරං ගිහිං අක්බබරු කෙස් වැටිය, එක බූසියට.. පුංචි මුදු මුදු තිබුන.

තෙල් පාට හම, තාම තියෙනවා.. දාහක් ක්‍රීම් වලට පිං සිද්ධ වෙන්න. ඒත් එක වැස්සයි, ආයෙම වේලුනු ඉරි තැලුනු හම මතුවෙන්න. ඇයි නුඹට බැරි උනේ, ඡවි කල්‍යානය ඉතුරු කර යන්න.
රෝස පාට නියපොතු, දැං වැඩිය බර සුදු පාටට. ලපයක්, කැලලක් නොතිබුනු මූණ පුරාවට, පොඩි පොඩි කලු තිත් වැටිලා එක සීරුවට. නුඹේ නික්ම යෑම, බෑ හංගන්න ලෝකයට..

එක සීරුවට පොත් කියවපු ඇස් වලට පිටු දෙක තුන කියවද්දි මහන්සී අද, කඳුලු ගලනවා ඇස් කොණින් එක දිගට. සින්දුවක් අහන්න, නාට්ටියක් බලන්න, එළියට යන්න, ඇවිදින්න, නෑ හිතක් කොහෙත්තම. කෙඩෙත්තුයි ඇඟට.

කියවගෙන යන පාඩම, වචනෙන් වචනෙට මතක හිටින්නේ නෑ අද.. පාඩම් පොතේ එකම පිටුව දිහා ඔරවගෙන බලාගෙන හිටියත් පැය ගානක් එක දිගට.
රිදී සීනු කට හඩ කොහේ ගිහින්ද දන්නේ නෑ මම. බොල් කැස්සක් එක්ක සින්දු වල පද පේළි හිරවෙනවා අතරමඟ.

ලස්සන රැළි සාය අරගෙනත් අතට, දෙපාරක් හිතුවා ඇඳගෙන යන්න කලින් එළියට. දණිස්සට පොඩ්ඩක් උඩට, හුරතල් ලා පාට ... ඇඳගෙන ගියොත්, මිනිස්සු හිනා වෙයිද මට.. දෙගිඩියාවක් හිත කොණක .. මල් මල් බූල් බෑන්ඩ් එක, පොඩි වීදුරු වලලු ටික, මල් අල්ලපු සෙරෙප්පු දෙක.. ඔක්කොම එක පේලියට.. ඒ දිහා බලාගෙන මම.. මගේ හිතේ ආසාව, තේරුම් ගනීද ලෝකය. දාසයේ කෑල්ල වෙන්න යනවා කියාවිද, යනකං ඉඳලා හිනා වේවිද ... 

නුඹ ගිහින්, ප්‍රශ්න කෝටියක් ඉතුරු කර ..

පාසැල් ප්‍රේමයක් කිසිම දා අත්නොවිඳපු මට, දැං හොඳටම පරක්කුයි එහෙම දෙයක් ගැන හිතන්න. ඒත් සුදු ඇඳුම් ප්‍රේමයක් දකිනකොට, තාමත් කේන්ති යන්නේ නෑ මට. ලොකු දෙයක්, ඒ කුහක ගති තාම නැති එක. මට නොතිබුනු අතීතයක, පොත් අතර දිය උනු අතීතයක, ලස්සන.. කවුරු හරි විඳින එක, සතුටක් මට. අත්වැල් අල්ලගෙන අයිස්ක්‍රීම් කකා මූදු වෙරළක ඇවිදින ප්‍රේමයක් දැං ඉතිං දුරයි මට. උයන්න පිහන්න, ළමයි හදන්න මිස, වෙන මුකුත් ඉතුරු නෑ හෙට. 

කවමදාවත්, කඩාහැලෙන ලස්සනක් තිබුනේ නෑ මට.. නුඹ දුන්නු බැබලීම ඇරුනුකොට. ඒ බැබලීමෙන් පොත් පිරුනු ලෝකය එළිය කරගන්නයි බැලුවේ මම. ලස්සන කුමාරයෙක් ගැන හීන මැව්වෙත් ඒකයි, තේරුමක් නැති බව දැන දැන.

නුඹ යන්න ගිහින්, ඒ බැබලීම අරගෙන.. කලු අලු ඇත්ත ලෝකය විතරයි දැං ඉතුරු වටේටම.. කලු තාරාවෙක් මිස, සුදු හංසයෙක් වෙන්නේ නෑ මං කවදාවත්ම, පැහැදිලියි නුඹේ පණිවිඩය.

ජීවිතය දැක්කා මම. ආදරය, විරහව, වංචාව, පලායෑම, අපහාසය, රැවටීම, හැමදේම .. නුඹ යන්න යනකන්ම, එක සීරුවට දුවලා මම. මොනවට දුවනවද නොදැන, මොනවා ලබා ගන්නද නොදැන. දැං හරි මහන්සී මට. නුඹ යන්න යනකන්ම නොතේරුනු හැටි මට, නුඹ හිටි කාලයේ කප්පරක් දේවල් කරන්න තිබුනු බව. පොත්පත්, නොලැබෙන සුරංගනා ලෝක ඇරෙන්න,වෙන කිසි දෙයක් හිතේ නොතිබුනු කරුමය ..

දැං පරක්කුයි හැමදේටම. මහන්සියි මට නුඹ ගිය දා ඉඳන්ම. අතීතයක් මිස, වර්තමානයක් අනාගතයක් ගැන කල්පනාවක් නෑ මට. නහර පෑදුනු අත් වලට, බෑ තවත් ජීවිතය අකුරු කරන්නට. කටු පෑදුනු කකුල් වලින්, බෑ මේ ගමන තව දුර යන්න. මහන්සී මට, කෙළවරක් නැති තරම් , හුස්ම ගන්නත් බැරි තරම්, මහන්සී මට. අලුතින් ජීවිතයක් හදන්නට, නෑ කාලයක් මට. හෙට දවස කලුවරයි, නුඹ නැතුව...

අනේ ... කියාපං, අරං යන්න කියලා මාව... නුඹේ ලොකු අයියා.. මරණයට ...




Saturday, October 11, 2014

වීසා නෑ ....

ස්ථානය : ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආදර ජනරජය, ආගමන විගමන කාර්යාලය

1 නිළධාරියා :
හ්ම්ම්, අද කාලකන්නි කී දෙනෙක් ඉන්නවද හොරෙන් පැනපු. වදකාර යක්කු. මුන් හින්දා තියෙන වදේ කෙලවරක් නෑ. කාලකන්නි හැතිකරේ, මොන මඟුලකට මේක අස්සේ රිංගන්න එනවද මන්දා.

2 නිළධාරියා :
අදත් කීප දෙනෙක් ඉන්නවා සර්, එක එකාව දාන්නද ඇතුලට. සර්මනේ කිව්වේ ජීවිතේ කිසි ගෝ එකක් නෑ කියලා. මුන් ටිකව ටිකක් මඩෝලා ආතල් එකක් ගමු.

( නිළධාරීන් දෙදෙනා මහ හඬින් සිනාසෙති )

( කෙස්ස කඩා ගත්,පිස්සු පාට ගැහැණියක් කාර්යාලයට ඇතුලු වෙයි. ඇය කිලුටුය, නමුත් මූණේ ප්‍රෞඩ පෙනුමකි )

1 නිළධාරියා :
හ්ම්ම්, තමුන් කව්ද ?

1 ගැහැණිය :
මම ...

( ගැහැණිය නාට්‍යානුසාරයෙන් රැඟුමක් ඉදිරිපත් කරයි )

                       " සත් සියක් කපු මල් රැගෙන මම,
                        සත් සියක් රන් හුය රැගෙන මම,
                        සත් සියක් මල් දම් ගොතන මම,
                        සත් සියක් ගෙල පළදිතේ ..

                        සත් සියක් .. "

( 1 නිළදාරියා, 2 නිළදාරියාට අතින් සන් කරයි, ඈනුමක් යවයී )

2 නිළදාරියා :
කට වහපන් ගෑනියේ, මේක සුපර් ස්ටාර් අවසාන වටය කියලා හිතුවද. ඇහුව ප්‍රෂ්නෙට උත්තර දීපන් විකාර නැතුව. උඹ කව්ද ?

1 ගැහැණිය :
                     මම ...
                    මම කුවේණි ..

                    ( මහ හඩින් අත පය ලෙලවමින්, කියයි )

                     යක්ශ ගෝත්‍රිකයන්ගේ කුමාරි, තම්බපන්ණියේ රැජින, ජීවහත්ත දීසාලගේ මවු

                   ( ඉන්පසු සෙමින්, තමාටම මෙන් කියාගනී)

                    විජය රජතුමාගේ අග බිසව

( 2 නිළධාරියා 1 නිළධාරියාට ඇහැක් වසා ඉඟි කරයි, 1 නිළධාරියා බැරෑරුම් මූණක් ආරූඪ කර ගනී, නමුත් ඇස් අග ඔච්චම් හිනාවකි )

1 නිළධාරියා :
හරි.. දැං තමුන් මොන පදනමක් යටතෙද ආදර ජනරජයට ඇතුලු වෙන්න හදන්නේ ? තමුන්       දන්නවා නේද තමුන්ගේ වීසා ඉල්ලීම ප්‍රතික්ශේප උනා කියලා.

1 ගැහැණිය :
ඉතිං මම විජය කුමාරයා එනකන් බලන් හිටියේ නැද්ද, ඒ නන්නාදුනන රටින් ආපු මනුස්සයට, ආතක් පාතක් නොදන්න පිටුවහලෙක්ට, මගේ සන්තකේ තිබුනු හැමදේම දුන්නේ නැද්ද, මගේම මිනිස්සුන්ට ද්‍රෝහි වෙලා ලංකා රාජ්‍යයේ ඔටුන්න ඒ මනුස්සයගේ ඔලුව උඩින් තිබ්බෙ නැද්ද, ඒ මනුස්සයට දාව ළමයි දෙන්නෙක් හැදුවේ නැද්ද..
හොඳයි නැද්ද ???
ඉතිං ඒ හැමදේටම පස්සෙත් ඇයි මට වීසා දෙන්න බැරි, තව මොනවද ඕන මගේ ආදරේ සාක්කි විදියට ?


1 නිළධාරියා : 
හ්ම්ම්.. බලමු රෙජිස්ටරේ..
කුවේණි...
තම්බපන්ණියේ රැජින, ඒක හරි ..
යක්ශ ගෝත්‍රිකයන්ගේ කුමාරි, ඒකත් හරි ..
ජීවහත්ත දීසාලගේ මව් .. කාට දාවද කියන්න දෙයියෝ තමයි දන්නේ .. ලොල් ..
කමක් නෑ, මව්නෙ කොහොම උනත් .. ඒකත් හරි කියමුකො.

ඒත් තමුන් මහා නරේන්ද්‍රෝත්තම විජය රජතුමාගේ අග බිසව නම් නෙමේ.

කෝ තමුන්ගේ නීත්‍යානුකූල විවාහ සහතිකේ ..
හරි ඒකත් කමක් නෑ කියමුකෝ..
තමුන් වගේ ඇහැට කනට පෙන ගෑණියෙක්ට සලකන්නේ නැත්නම් අපේ මනුස්සකමක් කොහෙද ..

( කෑදර බැල්මක් හෙලයි, බඩගෙඩිය හොලවමින් මහ හඩින් සිනාසෙයි )

කසාද සහතිකේ තමුන් නිසා අමතක කරැයි කියමුකො.

ඒත් තමුන් විජය රජතුමා එක්ක කොයියම්ම වෙලාවකවත් ප්‍රසිද්දියේ පෙනී ඉඳලා නෑ.. තමුන්ගේ යක්කු රැල අතරේ කල කී දේවල් මෙතෙන්ට අදාල නෑ. පිළිගත් සමාජයේ, ශිෂ්ට සම්පන්න සමාජයේ කිසිම කෙනෙක් තමුන් සහ විජය රජ්ජුවො අතර මොනයම් ආකාරයක හරි සම්බන්ධයක් තියෙන බව දැකලා අහලා නෑ.තමුන් සමඟ සම්බන්ධයක් තිබුනු බව විජය රජතුමා කිසිම වෙලාවක පිළිගෙනත් නෑ. විජය රජතුමා දීපු සාක්ශි වල කොයියම්ම තැනකවත්තමුන් ගැන වැඩිමනක් දේවල් කියවෙන්නෙ නෑ.

හැබැයි ඔන්න මධුරා දේශයෙන් ආපු කුමාරි ගැන නම් ආපු තැන ඉඳන් ඔක්කොම විස්තර තියෙනවා කිසී අඩුවක් නැතුව. පෙරහැරේ ආපු හැටි, රුවන් රැසක් පිට ඉන්දවලා අභිශේක කල හැටි, රටවැසියා හුරේ දාපු හැටි..ඔක්කොම..

2 නිළදාරියා :  බකන් නිලාගෙන ඉන්නෙ නැතුව මොනවා හරි කියනවා ගෑණියේ. දැං මහ ලොකුවට ඇහුවනේ ඇයි වීසා නොදුන්නේ කියලා.



1 ගැහැණිය :  
 එතකොට විජය ට ලංකා රාජ්‍ය අරං දුන්නේ මං නෙමෙයිද ...

2 නිළදාරියා :
( බාධා කරයි )

මේ මේ, ඒවා දේශපාලන ජිල් මාට්. ඒවයි ආදරෙයි අතරේ සම්බන්ධයක් නෑ.
ආදර ජනරජයට ඇතුලු වෙන්න නීත්‍යානුකූල ආදරයක් ඔප්පු කරන්න ඕන. දේශපාලනේ ඇරුනම තමුන්ට කියන්න තියෙන අනිත් එකම දේ ළමයි හැදුවා කියලා විතරනේ.
ළමයි නම් මේ අපිටත් බැරියෑ හදලා දෙන්න, ආදරේ කලඳක් නැතුව.

 (මහ හඩින් සිනාසෙයි ) 


1 ගැහැණිය :  
එතකොට මට ...

2 නිළදාරියා :
හ්ම්ම් හ්ම්ම්, තෙපර බාන්නෙ නැතුව අයිනකට වෙනවා.
තමුන්ගේ ඉල්ලීම නැවත සලකලා බලන්නං.
එතකන් අන්න අර කාමරේට ගිහින් ඉන්නවා, ලොකු සර්ලා කට්ටියක් ඉන්නේ ඒකේ.
තමුන්ගේ ඉල්ලීමට හොඳ උත්තරයක් ඕන නම් ඒ සර්ලවත් ටිකක් සතුටු කරන්න වෙයි, පුස් රැජිණි පාට් දාන්නෙපා.
තමුන් විජයගේ බඩුව, එච්චරයි.. තමුන්ගේ තැන දැනගෙන වැඩ කලොත් හොඳයි. 

ඊළඟ ...

2 ගැහැණිය :  

(සිහි මද ගතියක් පෙන්වයි, කඩමාලු පොදියක් දරුවෙකු සේ තුරුලු කරන් පැමිණෙයී

හෙළ ගැඹුරුයි පුත නොබලන් ..
හෙලවෙනකොට වැල් පාලම ..
දෑස පියන් .. බිම නොබලන් ..

1 නිළධාරියා :
(තමන්ටම කියා ගනී)

 යකෝ අද එන තරමක් එන්නේ නට්ලූස් අයිටම්නේ. කලින් එකේ නම් අඩුගානේ ලකයක් තිබ්බා මොලේ හොඳ නැති උනත්. මේක නම්ං දිරාපු සමයමක්.

2 නිළදාරියා :
මෙයා ගෲශා..
කව්ද මන්දා කුමාරයෙක්ට ආදරේ කලා කියන්නේ.
වදපු අම්මා නෙමේලු, හදපු අම්මලු. ලියකියවිලි මුකුත් නෑ, දරුවගේ උප්පැන්න සහතික, දෙමාපියන්ගේ විවාහ සහතික මුකුත් නෑ.
උසාවි වාර්තාවට අනුව මෙයා මෙච්චර ආදරෙයි කියන දරුවගේ අයිතිවාසිකම් පරීක්ශනයෙදි මෙයා ඒ දරුවව ඔහේ අතෑරලා දාලා ගිහින් තියෙනවා, කිසිම සටනක් නොකර .

1 නිළධාරියා :
ඉතින් තමුන්ට මොනවද කියන්න තියෙන්නේ ?


2 ගැහැණිය :  
අනේ සර්.. ඒ පොඩි එකා හැදුවේ මමයි. මගේ කුසෙන් නොවදාපු ටික විතරයි. ඒත් ආදරේ කිසි වෙනසක් නෑ. වැදූ අම්මට වඩා මං ඒ දරුවට ආදරෙයි.


1 නිළධාරියා :
ඉතිං ඔච්චර ආදරේ පොඩි එකාව නිකන්ම නිකන් අතෑරල දැම්මේ මොකද අයිතිවාසිකම් පරීක්ශනයේදි ?

2 ගැහැණිය :  
ආදරේ නිසාමයි සර්.. . ඒ පොඩි එකාව දෙපැත්තට ඇදලා, මං ආදරෙන් හදපු අත පය තුවාල කරන්න ඕන උනේ නෑ මට. ඒ ඇස් දෙකේ තිබුනු වේදනාව දිහා බල බල තවත් පොරකන්න ඕන උනේ නෑ මට.

 1 නිළධාරියා :
තියාගන්නවා තමුන්ගේ වැල් බයිලා තමුන් ලඟම.
ආදරේට අතෑරියලු, කාටද ගෑණියේ ඕවා කියන්නේ.
අපි මේ රස්සාව කරන්නේ අද ඊයේ ඉඳන් නෙමේ. උඹ එනවද අපිට උගන්නන්න.
වැදූ අම්මා ලඟ ඔක්කොම සහතික, වාර්තා තියෙනවා, ළමයගේ සුජාතභාවය එතනින් ඔප්පුයි.
ඕන තරම් මිනිස්සු ඉන්නවා ඒ ගැන සාක්කි දෙන්න.
අනික ළමයත් කිසිම හාවක් හූවක් නැතුව යස අපූරුවට වදාපු අම්මත් එක්ක ගියැයි කියලයි උසාවි වාර්තාවේ තියෙන්නෙ.


2 ගැහැණිය :  
අනේ සර්.. ඒත් මං ආදරෙයි ..


2 නිළදාරියා :
හ්ම්ම් හ්ම්ම්, යනවා යන්න මෙතන අපේ කාලේ නොකා. ආදර ජනරජයට තමුන්ට ඇතුලු වෙන්න බෑ. වීසා දෙන්නේ නෑ. පව් නොදී චුත වෙනවා මෙතනින්. 


1 නිළධාරියා :
අදට ඇති අයිසේ...
එපා වෙනවා මේ කාළකන්ණි එක්ක කතා කරන්න ගියාම.
ඉතුරු උන්ට හෙට එන්න කියවනවා.

කාමරේ ඉන්නේ කව්ද ??

2 නිළදාරියා :
අද දැම්මේ කුවේණි විතරනේ, කලින් දාපු අයගෙන් ලොවීනා ඉන්නවා, තව බඩු හතරක් පහක් ඉන්නවා එක එක සැම්පලේ, නමක් ගමක් ආතක් පාතක් නැති.

1 නිළධාරියා :
හ්ම්ම්, තව ටිකක් කල් තියන් ඉඳලා එලවලා දානවා ඔක්කොම.


2 නිළදාරියා :
හොදමයි සර් ..

මේ... සර්..
එතකොට කාමරේ අයටවත් වීසා දෙනවද ?

1 නිළධාරියා :

තමුසෙට පික්ශුද ඕයි.

මේක ආදර ජනරජය, 

ජාතියක් ජන්මයක් පිළිගැනීමක් නැති නන්නත්තාර කතා කාරයන්ට මෙහෙට වීසා නෑ...

 (නිළධාරීන් දෙදෙනා සිනාසෙමින් නික්ම යති, කාර්යාලයෙන් එළියට ඇද දැමුනු 2 ගැහැණිය සහ තව බොහෝ දෙනා හිස් බැල්මෙන් දේශ සීමාවෙන් එපිට බලා සිටිති, කාමරය තුලින් 1 ගැහැණියගේ කෑගැසීමක් ඇසෙයි.)

(තිරය වැසෙයි )






Tuesday, September 16, 2014

පොත් සල්පිල් වන්දනාව 2014..

ගිය අවුරුද්දෙත් පොත් සල්පිල් කතන්දරේ ලිව්වේ නෑයි කියලා මැරුම් නොකා බේරුනේ අනූ නමයෙන්. ඒ නිසා ගත්තු පොත් ටික නිකන්ම අතෑරල නොදා මෙ පාර පොඩිවට හරි කතාවක් ලියනවා කියලා හිතුවා. ඔන්න එහෙනම්, බුක් සෙල් සාගා 2014 :D

අතිසාර්ථක කීවෙනි වතාවටද මන්දා ඔන්න ගිය සිකුරාදා මං ගියා බුක් සේල්. ටිකට් ගන්න තැනට යන්නත් කලින් මෙන්න තීනෝ මැගී ලොරිය. නිකං හරියට හෝටල් පාසැලේ තෑගි උත්සවේට ගියා වගේ. උණු උණු මැගී දැක්කම නැති බඩගිනිත් ආවට, පොත් සල්පිලට ඇවිදින් ටිකට් ගන්නත් කලින් මැගී කන එක සාදාචාර සම්පන්න නැති නිසා මැගී නොකාම ගියා ටිකට් ගන්න.ටිකට් අරං ඇතුලට ගියා විතරයි මෙන්න තීනෝ තවත් මැගී ලොරියක්. දෛවයට පිටුපාන්න බෑනෙ මෙච්චරටම දේවල් වෙද්දි. ඉතිං මැගී කන්නම වෙනවා, ඉතිං මැගී කෝප්පයක් අරගෙන කට පිච්චි පිච්චි දෙසාබාන ගමන් පොත් තියෙන තැං හොයන්න සිතියම කටපාඩං කලා.

මගේ දැඩිමතධාරී සහෝදරීට නිවාඩු ලබා ගැනීමේ ප්‍රශ්න තිබ්බ නිසා මේ පාර මට මගේම කියලා සුට්ටි වෙලාවක් තිබ්බා තනියෙම විනෝද වෙන්න. විනාඩි පහෙන් පහට ජංගමයා මරහඩ තැලුවා ඒත්. වෙන කව්ද ඉතිං, සහෝදරී තමයි අනිත් පැත්තෙන් ජාතිය ඇමතුවේ.

"මේ හලෝ, විකාර පොත් ගන්නවා නෙමෙයි ඔන්න. මං එනකං ඉන්න හරිද"
"මේ, අරාබි කාන්තාවන්ගේ දුක ඇති දැං හොඳටම, තව එක පොතක් ගත්තොත් බලාගෙනයි ඒව ගැන"
"අනේ මේ වඳින්නම් මෙලෝ යකෙකුට නොතේරෙන සම්භාව්‍ය පොත් නම් ගන්නෙපා"
"තාත්තා බනී හරිද, සල්ලි නාස්ති කරන්නෙපා තේරුමක් නැති පොත් වලට"
"ඒයි, කවරේ බලලා පොත් ගන්නෙපා හරිද"
බ්ලා බ්ලා බ්ලා ....

මලකරදරේ ඉවසන්න බැරිතැනම තැන මං තීරණය කලා කන ඇහෙන්නේ නෑ වගේ රඟපාන්න. ඉතිං ඊට පස්සේ ජංගමයා කෑගහනව මට ඇහුනෙම නෑලු ඔන්න ;)

පොත් දැක්කම මට සාමන්‍යයෙන් හැදෙන පොත් මතත් එක්ක මං පටං ගත්තා හිස් ලූ ලූ අත දුවන්න. මං ලබන ආත්මේ පොත් කාවෙක් හරි නැත්තං එහෙම මොකෙක් හරි පොත් අස්සෙ ජීවත් වෙන සුට්ටි සුද්‍ර පාණියෙක් වෙනවමයි කියන ඒකායන අදිස්ටානෙත් එක්ක පොත් තොග තොග ගොඩ ගහන්න පටන් ගත්තා මං. 

මල්ලෙන් මල්ල මල්ලෙන් මල්ල මගේ පොත් අස්වැන්න කඳු ගැහෙද්දි ඔන්න ආවා මගේ සහෝදරීගේ කෝල් එක.
"ඒයි කොහෙද ඉන්නේ, මං ඉන්නේ සිරිමාවෝ එකේ දොර ලඟ"
ඉවරායි ...
මගේ සුන්දර ලෝකෙ ඉවරයි කියලා දැනගෙන යටිපතුල ගාවට හොස්සත් දික් කරගෙන මං ගියා සහෝදරීට මූණ පෙන්නන්න. මගේ හොර බළල් මූණ දැක්ක ගමන් එයාට වැටහුනා එයාගේ කෝල් ඔක්කොම වලින් ඩයලොග් කොම්පැණිය පෝසත් උනා ඇරෙන්න වෙන අබ ඇටේක තරම්වත් සෙතක් නොවුනු බව ;)

සහෝදරී ආවට පස්සේ පටන් ගත්තා දෙවෙනි වටේට පොත් ගොඩගහන්න. හරි ජොලි ඉතිං, මෙන්න හුවමාරු උනු කතා.

------------------------------------------------------------------------------------------
"තියන්නයි කිව්වේ මාගරට් ආයෙම රාක්කෙන්"
"බෑ බෑ, තියන්නෙම නෑ. මට මාගරට් ඕනමයි"
"මොන කෝලමක්ද අනේ, ලැජ්ජ නැද්ද ළදරුවෝ ගන්න පොත් ගන්න, බිල් කරන්න යන්නෙ කොහොමද ලැජ්ජ නැතුව"
"මල කෝලං, ලැජ්ජ වෙන්න මොකෝ මම ආදරය හා ලිංගිකත්වය ගැන පොතක් ගත්තෑ. මං මාගරට් ගන්නවා. ගන්නවා ගන්නවාමයි"
"ඕන මගුලක් කරගන්නවා එහෙනං, මං නෑ ඕවට"

----------------------------------------------------------------------------------------------
"කවරේ බලලා නේද මේක ගත්තෙ, එක පිටුවක් පෙරලලා බැලුවද අඩුම ගානේ? මෙලෝ සංසාරයක් තේරෙනවද මේ පොතේ"
- කියන්න දෙයක් නැත. මෙලෝ බ්‍රන්තයක් තේරෙන්නේ නැත. සහෝදරී හරිය, කවරේ ලස්සනය, ඒ නිසා ගත්තේය, ඉතිං ඒ පොත තියන්න උනේය - 

-----------------------------------------------------------------------------------------------
" පෑගිලා මැරෙන්න හදනවද මනුස්සයෝ. බිම බඩගාන්නේ නැතුව උඩ රාක්කවල තියෙන පොත් විතරක් බලන්නකො. බිංකුන්ඩෙක් වගේ, පේන්නෙත් නෑ මිනිස්සුන්ට"

-----------------------------------------------------------------------------------------------
සහෝදරී එක්ක වසනවට වඩා කසාදයක් බැඳගෙන නැන්දම්මෙක් එක්ක වසන එක දාහෙන් සම්පතක් බව සිය වෙනි පාරටත් හිතන ගමන් කලින් වතාවෙ මඟහැරුන පොත් හොරෙන් පොදි බැඳගන්න අමතක කලේ නෑ මං.

ගහෙන් වැටුන මිනිහට ගොන්නු දුසිමක් ඇන්නා වගේ මෑණියැන්දෑ කෝල් කලේ නැතෑ ඒ අස්සේ. මාව කවුරු හරි පැහැරගෙන යයි, එහෙමත් නැත්නම් පොත් දෙක තුනක් දීල රවට්ටගෙන යයි කියලා මෑණියැන්දෑම අධ්‍යක්ශනය කරලා නිශ්පාදනය කල චිත්‍රපටිය මතක් වෙලා බොරැල්ලේ හන්දියේ ඉඳන්ම පයින් ඇවිත් දැං සිරිමාවෝ බණ්ඩාරණායක හෝල් එක ලඟ ඉන්නවා කියන්නයි කෝල් කරලා තියෙන්නෙ.

නියමයි, නින්දේ සහ සැප නින්දේ වෙනස වගේ, මේ වෙනකන් කන ලන තිබුනු තනි කුරු කුරුව දැන් ඩබල් වෙන්නයි යන්නේ. ආර්ථිකය සහ රුපියලේ අවපාතනය ගැන සහෝදරී කූං කූං ගාද්දි එතැන්පටන් මෑණියැන්දෑ පටන් ගත්තා කාන්තාවක් බුක් සේල් ඒමේ ආදීනව ගැන එක දිගට ජාතිය අමතන්න. මිනිස්සු පොරකනවය, එතකොට ඇගපත අල්ලනවය, කපල් තුරුලු වෙලා අයිස්ක්‍රීම් කනවය, දෙයියෝ සාක්කිය,  මෙකී නොකී චුරු චුරු කෝටියයි එතන ඉඳන්.

ඔය අස්සේ රූපවාහිනි ප්‍රවුර්ති කන්ඩායම හොරෙං හොරෙං බලං ඉන්නවා දැක්කා මං. රූපවාහිනියට මූණ පෙන්නීමේ මහා භීතිකාවකින් පෙළෙන නිසා කැමරාවක් තියෙන හැම තැනින්ම ශේප් එකේ ලිස්ස ලිස්සා හිටියා මං. ඒ කොච්චර බේරුනත් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රේ අස්සෙදි රූපවාහිනියේ අතටම මාට්ටු උනා මාව. පවු දෙයියනේ මං.

" Will you give a voice cut for us ? "
ඉතිං මං හරීම සුලලිත එඩිතර වීර ධීර කාන්තාවක් වගේ, විහාර මහා දේවී පරම්පරාවේ ඊලග පුරුක වගේ, යකඩ කාන්තාවක් වගේ, ගත් කටටම කිව්වා,
"NO"
:/
ඒ මිනිස්සු නෙමේ වැඩේ අතෑරියේ.
" Don't say like that, just say something, please"
ඉතිං මොනා කරන්නද, ජාතික නාලිකාව මෙච්චරත් කියද්දි මට ලොකු සීන් දාන්න බෑනේ.
අනේ ඔන්න ඉතිං අවසාන ප්‍රතිපලය උනේ මං පොත් තොගයක් බදාගෙන බිරාන්ත පූසෙක් වගේ කැමරාව ඉස්සරහ ඇස් නටෝ නටෝ  " There are so many books here" කියලා කියනවා ලක්ශ සංඛ්‍යාත ප්‍රේක්ශක ජනතාව එදා රෑ නිව්ස් වලට බලා ගත්තු එක. හතර විලි ලැජ්ජාවයි, බුක් සේල් එකක පොත් නැතුව කුම්බලාවෝයැ තියෙන්නෙ. අනේ අපරාදේ කියන්න බෑ මගේ සහෝදරී නියම සහෝදරියක් වගේ මගේ මූනට කැමරාව අල්ලපු ගමන් අඩියෙන් අඩිය පසු බැහැලා ගිහින් පොත් රාක්කයක් ලගට වෙලා මගේ මුලු නැටුමම ඉවර වෙනකන් බඩ අල්ලං හිනා උනා. තව මොනා බලාපොරොත්තු වෙන්නද එයාගෙන්.

කොහොමිං කොහොමිං හරි මට හිත ගිය පොත් ඔක්කොම වගේ ගත්තා. මේ පාර වැඩිය අලුතින් පොත් ප්‍රකාශනය වෙලා තිබුනේ නෑ. බහුතරය මගේ ලග දැනටම තියෙන ඒවා. 30%ක වට්ටමක් ලැබුනේ විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රයෙන් විතරමයි, අනිත් හැමතැනම 20% තමයි වට්ටම. පහුගිය වතාවේ මට්ටු උනු නිසා මේ වතාවේ ස්වර්ණ පුස්තක සම්මනා ලැබුනු හෝ නිර්දේශ උනු පොත් එකක්වත් ගත්තේ නෑ. අපහාසයක් කරන්න කියනවා නෙමේ, නමුත් ගිය වර නිර්දේශිත සමහර පොත් මොකට නිර්දේශ උනාද කියලා මට වැටහෙන්නේ නෑ. සමහරවිට මගේ මොලේ චූටි නිසා මට ඒ උත්කෘශ්ට සාහිත්‍ය කෘති වැටහෙන්නේ නැතුව ඇති. දන්නෑ...

හැටේ වත්තේ මග්දලේනා හෙව්වා හම්බුන්නෑ, ආයේ යන්න ඕන මහා පොත් සවාරියේ ඌණපූර්ණයට.

මේං ගත්තු පොත් ටික...





















Tuesday, August 12, 2014

ඔබ .. ඇය .. සහ මම ..


ඔබ ...

මට බෑ මේ කරදරේ තවත් විඳින්න.
මුලු සතියක් එක දිගට වැඩ කරලා සෙනසුරාදා හාෆ් ඩේ එකත් කරලා අද පොඩ්ඩක් නිදා ගන්න හිතුවා විතරයි.
මම ඔයා ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්නෙ නෑ වගේනෙ කතාව.
ඇහුවනේ මම ඔයාගෙන් තේ එකක් හදලා ඕනද කියලා.
ඔයාමනේ කිව්වේ හදිස්සි නෑ තව ටිකක් නිදා ගන්න කියලා.
මොකද්ද මේකෙ තේරුම.
මට ඇති වෙලා දැං.
දවසක් දෙකක් කියලද.
ඊයේ ඔයාටමයි පීසා ඕන උනේ.
මං කිව්වනේ මීටිං එක නිසා රෑ උනත්, මම ඇවිත් උයන්නම් කියලා.
ඔයාමයි පීසා කමු කිව්වේ.
අහගත්තු හරිය ඇති මට.
වැරදිලා හරි මොකක් හරි අසනීපයක් හැදුනොත් යස අපූරුවට කියාවි මං කඩ කෑම කවලා ඔයාව ලෙඩ කලයි කියලා.
යන්නේ කොහෙද එන්නෙ කොහෙද ඔක්කොම කියන්න ඕන.
ගිය සතියේ ඔයා ගාල්ලේ ගිය වෙලාවේ මට දීපු වදේ ඇති මට.
ඔයා කිව්වනේ මීටිං එකකට යන්නේ සැරින් සැරේ කෝල් කරන්න එපා කියලා.
ඒකනේ මම ගාල්ලට ගියා කිව්වම එතනින් එහාට වද දුන්නේ නැත්තේ.
ඒත් කතාව හරියට මං ඔයා ගැන හොයන්නේ බලන්නේ නැතුව ඔයා මග මැරුනත් ගානක් නැතුව ඉන්න ගානට හිටියා වගේ.
මම මගේ ගෙදර කීමටත් පිටින්, ඒ හැමදේම අත් ඇරලා ඔයත් එක්ක ආවේ ඔයාට ආදරේ නිසා.
ඔයා ගැන හොයන්නේ බලන්නේ නැතුව මම අල්ලපු ගෙදර මනුස්සය ගැන හොයල බලන්නද.
මොකද්ද මේකෙ කෙළවර.


ඇ‍ය ...

කොල්ලා ඇඳෙන් නැගිටින්නේ තේ එක බලාගෙන.
තේ එක නැත්නම් ඇඳේ ඉඳන් බෙරිහන් දෙනවා ගෙනත් දෙනකන්.
උණුවෙන්මයි ඕන, චුට්ටක් නිව්නොත් බොන්නෙ නෑ.

කොච්චර දවස් තිබ්බද මට නැගිටගන්න බැරි තරම් අසනීප තිබ්බ, ඒත් මං තේ එක වැරැද්දුවේ නෑ එක දවසක්.
කඩෙං කෑවොත් කොල්ලට බඩේ අමාරුවක්.
කොච්චර බැරි අමාරුකම් තිබ්බත් ඉස්කෝලෙ යන කාලේ ඉඳන් වැඩට යන්න පටන් ගත්තට පස්සෙත් බත් ටික හදලා දුන්නේ ඒකයි.
මහන්සි, අසනීපයි කියලා එක දවසක් කඩෙන් කන්න දෙන්න හිතුනේ නෑ මට.
කොල්ලට සෙනසුරු අපල, රාහු මහ දශාව.
යාන වාහන වලින් පුදුම විදියට අපලයි.
නූලක් දාන්න කොච්චර මහන්සි උනත් කෝ ඒකට කිසි උනන්දුවක් තිබ්බේ නෑනෙ.
වාහනේ අරන් පාරට බැස්සම මගේ පපුව හීතල වෙලා ඉන්නේ යහතින් ගෙට ගොඩ වෙනකන්.
කොයි මොහොතේ කොතන අනතුරක් වෙයිද කව්ද දන්නේ.
ඔය දරුවව හදා ගන්න, උස් මහත් කරන්න වින්ද දුක මම විතරයි දන්නේ.
කවුරුත් කවදාවත් තේරුම් ගන්න එකක් නෑ මගේ ජීවිතෙත් හරි දරුවත් හරි කියලා.


මම ...




වරදක් කලත් සිතකින් නොවේ.. 

රිදවන්නේ පළිගන්නේ ඇයි .. 

ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්..  

මට මාගේ ඇස්දෙක වගේ..