බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, September 28, 2012

< නොලැබීම (ඔබගේ හෝ මගේ) >

රතු රැලි
රිබන් පටි වලින්
ඔතාගෙන
දුරු කතරක ඉඳන්
මග වෙහෙස ගෙවාගෙන
දවස ගනන් අගේ කර කර
මෙන්න
ඔයා ගෙනැත්
සින්ඩරෙල්ලගේ 
වීදුරු සපත්තුව
ඇවිදින්න
බැරි
මට ....


Friday, September 21, 2012

ආවා ආවා .. මමත් එක්ක බුක්සේල් අංක දහය ආවා .. :)


ඔන්න මම ගියාලු පොත් සල්පිල් වන්දනාවේ .. අහපු දැකපු දේවල්.. හිත ගිය තැන්.. විකට රසාංග.. පඩි වදන්.. ගල් මුල් මල් ඔක්කොම එක්ක සම්පූර්ණ කතන්දරේ දානකන් ගිය අවුරුද්දේ වගේම පින්තූර ටික බල බල ඉරිසියාවෙන් ඉන්න ... :)

























Saturday, September 15, 2012

මම බවුවෙක්ව ගෙනාවෝ :)

අද සාහිත්‍ය කථාවක් ලියන්නේ නෑ ඔන්න.. සාහිත්‍ය මතක් වෙන්නේ නැතිතරමට මගේ හිත මැරිලා.එක අතකට ඒකත් හොඳයි. මැරුණු හිතකට කිසි දෙයක් දැනෙන්නෙත් නෑනේ.. හුස්ම වැටෙනවට ජීවත් වෙනවා.. රොබෝවෙක් වගේ .. :)අනික මම ලියන සාහිත්‍ය මගේ සමහර ෆ්‍රෙන්තන්ට වැටහෙන්නේ නෑ. පෝස්ටුවක් දාපු ගමන් කතාකරලා අහනවා මොන භ්‍රන්තද හලෝ අර ලියලා තියෙනේ කියලා .. හැම ෆ්‍රෙන්තම වැදගත් නිසා ඔන්න අද සරල රසාංගයක් ඉදිරිපත් කරන්න හිතුවා.
 
මට ගොඩක් කාලෙක ඉඳල සුරතල් බල්ලෙක්ව ඕනි වෙලා තිබුනලු ඉතිං. කවදාවත්ම මට බල්ලෙක් ඉඳල නෑ. යාලුවෝ ඇවිත් එයාලගේ බල්ලන්ගේ දඟ වැඩ චන්ඩි වැඩ කියද්දි මම කලේ කට උඩ බලාගෙන හූමිටි තිබ්බ එක විතරයි. බල්ලෙක් ඕන කියලා මම දන්න හැම විදියටම ගෘහමූලිකයන්ට කන්කෙඳිරි ගෑවට ඒ ඉල්ලීම ලැබුනෙම නෑ.. මෑණියැන්දෑ කිව්වේ එකම එක දෙයයි.. "ළමයිනුයි බල්ලොයි දෙකක් බෑ, එක්කො ළමයි එක්කො බල්ලෝ"ඉතිං අපිට ඇත්තටම තෝරාගැනීමක් තිබුනේ නෑ.. ළමයි වන මමයි නංගීයි කොහේ කියලා යන්නද.. බල්ලෙක්ව අරගෙන නොදුන්න නිසා පියාණෝ මට මාලු ටැංකියක් හදල දුන්න. ප්‍රොජෙක්ට් එක කොච්චර නැගල ගියාද කියනවා නම් අන්තිමේ ගෙදර ෆ්‍රිජ් එක උඩත් සාරි ගප්පි පුරෝපු මාලු ටැන්කියක් තියලයි මම නැවතුනේ.. ඔක්කොම ටැන්කි 6 ක් තිබුනා.. මාලුන්ගේ ආරෝග්‍යශාලා සහ ප්‍රජනන ටැංකිත් එක්ක ඔක්කොම 10ක් :)කොහොම නමුත් ස්විමිං පූල් වල හැදිය යුතු තරමේ තඩි තල්මස්සු ගේ ඇතුලේ ටැංකි වල හැදීමේ ආදීනව නිසා අපිට ඒ මාලුවන්ව වෙන වෙන අයට දෙන්න සිද්ද උනා .. :'(
ඉතිං ඔන්න මම ආයෙමත් තනි උනා.
 
හැම ඉල්ලීමක්ම නිශ්ප්‍රභා උනාම මම තීරණය කලා මගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කරන්න ;) ඉතිං සුපුරුදු පරිදි යටිපතුල ගාවට තොල එල්ලගත්තු මම අච්චාරු දාපු බිලිංගෙඩි මූණ හදාගෙන උදේ හවස පියාණන්දෑගේ පස්සෙන් යන්න පටන්ගත්තා මගේ සිංදුව කිය කිය .. "යාලුවෝ හැමෝටම බල්ලෝ ඉන්නවා මට විතරයි නැත්තේ .. මම මොනාද යාලුවන්ට කියන්නේ.. මම විතරයි පැත්තකට වෙලා ඉන්නේ.. මම පව් නේද.. අනිත් හැමෝටම බල්ලෙක් ඉන්නවා මට නෑ " ඔන්න ඉතිං අපේ පියානන්ගේ හදවත උණු උනා.. පියානන් අහන්න අකමැතිම දේ තමයි අනිත් හැමෝටම තියෙනවා මට නෑ කියන එක.. (මම මහා නරකට,හුරතල් කරල හැදුනු ළමයෙක්ලු ඉතිං) :D
 
ඔන්න ඉතිං දවසක් දා පියාණෝයි මායි ගියා අපේ මංගල බව්වව බලන්න. එය ඩොබමන් කෙනෙක් .. අර නැට්ට කපපු තඩි බව්වො ජාතිය. උන් ගැන ටූට්ටක් විතර දන්න නිසාම මම යන්න කලින් පි‍යාණන්ගෙන් ඇහුවා ඌ අපිව කාල දාන එකක් නෑ නේද කියලා.. බල්ලගේ අයිතිකාරය පියාණන්ට දීල තිබුනු ටොපිය එහෙම්පිටින්ම පියාණන් මටත් ගිල්ලෙව්වා.. අපෝ මූ හරීරීරී හොඳයි.. ඩොබමන් උනාට ඩොබමන්ද කියලා කියන්නවත් බෑ..ඒ තරම් සීලවන්තයි.. ගුනෝපේතයි..අහිංසකයි ..මලක් වගෙයි.. බ්ලා බ්ලා බ්ලා .. එතකොටත් ඒ බව්වට වයස අවුරුද්දයි.. ඒ කියන්නේ බලු පැටියෙක් නෙමෙයි කොහොමටවත්.
 
කොහොම හරි බවුවාගේ ගෙදරට ගියා කියමුකො.. අපි ගෙට ඇතුලු උනා විතරයි නිකන් හරියට බල්ලෝ කෝටියක් ඉන්න කාමරේකට ආවා වගේ මහා හයියෙන් බුරන සද්දයක් ඇහුනා. බව්වගේ අයිතිකාර අංකල් කොහේදෝ ඉඳන් කෑගහනවා ඇහුනා එන්න එන්න කියලා.. අපිත් ඉතිං සද්දේ එන පැත්තට ගියා. මෙන්න ඉන්නවා වෙසමුණි රජ්ජුරුවෝ වගේ තඩි බල්ලෙක් අලි බඳින චේන් එකකින් ගැටගහලා. හරියට කලු පාට හරක් පැටියෙක් වගේ.. කෘන්තක රදනක නෙමේ දත් ජාති අඩුමගානේ විසිපහක්වත් තිබුනා උගේ කටේ.. පියාණන්දැටත් දාඩිය බින්දු එකක් දෙකක් ආව නලලට.. මම නම් ආයෙ මුකුත් නෑ.. ආපසු හැරෙන්..දකුණු පය පෙරට .. සාර්ථක ලෙස පස්ස නොබලා ආයේ වාහනේටම දුවල ඉවරයි. පියාණෝත් හිමි හිමීට වාහනේ ලගට ආව.. අර අංකල් ඇවිත් කියනවා "අනේ සර් ඔය මේ සර්ලව පුරුදු නැති නිසා, අදුරගත්තම හරියයි.. ඕක පොඩි පැටියා තාම" කියලා.. පියාණෝ ටිකක් කල්පනා කරල කිව්ව "පොඩි පැටියා කාලේ ඔහොම නම් ලොකු අලියා උනාම බල්ල බලාගන්න දසමහ යෝධයෝ ඕනි වෙයි "කියලා ... ඔන්න ඔහොමයි පළවෙනි බලු ට්‍රිප් එක ඉවර උනේ
 
දෙවෙනි බලු ට්‍රිප් එක ගියේ ගිය ඉරිදා. මේ ගමන බලන්න ගියේ ජර්මන් ෂෙපර්ඩ් එකෙක්ව.. අනේ ඌ නම් අපරාදේ කියන්න බෑ දැක්ක ගමන් අපි ලගට ඇවිත් වල්ගේ වනලා අපිත් එක්ක යාලු උනා. ගියේ බවුවාව බලන්න විතරයි උනාට මම ඒ ගෙදර බිම ඉඳගෙන බල්ලා බදාගෙන පොළවේ හැපෙන්න ගත්තා මට ඌව ඒ වෙලාවෙම ගෙදර ගෙනියන්න ඕනි කියලා. ඉතිං මෑණියන්ගේ බලවත් අකමැත්ත සහ බල්ලා කෙරෙහි දැක්වූ ප්‍රතිරෝධය පියාණන්ගේ නිශේධ බලයෙන් යටපත් කරගත්තු මම බව්වාව ගෙදර කැන්දගෙන එන්න සූදානම් උනා. ඒ ගෙදර හිටි මිනිස්සුන්ට පපුවේ අමරුව හැදුනා අපි අපේ වාහනේ බව්වාව දාගෙන එන්න ලෑස්ති වෙනකොට. බව්වෙක් කෙසේ වෙතත් ගොඩක් මිනිස්සුවත් එහෙම වාහනේක ගිහින් නෑ මම හිතන්නේ.. ඒක ටූට්ටක් විතර බව්වෙක්ව ප්‍රවාහනය කරන්න තරම් හොඳ වැඩි :) ඒවා මට අදාල නෑ ඉතිං. මට ඕන නම් මම ලිමොසින් එකක හරි බව්වාව ගේනවා ..
 
ඔන්න ඔහොමයි ක්ලියෝ අපි ලගට ආවේ.. පාරේ ගොම ටිකක් දැක්කත් ඒක කවුරුහරි අයින් කරලා දානකන් ගිරිය පුප්පගෙන ලෝක අවසානේ වගේ විලාප තියපු මම දැන් බව්වගේ මළපහ ඔක්කෝම අස් කරනව .. පූසෙක් වත්තේ හතරමායිමෙන් දිව්වත් ගේ පුරාම air freshner ගහන මම දැන් බව්වව ගේ පුරාම එක්කගෙන යනවා. කොයි වෙලෙත් සබන් සුවදට හිටි මම දැන් බලු ගඳයි .. ( මෑණියැන්දෑ තමයි ගඳයි කියන්නේ, මට නම් බලු සුවඳයී ) උදෙ 5ට නැගිටිනවා.. සාලයෝ කටු අල්ල පුරාම ඇනෙද්දිත් බව්වගේ බත් එක අනනවා ..කවනවා.. කිනිතුල්ලො හොයනවා.. පිනුම් දෙකයි බල්ටි කෝටියයි .. :)
 
ක්ලියෝ හරීම මෝඩයි..මෑණියන් නම් කියන්නේ ඌ මගෙත් එක්ක ආවෙත් ඒ මෝඩකම නිසයි කියලා.. මෝඩයෝ මෝඩයොලු එකට එකතු වෙන්නේ.. කොහොම හරි.. ක්ලියෝට දුර ප්‍රමාන තේරුම් ගන්න බැරි ලෙඩක් තියෙනවා. එයාට අපේ පුංචි ඉඩම පේන්නේ සුගතදාස ස්ටේඩියම් එක වගේද කොහෙද.. කතා කලාම දුවන්න පටන් ගන්නේ පුදුම වේගෙකින්. ඉතිං ඒ එන වේගෙට බ්‍රේක් ගහගන්න බැරි නිසා දඩබඩෝරියන් ගාලා තාප්පේ හැපෙනවා.. ඊලගට එහෙමම වැටිලා ඉන්නවා තෝන්තු වෙලා.. ආයෙමත් පැයට කිලෝමීටර් පන්සීයක විතර වේගෙන් අනිත් පැත්තට දුවනවා.. ඒ පැත්තේ තාප්පේ හැපිලා නවතිනවා.අනේ මන්දා කවදා හැදෙයිද කියලා :/ කෑම බීම අතින් නම් කිසිම කරදරයක් නෑ. කෑම කාල පිගානත් ආයෙ හෝදන්න ඕනි නැතිගානට ලෙවකාලයි නවතින්නේ.
 
බවුවා මගේ කම්මැලි ජීවිතේට වෙනසක් ගෙනාවා. උදේ පාන්දරට බලු කෙල ෂැම්පූ වලින් නෑව්වත්... කකුල් වල තියෙන මඩ ඔක්කොම සාරිය පුරාම ඉලුවත් හිතට කිසිම තරහක් නෝන්නේ ඒ ඌ ආදරය පෙන්නන හැටි කියලා මට තේරෙන නිසයි. මගේ ජීවිතේ පළවෙනි වතාවට, පවුලේ කෙනෙක් ඇරුනම මටම කියලා සින්නක්කර අයිතිය කියන්න පුලුවන් කෙනෙක් ඔය මට ආදරේ කලාමයි.. බවුවා මගේ.. ඌව හම්බෙන්න මට ඇපොයින්ට්මන්ට් ගන්න ඕන නෑ.. ඌ මගෙත් එක්ක ප්‍රසිද්දියේ පෙනී ඉන්න බය නෑ.. ඌ තාම මාව හපාකෑවේ නෑ.. මට පේන්න වෙන වෙන අය එක්ක කොමළ කලේ නෑ.. මට බුරාගෙන පැන්නේ නෑ.. ෆ්ලෝ පොලිශර් එකක් වගේ වලිගේ වන වන කෙළ තප්ප තප්ප ඇගපුරාම පෙරන එක විතරමයි කරන්නේ.. ඒ ඔක්කොම ආදරේ මම ඌට කන්න දෙන එකම එක බත්පත වෙනුවෙන් විතරමයි ...
 
බවුවා මට මුණගැහුනු ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ අතින් ඉහලයි ... :)
 
මෙන්න ක්ලියෝ .. <3


 



දැන් එයාට හොඳ වාසස්ථානයක් තියෙනවා.. මෙ එදා ගෙනා ගමන් නිසයි පත්තර කොළ උඩ ඉන්නේ .. අපි බවුවාව බලන්න මිස ගේන්න නෙමෙයිනේ ගියේ .. ඒකයි :)