බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, March 3, 2013

ජීවිතේ .. උඹට මගෙන් මොනවද ඕන ?

ජී වි ... 

මට තවමත් උඹව තේරුම් ගන්න බෑ .. 
උඹව ජීවත් කරවලා මට මහන්සියි .. 
උඹ වෙනුවෙන් හුස්ම අරං, උඹ වෙනුවෙන් එලඹෙන හැම දවසකම මේ රේස් එක දුවලා මට මහන්සියි ... 
උඹට මොනවද ඕන මගෙන් ...
මට ඒක තේරෙන්නෙම නෑ ...



පොඩි කාලේ හිතුවා උඹට ඕන ශිෂ්‍යත්වේ පාස් වෙන්නයි කියලා .. ඉතිං මම ඒක කලා. ලොකු ඉස්කෝලෙකට ගියා. හිතුවා එතනින් ඉවරයි කියලා.. හිතුවා උඹ සතුටු වේවි කියලා, හිතුවා උඹ සැනසේවි කියලා .. ඒත් නෑ.. උඹ මට තවත් ඉලක්කයක් දුන්නා .. උඹ කිව්ව ඕලෙවල් පාස් වෙයන් කියලා.. නිකනුත් නෙමේ "ඒ" අකුරු පෝළිමක් එක්ක.මට වෙන තෝරාගැනීමක් තිබුනේ නෑ.. මට කරන්න තිබුනු එකම දේ උඹේ ඒ කොන්දේසියටත් යටත් වෙන එකම විතරයි.. ඉතිං මම ඔලුව නැමුවා .. උඹට ඕන දේ දෙන්න මහන්සි උනා මට පුලුවන් උපරිමයෙන්. ඕලෙවල් කලා.. හුස්මක් ගන්න ඉඩක් ලැබුනේ නෑ උඹ ආයෙම ආවා ඒ ලෙවල් ඉලක්කයක් අරගෙන .. මේ අන්තිම වතාව..අයේ කරදර කරන්නේ නෑ.. එහෙමයි උඹ කිව්වේ .. හරියට ඒලෙවල් කරගනින්.. එච්චරයි.. එතනින් එහාට ගොඩ .. මම උඹ කියපු දේ ඇහුවා.. විස්වාස කලා උඹව.. බකමූණියෙක් වගේ රැ එළි වෙනකන් පාඩම් කලා .. ෆිසික්ස් පොත් වල ලියවුනු කවි, එක පෑන් ඉරෙන් කපලා දාලා ඒ ඉඩ නිව්ටන්ට, පයිතගරස්ට දුන්නා .. දේදුන්නේ පාට අමතක කරලා එස්ටර වල කාබනික සංයෝග වල පාට කටපාඩම් කලා .. වෙනදා ලස්සන දැකපු සමනළයගේ අභ්‍යන්තර ව්‍යුහය හොයන්න ගිහින් ඒ දැකපු ලස්සන ආයේ දකින්න බැරි උනා ... 
අවුරුදු තුනක් නෙමේ..අවුරුදු පහක්ම .. ඒලෙවල් හීනයේ මම උඹ නිසා හිටියා.

අවුරුදු පහක්ම උත්සාහ කලත් ඒලෙවල් වලට උඹ දුන්නු ඉලක්කෙට මට යන්න බැරි උනා .. දොස්තර නලාව උඹට අරං දෙන්න මට බැරි උනා.උඹ මට බැන්නා, මාව නොමරා මැරුවා .. ඒත් උඹ කැමති උනේම නෑ මාව දාල යන්න ..ඇහුවා නේද මම උඹෙන් මාව දාල යනවද කියලා ?? ඇහුවා නේද මම .. ඒත් උඹ ගියෙ නෑ.. උඹට ඕන උනේ තවත් මාව මඩවන්න .. උඹේ ඉලක්කෙට මට උඹව ගෙනියන්න බැරි උන නිසා මමත් කර බාගෙන හිටියා .. පළවෙනි තෑග්ග නොලැබුනාම උඹ ඊලගට ඉල්ලුව සැනසිලි තෑග්ගක් .. මොකක් හරි උපාධියක් .. ඒකයි උඹේ ඊලග ඉල්ලීම .. ඒ වතාවේ මම දෙපාරක් නොහිතම උඹ ඉල්ලපු දේ දෙන්න හිතාගත්තා .. මොකද මම ඒ වෙද්දි උඹව අන්ත කුජීත විදිහට චාටර් කරලා තිබුනු නිසා, මම ඒලෙවල් ඇන ගත්තට උඹට ලෝකෙ රටේ හැමෝම හිනා උන නිසා.. මම මගේ උපරිමය මහන්සි උනා උඹට උපාධිය අරං දෙන්න.. එක උපාධියක් නෙමේ දෙකක්ම මම උඹට අරං දුන්නා.. 

උඹට දුක හිතුනද මම උන මහන්සිය දැකලා ?? 
ඒකද උඹ මට සතුටක් හිනාවක් ගෙනත් දෙන්න උත්සාහ කලේ ?? 
ඒකද උඹ එයාව මගේ ජීවිතේට ගෙනාවෙ ?? 
උඹට මම ගැන දුක හිතුන නිසාද .. ?? 
හිනාවක්, සතුටක්,ආදරය්ක් නොදැක්ක .. පොතින් තොර ලෝකයක් නොදැක්ක .. රොබෝවෙක් වෙලා හිටි මම ගැන දුක හිතිලද උඹ එයාව මගේ කථාවට ඇද ගත්තේ.. උඹට ඕන උනාද මට උඹව විඳින හැටි පෙන්නන්න.. විඳවපු උඹව විඳින හැටි එයා ලවා පෙන්නන්නද උඹට ඕන උනේ ...

ඇත්ත.. මට අදටත් උඹට බනින්න බැරි ඒ හේතුව නිසා. උඹ මට පෙන්නුවා මම උඹව ජීවත් කරන්න ඕන ඇයි කියලා. උඹ මට පෙන්නුව උඹව විඳින හැටි .. එයා මම හරහා උඹව ජීවත් කෙරෙව්වා, උඹව සතුටින් තිබ්බා.. එයා මට ඔප්පු කලා උඹ එක්ක ඉන්න එක අමාරු නෑ කියලා, උඹ එක්ක යාලු උනොත් දැනෙන සතුට එයා මට පෙන්නුවා.. මම උඹට ආදරේ කලා, උඹ මගෙත් එක්ක ඉන්න එක ගැන මම සතුටු උනා, උඹට යන්න නොදීපු එක ගැන මම පට්ට සතුටු උනා ...




ඒ එයා ඉන්නකන් ...

උඹ එයාව මගෙන් උදුර ගත්තා.. උඹම පෙන්නපු සතුට උඹම ආයේ ගත්තා.. මගෙන් ඇහුවෙවත් නැතුව, මට කියන්නෙවත් නැතුව.. උඹම මට පුරුදු කල රටාවකින් උඹම මාව පයින් ගහලා විසී කලා .. උඹම මට පෙන්නපු හීනෙකින් උඹම මාව කොනිත්තලා ඇහැරෙව්වා .. එයාව එක්කගෙන එද්දි තිබුනු ආදරය අනුකම්පාව එයාව ආයේ උදුරගනිද්දි උඹ ලග ගෑවිලාවත් තිබුනේ නෑ.. උඹ හරියට ප්‍රයිවට් බස් කොන්දොස්තර කෙනෙක් වගේ ආදරෙන් මාව ඒ හීනේ ඇතුලට කැන්දගෙන ඇවිත් ඊටපස්සේ කනෙන් ඇදලා එළියට විසි කලා .. මොනව උනාද  කියලා හිතාගන්නවත් මට වෙලාවක් නොදී ..උඹ හිනා උනා මට .. උඹ කෑ ගහලා කිව්ව මට, "පුලුවන් නම් ඔප්පු කරපන් පැවැත්ම .. මම උදුරගත්තා සබ්බ සකල මනාවම .. ඔන්න පුලුවන් නම් පැවතිලා පෙන්නපන් "... උඹ එහෙම කිව්වා.. මම ඔලුව උස්සන්න හදන වාරයක් වාරයක් ගානේ උඹ මට පයින් ගැහුවා.. මට හිනා උනා .. උඹ ලේසි කලේ නෑ මට කිසිම දෙයක් .. උඹ එයත් එක්ක එකතු වෙලා මට හිනා උනා, මට නින්දා කලා, අපහාස කලා ...

මට ඕන උනා උඹෙන් වෙන් වෙන්න.. 
උඹව එලවලා දන්න.. 
මම උත්සාහ කලා උඹෙන් මිදෙන්න.. 
මම දන්න විදි දෙක තුනකින්ම.. 
ඒත් උඹ මුරන්ඩුයි.. උඹ ශක්තිමත් ... එක්කෝ මම දුර්වලයි .. 
මොන හේතුවෙන් හරි උඹ මාව දාල ගියේ නෑ.. ගියේම නෑ ..




ජීව්තය ...

මට මහන්සියි ..

මට උඹ වෙනුවෙන් හුස්ම අරං මහන්සි.. 
උඹ වෙනුවෙන් කාලා මහන්සියි.. 
උඹ වෙනුවෙන් ඇවිදලා මහන්සියි.. 
උඹට ඕන දේ දෙන්න උත්සාහ කරලා මට මහන්සියි ..
මට උඹ වෙනුවෙන් ලෝකෙට පේන්න හිනා වෙලා මහන්සියි.
මට උඹේ බලාපොරොත්තු ජීවත් කරවලා මහන්සියි ..
මට උඹේ හීන ඔලුවේ තියන් ඉඳලා මහන්සි ...
මට උඹ වෙනුවෙන් බලලා මහන්සියි, අහලා මහන්සියි, විඳලා මහන්සියි .. !!

උඹ මට කිසිම දෙයක් ලේසි කලේ නෑ.. උඹ ලස්සනයි කියලා මම මගේම හිතට ඒත්තු ගන්නන්න හදන හැම වෙලාවෙම උඹ ඒ ඔක්කොම කඩා බිදලා දානවා.. මම මගේ හීන මාළිගාව වැලි ගොඩේ හදන්න හදනකොටම උඹ මහා රැල්ලක් එවලා ඒක කුඩු පට්ටම් කරලා දානවා .. මම උඹ නිසා එක මිනිත්තුවක් හිනා උනොත් උඹ ඒ හිලව්වට මාව අවුරුද්දක් අඩවනවා ... මම උඹට උපාධිය දුන්නා.. මම උඹට හොද උසස් වැදගත් රස්සවක් අරං දුන්නා .. උඹට තව මොනවද මගෙන් ඕන ..

මම හුස්ම ගන්න බෑ කියද්දි කියද්දිත් උඹ පෙනහලු ක්‍රියා කරවනවා.. 
ඒ තාලෙට හදවත ගැහෙනවා .. 
ඉතිං මොලේ වැඩ කරනවා ... 

            එතකොට මට දැනෙනවා .. 
                              මට රිදෙනවා .. 

උඹ ඒ දිහා බලාගෙන හිනා වෙනවා ...
උඹ විඳිනවා මගේ විඳවීම ...




                                ජී වි ... 

උඹට මගෙන් මොනවද ඕන ??
උඹ මාව අතෑරලා යනව නම් ..
අනේ ඇත්තමයි ..
මම උඹට ඉල්ලන ඕනම දෙයක් දෙයක් දෙනවා ..
මම පල්ලා ... !!