බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, January 24, 2013

එකළු කළ මැන .. මහද ... සෙ නෙ හ සි න් !!






ඇත්ත ..
 ඔයා ඉර නෙමේ ලෝකයක් එළි කරන ...
ඔයා පොඩි තරුවක්..
පුංචිම පුංචි තරුවක්, ඈත අහසේ පේන නොපෙනෙන ...
ඇයි නොතේරෙන්නේ..
මම බය බව ඉරට ..
ඒ එළි‍යට .. ඒ රස්නෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ඉර නොවන බව ..
මට ඕන තරු එළිය විතරමයි ..
මොකද මගේ අමාවක අහසට, ඉරෙන්වත් හඳෙන්වත් වැඩක් නෑ..
පොඩි තරුවකින් විතරමයි ඒ අහස එළිය කරන්න පුලුවන් ... !!

ඇත්ත .. ඔයා මහා ගංගාවක් නෙමෙයි ..
හෝ ගාගෙන ගලන, දහක් දෙනාගේ පිපාසය නිවන ..
ඔයා පොඩි දිය පාරක් ..
පුංචිම පුංචි දිය පාරක්, ගල් කුලු තොගේකින් වැහුන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව ගඟට ..
ඒ සැඩ පාරට .. ඒ සද්දෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ගඟ නොවන බව ..
මට ඕන දිය පාර විතරමයි ..
මොකද පීනන්න බැරි මට ගඟෙන් වැඩක් නෑ ..
පොඩි දිය පාරකට විතරමයි මගේ තිබහ නිවන්න පුලුවන් .. !!

ඇත්ත .. ඔයා රජ කුමාරයෙක් නෙමෙයි ..
රන් කාසි පොදි ගනන් තියෙන, අශ්වයා පිටේ යන ..
ඔයා පොඩි සාමාන්‍ය මනුස්සයෙක් ..
පුංචිම පුංචි මනුස්සයෙක් පොලවේ පය ගහලා ජීවත් වෙන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව කුමාරයන්ට ..
ඒ මාන්නයට, ඒ ලොකු කමට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන කුමාරයෙක් නොවන බව ..
මට ඕන ඔයාව විතරමයි ..
මොකද රන් කාසි පොදි ගනන් තියෙන මට තවත් වස්තුව වැඩක් නෑ ..
ඔයාට විතරමයි මගේ හදවතට ආදරේ දෙන්න පුලුවන් .. !!

මේ කුමාරිට නැති එකම දේ එච්චරයි .... !!!




video



Saturday, January 5, 2013

අනියම් කවිය .. !!


එක බවුන්ඩ්‍රියක් ගැහුවේ නැති
මේන් බැට්ස්මන්ට
සපෝර්ට් එකට දිවුවේ 
මම ....
මුලු මැච් එක පුරාම ...

දැන් මේ
පැවිලියන් එකේ ඉඳන්
කකුලේ තෙල් ගාන ගමන්
බලාන ඉන්නවා
මේන් බැට්ස්මන්ව
බදාගන්න හැටි කට්ටිය ..

< මෑන් ඔෆ් ද මැච්ලු එයා >
 

Wednesday, January 2, 2013

ජනේරු එක ...

හ්ම්ම්.. අද ජනේරු දෙක ... දවසක් පරක්කු වෙලා උනත් හිතුනා ජනේරු එක ගැන ලියන්න... 

ජීවිතෙත් එක්ක ජනේරු එක වෙනස් උන හැටි සහ අද මට දැනෙන හැටි ගැන පුංචි සටහනක් ... 



මතක ඇති ඈතම අතීතයේ ඒ කිව්වේ ළදරු පාසල් යන කාලේ, ජනේරු එක ගැන තිබුනු එකම වැදගත්කම අලුත් ගවුමක් ලැබෙන එකයි උදෙන්ම කිරිබත් ලැබෙන එකයි විතරයි .. ඊට පස්සේ එක වසර දෙක වසර කාලේ ඉඳන් පහ වසරට විතර වෙනකන් ජනේරු එක ඉස්කෝලේ පළවෙනි දවස විදියට තමයි වැදගත් උනේ.. අලුත් පොත් අරගෙන, නිල ඇඳුමේ ඉඳලා පැන්සල වෙනකන් අලුතෙන් අරගෙන පුදුම සන්තෝසෙකින් ඉස්කෝලෙට දිව්වා මතකයි ඒ කාලේ .. ඊට පස්සේ වසරින් වසර ඉස්කෝලේ ඉහල පන්ති වලට යද්දි, පොඩි කාලේ තිබුනු සරල ළදරු සන්තෝසේ හිමි හිමීට යන්න ගියා.. පොඩි පොඩි ප්‍රශ්න ජනේරු එක හිනාව ආක්‍රමය කලා.. අලුත් පාසැල් වාරේ පන්ති බෙදද්දි පරණ යාලුවන්වම ලැබෙයිද, පන්ති බාර ටීච කවුරු වේවිද.. ඔය විදියට පටන් ගත්තු ප්‍රශ්න සාමන්‍ය පෙළ උසස් පෙළ වෙද්දි කප්පරක් උසට ගොඩ ගැහිලා තිබුනා .. විභාග වල බර වැඩි වෙද්දි ජනේරු එක හිනාව සදහටම මැකිලා ගියා .. පුංචි කාලේ නොතිබුනු ආත්මාර්ථයක් ලොකු වෙද්දි හිතට ආවා වෙන්න පුලුවන්.. ඒ නිසයි පන්ති බෙදද්දි පරණ යාලුවොම ඕන කියලා හිත කැරළි ගැහුවේ.. පුංචි කාලේ ජනේරු එක වගේ ඕනම කෙනෙක් එක්ක හිනා වෙලා කෑමපත බෙදාගන්න හිත, ලොකු වෙද්දි නැති උනා නේද කියලා හිතෙද්දි හිත පුරාවට දුවන්නේ හීනි දුකක්. එක එක්කෙනාට ලැබුනු අච්චු පොත් වල අලුත් බව සංසන්දනය කරන්න, ගෙනා අලුත් වතුර බෝතල් වල ගණන් වැඩි එක මොකද්ද බලන්න, නෝට් පොතේ බ්‍රෑන්ඩ් එක මොකද්ද බලන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම ජනේරු එක ගෙනාවේ හිත් රිදිම් සහ බලාපොරොත්තු කඩවීම් ගොන්නක් විතරයි .. වඩා හොඳ මොකද්ද කියලා නොසොයපු පුංචි කාලේ හිත කොහේ ලෝකේ හැංගුනාද කියලා අදටත් හිතා ගන්න බෑ.

පාසල් කාලේ ඉවර වෙලා විශ්ව විද්‍යාලයට ඇතුලු උනාම ආයෙම ජනේරු එක අලුත් විදියකට ජීවිතයට ආවා .. පොතේ අලුත් බව, සපත්තුවේ මෝස්තරය මත්තේ නැහුනු කාලේ ඉවර වෙලා අලුත් සතුටකින් අලුත් අවුරුද්ද පිළිගන්න කාලයක් ආයෙම උදා උනා .. හැම අවුරුද්දෙම ඉගෙන ගන්න අලුත් දෙයක්, හිටපු යාලුවො නැති වෙයි කියලා බයක් නෑ, පුදුම නිදහසක්, ඒ හැම දේමත් එක්ක දිග නිවාඩුවකට පස්සේ ජනේරු එක ලස්සනට ඇඳගෙන ඉගෙන ගන්න තැනට දිව්වේ පුදුම ආසාවකින්... බලන්න බලාගෙන ඉන්න මූණ දකින්න.. එකට ඉඳගෙන කන්න... ආදර බලාපොරොත්තු ... යාලුවො එක්ක විකාර කරන්න ඒ හැම දේටම ඉඩ දෙන පළවෙනි දවස විදියට ජනේරු එකට ජීවිතේ තිබුනේ පුදුම ලොකු තැනක්...




විශ්වවිද්‍යාලේ ඇතුලෙදි, ඒ අවුරුදු හතරෙදි ජීවිතයට උනු වෙනස්කම් පස්සේ පස්සේ උදා උනු ජනේරු එකට බලපෑවා.. ජනේරු එකේ සතුටක් දකින්නම බැරි වෙන්න.. මුලු අවුරුද්ද පුරාවටම එක දිගට කඳූලු ඇල්ල කඩා වැටුනු කාලයක් ජීවිතේට ආවා. කැලැන්ඩරේ දින ගැන කිසිම හැඟීමක් නැතුව, එළි වෙන රෑ වෙන එක ගැන වගේ වගක් නැතුව ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන නැවතීමකට ජීවිතේ ආවා. හීන නැති, බලාපොරොත්තු නැති, එල්ලයක් මාවතක් නැති ඔහේ ඉන්නෙක් බවට පත් උනු ජීවිතේට ජනේරු එක ඇවිත් ගියාවත් තේරුනේ නෑ. ජනේරු එක ඇඩුවා.. දෙසැම්බර් තිස් එක වෙනකන් එක දිගට ඇඩුවා ..




ඊයේ ආයෙත් ජනේරු එක ආවා ..
මට හීන නෑ, බලාපොරොත්තු නෑ, ලබා ගන්න දෙයක් නෑ, කොටින්ම හිතේ කිසිම හැඟීමක් දැනීමක් නෑ..

                                     හැබැයි මම ඇඩුවෙත් නෑ ..

හොටු පෙරාගෙන කඳුලු පුරෝගෙන වැලපෙන්නේ නැතුව ජනේරු එක එන දිහා මම බලාගෙන හිටියා ..
මිනිස්සු රතිඤ්ඤා පත්තු කරන දිහා, පාටි දාන දිහා, එකිනෙකාට සුභ පතා ගන්නා දිහා බලාගෙන හිටියා ..
මිනිස්සු ජීවත් වෙන දිහා, මිනිස්සුන්ගේ ජීවිතේට ජනේරු එක දැනෙන විදිය දිහා මම බලාගෙන හිටියා ..

ජීව්තය සරසපු හැමෝටම වගේම ජීවිතය අසීරු කරපු හැමෝටමත් පිං..
හැම දෙයින්ම, හැම මොහොතින්ම මම දෙයක් ඉගෙන ගත්තා ..
රෑ වැටුනු වලේ දවල් නොවැටෙයි කියලා ස්ථීරෙටම කියන්න බැරි උනත්, දවල් වැටුනොත් වැටෙන්නේ වලක් බව දැනගෙනයි මින් පස්සේ ...




හිනා නොවුනත් මම අඩන්නෙත් නෑ ..

ලබන ජනේරු එක වෙනකන් ...

එළි වෙන හැම අලුත් දවසකට මගේ ඇස් ඇරෙනතාක් කල් .. 

අනිච්චානුගව සිද්ධ වෙන හුස්ම නවතිනතාක් කල්.. 


          එලඹෙන හැම ජනේරු එක දිහාම මම බලාගෙන ඉන්නවා .. 
                                  ඇස් වල කඳුලු නැතුව .. 

                                   මොකද කඳුලු පිරුනම..
                           කිසි දෙයක් හරියට බලා ගන්න බෑ ...





සිංහල දෙමළ අපේ අවුරුද්දට තව කල් තියෙනවනේ ..
මේ ලැබුවා වූ කැලැන්ඩර් අවුරුද්දේ බාඳුරා අසපුවට ගොඩ වැදෙන හැමදෙනාගේම හිත් වල තියෙන හැම හොඳ බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ..

තෙරුවන් සරණයි .. :)