බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, December 29, 2011

~ කඳුලින් ඇරඹි ... කඳුලින්ම නිමා වන ... 2011 ~

චාරිකා සටහන් ලියවිල්ල පොඩ්ඩක් කල් තියලා 2011 මගේ ජීවිතය ගැන ආයෙම හැරිලා බලන්න හිතුනා ... අද මගේ නීතිපීඨ අවසන් වසරේ නිබන්ධනයේ අන්තිම දවස... ඒත් මම ඒ නිබන්ධනය භාර දුන්නේ නෑ... තවත් අවුරුද්දකින් උපාධිය දිග වීමේ සතුට සමරන්න... එන්න මාව අඩවපු හැමෝම .... :)

2011... මගේ අවුරුදු 26ක ජීවිත කාලේට මම අත්වින්ද නරකම අවුරුද්ද... නාඩපු දවසක් නැති තරම් .... සතුටින් හිටි එක මොහොතක් නැති තරම්.... ඇතුලින් ලේ කඳුලු කර කර ලෝකෙට පේන්න හිනා වෙන්න මුලු ශක්තියම කැප කල අවුරුද්දක් ... කිසිම දෙයක් නොකල..කිසිම ජයක් නොලබපු... කිසිල දෙයක් සම්පූර්ණ නොකරපු... අසම්පූර්ණ අවුරුද්දක් ....




මම ....
කවදාවත් කාටවත් හිතා මතා දුකක් දුන්නු කෙනෙක් නෙමෙයි ... හැමදාමත් මිනිස්සුන්ට දෙන්නේ මොනවද කියලා මිස මිනිස්සුන්ගෙන් ගන්නේ මොනවද කියලා හිතපු කෙනෙකුත් නෙමෙයි.මට ඕනි උනේ දෙන්න..මගේ ලග තියෙන හැමදේම ... වෙලාව .. මහන්සිය..සතුට.. හිනාව.. හැමදේම ... මිනිස්සුත් ඒ හැමදේම ගත්තා... දෙන්න දෙන්න,පුදුම සතුටකින් ගත්තා... මම කවදාවත් ඒ දුන්නු දේවල් වලට ආපිට මුකුත් බලාපොරොත්තු නොවුනත්, මම හිතුවේ නෑ ඒ දුන්නු දේවල් නිසා මට විඳවන්න වෙයි කියලා.

ලෝකයෙන් බැනුම් අහගෙන ... දෙමාපියන්ගෙන් බැනුම් අහගෙන ... ළගට ගත්තු මිනිස්සුම ... මට දාහක් කථා කියලා..නින්දා කරන්න පුලුවන් හැම විදියෙන්ම නින්දා කරලා... යන්න ගියා..අද වෙනකන් තමුන් කල කිසිම දෙයක වැරැද්දක් නොදැක... මගේම වැරදි කිය කිය..මටම බනින්න තරම් මම ලගට ගත්තු මිනිස්සු දරුණු වෙලා ...

මේ අවුරුද්ද පටන් ගත්තේ කඳුලින්... අවුරුද්ද පුරාවටම ඒ කඳුලු ඇල්ල එක සීරුවට කඩාගෙන වැටුනා.. එදා අඩන්න හදනකොට කඳුලු පිහිදන්න ලඟින් හිටි උදවියම අඩපන් අඩපන් කියලා අවුරුද්ද පුරාවටම ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා... අඩන්න කඳුලු නැති උන තැන ඇස් කෙවෙනි වලින් ගැලුව ලේ බින්දු කාලයක් මම ආදරය කල අයම රිදී කුසලාන වලට එකතු කරගෙන මධු සාද පැවැත්තුවා...

මම දිගටම ඇඩුවා ...



2011... ශ්‍රිලංකා තොරතුරු තාක්ෂන ආයතනයේ උපාධිය ලබා ගත්තු අවුරුද්ද... මගේ ජීවිතේ තිබුනු ලොකුම ලොකු හීනයක් ඉටු කරගන්න මම මග බලාගෙන හිටි අවස්ථාවක්... ඒ හීනය වෙනුවෙන් මම ගොඩක් දේ පරිත්‍යාග කලා..කාතවත් හිතාගන්න බැරිතරම්..කවුරුත් නොදන්න තරම් ගොඩක් දේ...

ඔව්...

මට උපාධිය ලැබුනා... උපාධි ලෝගුව දාල උපාධි තොප්පිය දාල අත්පුඩි හඩ මැද උපාධි සහතිකේ මට ලැබුනා..

ඒත් ...

මගේ හීනය..

අවුරුදු තුනක් පුරාවට මම ඉටුකරගන්න බලාගෙන හිටි හීනය..මගේ හැමදෙයක්ම මම කැප කල හීනය කෑලි කෑලි වලට කැඩිලා සරසවි බිම පුරාම විසිරිලා තිබුනා... හරිම අහිංසක හීනයක් එදා ඒ බිමේදි මැරිලා ගියා...

මිනිස්සුන්ගේ ජීවිත වල මගේ චරිතය එක එක විදියෙන් අරුත්ගන්වන හැටි මම බලාගෙන හිටියා... කාලයt එක්ක මගේ චරිතය තමුසයෙක්,එක එකෙක්, කොහෙවත් යන එකෙක් වෙන හැටි මම බලාගෙන හිටියා... කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ආපු සුලි කුනාටු මගේ පුංචි ඔරුව කෑලි කෑලි වලට කඩන හැටි මම නිසොල්මනේ බලාගෙන හිටියා... කැඩුනු සුන් බුන් උනු ඔරු බඳේ එල්ලිල පණගැට ගහගන්න හදනකොට.. කුඩු පට්ටම් උනු ලී කෑල්ල අල්ලගෙන හිටි ඇඟිලි වලින් ලේ එනකන් පයින් ගහන්න මිනිස්සු පෙළඹුනා... සතුටු උනා ඒ හැමෝම ... මම ඒ හැමෝටම ආතල් දෙන කවටයෙක් උනා...

විභාග වලට මූන දුන්නා.. ඒත් .. කවදාවත් විභාගයක් ෆේල් නොවුනු වාසනා ඒ වෙනකොට මැරිලා... එක පිට එක අසමත් ලකුණත් එක්ක ප්‍රථිපල සටහන් එද්දි මම හිනා උනා.. සතුටු හිතුනා මිනිස්සුන්ට ඕන උනු දේ මම දුන්න කියලා හිතලා... නෑ..ඒත් මදි..තවත් මදි ... මම ජීවත් වෙලා ඉන්නකන් ඒ මිනිස්සුන්ට සතුටක් නෑ..කවද හරි මම නිදියන හතර රියන උඩ සාදයක් පවත්වන්න පුලුවන් උනු දාට ඒ මිනිස්සුන්ට සතුටක් දැනෙයි.. දුක් වෙන්න දෙයක් නෑ..ඒ දවසත් වැඩි දුර නෑ ... :)

මම ආදරය කලා.. ජීවිත කාලයේ කල ඒ එකම වරදට නොසෑහෙන්න දුක් වින්දා... ගොඩක් දේ අහගත්තා.. ගොඩක් දේ දැක්කා.. ගොඩක් දේ වින්දා... මම මාව තේරුම් ගනී කියලා හිතපු අයට, මට අනුකම්පා කරන්න කියලා, පිට මිනිස්සුන්ට කියන්න වෙන තරමට අනුකම්පා සහගත පහත් අඩියකට මාව වැටුනා ...

කොහොම හරි.. ලබන්නේ අලුත් අවුරුද්දක්... මට හීන නෑ..බලාපොරොත්තු නෑ..ඉෂ්ට කරගන්න ආසාවල් නෑ..කොටින්ම මම නරුමයෙක්..ඇවිදින රොබෝවෙක්... කිසිම පලකට නැති..කිසිම තේරුමක් නැති..පාවෙන ජීවිතයක් ... ලබන අවුරුද්ද මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන අවුරුද්දක්. තවමත් ඒ වෙනස් වෙන්නේ කොහොමද කවදද කියන එක ගැන මම දන්නේ නෑ...ඒ මගේ ජීවිතේ තවදුරටත් මට අයිති නැති නිසා.. මම මගේ ජීවිතේ ජීවත් වෙන්න උත්සාහ කලා.. මට වැරදුනා.. ඒ නිසා මම මගේ ජීවිතේ සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට සහ ලෝකයට පැවරුව... කැමති දෙනෙක් කැමති දෙයක් කරගත්තාවේ... මට තවදුරටත් මුකුත් දැනෙන්නේ නෑ ...




වාසනා ව දැනගෙන හිටි අය මේ බ්ලොග් එක කියවනව ඇති.. ආයේ අපි කවදම හරි හම්බු උනොත් ඔයාල දැකල පුරුදු..ඔයාල කථා කරල පුරුදු වාසනාව දකින්න හිතන්න එපා... එයා නෑ..එයා ආයෙම එන්නෙත් නෑ... 2011ත් එක්ක ඒ වාසනා වැලලිලා.. අලුත් වාසනාව ඔයාල අදුරන එකක් නෑ..මෙයා ගොඩක් වෙනස්..කාටවත් උදව්වක් කරන්නේ නැති..කාගෙවත් ගැන බලන්නේ නැති..හිනාවක් අඳුරන්නේ නැති... ඇවිදින මලමිනියක් විතරයි...

තේරුමක් ඇති පෝස්ට් එකක් නෙමෙයි..දන්නවා මගේ යාලුවෝ හැමෝම මට මේකට බනිනවා කියලා..අසමාවෙන්න.. මට ඉවසගෙන ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා... නැති වෙන්න දෙයක් තවත් මට නෑ :)

මේ බ්ලොග් එක පටන් ගනිද්දිම මට මිනිස්සු බැන්නා..මම ලියන්නේ වල් පල් කිව්වා.. කිසිම තේරුමක් නැති දේවල් කිව්ව.. තේරුමක් නැති වල් පල් කියවන්නත් මිනිස්සු ඉන්නවා කිව්වා... මම පාලු ගෙවල් වල වලං බිඳිනවා කිව්වා.. මම බ්ලොග් එකක් ලියාගෙන අනුකම්පාව හොය හොය ඇවිදිනවා කිව්වා... මම වාචාලයෙක් කිව්වා.. උගත් වැදග්ත් පිරිමි සහ ගැහැනු තැන තැන කියව කියව යන්නේ නෑ කිව්ව.. මම චාරයක් නැති වැල්ලේ කෙල්ලෙක් නිසා කිව්ව මේ විදියට කථා ලිය ලිය අනුකම්පාව ඉල්ලන්නේ ... මම රගපානවා කිව්වා.. මම කරන්නේ අනුකම්පාව අයදින්න නාට්‍යක් රගපාන එක කිව්වා.. මම හොඳ මිනිස්සුන්ට කථා හදනවා කිව්වා... මම මගේ අයත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ට මඩ ගහනවා කිව්වා


මහ ගොඩක් දේ කිව්වා....
තවත් කියයි ....

වෙන්න ඇති..
මට චාරයක් නැතුව ඇති.. 
මට හැදියාවක් නැතුව ඇති.. 
ඒත් මේ මම... 
මම මම මිස ඇය හෝ ඔබ නෙමෙයි ... !!



කවදාවත් අනුකම්පාව යදින්න මම කථ ලිව්වේ නෑ..අනුකම්පා කරන එක නොකරන එක මිනිස්සු සතු අයිතියක්..මට පුලුවන් නම් කථාවකින් මිනිස්සුන්ගේ අනුකම්පාව යදින්න...විශේශයෙන්ම බොරු කතාවකින්.. පාලු ගෙවල් වල වලං බිඳීමකින්... මම ශ්‍රේෂ්ට ලේඛිකාවක් වෙන්න ඕන ;) ඇයි මට පාලු ගෙවල් වල වලං බිඳින්න ඉඩ දෙන්නේ ? ඒ ගෙදරට ඇවිත් පාලු නැති කරන්න හැමෝම... මම පැනල යන්නේ නෑ..මම හැන්ගෙන්නෙත් නෑ... ලෝකයක් ඉස්සර උනත් මගේ කථාව කියන්න පුලුවන් මට..

 ඒ මම වාචාල නිසා ;)

2011 පුරාවට මගෙන් කොහොමද කියලා අහපු මගේ හැම යාලුවෙකුටම මම කිව්වෙ මම ජීවත් වෙනවා කියලා..ඔව් මම ජීවත් උනා... රුවල් ඉරී ගිය මගේම නෞකාවේ ඉරුනු රුවල් රෙදි දවටගෙන... දෝතට එක් කල වැසි දිය බිබී මම ජීවත් උනා... 2011 මට එක දෙයක් ඉගැන්නුවා..කවමදාව්ත් කිසිම කෙනෙක්ව විස්වාස කරන්න නරකයි... හැම දෙනාම ඉන්නේ තමන්ගේ වාසියට විතරයි..කවුරුත් කවදාවත් අනිත් කෙනෙක් ගැන හිතන්නේ නෑ..අවස්ථාව ලැබුනු ගමන් ඒ වෙනකන් තමුන්ගේ දුක සැප හොයපු..තමන් වෙනුවෙන් මහන්සි උනු අයගේ හුස්ම උඩින් තමන්ගේ මග හදාගන්නයි හැමෝගෙම උත්සාහය.. ( සමාවෙන්න එහෙම අදහස් නැති අය..නමුත්.මුලු මිනිස් ලෝකය ගැනම මට තියෙන්නේ අප්පිරියාවක් විතරයි ).

2011 වගේ අවුරුද්දක් ආයෙම මගේ ජීවිතයට නොඑන්නයි මගේ ප්‍රාර්ථනය... ජීවිතය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි.. සතුටක් දීලා කොන්ත්‍රාත් කාලේ ඉවර උනාම ඒක ආයේ උදුරගන්න පුලුවන් විදියේ ගනුදෙනුවක් නෙමෙයි ජීවිතය කියන්නේ... හැමදෙයකම පිලිවෙලක් තියෙනවා.. ලගට ගන්න වගේම අතහරින... සම්බන්ධකම් ඇති කරගන්න වගේම නැති කරගන්නත් පිලිවෙලක් තියෙනවා... හිතුමතේට සෙල්ලම් කරන්න තරම් ජීවිතයක් සියුම් වැඩී.. සමනල් පිහාට්ටක් වගේ ... පරිස්සමෙන් හැඩ බැලුවේ නැත්තම් ඒ පිහාටු වලට ආයෙම කවමදාවත් පියාඹින්න බෑ .... මගේ ජීවිතය ජීවිතයක් විදියට මම ආදරය කල අය මගෙත් එක්ක හිටි අය දැක්කේ නෑ.. මගේ ජීවිතය හැමෝටම වැඩ පහසු කරවන යන්ත්‍රයක් විතරයි..හැඟීමක් දැනීමක් නැති..නිකන්ම නිකන් යකඩ ගොඩක් :) මට දැනගන්න ඕන මට වැරදුනේ කොතනද කියලා..මේ තරම් අඩන්න මම කල වැරැද්ද මොකද්ද කියලා.. කොටින්ම ඇයි මට මෙහෙම උනේ කියලා ... මට ඕනි වැරදි හදාගන්න..ආයෙම 2011කට මුහුන දෙන්න මගේ ඉරිතැලුනු ආත්මයට පුලුවන්කමක් නෑ..ඒ නිසයි මට වැරදි හදාගන්න ඕන..

ඒත්...

මට මගේ වැරැද්ද අද වෙනතුරුත් හොයා ගන්න බෑ ... !!

මම අඩන්න ඕනි කෙනෙක්ද?               
මම විදවන්න ඕනි කෙනෙක්ද?
ඕනි නම් ..ඒ ඇයි .. ?
මොකද්ද මම කල වරද..?
ප්‍රශ්නයක් ... !!


~ චාරිකා - දෙවෙනි කොටස ~

චාරිකා - පළවෙනි කොටස සුපුරුදු පරිදි මූණු පොතේ පලකරන්න බැරි උනා.. ඒ link එක share උනේම නෑ.. වරද කොතනද කියලා මට හොයා ගන්නත් බැරි උනා... කොහොම හරි..මූණු පොතේ මග කියන්නෙත් නැතුව ඇවිත් මගේ චාරිකාව ගැන කියවපු හැමෝටම ස්තූතියි.

මාතර ඉදන් තැඹිලි බීපු තැනින්නේ  කථාව නැවැත්තුවේ...අද එතන ඉදන්... 




මාතර පාර දිගේම පොඩි පොඩි කෑම අයිටම් තියෙනව විකුනන්න... මගේ හිත ගියේ පැළ මද වලට (පැළ මද කියන්නේ මොනවද කියලා නොදන්න ඇත්තෝ ඉන්නව නම් කොමෙන්ට් කොරන්ට...) පාර අයිනේ තියෙන නොවැසූ අහාර අනුභවය පිලිබදව මෑණියැන්දෑගේ අධික නොකැමැත්ත පියානන්දෑට කන්කෙදිරි ගෑමෙන් අතික්‍රමය කල මම අත් පිරෙන්න පැළ මද බෑග් ගොඩක් ගත්තා.. ආයෙම දවාලට කන්න තංගල්ල තානායමෙන් නවත්තනකන්ම හව් හව් ගාල පැළ මද හපන එක තමයි මගේ රාජකාරිය උනේ.

තංගල්ල තානායම අපේ සුපුරුදු නැවතුම් පොළක්. වෙනදා වැඩි සද්දයක් බද්දය නැති උනත් එදා නම් සූ ගාල සෙනග හිටියා... නිවාඩු කාලෙනෙ :) 

දැන් ඔන්න අපේ රට ගිය ඇත්තන්ට පපුවේ අමාරුව සෑදවීමේ අති පවිත්‍ර වූ අභිලාෂයෙන් මම කියන්නම් අපේ දවල් කෑම ලැයිස්තුව ;)
  • සම්බා හාල් බත්
  • මිරිස් පරිප්පු(ඉඟුරු,මිරිස් සහ කරපිංචා යහමින් දාපු තෙම්පරාදුවක්)
  • වට්ටක්කා උයලා
  • ගොටුකොල මැල්ලුම්(උම්බලකඩ හෝ ගාල )
  • කරවිල වේලල තෙල් දාල
  • කෙලවල්ලෝ මාලු උයලා
  • බෝංචි
  • මිරිස් සහ කරවල එකට දාල බැදලා
  • ඉස්සො ඩෙවල්
  • තඩි කකුලුවො තුන්දෙනෙක්
  • පොල් සම්බෝල(පොල් කුඩු නෙමේ.. ඇත්තම පොල්)
  • කිරි හොදි
ඉතිං හෙටක් නෑ කියලා අපිත් කෑවා... හැන්දෙන්, ගෑරුප්පුවෙන් විතරක් නෙමෙයි දකුනතින් වමතින් හිටන් කෑවා... කකුලුවො කන්න පුලුවන්ද හැඳි ගෑරුප්පු වලින් ? අත්දෙකින්ම අල්ලගෙන උලා කනකොට තමයි නියම රස දැනෙන්නේ.. (වෙජිටේරියන් අය සමාව භජනය කරත්වා).

චාරිකාවේ දෙවෙනි සොඳුරු මනුස්සයා හමු උනේ මෙතනදි.. ඒ අපිට කෑම බෙදපු වේටර් මහත්තයා... අපි කොහොමත් සිරිතක් වශයෙන් අවට ඉන්න අයව කතාවට ඇදගන්නවා.. ඒ නැතත් මිනිස්සු අනිවාර්යයෙන්ම මගෙත් එක්ක කතා කරනවමයි ;) ඉතිං මේ මනුස්සයත් අපිත් එක්ක කතාබහ කලා අපි කනකන්ම.. කතරගම ගැන ගොඩක් විස්තර කියල දුන්න විතරක් නෙමෙයි ඒ ගැන ලියපු පුංචි පොතකුත් ඒ මනුස්සය අපිට දුන්න.අපි ලග ඊට වඩා ගොඩක් විස්තර තියෙන සම්පූර්න සංචාරක පොතක් තිබුනත් ලෙංගතු කමින් දුන්න තෑග්ග අපි බාරගත්තා... මුලින් කියපු කෑම ලිස්ට් එක කාල කෙලින් හිටගන්නවත් බැරුව අතපත ගාගෙන ගිහින් පුටුවකට වැටුනු අපි එතනම පාෂානිභූත වෙලා හිටියා කාපුව උගුරෙන් පහලට යනකන්.. ඒ ඉන්න අතරතුර පේන දුරින් තිබුනු වරායේ හිටි නාවික හමුදා අයියලා කීප දෙනෙකුට අතවනලා යාලු කරගන්නත් මමයි නැගනියයි සමත් උනා.. කොහොම හරි..අපි යන්න සූදානම් වෙනකොට ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා වගේ කොහෙන්දෝ මතු උනු අපේ වේටර් මහත්තයා වාහනේ ලගටම ඇවිත් අපිට සුභ පැතුවා... විශේශත්වය ඒක නෙමෙයි ... ඒ වේටර් ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්.. බෙල්ල වටේට දාපු මාලෙ අගින් එල්ලුනේ ශුද්ධ වූ මරියතුමීගේ සුරුවමක්.... ඒත්... මේ සොඳුරු මනුස්සයා අපිට සුභ පැතුවේ බුදු සරණයි කියලා.. Bye bye කියලා නෙමෙයි.. TC කියලත් නෙමෙයි.. කට පුරා බුදු සරණයි කියලා... "බුදු සරණයි මහත්තයලට .. පරිස්සමෙන් ගිහින් එන්න ..." ආගමට කුලයට ජාතියට ගහ මරාගන්න මේ රටේ අන්‍ය ආගමිකයෙක්ගෙන් ඒ තරම් ලෙංගතු සුභපැතුමක් අපි බලාපොරොත්තු උනේ නෑ...  

තංගල්ල තානයමෙන් පස්සේ අපේ ඊලග නැවතුම උනේ කතරගම.. පාර දෙපැත්තෙම මිනිස්සුන්ට අත වන වන..විප්‍රකාර මූණු හද හද ටිකක් දුර යන්න වාසනාව ලැබුනත් ඒ සතුටට අකුල් හෙලපු මගේ පියාණෝ පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් මගේ වගකීම මතක් කරලා දුන්නු දීර්ඝ දේශනාවෙන් පස්සේ අපේ රථයේ මාතලී වෙන්න මට සිද්ධ උනා :( ඇස් දෙකටම බූ ගාල අඩන ගමන් පාර දිහාම බලාගෙන සිහි කල්පනාවෙන යන්න උනා එතන ඉදන්. පාර දිගේ සොඳුරු දසුන් කීයක් නම් මග ඇරුනද ... පාර අයිනේ බස් ස්ටෑන්ඩ් එකක හිටි ග්‍රීක දේව ප්‍රතිමාවක් වගේ සොඳුරු දසුනක් බලන්න ගිහින් තව පොඩ්ඩෙන් කතරගම ගමන පැත්තක තියලා ඉස්පිටිතාලේ ලගින්නත් වෙනවා.. අයියෝ .... (වාහනයක මගියෙක් වෙන එක තරම් වෙනත් සැපතක් ලොවේ නැත ...)

කතරගමට ගියා... පාර පුරාම මොණරු  නිසාත්..අපිට රෑට බතට මොණර මස් කෑමේ බලපොරොත්තුවක් නොතිබුනු නිසාත් ආයෙම මගේ පියාණෝම මාතලී උනා.. මමත් ඉතිං පිනුම් දෙකයි බල්ටි දහයයි ගහලා අයෙම මගේ තැනට මාරු උනා.. ඒත් ඒ සැප වැඩි වෙලා තිබුනේ නෑ.. අපි නවතින්න තීරනය කරල තිබුනේ "සිංහ ලෙන" කියල හෝටලයක..ඒත් අපි ඒක තියෙන තැන දැනගෙන හිටියේ නැන්.ඔන්න ඉතිං ආයෙම මට සිද්ද උනා ඒ හෝටලයේ අංකෙට කථා කරල ඒක  තියෙන තැන දැනගන්න.. මට එපාම කරපු වැඩේ.. යාලුවොත් එක්ක පැය ගනන් ෆෝන් එකෙන් මල් කැඩුවත් ඔහොම බරපතල් කථා වලට මම හරිම අමමැති.. හැමදාමත් වෙන්නේ මමයි ඒ කත කරන කෙනයි දෙන්නම මහා අවුල් ජාලවක පැටලෙන එක විතරමයි..ඒත් ඉතිං මොනා කොරන්ටද..ආයෙම දේශනාවක් අහන්න බැරි නිසා මමත් ගත්තා කෝල් එකක්...

මම :: හෙලෝ ඕ ඕ ඕ ඕ..

Hotel :: හෙලො..  

මම :: Is this Sinha lena hotel?

Hotel :: Yes madam.. What can we do for you?

මම ::We have booked a room in your hotel. We are at katharagama now but  can't find the way to the hotel.  will please tell us the directions to get there?

Hotel :: Sure madam.. may I pls know where you are right now ?

** බුබුලු නගින බෙලිකටු ... දැන් ඉතිං කියාපල්ලකො අපි ඉන්න තැන.. ඔන්න මගේ පියාණෝ නම් දන්නව..ඒත් මම දන්නවද..? අවුරුදු 26ක් තිස්සේ ජීවත් වෙන ගෙදරට යන පාර කියන්න දන්නේ නැති මම කතරගම පාරවල් කියන්නේ කොහොමද... ඔන්න එතකොටම මොනරෙක් ඉස්සරහින් පාර පැන්නා.. 

ඉතිං මට හිතුනා මම ඉන්න තැන මෙන්න මෙහෙම කියන්න ... 

" අපි දැන් ඉන්නේ පාරක..පාර දෙපැත්තෙම ගස් තියෙනවා..ලොකූ ගස්.. පාරට තාර දාල තියෙනවා.. දකුනු පැත්තේ මිහිලක රස බොජුන් කියලා පෙට්ටි කඩයක් තියෙනවා.. එතකොට..ආ..අපි ඉන්න තැන පාර ඉස්සහින් මොනරු පාර පනිනවා " වෙන මොන කෙහෙල් මලක් කියන්නද... **

කෝච්චි දෙක තුනකට අහු උනු සැමන් ටින් එකක් වගේ මූණ හදාගෙන ෆෝන් එක ලෑටිගාන මාව දැකපු පියාණෝ මගේ අතින් ෆෝන් එක අරගෙන සාකච්ඡාව එතනින් එහාට අරගෙන ගියා.. ඉතිං ඕක කලින්ම කලා නම් හරිනේ මාවයි ඒ අනිත් එක්කෙනාවයි අපහසුතාවයට පත් නොකර x( කොහොම කොහොම හරි... අපි හෝටලේට ලගා උනු ගමන් ඒ අය අපිව පිලිගත්තේ ඔයාල නේද පාර වැරදුනු අය කියල අහලයි... ඊට වඩා හොඳ entrance එකක් තියෙයිද වෙන කොහෙවත් ... ;)

මෙන්න අපේ හෝටලේ පොඩි රූප ටිකක්...(කථනය මගේ නැගනියගෙන්... ඇත්තටම මේ රූපරාමු ඔක්කොම එයාගේ.. මම නියම වැඩිමහල් සහෝදරියක් විදියට එයාගෙන් ඒවා හොරකම් කලා ... )






හරි..එතන ඉදන් ඊලග පෝස්ට් එකෙන් කියන්නම්... දැනට මේ ඇති :)

Wednesday, December 28, 2011

~ චාරිකා - පලවෙනි කොටස ~

ඔන්න මම ආවා කාලෙකට පස්සේ ...
අද කථාව ආදරය ගැන නෙමෙයි .. 
ඒ හේතු තුනක් නිසා ...

01) ආදරයේ අකුරු හතර අස්සේ මගේ ලිවීම කොටු කරන්න මම අකමැති වීම ...

02) මම ලියන සැබෑ ආදරය කියල එකක් ඇත්තටම ලෝකේ නැති වීම ..(ෆැන්ටසියකට සීමාවක් තිබිය යුතුය) 

03) කවුදෝ මන්දා ඇනෝනිමස් කෙනෙක් මගේ " ආදරයට ආදරෙන් ලියමි " පොස්ට් එකට " please dont over abuse LOVE " කියා ලියා තිබීම .. (මම කවදාවත් Love එක abuse කලේ නම් නෑ.. එහෙම කලා නම් අද මට මෙහෙම වෙන්නෙත් නෑ....අනේ මන්දා...)

ඒ නිසා අද ලියන්නේ මගේ කතරගම චාරිකාව ගැන... මම ඇසූ දුටු දේවල්..මග දිගේ මුණගැහුනු සුන්දර මෙන්ම අසුන්දර මිනිසුන් .. පාර දෙපැත්තේ දැකපු අද්දර ජීවිත සහ මට හිතුනු දේවල් .... 

ආදරය ගෑවිලාවත් නෑ ඔන්න ;)



අපි කතරගම යන්න තීරනය කරල හිටියේ 24 වෙනිදා උදෙන්ම... ඒත්..උදෙන්ම නැගිටීම කෙරෙහි අපේ මෑණියැන්දෑ හැර අනිත් සාමාජිකයක් දක්වන අධික ප්‍රතිරෝධය සහ ඊට කලින් දවසේ ගියපු සාදයේ බලපෑම නිසා චාරිකාව පිටත් වෙන්න හිතපු වෙලාව වෙද්දිත් අපි ඔක්කොම නිදි .. :) වෙලාවට සූදානම් උනු එකම සාමාජිකයා උනු මගේ මෑණියැන්දෑගේ ජාතිය ඇමතීම අස්සේ නිදිමරගාතේ ඇවිදගෙන ගිහින් දත කට මැදගෙන මොන මොනවාදෝ ඇද පැලදගෙන ඔන්න අපි පිටත් උනා නමෝ විත්තියෙන් පවුලේ චාරිකාවට :)

කලින්ම තීරනය කරලා තිබුනු විදියට Highway එකේ ගාල්ලට වෙනකන් යන්නයි සූදානම.. බ්‍රේක් ගහන හැටි ඉදගෙන සුක්කානම කරකවන හැටි වෙනකන් උපදෙස් දෙන මෑණියැන්දෑගේ කෑගැහිල්ලත් එක්ක වාහනේ පදින්න බෑ කියලා තීරනය කල පියානැන්දෑ කලින්ම මෑණියැන්දෑව වාහනේ පිටිපස්සේ ආසනේට පිටත් කලා. දෙවෙනියට නිෂේධ බලය ඇති මට ඉස්සරහ ආසනේට උස්සවීමක් ලැබුනේ ඔන්න ඔහොමයි .... කොට්ටාව පිවිසුමෙන් වාහනේ අධිවේගී මාර්ගයට වාහනය ඇතුලු කරද්දිම පිටිපස්සේ ආසනෙන් පටන්ගත්තේ නැතෑ මුණු මුණුවක්.. බැලින්න්ම මෑණියැන්දෑ ඉතිපිසෝ ගාථාව කියනවා :)

අධිවේගී මාර්ගය.. 

ඇත්තටම කථා කල යුතු මාතෘකාවක් .. දේශපාලන මතිමතාන්තර කොහොම උනත් හොඳ දේ හොඳ විදියට දකින්න ඕන... අධිවේගී මාර්ග කන්නද කියලා අහපු විපක්ෂයේ ඇමතිවරුන්ට නොදැනුනාට.. ආච්චිට සීයට අසනීපයි කිව්ව ගමන් සියලු වැඩ අතහැර ගාලු දුවන්න වෙන අපි වගේ අයට ... මේ පාර සම්පතක් ... කොට්ටාව පිවිසුමෙන් අතුලු වෙලා ගාල්ල පිවිසුමෙන් පිට වෙන්න ගියේ හරියටම පැයයි.. 9.45 ට ඇතුලු උනු අපි 10.44 ට ගාල්ලේ ...

ඇගට එන ප්‍රයිවෙට් බස් .. පාර පුරා දුවන මෝටසයිකල්.. මහ සද්ද දගත්තු ත්‍රිවීලර්.... ඉවක් බවක් නැතුව හීනෙන් ඇවිදින මිනිස්සු ... හරක්... එලුවො.. මේ සා ප්‍රකාර කේන්ති අවුස්සන සුලු කිසිම දෙයක් අධිවේගී පාරේ නෑ... එක නලා සද්දයක් නෑ..වාහන හැම එකක්ම එකක් පිටිපස්සෙ එකක් පේන තෙක්මානයක් දුරට යනවා.. දැන් හිතන්න එපා මම මහා ධනවාදිනියක් වගේ පොඩි වාහන වලට පහර ගහනව කියලා..නමුත් රටක වාහන පද්ධතිය හරි පිලිවෙලකට සකස් කරන්නම ඕනි ..එතකොට කාටත් ලේසි ....

ගාල්ලට යන්න අපිට අවම පැය දෙකහමාරක් ගතවෙනවා.. එහෙම ගථකරලත් ගාල්ලට වෙනකන් යහතින් යන්න ලැබේද කියල හිතාගන්න බෑ..හැමෝම ගාලු පාරේ එක පාරක් හරි ගිහින් ඇතිනේ ... අපි ඒ දුක වින්දා ගොඩක්.. උදේ වැඩට ඇවිත් හවස ගාලු ගිහින් ආයෙම උදේ වැඩට ආපු කාලෙකුත් මගේ ජීවිතේ තිබුනා... අද ඒ ගමනම කිසි කරදයක් නැතුව පැයකින් යන්න පුලුවන් කියන්නේ හීනයක් හැබෑ උනා වගෙයි අපිට...

ගරු විපක්ෂයේ ඇමතිවරුනි මන්ත්‍රීවරුනි,

අධිවේගී මාර්ග කන්න බෑ තමයි... ඒත් ඒ මාර්ග භාවිතයෙන් ඉතුරුවෙන වෙලාව සහ ඉන්ධන වියදමෙන් කන්න පුලුවන්... ජීවත්වීම කියන්නේ කෑමම නෙමෙයි... ගමනක් යද්දි ඉස්සරහින් පිටිපස්සෙන් පරිවාර වාහන නැති... රතු ලයිට් පොලු පෙන්නලා අනිත් වාහන බය කරලා පාර අයිනට දාල පාර හදා ගන්න ඉඩකඩ නැති අපි වගේ පුංචි මිනිස්සුන්ට .. ආච්චි සීය අසනීප උනාම ගමට යන්න අධිවේගී පාරවල් ඕනි ... ඒ මිනිස්සුනේ ජීවිත අපි ගාලු පාරේ පැය දෙකහමාරක් නටල එනකන් රැකිලා නොතිබෙන්න පුලුවන් ... !!

ඇත්ත.. මේක ලෝකෙ හොඳම අධිවේගී මාර්ගය නෙමෙයි.. ඒ වගේම මේ පාරට මුවාවෙන් ආණ්ඩුවේ ගොඩක් දෙනා බඩ වඩාගෙන ඇති.. මම නෑ කියන්නේ නෑ.. ඒත්..අපිට පාරක් තියෙනවා..ඒ පාරෙන් ගාල්ලයි කොළඹයි අතර කාල වෙනස අඩුකරල තියෙනවා..ඒ මදිද ....

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට ඕන තරම් අය ස්තූති කරල තියෙන නිසා මම ඒ පාර්ශවය ටිකක් අමතක කරන්නම්... පාර හදපු පොඩි මිනිස්සුන්ට පින්... මහ කැලෑවක් කපලා..ගල් පුපුරවලා.. මේ සා විශාල වැඩ ගොඩක් කරපු කම්කරුවන්ට ..ඉංජිනේරු මහත්වරුන්ට.. හැමදෙනාටම ගොඩක් පින් ... ඒ පාරේ යන හැම වාරක් ගානෙම පින් ... !!

හ්ම්ම්...

ඉතිං ඔන්න කිව්ව වගේ මම ඉස්සරහ ආසනේ ඉදගෙන අවට සිරි නරඹමින් ගියා.. පාර හරිම ලස්සනයි..හැබැයි පටුයි... මේ අස්සේ පියානන්දෑ පටන් ගත්තා කෙඳිරි ගාන්න.. පාර හිස්..ඕන හැටියේ පැ‍යට කිලෝමීටර් සීයේ වේග සීමාවට එපිටින් යන්න පුලුවන්..ඒත් ඉතිං විහිලුවටවත් මාරිග නීති කඩන්නේ නැති මගේ මෑණියැන්දෑ  සහ පිටිපස්සේ ආසනේ ඉදන් වෙග මාපකය දිහා දන්ඩි පැටවුන්ට ඇහැගහගත්තු කොකෙක් වගේ බලාගෙන ඉන්න මගේ නැගනියත් එක්ක කොහේ හයියෙන් යන්නද... දිගටම කෙදිරි ගගා 100ට යනව ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ පියානන්දැටත් .. මටත් වස කම්මැලී.. නින්ද යාගෙනත් ආව කීප තැනකදිම ... ඇගට දැනෙන්නේ නෑ වාහනේ යනව කියලවත්... 

පාරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බල්ලන් සහ පොල්කිච්චන්.. බල්ලෝ පාර දිගේ දුවන්නේ උන්ට බෙල්ල තියන්න ආස වාහනයක් එනකන් වගේ.. අපේ වාහනේට බල්ලො දෙන්නෙක් ආස උනා..දුවගෙන දුවගෙන ඇවිත් දිවි පිදූ විරුවන් වෙන්න උත්සාහ කලත් අපි ඒ අවස්ථාව උන්ට ලබා දුන්නේ නෑ :) පොල්කිච්චෝ පාර හරහා පියාඹිනවා.. උන්ට තාම HIghway අත්දැකීම නැද්ද කොහෙද ..ඕන හැටියේ උඩින් පියාඹන්න ඉඩ තියෙද්දිත් මුන් පියාඹන්නේම වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහින්.. බටර් කුට්ටි වගේ පත කුරුල්ලෝ..වැදුනොත් කුරුල්ලට වගේම වාහනේ වීදුරුවටත් සොරි තමයි ...

මෙන්න Highway එකේ අද්දර ජීවිත ලැයිස්තුව...

මැරුනු බල්ලෝ හතරයි...
මැරුනු කුරුල්ලෝ දොලහයි ...
මැරුනු පූසො එකයි...
මැරුනු තලගොයි එකයි...
පණ පිටින් බල්ලො ගොඩායි...
පණ පිටින් කුරුලු රංචු අටයි...
පණ පිටින් පූසෝ දෙකයි..
පණ පිටින් කබරයො එකයි ...

ගාල්ලෙන් පිට උනු අපි මාතර පාරේ කඩයක් අයිනේ නැවැත්තුවා තැඹිලි බොන්න.. චාරිකාවෙදි මට හමු උනු පලවෙනි සොඳුරු මිනිස්සු දෙන්නා හිටියේ එතන.. අපි බැහැල ගිහින් තරගෙට වගේ තැඹිලි කූරුම්බා බිව්වා.. පොෂ් විදියට තැඹිලි වතුර ටික බීල කෝම්බේ විසි කරල පුරුදු නැති අපි කෝම්බෙත් පලාගෙන ලොඳ ටිකත් කෑවා...කන බොන අතරේ අපි කතා උනේ තැඹිලි ගෙඩියක් කීයක් විතර වෙයිද කියලයි ... අපේ වාහනේට ඕනම කඩේකින් වදින අධි සුඛෝපභෝගී බද්දත් එක්ක තැඹිලි ගෙදියක් රුපියක් පනහක් විතර වෙයි කියලයි අපි තීරනය කලේ... කොහොම හරි තැඹිලි ගෙඩි තුනයි කුරුම්බා ගෙඩියටයි සල්ලි ගෙවන්න ගියාම එයාල ඉල්ලුවෙ රුපියල් 80යි..අපි ආයෙම ගාන ඇහුවේ වැරදුනාද බලන්න... අපේ පුදුමය තේරුම් ගත්තු එතන හිටි මනුස්සය කිව්වෙ මෙහෙම කතාවක් ...

" නෝනා අපි මේ වෙලදාම කරන්නේ ජීවත් වෙන්න බව ඇත්තයි.. ඒත් අපි විකුනන දෙයින් කෙනෙක්ගේ තිබහ නිවෙනවා නම්..කෙනෙක් සතුටු වෙනවා නම් අපිට දැනෙන්නේ කියන්න බැරි තරම් සතුටක්.. ඔයගොල්ලො තැඹිලි බිව්වෙ පුදුම සතුටෙන්.. තැඹිලි ගෙඩිය පලල දෙන්න කිව්වම අපිටත් විස්වාස කරගන්න බැරි උනා... ඔයාලගේ සතුට අපිට සල්ලි වලට වඩා වටිනවා... එක ගෙඩියකට රුපියක් 20ක් ඇති"

අහල තියෙනවද කතාවක් සත්‍ය ප්‍රභන්ධයකට වඩා පුදුමාකාරයි කියලා.. මේක මම ගොතපු කතාවක් වගේ පේනවා ඇති..ඒත් මේක ඇත්තට මේ මහ පොළව මත සිදු උනු දෙයක්... ඒ වගේ සොඳුරු මිනිස්සු තවමත් ඉන්නවා.. වන සිව්පාවුන් වගේ මිනිස්සු මැද මට හම්බුනු දෙවිදේවතාවුන් දෙපලක් ගැනයි ඒ කථාව ... :)

චාරිකා විස්තර තව ගොඩාක් තියෙනවා.. ටික ටික ලියන්නම් .... දැනට ඇතිනේ ... :)

Tuesday, December 20, 2011

සුරංගනා කතාවක් ... !!

හෙට විභාගයක් ..
පොත හෙව්වේ දැනුයි ...
ඔන්න එතකොටයි දන්නේ හෙට විභාගෙට ඕනි කරන පොත මගේ ලග නෑ කියලා ...
ඉතිං මම තීරණය කලා අධ්‍යාපනේ අමතක කරල වැල් වටාරමක් ලියන්න ..
මොකෝ ඉතිං නැති පොත මම කොහෙන් මවන්නද දැන් .... :(

 සුරංගනා කතාව



හිතිලා තියෙන්වද අපේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ කියලා... ?
මන්දා..
මට නම් හිතිලා තියෙනවා ...
සුරංගනා කතාවකට ඕනි අඩු වැඩිය මගේ ජීවිතෙන් හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් ...
කුමාරයෙක් හිටියා ...
මම හිටියා...
මම හිතාගෙන හිටියා මම තමයි කුමාරි කියලා ...
නපුරු මන්තරකාරියෝ හිටියා ...
ගිනි පිඹින මකරු හිටියා ...
කේලම් කියන අසල්වැසියෝ හිටියා ...
හැම දෙනාම හිටියා ....

මට කථාවක් තිබුනා...
මම කථාවක් ගොතාගෙන තිබුනා..
මම හිතුවා මගේ කුමාරය සුදු අශ්වයා පිටින් ඇවිත් මගේ දුක ඉවරයක් කරලා මාව අරගෙන යයි කියලා...
මම හිතුවා නපුරු සුරංගනාවි මට කල සාපෙන් මාව මුදවන්න කුමාරයගේ හාද්දට පුලුවන් වේවි කියලා ...
මම මගේ කතාව දිගට දිගට ගෙතුවා...
 



ඒත් ....

අද මට ඇත්ත තේරෙනවා...

මගේ කතාවේ මම ඔටුන්න හිමි කුමාරි උනාට ...
අනිත් කථාවේ මමයි නපුරු කුඩම්මා...
ඒ කථාවේ කුමාරි වෙන කෙනෙක් ...

අපි හැමෝටම අපි හදාගත්තු කතාවක් තියෙනවා...
අපි ඒ කතාවේ සතුටින් ඉන්නවා.. සමහරවිට අපිට ඇත්ත දකින්න ඉඩක් ලැබෙන්නේ අපේ කතාව අපි ගොඩාක් දුර  ගොතාගෙන ගියාට පස්සේ ... එතකොට කථාවයි ජීවිතෙයි හොදටම පැටලිලා..ආයෙම ලිහාගන්න බැරි තරමටම ...

අපේ කථාවේ අපේ චරිතයයි අපේ කතාවේ ඉන්න අනිත් අයගේ කතාවල අපේ චරිතයයි වෙනස් ගොඩක් වෙලාවට..
අපේ කතාවේ අපියි සින්ඩරෙල්ලා..
අපේ කතාවේ අපියි කුමාරි..
ඒත් අනිත් කෙනාගේ කතාවේ අපේ චරිතේ ඊට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් ... ඒ කතාවේ අපියි නරක චරිතේ..
අපියි නපුරු චරිතේ ...

එහෙම වෙලා නැද්ද... ?

හිතිලා නැද්ද අපේ සුරංගනා කථාවේ ප්‍රධාන චරිතෙට.... අපි කව්ද කියලා... ?

අපි අපේ කථාව ගොතන ගමන්ම අනිත් අයගේ කතා වල රගපානවා...
ඒකයි ඇත්ත ...
ගොඩක් වෙලාවට අපේ කතාවෙන් අපි දකින අපිව වෙන කවුරුවත් ඒ විදියට දකින්නේ නෑ...
ඒ අපි ගැන දන්නේ අපි විතරක්ම නිසා ... !!

කොහොම උනත්...
මම මගේ කථාව ගොතනවා..
දිගටම...
මෙතුවක් කාලයක් මම අනිත් කථා වල මගේ චරිතේ ගැන වද උනා විතරයි...
මම අනිත් කතා වල මගේ චරිතේ හොදට රගපාන්න උත්සාහ කලා විතරයි...
මම අනිත් කතාවේ සුදු චරිතය වෙන්න උත්සාහ කලා විතරයි...

ඒත්...

ඒ උත්සාහයේ ප්‍රථිපලය මගේ කතාවට අවසානයක් ගොතාගන්න මට බැරි උනු එක විතරමයි ...
මගේ කතාවේ මගේ චරිතය වල්වැදිලා..
පටන්ගත්තු තැනක් ඉවර උනු තැනක් නැතුව...

මම මගේ කතාව ලියනවා...
හැම සුරංගනා කථාවක්ම සුඛාන්තයක් නෙමෙයි කියලා මම ලෝකෙට ඔප්පු කරලා පෙන්නනවා ...

                            කාගේ කතාවක මම කවුරු උනත් මගේ කථාව මම තනියෙම ලියනව... 
හැබැයි මගේ කථාවේ අවසානය වෙනස්... 
TheY LiveD HappilY EveR AfteR නෙමෙයි ... 
මගේ සුරංගනා කථාව ඉවර වෙන්නේ ....
He LiveD HappilY EveR AfteR එකකින් ...

මට වඩා වැදගත් අවසානය මොකද්ද කියන එක නෙමෙයි ....
                                 අවසානයක් තියෙන එකයි... !!

Thursday, December 8, 2011

~ ආදරයට ආදරෙන් ලියමි ~

මුලින් මේ වීඩියෝ එක බලන්න .... !!

ගොඩක් දෙනා දැකලා ඇති.. ඒත් අද බලනවා කියල හිතාගෙන....
දකිනවට නෙමෙයි....
උවමනාවෙන්
බලන්න..... 
ඇහෙනවට නෙමෙයි ...
වචනයක් වචනයක් ගානේ හිතට අරගෙන
අහන්න....


 සමහරවිට අද ලියමනේ මුලක් මැදක් අගක් නැති වෙන්න පුලුවන් ... සාහිත්‍යක් තියා ලියලා තියෙන්නේ මොනවා ගැනද කියලවත් නොතේරෙන්නත් පුලුවන්.. මේක තනිකරම මගේ ඔලුවේ කැකෑරෙන සිතිවිලි එලියට නිදහස් කරන්න ගන්න වෑයමක් විතරයි ... එච්චරයි ... 

ඇහුවද දාල තියෙන සිංදුව..?

මම ආසකරන සිංදුවක්.. ඒ වගේම දකින දකින වාරයක් ගානේ මාව අඩවන රූපරාමු පෙළක්... 

අද මේ සිංදුව මතක් උනේ කාර්යාලයීය සගයෙක් කිව්ව කතාවක් අහලා... එයාගේ ආදරය ඉන්නේ දුර.. ගොඩාක් දුර රටක.. ඒත් මගේ යාලුවට එයාව පේනවලු.. බස් ස්ටෑන්ඩ් එකේ... පාරක් පාරක් ගානේ එයාව පේනවලු .. 

ඒ වෙලාවේ ඉඳලා මට මේ රූප ටික එක පෙළට පේනවා.. එක දිගට... දිගට දිගටම ...

යාලු ...
අද ලියමන ඔයාගේ ඒ ආදරේ වෙනුවෙන් ...

අපි හැම දෙනාටම ආදරේ කරන්න කවුරුම හරි ඉන්නවා..දෙමාපියෝ..එහෙමත් නැත්නම් සහෝදර සහෝදරියෝ... යාලුවෝ..කවුරු හරි ...
අපි කවුරුත් තනි නෑ..

ඒත් ...

එක විදියක ආදරේක අඩුවක් කාගෙත් ජීවිත වලට දැනෙනවා... දෙමාපිය ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්න බෑ වගේම ආදරවන්තයෙක්ගෙන් ආදරවන්තියෙක්ගෙන් ලබන ආදරය පුරවන්න වෙන කිසිම විදියක ආදරයකට බෑ.තනියෙම ඉන්න පුලුවන් කියලා හිතුවට..තනියක් නෑ කියල හිතුවට... තනිවෙන එක මොහොතකට ... අනිත් අර්ධයේ අඩුව හිතට දැනෙන එක නවත්තන්න කිසිම මනුස්සයෙක්ට බෑ...

කෑමපත දිග අරින වෙලාවට අනිත් පැත්තෙන් බත් කට අනන පුරුදු අත නැත්නම් ... පාරේ යනෙන වෙලාවට අත වදින නොවදින මානයේ පුරුදු ඇඟිලිවල පහස නැත්නම්...... ඒ දැනෙන අඩුව ඒ දැනෙන හිස් බව මහ මූසල කාලකන්නි හැඟීමක්... 

දුකක් දැනුනු වෙලාවට කතා කරලා දුක නිවාගන්න පුරුදු කටහඬ නැත්නම් .... කාලකන්නි මූණු ඔරවන මූණු වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවට පුරුදු හිනා මූණ දැකගන්න බැරි නම් .... වැඩක් කර කර ඉන්නකොට ඇස් කොනට පේන ඇස් දෙකේ බැල්ම නැත්නම් .... කොටින්ම ලඟ ඉන්නවා කියලා හිතෙන බැඳීම නැත්නම්... ඒ ජීවිතය හිස්... හැඟීමක් දැනීමක් නැති.. අයාලේ පාවෙන දිරපු අතුරිකිල්ලක් වගේ.... එල්ලයක් ... ආසාවක් නැති.. පාවෙන ජීවිතයක් ... කම්මැලි ජීවිතයක්....

ආදරයක් කියන්නේ සංසාරගත බැඳීමක්... ඒකයි මගේ විස්වාසය.. දකින දකින කෙනා එක්ක ආදරයෙන් බැඳෙන්න බැරි සහ හිතේ ඇතිවෙන ආදරයක් ලේසියෙන් මරන්න බැරිවෙන හේතුවත් ඒකමයි... මම හිතන්නේ නෑ අවුරුද්දට එක ගානේ ඇත්ත ආදරයක් කරන්න පුලුවන් කියලා.. කවුරු මොනවා කිව්වත්.. කාගෙත් හිතේ එක ආදරයක් පැලපදියම් වෙලා තියෙනවා.. උදේ පාන්දර ඇහැරුනු ගමන් හිතට එන ආදරය.. හිතට එන මතකයක් කාටත් තියෙනවා.. අන්න එතනයි මම විස්වාස කරන ඇත්ත ආදරය තියෙන්නේ ....

ගිනි කාශ්ටක අතරින්... සැඩ මාරුත අතරින් නොසැලී එන ආදරය ඇත්තටම පූජනීයයි... 

කාසි වලට විකිනෙන හැඟීම අතරේ ... ඇඳක මායිමට සීමා උනු රාග ගින්නෙන් ඉපදුනු ලාබ සම්බන්ධතා අතරේ .... බැඳීමක් නැති ප්‍රේම කොන්තරාත්තු අතරේ .... ප්‍රදර්ශන ආදර ෆැන්ටසි අතරේ ....

යාලු ... 
ඔයාලගේ ආදරය මැණිකක් වගේ ...

විස්වාස කරන්න ...

මම ඇත්ත ආදරයක් ගැන අදටත් විස්වාස කරනව නම් කරන්නේ ....
ඔයාල වගේ කීප දෙනෙක්ගේ ආදරය දිහා බලාගෙන...
නැත්නම් මම ඇත්ත ආදරය කියන්නේ ෆැන්ටසියක් කියලා මේ වෙද්දි හිත හදාගෙන...
එහෙම උනා නම් මමත් ආදරයක් විස්වාස නොකරන හැගීමක් දැනීමක් නැති නරුමයෙක් වෙලා අද වෙද්දි..

ඒත් ඔයාල වගේ කීප දෙනෙක් මට විස්වාසය දෙනව..
ආදරයක් තියෙනව කියල මත ඔප්පු කරනවා..

ස්තූතියි ...

කාලෙකට පස්සෙ මට අද දුකක් දැනෙනවා..
ඒ ගැන මට සතුටුයි...
මම තාම හැහඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් වීම ගැන මට සතුටුයි..
මම හිතුව මම රොබෝවෙක් කියලා ..

නෑ..

මට දැනෙනවා..
මට පාලු දැනෙනවා ...

අදට නවතින්නම්...
මහගම සේකරයන්ගේ මේ කවි පෙලත් එක්ක ...

නිම් වලල්ලෙන් එපිට සඳ රැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතු වී
ඔබේ පා මුදු හඩ ඇසේ.

පෙල ගැසී දුර වන්දනාවක
ඉගිල යන සමනලුන්ගේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ ...

දහස් මුවගින් නැගෙන ඔල්වර
සිනා හඩ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ
මහත් තනියක් මට දැනේ ...

අහස් ගගබඩ හිමව් කුලු මත
ඔබෙ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ ....


Sunday, December 4, 2011

යදින්නී ඈ .... !!



 නෙතට කඳුලක් නොව
මුවට හසරැල් ගෙනා වරදට....

හදට සුසුමන් නොව
සිතට සිසිලක් ගෙනා වරදට....

ලොවට අඳුරක් නොව
සහන් එළියක් ගෙනා වරදට....

අතැර යාමට නොව
ලඟින් ඉන්නට පැතූ වරදට.....

සතුට ගන්නට නොව
සතුට දෙන්නට
පැතූ වරදට....

මුලු ලොවම නොව
එකම හදවත පැතූ වරදට.....

සයනයේ ඉඩක් නොව
හදවතේ ඉඩක්
ඇවැසි වූ වරදට.....

බිමට වට මහා මේඝයට
දෑත එක් කර
හිස සෙවන කල වරදට......

පතුල කටු ඇනේයැයි
රෝසමල් පෙති
බිම අතුල වරදට.......

දිය පවස නිවන්නට
රුහිරු ලේ
පිනි කඳුලු කල වරදට...........

නිදි සුවය ගෙනෙන්නට
සෝ සුසුම්
කවි පොකුරු කල වරදට.......

මිනිස් වෙස් රකුසියන්
නැසූවෙන් නොව
ලඟට ගත් වරදට.......

අන් ඇසට කඳුලු දී
අනුරාගයේ
පොත් නොකියු වරදට.......

පැය දින සති මාස නොව
මුලු දිවිය පුරවට
සෙනේ කල වරදට.......

කැබලි කර විකුනන
සෙනෙහෙ බිම් කඩ
එපා කී වරදට.........

දහක් දෙන ගිනි නිවූ
සිරුර 
දෙවොලක් කල වරදට.....

වෛර කල නිසා නොව
ආදරය කල වරදට......

මුසාවක් මත
මන්දිර තැනුව වරදට.....

විකිනෙන ආදරය
ලොවක් ලෙස පිදුව වරදට.......
අභය ඉල්ලා යදින්නී ඈ ............
ආලයේ නාමෙන්...... !!


Saturday, November 19, 2011

වෙන මුකුත් එපාද?







හ්ම්ම් ..
ඔය ලියලා තියෙන්නේ මහ ලොකුවට පද පේලි බර ගානක්....
හැමදාමත් ඔහොමමයි...
ඔන්න ඔය බරපතල දර්ශනේ තමයි මට පෙන්නන්න බැරි....
මහ ගොඩක් දේවල් කියලා තියෙන්නේ...
අහපු මිනිස්සු කඳුලු පිහ පිහ අහගෙන ඉන්න ඇති ...
මල් තියලා වදින්න ඇති ...
ඇයි දෙයියනේ .. සුලුපටු පරිත්‍යාගයක්ද ඔයා කරලා තියෙන්නේ...

මට හිනා ... 
මට පණ යනකන් හිනා ...

ටිකක්වත් මහන්සි උනේ නෑ නේද මට කියන්න තියෙන දේ අහන්න ....
අහගන්න.. හොඳට අහගන්න මට කියන්න තියෙන ටිකත් ..

හන්තානට පායන හඳ ලස්සනයිද කියලා අහන්නේ සාමන්‍ය පෙළ පාස් වෙලා උසස්පෙලටත් ලියපු ඔයාමද හැබෑටම.. ?

පෘථිවියට තියෙන්නේ එක උප ග්‍රහ ලෝකයයි... පෘථිවියේ ඉන්න හැමෝටම පේන්නේ ඒ උප ග්‍රහයම තමයි.. හන්තානට එක හඳකුයි.. කුප්පියාවත්තට එක හඳකුයි පේන්නේ නෑ.. හඳ කොහෙටත් එකයි..
හඳේ සුන්දරත්වය තියෙන්නේ හිතේ මිසක ඒ මැරුනු ග්‍රහ ලෝකේ නෙමෙයි.... දිව්‍යලෝකෙට පෑව්වත් හඳ ලස්සන නැති වෙන්න පුලුවන්.. ඒ වගේම බ්ලූ මැන්ඩල් කුණු කන්දට උඩින් පායන හඳත් කෙනෙක්ට ලස්සනට පේන්න පුලුවන්... එතෙන්දී බලපාන්නේ හිත විතරමයි.. හිත ලස්සන නම්.. හිත සතුටින් නම් හඳ කොහොම පෑව්වත් ලස්සනයි ...

කොහොම හරි..අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම්..

නෑ..

හන්තානට පායන හඳ ලස්සන නෑ...
ඒ ඔයා මගේ ලඟින් නැති නිසා ... 



අපි දෙන්නා එදා ගිය කුඩේ යටින් අද වෙන කෙනෙක්ව අරගෙන යන්න කියන්නේ ඇයි? මගේ කුඩේ පොදු බස් ස්ටෑන්ඩ් එකක් වගේ පේනවද ඔයාට.. ? ඔයා හිතන්නේ ඔයා නැති උනාම කුඩේ යටට තව කාව හරි ඇදගන්න තරම් තනියක් මට තියෙනවා කියලද.. ? මට තනියම යන්න පුලුවන්.. මුලු කැම්පස් එකටම ඉන්නේ මමම විතරයි උනත් මට තනියෙම ඉන්න පුලුවන්...තෙමෙන තෙමෙන උන් එගොඩ කරන්න මගේ කුඩේ ජන සතු දේපලක් නෙමෙයි.. අන්න ඒක මතක තියාගන්න...

අත වනන වනන ලතා මඩුල්ල අස්සේ රිංගන්න මම මොකෙක් වගේද පේන්නේ? ඔයා කිව්ව පලියට පඳුරු ගානේ රිංගන්න තරම් අමාරුවක් තාමත් නෑ මට...

මතකය ගුලි කරලා මහවැලියට දාන්නලු....

මතකය ටොපි කොලයක් කියලද හිතේ ඕන ඕන වෙලාවට ගුලි කරලා මහවැලියට දාන්න...

අනේ හැබෑටම.. ඔයාට හැඟීමක් දැනීමක් කියලා නාමයක් නැද්ද ...?
මට ඕනි උනේ ඔයාව..
ඔයාව විතරමයි...
එකට පටන් ගත්තු ගමනක් ඔයා කොහොමද මෙහෙම තනි කැමැත්තට ඉවර කරන්නේ?
මට ඕනි මොනාද කියලා අහල බලන්න එක තත්පරයක් තිබුනද ඔයාට?

කුඩෙටයි අරකටයි මේකටයි තනි රකින්න කෙනෙක් හොයාගන්න අවසර දීලා.. මහා කථාවක් කියලා... යන්න ගියාම මමත් හුරේ දායි කියලා හිතුවද...?
හිතුවද ඔයාගේ සින්දුව අහපු අනිත් අය වගේ මමත් ඔයාගේ දාන පාරමිතාවට සාදු සාදු කියයි කියලා.. ?

හිතුවද එහෙම ... ?

මට තනියක් තියෙනවා.. ඔව් මම තනියෙම.. ඒ ඔයා නැති නිසා.. ඔයාට ඇරෙන්න වෙන කාටවත් ඒ තනිය නිවන්න බෑ.. බෑ බෑමයි...

මට ඕනි උනේ රන්තලියක් වගේ පෙරේතකමින් මාව රැකගන්න සේරිවාණිජ කෙනෙක් මිස හැම දෙයක්ම දන් දීල තපසට යන්න පුලුවන් වෙස්සන්තර කෙනෙක් නෙමෙයි..

මට ඕනි උනේ බැඳීම් තියෙන ආත්මාර්ථකාමී ආදරයක් මිස.. නික්ලේශී බැඳීම් නැති ලෝකෝත්තර ප්‍රේමයක් නෙමෙයි...

මොලේ මැටිද ඒ ටික තේරුම් ගන්න බැරි ... ?


මොකද විරිත්තන්නේ... ?
මට විකාරයි ඔය මෝඩ තේරුමක් නැති විරිත්තිල්ල ...
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ පණ්ඩිත වාක්‍ය මට දාන්න බෑ කියලා නේද ...?
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ ලස්සන කාව්‍යමය කතන්දර මට නෑ කියලා නේද ..?

අහගන්න එහෙනම් ...

හන්තාන කඳුවැටිය එකලු කර නිශා කත සනසවා ඇදෙන රිදී සිසි කැන් දහර ලොවට පිවිතුරු නමුදු.. මට එය සීතල අරුත්සුන් තවත් එක් අලෝක පුංජයක් පමනමය... ඔබ ගතට වාරු වී.. ඔබ සුසුම කොපුල් තල වැදුනු එක රැයක සඳවත අහස්තල හැරදමා ගොස් තිබුනද.. ඒ අමාවක රැය.. මට හන්තානේ සඳ පහන් රැයකටත් වඩා සොඳුරු... ඒ රැය පුරාවට ඔබ සුවඳ මා අවට ගැවසුනු නිසාවය.... 

ඔබ සමග අමාවක... හන්තානේ පුන් පොහොයට වඩා මට එලියය..

අහස් කුස දෙදරවාගෙන මහා මේඝයන් පොලෝතල සිඹින සඳ පෙරදිනක එකට බැඳී මෙවැනි වැහි කෝඩයක ආගිය ගමන් අද මට සිහියට එන්නේ නිතැතින්මය... දෙනෝ දහසක් දෙනා එදා ඔබ සිටි තැනට එන්නට පෙරුම් පිරුවද ඒ කිසිවෙකුට ඔබේ හිස් තැන පිරවිය නොහැකිබව මා තරම් හොඳින් මෙලොව කිසිවෙකුත් දන්නේද නැත... ඒ තනිය ඇත්තේ සිතේ මිසක... කුඩේ යට ඔබ සිටි භෞතික අවකාශයේ නොවන නිසාවෙන්ය.. 

ඔබට හැර සිතේ ඇති හිඩැස කිසිවෙකුටත් කිසිදා පිරවිය නොහැක...

මල් පිපුනු වසන්තය මට අරුමයක් නොවේය. නෙතු කෙවෙනි රූරා ගලන කඳුලින් බොඳව පෙනෙන කුසුමක ඇති සුන්දරත්වය කුමක්ද ... ? මට ඇවැසි මලින් පිරි තුරුගොමුවක පහස නොවන්නේය... මට ඇවැසි ඔබ අසල.. ඔබ ළය මඩල මත මගේ රිදුම් දෙන හිස එක මොහොතකට සැතපවීමට පමණය...

ඒ නිමේෂයේදී.. මට කතර කෙම් බිමක් වන්නේය ...

මතකය මහ සයුරක් නම් .. කෙලෙස මම එය හකුලුවා මහවැලියට දමමිද.. ? මහවැලිය මෙන් දෙතුන් ගුනයක්... විටෙක ලක්ෂ කෝටි වාරයක් විසල් ඔබ ගැන වූ සොඳුරු මතකන් මම කෙලෙසක මහවැලිය තුල සඟවමිද ... ? මතකය මහවැලි දියට වඩා විසල් නම් ... ආදරය මහවැලියේ සීමා මායිම් ඉක්මවා යන්නේ නම් ... එහෙව් ආදරයක්.. එහෙව් මතකයක් ... කෙලෙස ලඝුකොට මහවැලි දියේ හෙලන්නද ... ?


හරිද...
දැන් හරිද...
තේරුනාද ...?
ඔන්න ඔයාගේ භාෂාවෙන් කිව්වා...
දැන්වත් තේරුනාද..?

මොකෝ කථා නැතුව ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෙක් වගේ බලාගෙන ඉන්නේ..?

හඳ බැලීමයි.... කුඩේ යටින් යන්න කෙනෙක් හොයා ගැනීමයි.. මල් පඳුරු අස්සේ කාත් එක්ක හරි ගාල් වෙන්නයි ... මහවැලියට මතකය දාන්නයි ඇරුනම ...
මගෙන් ඔයාට
වෙන මුකුත් එපාද :/


Monday, November 14, 2011

මම.. පහ වසරට වෙනකන් ඉස්කෝල කථා .. !!

අපෙ අප්පොච්චියේ .. මාස ගානකින් මුකුත් ලියලා නෑනේ බොලේ මම.. අර එක මල්ලි කෙනෙක් කිව්ව වගේ සහලවලා වැඩ තිබුනා.. තාමත් තියෙනවා.. ඒත් මගේ මූඩ් එක අවුල් නිසා මම තීරනය කලා හොරෙන්ම ජාලයට රිංගලා පොඩි කතාවක් ලියන්න...

සාහිත්‍ය කථා නම් මුකුත්ම හිතට එන්නේ නෑ.. ඒ නිසා මම තීරනය කලා මම ගැන ලියන්න.. හැම දේම නෙමෙයි .. ආරම්භයක් විදියට මගේ පාසැල් ජීවිතේ ගැන.. එහෙනම් අදින් ඇරඹෙන මම ගැන කතා පේලියට හැමෝවම ආදරෙන් පිළිගන්නවා.. හැබැයි මේ කතාත් කැම්පස් කථා වගේ අතරමග නවතින්න පුලුවන්... හැමදේම මගේ මූඩ් එක අනුව තමයි :)

මුලින්ම කියන්න ඕනි .. මම ගැන මිනිස්සුන්ට තේරෙන්නේ බාගයයි.. ඒ තේරෙන බාගෙත් මිනිස්සු තේරුම් ගන්නේ වැරදියට .. ඒ නිසා මම ගැන කථා කියවලා කවුරු කොහොම මගේ ගැන හිතයිද මම දන්නේ නෑ.. කෙනෙක් කියයි පම්පෝරියක් කියලා.. කෙනෙක් කියයි පට්ට බොරු කියලා.. තවත් කෙනෙක් කියයි ආත්ම වර්නනාවක් කියලා.. සමහරවිට පොරක් වෙන්න දගලනවා කියලත් කියයි ...කවුරු කොහොම හිතුවත් මට කියන්න තියෙන්නේ එක දෙයයි ...

I Don'T DamN CarE :)

හරි.. කථාව පටන් ගමු. මම ඉපදුනේ ගාල්ලේ.. ගාල්ලේ කිව්වට ගාල්ලෙම නෙමේ.. හික්කඩුවේ... ඉතිං ළදරු පාසල් ගියේ ගාල්ලේ. මම ළදරු පාසල් යන්න පටන් ගත්තේ අවුරුදු දෙකෙන් ... අවුරුදු දෙකේ ඇටිකිත්තෙක්ට මොන මොන්ටිසෝරිද .. එහෙම නේද හිතෙන්නේ.. ඇත්ත.. මාව ළදරු පාසැල් දාල තියෙන්නේ මට කෑම කවා ගන්න බැරි නිසා මිස උගන්නන්න නෙමේ .... කැරට් අල හතරක් පහක් තම්බලා කෑම පෙට්ටියට දාල දුන්නම අනිත් ළමයි කන වෙලාවට මමත් කනවලු.. කනවා නෙමෙයි ඉතිං නානවලු ඇත්තටම.. අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත .. අම්මා තමයි කිව්වේ .. ;) 

ඔන්න ඊට ටික කාලෙකට පස්සේ අපි ආව කොලඹ.. ඉතිං මම ආයෙම කොළඹ මොන්ටිසෝරියකට යන්න පටන් ගත්තා..මේ පාර නම් ඇත්තටම ඉගෙන ගන්න. මේ වෙද්දි අපේ අම්මට නංගිව හම්බෙන්න හිටි නිසා අම්ම ක්ලිනික් ගිහින් එනකන් ගොඩක් දවසට මම රෑ වෙනකන් හිටියේ මොන්ටිසෝරියේ. අකුරු ලියන්න,චිත්‍ර අඳින්න ඇරුනම මම දැනගෙන හිටි එකම දේ බෝංචි කරල් වල නූල අයින් කරන වැඩේ විතරයි. ඉතිං අම්මා එනකන් මම මොන්ටිසෝරි ටීචගේ කුස්සියට වෙලා බෝංචි කිලෝ ගානක නූල අයින් කරන්න ඇති.. ඒ නිසා මගේ ළදරු පාසැල් ජීවිතෙන් මට තියෙන එකම මතකය බෝංචි විතරමයි :)

මගේ පලවෙනි ඉස්කෝලේ කොලොන්නාව ශ්‍රි රාහුල මහා විද්‍යාලය. අපේ ගෙදර ඉඳන් පයින් යන දුර. පුංචි ඉස්කෝලයක්. ඇත්තටම මම පෝසත් ගනයට වැටෙන ළමයෙක්. මිනිස්සුන්ගේ ඇස් බැල්මට අනුව මම රිදී හැන්ද කටේ ගහගෙන ඉපදුන ළමයෙක්. ඒත් මගේ පියාණන්දෑ කිව්ව මම පොඩි ඉස්කෝලෙකට යන්නම ඕනි කියලා..අමාරුවෙන් ඉගෙන ගන්න ඕනි කිව්වා.. සැපට ඉගෙන ගත්තම පිහිටන්නේ නෑ කිව්වා.ඉතිං මම පයින්ම ඉස්කෝලේ ගියා,පයින්ම ආපහු ආවා.  මගේ මුලු පන්තියටම සපත්තු මේස් දාලා ඉස්කෝලෙ ආව ළමයි හිටියේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒත් මට නම් කිසිම වෙනසක් තේරුනේ නෑ.මට සෙල්ලම් කරන්න යාලුවෝ ඇතිපදම් හිටියා. ඉහල මධ්‍යම පාන්තික දෙමාපියෝ හිටි එකත සහ මගේ ටිකිරි මොළේට පිං සිද්ධ වෙන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට දෙවෙනි තැන ලැබිලා තිබුනේ මට. මම හරීම හොඳ ළමයෙක්..මොන තක්කඩිකම කලත් කවමදාවත් මම ගුටි කෑවේ නෑ..එකක් මම හරීඊඊඊම හොඳ ළමයෙක් කියලා ගුරුවරු ඔක්කොම විස්වාස කිරීම සහ,මම කල වැරදි ඔක්කොම තමුන් පිට පටවගෙන ශුද්ධ වූ ආදරයේ නාමයෙන් ගුටි කන්න ලෑස්තිවෙලා හිටි පුංචි ආදරවන්තයෝ ටිකක් මට සිටීම ;)

එක දෙක වසර වල මට ඒ හැටි දෙයක් මතක නෑ.. ඒත් තුන වසරෙදි උනු දෙයක් හොඳට මතකයි.ඒ ඉස්කෝලේ ඒ දවස් වල එක දෙක වසරෙදි පවා ලමයින්ව ෆේල් කරනවා. අකුරු ලියන්න දන්නේ නැති ළමයින්ව තුන වසරට දාන්නේ නෑ. ඉතිං එහෙම ෆේල් උනු ළමයි අපේ පන්තියෙත් හිටියා.තුන වසරෙදි මම පටන් ගත්තා හැමදාම ඉන්ටවල් එකට එක වසරෙයි, දෙක වසරෙයි ගුරුවරුන්ට වදින්න යන්න. මේ වැඩේට රොෂාන් කියලා පිරිමි ළමයෙකුත් මට හවුල් උනා. ඉතිං අපි දෙන්න අත්වැල් අල්ලගෙන යනකොට අර ෆේල් වෙලා හිටි ලොකු ලමයි (ලොකු කිව්වට ඉතිං අපිට වඩා අවුරුදු දෙකක් විතර තමයි ලොකූ) කොල්ලයි කෙල්ලයි යාලුයි කිය කිය හැමදාමත් කෑගහනවා.ඒ දවස් වල යාලුයි කියන එක හරි ලොකු දෙයක්. ඔන්න ඉතිං මම රොෂාන්ට පඩි ටෝක් දෙනවා.. එයාල මොනව කිව්වම අපිට මොකද..අපි යන්නේ හොඳ වැඩකටනේ.. අරකයි මේකයි.. දැන් මතක් වෙද්දිත් හිනා.. තුන වසරේ අපිට මොන ලව් ද ;) ඒ රොෂාන් අද කොහේ ඉන්නවද දන්නේ නෑ..

කොහොම කොහොම හරි හතර වසර පහ වසර පන්ති වලදි ඔන්න මට නිල වශයෙන් ප්‍රේම ආරාධනා ලැබුනා.. (හිනා) ඒ කාලේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාලුයි නම් ඉස්කෝලේ ඇරිලා යද්දි දෙන්නට දෙන්න සී යූ (See You) කියාගන්න ඕනි .. එච්චරයි.. සී යූ කියනවා විතරමයි .... අයියෝ දෙයියෝ .. ඔය සී යූ එක කොච්චර සීරියස් අරගෙන තිබ්බද කිව්වොත් ලිවුමේ ලියලා දෙන්නෙත් ඇයි ඔයා මට සී යූ නොකිය අරයට සී යූ කිව්වේ කියලයි. විකාරයි දැන් මතක් වෙද්දිත්. කොහොම හරි,මම කාටවත්ම සී යූ කියන්න ගියේ නෑ.මගේ කුඩා මොලේ වැඩ කල එකම දේ ශිෂ්‍යත්ව විභාගේ විතරමයි. ඉස්කෝලේ සෑහෙන්න තරගයක් තිබ්බා ශිෂ්‍යත්ව විභාගෙට. ළමයි අරත කොහොම වෙතත් අම්මලා අම්මලා අතරේ තිබුනේ මහා සටනක්. ඒ කොහොම උනත් එක වසරේ ඉඳන් පහ වසර වෙනකන්ම, වාර විභාග තුනෙන්ම මම පන්තියේ පළවෙනියා උනා.. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙනුත් මම ඉස්කෝලෙන් පළවෙනියා උනා :)

ඉස්කෝලේ පුංචි උනත්.. අපි තුන් දෙනෙක්ටම ලියන්න තිබුනේ එකම එක මේසයයි උනත්..පුටු දෙකක් තුන් දෙනෙක් බෙදාගෙන පාවිච්චි කලත්, ලිට්මස් පාවිච්චි කරන්න තිබුනු පරීකෂනය දවසේ මුලු විද්‍යාගාරයටම තිබුනු එකම ලිට්මස් කෑල්ල පෙන්නපු අපේ ගුරුතුමී පුතේ මෙන්න මේවයි ලිට්මස් කිව්වත් .... ඒ පුංචි ඉස්කෝලේ හිටි ගුරුවරුන්ට තරම් ලොකු හදවත් මේ ලෝකේ කාටවත්ම නැතුව ඇති.තමන් කන්න ගෙනා බත්පත ළමයින්ට දීලා නොමිලේ ශිෂ්‍යත්ව පන්ති කරන්න තරම් ඒ ගුරු දෙවිවරු ලමයින් ගැන හිතුවා.
මම අද ඉන්න තැනට ගේන්න ඒ පුංචි ඉස්කෝලෙන් ලැබුනේ සුලුපටු හයියක් නෙමෙයි.දැනට උපාධි දෙකක් නමට පිටිපස්සෙන් තියාගෙන, අද නීතී උපාධියකට ඉගෙන ගන්න මම මුලින්ම මහ සෙනගක් ඉස්සරහ කථා කලේ ඒ පුංචි ඉස්කෝලෙදි. එතකොට තුන වසරේ හිටි පුංචි බට්ටෙක් උනු මට හය වසරෙන් ඉහල ලොකු ළමයින්ගේ රැස්වීමෙදි කථා කරන්න ලබා දුන්නු ඉඩ, මම ගැන තියපු විස්වාසය සහ .... හිතේ තිබුනු බය වැඩි කමට ඒබ්‍රහම් ලින්කන් නම් ජනාධිපති තුමා වෙනුවට.. ඒබ්‍රහම් ලින්කන් නැමති කාන්තාව කියලා පටන් ගත්තු කථාව ඉවර උනාම ලැබුනු මහා අත්පුඩිය මගේ ගමනට අඩිතාලම දැම්මා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලැබුනු ළකුනු අනුව මට විසාකා විද්‍යාල‍යට යන්න පුලුවන්කම තිබුනත් මම තෝර ගත්තේ දේවි බාලිකා විද්‍යාලය.ඒ ඇයි කියන්න මම අද වෙනකනුත් දන්නේ නෑ.

දේවි බාලිකාවේ ගෙවුනු ජීවිතය හරීම සුන්දරයි.. ඒ කතාව ඊලගට කියන්නම්.. කිව්වනේ ..හොරෙන් ජන්ජාලයට ආවේ..දැන් යන්න වෙලාව ඇවිදින්...

Thursday, October 13, 2011

ශුද්ධ වූ ජලය ... !!

ශුද්ධ වූ ජලය සාක්ෂ්‍ය කොටගෙන කාන්තා ජීවිත සුදු සාරියකට සහ තට්ට හිසකට සීමා කල යුගයක් ...

වැන්දඹු ලෙස අර්ථකථනය කල කාන්තා ජීවිත වලට තෝරා ගැනීමට අවස්ථා තුනක් ....


1. සැමියාගේ බාල සහෝදරයා විවාහ කර ගැනීම.
2. සැමියාගේ චිතකයට පැන සියදිවි නසාගැනීම.
හෝ
3. තමන් විසින් තමන්ව ප්‍රතික්ෂේප කරගත් ආත්ම ප්‍රතික්ෂේපිත ජීවිතයක් ගත කිරීම.

මානව අයිතිවාසිකම් නොව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ලේ කදුලු දහඩිය හෙලූ වනිතා ආත්මයන් වල එකතුවක් ...

ජීවිතය නොව ආදරය කිරීමේ අයිතිය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ එක් ජීවිතයක් ...

මේ සියල්ලේම එකතුව පොත් පිටු අතරට පෙරලූ කථාවක්....

දීපා මේතාගේ Water චිත්‍රපටය ඇසුරෙන් ලියවුනු, බප්සි සිධ්වා විසින් රචිත, අනුල ද සිල්වා මහත්මිය විසින් පරිවර්තනය කල, ශුද්ධ වූ ජලය .... සිතන පතන තරමටම ශුද්ධ නොවූ ජලයක් ගැන කථාවක් ....



 චුයියා :: අවුරුදු 6 න් විවාහ වී අවුරුදු 8 න් විධ්වාවක් වන සමනල් වියේ පුංචි සුරංගනාවක්.

මධුමතී :: තමන් විදවන නරකාදියේ වෙසෙන අනිත් පාපතරයන්ගේ ජීවිත තවත් අපායක් කරන පාලිකාව. චුයියාගේ වචන වලින් නම් මහත තල්මස් ධේනුවකගේ ඇගපත ඇති ලතෙත් බවක් මිනිස්බවක් නැති... විධ්වාවන් ගනිකාවන් කරවන ... මිනිස් වෙස් ගත් රකුසියක්.

සකුන්තලා :: චුයියාගේ ආරක්ෂිකාව. තමන් විදවන ජීවිතය චුයියාට යන්තමින් හෝ පහසුකර දීමට වෙහෙසෙන කැපකරු මව.

කල්‍යානී :: විධ්වාවකගෙන් නොනැවතී ගණිකාවක් තරමට ජීවිතය විදවන, කාන්තාරයට වැහි පොදක් මෙන් තමන්ගේ ජීවිතයට ආදරයක් ලැබෙන තෙක් බලාගෙන ඉන්න, චුයියාට පේන විදියට නම් සරස්වතී දෙවගන තරම්ම සුන්දර යුවතියක්.

නාරායන් :: අමුතු විදියට හිතන, ආදරය හමුවේ අන් සියලු මානව සීමා කිරීම් වලට අර්ථයක් නැතැයි හිතන, කල්‍යානිට ආදරය කරන උගත්,ගුණවත්,රූමත්, හීන කුමාරයෙක්.

----------------------------------------------------------------------------------

චුයියා අවුරුදු 6 න් විවාහ වෙනවා... ඒ අවුරුදු 44 ක් වයස පිරිමියෙක් එක්ක. විවාහය කියන අකුරු හතරේ තේරුමවත් නොදන්න මේ පුංචි කෙල්ලට විවාහය ගැන අහන්න තිබුනු එකම ප්‍රශ්නය "අම්මේ.. මට මගේ බලු පැටියවත් ඒ ගෙදරට අරගෙන යන්න පුලුවන්ද" කියන එක විතරමයි... චුයියාගේ ස්වාමියා විවාහයෙන් අවුරුදු දෙකකට පස්සේ මිය යනවා... විවාහය වගේම තමන් වැන්දඹුවක් උන බවත් චුයියාගේ ලදරු මනසට වැටහෙන්නේ නෑ. ශුද්ධ වූ ගංගා ජලය සාක්ෂ්‍ය කරගෙන චුයියාගේ දිග කැරලි කැරලි කොන්ඩය බූ ගාලා..අතේ දාගෙන හිටි වීදුරු වලලු බිඳලා...ඇය ජීවිතකාලයටම විධ්වාවක් විදියට ජීවත් වෙන්න ඕනිබව ප්‍රකාශ කරද්දිත් චුයියාගේ ඇස් දෙකේ තියෙන්නේ හිස් බැල්මක් විතරමයි. එල්ලුම් ගහට නියම උනු මිනිහටත් නිදහසට කරුනු කියන්න ඉඩක් තියෙද්දි, චුයියා තමන්ගේ මරණ වරෙන්තුව නිහඩව පිලිගන්නවා.. ඒ වෙන විකල්පයක් ඉතුරු නැති නිසා...

තමන්ගේ ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න වෙන වැන්දඹු නිවාසය චුයියාගේ හදිසි ආගමනය නිසා උඩු යටිකුරු වෙනවා.තවමත් සෙල්ලම් වයසේ ඉන්න මේ දගකාරිය ආගමිග ග්‍රන්ථ වලින් තමන්ගේ ආත්මය වහගෙන හිටි සාම්ප්‍රදායික වැන්දඹුවන්ගේ ජීවිතය කනපිට පෙරලනවා..ඇය රන්ඩු කරනවා... තමන්ගේ ජීවිතය ආගමික ග්‍රන්ථ වලට සීමා කලාට විරුද්ධව තමන්ට පුලුවන් තරමින් කැරලිගහනවා.ඒත් මහා සමාජ ප්‍රවාහයකට එරෙහිව යන්න චුයියායේ චුට්ටි කටහඩට බැරිවෙනවා... චුයියාගේ හඩ ආගමික පොත් අස්සෙම වැලලිලා යනවා.

කතාවේ අතුරු කතාව..
කල්‍යාණී..
විධ්වාවක් උනත් රූමත් වීමේ පවට ගණිකාවක් වෙන්න සිද්ධ උනු අහිංසක ජීවිතයක්. ඇඟ ඇතුලේ කැකෑරෙන ආසවන් සුදු සාරියෙන් වහගෙන .. තමන්ට ගරහන පිරිමින්ගේ කුපාඩි ආශාවන් නිවන්න වෙළඳ භාන්ඩයක් උනු තරුණියක්.කල්‍යාණිගේ ජීවිතයට නාරායන් එන්නේ කල්ය්‍යානී තමන්ගේ ඉරනම පිලිගන්න ඔන්න මෙන්න අවස්තාවක.නාරායන් කල්‍යානිට අලුත් බලපොරොත්තුවක් දෙනවා... සුදු සාරිය විනිවිද යන තරමට ආදරයක් උණුසුමක් නාරායන්ගේ ඇස් දෙකෙන් කල්‍යානිට දැනෙනවා.කල්‍යානී ජීවිතයට ආදරය කරන්න පටන්ගන්නවා..ජීවිතය විඳින්න පටන්ගන්නවා..හීන දකින්න පටන්ගන්නවා..කොටින්ම ජීවිතය ජීවත් වෙන්න පටන් ගන්නවා...

ඒත් ...

ආදරයට සමාජ සීමා වලින් එහාට යන්න බැරි වෙනවා..ජීවත් වෙන්න පටන් ගත්තු වරදට..ආදරය කල වරදට .. කල්‍යානි තමන්ගේ හීනත් එක්කම ශුද්ධ වූ ජලයෙම හැංගිලා යනවා.

කොහොම හරි චුයියා ජීවිතය ජයගන්නවා... මිනුස්සකම් අදුනන කීප දෙනෙක්ගේ උදව්වෙන් චුයියා සමාජ බන්ධන වලට එපිටින් තියෙන ජීවිතය හොයාගන්නවා ... සතුටු අවසානයක් වගේ පෙනුනට ශුද්ධ වූ ජලය සාක්ෂි කරගෙන විවාහ උනු කල්‍යානි වගේ තව කීදාහක් ගැහැණු ආත්ම ඒ ශුද්ධ ජලයෙම ගිලිලා මැරෙන්න ඇද්ද ? තමන්ගේ ඉරනම වෙනස් කරන්න උත්සාහ කල,උඩු ගං බලාගෙන පීනන්න ගිහින් කී දාහක් ජීවිත සැඩ පාරට ගහගෙන යන්න ඇද්ද? එහෙම පීනන්න උත්සාහ නොකර ආගමික ග්‍රන්ථ වලටයි පන්ඩිත නරුමයගේ වචන වලටයි හිස නවාගෙන ආත්ම ප්‍රතික්ෂේපිත ජීව්ත ගතකල කී දාහක් ගැහැනු අතීතයේ ඉන්න ඇද්ද?

අදටත්... අදටත් වෙන්නේ මේ ටිකම නෙමෙයිද... තට්ටේ නොගෑවත් ... සුදු සාරියෙන් ඇග නොවැහුවත් ... අදටත් වෙන්නේ මේ ටිකම නෙමේද ? පෝරුවක් උඩ නග්ගලා රත්තරන් කෙන්ඩියෙන් ශුද්ධ ජලය එකට බැඳුනු ඇඟිලි වලට ඉහලා අදටත් කරන්නේ ශුද්ධ වූ ජලයේ නාමයෙන් කාන්තා ජීවිත වහල් බවට පත් කරන එක නෙමෙයිද? අදටත් ගැහැනු වෙලා ඉපදීමේ පාපය නිසා ජීවිතය නැති කරගන්න කල්‍යානිලා කොයි තරම් නම් ඉන්නවද .... වතුර කල දෙකක් නාවල ගෙට ගත්තම පිරිසිදු වෙන පිරිමි අතරේ රෑ නමයෙන් පස්සේ ගෙදර ආවම කිලුටු ගොඩක් විදියට නින්දා අපහාස වලින් නෑවෙන කාන්තා ආත්ම අදටත් කොච්චර ඉන්නවද?


                                         මටත් අහන්න තියෙන්නේ චුයියා අහපු ප්‍රශ්නෙමයි ....

                                      කෝ පිරිමින්ගේ වැන්දඹු නිවාසේ .... ?


                          කෝ පිරිමින්ගේ අග්නි පරීක්ෂාව ... ?

Sunday, October 2, 2011

නූපන් මගේ කථාව

අම්මේ ...

අම්මේ ඇස් අරින්නකෝ ...

මට තව වැඩි වෙලාවක් නෑ ... 

එක පාරක් ඇස් අරින්න.

එකම එක පාරක්...

මම තරහ නෑ අම්මේ.. මේ ඇත්තමයි කියන්නේ.මම ටිකක්වත් තරහ නෑ අම්මත් එක්ක. ඒ නිසා ඇස් වහගෙන ඉන්න එපා.බලන්න.. දොස්තරත් බය වෙලා..මගේ ආච්ච්යි සීයයිත් බය වෙලා.. මම නිසා මහ ගොඩක් දෙනා දුක් විදිනවා.ඒ නිසා හොඳ අම්ම වගේ ඇස් අරින්නකො.

අම්මගේ කතාව මම දන්නවා අම්මේ. අම්මා කොයි තරම් අසරණද කියලත් මම දන්නවා.එහෙනම් මෙහෙම කරමු. මම මගේ කතාවත් කියන්නම්.අම්ම අහගෙන ඉන්න.හැබැයි කතාව කියලා ඉවර උනාම ඇස් අරින්න ඕනි ඔන්න.ආච්චියි සීයයි එක්ක පරිස්සමෙන් ගෙදර යන්න ඕනි.පොරොන්දු වෙනවා නේද ...!!

මම එහේ මෙහේ පාවි පාවි හිටපු ජීවිතයක්. කිසිම බරක් නැතුව සැහැල්ලුවෙන් එහෙ මෙහෙ ගිය ජීවිතයක්.ඒත් මට ඒ ජීවිතයේ වැඩි කල් ඉන්න අවසර නැතිබව මම දැනගෙන හිටියා.ඒ විතරක්මත් නෙමෙයි,මගේ වටේ හිටි අනිත් පාවෙන්නෝ පොළවට බැහැල ආදර වරුසාවක් මැද ජීවත් වෙද්දි මටත් හිතුනා තේරුමක් නැතුව පාවෙන ජීවිතෙන් අත්මිදිලා ආදරය පිරුනු තැනක නතර වෙන්න. ඉතිං මම පටන් ගත්තා මට ගැලපෙන තැනක් හොයන්න.එහෙම හොයාගෙන හොයාගෙන යද්දි තමයි මට අම්මවයි තාත්තවයි මුණ ගැහුනේ.දෙන්නත් එක්ක මූදු වෙරලේ තුරුලු වෙලා ආදරය උතුරන කථා කිය කිය ඉදිද්දි මමත් එතනම නැවතිලා ඒ ඔක්කොම අහගෙන හිටියා. තාත්තා අම්මගේ නිකට මිරිකලා, මට ඕනි ඔයා වගේම පුංචි දුවෙක් කියද්දි මට බයත් හිතුනා,මට අම්ම වගේ ලස්සන කෙනෙක් වෙන්න බැරි වෙයිද කියලා.ඒත් ඒ වෙලාවේ තාත්තගේ ඇස් වල තිබුනු ආදරය දැකලා මම හිතුවා ටිකක් කැත උනත් තාත්තා මට ආදරේ වෙයි කියලා,ඒ මම අම්මගේ දුව වුනු නිසා.

මම හැමදාම අම්මයි තාත්තයි පස්සෙන් ආවා.ඒ තරම් ආදරයක් මම මගේ පාවෙන ජීවිතේ ඇතුලේ කවමදාවත් දැකලා තිබුනේ නෑ.මට පාවීම එහෙම් පිටින්ම එපා වෙලා තිබුනා.මට ඕනි උනේ පුලුවන් ඉක්මනට අම්මයි තාත්තයි ලඟට එන්න.

මට තාම මතකයි ඒ දවස. මහ වැහි අඳුර තිබුනු මූසල පාට දවසක්.වෙනදා පුරුදු විදියටම අම්මයි තාත්තයි මුණ ගැහුනා..මමත් පුරුදු විදියටම පස්සෙන් වැටිලා ආවා. එදා අම්මා අමුතුයි,බයෙන් වගේ හිටියේ.තාත්තා මොන මොනාදෝ කිය කිය අම්මව සංසුන් කර කර හිටියා.ඒ කිවූ ගොඩක් දේ මට තේරුනේ නෑ. වෙනදා යන මුහුදු වෙරලට නැතුව තට්ටු තට්ටු ලොකු හෝටලේකට එදා අම්මයි තාත්තයි ගියේ. මට ඒක ඇතුලට එන්න බය හිතුනා.ඒ නිසා මම එලියේ නැවතුනා.
අන්න හරි..

හොඳ අම්මා.. 

ඒ විදියටම හිමින් හුස්ම ගන්න.. 

මම කැමතිම නෑ කොල පාට මැෂිමේ එන තනි තිරස් ඉරට... 

පිලිවෙලක් නැති උනත් දැන් එන ඉරි ගොඩ ඒ තනි ඉරට වඩා හොඳයි..

මම ඉක්මනට මගේ කතාව ඉවර කරන්නම්. හෝටලේ එලියේ පා වෙවී හිටි මාව එක පාරට කොහේටදෝ ඇදිලා ගියා.මට තවත් පාවෙන්න බැරි උනා..මාව කොහේ හරි හිර වෙලා.ටිකක් සිහියෙන් බලද්දි මට තේරුනා මම අම්මත් එක්ක මාස නමයක් ඉන්නයි යන්නේ කියලා.මට දැනුනු සතුට කියලා නිම කරන්න බැරි උනා.ඒත් මෙන්න අම්ම අඩනවා.තාත්තා කොයිතරම් සැනසුවත් අම්මා දිගටම දිගටම ඇඩුවා.ඒ ඇයි කියලා මට තේරුනේ නෑ.සමහරවිට මම ආපු සතුටට අඩන්න ඇති කියලයි මට හිතුනේ.

මම තීරනය කලා මම අම්මට කරදර නොකර හොඳ ලමයෙක් වගේ ඉන්නවා කියලා.වමනේ දාන්නවත්,කරකැවිල්ලවත් ඇති වෙන්නවත් නොදී දගලන්නේ නැතුව ඉන්න මම තීරනය කලා. මාස දෙක තුනක් යද්දි අම්මා එන්න එන්නම දුර්වල උනා.වෙනදා සතියට දෙතුන් පාරක් හම්බුනු අම්මයි තාත්තයි මාස ගානකින් හම්බුනේ නෑ.අම්මා දවස පුරා ඇඩුවා.වෙන්නේ මොකද්ද කියල මට හරි හැටි තේරුමක් තිබුනේ නෑ.කොහොම හරි දවස් ගානක් මොකද්ද මැෂිමකින් කතා කල අම්මා තාත්තා හම්බු වෙන්න දවසක්දා ගියා. එදත් අම්මා පැය ගානක් ඇඩුවා.තාත්තා මූණ බෙරි කරගෙන හිටියා.ඉස්සර වගේ අම්මගේ කර වටේ අත දාල මගේ සුදු මැණික කිව්වේ නෑ.අම්මට බෝවෙන ලෙඩක් තියෙනවා වගේ තාත්තා අඩි ගානක් ඈතට වෙලා හිටියා.මම ටිකක්වත් දගලන්නේ නැතුවා අම්මගේ ඇතුලට වෙලා ගුලි වෙලා හිටියා. කතාව මැද සැරින් සැරේ අම්ම බඩට අත තිබ්බ.තත්තා ඒ දිහා බැලුවේ හරියට කුණු ගොඩක් දිහා බලන ගානට. ඒ දෙන්නා කතා උනු දේවල් මට නොතේරුනත් තාත්තා අන්තිමට කියපු දේ මට තේරුනා.

උඹ එක එකා එක්ක ගිහින් බඩවල් හදාගත්තට මම පලි නෑ

****************************************************

මොකක් .. 

ඇයි තාත්තේ.. තාත්තට මතක නැද්ද මම ආවේ කොහොමද කියලා.තාත්තම නේද කිව්වේ අම්මා වගේම දුවෙක් ඕනි කියලා.අනේ අම්මට බනින්නෙපා.මම අම්ම වගේම දුවෙක් වෙන්නම්.අම්ම හරි හොඳයි.ඇයි අම්මට ඔහොම බනින්න්නේ. ඇයි ඔහොම කරන්නේ..

මට කෑ ගහලා අහන්න හිතුනා.. 

ඒත් මගේ කැලඹීමේ, දැගලීමේ ප්‍රතිපලය උනේ අම්මට නවතින්නේ නැතුව වමනේ යන්න පටන් ගත්තු එක විතරයි.

මල ජරාව.. එහෙම කියපු තාත්තා නැගිටලා යන්න ගියා.

දන්නවද අම්මේ ..එදා මට තේරුනා මේ හැමදේටම මුල මමයි කියලා.ඒත් විස්වාස කරන්න,මට කවදාවත් ඕනි උනේ නෑ අම්මට දුකක් දෙන්න,අම්මව අඩවන්න.

අම්මට හැමෝම බැන්නා. නා නාප්‍රකාර බෙහෙත් ගෙනත් දුන්නා.අන්නාසි ගැට, පාට පාට පෙති..මහ ගොඩක් වස විස.මම දන්නනවා අම්ම ඒවා බාරගත්තේ කැමැත්තෙන් නොවන බව.මම දන්නවා අම්මා මගෙත් එක්ක තරහට නොවන බව ඒ හැම දේම ඇඟට දාගත්තේ.. මමත් ඒ හැම දේම උපරිමයෙන් උරාගත්තා අම්මේ. පෙකණිවැල හරහා ඒ හැම විසක්ම පෙනහලු පිරෙන්න...මුලු ඇගම පිරෙන්න මම උරා ගත්තා.මට රිදුනා..මගේ හැම අවයවයක්ම පුදුම විදියට රිදුනා..ඒත් මම ඒ හැම දෙයක්ම විද දරා ගත්තා.මට ඕනි උනේ අම්මා ආයෙම හිනා වෙනවා දකින්න විතරමයි.

ඒත් ඒ කිසිම දේකින් මාව නැති කරන්න බැරි උනා. තාත්තා එක දවසක් කතා කරල මොනවටදෝ සල්ලි දෙන්න කැමතී කිව්වා.එදා ආච්චිලා සීයලා ඔක්කොම එකතු වෙලා ලොකූ කතාවක් තිබ්බා.මම ගුලිවෙලා මගේ ජීවිතේ ගැන තීන්දුව ගන්න හැටි අහගෙන හිටියා.මම දන්නවා අම්මේ ඒ කතාව ඇතුලේ අම්මගේ කතාවට ඉඩක් තිබුනේ නෑ කියලා.මම වගේම අම්මත් අසරනයි.ඒ මුලු වෙලාවෙම මගෙයි අම්මගෙයි ජීවිතේ තීරන ගත්තේ රැස් වෙලා හිටි අනිත් අය.ගොඩක් පින් මාව තනි නොකර බඩ උඩින් අම්මගේ අත තියාගෙන හිටියට.මගේ ඔලුවට අම්මගේ අතේ උනුසුම දැනුනා.මට හිතුනා මොනව උනත් ඒ විනාඩි ගාන වෙනුවෙන් මට ඕනි දෙයක් විඳවන්න පුලුවන් කියලා.

එතනින් පස්සේ හැමදේම හරි ඉක්මනට සිද්ධ උනා.පිට රටකට යන්න ටිකට් ගෙනාව.මම දැනගෙන හිටියා මම ඒ රටට යන්නේ නෑ කියලා.මහා රැස්වීමෙන් දවස් දෙක තුනකට පස්සේ .. අද ... අම්මයි මමයි ආච්චියි සීයයි මේ පොඩි සුදු පාට කාමරේට ආවා. මම දැනගත්තා මම අම්මත් එක්ක ඉන්න අන්තිම දවස අදයි කියලා.දුකක් නෙමෙයි මට දැනුනේ සතුටක්.. මම යන්නයි යන්නේ..අම්මා ආයෙම හිනා වේවි.තාත්තා ආයෙම අම්ම ලගට ඒවි..හැම දෙයක්ම ආයෙම තිබුන විදියට වේවි..එහෙමයි මම හිතුවේ..

අම්මා දිගටම ඇඬුවා.ඉන්ජෙක්ෂන් දෙද්දිත් දිගටම දිගටම ඇඩුවා. තාත්තත් ආව,තවත් කවුද ඇන්ටි කෙනෙක් අතේ එල්ලගෙන.එයා අම්මා තරම් ලස්සන නැති උනත් සුදු නැති උනත් තාත්තා එයාට කතා කලේ සුදූ කියලා. තාත්තා හැසිරුනේ අම්මව අදුරන්නේ නැතිගානට..

මේ මගේ යාලුවෙක් සුදූ..වැද වරද්දගෙන.තියෙන මෝඩකම තමයි ඉතින්.මගේ යාලුවෙක් නිසා මම සල්ලි ටිකක් දුන්න ඔපරේෂන් එකට...

එහෙමයි තාත්තා කිව්වේ.... මට ඒ ගැන මුකුත් හිතගන්න වෙලවක් තිබුනේ නෑ.. මහ යකඩ අඩුවක් මගේ කකුල් දෙක හිරකර ගත්තා..අනේ අම්මේ මට ගොඩක් රිදුනා.. කකුල් දෙක ඇඟෙන් ගැලවිලා යද්දි මම විලාප තිය තිය ඇඩුවා.මම හිතුවා අම්ම නැගිටලා මාව බේරගනී කියලා.ඒත් අම්මට නින්ද ගිහින් හිටියේ.. කකුල් දෙක,අත් දෙක,කෑල්ලෙන් කෑල්ලා මාව එලියට ඇදල ගත්තා..අන්තිමට මගේ ඔලුව.. මට රිදුනා අම්මේ..කියාගන්න බැරිතරම් මට රිදුනා..ඒත් මම අම්මට ටිකක්වත් වෛර කලේ නෑ.අම්මට පුලුවන්කමක් තිබුන නම් මාව බේරගන්න බව මම දැනගෙන හිටියා.තාත්තා එයාගේ සුදූ එක්ක යන්න ගියා..ආච්චි කලන්තේ දැම්මා..සීය අහක බලාගත්තා.. මගේ අවෂේශ මේසයක් උඩ ගොඩගහල තිබුනා. ලේ ගොඩක් මැද අත පය ඔලුව වෙන වෙනම දාල තියෙන්නේ අම්මගෙයි තාත්තගෙයි ආදරය නේද කියලයි මට හිතුනේ...

ඕකයි අම්මේ මගේ කතාව..
කිව්වනේ .. මම තරහ නෑ.මට ඕනි අම්මා ආයෙම හිනා වෙලා ඉන්නව බලන්න. මම ආයෙම පාවෙන්නෙක් වෙනවා..පා වෙවී ඉන්නවා.. මට තේරුම්ගන්න බැරි ආදරයක් හොයගෙන ගිහින් තවත් අම්මා කෙනෙක්ගේ හිතට දුක් නොදී මම හැමදාම පාවෙන්නෙක් වෙනව.
ඇස් අරින්න අම්මේ..අම්මට ජීවිතයක් තියෙනවා.. වෙන රටකට ගිහින් සතුටින් ඉන්න..

දැන් ඇස් අරින්න.. මට යන්න කලින් බලගන්න ... !!

අන්න හරි... කොල පාට ඉර දැන් හරි..ආච්චි සතුටින්..සීය සතුටින්..
දොස්තරට හුස්ම වැටෙන්න ගත්තේ දැනුයි ..

මම යනවා අම්මේ..

මම හැමදාමත් අම්මට ආදරෙයි ...

බුදුසරණයි !!



Sunday, September 25, 2011

දයාබර ඔබට ... !!







දයාබර ඔබට,

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උනු පුංචි සිද්ධියක ඔබේ කතාව දශක ගනනාවක් තිස්සේ මම අහගෙන හිටියා. ඔබේ කතාව හරිම සුන්දරයි.කථාව අහපු හැමකෙනෙක්ම මට වෛර කරන්න ඇති.ඒක මම දන්නවා.ඒත් මම කථා කලේ නෑ අද වෙනකන්,හැම නින්දාවක්ම අපහාසයක්ම අහගෙන හිනා වෙලා හිටියා.ඒත් අද... මම ලෝකෙන් සමුගෙන යන්න මොහොතකට කලින්,මට හිතුනා මගේ කථාවත් කියලා යන්න. නැත්නම් මල්වරුසාවේ මගේ කථාව මාත් එක්කම වැලලේවි ... !!

එදා මහ වැස්සක් ඇදන් වැටෙන වෙලාවේ ..ඔයා තෙමයි කියලා බයට... කිසිම අව්වකට වැස්සකට මම ඉහලන්නේ නැති කුඩේ එලි‍යට ඇදගත්තු මම ඔයාව ඒ කුඩේ යට හංගන්න හැදූ හැටි ඔයාට අමතක ඇති.ඒත් ඒ කුඩේ ඇදල අරන් අකුලපු ඔයා තෙමි තෙමී යමු කිව්වම,ඒ දගකාර හිනාවට වශී උනු මම,එලියට ගත්තු කුඩේ ඒ වේගයෙන්ම ඇතුලට දාගෙන,පිස්සුවෙන් වගේ වැස්සේ තෙමුනු හැටි මට අද වගේ මතකයි. වැස්ස ලාවට තුරල් වේගෙන එනකොට ඈත අහසේ පායපු දේදුන්න පෙන්නල හිනා උනු ඔයාගේ හුරතල් මූණ ඇස් වහගත්තම අදටත් මට මවාගන්න පුලුවන්.ඔයාට අමතක උනා,ඔයා නොදැක්ක උනාට,මම බලාන හිටියේ දේදුන්න දිහා නෙමෙයි, ඊට වඩා එලියට දිලිසෙන ඔයාගේ ඔය ඇස් දෙක දිහාව.දේදුන්න දිහා මිස මගේ දිහා බලාන නොහිටි ඔයා ඒක දකින්න නැතුව ඇති.

මතකද ... 

මතකද ඔයාට ... 

මගෙත් එක්ක එහෙම ගියා ඔයාම ... මම බලාගෙන ඉදිද්දි තවත් කෙනෙක් එක්ක අත්වැල් පටලගෙන ගිය අපූරුව? ඔයාට මතකද ඒ යන දිහාව මම පාරේ අයිනේ ඉදන් බලාගෙන හිටපු හැටි?දකින්න නැතුව ඇති මාව.ඔයාගේ ඇස් දෙක තිබුනේ එයාගේ මූනෙම විතරනේ.. මගේ ඇස් වලින් ආපු කඳුලු,එක දිගට හෝ හෝ ගාල ගලාගෙන ආපු කඳුලු වැස්සත් එක්කම සේදිලා ගියා.ඔයාටත් මුලු ලෝකෙටත් හොරෙන්. ඔයා කියනවා නේද එදා එකට ගිය අපි අද දෙමංසලේ යනවා කියලා.කවුද ඒ තීරනය ගත්තේ?කව්ද දෙමංසලේ යන්න තීරනය කලේ..? මමද ඔයාද? ඔයා බලපොරොත්තු උනේ ඔයා ඔයාගේ අලුත් කෙනා එක්ක යද්දි මමත් ඒ පාරෙම ඔයාගේ පිටිපස්සෙන් එයි කියලද?මම එහෙමත් ආව..ඒත් ඔයාට එක විනාඩියක් තිබුනද පිටිපස්සෙන් එන මම දිහා හැරිලා බලන්න.ඔයාගේ ගමන ඔයා ගියා.දෙමංසල තෝරගත්තු ඔයාම අද කියනවා එදා එකට ගිය දෙන්නා අද දෙමංසලේ යනවලු .... කවුද වැරදි .. ?

ඇත්ත... මම මගේ තඩි වාහනෙන් එබිලා පාරේ අයිනේ ඉන්න ඔයා දිහා බැලුවා. දෑස පියාගෙන ආයෙම අහක බලාගත්තා.. ඔයා ඒක දැක්කා..ඒ ගැන ලෝකෙට කියන්න,ඔයා ඔයාගේ කථාව කවි පද පේලියකට හැරෙව්වා.ඒත්..එක තත්පරයක් හිතුවද මම ඇයි එහෙම කලේ කියලා..ඇයි මම අහක බලාගත්තේ කියලා.නෑ..ඔයා හිතුවේ නෑ.ඔයා ඔයා කල හැමදේම සාධාරණීකරනය කරලා ඔයාගේ දුක කියලා සිංදුවක් ලිව්වා.හරි සරලයි නේද ජීවිතේ එහෙම බැලුවම ... ?

මම කියන්නම්... අහගන්න ...

වාහනේ කවුලුවෙන් එබිලා බැලුවේ ඔයාගේ මූන දකින්න.අවුරුදු ගනනාවකට පස්සෙ අහම්බෙන් දැකපු,මම හැම අගලක්ම දැනගෙන හිටි මූන දකින්නයි එබිලා බැලුවේ.ඒත් එතන එහා පැත්තේ ඔයගේ අතේ එල්ලිලා හිටපු කෙනාගේ මූණ දකින්න මට උවමනාවක් තිබුනේ නෑ.අන්න ඒකයි ඇස් දෙක වහගත්තේ.

රිය ඇතුලේ හරිම උණුසුමයි කියලා නේද හිතුවේ. ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉදිද්දි දැනුනු උණුසුම මගේ ජීවිතකාලෙටම මට ආයෙම කවමදාකවත් දැනුනේ නෑ.රියෙන් බැහැලා ඒ මල් වැස්සේ ආයෙම ඔයත් එක්ක තෙමෙන්න තිබුන නම් මට ඇත්ත උණුසුම දැනේවි.කවදාවත් මාව හරියට නොදැකපු ඔයා කොහොම මගේ සිතිවිලි තේරුම් ගන්නද....

මඩ ඉහුනා නේද මගේ වාහනෙන්. දකින්න ඇති නේද මම නෙමෙයි වාහනේ පැදගෙන ගියේ කියලා. මාව සින්නකර විකුනපු මගේ ශරීරයේ භාරකාරයා වාහනේ සුක්කානම අල්ලගෙන හිටි බව පේන්න ඇති නේද... මම ඒ වාහනේ ඇතුලේ කූඩු කරගෙන ගිය සුරතල් සතෙක් විතරයි...

අපේ සබඳකම් රිය සක දන්නේ කොහොමද .... ඔයාවත් දැනගෙන නොහිටි අපේ බැඳීම රබර් වලින් හදපු ටයර් එකක් කොහොම දැනගෙන ඉන්නද ... ?

ඔයාගේ සිංදුව හැමෝම ඇහුවා.මඩ ඉහගෙන ඉගිල්ලුනු මට මුලු ලෝකයක්ම සාප කලා,බැන්න,අපහාස කලා.සතුටින් ඉන්න,ඔයා නිදහස්.

අද මම මගේ කථාව කිව්වේ මගේ ජීවිතේ තව ටිකකින් ඉවර වෙන නිසා.ඔයාව මඩ වතුරින් නහවගෙන ගිය රියෙන් ඊට අඩි කීපයක් එපිටින් මම බිමට පැන්න.අහක බලාගෙන ගිය ඇස් දෙක තව ටිකකින් සදහටම පියවේවි ... මගේ කථාව ලෝකෙට කිව්වේ ඒකයි.

බුදු සරණයි !!

Saturday, September 24, 2011

මම පොත් සල්පිල් වන්දනාවේ ගියෙමි ...(Book SalE SagA)

මගේ පොටෝ ටික හැමෝම බැලුවා නේද .. ඉරිසියා හිතුනා නේද ;) මම කැමති ඉරිසියාව කියන මනුස්ස හැඟීමට. කාටවත් වරදක් වේවා කියල හිතන්නේ නැතුව කරන අහිංසක ඉරිසියාවක් හරිම ලස්සන සංවේදනයක් ඇත්තටම. තමන්ගේ ගෑණු ලමයා හෝ පිරිමි ලමයා විරුද්ධ පාර්ෂවයේ කෙනෙක් එක්ක ඇඟේ ඇලීගෙන කතා කරද්දි ඒ කෙනාව තලලා චප්ප කරල දාන්න හිතෙන ඉරිසියාව මට නම් හරිම ලස්සනයි :) අපොයි .... ආදරේ අල්ල ගත්තොත් පොත් වන්දනාව ගැන කියන්න වෙන්නේ නෑ..ඒ නිසා ආදරයට තිත.

සාර්ථක නම වෙනි වතාවටත් මම ගියා කොළඹ පොත් සල්පිල වන්දනාමාන කරගෙන එන්ට.ඇත්තටම සැප්තැම්බර් මාසේ ලබපු දවසේ ඉඳලා මම බත් හැලියක් වගේ උතුර උතුර හිටියේ මාව පොත් ගන්න එක්කගෙන යනකන්.කන්කෙඳිරි ගනනාවක සහ මූණ එල්ලගෙන සිටීම් පෝලිමකට පස්සේ පහුගිය බ්‍රහස්පතින්දා මාව පොත් බලන්න එක්ක යන්න ගෙදර ඇත්තෝ කැමති උනා.මාව එක්කගෙන යන්න මගේ දෙමාපියන් අදිමදි කරන්නෙත් හේතුවක් ඇතුව ඉතිං.මට පොත් දැක්කම නිකන් ඌරට මඩ දැක්ක වගේ..පොත් අස්සට බැහැල නටනකන් ඉවසුම් නෑ.ඉතිං අන්තිමේ ඇඳි වතත් උකස් කරල තමයි ගනිපු පොත් තොගේට සල්ලි ගෙවන්න වෙන්නේ.ඒත් එහෙමයි කියල බෑනේ.බඩට ආහාර නැති උනත් මනසට පොත් ඕනි ;)

කොහොමින් කොහොමින් හරි, BMICH එකේ ගේට්ටුව අරින්නත් කලින් මම මගේ මුලු පවුලම සමඟ එතන. පොත් දාගෙන එන්න මම තෝර ගත්තේ තඩි ට්‍රැවලිං බෑග් එකක්. නිකන් එකකුත් නෙමෙයි,අර රෝද තියෙන බිම දිගේ ඇදගෙන යන එකක් ;) නැත්නම් ගන්න පොත් තැලෙනවනේ. ඔන්න ඉතිං සුපුරුදු පරිදි මගේ පවුලේ ඇත්තන් අඳෝනා තියන්න ගත්තා ඒ බෑග් එක ඇදගෙන යද්දි අපිව නිකන් airport යන සර්කස් කන්ඩායමක් වගේ පෙනෙයි කියලා.ඒත් මම නෙමෙයි පසු බැස්සේ.එයාල කාටවත් බැරි නම් මම තනියෙම බෑග් එක ඇදගෙන යන්නම් කියලා මම ඉස්සර උනා. මුලු ගමන පුරාවටම මට වඩා අඩි දෙක තුනක් පස්සෙන් ඉන්න මගේ පවුලේ ඇත්තෝ වග බලා ගත්තා :)

ටිකට් එහෙම අරගෙන ඇතුලට ගියාට පස්සේ මට නිකන් මැජික් වගේ. පුලුවන් නම් අනේ ඇත්තමයි මම බිම දණ ගහල ඒ ශුද්ධ භූමිය ඉඹිනවා :) බලන බලන අත පොත්... උඩ බැලුවත් පොත්,බිම බැලුවත් පොත්.. විකාරයි.. මට බූතයි කියලා දැනුනු ගමන් මගේ දැඩිමතධාරි නැඟනිය වහාම මාව අල්ල ගත්තා.එයා ඉතිං හරි හැඩි දැඩි කාන්තාවක්.එයා අල්ල ගත්තම මගේ සුට්ටන් සරීරේ නිකං දඩු කඳේ ගහලා වගේ.ඔන්න ඉතිං ඒ නිසා මගේ ඉබාගාතේ දිවිල්ල ටිකක් නතර උනා. ඒ ගමන අපි පැත්තකට වෙලා සවාරිය යන හැටි plan කරන්න පටන් ගත්තා.මට නම් ඕනි උනේ හිස් ලූ ලූ අත දුවන්න.ඒත් ඉතිං දංවැලෙන් ගැට ගහපු බලු කුක්කෙක් වගේ මම දුක්බර මූනක් හදාගෙන ගෙදර අය plan කරල ඉවර වෙනකන් බලගෙන හිටියා.

අම්මයි තාත්තයි බරසාර පොත්, ඒ කිව්වේ මේ, එක එක ලොකු ලොකු අයගේ චරිතාපදාන,එතකොට චතුරාර්ය සත්‍ය වගේ පොත් තියෙන පැත්ත හොයාගෙන ගියා.මම කිව්ව මට ඒ පැත්තේ යන්න බෑ කියලා.පැහැදිලිවම මගේ පෙනුම එහෙම බරපතල තැන් වලට ගැලපෙන්නේ නෑ.පාට ගිය ඩෙනිමයි,සුදු ටී කමීසයයි, රබර් සෙරෙප්පු දෙකයි,තඩි ට්‍රැවලිං බෑග් එකයි,මමයි ... :) මගේ විරෝධතාවය සලකලා බලලා තාත්තා නංගිටයි මටයි අවසර දුන්නා අපිට ඕනි තැනක යන්න. කොල්ලන්ට උසුලු විසුලු කිරීමෙන් සහ අහුවෙන අහුවෙන තැනින් ආහර ගැනීමෙන් වැලකෙන බවට මහ අව්වේ ඉඳන් ප්‍රතිඥාවක් දුන්නු අපි දෙන්නා දුවගෙන දුවගෙන විදර්ශනා stall එකට ගියා.

රාක්ක රාක්ක ගනන් පොත් පුරෝලා.තෝරන්නත් දෙයක් නෑ වගේ.ඇත්තටම මට හිතුනේ එක රාක්කෙක අයිනෙන් මගේ බෑග් එක තියල අනිත් අයිනට ගිහින් පොත් පේළියට හයියෙන් එකක් ගහන්න.එතකොට මුලු රාක්කෙම තියෙන පොත් ටික සටපට ගාල බෑග් එකට වැටෙයි.මගේ මේ භයානක අදහස ඇහුනු ගමන් මගේ නැගනිය පටන් ගත්තා ජීවන වියදම,ආර්ථික උද්ධමනය සහ බ්ලා බ්ලා බ්ලා දේවල් ගැන මට දේශනාවක් දෙන්න.තැලුනු සත පහක් වගේ මූණ හදාගෙන එයාට අවනත වෙන්න මට සිද්ද උනා,මොකද තාත්තා සල්ලි දුන්නේ නංගී අතටනේ :( පොත් සීයක් විතර අතගාලා බොහොම අමාරුවෙන් පොත් 15ක් විතරක් ගන්න හිත හදාගන්න සිද්ද උනා මට. පොත් ටිකත් අරගෙන එකට ගිහින් එතන හිටි කොලුවට මම කිව්ව අපිට විදර්ශනා එකේ membership එක තියෙනවා කියලා.එහෙම කියලා නොනැවතුනු මම ඒ බව ඔප්පු කරන්න මුලු අවුරුද්ද පුරවටම එයාල අපිට එවලා තිබුනු ඔක්කොම ලිවුම් බොහොම බරපතල තාලෙට අදින්න ගත්තා මගේ handbag එකෙන්. ලිවුම් පිට ලිවුම් එක උඩ එක වැටෙද්දි සහ ඒ ලිවුම් එක්ක පැටලිලා මගේ ටිශූ කොල,කවි කොල,අර කොල,මේ කොල ඔක්කොම cashier එක උඩ ගොඩවෙද්දි ඒ අසරන කොලුවා හොදටම කලබල උනා.එයා දාඩිය දාගෙන කිව්ව අපිට membership එක තියෙන බව එයා පිලිගන්නවා,තව එක කොලයක්වත් අදින්න ඕනි නෑ කියලා. මගේ දිහා සහ එලියේ පාක් කරලා තිබුනු මගේ තඩි බෑග් එක දිහා එක වතාවක් උඩ ඉදන් පහලට බලපු cashier මහත්තයා 30% ඩිස්කවුන්ට් එකක් දාල පොත්ටික මට දුන්න. නංගී මාත් එක්ක ආවේ නෑ වගේ සුවිනීත කාන්තාවක් වෙලා එලියට වෙලා හිටගෙන හිටියා මම මේ මුලු නැටුමම නටනකන් :)

එතනින් අපි ගියා විජයසූරිය ග්‍රන්ථ කෙන්ද්‍රයට,එතනින් සුරස,එතනින් පහන් ප්‍රකාශන, එතනින් සරසවි  :) ඇත්තටම මිනිස්සුන්ට හරි ආතල් දර්ශනයක් උනා මාව. හිපියෙක් වගේ ඇඳගෙන... තඩි බෑග් එකක් බිම දිගේ ඇදගෙන.. ඇවිදින බෝම්බයක් වගේ කන් දෙකේම ෆෝන් වයර් ගහගෙන ඇවිදිනකොට ඉතිං කව්ද අන්ද මන්ද නොවෙන්නේ.ඒත් මට නම් ඒව එකක්වත් ගානක් උනේ නෑ.මම සතුටින්,මගේ බෑග් එක නිසා මම කාටවත් කරදරයක් වෙන්න ඉඩ තිබ්බෙත් නෑ,මගේ ඇඳුම නිකන් සර්කස් වඳුරෙක්ගේ වගේ උනාට ඒකට ඇඟ වැහෙනවා සහ මට සැහැල්ලුයි.ඉතිං මොන එහෙකට මිනිස්සු කියන කතා,බලන බැලුම් වලත හිත කලබොල කොරගන්ටෙයි ... :)

දැන් බඩගිනි වෙලාව. හැමදාම කන සුපුරුදු තැනට ආයෙම පවුලේ ඇත්තෝ එකතු උනා. ඉඳගන්න තැනක් හොයගන්න ටික වෙලාවක් සංගීත පුටු තරගෙක නිරත වෙලා කොහොමින් කොහොමින් හරි ඉඳගන්න තැනක් හොයාගත්තා.ඊටපස්සෙ බඩ පැලෙන්න කෑවා. කන ගමන් එක පොතක පිටු 20ක් කියෙව්ව මම.අපරාදෙනේ නැත්නම් කාලය ;)

ඊට පස්සේ මොකද කොරන්නේ කියලා කට්ටිය ටිකක් වෙලා සාකච්චා කලා..කාපු ගමන් ආයෙම පොත් දඩයමේ යන්නත් බෑනේ. ඒ ගමන මම යෝජනා කලා රාජකීය විද්‍යාලයේ සාගා බෑන්ඩ් එකේ සූකිරි කොලුවෝ සිංදු කියනව බලාගෙන ඉමු කියලා ටිකක් වෙලා. අපරාදේ කියන්න බෑ දැඩිමතධාරී උනත් කාන්තාවක් නිසා මගේ නැගනිය එක පයින්ම මගේ යෝජනාව ඉස්ථීර කලා ;) ඔන්න ඉතිං අපි සිංදු අහන්න කියලා පඩියක් උඩින් ඉඳ ගත්තා.හරිම ලස්සන සිංදු ටික. එතනින් මට වැඩියෙම ආස හිතුනේ "හන්තානට පායන හඳ" සිංදුවට.හේතු ගොඩක් නිසා,එකක් සිංදුව ලස්සනයි,එකක් ඒකට හරිම ලස්සනට වයලින් සෝලෝ එකක් දුන්න බෑන්ඩ් එකෙන්, ලාස්ට් බට් නොට් ලීස්ට්, සිංදුව කියපු කොලුවත් ග්‍රීක දේව ප්‍රතිමාවක් වගේ ලස්සනයි ;) අම්මෝ දැනුන සනීපේ.බඩ පිරෙන්න කාල,පොත් පිරුනු බෑග් එකක් එක පැත්තක තියාගෙන ඉන්න ගමන් මම ආසම සිංදුවක් ලස්සනම ලස්සන කොලුවෙක් කියනව අහන් ඉන්න එක පරම සැපතක් කියල හිතුනා මට ඒ වෙලාවේ. 

හවස වරුව වෙන් උනේ ඉංගීසි පොත් සහ bargain පොත් කඩ අස්සේ රිංගන්න. Twilight පොත් පෝලිමම අතගාල වැදලා ආයෙම තිබුනු තැනම තියන්න සිද්ද උනා මේ ගමනත්. ඒ පොත් හතර ගන්න රුපියක් 8000 ක් විතර ඕනි.කොහෙද ඉතිං එච්චර වියදම් කරන්නේ නංගී කන ගාව ඉඳගෙන මදුරුවෙක් වගේ කූං කූං ගානකොට :'(

ඔන්න ඔහොමයි මගේ පොත් සවාරිය ඉවර උනේ.පොත් 62ක් ගත්තා. දැනට තුනයි බාගයක් කියවලා ඉවරයි.මේ පෝස්ට් එක ලියල ඉවර වෙලා ඉතුරු බාගේ කියවන්න ඕනි. මම තීරනය කලා ලබන ආත්මේ පොත් කාවෙක් වෙන්න..පරණ පුස්තකාලෙකට වෙලා ඉන්නව පොත් කාවෙක් වෙලා.එහෙමත් නැත්නම් book mark එකක් උනත් කමක් නෑ.. කොහොම හරි.. අර කාගෙද මන්දා ලොකු මහත්තයෙක්ගේ ජීවිතේට කාන්තාව,කවිය සහ වයින් ඕනි උනා වගේ ...මගේ ජීවිතේ ජීවත් කරවන්න ඕනි වෙන්නේ සංගීතය,පොත් සහ, **** !!

මම යනව ඉතුරු පොත් බාගේ කියවන්න..අයේ වෙන වෙලාවක හම්බෙමු.ඒ එනකන් ඉරිසියා කර කර ඉන්න  :P


Friday, September 23, 2011

BooK Sale Stories ( warm up photos ) ;)

අති සාර්ථක නම වෙනි වතාවටත් මම ගියානේ Book sale :) දිගම දිග කතාවක් දාන්නම් මගේ සවාරිය ගැන.ඒ දානකන් මම ගත්තු පොත් ටිකක් හුදී ජන ඉරිසියාව උදෙසා පල කරන්න හිතුනා ;) කතාව පස්සේ කියන්නම්,දැනට මේ පොටෝ දැක සැනසෙන්න :)