බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, October 2, 2011

නූපන් මගේ කථාව

අම්මේ ...

අම්මේ ඇස් අරින්නකෝ ...

මට තව වැඩි වෙලාවක් නෑ ... 

එක පාරක් ඇස් අරින්න.

එකම එක පාරක්...

මම තරහ නෑ අම්මේ.. මේ ඇත්තමයි කියන්නේ.මම ටිකක්වත් තරහ නෑ අම්මත් එක්ක. ඒ නිසා ඇස් වහගෙන ඉන්න එපා.බලන්න.. දොස්තරත් බය වෙලා..මගේ ආච්ච්යි සීයයිත් බය වෙලා.. මම නිසා මහ ගොඩක් දෙනා දුක් විදිනවා.ඒ නිසා හොඳ අම්ම වගේ ඇස් අරින්නකො.

අම්මගේ කතාව මම දන්නවා අම්මේ. අම්මා කොයි තරම් අසරණද කියලත් මම දන්නවා.එහෙනම් මෙහෙම කරමු. මම මගේ කතාවත් කියන්නම්.අම්ම අහගෙන ඉන්න.හැබැයි කතාව කියලා ඉවර උනාම ඇස් අරින්න ඕනි ඔන්න.ආච්චියි සීයයි එක්ක පරිස්සමෙන් ගෙදර යන්න ඕනි.පොරොන්දු වෙනවා නේද ...!!

මම එහේ මෙහේ පාවි පාවි හිටපු ජීවිතයක්. කිසිම බරක් නැතුව සැහැල්ලුවෙන් එහෙ මෙහෙ ගිය ජීවිතයක්.ඒත් මට ඒ ජීවිතයේ වැඩි කල් ඉන්න අවසර නැතිබව මම දැනගෙන හිටියා.ඒ විතරක්මත් නෙමෙයි,මගේ වටේ හිටි අනිත් පාවෙන්නෝ පොළවට බැහැල ආදර වරුසාවක් මැද ජීවත් වෙද්දි මටත් හිතුනා තේරුමක් නැතුව පාවෙන ජීවිතෙන් අත්මිදිලා ආදරය පිරුනු තැනක නතර වෙන්න. ඉතිං මම පටන් ගත්තා මට ගැලපෙන තැනක් හොයන්න.එහෙම හොයාගෙන හොයාගෙන යද්දි තමයි මට අම්මවයි තාත්තවයි මුණ ගැහුනේ.දෙන්නත් එක්ක මූදු වෙරලේ තුරුලු වෙලා ආදරය උතුරන කථා කිය කිය ඉදිද්දි මමත් එතනම නැවතිලා ඒ ඔක්කොම අහගෙන හිටියා. තාත්තා අම්මගේ නිකට මිරිකලා, මට ඕනි ඔයා වගේම පුංචි දුවෙක් කියද්දි මට බයත් හිතුනා,මට අම්ම වගේ ලස්සන කෙනෙක් වෙන්න බැරි වෙයිද කියලා.ඒත් ඒ වෙලාවේ තාත්තගේ ඇස් වල තිබුනු ආදරය දැකලා මම හිතුවා ටිකක් කැත උනත් තාත්තා මට ආදරේ වෙයි කියලා,ඒ මම අම්මගේ දුව වුනු නිසා.

මම හැමදාම අම්මයි තාත්තයි පස්සෙන් ආවා.ඒ තරම් ආදරයක් මම මගේ පාවෙන ජීවිතේ ඇතුලේ කවමදාවත් දැකලා තිබුනේ නෑ.මට පාවීම එහෙම් පිටින්ම එපා වෙලා තිබුනා.මට ඕනි උනේ පුලුවන් ඉක්මනට අම්මයි තාත්තයි ලඟට එන්න.

මට තාම මතකයි ඒ දවස. මහ වැහි අඳුර තිබුනු මූසල පාට දවසක්.වෙනදා පුරුදු විදියටම අම්මයි තාත්තයි මුණ ගැහුනා..මමත් පුරුදු විදියටම පස්සෙන් වැටිලා ආවා. එදා අම්මා අමුතුයි,බයෙන් වගේ හිටියේ.තාත්තා මොන මොනාදෝ කිය කිය අම්මව සංසුන් කර කර හිටියා.ඒ කිවූ ගොඩක් දේ මට තේරුනේ නෑ. වෙනදා යන මුහුදු වෙරලට නැතුව තට්ටු තට්ටු ලොකු හෝටලේකට එදා අම්මයි තාත්තයි ගියේ. මට ඒක ඇතුලට එන්න බය හිතුනා.ඒ නිසා මම එලියේ නැවතුනා.
අන්න හරි..

හොඳ අම්මා.. 

ඒ විදියටම හිමින් හුස්ම ගන්න.. 

මම කැමතිම නෑ කොල පාට මැෂිමේ එන තනි තිරස් ඉරට... 

පිලිවෙලක් නැති උනත් දැන් එන ඉරි ගොඩ ඒ තනි ඉරට වඩා හොඳයි..

මම ඉක්මනට මගේ කතාව ඉවර කරන්නම්. හෝටලේ එලියේ පා වෙවී හිටි මාව එක පාරට කොහේටදෝ ඇදිලා ගියා.මට තවත් පාවෙන්න බැරි උනා..මාව කොහේ හරි හිර වෙලා.ටිකක් සිහියෙන් බලද්දි මට තේරුනා මම අම්මත් එක්ක මාස නමයක් ඉන්නයි යන්නේ කියලා.මට දැනුනු සතුට කියලා නිම කරන්න බැරි උනා.ඒත් මෙන්න අම්ම අඩනවා.තාත්තා කොයිතරම් සැනසුවත් අම්මා දිගටම දිගටම ඇඩුවා.ඒ ඇයි කියලා මට තේරුනේ නෑ.සමහරවිට මම ආපු සතුටට අඩන්න ඇති කියලයි මට හිතුනේ.

මම තීරනය කලා මම අම්මට කරදර නොකර හොඳ ලමයෙක් වගේ ඉන්නවා කියලා.වමනේ දාන්නවත්,කරකැවිල්ලවත් ඇති වෙන්නවත් නොදී දගලන්නේ නැතුව ඉන්න මම තීරනය කලා. මාස දෙක තුනක් යද්දි අම්මා එන්න එන්නම දුර්වල උනා.වෙනදා සතියට දෙතුන් පාරක් හම්බුනු අම්මයි තාත්තයි මාස ගානකින් හම්බුනේ නෑ.අම්මා දවස පුරා ඇඩුවා.වෙන්නේ මොකද්ද කියල මට හරි හැටි තේරුමක් තිබුනේ නෑ.කොහොම හරි දවස් ගානක් මොකද්ද මැෂිමකින් කතා කල අම්මා තාත්තා හම්බු වෙන්න දවසක්දා ගියා. එදත් අම්මා පැය ගානක් ඇඩුවා.තාත්තා මූණ බෙරි කරගෙන හිටියා.ඉස්සර වගේ අම්මගේ කර වටේ අත දාල මගේ සුදු මැණික කිව්වේ නෑ.අම්මට බෝවෙන ලෙඩක් තියෙනවා වගේ තාත්තා අඩි ගානක් ඈතට වෙලා හිටියා.මම ටිකක්වත් දගලන්නේ නැතුවා අම්මගේ ඇතුලට වෙලා ගුලි වෙලා හිටියා. කතාව මැද සැරින් සැරේ අම්ම බඩට අත තිබ්බ.තත්තා ඒ දිහා බැලුවේ හරියට කුණු ගොඩක් දිහා බලන ගානට. ඒ දෙන්නා කතා උනු දේවල් මට නොතේරුනත් තාත්තා අන්තිමට කියපු දේ මට තේරුනා.

උඹ එක එකා එක්ක ගිහින් බඩවල් හදාගත්තට මම පලි නෑ

****************************************************

මොකක් .. 

ඇයි තාත්තේ.. තාත්තට මතක නැද්ද මම ආවේ කොහොමද කියලා.තාත්තම නේද කිව්වේ අම්මා වගේම දුවෙක් ඕනි කියලා.අනේ අම්මට බනින්නෙපා.මම අම්ම වගේම දුවෙක් වෙන්නම්.අම්ම හරි හොඳයි.ඇයි අම්මට ඔහොම බනින්න්නේ. ඇයි ඔහොම කරන්නේ..

මට කෑ ගහලා අහන්න හිතුනා.. 

ඒත් මගේ කැලඹීමේ, දැගලීමේ ප්‍රතිපලය උනේ අම්මට නවතින්නේ නැතුව වමනේ යන්න පටන් ගත්තු එක විතරයි.

මල ජරාව.. එහෙම කියපු තාත්තා නැගිටලා යන්න ගියා.

දන්නවද අම්මේ ..එදා මට තේරුනා මේ හැමදේටම මුල මමයි කියලා.ඒත් විස්වාස කරන්න,මට කවදාවත් ඕනි උනේ නෑ අම්මට දුකක් දෙන්න,අම්මව අඩවන්න.

අම්මට හැමෝම බැන්නා. නා නාප්‍රකාර බෙහෙත් ගෙනත් දුන්නා.අන්නාසි ගැට, පාට පාට පෙති..මහ ගොඩක් වස විස.මම දන්නනවා අම්ම ඒවා බාරගත්තේ කැමැත්තෙන් නොවන බව.මම දන්නවා අම්මා මගෙත් එක්ක තරහට නොවන බව ඒ හැම දේම ඇඟට දාගත්තේ.. මමත් ඒ හැම දේම උපරිමයෙන් උරාගත්තා අම්මේ. පෙකණිවැල හරහා ඒ හැම විසක්ම පෙනහලු පිරෙන්න...මුලු ඇගම පිරෙන්න මම උරා ගත්තා.මට රිදුනා..මගේ හැම අවයවයක්ම පුදුම විදියට රිදුනා..ඒත් මම ඒ හැම දෙයක්ම විද දරා ගත්තා.මට ඕනි උනේ අම්මා ආයෙම හිනා වෙනවා දකින්න විතරමයි.

ඒත් ඒ කිසිම දේකින් මාව නැති කරන්න බැරි උනා. තාත්තා එක දවසක් කතා කරල මොනවටදෝ සල්ලි දෙන්න කැමතී කිව්වා.එදා ආච්චිලා සීයලා ඔක්කොම එකතු වෙලා ලොකූ කතාවක් තිබ්බා.මම ගුලිවෙලා මගේ ජීවිතේ ගැන තීන්දුව ගන්න හැටි අහගෙන හිටියා.මම දන්නවා අම්මේ ඒ කතාව ඇතුලේ අම්මගේ කතාවට ඉඩක් තිබුනේ නෑ කියලා.මම වගේම අම්මත් අසරනයි.ඒ මුලු වෙලාවෙම මගෙයි අම්මගෙයි ජීවිතේ තීරන ගත්තේ රැස් වෙලා හිටි අනිත් අය.ගොඩක් පින් මාව තනි නොකර බඩ උඩින් අම්මගේ අත තියාගෙන හිටියට.මගේ ඔලුවට අම්මගේ අතේ උනුසුම දැනුනා.මට හිතුනා මොනව උනත් ඒ විනාඩි ගාන වෙනුවෙන් මට ඕනි දෙයක් විඳවන්න පුලුවන් කියලා.

එතනින් පස්සේ හැමදේම හරි ඉක්මනට සිද්ධ උනා.පිට රටකට යන්න ටිකට් ගෙනාව.මම දැනගෙන හිටියා මම ඒ රටට යන්නේ නෑ කියලා.මහා රැස්වීමෙන් දවස් දෙක තුනකට පස්සේ .. අද ... අම්මයි මමයි ආච්චියි සීයයි මේ පොඩි සුදු පාට කාමරේට ආවා. මම දැනගත්තා මම අම්මත් එක්ක ඉන්න අන්තිම දවස අදයි කියලා.දුකක් නෙමෙයි මට දැනුනේ සතුටක්.. මම යන්නයි යන්නේ..අම්මා ආයෙම හිනා වේවි.තාත්තා ආයෙම අම්ම ලගට ඒවි..හැම දෙයක්ම ආයෙම තිබුන විදියට වේවි..එහෙමයි මම හිතුවේ..

අම්මා දිගටම ඇඬුවා.ඉන්ජෙක්ෂන් දෙද්දිත් දිගටම දිගටම ඇඩුවා. තාත්තත් ආව,තවත් කවුද ඇන්ටි කෙනෙක් අතේ එල්ලගෙන.එයා අම්මා තරම් ලස්සන නැති උනත් සුදු නැති උනත් තාත්තා එයාට කතා කලේ සුදූ කියලා. තාත්තා හැසිරුනේ අම්මව අදුරන්නේ නැතිගානට..

මේ මගේ යාලුවෙක් සුදූ..වැද වරද්දගෙන.තියෙන මෝඩකම තමයි ඉතින්.මගේ යාලුවෙක් නිසා මම සල්ලි ටිකක් දුන්න ඔපරේෂන් එකට...

එහෙමයි තාත්තා කිව්වේ.... මට ඒ ගැන මුකුත් හිතගන්න වෙලවක් තිබුනේ නෑ.. මහ යකඩ අඩුවක් මගේ කකුල් දෙක හිරකර ගත්තා..අනේ අම්මේ මට ගොඩක් රිදුනා.. කකුල් දෙක ඇඟෙන් ගැලවිලා යද්දි මම විලාප තිය තිය ඇඩුවා.මම හිතුවා අම්ම නැගිටලා මාව බේරගනී කියලා.ඒත් අම්මට නින්ද ගිහින් හිටියේ.. කකුල් දෙක,අත් දෙක,කෑල්ලෙන් කෑල්ලා මාව එලියට ඇදල ගත්තා..අන්තිමට මගේ ඔලුව.. මට රිදුනා අම්මේ..කියාගන්න බැරිතරම් මට රිදුනා..ඒත් මම අම්මට ටිකක්වත් වෛර කලේ නෑ.අම්මට පුලුවන්කමක් තිබුන නම් මාව බේරගන්න බව මම දැනගෙන හිටියා.තාත්තා එයාගේ සුදූ එක්ක යන්න ගියා..ආච්චි කලන්තේ දැම්මා..සීය අහක බලාගත්තා.. මගේ අවෂේශ මේසයක් උඩ ගොඩගහල තිබුනා. ලේ ගොඩක් මැද අත පය ඔලුව වෙන වෙනම දාල තියෙන්නේ අම්මගෙයි තාත්තගෙයි ආදරය නේද කියලයි මට හිතුනේ...

ඕකයි අම්මේ මගේ කතාව..
කිව්වනේ .. මම තරහ නෑ.මට ඕනි අම්මා ආයෙම හිනා වෙලා ඉන්නව බලන්න. මම ආයෙම පාවෙන්නෙක් වෙනවා..පා වෙවී ඉන්නවා.. මට තේරුම්ගන්න බැරි ආදරයක් හොයගෙන ගිහින් තවත් අම්මා කෙනෙක්ගේ හිතට දුක් නොදී මම හැමදාම පාවෙන්නෙක් වෙනව.
ඇස් අරින්න අම්මේ..අම්මට ජීවිතයක් තියෙනවා.. වෙන රටකට ගිහින් සතුටින් ඉන්න..

දැන් ඇස් අරින්න.. මට යන්න කලින් බලගන්න ... !!

අන්න හරි... කොල පාට ඉර දැන් හරි..ආච්චි සතුටින්..සීය සතුටින්..
දොස්තරට හුස්ම වැටෙන්න ගත්තේ දැනුයි ..

මම යනවා අම්මේ..

මම හැමදාමත් අම්මට ආදරෙයි ...

බුදුසරණයි !!



15 comments:

  1. හිතාගන්න බෑ.. මුළු ඇඟම හිරි වැටිලා ගියා වගේ. ඒ තරමට සංවේදී විදිහට ලියලා තියනවා.. මේක වෙන්න ඇති මේ ලෝකෙ නූපන් කළල ගොඩකම පාපොච්චාරණය. මේ දරුවා පිළිසිඳෙන තැනට එනකම් තියන හැඟීමයි ඉන් එහාට කතාවෙ තියන හැඟීමයි හරියට ප්‍රපාතයක් උඩ ඉඳන් පහළට තල්ලු කරා වගේ දෙයක්. අදමයි මේ පැත්තෙ ආවෙ. හැමදාමත් එන්න හිතෙනවා.

    ReplyDelete
  2. උපරිමයි............හිතට දැනුනු හැඟීම කියගන්න වචන හිතෙන්නෙත් නැති තරම්.මුලු හිතම හිරිවැටිල ගියා.ජය සහෝදරී

    ReplyDelete
  3. ලස්සන ලිපියක් ..දිගටම ලියන්න

    ReplyDelete
  4. ස්තූතියි හැමෝටම .. කප්පරක් වැඩ අස්සේ මම ලියන දේවල් කිවලා දැනෙන හැටි කියන එක මට ලොකුම ලොකු හයියක් .. :)

    ReplyDelete
  5. අඬවන්න එපා යකෝ... ශික්... ඇස් දෙකේම කඳුලු..

    ReplyDelete
  6. උපරිමයි අක්කේ,
    කියන්න දෙයක් හිතා ගන්න බැ

    ReplyDelete
  7. කියන්න වචන නැති තරම්....
    ඒ තරම් සංවේදීව ලියලා තියෙනවා

    ReplyDelete
  8. මටත් කියන්න තියෙන්නේ "දිගටම ලියන්න"කියලා තමයි,ඔයා ලියන හැම අකුරක්ම පුදුම විදියට හිතට දැනෙන්න ලියනවා.

    ReplyDelete
  9. ස්තූතියි හැමෝටම .. ඔව් .. කියවන්න එක්කෙනෙක් හරි ඉන්නකන් මම දිගටම ලියනවා :)

    ReplyDelete
  10. Wede nm uparimai.,Kiyanna wachana ne. Oya hekiyawa digatma tyaganna.

    ReplyDelete
  11. අහම්බෙන් මේ බ්ලොග් එකට ගොඩ උනේ...පාඩම් කරන්න තිබුනු ටයිම් එකෙන් පැය 3ක් විතර අරන් පුලුවන් තරම් කියෙව්වා....අනේ මන්ද ලියලා තියෙන්නෙ මගෙ හිතමද කියලා..එ තරමටම සමීපයි මේ අදහස් හැම එකක් ම..අර බ්ස් අත්දැකීම එහෙම එහෙමම මටත් වෙලා තියෙනව.. පුලුවන් හැම වෙලෙම ගොඩ වෙලා අදහස් කියලා යන්නම්..ලියන්න දිගටම.. :) ගුඩ් ලක් සිස්.. ගොඩ් බ්ලෙස් යූ...

    ReplyDelete
  12. ස්තූතියි.. හැබැයි ඔන්න පාඩම් නොකර ඉදල විභාගේ අමාරුයි කියනව එහෙම නෙමෙයි

    ReplyDelete
  13. One of the best posts i have read.

    ReplyDelete