බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, December 29, 2011

~ කඳුලින් ඇරඹි ... කඳුලින්ම නිමා වන ... 2011 ~

චාරිකා සටහන් ලියවිල්ල පොඩ්ඩක් කල් තියලා 2011 මගේ ජීවිතය ගැන ආයෙම හැරිලා බලන්න හිතුනා ... අද මගේ නීතිපීඨ අවසන් වසරේ නිබන්ධනයේ අන්තිම දවස... ඒත් මම ඒ නිබන්ධනය භාර දුන්නේ නෑ... තවත් අවුරුද්දකින් උපාධිය දිග වීමේ සතුට සමරන්න... එන්න මාව අඩවපු හැමෝම .... :)

2011... මගේ අවුරුදු 26ක ජීවිත කාලේට මම අත්වින්ද නරකම අවුරුද්ද... නාඩපු දවසක් නැති තරම් .... සතුටින් හිටි එක මොහොතක් නැති තරම්.... ඇතුලින් ලේ කඳුලු කර කර ලෝකෙට පේන්න හිනා වෙන්න මුලු ශක්තියම කැප කල අවුරුද්දක් ... කිසිම දෙයක් නොකල..කිසිම ජයක් නොලබපු... කිසිල දෙයක් සම්පූර්ණ නොකරපු... අසම්පූර්ණ අවුරුද්දක් ....




මම ....
කවදාවත් කාටවත් හිතා මතා දුකක් දුන්නු කෙනෙක් නෙමෙයි ... හැමදාමත් මිනිස්සුන්ට දෙන්නේ මොනවද කියලා මිස මිනිස්සුන්ගෙන් ගන්නේ මොනවද කියලා හිතපු කෙනෙකුත් නෙමෙයි.මට ඕනි උනේ දෙන්න..මගේ ලග තියෙන හැමදේම ... වෙලාව .. මහන්සිය..සතුට.. හිනාව.. හැමදේම ... මිනිස්සුත් ඒ හැමදේම ගත්තා... දෙන්න දෙන්න,පුදුම සතුටකින් ගත්තා... මම කවදාවත් ඒ දුන්නු දේවල් වලට ආපිට මුකුත් බලාපොරොත්තු නොවුනත්, මම හිතුවේ නෑ ඒ දුන්නු දේවල් නිසා මට විඳවන්න වෙයි කියලා.

ලෝකයෙන් බැනුම් අහගෙන ... දෙමාපියන්ගෙන් බැනුම් අහගෙන ... ළගට ගත්තු මිනිස්සුම ... මට දාහක් කථා කියලා..නින්දා කරන්න පුලුවන් හැම විදියෙන්ම නින්දා කරලා... යන්න ගියා..අද වෙනකන් තමුන් කල කිසිම දෙයක වැරැද්දක් නොදැක... මගේම වැරදි කිය කිය..මටම බනින්න තරම් මම ලගට ගත්තු මිනිස්සු දරුණු වෙලා ...

මේ අවුරුද්ද පටන් ගත්තේ කඳුලින්... අවුරුද්ද පුරාවටම ඒ කඳුලු ඇල්ල එක සීරුවට කඩාගෙන වැටුනා.. එදා අඩන්න හදනකොට කඳුලු පිහිදන්න ලඟින් හිටි උදවියම අඩපන් අඩපන් කියලා අවුරුද්ද පුරාවටම ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා... අඩන්න කඳුලු නැති උන තැන ඇස් කෙවෙනි වලින් ගැලුව ලේ බින්දු කාලයක් මම ආදරය කල අයම රිදී කුසලාන වලට එකතු කරගෙන මධු සාද පැවැත්තුවා...

මම දිගටම ඇඩුවා ...



2011... ශ්‍රිලංකා තොරතුරු තාක්ෂන ආයතනයේ උපාධිය ලබා ගත්තු අවුරුද්ද... මගේ ජීවිතේ තිබුනු ලොකුම ලොකු හීනයක් ඉටු කරගන්න මම මග බලාගෙන හිටි අවස්ථාවක්... ඒ හීනය වෙනුවෙන් මම ගොඩක් දේ පරිත්‍යාග කලා..කාතවත් හිතාගන්න බැරිතරම්..කවුරුත් නොදන්න තරම් ගොඩක් දේ...

ඔව්...

මට උපාධිය ලැබුනා... උපාධි ලෝගුව දාල උපාධි තොප්පිය දාල අත්පුඩි හඩ මැද උපාධි සහතිකේ මට ලැබුනා..

ඒත් ...

මගේ හීනය..

අවුරුදු තුනක් පුරාවට මම ඉටුකරගන්න බලාගෙන හිටි හීනය..මගේ හැමදෙයක්ම මම කැප කල හීනය කෑලි කෑලි වලට කැඩිලා සරසවි බිම පුරාම විසිරිලා තිබුනා... හරිම අහිංසක හීනයක් එදා ඒ බිමේදි මැරිලා ගියා...

මිනිස්සුන්ගේ ජීවිත වල මගේ චරිතය එක එක විදියෙන් අරුත්ගන්වන හැටි මම බලාගෙන හිටියා... කාලයt එක්ක මගේ චරිතය තමුසයෙක්,එක එකෙක්, කොහෙවත් යන එකෙක් වෙන හැටි මම බලාගෙන හිටියා... කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ආපු සුලි කුනාටු මගේ පුංචි ඔරුව කෑලි කෑලි වලට කඩන හැටි මම නිසොල්මනේ බලාගෙන හිටියා... කැඩුනු සුන් බුන් උනු ඔරු බඳේ එල්ලිල පණගැට ගහගන්න හදනකොට.. කුඩු පට්ටම් උනු ලී කෑල්ල අල්ලගෙන හිටි ඇඟිලි වලින් ලේ එනකන් පයින් ගහන්න මිනිස්සු පෙළඹුනා... සතුටු උනා ඒ හැමෝම ... මම ඒ හැමෝටම ආතල් දෙන කවටයෙක් උනා...

විභාග වලට මූන දුන්නා.. ඒත් .. කවදාවත් විභාගයක් ෆේල් නොවුනු වාසනා ඒ වෙනකොට මැරිලා... එක පිට එක අසමත් ලකුණත් එක්ක ප්‍රථිපල සටහන් එද්දි මම හිනා උනා.. සතුටු හිතුනා මිනිස්සුන්ට ඕන උනු දේ මම දුන්න කියලා හිතලා... නෑ..ඒත් මදි..තවත් මදි ... මම ජීවත් වෙලා ඉන්නකන් ඒ මිනිස්සුන්ට සතුටක් නෑ..කවද හරි මම නිදියන හතර රියන උඩ සාදයක් පවත්වන්න පුලුවන් උනු දාට ඒ මිනිස්සුන්ට සතුටක් දැනෙයි.. දුක් වෙන්න දෙයක් නෑ..ඒ දවසත් වැඩි දුර නෑ ... :)

මම ආදරය කලා.. ජීවිත කාලයේ කල ඒ එකම වරදට නොසෑහෙන්න දුක් වින්දා... ගොඩක් දේ අහගත්තා.. ගොඩක් දේ දැක්කා.. ගොඩක් දේ වින්දා... මම මාව තේරුම් ගනී කියලා හිතපු අයට, මට අනුකම්පා කරන්න කියලා, පිට මිනිස්සුන්ට කියන්න වෙන තරමට අනුකම්පා සහගත පහත් අඩියකට මාව වැටුනා ...

කොහොම හරි.. ලබන්නේ අලුත් අවුරුද්දක්... මට හීන නෑ..බලාපොරොත්තු නෑ..ඉෂ්ට කරගන්න ආසාවල් නෑ..කොටින්ම මම නරුමයෙක්..ඇවිදින රොබෝවෙක්... කිසිම පලකට නැති..කිසිම තේරුමක් නැති..පාවෙන ජීවිතයක් ... ලබන අවුරුද්ද මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන අවුරුද්දක්. තවමත් ඒ වෙනස් වෙන්නේ කොහොමද කවදද කියන එක ගැන මම දන්නේ නෑ...ඒ මගේ ජීවිතේ තවදුරටත් මට අයිති නැති නිසා.. මම මගේ ජීවිතේ ජීවත් වෙන්න උත්සාහ කලා.. මට වැරදුනා.. ඒ නිසා මම මගේ ජීවිතේ සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට සහ ලෝකයට පැවරුව... කැමති දෙනෙක් කැමති දෙයක් කරගත්තාවේ... මට තවදුරටත් මුකුත් දැනෙන්නේ නෑ ...




වාසනා ව දැනගෙන හිටි අය මේ බ්ලොග් එක කියවනව ඇති.. ආයේ අපි කවදම හරි හම්බු උනොත් ඔයාල දැකල පුරුදු..ඔයාල කථා කරල පුරුදු වාසනාව දකින්න හිතන්න එපා... එයා නෑ..එයා ආයෙම එන්නෙත් නෑ... 2011ත් එක්ක ඒ වාසනා වැලලිලා.. අලුත් වාසනාව ඔයාල අදුරන එකක් නෑ..මෙයා ගොඩක් වෙනස්..කාටවත් උදව්වක් කරන්නේ නැති..කාගෙවත් ගැන බලන්නේ නැති..හිනාවක් අඳුරන්නේ නැති... ඇවිදින මලමිනියක් විතරයි...

තේරුමක් ඇති පෝස්ට් එකක් නෙමෙයි..දන්නවා මගේ යාලුවෝ හැමෝම මට මේකට බනිනවා කියලා..අසමාවෙන්න.. මට ඉවසගෙන ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා... නැති වෙන්න දෙයක් තවත් මට නෑ :)

මේ බ්ලොග් එක පටන් ගනිද්දිම මට මිනිස්සු බැන්නා..මම ලියන්නේ වල් පල් කිව්වා.. කිසිම තේරුමක් නැති දේවල් කිව්ව.. තේරුමක් නැති වල් පල් කියවන්නත් මිනිස්සු ඉන්නවා කිව්වා... මම පාලු ගෙවල් වල වලං බිඳිනවා කිව්වා.. මම බ්ලොග් එකක් ලියාගෙන අනුකම්පාව හොය හොය ඇවිදිනවා කිව්වා... මම වාචාලයෙක් කිව්වා.. උගත් වැදග්ත් පිරිමි සහ ගැහැනු තැන තැන කියව කියව යන්නේ නෑ කිව්ව.. මම චාරයක් නැති වැල්ලේ කෙල්ලෙක් නිසා කිව්ව මේ විදියට කථා ලිය ලිය අනුකම්පාව ඉල්ලන්නේ ... මම රගපානවා කිව්වා.. මම කරන්නේ අනුකම්පාව අයදින්න නාට්‍යක් රගපාන එක කිව්වා.. මම හොඳ මිනිස්සුන්ට කථා හදනවා කිව්වා... මම මගේ අයත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ට මඩ ගහනවා කිව්වා


මහ ගොඩක් දේ කිව්වා....
තවත් කියයි ....

වෙන්න ඇති..
මට චාරයක් නැතුව ඇති.. 
මට හැදියාවක් නැතුව ඇති.. 
ඒත් මේ මම... 
මම මම මිස ඇය හෝ ඔබ නෙමෙයි ... !!



කවදාවත් අනුකම්පාව යදින්න මම කථ ලිව්වේ නෑ..අනුකම්පා කරන එක නොකරන එක මිනිස්සු සතු අයිතියක්..මට පුලුවන් නම් කථාවකින් මිනිස්සුන්ගේ අනුකම්පාව යදින්න...විශේශයෙන්ම බොරු කතාවකින්.. පාලු ගෙවල් වල වලං බිඳීමකින්... මම ශ්‍රේෂ්ට ලේඛිකාවක් වෙන්න ඕන ;) ඇයි මට පාලු ගෙවල් වල වලං බිඳින්න ඉඩ දෙන්නේ ? ඒ ගෙදරට ඇවිත් පාලු නැති කරන්න හැමෝම... මම පැනල යන්නේ නෑ..මම හැන්ගෙන්නෙත් නෑ... ලෝකයක් ඉස්සර උනත් මගේ කථාව කියන්න පුලුවන් මට..

 ඒ මම වාචාල නිසා ;)

2011 පුරාවට මගෙන් කොහොමද කියලා අහපු මගේ හැම යාලුවෙකුටම මම කිව්වෙ මම ජීවත් වෙනවා කියලා..ඔව් මම ජීවත් උනා... රුවල් ඉරී ගිය මගේම නෞකාවේ ඉරුනු රුවල් රෙදි දවටගෙන... දෝතට එක් කල වැසි දිය බිබී මම ජීවත් උනා... 2011 මට එක දෙයක් ඉගැන්නුවා..කවමදාව්ත් කිසිම කෙනෙක්ව විස්වාස කරන්න නරකයි... හැම දෙනාම ඉන්නේ තමන්ගේ වාසියට විතරයි..කවුරුත් කවදාවත් අනිත් කෙනෙක් ගැන හිතන්නේ නෑ..අවස්ථාව ලැබුනු ගමන් ඒ වෙනකන් තමුන්ගේ දුක සැප හොයපු..තමන් වෙනුවෙන් මහන්සි උනු අයගේ හුස්ම උඩින් තමන්ගේ මග හදාගන්නයි හැමෝගෙම උත්සාහය.. ( සමාවෙන්න එහෙම අදහස් නැති අය..නමුත්.මුලු මිනිස් ලෝකය ගැනම මට තියෙන්නේ අප්පිරියාවක් විතරයි ).

2011 වගේ අවුරුද්දක් ආයෙම මගේ ජීවිතයට නොඑන්නයි මගේ ප්‍රාර්ථනය... ජීවිතය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි.. සතුටක් දීලා කොන්ත්‍රාත් කාලේ ඉවර උනාම ඒක ආයේ උදුරගන්න පුලුවන් විදියේ ගනුදෙනුවක් නෙමෙයි ජීවිතය කියන්නේ... හැමදෙයකම පිලිවෙලක් තියෙනවා.. ලගට ගන්න වගේම අතහරින... සම්බන්ධකම් ඇති කරගන්න වගේම නැති කරගන්නත් පිලිවෙලක් තියෙනවා... හිතුමතේට සෙල්ලම් කරන්න තරම් ජීවිතයක් සියුම් වැඩී.. සමනල් පිහාට්ටක් වගේ ... පරිස්සමෙන් හැඩ බැලුවේ නැත්තම් ඒ පිහාටු වලට ආයෙම කවමදාවත් පියාඹින්න බෑ .... මගේ ජීවිතය ජීවිතයක් විදියට මම ආදරය කල අය මගෙත් එක්ක හිටි අය දැක්කේ නෑ.. මගේ ජීවිතය හැමෝටම වැඩ පහසු කරවන යන්ත්‍රයක් විතරයි..හැඟීමක් දැනීමක් නැති..නිකන්ම නිකන් යකඩ ගොඩක් :) මට දැනගන්න ඕන මට වැරදුනේ කොතනද කියලා..මේ තරම් අඩන්න මම කල වැරැද්ද මොකද්ද කියලා.. කොටින්ම ඇයි මට මෙහෙම උනේ කියලා ... මට ඕනි වැරදි හදාගන්න..ආයෙම 2011කට මුහුන දෙන්න මගේ ඉරිතැලුනු ආත්මයට පුලුවන්කමක් නෑ..ඒ නිසයි මට වැරදි හදාගන්න ඕන..

ඒත්...

මට මගේ වැරැද්ද අද වෙනතුරුත් හොයා ගන්න බෑ ... !!

මම අඩන්න ඕනි කෙනෙක්ද?               
මම විදවන්න ඕනි කෙනෙක්ද?
ඕනි නම් ..ඒ ඇයි .. ?
මොකද්ද මම කල වරද..?
ප්‍රශ්නයක් ... !!


~ චාරිකා - දෙවෙනි කොටස ~

චාරිකා - පළවෙනි කොටස සුපුරුදු පරිදි මූණු පොතේ පලකරන්න බැරි උනා.. ඒ link එක share උනේම නෑ.. වරද කොතනද කියලා මට හොයා ගන්නත් බැරි උනා... කොහොම හරි..මූණු පොතේ මග කියන්නෙත් නැතුව ඇවිත් මගේ චාරිකාව ගැන කියවපු හැමෝටම ස්තූතියි.

මාතර ඉදන් තැඹිලි බීපු තැනින්නේ  කථාව නැවැත්තුවේ...අද එතන ඉදන්... 




මාතර පාර දිගේම පොඩි පොඩි කෑම අයිටම් තියෙනව විකුනන්න... මගේ හිත ගියේ පැළ මද වලට (පැළ මද කියන්නේ මොනවද කියලා නොදන්න ඇත්තෝ ඉන්නව නම් කොමෙන්ට් කොරන්ට...) පාර අයිනේ තියෙන නොවැසූ අහාර අනුභවය පිලිබදව මෑණියැන්දෑගේ අධික නොකැමැත්ත පියානන්දෑට කන්කෙදිරි ගෑමෙන් අතික්‍රමය කල මම අත් පිරෙන්න පැළ මද බෑග් ගොඩක් ගත්තා.. ආයෙම දවාලට කන්න තංගල්ල තානායමෙන් නවත්තනකන්ම හව් හව් ගාල පැළ මද හපන එක තමයි මගේ රාජකාරිය උනේ.

තංගල්ල තානායම අපේ සුපුරුදු නැවතුම් පොළක්. වෙනදා වැඩි සද්දයක් බද්දය නැති උනත් එදා නම් සූ ගාල සෙනග හිටියා... නිවාඩු කාලෙනෙ :) 

දැන් ඔන්න අපේ රට ගිය ඇත්තන්ට පපුවේ අමාරුව සෑදවීමේ අති පවිත්‍ර වූ අභිලාෂයෙන් මම කියන්නම් අපේ දවල් කෑම ලැයිස්තුව ;)
  • සම්බා හාල් බත්
  • මිරිස් පරිප්පු(ඉඟුරු,මිරිස් සහ කරපිංචා යහමින් දාපු තෙම්පරාදුවක්)
  • වට්ටක්කා උයලා
  • ගොටුකොල මැල්ලුම්(උම්බලකඩ හෝ ගාල )
  • කරවිල වේලල තෙල් දාල
  • කෙලවල්ලෝ මාලු උයලා
  • බෝංචි
  • මිරිස් සහ කරවල එකට දාල බැදලා
  • ඉස්සො ඩෙවල්
  • තඩි කකුලුවො තුන්දෙනෙක්
  • පොල් සම්බෝල(පොල් කුඩු නෙමේ.. ඇත්තම පොල්)
  • කිරි හොදි
ඉතිං හෙටක් නෑ කියලා අපිත් කෑවා... හැන්දෙන්, ගෑරුප්පුවෙන් විතරක් නෙමෙයි දකුනතින් වමතින් හිටන් කෑවා... කකුලුවො කන්න පුලුවන්ද හැඳි ගෑරුප්පු වලින් ? අත්දෙකින්ම අල්ලගෙන උලා කනකොට තමයි නියම රස දැනෙන්නේ.. (වෙජිටේරියන් අය සමාව භජනය කරත්වා).

චාරිකාවේ දෙවෙනි සොඳුරු මනුස්සයා හමු උනේ මෙතනදි.. ඒ අපිට කෑම බෙදපු වේටර් මහත්තයා... අපි කොහොමත් සිරිතක් වශයෙන් අවට ඉන්න අයව කතාවට ඇදගන්නවා.. ඒ නැතත් මිනිස්සු අනිවාර්යයෙන්ම මගෙත් එක්ක කතා කරනවමයි ;) ඉතිං මේ මනුස්සයත් අපිත් එක්ක කතාබහ කලා අපි කනකන්ම.. කතරගම ගැන ගොඩක් විස්තර කියල දුන්න විතරක් නෙමෙයි ඒ ගැන ලියපු පුංචි පොතකුත් ඒ මනුස්සය අපිට දුන්න.අපි ලග ඊට වඩා ගොඩක් විස්තර තියෙන සම්පූර්න සංචාරක පොතක් තිබුනත් ලෙංගතු කමින් දුන්න තෑග්ග අපි බාරගත්තා... මුලින් කියපු කෑම ලිස්ට් එක කාල කෙලින් හිටගන්නවත් බැරුව අතපත ගාගෙන ගිහින් පුටුවකට වැටුනු අපි එතනම පාෂානිභූත වෙලා හිටියා කාපුව උගුරෙන් පහලට යනකන්.. ඒ ඉන්න අතරතුර පේන දුරින් තිබුනු වරායේ හිටි නාවික හමුදා අයියලා කීප දෙනෙකුට අතවනලා යාලු කරගන්නත් මමයි නැගනියයි සමත් උනා.. කොහොම හරි..අපි යන්න සූදානම් වෙනකොට ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා වගේ කොහෙන්දෝ මතු උනු අපේ වේටර් මහත්තයා වාහනේ ලගටම ඇවිත් අපිට සුභ පැතුවා... විශේශත්වය ඒක නෙමෙයි ... ඒ වේටර් ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්.. බෙල්ල වටේට දාපු මාලෙ අගින් එල්ලුනේ ශුද්ධ වූ මරියතුමීගේ සුරුවමක්.... ඒත්... මේ සොඳුරු මනුස්සයා අපිට සුභ පැතුවේ බුදු සරණයි කියලා.. Bye bye කියලා නෙමෙයි.. TC කියලත් නෙමෙයි.. කට පුරා බුදු සරණයි කියලා... "බුදු සරණයි මහත්තයලට .. පරිස්සමෙන් ගිහින් එන්න ..." ආගමට කුලයට ජාතියට ගහ මරාගන්න මේ රටේ අන්‍ය ආගමිකයෙක්ගෙන් ඒ තරම් ලෙංගතු සුභපැතුමක් අපි බලාපොරොත්තු උනේ නෑ...  

තංගල්ල තානයමෙන් පස්සේ අපේ ඊලග නැවතුම උනේ කතරගම.. පාර දෙපැත්තෙම මිනිස්සුන්ට අත වන වන..විප්‍රකාර මූණු හද හද ටිකක් දුර යන්න වාසනාව ලැබුනත් ඒ සතුටට අකුල් හෙලපු මගේ පියාණෝ පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් මගේ වගකීම මතක් කරලා දුන්නු දීර්ඝ දේශනාවෙන් පස්සේ අපේ රථයේ මාතලී වෙන්න මට සිද්ධ උනා :( ඇස් දෙකටම බූ ගාල අඩන ගමන් පාර දිහාම බලාගෙන සිහි කල්පනාවෙන යන්න උනා එතන ඉදන්. පාර දිගේ සොඳුරු දසුන් කීයක් නම් මග ඇරුනද ... පාර අයිනේ බස් ස්ටෑන්ඩ් එකක හිටි ග්‍රීක දේව ප්‍රතිමාවක් වගේ සොඳුරු දසුනක් බලන්න ගිහින් තව පොඩ්ඩෙන් කතරගම ගමන පැත්තක තියලා ඉස්පිටිතාලේ ලගින්නත් වෙනවා.. අයියෝ .... (වාහනයක මගියෙක් වෙන එක තරම් වෙනත් සැපතක් ලොවේ නැත ...)

කතරගමට ගියා... පාර පුරාම මොණරු  නිසාත්..අපිට රෑට බතට මොණර මස් කෑමේ බලපොරොත්තුවක් නොතිබුනු නිසාත් ආයෙම මගේ පියාණෝම මාතලී උනා.. මමත් ඉතිං පිනුම් දෙකයි බල්ටි දහයයි ගහලා අයෙම මගේ තැනට මාරු උනා.. ඒත් ඒ සැප වැඩි වෙලා තිබුනේ නෑ.. අපි නවතින්න තීරනය කරල තිබුනේ "සිංහ ලෙන" කියල හෝටලයක..ඒත් අපි ඒක තියෙන තැන දැනගෙන හිටියේ නැන්.ඔන්න ඉතිං ආයෙම මට සිද්ද උනා ඒ හෝටලයේ අංකෙට කථා කරල ඒක  තියෙන තැන දැනගන්න.. මට එපාම කරපු වැඩේ.. යාලුවොත් එක්ක පැය ගනන් ෆෝන් එකෙන් මල් කැඩුවත් ඔහොම බරපතල් කථා වලට මම හරිම අමමැති.. හැමදාමත් වෙන්නේ මමයි ඒ කත කරන කෙනයි දෙන්නම මහා අවුල් ජාලවක පැටලෙන එක විතරමයි..ඒත් ඉතිං මොනා කොරන්ටද..ආයෙම දේශනාවක් අහන්න බැරි නිසා මමත් ගත්තා කෝල් එකක්...

මම :: හෙලෝ ඕ ඕ ඕ ඕ..

Hotel :: හෙලො..  

මම :: Is this Sinha lena hotel?

Hotel :: Yes madam.. What can we do for you?

මම ::We have booked a room in your hotel. We are at katharagama now but  can't find the way to the hotel.  will please tell us the directions to get there?

Hotel :: Sure madam.. may I pls know where you are right now ?

** බුබුලු නගින බෙලිකටු ... දැන් ඉතිං කියාපල්ලකො අපි ඉන්න තැන.. ඔන්න මගේ පියාණෝ නම් දන්නව..ඒත් මම දන්නවද..? අවුරුදු 26ක් තිස්සේ ජීවත් වෙන ගෙදරට යන පාර කියන්න දන්නේ නැති මම කතරගම පාරවල් කියන්නේ කොහොමද... ඔන්න එතකොටම මොනරෙක් ඉස්සරහින් පාර පැන්නා.. 

ඉතිං මට හිතුනා මම ඉන්න තැන මෙන්න මෙහෙම කියන්න ... 

" අපි දැන් ඉන්නේ පාරක..පාර දෙපැත්තෙම ගස් තියෙනවා..ලොකූ ගස්.. පාරට තාර දාල තියෙනවා.. දකුනු පැත්තේ මිහිලක රස බොජුන් කියලා පෙට්ටි කඩයක් තියෙනවා.. එතකොට..ආ..අපි ඉන්න තැන පාර ඉස්සහින් මොනරු පාර පනිනවා " වෙන මොන කෙහෙල් මලක් කියන්නද... **

කෝච්චි දෙක තුනකට අහු උනු සැමන් ටින් එකක් වගේ මූණ හදාගෙන ෆෝන් එක ලෑටිගාන මාව දැකපු පියාණෝ මගේ අතින් ෆෝන් එක අරගෙන සාකච්ඡාව එතනින් එහාට අරගෙන ගියා.. ඉතිං ඕක කලින්ම කලා නම් හරිනේ මාවයි ඒ අනිත් එක්කෙනාවයි අපහසුතාවයට පත් නොකර x( කොහොම කොහොම හරි... අපි හෝටලේට ලගා උනු ගමන් ඒ අය අපිව පිලිගත්තේ ඔයාල නේද පාර වැරදුනු අය කියල අහලයි... ඊට වඩා හොඳ entrance එකක් තියෙයිද වෙන කොහෙවත් ... ;)

මෙන්න අපේ හෝටලේ පොඩි රූප ටිකක්...(කථනය මගේ නැගනියගෙන්... ඇත්තටම මේ රූපරාමු ඔක්කොම එයාගේ.. මම නියම වැඩිමහල් සහෝදරියක් විදියට එයාගෙන් ඒවා හොරකම් කලා ... )

video



video


හරි..එතන ඉදන් ඊලග පෝස්ට් එකෙන් කියන්නම්... දැනට මේ ඇති :)

Wednesday, December 28, 2011

~ චාරිකා - පලවෙනි කොටස ~

ඔන්න මම ආවා කාලෙකට පස්සේ ...
අද කථාව ආදරය ගැන නෙමෙයි .. 
ඒ හේතු තුනක් නිසා ...

01) ආදරයේ අකුරු හතර අස්සේ මගේ ලිවීම කොටු කරන්න මම අකමැති වීම ...

02) මම ලියන සැබෑ ආදරය කියල එකක් ඇත්තටම ලෝකේ නැති වීම ..(ෆැන්ටසියකට සීමාවක් තිබිය යුතුය) 

03) කවුදෝ මන්දා ඇනෝනිමස් කෙනෙක් මගේ " ආදරයට ආදරෙන් ලියමි " පොස්ට් එකට " please dont over abuse LOVE " කියා ලියා තිබීම .. (මම කවදාවත් Love එක abuse කලේ නම් නෑ.. එහෙම කලා නම් අද මට මෙහෙම වෙන්නෙත් නෑ....අනේ මන්දා...)

ඒ නිසා අද ලියන්නේ මගේ කතරගම චාරිකාව ගැන... මම ඇසූ දුටු දේවල්..මග දිගේ මුණගැහුනු සුන්දර මෙන්ම අසුන්දර මිනිසුන් .. පාර දෙපැත්තේ දැකපු අද්දර ජීවිත සහ මට හිතුනු දේවල් .... 

ආදරය ගෑවිලාවත් නෑ ඔන්න ;)



අපි කතරගම යන්න තීරනය කරල හිටියේ 24 වෙනිදා උදෙන්ම... ඒත්..උදෙන්ම නැගිටීම කෙරෙහි අපේ මෑණියැන්දෑ හැර අනිත් සාමාජිකයක් දක්වන අධික ප්‍රතිරෝධය සහ ඊට කලින් දවසේ ගියපු සාදයේ බලපෑම නිසා චාරිකාව පිටත් වෙන්න හිතපු වෙලාව වෙද්දිත් අපි ඔක්කොම නිදි .. :) වෙලාවට සූදානම් උනු එකම සාමාජිකයා උනු මගේ මෑණියැන්දෑගේ ජාතිය ඇමතීම අස්සේ නිදිමරගාතේ ඇවිදගෙන ගිහින් දත කට මැදගෙන මොන මොනවාදෝ ඇද පැලදගෙන ඔන්න අපි පිටත් උනා නමෝ විත්තියෙන් පවුලේ චාරිකාවට :)

කලින්ම තීරනය කරලා තිබුනු විදියට Highway එකේ ගාල්ලට වෙනකන් යන්නයි සූදානම.. බ්‍රේක් ගහන හැටි ඉදගෙන සුක්කානම කරකවන හැටි වෙනකන් උපදෙස් දෙන මෑණියැන්දෑගේ කෑගැහිල්ලත් එක්ක වාහනේ පදින්න බෑ කියලා තීරනය කල පියානැන්දෑ කලින්ම මෑණියැන්දෑව වාහනේ පිටිපස්සේ ආසනේට පිටත් කලා. දෙවෙනියට නිෂේධ බලය ඇති මට ඉස්සරහ ආසනේට උස්සවීමක් ලැබුනේ ඔන්න ඔහොමයි .... කොට්ටාව පිවිසුමෙන් වාහනේ අධිවේගී මාර්ගයට වාහනය ඇතුලු කරද්දිම පිටිපස්සේ ආසනෙන් පටන්ගත්තේ නැතෑ මුණු මුණුවක්.. බැලින්න්ම මෑණියැන්දෑ ඉතිපිසෝ ගාථාව කියනවා :)

අධිවේගී මාර්ගය.. 

ඇත්තටම කථා කල යුතු මාතෘකාවක් .. දේශපාලන මතිමතාන්තර කොහොම උනත් හොඳ දේ හොඳ විදියට දකින්න ඕන... අධිවේගී මාර්ග කන්නද කියලා අහපු විපක්ෂයේ ඇමතිවරුන්ට නොදැනුනාට.. ආච්චිට සීයට අසනීපයි කිව්ව ගමන් සියලු වැඩ අතහැර ගාලු දුවන්න වෙන අපි වගේ අයට ... මේ පාර සම්පතක් ... කොට්ටාව පිවිසුමෙන් අතුලු වෙලා ගාල්ල පිවිසුමෙන් පිට වෙන්න ගියේ හරියටම පැයයි.. 9.45 ට ඇතුලු උනු අපි 10.44 ට ගාල්ලේ ...

ඇගට එන ප්‍රයිවෙට් බස් .. පාර පුරා දුවන මෝටසයිකල්.. මහ සද්ද දගත්තු ත්‍රිවීලර්.... ඉවක් බවක් නැතුව හීනෙන් ඇවිදින මිනිස්සු ... හරක්... එලුවො.. මේ සා ප්‍රකාර කේන්ති අවුස්සන සුලු කිසිම දෙයක් අධිවේගී පාරේ නෑ... එක නලා සද්දයක් නෑ..වාහන හැම එකක්ම එකක් පිටිපස්සෙ එකක් පේන තෙක්මානයක් දුරට යනවා.. දැන් හිතන්න එපා මම මහා ධනවාදිනියක් වගේ පොඩි වාහන වලට පහර ගහනව කියලා..නමුත් රටක වාහන පද්ධතිය හරි පිලිවෙලකට සකස් කරන්නම ඕනි ..එතකොට කාටත් ලේසි ....

ගාල්ලට යන්න අපිට අවම පැය දෙකහමාරක් ගතවෙනවා.. එහෙම ගථකරලත් ගාල්ලට වෙනකන් යහතින් යන්න ලැබේද කියල හිතාගන්න බෑ..හැමෝම ගාලු පාරේ එක පාරක් හරි ගිහින් ඇතිනේ ... අපි ඒ දුක වින්දා ගොඩක්.. උදේ වැඩට ඇවිත් හවස ගාලු ගිහින් ආයෙම උදේ වැඩට ආපු කාලෙකුත් මගේ ජීවිතේ තිබුනා... අද ඒ ගමනම කිසි කරදයක් නැතුව පැයකින් යන්න පුලුවන් කියන්නේ හීනයක් හැබෑ උනා වගෙයි අපිට...

ගරු විපක්ෂයේ ඇමතිවරුනි මන්ත්‍රීවරුනි,

අධිවේගී මාර්ග කන්න බෑ තමයි... ඒත් ඒ මාර්ග භාවිතයෙන් ඉතුරුවෙන වෙලාව සහ ඉන්ධන වියදමෙන් කන්න පුලුවන්... ජීවත්වීම කියන්නේ කෑමම නෙමෙයි... ගමනක් යද්දි ඉස්සරහින් පිටිපස්සෙන් පරිවාර වාහන නැති... රතු ලයිට් පොලු පෙන්නලා අනිත් වාහන බය කරලා පාර අයිනට දාල පාර හදා ගන්න ඉඩකඩ නැති අපි වගේ පුංචි මිනිස්සුන්ට .. ආච්චි සීය අසනීප උනාම ගමට යන්න අධිවේගී පාරවල් ඕනි ... ඒ මිනිස්සුනේ ජීවිත අපි ගාලු පාරේ පැය දෙකහමාරක් නටල එනකන් රැකිලා නොතිබෙන්න පුලුවන් ... !!

ඇත්ත.. මේක ලෝකෙ හොඳම අධිවේගී මාර්ගය නෙමෙයි.. ඒ වගේම මේ පාරට මුවාවෙන් ආණ්ඩුවේ ගොඩක් දෙනා බඩ වඩාගෙන ඇති.. මම නෑ කියන්නේ නෑ.. ඒත්..අපිට පාරක් තියෙනවා..ඒ පාරෙන් ගාල්ලයි කොළඹයි අතර කාල වෙනස අඩුකරල තියෙනවා..ඒ මදිද ....

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට ඕන තරම් අය ස්තූති කරල තියෙන නිසා මම ඒ පාර්ශවය ටිකක් අමතක කරන්නම්... පාර හදපු පොඩි මිනිස්සුන්ට පින්... මහ කැලෑවක් කපලා..ගල් පුපුරවලා.. මේ සා විශාල වැඩ ගොඩක් කරපු කම්කරුවන්ට ..ඉංජිනේරු මහත්වරුන්ට.. හැමදෙනාටම ගොඩක් පින් ... ඒ පාරේ යන හැම වාරක් ගානෙම පින් ... !!

හ්ම්ම්...

ඉතිං ඔන්න කිව්ව වගේ මම ඉස්සරහ ආසනේ ඉදගෙන අවට සිරි නරඹමින් ගියා.. පාර හරිම ලස්සනයි..හැබැයි පටුයි... මේ අස්සේ පියානන්දෑ පටන් ගත්තා කෙඳිරි ගාන්න.. පාර හිස්..ඕන හැටියේ පැ‍යට කිලෝමීටර් සීයේ වේග සීමාවට එපිටින් යන්න පුලුවන්..ඒත් ඉතිං විහිලුවටවත් මාරිග නීති කඩන්නේ නැති මගේ මෑණියැන්දෑ  සහ පිටිපස්සේ ආසනේ ඉදන් වෙග මාපකය දිහා දන්ඩි පැටවුන්ට ඇහැගහගත්තු කොකෙක් වගේ බලාගෙන ඉන්න මගේ නැගනියත් එක්ක කොහේ හයියෙන් යන්නද... දිගටම කෙදිරි ගගා 100ට යනව ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ පියානන්දැටත් .. මටත් වස කම්මැලී.. නින්ද යාගෙනත් ආව කීප තැනකදිම ... ඇගට දැනෙන්නේ නෑ වාහනේ යනව කියලවත්... 

පාරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බල්ලන් සහ පොල්කිච්චන්.. බල්ලෝ පාර දිගේ දුවන්නේ උන්ට බෙල්ල තියන්න ආස වාහනයක් එනකන් වගේ.. අපේ වාහනේට බල්ලො දෙන්නෙක් ආස උනා..දුවගෙන දුවගෙන ඇවිත් දිවි පිදූ විරුවන් වෙන්න උත්සාහ කලත් අපි ඒ අවස්ථාව උන්ට ලබා දුන්නේ නෑ :) පොල්කිච්චෝ පාර හරහා පියාඹිනවා.. උන්ට තාම HIghway අත්දැකීම නැද්ද කොහෙද ..ඕන හැටියේ උඩින් පියාඹන්න ඉඩ තියෙද්දිත් මුන් පියාඹන්නේම වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහින්.. බටර් කුට්ටි වගේ පත කුරුල්ලෝ..වැදුනොත් කුරුල්ලට වගේම වාහනේ වීදුරුවටත් සොරි තමයි ...

මෙන්න Highway එකේ අද්දර ජීවිත ලැයිස්තුව...

මැරුනු බල්ලෝ හතරයි...
මැරුනු කුරුල්ලෝ දොලහයි ...
මැරුනු පූසො එකයි...
මැරුනු තලගොයි එකයි...
පණ පිටින් බල්ලො ගොඩායි...
පණ පිටින් කුරුලු රංචු අටයි...
පණ පිටින් පූසෝ දෙකයි..
පණ පිටින් කබරයො එකයි ...

ගාල්ලෙන් පිට උනු අපි මාතර පාරේ කඩයක් අයිනේ නැවැත්තුවා තැඹිලි බොන්න.. චාරිකාවෙදි මට හමු උනු පලවෙනි සොඳුරු මිනිස්සු දෙන්නා හිටියේ එතන.. අපි බැහැල ගිහින් තරගෙට වගේ තැඹිලි කූරුම්බා බිව්වා.. පොෂ් විදියට තැඹිලි වතුර ටික බීල කෝම්බේ විසි කරල පුරුදු නැති අපි කෝම්බෙත් පලාගෙන ලොඳ ටිකත් කෑවා...කන බොන අතරේ අපි කතා උනේ තැඹිලි ගෙඩියක් කීයක් විතර වෙයිද කියලයි ... අපේ වාහනේට ඕනම කඩේකින් වදින අධි සුඛෝපභෝගී බද්දත් එක්ක තැඹිලි ගෙදියක් රුපියක් පනහක් විතර වෙයි කියලයි අපි තීරනය කලේ... කොහොම හරි තැඹිලි ගෙඩි තුනයි කුරුම්බා ගෙඩියටයි සල්ලි ගෙවන්න ගියාම එයාල ඉල්ලුවෙ රුපියල් 80යි..අපි ආයෙම ගාන ඇහුවේ වැරදුනාද බලන්න... අපේ පුදුමය තේරුම් ගත්තු එතන හිටි මනුස්සය කිව්වෙ මෙහෙම කතාවක් ...

" නෝනා අපි මේ වෙලදාම කරන්නේ ජීවත් වෙන්න බව ඇත්තයි.. ඒත් අපි විකුනන දෙයින් කෙනෙක්ගේ තිබහ නිවෙනවා නම්..කෙනෙක් සතුටු වෙනවා නම් අපිට දැනෙන්නේ කියන්න බැරි තරම් සතුටක්.. ඔයගොල්ලො තැඹිලි බිව්වෙ පුදුම සතුටෙන්.. තැඹිලි ගෙඩිය පලල දෙන්න කිව්වම අපිටත් විස්වාස කරගන්න බැරි උනා... ඔයාලගේ සතුට අපිට සල්ලි වලට වඩා වටිනවා... එක ගෙඩියකට රුපියක් 20ක් ඇති"

අහල තියෙනවද කතාවක් සත්‍ය ප්‍රභන්ධයකට වඩා පුදුමාකාරයි කියලා.. මේක මම ගොතපු කතාවක් වගේ පේනවා ඇති..ඒත් මේක ඇත්තට මේ මහ පොළව මත සිදු උනු දෙයක්... ඒ වගේ සොඳුරු මිනිස්සු තවමත් ඉන්නවා.. වන සිව්පාවුන් වගේ මිනිස්සු මැද මට හම්බුනු දෙවිදේවතාවුන් දෙපලක් ගැනයි ඒ කථාව ... :)

චාරිකා විස්තර තව ගොඩාක් තියෙනවා.. ටික ටික ලියන්නම් .... දැනට ඇතිනේ ... :)

Tuesday, December 20, 2011

සුරංගනා කතාවක් ... !!

හෙට විභාගයක් ..
පොත හෙව්වේ දැනුයි ...
ඔන්න එතකොටයි දන්නේ හෙට විභාගෙට ඕනි කරන පොත මගේ ලග නෑ කියලා ...
ඉතිං මම තීරණය කලා අධ්‍යාපනේ අමතක කරල වැල් වටාරමක් ලියන්න ..
මොකෝ ඉතිං නැති පොත මම කොහෙන් මවන්නද දැන් .... :(

 සුරංගනා කතාව



හිතිලා තියෙන්වද අපේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ කියලා... ?
මන්දා..
මට නම් හිතිලා තියෙනවා ...
සුරංගනා කතාවකට ඕනි අඩු වැඩිය මගේ ජීවිතෙන් හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් ...
කුමාරයෙක් හිටියා ...
මම හිටියා...
මම හිතාගෙන හිටියා මම තමයි කුමාරි කියලා ...
නපුරු මන්තරකාරියෝ හිටියා ...
ගිනි පිඹින මකරු හිටියා ...
කේලම් කියන අසල්වැසියෝ හිටියා ...
හැම දෙනාම හිටියා ....

මට කථාවක් තිබුනා...
මම කථාවක් ගොතාගෙන තිබුනා..
මම හිතුවා මගේ කුමාරය සුදු අශ්වයා පිටින් ඇවිත් මගේ දුක ඉවරයක් කරලා මාව අරගෙන යයි කියලා...
මම හිතුවා නපුරු සුරංගනාවි මට කල සාපෙන් මාව මුදවන්න කුමාරයගේ හාද්දට පුලුවන් වේවි කියලා ...
මම මගේ කතාව දිගට දිගට ගෙතුවා...
 



ඒත් ....

අද මට ඇත්ත තේරෙනවා...

මගේ කතාවේ මම ඔටුන්න හිමි කුමාරි උනාට ...
අනිත් කථාවේ මමයි නපුරු කුඩම්මා...
ඒ කථාවේ කුමාරි වෙන කෙනෙක් ...

අපි හැමෝටම අපි හදාගත්තු කතාවක් තියෙනවා...
අපි ඒ කතාවේ සතුටින් ඉන්නවා.. සමහරවිට අපිට ඇත්ත දකින්න ඉඩක් ලැබෙන්නේ අපේ කතාව අපි ගොඩාක් දුර  ගොතාගෙන ගියාට පස්සේ ... එතකොට කථාවයි ජීවිතෙයි හොදටම පැටලිලා..ආයෙම ලිහාගන්න බැරි තරමටම ...

අපේ කථාවේ අපේ චරිතයයි අපේ කතාවේ ඉන්න අනිත් අයගේ කතාවල අපේ චරිතයයි වෙනස් ගොඩක් වෙලාවට..
අපේ කතාවේ අපියි සින්ඩරෙල්ලා..
අපේ කතාවේ අපියි කුමාරි..
ඒත් අනිත් කෙනාගේ කතාවේ අපේ චරිතේ ඊට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් ... ඒ කතාවේ අපියි නරක චරිතේ..
අපියි නපුරු චරිතේ ...

එහෙම වෙලා නැද්ද... ?

හිතිලා නැද්ද අපේ සුරංගනා කථාවේ ප්‍රධාන චරිතෙට.... අපි කව්ද කියලා... ?

අපි අපේ කථාව ගොතන ගමන්ම අනිත් අයගේ කතා වල රගපානවා...
ඒකයි ඇත්ත ...
ගොඩක් වෙලාවට අපේ කතාවෙන් අපි දකින අපිව වෙන කවුරුවත් ඒ විදියට දකින්නේ නෑ...
ඒ අපි ගැන දන්නේ අපි විතරක්ම නිසා ... !!

කොහොම උනත්...
මම මගේ කථාව ගොතනවා..
දිගටම...
මෙතුවක් කාලයක් මම අනිත් කථා වල මගේ චරිතේ ගැන වද උනා විතරයි...
මම අනිත් කතා වල මගේ චරිතේ හොදට රගපාන්න උත්සාහ කලා විතරයි...
මම අනිත් කතාවේ සුදු චරිතය වෙන්න උත්සාහ කලා විතරයි...

ඒත්...

ඒ උත්සාහයේ ප්‍රථිපලය මගේ කතාවට අවසානයක් ගොතාගන්න මට බැරි උනු එක විතරමයි ...
මගේ කතාවේ මගේ චරිතය වල්වැදිලා..
පටන්ගත්තු තැනක් ඉවර උනු තැනක් නැතුව...

මම මගේ කතාව ලියනවා...
හැම සුරංගනා කථාවක්ම සුඛාන්තයක් නෙමෙයි කියලා මම ලෝකෙට ඔප්පු කරලා පෙන්නනවා ...

                            කාගේ කතාවක මම කවුරු උනත් මගේ කථාව මම තනියෙම ලියනව... 
හැබැයි මගේ කථාවේ අවසානය වෙනස්... 
TheY LiveD HappilY EveR AfteR නෙමෙයි ... 
මගේ සුරංගනා කථාව ඉවර වෙන්නේ ....
He LiveD HappilY EveR AfteR එකකින් ...

මට වඩා වැදගත් අවසානය මොකද්ද කියන එක නෙමෙයි ....
                                 අවසානයක් තියෙන එකයි... !!

Thursday, December 8, 2011

~ ආදරයට ආදරෙන් ලියමි ~

මුලින් මේ වීඩියෝ එක බලන්න .... !!

ගොඩක් දෙනා දැකලා ඇති.. ඒත් අද බලනවා කියල හිතාගෙන....
දකිනවට නෙමෙයි....
උවමනාවෙන්
බලන්න..... 
ඇහෙනවට නෙමෙයි ...
වචනයක් වචනයක් ගානේ හිතට අරගෙන
අහන්න....


 සමහරවිට අද ලියමනේ මුලක් මැදක් අගක් නැති වෙන්න පුලුවන් ... සාහිත්‍යක් තියා ලියලා තියෙන්නේ මොනවා ගැනද කියලවත් නොතේරෙන්නත් පුලුවන්.. මේක තනිකරම මගේ ඔලුවේ කැකෑරෙන සිතිවිලි එලියට නිදහස් කරන්න ගන්න වෑයමක් විතරයි ... එච්චරයි ... 

ඇහුවද දාල තියෙන සිංදුව..?

මම ආසකරන සිංදුවක්.. ඒ වගේම දකින දකින වාරයක් ගානේ මාව අඩවන රූපරාමු පෙළක්... 

අද මේ සිංදුව මතක් උනේ කාර්යාලයීය සගයෙක් කිව්ව කතාවක් අහලා... එයාගේ ආදරය ඉන්නේ දුර.. ගොඩාක් දුර රටක.. ඒත් මගේ යාලුවට එයාව පේනවලු.. බස් ස්ටෑන්ඩ් එකේ... පාරක් පාරක් ගානේ එයාව පේනවලු .. 

ඒ වෙලාවේ ඉඳලා මට මේ රූප ටික එක පෙළට පේනවා.. එක දිගට... දිගට දිගටම ...

යාලු ...
අද ලියමන ඔයාගේ ඒ ආදරේ වෙනුවෙන් ...

අපි හැම දෙනාටම ආදරේ කරන්න කවුරුම හරි ඉන්නවා..දෙමාපියෝ..එහෙමත් නැත්නම් සහෝදර සහෝදරියෝ... යාලුවෝ..කවුරු හරි ...
අපි කවුරුත් තනි නෑ..

ඒත් ...

එක විදියක ආදරේක අඩුවක් කාගෙත් ජීවිත වලට දැනෙනවා... දෙමාපිය ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්න බෑ වගේම ආදරවන්තයෙක්ගෙන් ආදරවන්තියෙක්ගෙන් ලබන ආදරය පුරවන්න වෙන කිසිම විදියක ආදරයකට බෑ.තනියෙම ඉන්න පුලුවන් කියලා හිතුවට..තනියක් නෑ කියල හිතුවට... තනිවෙන එක මොහොතකට ... අනිත් අර්ධයේ අඩුව හිතට දැනෙන එක නවත්තන්න කිසිම මනුස්සයෙක්ට බෑ...

කෑමපත දිග අරින වෙලාවට අනිත් පැත්තෙන් බත් කට අනන පුරුදු අත නැත්නම් ... පාරේ යනෙන වෙලාවට අත වදින නොවදින මානයේ පුරුදු ඇඟිලිවල පහස නැත්නම්...... ඒ දැනෙන අඩුව ඒ දැනෙන හිස් බව මහ මූසල කාලකන්නි හැඟීමක්... 

දුකක් දැනුනු වෙලාවට කතා කරලා දුක නිවාගන්න පුරුදු කටහඬ නැත්නම් .... කාලකන්නි මූණු ඔරවන මූණු වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවට පුරුදු හිනා මූණ දැකගන්න බැරි නම් .... වැඩක් කර කර ඉන්නකොට ඇස් කොනට පේන ඇස් දෙකේ බැල්ම නැත්නම් .... කොටින්ම ලඟ ඉන්නවා කියලා හිතෙන බැඳීම නැත්නම්... ඒ ජීවිතය හිස්... හැඟීමක් දැනීමක් නැති.. අයාලේ පාවෙන දිරපු අතුරිකිල්ලක් වගේ.... එල්ලයක් ... ආසාවක් නැති.. පාවෙන ජීවිතයක් ... කම්මැලි ජීවිතයක්....

ආදරයක් කියන්නේ සංසාරගත බැඳීමක්... ඒකයි මගේ විස්වාසය.. දකින දකින කෙනා එක්ක ආදරයෙන් බැඳෙන්න බැරි සහ හිතේ ඇතිවෙන ආදරයක් ලේසියෙන් මරන්න බැරිවෙන හේතුවත් ඒකමයි... මම හිතන්නේ නෑ අවුරුද්දට එක ගානේ ඇත්ත ආදරයක් කරන්න පුලුවන් කියලා.. කවුරු මොනවා කිව්වත්.. කාගෙත් හිතේ එක ආදරයක් පැලපදියම් වෙලා තියෙනවා.. උදේ පාන්දර ඇහැරුනු ගමන් හිතට එන ආදරය.. හිතට එන මතකයක් කාටත් තියෙනවා.. අන්න එතනයි මම විස්වාස කරන ඇත්ත ආදරය තියෙන්නේ ....

ගිනි කාශ්ටක අතරින්... සැඩ මාරුත අතරින් නොසැලී එන ආදරය ඇත්තටම පූජනීයයි... 

කාසි වලට විකිනෙන හැඟීම අතරේ ... ඇඳක මායිමට සීමා උනු රාග ගින්නෙන් ඉපදුනු ලාබ සම්බන්ධතා අතරේ .... බැඳීමක් නැති ප්‍රේම කොන්තරාත්තු අතරේ .... ප්‍රදර්ශන ආදර ෆැන්ටසි අතරේ ....

යාලු ... 
ඔයාලගේ ආදරය මැණිකක් වගේ ...

විස්වාස කරන්න ...

මම ඇත්ත ආදරයක් ගැන අදටත් විස්වාස කරනව නම් කරන්නේ ....
ඔයාල වගේ කීප දෙනෙක්ගේ ආදරය දිහා බලාගෙන...
නැත්නම් මම ඇත්ත ආදරය කියන්නේ ෆැන්ටසියක් කියලා මේ වෙද්දි හිත හදාගෙන...
එහෙම උනා නම් මමත් ආදරයක් විස්වාස නොකරන හැගීමක් දැනීමක් නැති නරුමයෙක් වෙලා අද වෙද්දි..

ඒත් ඔයාල වගේ කීප දෙනෙක් මට විස්වාසය දෙනව..
ආදරයක් තියෙනව කියල මත ඔප්පු කරනවා..

ස්තූතියි ...

කාලෙකට පස්සෙ මට අද දුකක් දැනෙනවා..
ඒ ගැන මට සතුටුයි...
මම තාම හැහඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් වීම ගැන මට සතුටුයි..
මම හිතුව මම රොබෝවෙක් කියලා ..

නෑ..

මට දැනෙනවා..
මට පාලු දැනෙනවා ...

අදට නවතින්නම්...
මහගම සේකරයන්ගේ මේ කවි පෙලත් එක්ක ...

නිම් වලල්ලෙන් එපිට සඳ රැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතු වී
ඔබේ පා මුදු හඩ ඇසේ.

පෙල ගැසී දුර වන්දනාවක
ඉගිල යන සමනලුන්ගේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ ...

දහස් මුවගින් නැගෙන ඔල්වර
සිනා හඩ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ
මහත් තනියක් මට දැනේ ...

අහස් ගගබඩ හිමව් කුලු මත
ඔබෙ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ ....


Sunday, December 4, 2011

යදින්නී ඈ .... !!



 නෙතට කඳුලක් නොව
මුවට හසරැල් ගෙනා වරදට....

හදට සුසුමන් නොව
සිතට සිසිලක් ගෙනා වරදට....

ලොවට අඳුරක් නොව
සහන් එළියක් ගෙනා වරදට....

අතැර යාමට නොව
ලඟින් ඉන්නට පැතූ වරදට.....

සතුට ගන්නට නොව
සතුට දෙන්නට
පැතූ වරදට....

මුලු ලොවම නොව
එකම හදවත පැතූ වරදට.....

සයනයේ ඉඩක් නොව
හදවතේ ඉඩක්
ඇවැසි වූ වරදට.....

බිමට වට මහා මේඝයට
දෑත එක් කර
හිස සෙවන කල වරදට......

පතුල කටු ඇනේයැයි
රෝසමල් පෙති
බිම අතුල වරදට.......

දිය පවස නිවන්නට
රුහිරු ලේ
පිනි කඳුලු කල වරදට...........

නිදි සුවය ගෙනෙන්නට
සෝ සුසුම්
කවි පොකුරු කල වරදට.......

මිනිස් වෙස් රකුසියන්
නැසූවෙන් නොව
ලඟට ගත් වරදට.......

අන් ඇසට කඳුලු දී
අනුරාගයේ
පොත් නොකියු වරදට.......

පැය දින සති මාස නොව
මුලු දිවිය පුරවට
සෙනේ කල වරදට.......

කැබලි කර විකුනන
සෙනෙහෙ බිම් කඩ
එපා කී වරදට.........

දහක් දෙන ගිනි නිවූ
සිරුර 
දෙවොලක් කල වරදට.....

වෛර කල නිසා නොව
ආදරය කල වරදට......

මුසාවක් මත
මන්දිර තැනුව වරදට.....

විකිනෙන ආදරය
ලොවක් ලෙස පිදුව වරදට.......
අභය ඉල්ලා යදින්නී ඈ ............
ආලයේ නාමෙන්...... !!