බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Wednesday, December 28, 2011

~ චාරිකා - පලවෙනි කොටස ~

ඔන්න මම ආවා කාලෙකට පස්සේ ...
අද කථාව ආදරය ගැන නෙමෙයි .. 
ඒ හේතු තුනක් නිසා ...

01) ආදරයේ අකුරු හතර අස්සේ මගේ ලිවීම කොටු කරන්න මම අකමැති වීම ...

02) මම ලියන සැබෑ ආදරය කියල එකක් ඇත්තටම ලෝකේ නැති වීම ..(ෆැන්ටසියකට සීමාවක් තිබිය යුතුය) 

03) කවුදෝ මන්දා ඇනෝනිමස් කෙනෙක් මගේ " ආදරයට ආදරෙන් ලියමි " පොස්ට් එකට " please dont over abuse LOVE " කියා ලියා තිබීම .. (මම කවදාවත් Love එක abuse කලේ නම් නෑ.. එහෙම කලා නම් අද මට මෙහෙම වෙන්නෙත් නෑ....අනේ මන්දා...)

ඒ නිසා අද ලියන්නේ මගේ කතරගම චාරිකාව ගැන... මම ඇසූ දුටු දේවල්..මග දිගේ මුණගැහුනු සුන්දර මෙන්ම අසුන්දර මිනිසුන් .. පාර දෙපැත්තේ දැකපු අද්දර ජීවිත සහ මට හිතුනු දේවල් .... 

ආදරය ගෑවිලාවත් නෑ ඔන්න ;)



අපි කතරගම යන්න තීරනය කරල හිටියේ 24 වෙනිදා උදෙන්ම... ඒත්..උදෙන්ම නැගිටීම කෙරෙහි අපේ මෑණියැන්දෑ හැර අනිත් සාමාජිකයක් දක්වන අධික ප්‍රතිරෝධය සහ ඊට කලින් දවසේ ගියපු සාදයේ බලපෑම නිසා චාරිකාව පිටත් වෙන්න හිතපු වෙලාව වෙද්දිත් අපි ඔක්කොම නිදි .. :) වෙලාවට සූදානම් උනු එකම සාමාජිකයා උනු මගේ මෑණියැන්දෑගේ ජාතිය ඇමතීම අස්සේ නිදිමරගාතේ ඇවිදගෙන ගිහින් දත කට මැදගෙන මොන මොනවාදෝ ඇද පැලදගෙන ඔන්න අපි පිටත් උනා නමෝ විත්තියෙන් පවුලේ චාරිකාවට :)

කලින්ම තීරනය කරලා තිබුනු විදියට Highway එකේ ගාල්ලට වෙනකන් යන්නයි සූදානම.. බ්‍රේක් ගහන හැටි ඉදගෙන සුක්කානම කරකවන හැටි වෙනකන් උපදෙස් දෙන මෑණියැන්දෑගේ කෑගැහිල්ලත් එක්ක වාහනේ පදින්න බෑ කියලා තීරනය කල පියානැන්දෑ කලින්ම මෑණියැන්දෑව වාහනේ පිටිපස්සේ ආසනේට පිටත් කලා. දෙවෙනියට නිෂේධ බලය ඇති මට ඉස්සරහ ආසනේට උස්සවීමක් ලැබුනේ ඔන්න ඔහොමයි .... කොට්ටාව පිවිසුමෙන් වාහනේ අධිවේගී මාර්ගයට වාහනය ඇතුලු කරද්දිම පිටිපස්සේ ආසනෙන් පටන්ගත්තේ නැතෑ මුණු මුණුවක්.. බැලින්න්ම මෑණියැන්දෑ ඉතිපිසෝ ගාථාව කියනවා :)

අධිවේගී මාර්ගය.. 

ඇත්තටම කථා කල යුතු මාතෘකාවක් .. දේශපාලන මතිමතාන්තර කොහොම උනත් හොඳ දේ හොඳ විදියට දකින්න ඕන... අධිවේගී මාර්ග කන්නද කියලා අහපු විපක්ෂයේ ඇමතිවරුන්ට නොදැනුනාට.. ආච්චිට සීයට අසනීපයි කිව්ව ගමන් සියලු වැඩ අතහැර ගාලු දුවන්න වෙන අපි වගේ අයට ... මේ පාර සම්පතක් ... කොට්ටාව පිවිසුමෙන් අතුලු වෙලා ගාල්ල පිවිසුමෙන් පිට වෙන්න ගියේ හරියටම පැයයි.. 9.45 ට ඇතුලු උනු අපි 10.44 ට ගාල්ලේ ...

ඇගට එන ප්‍රයිවෙට් බස් .. පාර පුරා දුවන මෝටසයිකල්.. මහ සද්ද දගත්තු ත්‍රිවීලර්.... ඉවක් බවක් නැතුව හීනෙන් ඇවිදින මිනිස්සු ... හරක්... එලුවො.. මේ සා ප්‍රකාර කේන්ති අවුස්සන සුලු කිසිම දෙයක් අධිවේගී පාරේ නෑ... එක නලා සද්දයක් නෑ..වාහන හැම එකක්ම එකක් පිටිපස්සෙ එකක් පේන තෙක්මානයක් දුරට යනවා.. දැන් හිතන්න එපා මම මහා ධනවාදිනියක් වගේ පොඩි වාහන වලට පහර ගහනව කියලා..නමුත් රටක වාහන පද්ධතිය හරි පිලිවෙලකට සකස් කරන්නම ඕනි ..එතකොට කාටත් ලේසි ....

ගාල්ලට යන්න අපිට අවම පැය දෙකහමාරක් ගතවෙනවා.. එහෙම ගථකරලත් ගාල්ලට වෙනකන් යහතින් යන්න ලැබේද කියල හිතාගන්න බෑ..හැමෝම ගාලු පාරේ එක පාරක් හරි ගිහින් ඇතිනේ ... අපි ඒ දුක වින්දා ගොඩක්.. උදේ වැඩට ඇවිත් හවස ගාලු ගිහින් ආයෙම උදේ වැඩට ආපු කාලෙකුත් මගේ ජීවිතේ තිබුනා... අද ඒ ගමනම කිසි කරදයක් නැතුව පැයකින් යන්න පුලුවන් කියන්නේ හීනයක් හැබෑ උනා වගෙයි අපිට...

ගරු විපක්ෂයේ ඇමතිවරුනි මන්ත්‍රීවරුනි,

අධිවේගී මාර්ග කන්න බෑ තමයි... ඒත් ඒ මාර්ග භාවිතයෙන් ඉතුරුවෙන වෙලාව සහ ඉන්ධන වියදමෙන් කන්න පුලුවන්... ජීවත්වීම කියන්නේ කෑමම නෙමෙයි... ගමනක් යද්දි ඉස්සරහින් පිටිපස්සෙන් පරිවාර වාහන නැති... රතු ලයිට් පොලු පෙන්නලා අනිත් වාහන බය කරලා පාර අයිනට දාල පාර හදා ගන්න ඉඩකඩ නැති අපි වගේ පුංචි මිනිස්සුන්ට .. ආච්චි සීය අසනීප උනාම ගමට යන්න අධිවේගී පාරවල් ඕනි ... ඒ මිනිස්සුනේ ජීවිත අපි ගාලු පාරේ පැය දෙකහමාරක් නටල එනකන් රැකිලා නොතිබෙන්න පුලුවන් ... !!

ඇත්ත.. මේක ලෝකෙ හොඳම අධිවේගී මාර්ගය නෙමෙයි.. ඒ වගේම මේ පාරට මුවාවෙන් ආණ්ඩුවේ ගොඩක් දෙනා බඩ වඩාගෙන ඇති.. මම නෑ කියන්නේ නෑ.. ඒත්..අපිට පාරක් තියෙනවා..ඒ පාරෙන් ගාල්ලයි කොළඹයි අතර කාල වෙනස අඩුකරල තියෙනවා..ඒ මදිද ....

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට ඕන තරම් අය ස්තූති කරල තියෙන නිසා මම ඒ පාර්ශවය ටිකක් අමතක කරන්නම්... පාර හදපු පොඩි මිනිස්සුන්ට පින්... මහ කැලෑවක් කපලා..ගල් පුපුරවලා.. මේ සා විශාල වැඩ ගොඩක් කරපු කම්කරුවන්ට ..ඉංජිනේරු මහත්වරුන්ට.. හැමදෙනාටම ගොඩක් පින් ... ඒ පාරේ යන හැම වාරක් ගානෙම පින් ... !!

හ්ම්ම්...

ඉතිං ඔන්න කිව්ව වගේ මම ඉස්සරහ ආසනේ ඉදගෙන අවට සිරි නරඹමින් ගියා.. පාර හරිම ලස්සනයි..හැබැයි පටුයි... මේ අස්සේ පියානන්දෑ පටන් ගත්තා කෙඳිරි ගාන්න.. පාර හිස්..ඕන හැටියේ පැ‍යට කිලෝමීටර් සීයේ වේග සීමාවට එපිටින් යන්න පුලුවන්..ඒත් ඉතිං විහිලුවටවත් මාරිග නීති කඩන්නේ නැති මගේ මෑණියැන්දෑ  සහ පිටිපස්සේ ආසනේ ඉදන් වෙග මාපකය දිහා දන්ඩි පැටවුන්ට ඇහැගහගත්තු කොකෙක් වගේ බලාගෙන ඉන්න මගේ නැගනියත් එක්ක කොහේ හයියෙන් යන්නද... දිගටම කෙදිරි ගගා 100ට යනව ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ පියානන්දැටත් .. මටත් වස කම්මැලී.. නින්ද යාගෙනත් ආව කීප තැනකදිම ... ඇගට දැනෙන්නේ නෑ වාහනේ යනව කියලවත්... 

පාරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බල්ලන් සහ පොල්කිච්චන්.. බල්ලෝ පාර දිගේ දුවන්නේ උන්ට බෙල්ල තියන්න ආස වාහනයක් එනකන් වගේ.. අපේ වාහනේට බල්ලො දෙන්නෙක් ආස උනා..දුවගෙන දුවගෙන ඇවිත් දිවි පිදූ විරුවන් වෙන්න උත්සාහ කලත් අපි ඒ අවස්ථාව උන්ට ලබා දුන්නේ නෑ :) පොල්කිච්චෝ පාර හරහා පියාඹිනවා.. උන්ට තාම HIghway අත්දැකීම නැද්ද කොහෙද ..ඕන හැටියේ උඩින් පියාඹන්න ඉඩ තියෙද්දිත් මුන් පියාඹන්නේම වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහින්.. බටර් කුට්ටි වගේ පත කුරුල්ලෝ..වැදුනොත් කුරුල්ලට වගේම වාහනේ වීදුරුවටත් සොරි තමයි ...

මෙන්න Highway එකේ අද්දර ජීවිත ලැයිස්තුව...

මැරුනු බල්ලෝ හතරයි...
මැරුනු කුරුල්ලෝ දොලහයි ...
මැරුනු පූසො එකයි...
මැරුනු තලගොයි එකයි...
පණ පිටින් බල්ලො ගොඩායි...
පණ පිටින් කුරුලු රංචු අටයි...
පණ පිටින් පූසෝ දෙකයි..
පණ පිටින් කබරයො එකයි ...

ගාල්ලෙන් පිට උනු අපි මාතර පාරේ කඩයක් අයිනේ නැවැත්තුවා තැඹිලි බොන්න.. චාරිකාවෙදි මට හමු උනු පලවෙනි සොඳුරු මිනිස්සු දෙන්නා හිටියේ එතන.. අපි බැහැල ගිහින් තරගෙට වගේ තැඹිලි කූරුම්බා බිව්වා.. පොෂ් විදියට තැඹිලි වතුර ටික බීල කෝම්බේ විසි කරල පුරුදු නැති අපි කෝම්බෙත් පලාගෙන ලොඳ ටිකත් කෑවා...කන බොන අතරේ අපි කතා උනේ තැඹිලි ගෙඩියක් කීයක් විතර වෙයිද කියලයි ... අපේ වාහනේට ඕනම කඩේකින් වදින අධි සුඛෝපභෝගී බද්දත් එක්ක තැඹිලි ගෙදියක් රුපියක් පනහක් විතර වෙයි කියලයි අපි තීරනය කලේ... කොහොම හරි තැඹිලි ගෙඩි තුනයි කුරුම්බා ගෙඩියටයි සල්ලි ගෙවන්න ගියාම එයාල ඉල්ලුවෙ රුපියල් 80යි..අපි ආයෙම ගාන ඇහුවේ වැරදුනාද බලන්න... අපේ පුදුමය තේරුම් ගත්තු එතන හිටි මනුස්සය කිව්වෙ මෙහෙම කතාවක් ...

" නෝනා අපි මේ වෙලදාම කරන්නේ ජීවත් වෙන්න බව ඇත්තයි.. ඒත් අපි විකුනන දෙයින් කෙනෙක්ගේ තිබහ නිවෙනවා නම්..කෙනෙක් සතුටු වෙනවා නම් අපිට දැනෙන්නේ කියන්න බැරි තරම් සතුටක්.. ඔයගොල්ලො තැඹිලි බිව්වෙ පුදුම සතුටෙන්.. තැඹිලි ගෙඩිය පලල දෙන්න කිව්වම අපිටත් විස්වාස කරගන්න බැරි උනා... ඔයාලගේ සතුට අපිට සල්ලි වලට වඩා වටිනවා... එක ගෙඩියකට රුපියක් 20ක් ඇති"

අහල තියෙනවද කතාවක් සත්‍ය ප්‍රභන්ධයකට වඩා පුදුමාකාරයි කියලා.. මේක මම ගොතපු කතාවක් වගේ පේනවා ඇති..ඒත් මේක ඇත්තට මේ මහ පොළව මත සිදු උනු දෙයක්... ඒ වගේ සොඳුරු මිනිස්සු තවමත් ඉන්නවා.. වන සිව්පාවුන් වගේ මිනිස්සු මැද මට හම්බුනු දෙවිදේවතාවුන් දෙපලක් ගැනයි ඒ කථාව ... :)

චාරිකා විස්තර තව ගොඩාක් තියෙනවා.. ටික ටික ලියන්නම් .... දැනට ඇතිනේ ... :)

5 comments:

  1. අපේ හැතිකරේ තැඹිලි බොන්නත් කලින් ගනන් අහැව්ව මේ පහුගිය දවස ගිය ටිප් එකේ..මගේ අදහස නම් ඒ මිනිස්සු අව් කාස්ටකේ හිටං තැමිලි ගෙඩි ටික තියංකන කස්ටත් එක්ක ඒ අයට තැඹිලි ගෙඩියට 40ක් දුන්නත් අවුලක් නැ...

    ReplyDelete
  2. අධිවේගී මාර්ගය පිළිබඳව ඔබේ අර්ථ කථනයට එකඟ විය නොහැකි වුවද ඒ පිළිබඳව වැඩිදුර කිසිවක් නොපවසමි. චාරිකා විස්තරය අපූරුයි....වැඩි කල් ගන්න එපා හොඳද?.....ඉතිරිය ඉක්මනින් ලියන්න.....

    ReplyDelete
  3. @Amila :: ඇත්ත.. අපි හැමදාමත් ගනන් අහල හෙට්ටු කරල බඩු ගන්නේ පොඩි කඩ වලින් විතරයි ... අයියෝ ගාන වැඩී අඩුකරන්න කියන්නෙථ් ඒ පොඩි මිනිස්සුන්ට විතරයි.. කවදාවත් සුපිරි වෙලද සැලකට ගිහින් ගනන් අඩු කරන්න කියන්නේ නෑනේ

    @Ravi :: අධිවේගී මාර්ගය ගැන අදහස් කියන්න.. මම කියන්නේ නෑ මම කියන දේටම එකග වෙන්න කියලා. මිනිස්සුන්ගේ හැගීම් විවිධාකරයි.. බාඳුරා අසපුව හැම අදහසකටම විවෘතයි..
    හැබැයි සංවාදය මැදින් පැනලා යාම, කොමෙන්ටු ඉවත් කර ගැනීම සහ ඇනෝ කොමෙන්ට් දැමීම මට කුජීතයි .. !! :)

    ReplyDelete
  4. / ඒ වගේම මේ පාරට මුවාවෙන් ආණ්ඩුවේ ගොඩක් දෙනා බඩ වඩාගෙන ඇති.. මම නෑ කියන්නේ නෑ.. ඒත්..අපිට පාරක් තියෙනවා..ඒ පාරෙන් ගාල්ලයි කොළඹයි අතර කාල වෙනස අඩුකරල තියෙනවා..ඒ මදිද ..../

    ඒ මදි, හොඳටම මදි,...., මොකද ඔය පාර අපිට නිකම් හම්බ උනේ නෑ...පොළියත් එක්ක ගෙවන්න වෙන දීර්ඝ කාලීන ණය මුදලක්....ඒක ගෙවන්න වෙන්නෙ ඔයාට මට අපි ඔක්කෝටම..... ඒ අපි ගෙවන්නෙ ඉඳිකිරීමේදී සිදුවූ සියලු අක්‍රමිකතාවයන්ගේ බරපැනත් එක්ක. හරි..ඔව්ව ඉතින් ලෝකෙ කොහෙත් වෙනවනෙ....අපි මොනව කරන්නද කියල හිත සනස ගත්ත කියමු....

    ඊළඟ කාරණේ පුද්ගලිකව අපිට අධිවේගී මාර්ගය නිසා යම් වාසියක් සැළසෙන්න පුළුවන්,ඒක මම නෑ කියන්නෙ නෑ... දවල් වෙනකල් නිදාගෙන ඉඳල උනත් ඔයාල එදා 10.44 වෙනකොට ගාල්ලට ගියේ අධිවේගෙ තිබුණ නිසා නෙව........:) :) :) ..........ඒත් සමස්තයක් වශයෙන් සළකා බැලුවම ඒ වැයකරපු දැවැන්ත ධනස්කන්ධයෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබුණද?.....අපේ ප්‍රමුඛතා අපි පටලවාගෙන නැද්ද කියල කාරණාත් වැදගත්....

    ඔබේ ලිපියේ පරමාර්ථය අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ගුණදොස් දැක්වීම නොවන බැවින් මෙතෙකින් නවතිමි....ස්තූතියි වාසනා....මගේ අදහස් දැක්වීමට ඇරයුම් කිරීම පිළිබඳව.........

    ReplyDelete
  5. ඇත්ත... මහාධනස්කන්දයක් වැය උනා තමයි..නමුත් එහෙම වියදම් කරල හදගත්තු පාර හරියට නඩත්තු කරල රැක ගත්තොත් ඒක සදාකාලික ධන උල්පතක්... වාහන කී දාහක් නම් දවසකට ඒ පාර පාවිච්චි කරනවද..... රුපියල් 400 නෙමෙයි ටිකට් එකක් 600 ක් කලත් ඒ ගානටත් අධිවේගේ පාවිච්චි කරන අය ඉදී... ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලුවන් ඒ ලැබෙන සල්ලි තම තමන්ගේ පොකට් වලට දාගන්න එකයි... ඒක නවත්තන්න බෑ.. බුලත් කොලේ ආවත්,අලියා අවත්,සීනුව ආවත්, මොකා අවාත් එකයි ... අපේ රටේ මිනිස්සුන්ගේ කොන්ද පණ නැතිකම සහ කන්න දෙනව නම් බොන්න දෙනව නම් මොන කෙන්ගෙඩිය උනත් සැපයි කියන ආකල්ප වෙනස් කරා නම් දේශපාලුවො ඔහොම නටන්නේ නෑ

    ReplyDelete