බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, October 14, 2012

පහන් සිළ සහ ඇය

ඇය 
පහන් වැට 
දෙසට 
ගියාය ..

පොල්තෙල් බෝතලයත් පහන්වැටි දෙක තුනත් අත්දෙකට ගුලි කරගෙන විහාර බිමේ තමන් හැමදාමත් කැමතිම කොටස වූ පහන් වැට දෙසටඇය ගියාය ...

බෝ මළුව සිත නිවනාවායැයි යමෙකු කියූවද .. බුදු කුටියෙහි ඇති පිළිම දෙස පැය ගනන් බලා සිටින්නට හැකියැයි තවෙකෙක් කියූවද... ඉතුරු උන් ශ්වෙත වර්ණ සෑ රදුන්ගේ සෙවනෙහෙහි සිහිල පැතුවද ..
ඇගේ සිත බැඳී තිබුනේ පහන් වැට සමග පමනමය..
එය කිසිසේත්ම පාට පාට විදුලි බුබුලු තොගේකට බැඳෙන්නක් වැනි ලෞකික ඇලීමක් නොවුනු අතර.. යම්ලෙසක ගුප්ත අධ්‍යත්මික බැඳීමක් පමනක්ම විය.. 
කුඩා දරුවෙක් අහස දෙස, තරු දෙස, බලන්නේ යම් සේද ඇයද එබඳුම ගුප්ත බන්ධනයකින් පහන්වැට සමඟ බැඳී සිටියාය.




ළමා වියේ සිටම පැවති පහන්වැටේ අඳුරුම මුල්ලක උසින්ම ඇති පහන දැල්වීමේ නොතිත් ආශාව ඇය තුලින් තාමත් ගිලිහී නැත.. දෙපා ඇඟිලි තුඩුමතින් නැග ඔලුවටත් උසින් ඇති පහනට තෙල් පිරවූ ඇය සීරුවට පහන් වැටියක් ගෙන දැල්වූවාය.. ඇඟිලි තුඩුමතින්ම පහනට වැටිය දැමූ ඇය පහන් වැටට එපිටින් ඇය දෙස බලමින් විකාර රූපි අංග චලන වල යෙදෙන කොලුවා දෙස වරක් බලා නැවත පහන දෙස බැලුවාය. වෙන වෙලාවකදී නම් ඒ විකාර ඇය කෝපගන්වනු ඇති නමුදු අඳුරේ දිලෙන; සැලෙන; ලෙලෙන; පහන් දැල්ල ඇගේ සිත මුලුමනින්ම නතුකරගෙන හමාරය.. කෝපයකට හෝ වෙනයම් කිසිම වූ මානුශීය හැඟීමකට පහන් එළිය විනිවිද ඇගේ සිත ආක්‍රමනය කල නොහැක.

ඛේමා තෙරණිය රහත් උනේ පහන් දැල්ල අරමුණු කරගෙන භාවනා කිරීමෙන්. ඒ තරම් සුලු දෙයකට උනත් ජිවිතයේ සැබෑව පෙන්නා දෙන්න පුලුවන්.. අවශ්‍ය එකම දේ පේන දෙයට ඔබ්බෙන් යමක් දැකීම පමනයි ...

දහම් පාසලේදී හෝ පොතක හෝ යමෙකු කල කතාවක එවන් දෙයක් කියවුනා ඇයට මතකය... නිවන ..අරහත්බව .. මේ සියල්ල ඇයගේ ඉන්ද්‍රියන්ට සහ සන්තානයට ගෝචර නොවන ඉසව්වක පැවතියද සියලු දුක් නසන්නට සියලු දේ අමතක කරවන්නට හැකි අපූර්ව වූ බලයක් එම භාවයන් තුල ඇති බව ඇය දැන සිටියාය.. ඛේමාවන්ට වඩා ඇයට නිදහස ශාන්තිය අවශ්‍යය ..ඇයට හිස මත දරා සිටින අනේකවිධ දෝමනස්සයන්ගෙන්..අනේකවිධ මතකයන්ගෙන් නිදහසක් අවශ්‍යය.. ඇයට සියලු දේ අමතක කිරීමට අවශ්‍යය.. ඇයට සියලු බන්ධනයන්ගෙන් නිදහස් ෂුද්‍රජීවී ජීවිතයක් අවශ්‍යය ...

ඛේමාවන්ට හැකි වූවානම් තමන්ටත් පහන් දැල්ල අරමුණු කරගෙන චිත්ත සමාධියකට පත් විය නොහැකිදැයි ඇය සිතුවාය.. ජීවිතය පෙලන මතක බරින් නිදහස්ව බෝ තුරු මුදුනින් අනන්ත වූ ආකසය වෙත පියා සලන හැටි ඇය මනසින් දුටුවාය.. පහන් දැල්ලෙන් ජීවිතය දැකීම ඇයට කිසිසේත්ම අරුමයක් නොවීය. ජීවිතය නොයෙක් ලෙස විඳ ඇති ඇයට, හැම ලෙසකින්ම හැම දෙයකින්ම ජීවිතය දැක ඇති ඇයට පහන් සිළ තුල සැලෙන ජීවිතය දැකීම මහ දෙයක් නොවීය.. පහන් සිල එළිය ලබන්නේ වෙනත් අලෝක ප්‍රභවකින් බවද ඒ ලෙසම මනුස්ස ජීවිතය දෙමාපියන්ගේ සම්භෝගයෙන් ඇරඹෙන බවද.. හිමින් අපහසුවෙන් සුලඟ සමග පොරබදිමින් දැල්වෙන්නට තනන දැල්ල ලෙසම මනුස්ස ප්‍රාණීන් සමාජය තුල තම පැවැත්ම ස්ථාවර කරගන්නට උත්සාහ දරන අන්දමද ඇයට පැහැදිලිය.. පහනේ තෙල් අවසන්වන තෙක් සිල නොනිමෙනවා සේම ගෙනා ආයුෂ ඇතිතාක් ජීවිතය පවතින බවද නමුත් සමහර විටෙක තෙල් තියෙද්දීම හමන සැඩ සුලගින් පහන නිවී යන්නා සේම මනුස්ස ජීවිත විනාස වී යන බවද ඇයට වැටහෙන්නීය.. පහන් සිළ එක ලෙස එකම දීප්තියෙන් නොදැල්වෙන්නා සේම ජීවිතයද එකම පීල්ලක ඒකාකාරීව ගලා නොයන බව ... ඇතුලු මෙකී නොකී පහන් දැල්ලේ සියලූම ක්ෂුද්‍ර චලන ජීවිතය හා සම්බන්ධ කරන්නට ඇයට හැකිය.
 
මෙසේ ජීවිතය විග්‍රහ කරන අතරතුර තමන්ගේ දුක් දෝමනස් මතක සිතින් පලායන්නේදැයි ඇය විමසිලිමත් උනාය.. නමුදු හදවත උඩින් තැබූ ගල තවමත් එසේමය.. තවමත් ඇය හුස්ම ගන්නේ මුලු හිමාලය පර්වතයම තම ලය මත ඇතුවාක් මෙන් බරකින් බව ඇයට වැටහින.. තමන්ට වැරදුනේ කොතනදැයි.. විශ්ලේෂනයේ තමන්ගේ වරද කොතනදැයි නැවත පහන් දැල්ල දෙස බලාගෙන ඇය සිතුවාය.. 

පහන් දැල්ල අපූරු රූප මවන බව එවිට ඇයට පෙනින.. විටෙක එය දිගු වෙමින්ද විටෙක කෙටි වෙමින්ද ඇසට නොපෙනෙන සුලගේ රිද්මයන් නෙතු අබියස මවන අයුරු ඇය උනන්දුවෙන් බලා සිටියාය. පහන් සිළ තුල තමන් ආදරය කල අයගේ රූප, තමන් වෛර කල අයගේ රූප තමන්ගේ කිසිදා ඉටු නොවූ හීන දස දහසක් මැවී බොඳ වී යනු ඇය බලා උන්නාය... 




ඛේමාවන්ගේ හා ඇයගේ වෙනස ඇය උගත්තාය.. පහන් සිල තුල ජීවිතය මිස අන් කිසිවක් ඛේමාවන් නොදකින්නට ඇත. සැලෙන ලෙලෙන පහන් සිල තුල අතීත ජීවිත මතක.. බිඳ වැටුනු හීන... දහසක් මුහුණු ඇය නොදකින්නට ඇත.. 

ඇය දකින කිසිවක් ඛේමාවන් නොදකින්නට ඇත ...

පහන් සිළ වෙතින් නෙත ඉවතට ගත් ඇයට.. ඇය නිවන සොයන අතරතුර හෝරා යන්ත්‍රයේ කටු නොසෑහෙන්න කැරකී ඇති බව පලමු වරට පසක් විය. ඇය නැවතුනද ලෝකය නැවතී නැති බවද, ඇය දැනටමත් දුවන ලෝකය අල්ලා ගැනීමට ප්‍රමාද බව ඇයට පසක් විය. පහන්වැට අතරින් ඉඟි බිඟි පෑ කොල්ලාද යන්නට ගොසින්ය...

ඇය පහන් වැට වෙතින්
ඉවතට
හැරුනාය ...

දීර්ඝ සුසුමකින් රාත්‍රී වාතයේ සිහිල් පින්න පෙනහලු තුලට ඇදගත් ඈ ආපසු ලෝකයේ දිවිල්ලට එකතු උනේ නිවන තව බොහෝ දුර බව වැටහුනු නිසාමය ...

එතෙක්..

ඇයටද ඛේමාවන්ට පෙනුනු දෙයම පමනක් පහන් සිළ තුල පෙනෙනෙන තෙක්...
ළය මත හොවා ගත් බරෙන්...
ඒ මතකයෙක්....
ඇය සෑම දිනයක්ම පහන් කල යුතු බව පමනක් ඇය සිතේ ලියැවින ...