බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, May 6, 2013

තනි තටුවෙන් ....



 

 2010 ජුනි 15 ..

ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..
එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..
කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ.
"මොන මගුලක්ද .. " ඔහු සිතයි ..
"මෙච්චර ගෑණු දැකල තියෙන මට මේ කෙල්ලගේ අඩු වැඩියට මෙච්චර කෑදර හිතෙන්නේ ඇයි .."
ඔහු ඔහු ගැනම තරහින් ..

එහේ මෙහේ දුවන ඔහුගේ ඇස් බැල්ම ඇයට වැටහෙන්නට ගත වන්නේද සුලු වෙලාවකි.
රාගයට වෙනස් වූ ආදරයක, උණුසුමක සේයාවක් ඔහුගේ නෙත තුල දැවෙනු ඇය දකී.
අද පමනක් නොව ගෙවුනු බොහෝ දිනෙක ඈ එනතුරු හොරගල් ඇහිලූ ඔහුගේ දිලිසෙන ඇසින් යුතු සොඳුරු මුහුණ දැකගැනීම, සුපුරුදු බස් නැවතුම් පොළේ ඇගේද නොකී බලාපොරොත්තුවයි.

"අද නම් කතා කරනවමයි.." ඔහු තිර අදිටනින් ..
"අදවත් කතා කලොත්.. "ඈ දෙනෙතින් ආරාධනාවෙන් ..

2011 මාර්තු 31 ..

"දන්නවද .. මම මුලින්ම ඔයාව දැක්ක දවසේ මට මතක හිටිය එකම දේ ඔයාගේ මූණයි මෙන්න මේ ලස්සන ...  " ඔහුගේ අත ඇගේ ළමැද සිසාරා දිවෙයි ..
"චිකේ වල් කොල්ලා .. "සෙනෙහසින් රතු වූ මුහුණින් ඇය ඔහුගේ පපුතුරෙහි සැඟවෙයි.
"දැකපු මුල්ම දවසේ මම හිතා ගත්තා වෙන කාටවත් මේවා අයිති වෙන්න දෙන්නම නෑ කියලා .. "ඔහුගේ අතැඟිලි දඟ පිම්මකින් ඇගේ උඩුකය පිරිමදී.
"හ්ම්ම්.. "ඇයට ඉතිරි ඒ දිගු සුසුම හෙලන්නට තරම් ශක්තියක් පමණි.
විවාහයෙන් පසු එළඹෙන සොඳුරුතම නිමේෂයට ඉඩ දෙමින් ඇය දෙනෙත පියා ගනී ..


2012 පෙබරවාරි 14 ..

"මගේ රෝස මල මට දුන්නු රෝස පොහොට්ටුවට මම ලෝකයක් තරම් ආදරෙයි .. "ඔහු දාඩියෙන් පෙඟුනු ඇගේ කෙහෙරැළි සීරුවට අතගාමින් මුමුණයි.
පැය ගානක් පුරා ඇඳුනු අනන්ත අප්‍රමාන දුක් වේදනා අතුරින් ඇගේ මුහුනේ සිනා මලක් පිපෙයි ..
"දන්නවා රත්තරං.. මම දන්නවා.. "ඈ ඔහුගේ අතක් සිප ගනී.
යාබද ලදරු තොටිල්ලේ සැතපෙන බිළිඳු අත මිට මොළවමින් කිරි වේල ඉල්ලා හඬා වැටෙයි ..
ඇය බිළිඳා ඇකයෙහි හොවා ඔහු දෙස බලයි ..
"ඔන්න ඉතිං.. ඉරිසියාව වැක්කෙරනවා මූණෙන් .. "ඇය ඔහුට සරදම් කරයි ..
ඔහු සිනාසෙයි ..


2012 මැයි 05 ..

"සමාවෙන්න.. අපිට ඒක කරන්නම වෙනවා.ජීවිතේ වැදගත් අනිත් කොයි දේටත් වැඩිය.
හිත ශක්තිමත් කරගන්න, මේ වෙලාවේ එයාට වැඩියෙන්ම ඕන කරන්නේ හිතේ නිදහස."
ඇය නිතර අඳින සාරියේ පාටම ලෝගුවක් දාගත් දොස්තර ඔහුට කියමින්..
ඔහු.. ලෝකය ගැන නිනව්වක් නැතිව හිසට ඉහලින් කැරකෙන විදුලි පංකාව දෙස බලමින් ..
ඇය... දොරෙන් එපිට සිට කඳුලු වැක්කෙරෙන මූණෙන් සියල්ලට ඇහුම් කන් දෙමින් ..


2012 සැප්තැම්බර් 06 ..

ඇය රෝහල් යහන මත අවසඟව උඩුඅතට වැතිර ..
ඇය වටකොට ගත් අනේක විධ යන්ත්‍ර සූත්‍ර වලින් නික්මෙන් මූසල හඩට සවන් යොමමින් .. ඔහේ වැක්කෙරෙන කඳුලු වැල් වලින් සුදෝ සුදු ඇතිරිලි තෙමමින් ..
ඇගේ අත සේලයින් බටයෙන් ඔද්දල්ව නිල් පාට වී ..
ඒ අත අමාරුවෙන් ඔසවාගත් ඈ හිමිහිට හිමිහිට ගෙල මුල සිට පහලට ඇගේම සිරුර ගවේශනයක යෙදෙමින් ..
එක තැනක ඒ අත නතර වී ..

අමාරුවෙන් පාට කල චිත්‍රෙකට වතුර වැඩි වෙලා බොඳ වෙලා වගේ ..
සීගිරි චිත්‍ර වලට තාර ගහලා වගේ ..
වීන්ස් පිළිමේ බිම අතෑරලා වගේ ..

කඳුලු ඇල්ල ආයෙත් අලුතෙන් ... මහවැළිය වාන් දැම්මා වගේ ..

"එයා කොච්චර ආදරේ කලාද මේ ඇඟට ..
කොච්චර නම් එයාගේ ඔලුව මගේ පපුව අස්සේ හංගගෙන ඉඳලා තියෙනවද ..
එයා .. එයා ..." ඇය සිහි විකල්ලෙන් ..
අතට හසුවන දළ මැහුම් පාරවල් සමග වෛරයෙන්, ඈ කෙරෙහිම් උපන් මහා අප්පිරියාවකින්, ඔහු කෙරෙහි උපන් දුකකින් ..

ඔහු.. හෙමීට රෝහල් කාමරයේ දොරෙන් එබෙයි.
අත රැඳි විසාල නෙලුම් මල් පොකුර මේසය මත ඇති මැටි බඳුනට දමයි.
"සුදු නෙළුම් .. කැළණියෙන්මයි ගෙනාවේ .. ඔයා ආස නිසාම .."
ඇය .. කිසිත් නොදුටු ඇසින්, නොඇසූ කනින් ..
ඔහු ඇගේ ඇඳ කොනකින් අඩමානෙට ඉඳ ගනී..
"ඔයාට කොහොමද දැන් .. සතියකින් ගෙදර යමු හොඳේ .. පුතා බලන් ඉන්නවා .."
ඔහු සිනාසෙයි ..
ඇය තවමත් ඇය වටා කිසිත් සිදුවන බවක් නොසිතමින්,ඇගේම ලෝකක .. තනියෙන් ..

ඔහු ආදරෙන් ඇගේ හිස අතගායි .. පුරුදු උණුසුමක් හිස් මුදුනින් පටන්ගෙන ඇගේ ගත පුරා දිවෙයි .. තවත් මුරන්ඩු හිතට ඉඩ දිය නොහී ඈ ඔහු දෙසට හැරී ඔහු වැළඳ ගෙන හඬා වැටෙයි..
"මේ මොකද මේ .. ඇයි මම එච්චරටම කැත වෙලාද සතියක් රැවුල නොකැපුවාම.. "
ඔහු විහිලුවක් කිරීමේ අසාර්ථක උත්සාහයක ..
ඇය ඉකි ගසමින් අඬයි ..

ඔහුගේ අත ආදරෙන් එදා මෙන්ම කොපුලත ගෙල මුල වන්දනා කරගෙන හිමි හිමීට පහළට ..
ඇය දරදඩු වෙයි..
එදා තිබුනු සුමුදු අවයවය වෙනුවට අද එතන ඇති වල ගොඩැලි ....
ඒ අත ගැටෙන ඔහුගේ වෙන විපිරියාසය .. ගෝනුස්සෙක්.. නෑ නෑ ගැරඩියෙක් අතේ ගෑවුනා වගේ අප්පිරියවාක් දැනීවි එයාට ..
ඇය සිතයි ..
අඩයි ..

ඔහුගේ අත සුපුරුදු පරිදිම නියමිත ආකරයෙන්ම හැසිරෙයි .. පළවෙනි මැහුම ඔහුගේ අත ගැටෙයි .. ඇගේ හදවත නවතී .. ඔහු ඒ මැහුම වටා මල් පෙත්තක් අල්ලන තරම් මෘදුව අතැගිලි ගෙන යයි .. දෙවන තුන්වන හතරවන මැහුම .. ඔහුගේ විකෘති වන මුහුණ දැකීමට බියෙන් තදකර පියාගත් දෙනෙත් ඈ හෙමින් විවර කරයි ..ඔහු ඇස් පියාගෙන .. මධුසමයේදිවත් ඇය නොදුටු තරමේ ආදරයකින් උණුසුමකින් ඔහුගේ මුහුණම එළිය වී .. සමනළ පියාපතක් අල්ලන තරමේ මුදු බවකින් ඇය නළවමින් ..

ඈ තනි තටුවෙන් පියාඹමින් .. 
ඔහු ඇගේ අහිමි අත් තටුව වෙමින් ..
මා ඒ ආදරය අකුරු කරමින් ..