බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, April 28, 2013

නූතන කිසාගෝතමි කව ....




මැරුණු ..
කුලුඳුල් පෙම ..
ලේ ගලන ..
ළමැදෙහි හොවාගෙන ..
දුවමි මම ..
ඇඳි වත ගැන ..
නිනව්වක් නැතුව ..

බෙහෙත ..
අබ මිටක් නම් ..
කිසිවෙකු නොමල ගේකින් ..
සත්තකයි ..
කිසා ගෝතමිය මෙන් ..
නැවත නොහැරෙන බව අතරමග ..
හොයාගෙන මිස ..
මළ පෙමට ..
දිවි දෙන ඔසුව ..

ඒත් ..

අනේ .. කෝ බුදු කෙනෙක් ..
මට ..
බෙහෙතක් කියන්න ...



Sunday, April 21, 2013

ලයිසන් ආදරය ...



දැන් හැදෙන එවුන් නම් ගන්න දෙයක් නෑ..
ඇටෙන් පොත්තෙන් එළියට එන්න කළින් ලව් මේනියාව..
අනේ අනිච්චේ..
අපේ කාලේ තිබුනේ නෑ මෙහෙම විගඩං..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඒක නෙමේ ..
දන්නවද වැඩක් ..
එහා ගෙදර කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි කියන්නේ ..
අනේ මන්දා ..
චාරයක් විලි සංගයක් නැති සක්කරවට්ටං..
මහ ලොකුවට යුනිවර්සිටි යනවා කියලා ගිහින් ඕවා තමයි කරන්නේ ..
අපි නොදන්න යුනිවර්සිටිකාරියෝ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

අපි මේ ඔයාගෙම හොඳටයි අනේ කියන්නේ ..
ඒ කොල්ලා අමතක කරන්න ..
ඌට හැම තැනම කෙල්ලෝ ..
අපි ඔයාගේ යාලුවොනේ , ඔයාට හොඳක් වෙනවට අපි කැමතිනේ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

අනේ එන්නෙපා මට එයා ගැන කියන්න..
එයා තවත් මගේ යාලුවෙක් නෙමේ ..
කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් පස්සෙ යන්නේ .. විලි ලැජ්ජ නැද්ද හැබෑටම ..
ආත්ම ගවුරවයක් කියලා එකක් තියෙන්න ඕන කෙල්ලෙක් උනාම..
එපා කියලා දමලා ගිය එකා පස්සෙම දුවන්නේ අඩාගෙන ..
ඔහොම එකියක් මගේ යාලුවෙක් කියන්නවත් මට ඕන නෑ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

අමතක කරපං මචං ඒකිව..
ඒකි නැති උනාට උඹට තව ඕන තරම් කෙල්ලො හොයාගන්න පුලුවන්නේ නමන්න..
මොකෝ ඒකිගේ අහවල් එක රත්තරන්ද..
නිකන් දේව් දාස් නොවී වෙන කෑල්ලක් සෙට් කර ගනින් ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඉක්කේයියා ..
අර බලන්නකො අර කොල්ලෝ දෙන්නා දිහා..
ගේ ද කොහෙද ..
ලැජ්ජ නැද්ද මන්ද නේද අනේ එහෙම අත් අල්ලන් යන්න ..
චික් විතරක් ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

මොකක් ..
ඒ කෙල්ලෝ දෙන්නා ලෙස්බියන් ..
දෙයියෝ සාක්කි ...
ලංකාවට ගිය කලක් ...
විලිසංගේ නැති උන් ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මචන් ඔය කෙල්ලව හොඳට බලාගනින්..
ඕකි යාලු බැඳපු එකෙක් එක්ක ..
වෙලාවක වචනයක් දාල බලපන්..
පත්තිනි අම්මා වගේ බිම බලාගෙන ගියාට නමාගන්න බැරි වෙන එකක් නෑ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඒයි කෙලින් බලන්නෙපා..
ෂේප් එකේ බලන්න අර කොනේ ටේබල් එකේ ඉන්න කපල් එක දිහා ..
ඒ කොල්ලා මේ දැන් කෙල්ලගේ අත කිස් කලා ..
අනේ මන්දා නේද ..
මොන කෝලම්ද මන්දා ප්‍රසිද්ධියේ ...

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

බලන්න අර ජෝඩුව ඉන්න ලස්සන ...
කසාද බැඳලා.. 

ලස්සන ගෙයක් හදාගෙන.. 
ලොකු කාර් එකක් අරගෙන..
අන්න චරිත ..
අන්න ජීවිත .. !!!!!!!!!!!


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔක්සිටෝසින් හිනා වෙනවා ...
මොකද අන්තිම කේස් ස්ටඩි එකේදි ඇරෙන්න ..
අනිත් හැම තැනදිම ..
ඔක්සිටෝසින් වැක්කුරුනේ ..
ගැලුම් ගනන් ...
ඒත් ..
ලාංකේය සදාචාරය පිළිගන්නේ ..
ලයිසමක් එක්ක එන ආදරය මිස ..
මොලෙන් පටන් ..

අරන් හදවත හරහා ගලන ..
රෝමාන්තික ආදරය නෙමේ .. !!

දෙයියනේ..
අපි කවදා ආදරය ආදරය විදියට විතරක් දකීද ...
කවුරු කාට කොහොම කලත් ...
ආදරය .. ආදරය විතරයි ..
එච්චරයි .. !!


PS. Oxytocin  is a mammalian neurohypophysial hormone that acts primarily as a neuromodulator in the brain. Recent studies have begun to investigate oxytocin's role in various behaviors, including orgasm, social recognition, pair bonding, anxiety, and maternal behaviors. For this reason, it is sometimes referred to as the "love hormone". There is some evidence that oxytocin promotes ethnocentric behavior, incorporating the trust and empathy of in-groups with their suspicion and rejection of outsiders.






Saturday, April 20, 2013

නොමියෙන ආදරය... ♥




එලඹෙන හැම රැයක ..
ඔබ දකිමි, ඔබ විඳිමි ..
මගේ ජීවිතේ ඔබේ පැවැත්ම ..
මම දැනගන්නේ එලෙසිනි ...

දුරු කතර ගෙවාගෙන ..
අප අතර ඇති වෙනස දරාගෙන ..
ඔබ ඇවිදින් මා ලගට ..
ඔබේ පැවැත්ම තහවුරු කරන්නට ..

දුරක හෝ ලගක ..
ඔබ සිටින කොහේ හෝ තැනක ..
මම දනිමි  ..
හදවත ..
තවමත් ගැහෙන බව ..

ඔබ මවෙත විවර කල දොරටුව ..
තව වරක් විවර කල මැන ..
දකිනු මැන ඔබ සිටින අපූරුව ..
තවමත් මගේ හද ගැස්ම තුල ...
මගේ හදවත ..
එලෙසටම මුමුණාවි ..
ඔබේ නම ..
සදහට ..

ආදරයේ සුමිහිරි ස්පර්ෂය ..
අප මත ගැටෙන්නේ එක්වරය ..
ඒ එක් වර ..
අවසන් වාරයද වනු නොඅනුමානය ..
හදවතට වට ආදරයේ පහස ..
අප මෙලොවින් සමුගන්නා යම් දිනක් වේද ..
එදින වන තුරු ..
අප සමග සිටිනු ඇත ..

මගේ ආදරය  ..
ඒ මා ඔබට ආදරය කල කාලයයි ..
ඔබ දරාගත්  ..
එක සැබෑ මොහොතයි ..
ඒ මොහොතක ආශ්වාදය ..
අපේම වූ ඒ මොහොත ..
මා මියෙන තුරාවට ..
මා සමග රැඳේවි ...

ඔබ මා අසලමයි ..
නෑ බියක් ලෝකට ..
විය හැකි කිසිම දේකට ..
දනිමි මම ..
මගේ හදවත ගැහෙන බව
සදහට ..

ඔබ මා ..
එක්ව ඉඳීවී මේ ලෙසට
සදාකල් ..
ඔබව රඳවා ආදරෙන්
මගේ හද ගැස්ම තුල
රැකගනිමි මලක් සේ මුදුව ..
ඒ හදවත ගැහේවි ..
සදහටම ...

...

(My translation of the song "My heart will go on" by Celine Dion)





Thursday, April 11, 2013

වසන්තයේ ආගමනය ...

සිංහල හින්දු අලුත් අවුරුද්ද ...
ජනවාරි පළවෙනිදා ලබපු කැලැන්ඩර් අවුරුද්දෙන් පස්සේ සූර්ය සන්ක්‍රාන්තියත් එක්ක එන අපේම අවුරුද්ද ..

දැන් ඉතිං රබන් සද්දේ ඇහේවි, කොහා කෑ ගහවි, මදි නොකියන්න ඔබේ තීරය පේන්න, බුරියට අඟල් බර ගානක් පහලින් රෙදි ඇඳගත්තු ගෑල්ලමයි ඔළිඳ කවි කියාවි ...

හැබැයි හැම දේම රූප පෙට්ටිය ඇතුලේ  ..

නැකතට ඇණේ කරකවලා ගෑස් ලිප පත්තු කරන, දෙමාපියන්ට කේක් පෙට්ටියක් දීලා ඉන්දියන් ක්‍රමේට වඳින, එලඹෙන නැකතින් නැකතට ගල් පොල් බෝතල් වල මූඩි ඇරෙන විපරීත සමාජයෙන් කොහා පැනලා ගිහින්.. එරබදු මලක් පිපෙන්න එරබදු ගහක් තියෙන්න එපැයි .. එරබදු ගස් වවන්නේ කොහෙද හැම බිම් අඟලක අහසක් උසට කොන්ක්‍රීට් මාළිගා හැදෙද්දි .. 

කුකරි පන්ති වල කැවුම් හදන්න උගන්නන්නේ නැතිකොට, විනාඩි පහේ ඉන්ස්ටන්ට් ආස්මි මික්ස්චර්ස් නැතිකොට අවුරුදු මේසෙට ආපිකෝ එකෙන් කැවිලි පෙට්ටියක් ගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද .. නැකතට රැකී රක්ෂා වලට පිටත් වෙන්නේ කොහොමද නැකත එනකන් හිටියොත් ඕටී එක කැපෙන කොට ... 

ප්‍රශ්න .. 
මිනිස්සුන්ට ප්‍රශ්න .. !!

රූප පෙට්ටිය දාගත්තු වෙලේ ඉඳන් විසූක දස්සන.. උපන්තේකට ඔළිඳ ඇටයක් ඇහැට දැකලා නැති පූල් ගහපු, බෝලිං ගිහිපු සකලවිධ රූපලාවන්‍යයෙන් සැරසුනු ගෑල්ලමයි හරි අමාරුවෙන් රෙද්ද එකලස් කරකෙන ඔළිඳ කෙළිනවා .. ෂේඩඩ් ඩෙනිම ඇරෙන්න සරමක් ඇඳගෙන අඩි දෙකක් ඇවිදලා පුරුදු නැති ඔඩෙල් මොඩල්ස්ලා සරම් ඇඳගෙන එලුවන් කනවා .. සූර්ය සංක්‍රාන්තිය කියලා හරියට කියා ගන්න බැරි නිවේදිකාවෝ කට උල් කර කර තොදොල් වෙනවා.. අවුරුදු කුමාරිගෙයි කිංග්ෆිශර් කැලැන්ඩර් ගර්ල්ස්ලගෙයි තියෙන එකම වෙනස අවුරුදු කුමාරි (තාමත්) බිකිනිය ඇඳගෙන පෙනී සිටින්නේ නැති ටික විතරයි. මේවාදැක්කම අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ .. කොහොම උනත්,අඩුමගානේ රූප පෙට්ටියේ ඇතුලෙන් හරි අවුරුද්ද බලාගන්න තියෙන එක ලොකු දෙයක්. ෆැන්ටසියක් උනත්,මොකක්වත්ම නැතුවට වඩා මොනවම හරි තියෙන එක ලොකු දෙයක්නෙ :)

කාට නැතත් වෙළෙන්දන්ට අවුරුදු. පිටකොටුව එකම මිනිස් ඔලු ගොඩකින් පිරිලා ගිහින්. ඉදිකටුවේ ඉඳලා වාහනයක් වෙනකන් ඕන දෙයක් ගන්න පුලුවන් .. හැම කඩේකම,පෙව්මන්ට් එකේ අඩියක් අඩියක් ගානේ හීන පුරෝලා..හරි ලාබයි .. මිනිස්සු මාස ගානක් හම්බ කරපු සේසත එක විනාඩියෙන් ඒ හීන අස්සේ දිය වෙලා ගිහින් ඉවරයි. ඒත් මිනිස්සු සතුටින්, ඒ හැම සතයක්ම වියදම් කරන්නේ සතුටින්, සෙනග අස්සේ තෙරපෙන්නේ සතුටින් .. 

ඒ මිනිස්සු වාසනාවන්තයි මට වඩා එක අතකට .. 
මට ඒ සතුට විඳින්න බෑ..
මට ඒ හීන අස්සේ මගේ ජීවිතේ දිය කරන්න බෑ.. 
කොටින්ම මට පිටකොටුවෙන් අවුරුද්ද සල්ලි වලට ගන්න බෑ..



අද උදේ ඉඳන් ගේ ඉස්සර පාරේ එක වාහනේක සද්දයක් ඇහෙන්නේ නෑ .. වෙනදට එක සීරුවට ඇහෙන වාහන හෝන් සද්ද කිසි දෙයක් අද නෑ..

මිනිස්සු ගමේ ගිහින් ..

කොළඹ හැමෝගම තාවකාලික නාවතැනක් විතරයි..සල්ලි හොයන්න, ජීවිත සටන ගෙනියන්න හදා ගත්තු තාවකාලික සටන් බිමක් විතරයි කොළඹ කියන්නේ .. ගහක අතු කොහේ දීපංකරේ ගියත් මුල හයි වෙලා තියෙන්නේ පොළවට.කොළඹ ජීවිතත් එහෙමයි..කොහේ කොහොම ජීවත් උනත් එක තැනකදි මුල හොයාගෙන හැමෝම යනවා .. 

හැමදාම කාර්යබහුල කොළඹ අද පාලුයි .. 
වසන්තයේ උදාවෙදි කොළඹ හිස්...


මමත් හෙට ගමේ යනවා ..
ආච්චි අම්මා මාව බදාගෙන ඉඹගනීවි.. 
රැළි ගැහුන අත් වලින් ඔලුව අතගාවි.. 
ගිලුනු ඇස් වල කඳුලු පුරෝගෙන අහවි පුතේ තවම කසාදයක් බඳින්න කල්පනාවක් නැද්ද කියලා .. නහරවැල් බේරුනු අත් වලින් කන මිරිකලා අහවි මොකෝ ළමයෝ කනේ කරාඹු දෙකක් නැත්තේ කියලා .. ඉස්මුරුත්තාවට වෙනකන් ආස්මි,කොකිස්,අතිරස කවාවි මොකෝ මේ ළමයි මේ හැටි කෙට්ටු කියලා අහ අහ..

මට තවත් එක දවසක් විතරක් වෙන අවුරුද්ද එකම එක මොහොතකට ඒ පොඩි වෙලාවට අමුතුවට දැනේවි..වෙනසක් සතුටක් දැනේවි ...

ඒ අරුනම අවුරුද්ද.. ඒ කියන්නේ අප්‍රේල් 14 කියන දිනය මට තවත් එක දවසක් විතරයි .. මගේ අවුරුද්ද ලබන්නේ මම සතුටින් ඉන්න දවසට .. මගේ සතුට අනුව එකම කැලැන්ඩර් අවුරුද්ද ඇතුලේ මගේම අවුරුදු හතර පහක් එන්න පුලුවන් වගේම එකම එක අවුරුද්දක්වත් නෑවිත් තියෙන්නත් පුලුවන් ...

දන්නේ නෑ හෙට ගැන ..
මම හොයන්නේ මොනාද කියලා මම තේරුම් ගත්තුදාට.. 
ඒහොයන දේ හම්බුන දාට.. 
මම සතුටින් ඉන්න දාට.. 
මට අවුරුදු ලබයි ... 
ඒ කවදද කියන්න මම දන්නේ නෑ ..


මොනවා කොහොම උනත්ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නෑයන්ට නොනෑයන්ට .. යාලුවන්ට තරහකාරයන්ට .. සුභ පතන්නන්ට ඉරිසියාකරයන්ට .. ආදරේ අයට ආදරේ නැති අයට .. රිද්දපු අයට සනසපු අයට .. සකල ලෝක වාසි මහා ප්‍රාණියාගේ ඉඳන් ක්ෂුද්‍ර ප්‍රාණියා වෙනකන් හැමෝටම .. හිතේ තියෙන හීන හැබෑවෙන, තව තවත් හීන මවන්න ලැබෙන්න, හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන .. තව බලාපොරොත්තු ඇති වෙන .. සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා .. :)

Friday, April 5, 2013

පිණි ..






හචිං ..
මට නිව්මෝනියාව වගේ ..
හුස්ම ගන්නත් අමාරුයි ..
මැරෙයි මෙහෙම ගියොත් ..

මොකෝ උනේ ??
වැස්සට තෙමුනද  ??

පිස්සුද ..
වැස්සක් ලඟ ආවත් මම කුඩේ ඇදල අරං ඉවරයි ..
චුට්ටක් තෙමුනත් සමහන් බොනවනේ ..
දන්නවනේ මාව ..
මම සෑහෙන්න පරිස්සම් ..

හ්ම්ම් ..
එතකොට ඇයි මේ නිවුමෝනියාව ..
හුස්ම බටේ අයින් කලොත් මැරෙන තරමට අමාරු උනේ මොකද ..

ආ..
ඒ මේ පින්නට තෙමිලා ..

මොකක් ..

පින්න ..
පින්නට තෙමිලා ..

කෝ එතකොට අර කිව්ව පරිස්සම ??

කවුද දෙයියනේ පින්නට කුඩ ඉහලන්නේ??
පින්න වැටෙනව වත් දැනෙනවද .. නෑනේ ..
අනික වැස්ස වගේද පිණි වැටෙද්දි දැනෙන සනීපෙ ..
හචිං .....

අනේ තොට හොඳ වැඩේ ..
වැස්ස හැදුනු එච් 2 ඕ වලින්මයි බොල පින්නත් හැදිලා තියෙන්නේ ..
ඒ පොඩි දේ තේරුම් ගන්න බැරි මැටි මෝලෙක් ඉඳල වැඩක් නෑ ..
මැරියන් ඉතිං ..
උඩ දාගෙන .. ලැජ්ජ නැතුව තාමත් තෙමෙන ..
පිණි නිව්මෝනියාවෙන්ම .. !!