බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, June 1, 2013

මං ආසයි ...

හෙට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස නම් ..
මගේ ජීවිතේට ලැබුනු කෝටා එක හෙටින් ඉවරයි නම් ..
හෙට දවසත් එක්ක බහින ඉරත් එක්ක මගේ අන්තිම හුස්මත් මේ ලෝකෙන් යන්නම යනවා නම් ...

මං 
       ආ
              ස
                    යි ..

මං ආසයි පියාඹන්න.. 
වලාකුළු වලටත් උඩින්. මූණට එන හුලගට විරුද්ධව.. කුරුල්ලන්ට සම්මාන්තරව..  රාජාලියෙක් වගේ අහසේ කැරකෙන්න, වෙලාවක හුළගත් එක්ක ඔහේ හුළගට ඕන අතට ගහගෙන යන්න.පුලුං ගුලියක් තරම් හෑල්ලුවට අහස පුරාම කරක් ගහන්න.
ඔව්..
මම ආසයි පියාඹන්න..
ලෝකෙට උඩින් .. පාවෙන මල් පෙත්තක් තරම් සැහැල්ලුවෙන්.. පරිමාවක් තියෙන ස්කන්ධයක් නැති පධාර්ථයක් වෙලා ...

ෆැන්ටසි මානයෙන් එහාදි හිතලා බැලුවොත් මං ආසයි බන්ගි ජම්පින් කරන්න. මැරෙන්න කලින් එකම එක වතවක්.. අත් දෙක දෙපැත්තට දාල ගිරිය යටින් කෑගහගෙන පාලමක් උඩින් පනින්න.. වතුරේ නහය ගෑවෙන මානයක් වෙනකන් ඔහේ බිමට වැටෙන්න..
යතාර්ථවාදීව පියාඹන්න ...


මං ආසයි කැලිප්සෝ සිගර් කෙනෙක් වෙන්න. පන්කොල තොප්පියක් දාගෙන බැන්ජෝ බෙරයක් ගගහ මූදු වෙරලක් අද්දර සිංදු කියන්න. කොහේ හරි හෝටලේක මේසෙන් මේසෙට ගිහින් කෙනෙක් කැමති.. කෙනෙක් ඉල්ලන සිංදුවක් කියන්න.. සන්තෝසම්, මුදලින් නැතුව අත්පුඩියකින් හිනාවකින් ලබන්න. මම ආසයි පාරක් පාරක් ගානේ සිංදු කියන්න. පාරේ යන අයට අහන්න, ඒ අයගේ මහන්සිය කේන්තිය ආත්මාර්ථය එක මොහොතකට හරි නිමන්න .. මම ආසයි ඒ එකතු කරගන්න කීයක් හරි ගානෙන් චපාති එකක් අරගෙන ගෝල්ෆේස් එකට වෙලා රෑ එලි වෙනකන් ගිටාර් එකක් ගගහා සිංදු කියන්න මූද දිහා බලාගෙන. තනියට ඉබා ගාතේ යන බල්ලෙක් විතරක් පාමුල තියාගෙන ...


මං ආසයි රෑ දෙගොඩහරි ජාමේ කොලඹ පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.මින්ට් පැකට් එකක් විතරක් සාක්කුවේ දාගෙන පාට ගිය ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි රබර් සෙරෙප්පු දෙකකුයි දාගෙන හෙඩ් සෙට් එක කනේ ගහගෙන අමරසිරි පීරිස් මහත්තයගේ සිංදු අහ අහ නිදා නොගන්න කොළඹ නගරේ නියෝන් එළි දිහා බලාගෙන පාර දිගේ යන්න.මං ආසයි ෂැංහයි බේබි පොතේ කොකෝ ටියෑන් ටියෑන්ට පේන්න නැටුවා වගේ ඒ නියෝන් එළි මැද නටන්න .. මං ආසයි බලන්න ඉන්න කාට හරි පේන්න දේදුන්නක් වගේ නටන්න.. පිස්සෙක් වගේ මහ හයියෙන් හිනා වෙවී වෙරිමතෙන් වගේ නටන්න.. ලැජ්ජාවක් බයක් සීමාවක් නැතුව ..


මං ආසයි වැස්සේ තෙමෙන්න.. සාරි වලින් බර ඇඳුම් වලින් මිදිලා නිදහසේ තෙමෙන්න..වතුර බින්දු වලට මූන හරෝගෙන ඇස් ඇරගෙන ඉන්න. අහසින් වැටෙන වතුර බින්දු කට ඇරල බීගෙන බීගෙන යන්න. මඩ වලවල් වලට පනින්න.. පාරේ රැඳිලා තියෙන වතුර ගොඩවල් වලට පයින් ගහන්න.. මං ආසයි තෙතබරියන් වෙනකන් ඇඟිලි රැලි වැටෙනකන් මහ අනෝරා වැස්සක තෙමෙන්න..


මං ආසයි පාරේ ඉන්න හිගන්නෙක් එක්ක කථා කරන්න.. පිස්සෙක් එක්ක කථා කරන්න.. මං ආසයි වත්තකට යන්න. මං ආසයි කුප්පියාවත්ත පැත්තේ වත්තක මිනිස්සු ජීවත් වෙන හැටි බලන්න. චූටි ක්ෂුද්‍ර ප්‍රාණියෙක් වෙලා කාටවත් නොපෙනී ඒ ජීවිත වල දවසක් ගෙවෙන හැටි බලන්න. මං ආසයි ගණිකාවක් වෙන්න. මිනිස්සු එන්නේ ඇඟ නිසාම විතරද කියලා බලන්න. ඇඟක් ඕන නම් ඇයි ඒ මිනිස්සු තමන්ගේ බිරිඳ පෙම්වතිය ලගට නොයන්නේ කියලා බලන්න. ඒ එන මිනිස්සුන්ට ඇඟකට වඩා දෙයක් ... ඒ අයගේ දුක අහන්න කෙනෙක්.. ඕන නිසා එනවද බලන්න.. මං ආසයි මිනිත්තු එකොළහේ කථාවේ මරියා වගේ ආදරය හොයන ගනිකාවක් වෙන්න.. විරාගයේ අරවින්ද වගේ ජීවිතයක් එක තත්පරේකට හරි ගින්නෙන් පුච්චලා අලු කරලා දාන්න. මං ආසයි සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන චරිතයක් රගපාන්න. මම ආසයි කුපාඩියෙක් වෙන්න, කාලකන්නියෙක් .. හිපියෙක් වෙන්න ... මං ආසයි ටැටූ එකක් ගහන්න.කොන්ඩේ තට්ටේ ගාන්න.. මම ආසයි මේ මුලු සමාජ ප්‍රවාහයටම විරුද්ධව උඩු ගං පීනන්න.


 මං ආසයි නිශ්ෂබ්දතාවයේ සද්දේ අහන්න. මූසල පාලු තනිකමක වෙලෙන්න. ගෙදර යතුරු දාගෙන කාගෙවත් රූපයක් හඩක් ඇහෙන්නේ නැතුව ඉන්ටර්නෙට්.. සෙල්ෆෝන්.. අයිපෑඩ්.. කේබල් ටීවි .. අනං මනං සකලවිධ ආටක නාටක ඔක්කොම වීසි කරලා මේන් ස්විච් එකෙන්ම කරන්ට් එකත් ගලවලා විසි කරලා ඇඳ උඩට වෙලා නිහඩතාවයේ හඩ අහන්න... නිහඩතාවය මගේ මොලේ ඇතුලේ අඳින රූප දිහා බලන් ඉන්න.. ඒ රූප වලට පාට පොවන්න ..


ඒ හැම දේම ඉවර වෙලා ... 
අන්තිම හුස්මට තත්පරයක් තියලා ... 
මං ආසයි ඔය පපුව උඩ මගේ රිදෙන ඔලුව නිදි කරවන්න .. 
කෝටියක් ආසවල් වලට තිත තියලා.. හිතේ නිදහසෙන්..  
ඔය හදවත බිග් බෙන් එකටත් වඩා හය්යෙන් ගැහෙන සද්දේ අහගෙන...
ඔය සුවඳින් හිත පුරවගෙන ..
ඇස් දෙක පියා ගන්න ... 

     ද
          හ
               ට
                   ම ...