බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, June 30, 2011

.: විවාහය ගැන මගේ ගීතය :.

මෙන්න මම ආවා. අද මට අසනීපයි.. හොදටම අසනීපයි ... ඒ නිසා මම තීරනය කලා post  එකක් ලියන්න.කව්ද දන්නේ.. හෙට මැරුනොත් එහෙම මේ මම ලියන අන්තිම post එක වෙන්නත් පුලුවන්නෙ ... කොහොම හරි, මගේ campus කතා මාලාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. මම හිතුවේ නෑ මගේ අන්ධබූත SLIIT ජීවිතේ මේ තරම් රසවත් වෙයි කියලා කියවන අයට ... :)

එක දිගටම campus කතා කියන්නත් බෑනේ. ඒ නිසා අද මම කියන්නේ මම ආදරය කරන ගීතයක් ගැන. අද මගේ blog අවකාශය වෙන්වෙන්නේ ටී එම් ජයරත්න මහත්මයට.. මම අකමැති ගීතයක් නැති තරමට ලෙංගතු කටහඩක් සහ හිත නිවන රූපයක් තියෙන ගාන්ධර්වයෙක් ... ටී එම් ජයරත්න මහත්මයගේ මම පෙරේත සිංදු මහ ගොඩාරියක් තිබුනත් අද මම මගේ හිත කියන්න යන්නේ මෙන්න මේ ගීතයට අදාලවයි ....


හැමෝම දන්න හැමෝම අහල තියෙන ගීතයක් ... නාද මාලාවෙනුයි පද වැලෙනුයි මාව වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් ගීතයක් මේක. වචන ගැන මෙලෝ සංසාරයක් නොතේරුනු ඇටිකිච්චෙක් කාලෙත් මම මේ ගීතයට ගොඩක් කැමතියි කියලයි මගේ දෙමාපියෝ කියන්නේ. මේකලු ඒ කාලේ මගේ නැලවිලි ගීතය .. :)

විවාහය ...." විගහට වාහනෙන් නිමූන් මු " කියනවට වඩා මහා ලොකු ගැඹුරක් අර්ථයක් තියෙන උත්තරීතර මානුෂීය බැඳීමක්. දැන් ඔන්න පටල ගනී අපේ අය. මම අදහස් කරන්නේ නෑ පොතේ ලියලා හත් දවසක් මගුල් කාල සමරන විවාහයක්. දෙන්නෙක්ගේ හිත එකට බැඳුනු තැන, දෙන්නෙක් එකට ජීවිතේ ඉතිරි දුර යන්න තීරනය කල තැන ඇතිවෙන ආදරය සහ රාගය මිශ්‍රවුනු බැඳීමයි මම විවාහය විදියට දකින්නේ. නැතුව කඩදාසියකට සීමා උනු අයිතිවාසිකමක් නෙමෙයි. ඉඩමක අයිතිවාසිකමට ඔප්පුවක් ලියලා දෙනවා වගේ මනුස්ස ජීවිතයක අයිතිවාසිකම කවදාවත් කඩදාසියකින් කාටවත් ලියලා දෙන්න බෑ... නෛතික හේතු කාරනා නිසා නොවෙන්නට කොලේක ලියලා අත්සන් කරන විවාහයකට මම විරුද්ධයි ඇත්තටම ...

මේ ගීතයේ මම ආසම කරන පද වැල තමයි "ඔබා මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා " කියන කොටස ... කොයි තරම් රැඩිකල් අදහස් දැරුවත් තමන්ගේ ස්වාමි පුරුෂයගේ කකුල් දෙක අල්ලලා වදින එක මට හරිම ලස්සන දෙයක් විදියට පේනව හැමදාමත්. කාන්තාවාදි සම තැන ඉල්ලන අක්කලා, නංගිලා, ඇන්ටිලා, ආච්චිලට කේන්ති යයි ..නමුත් මම කවදාවත් සමතැන අදහසට එකග නෑ. බිරිඳක් විදියට බලාපොරොත්තු වෙන ආරක්ෂාව,ආදරය,රැකවරනය සපයන ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් ඒ කෙනා බිරිඳගේ ලෝකේ දෙවියන් වෙන එකේ කිසිම වැරැද්දක් නෑ ... එහෙව් කෙනෙක්ගේ දෙනෙතින් දෙවියන් දකින එක කාන්තාවාදි අදහස් වලට එරෙහිව යාමකුත් නෙමෙයි ... දෙපය නෙමෙයි දෙපය තියන තැන දූවිලි කැටයක් උනත් මුතු ඇටයක් වගේ පරිස්සමින් තියා ගන්න එකත් දීන වීමක්, යටත් වීමක් නෙමෙයි .... හැබැයි මම කියන්නේ නෑ ඒ සිප ගත් දෙපා වලින්ම පයින් ගහනවා නම් ගුටිකාගෙන ඉන්න එකයි නියම ගැහැනුකම කියලා.. එහෙම ගැහුවො බදා ගත්තු දෑත් වලින්ම අනිත් පැත්තට කන රත්වෙන්න ගහන්නත් කිසිම තහනමක් නෑ ;) 

"භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක උනත්
ඔබගෙයි මගේ හඳ මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "

විවාහය කියන්නේ එක්තරා විදියක ගමනාන්තයක්. ඉපදීම සහ මරණය අතරේ තියෙන සංක්‍රාංතියක්.හරි ගියොත් ජීවිතේ මල් පිපෙන වැරදුනොත් ජීවිතේ වල් වදින තෝරාගැනීමක්. වචන ගොලු වෙලා හදවත් කතා කරන මානයක් තියෙනවා නම් අන්න එතෙන්දි හදවත් දෙකක් කතා කරල ගන්න තීරනේ ගොඩක් දුරට හරි. වචන බොරු කිව්වත්,වචන මවා පෑවත්,වචන රැවැට්ටුවත්, වචනය ගොලු උනු තැන කතා කරන හදවත කවමදාවත් බොරු කියන්නේ නෑ ... හද මන්දිරෙන් එන ස්වරයක් එක් උනු දාට එතන මාළිගාවක් මිස අම්බලමක් හරි තාවකාලික නවාතැන්පොළක් හරි හැදෙන්නේ නෑ ....

"ඔබ මා දෙනෙත් මා ඔබෙ දෙනෙත්
එක් වී වෙලා සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා "

දැකලා තියෙනවද ඇස් කතා කරනවා ? මම දැකලා තියෙනවා. පොත් ගනන් දිග කතා ඇස් වලින් කියනවා මම දැකලා තියෙනවා. ඇහැක කතාවක් හරිම සුන්දරයි.. ඒ කතාව දැනෙන්නේ කනට නෙමෙයි හිතට ... සැබෑ මංගල ඡායාරූපෙකුයි නිරූපිකාවන් ඉදිරිපත් කන මංගල මෝස්තර ඡායාරූපෙකුයි වෙන් කරල අදුරගන්න පුලුවන් ඇස් දිහා බැලුවා නම්.ඇත්ත විවාහ ඡායාරූපෙක මනමාළියගේ ඇස් වලින් කියන කතාව නිරූපිකාවකගෙ තට්ටු තට්ටු මෙකප් දාපු ඇස් වලින්වත් කවදාවත් කියන්න බෑ. තමන්ගේ ජීවිතේ අනාගතය තව කෙනෙකුට බාර දුන්නු ගෑනු ලමයෙකුගෙ හිත මනමාළියගේ ඇස් වලින් කියවෙනවා..ඒ ජීවිතයේ වගකීමට උරදීපු සෙල්ලක්කාර කොල්ලෙක්ගේ හිත මනමාලයගේ ඇස් වලින් කියවෙනවා ... ලස්සන කතාවක් ... !!




විවාහය හැමදාමත් මගේ හිත මහා දෙගිඩියාවකින් පෙළපු මාතෘකාවක්. කොහොම නමුත් ලාංකේය විවාහ රටාව නම් මට තිත්තයි.. දෙමාපියන්ගේ නෑදෑයන්ගේ වදේට මිස කැමැත්තක් නැතුව බැඳගන්න බෙරයක් වගෙයි බොහොමයක් විවාහ. ලාංකේය විවාහ සහ අඹු සැමි සම්භන්ධතා ගැන මගේ චින්තනය කියන්න ගියොත් මට ගල් ගහවි මිනිස්සු :) මම බය නෑ..ඒත් මම දැන් තේරුම් අරගෙන ඉවරයි ලාංකේය සදාචාරය කියන බිත්තර කට්ට පොඩි කරන්න මම වගේ පුංචි කූඹියෙක්ට බෑ කියලා. ඒ නිසා මම ඒ ගැන කථා කරන්නේ නෑ ..

මම පුංචි කාලේ ඉදලා wedding car වලට හරිම ආසයි. ඒකේ යන couple එකට අතවනන්න මට තියෙන්නේ පුදුම ආසවක්... ගොඩක් වෙලාවට එයාලත් හිනා කටක් පුරෝගෙන අත වනනවා උනත්, සමහරු ඔරවලා අහක බලාගන්නේ නැත්තෙත් නෑ ... අද අවුරුදු 26ක නාකි අම්මන්ඩි කෙනෙක් වෙලත් බස් එකේ,පයින්, මොන විදියකට ගියත් wedding car එකක් දැක්ක ගමන් මෙලෝ සිහියක් නැතුව අත වනන එක නවත්තගන්න බෑ මට.මගේ දෙමාපියෝ කියන්නේ මම කොයි වෙලේ හරි wedding car එකකට යට වෙලා මැරෙයි කියලා ;) Wedding car එකක් දැක්කම මට මතක් වෙන්නේ සින්ඩරෙල්ලගේ වට්ටක්කා ගෙඩියෙන් මැවුනු අශ්ව කරත්තේ :) කොටින්ම මුලු විවාහයම මට සුරංගනා කථාවක් වගේ කියලයි හිතෙන්නේ .. විකාරයි තමයි..ඒත් මගේ මනෝ භ්‍රාන්ති වලට සීමාවක් මායිමක් නෑ :D

අදට මෙච්චරයි..මගේ සියලූම විවාහක යාලුවන්ට යෙහෙලියන්ට ආදරය සතුට පිරුනු විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරන ගමන්ම ..... තාම බැන්ඳලා නැති යාලුවන්ගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න ... 

කසාද බැඳලා මල්, රිබන් පටි ගහලා සරසපු කාර් එකෙන් දෙන්නත් එක්ක යද්දි ....
මග අද්දර ඉදන් කවුරු හරි අත වැනුවොත් ..
අනේ හිනා වෙලා අත වනන්න ..
ඒ මම වෙන්න පුලුවන් .... !!



Sunday, June 26, 2011

කැම්පස් කථා (Second Episode)

අපෝයි ... ෂර්ලොක් හෝම්ස් කථා මාලාව ලියන්න ගිහින් ආතර් කොනන් ඩොයිල් මහත්තයා මූන දුන්නු නස්පැත්තියටත් වඩා අලි ජරමරේකට මම මූණ දීල ඉන්නේ ;) කොනන් ඩොයිල් මහත්තයා ෂර්ලොක් හෝම්ස් ව රයිෂන්බාග් දිය ඇල්ලෙන් පහලට තල්ලු කරල මරල දාපු දවසෙ ඉදන් ඒ මනුස්සයට හෝ ගාල මරන තර්ජන ආවලු.. දවසක් දා ආච්චි කෙනෙක් ඩොයිල් මහත්තයාගේ කම්මුලට ගහලා කිව්වලු ෂර්ලොක් හෝම්ස්ව ආපහු ගෙනාවෙ නැත්නම් හොඳ වැඩක් කරනවා කියලා ..අනේ ඉතින් අසරණ කොනන් ඩොයිල් මහත්තයා කොහොම හරි ෂර්ලොක් හෝම්ස් ව ආපහු ගෙනාවලු .. මගේ මේ කැම්පස් කථා මාලාවත් එහෙම වෙලානේ..තාම නම් කවුරුත් කම්මුලට ගැහුවේ නෑ..ඒත් එරවිලි ගෙරවිලි ලතැවිලි කෝටියයි ඊලග කොටස් ලිව්වේ නෑ කියලා. ඒ නිසා මෙන්න අද කථාවේ දෙවෙනි කොටස.. මගේ බූත කැම්පස් ජීවිතේ දෙවෙනි අවුරුද්ද ... :)

මුලින්ම කියන්න ඕනි SLIIT දෙවෙනි අවුරුද්ද තමයි මගේ ජීවිතේ සංධිස්ථානය.මට ආයෙම හැරිල ගිහින් මගේ ජීවිතේ හරිගස්සන්න පුලුවන් උනොත් මම යන්නේ දෙවෙනි අවුරුද්දට.. 2008, ඒ කියන්නේ SLIIT second year එක තමයි මගේ ආදරේ පටන් ගත්තු අවුරුද්ද.. ඒ වෙනකොට මට වයස අවුරුදු 23යි.ඒ වෙනකන් මම විහිලුවටවත් කාටවත් ආදරේ කරලා තිබුනේ නෑ (ආදරේ විහිලුවට කරන්න පුලුවන් දෙයක් විදියට මම කවදාවත් දැක්කෙත් නෑ).කොහොම හරි මට වැරදුනේ, 2008දි....මේ post එකේ කොමඩි කෑලි ගොඩක් අඩු වෙයි ඒ නිසා.. මට 2008  සතුටින් මතක් කරන්න බෑ ..ඒකයි ... !!

ඔන්න ඉතින් මතකනේ පළවෙනි කොටස ඉවර උනු විදිය. මගේ click එක කැඩිලා ගිහින් මමයි විසාකා එකේ ගෑනු ළමයයි විතරයි දෙවෙනි අවුරුද්දට ආවේ. එයයි මායි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න තිබුනා. ඇත්තටම මට අදටත් හේතුවක් හොයා ගන්න බැරි උනාට එයා එයාගේ boy friend වෙනුවෙන් එයාගේ යාලුවව අතෑරියා.නිකනුත් නෙමෙයි,මගේ හිත රිදෙන ගොඩක් දේ කියලා.එයා මාව අතෑරියද මම එයාව අතෑරියද කියලා හරියටම පැහැදිලි නෑ.මම ගොඩක් ඇඩුවා. මගේ යාලුවො මට දෙවියො වගේ.එයාලට නපුරු මූන පෙන්නුවට මම ගොඩක් හිතින් දුක් වින්දා.ඇයි එයාල මාව තෙරුම් නොගන්නේ කියලා හිතුවා. මම මට පුලුවන් හැමදේම කරලත් ඇයි මටම බනින්නේ කියලත් හිතුවා. ඒ යාලුවා මේ blog  එක කියවන්නේ නැතුව ඇති.ඒත් එයා හිටපු කාලේ මට එයාව පෙනුනේ මගේම සහෝදරියෙක් වගේ.හුළං කපොල්ල ළගට වෙලා එයාගේ phon එකේ තිබුනු සිංදු අහන ගමන් tute හදපු හැටි මට අදටත් අමතක නෑ. කාගෙ වැරැද්දෙන් හරි ඈත් වෙලා ගියත් මට තාමත් එයාව මතකයි හොඳ යාලුවෙක් විදියට... කරපු නපුරුකම්,කියපු නපුරු කථාත් මතකයි ..ඒත් මම වැඩිය කැමති හොඳ මතක් කරන්න.කොහොම හරි දෙවෙනි අවුරුද්ද පටන් ගනිද්දි මම තනියෙම වගේ තමයි හිටියේ.

ඉතින් ඔහොම තනියෙම හිටි මට weekday batch එකෙන් ආපු අලුත් යාලුවෙක් මුණ ගැහුනා. එයානම් තාමත් මගේ හොඳම යාලුවෙක්. මට කොච්චර බැන්නත් අදටත් මට කථා කරන්න පුලුවන් හොඳ යාලුවෙක්.මම ආයෙම මගේ ජීවිතේ අලුතින් පටන් ගත්තා.අලුත් යාලුවෙක්,අලුත් semester එකක් එක්ක. මතකනේ මම කිව්වා එක්කෙනෙක්ගෙ ඇරෙන්න මට ඕනි උනු අනිත් හැම කොල්ලගෙම එක mobile numbers මගේ ලඟ තිබුනා කියලා. පළවෙනි අවුරුද්දේ final semester එකේ විදපු ඩෙංගු මදුරුවට පිංසිද්ධ වෙන්න එයාගේ number එකත් මට හම්බුනා. මට first semester final exam එකට එන්න බැරි උනා ඩෙංගු හැදුනු නිසා.ඉතිං අර කියපු කෙනා ඇරෙන්න අනිත් ගොඩක් අය මගේ සැප දුක් අහලා තිබුනා මගේ යාලුවගෙන්.සනීප වෙලා ඇවිදින් අසනීප බලන්න ඇයි කතා නොකලේ කියලා ඒ දවස් වල මගේ communication hero වෙලා තිබුනු course web chat එකෙන් ඇහුවම එයා කිව්ව mobile number එක නොතිබුනු නිසා අහන්න විදියක් තිබුනේ නෑ කියලා. ඉතින් ඒ දවස් වල මට magic වෙලා තිබුනු hi5 chat එකෙන් මම මගේ එක number එයාට යැව්ව.. එයාගෙ number එකත් මට ලැබුනා... දැනගෙන හිටිය නම් ඒ mobile number එකක් නෙමෙයි මහා ගිනි ජාලවක් පටන් ගන්න ගිනි පුපුරක් කියලා .....  පරක්කු වැඩී දැන්.

ම්ම්ම්.. post  එක වල් වදින හැඩයි.. හරි ඔන්න ඉතිං first semester එකේ වැඩ පටන් ගත්තා.මගේ අලුත් යෙහෙළිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධ්‍යාපන කාන්තාවක්. lecture එකක් cut කරමු කිව්වම ඇස් උඩ තියාගෙන දිව එලියට දාගෙන කලන්තේ දාන්න ඔන්න මෙන්න වගේ රගපාන හොඳ විනීත කාන්තාවක්.Lecture hours වලින් හතරෙන් තුනක් එළියේ රවුම් ගහපු මට එයත් එක්ක හිටි මුල් දවස් ටික නිකන් බරපතල වැඩ ඇතුව හිරේ දැමීමක් වගේ උනා.තනියෙම lectures cut කරන්නත් බෑ..මේ මනුස්සය මාත් එක්ක එකට cut කරන්නෙත් නෑ.. ඔන්න මම යනවා.. යනව යනවමයි කියලා lecture hall  එකෙන් එළියට ගියත් මේකා නෙමෙයි නිකමටවත් පුටුවෙන් හෙල්ලෙන්නේ.ඉතිං මමත් ප්‍රේමයෙන් පැරදුනු බුවෙක් වගේ කර බාගෙන මගේ තඩි පොත් මල්ලත් උස්සගෙන ආයෙම lecture hall එක ඇතුලට ඇවිත් බුකවගෙන ඉන්නවා පැය තුනම :) කොහොම හරි ඒ නිසාමද මන්දා මගේ SLIIT ජීවිතේ හොඳම results තිබුනේ second year එකේ. මම ඉගෙන ගත්තු නිසා නෙමෙයි, මට ඉගෙන ගන්න සිද්ධ උනු නිසා :D

පළවෙනි semester එකේ තිබුනු subject වලින් තුනක් ෂේප්. එත් බුදු අම්මෝ subject එකකුත් තිබුනා. SLIIT ගියපු හැමෝම දන්න අති පිවිතුරු, නෙත්‍රාංජන, කර්ණරසායන  Probability and Statistics :) මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙන,අද වෙනකුත් මෙලෝ දෙයක් නොතේරෙන subject එකක්. මගේ SLIIT ජීවිතේ පලවෙනි "C" pass එක ලැබුනු subject එක.කිසිම දෙයක් නොතේරී ලියල pass උනු එකම subject එක :) මරනෙට කැප උනු එළදෙනෙක් වගේ අඩාගෙන ගිහින් lecture එකට ඉදගන්නේ.cut කරන්නත් බෑ මගේ සහායිකාව cut කරන්නේ නැති නිසා. අපිට scientific cal එකක් පාවිච්චි කරන්න කියලයි තිබුනේ මේ subject එකට.කිව්වට විස්වාස කරන්න ඒ බඩකඩිත්තුව පාවිච්චි කරන්න මට අදටත් බෑ. ඒත් miss ට එකෙන් ගාන හදලා screen එක පෙන්නන්න ඕනි.ඉතිං මම කරන්නේ මැනුවලි ගාන හදලා ඒ උත්තරේ එනකන් cal එක ඔබන එක. අපෝයි මම වින්ද දුකක මහත ... :( ඒ මදිවට අහන්න වෙන බැනුම් ගොඩ. මගේ කට පොපියනවා බනින ඒවට උත්තර දීගන්න බැරුව.ලේ පයින්ට් ගනන් නෙමෙයි බවුසර් ගනන් පුච්චන්න ඇති තරහට.ඒත් ඉතින් miss ට බනින්න බෑනේ.මගේ තරහ මමම කාගෙන හිටියා කොහොම හරි.අන්තිම වෙද්දි මටම තේරුනා lectures යන එක වැඩක් නෑ කියලා. miss කියන ඒවා එක කනකින් input වෙලා අනිත් කනෙන් output වෙනවා.No processing. ඉතිං නිකන් පුටු රත් කරන එක වැඩක් නැති නිසා මම ඒ වෙලාවේ canteen එකේ කෑම අධ්‍යනය කරන්න තීරනය කලා.අපරාදේ කියන්න බෑ මගේ යාලුවත් මට එකතු උනා... එයාටත් නොතේරෙන PS මට කොහේ තේරෙන්නද ඉතිං ;)

ඔය අතරේ මගේ සුපුරුදු යාලුවන් හොයාගෙන යෑමත් මම දිගටම කලා. මේ වෙද්දි මට මගේ batch එකේ විතරක් නෙමෙයි මට වඩා ඉහල batch වලත් හිත ගිය තැන් වල මාළිගා හදාගන්න පුලුවන් වෙලා තිබුනා මට. course web chat එකට වඩා නවීන communication methods මම හොයාගෙන තිබුනා. මට ඕනි අයට මම කථා කලා..මට ඕනි අයත් මට කථා කලා.ඉතිං ජීවිතේ මලක් වගේ ගෙවිලා ගියා ;)

කොහොමින් කොහොමින් හරි first semester final exam එකත් ලඟ ලඟම ආවා. අනිත් subjects අවුලක් නැති උනත් PS නම් කෙළවෙන බව ඉර හඳ වගේ විස්වාසයි. Probability of failing PROBABILITY is 1. ඉතිං මම ගෙදර ඇවිත් බූ ගාල ඇඩුවා.. කෙස් කඩාගෙන, හොටු නාවර පෙරාගෙන හරි කැත විදියට ඇඩුවා.. මගේ රංගනයට බය උනු මගේ පියාණෝ වහාම මාව SLIIT එකේ degree එක complete කරපු අයියා කෙනෙක් ලගට යොමු කලා PS ඉගෙන ගන්න ..අයියා කෙනෙක් ලගට...ඉතිං අධ්‍යාපනය ඉවර වෙද්දි java code බල බල හිටි අයියා barbie movies බලනවා.. ;) ඒත් මට තාමත් PS බෑ.... :D ඉතිං මම මිනිහා මැරුනු ගෑණි වගේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා.මේ විගඩම බලගෙන ඉන්න බැරි උනු තැන මගේ යෙහෙළිය ඉදිරිපත් උනා මට සර්වරාත්‍රික කුප්පියක් දාන්න.ඉතිං මම එයාවත් එක්කගෙන අපේ ගෙදර ආවා හරියටම exam එකට කලින් දවසේ.ඉතිං එයා මට උගන්නන්න පටන් ගත්තා.බොහොම ස්වල්ප වෙලාවකින් එයා තේරුම් ගත්තා මගේ මොලේ PS section එක එහෙම් පිටින්ම මැටි බහුල ප්‍රදේශයක් කියලා. මම මොංගල් ඩයල් එකක් වගේ හිනා වෙනවා විතරයි අහන අහන හැම ප්‍රශ්නෙටම.ඒ ගමන එයා past paper එකක් අරගෙන එක එක ප්‍රශ්නෙට උත්තරේ ලිව්ව කොලේක.ලියලා කිව්ව මෙහෙම ප්‍රශ්නේ ඇහුවොත් මෙහෙම ලියන්න මෙහෙම ඇහුවොත් මෙහෙම ලියන්න කියලා.. මම ප්‍රශ්නයි උත්තරයි කට පාඩම් කලා එලි වෙනකන්. අන්තිමේ exam එකට ගියාම ඒ විදියටම ප්‍රශ්න අහලා තිබුනේ නෑ. මොකක් කොහෙට ලියන්නද කියල නොතෙරුනු මම කොහොම හරි මගේ යාලුවා කියලා දුන්නු උත්තර ටික එහෙට මෙහෙට විසි කලා.. තිස්තුන් කෝටියක් දෙවියන්ට පිංසිද්ධ වෙන්න එතනින් උත්තර දෙක තුනක් හරි ගිහින් යාන්තම් ලෙවකාගෙන වගේ " C " එකක් එක්ක මම pass උනා :D

දැන් ඔන්න මම second semester එකේ. Project එකක් තිබුනා කරන්න. අපි කලේ Hayleys Agro company එකට leave mgmt system එකක්... **** මගේ පියාණෝ තමයි ඒ company එකේ HR head ;)  **** අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා පටන් ගත්තු project එක පුං චි කුහුඹුවෙක් දීල ඉවර කලා.අපේ success එක ගැන මමම හදපු letter එකක් අපේ පියාණෝ පත්තරේ බල බල වෙලා ඉන්න වෙලාවක නහයට උඩින් අල්ලලා sign කරවගත්තා මම.ඒ නිසා තිබුනු project වලින් හොදම customer satisfaction feedback එක තිබුනේ අපේ project එකේ :) sir  කන්නාඩියත් දාලයි letter  එක බැලුවේ... හිකි හිකි :D

second semester එකේ මතකයන් වලින් මගේ යෙහෙළිය කරපු DAA (Data Analysis and Algorithms) කුප්පියත් අමතක වෙන්නේ නෑ.. මුලු දවසක් පුරාවට එක දිගට algorithm අදින්න සිද්ධ උනා එදා. කුප්පියට සහභාගි උනු එක දරුවෙක් පුටුව උඩ ඇඹරෙනවා..මගේ යෙහෙලියට මරු කෙන්තියි..එය බැනගෙන බැනගෙන යනවා ඒ දරුවට ..එතකොට ඒ දරුවා කියාපි " අනේ ... මම ටිකකට wash room එකට ගිහින් එන්නද කියලා " ඒත් මගේ ෆ්‍රෙන්තා නෙමෙයි සැලුනේ.එයා ගත් කටටම කිව්ව මේ ගානත් හදලා යන තැනක යන්න කියලා.නිකන් හිතලා බලන්න..මුත්‍රාසෙට තේරෙනවද exam එක වැදගත් කියලා ..ඔන්න ඔහොමයි අපි කුප්පි වලට සහභාගි උනේ ..නොකා නොබී.. සියලු සාරීරික අවශ්‍යතා වලට තිත තියලා :)

මේ වෙද්දි මමත් කුප්පි දැමීම පිළිබඳව හරිම ප්‍රසිද්ධයි.. හෝ ගාල request ගලාගෙන ආව කුප්පි වලට.මමත් පුලු පුලුවන් විදියට හැමෝටම මගේ දැනුම බෙදා හැරියා. සමහරු හිතාගෙන හිටියේ මම ලෝක පාලන දෙයියෝ කියලා..ඒකයි සමහර කොල්ලෝ exam එකට කලින් දවසේ ඇවිදින් " මේ.. මට තියෙන්නේ පැය බාගයයි.. මට මුලු semester එකේම Software engineering ටික පට් පට් ගාල කියලා දෙන්න" කියන්න පුරුදු වෙලා හිටියේ ;)

කොහොම හරි.. අවුරුද්ද මුල පටන් ගත්තු මගේ අප්‍රකාශිත ප්‍රේමය මේ වෙද්දි මගේ හිත ඇතුලේ අතු දාල තඩි රූස්ස ගහක් වෙනකන් වැඩිලා තිබුනා.මගේ යෙහෙළියට මගේ ආදර චුරු චුරුව මළ කන්දොස්කිරියාවක් වෙලා තිබුනා. ඒ නිසාම එයා පොඩි පොඩි hint පාස් කරන්න පටන් අරගෙන තිබුනා මගේ ආදරය අදාල පාර්ශවයට දන්වන්න.ඒත් අදාල කෙනා ඒවට නෑසු කන් ඇතිව හිටියා.එයා මට කැමති නෑ..ඒත් මම දිගටම මගේ ඒක පාර්ශවික ප්‍රේමයට පෝර දැම්මා..ඒක අතු ඉති විහිදිල මල් පිපෙනකන්ම පෝර දැම්ම ...

second year එක ඉවර වෙද්දි මගේ යාලුවො ගොඩක් දෙනා Sheffield යන්නයි ලෑස්ති වෙලා හිටියේ.මට migrating  තහනම් නිසා මට ඒ ගැන හිතන්නවත් ඉඩක් තිබුනේ නෑ.යාලුවො නැතුව එකේ අවුරුදු දෙකක් ඉන්න බෑ කියලා හිතුනු නිසා මම තීරණය කලා third year එකට curtain degree එකට මාරු වෙන්න.එතකොට අවුරුද්දෙන් degree එක ඉවරයි කියලා මම හිත හදාගත්තා... SLIIT එකේ මම ආදරය කල හැම කෙනෙක්ම මාව දාල යන්න සූදානම් වෙන නිසා ආයෙමත් මම අඩන්න ගත්තා, .. ඇඩුවා ඇඩුවා ඇඩුවා ... !!

Second year එක ඉවර වෙද්දි මගේ achievements :

01) මට ඕනි කෙනාගේ mobile number එක මගේ ලග තිබුනා.
02) Senior batch වලත් මට යාලුවො හිටියා.
03) Second year එකේ sir ල miss ල ඔක්කොමත් මාව ඇඳිරුව.දැක්ක තැන හිනා උනා.
04) කුප්පි කෙල්ලෙක් වශයෙන් මගේ කීර්තිනාමය හැම තැනම පැතිරිලා තිබුනා.
05) මගේ note books ගොඩක් කොල්ලෝ ලඟ තිබුනා.අදටත් මගේ පොත් එකක්වත් මගේ ලඟ නෑ ;)
06) 3.72 GPA එකක් එක්ක SLIIT Diploma එකට හිමිකම් කිව්වා.
07) ප්‍රේම ආරාධනා හතරක් ලැබුනා ...

කිව්ව වගේ 2008 එක තමයි මගේ ජීවිතේ සංක්‍රාන්තිය සිද්ධවුනු අවුරුද්ද. මට ආපහු ගිහින් නිවැරදි කරන්න ඕනි අවුරුද්ද. ඒත් දැන් හැමදේටම පරක්කු වැඩියි... වෙන්න තිබුනු දේවල් කාටවත් නවත්තන්න බෑ. විඳවන්න තිබුනු නිසා මම අද විදවනවා ... මේ ඔක්කොම අනුකම්පා tricks විදියට මිනිස්සු දකින්න පුලුවන්.ඒත් මම ලියන්නේ මගේ කථාව.කාට හරි පුලුවන් නම් මම කියන්න්නේ බොරු කියලා ඔප්පු කරන්න ...PLEASE BE MY GUEST.  මම හිතනවා මම කාගෙවත් පෞද්ගලික ජීවිතේට පහර ගහන්නේ නෑ කියලා මේ කථා වලින්. කලින්ම කිව්වනේ..මේ කථා මාලවේ සියලු නම් ගම් මනඃකල්පිතයි..කොටින්ම මේ මමත් මනඃකල්පිතයි.. ;)

ඊලඟ post එකෙන් තුන්වෙනි අවුරුද්ද :)


Wednesday, June 22, 2011

ආරාධනා ...!!


හැමෝම බලපොරොත්තු වෙන කැම්පස් කථා මාලාවේ දෙවෙනි අදියර ලියන්න හිතාගෙනයි අද ගෙදර නැවතුනේ.ඒත් අද මට චේන්. කැම්පස් ගියාද කියලවත් මතක නැති තරමට අද මම දුකින් ඉන්නේ.ඒ නිසා...සමාව භාජනේකට දාල තව දවස් කීපයක් ඉවසන්න කැම්පස් බණ අහන්න ... !!

අද මම ලියන්නේ මම ආදරේ කරන තවත් පද වැලක් ගැන. ආදරය කරන නෙමෙයි, ඇත්තටම නම් මම පෙරේත පද වැලක් ගැන... මේ ගීතයේ නිර්මාණකරුවා ගැන මට තියෙන්නේ ඊර්ෂියාවක්.ඇයි මේ පද වැල මට ලියාගන්න බැරි උනේ කියන හීනමානයක් ... කොහොම හරි මේ ගීතයට මම ඒ තරම්ම ආදරෙයි ... !!

මෙන්න මේකයි ගීතය ...

ජීවිතයේ තනිමංසල අතරමංවෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා ... ආරාධනා ...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා ...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරනේ
ඔබේ උණුසුමේ යලිදු උපන්නෙම්
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේව ...

ආරාධනා ... !! ආරාධනා ... !!


 
පාලු පාරක තනියෙම ගෑනු ළමයෙක් ඉන්නවා ... ඒ මම ... එතෙන්ට තව කෙනෙක් එනවා ... ඒ කෙනාව මම අඳුරන්නේ නෑ.. රූපයක් හැඩරුවක් හරියකට පේන්නේ නෑ ... හෙවනැල්ලක් විතරයි ... මම බලන් ඉන්නවා ... ඒ අඳුරු රූපයත් බලන් ඉන්නවා ... ඒත් අපේ හිත් කථා කරනවා ...

ඔයා කොහෙද යන්නේ ...? ඒ අඳුරු රූපේ මගෙන් අහනවා ...

මම දන්නේ නෑ .. ඒ මගේ උත්තරේ ...

එතකොට ඔයා ආවේ කොහේ ඉදන්ද ?

ඒකත් මම දන්නේ නෑ ...

එතකොට ඔයා මෙතෙන්ට ආවේ කොහොමද ...?

දන්නේ නෑ.. කිව්වනෙ එක පාරක් ..මම දන්නේ නෑ ...

හරි හරි ... තනියෙමද ආවේ ... නැත්නම් කවුරු හරි එක්කද?

(ඔන්න මට හිනාවක් යනවා ලාවට ...)
තනියෙම නෙමෙයි ආවේ ..එක්කෙනෙක් මාව එක්කගෙන ආව ...අතින් අල්ලගෙන..මගතොට ලස්සන පෙන්න පෙන්න..මාව එක්කෙගෙන ආවා ... !!

හ්ම්ම් ...එතකොට කෝ දැන් එයා ?

එයා ගියා .. එයා එයාගේ වැඩ ඉවර උනාම තව කෙනෙක්ගෙ අතින් අල්ලගෙන යන්න ගියා ...

ඉතින් ඇයි ඔයා මෙතන තනියෙම ඉන්නේ ? ඔයත් යන්න ඉස්සරහට ....

මට බෑ ...

ඇයි බැරි ?

පේන්නේ නැද්ද ... මම අතරමං වෙලා ... මම දන්නේ නෑ මම කොහෙද ඉන්නේ කියලා ...ආපු පාර මතකත් නෑ.. මම ඔහේ අතින් අල්ලගෙන ආව..කොහේ ආවද කොහොම ආවද මම දන්නේ නෑ ... මම මේ තනිමංසලේ අතරමං වෙලා ..

ඒකත් එහෙමද ... කොච්චරක් දුර ආවද ඔයා?

ම්ම් .. අනේ මන්දා..ගොඩක් දුර ආවා ..

ඇයි එහෙම ආවේ ..ඇයි කෙනෙක් විස්වාස කරලා ඒ තරම් දුර ආවේ?

දන්නේ නෑ.. මගේ ඔලුව කන්නේ නැතුව ඉන්නවද.. මොනව ඇහුවත් මට දෙන්න තියෙන්නේ එකම උත්තරයයි ..මම දන්නේ නෑ..දන්නෙම නෑ ... එන්න කිව්ව..මම ආවා..එච්චරයි.

අපොයි කෑ ගහන්නෙපා... හරි මම ආයෙම ඔයාගේ දිග ගමන ගැන අහන්නේ නෑ ..

ඉතින් ඔයා දැන් මොනවා කරන්නද කල්පනාව ? දිගටම මෙහෙම පාර මැද හිටගෙන ඉන්නවද ?

ඔව්.. දැනට එහෙමයි..වෙන කරන්න දෙයක් හිතෙනකන් මම දිගටම පාර මැද ඔහේ හිටගෙන ඉන්නවා ...

හිතෙන්නේ නැද්ද ඒක මෝඩ වැඩක් කියලා ..? ඔයා මෙතන හිටගෙන ඉන්න අතරේ ඔයාව මෙතන දාල ගිය කෙනා එයාගේ කෙනත් එක්ක ගොඩක් දුර ගිහින් තියෙයි ...

ඉතිං මට මොකද්ද කරන්න කියන්නේ ? එයාගේ පස්සෙන් දුවන්නද .. මම දිව්වා..ගොඩක් දුර දිව්ව ..ඒත් මට ලැබුනේ නින්දා පරිභව විතරයි..මට තවත් දුවන්න බෑ.මට මහන්සියි ගොඩක් ...

නෑ නෑ..එයාගේ පස්සෙන් දුවන්න නෙමෙයි .. ඇයි ඔයාට බැරි ඔයාගේ පාර හොයාගෙන ඔයාගෙ ගමන යන්න ...

මටත් උවමනාව නැතුව නෙමෙයි.. ඒත් මට බෑ ...ඉන්න තැනක් ආපු තැනක් නොදැන ... යන්න ඕනි තැනක් නොදැන මම කොහේ කියලා යන්නද ...

කොහෙට හරි කමක් නෑ ..හිතෙන්නේ නැද්ද ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න ...?

අනේ මන්දා... මට තේරෙන්නේ නෑ ... ඒක නෙමෙයි ..ඔයා කව්ද? කොහොමද මෙතෙන්ට ආවේ? ඇයි ආවේ?

මම ද? මම ආවේ ඔයා කතා කල නිසා ...

මොකක් ..මම කථා කලා.. පිස්සුද.. මම කාටවත් කථා කලේ නෑ...

මොකද නැත්තේ ...ඔයාගේ ආරධනාව හැතැක්ම ගානක් දුරට ඇහෙනවා ..ඉතින් මම ආව...

මගේ ආරාධනාව ...?

ඔව් ..ඔයා මේ කාෂ්ටක පොළව තෙමෙනකන්,තෙමිල මහ ගංගාවක් හැදෙනකන් අඩපු කඳුලු වලින් කල ආරාධනාව ...

මම ... මම එහෙම ආරාධනවක් කලාද ?

ඔව්.. ඔයා එහෙම කලා. ආදරයකට ඔයා අකමැතිවෙන බව මම දන්නවා.ආදරේ හැමදාමත් ඒකේ වටිනාකම නොදන්න එකාටම පූජාකරල තියෙන බවත් මම දන්නවා. ඒත් ඔයාගේ තනි නොතනි මකන්න..ඔයාගේ අඳුරු මාවතට එළියක් දෙන පහනක් වෙන්න මට පුලුවන් ඔයා ඉඩ දෙනව නම් ...

ඒත් ඇයි? ඇයි ඔයා මට එහෙම පහනක් වෙන්නේ? ඔයාට මොනවද මගෙන් ඕනි? මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ?

ඔයාගෙන් එකම එක හිනාවක් ... එච්චරයි ... !!
.......................................................................................................

 *********************************************************************************
ඒ අඳුරු රූපය තාමත් මගේ දිහාව බලාගෙන ඉන්නවා.. මමත් බලාගෙන ඉන්නවා .. හැබැයි අපි දෙන්නම තාම එතනමයි ...

මාව අතරමං කරපු කෙනා දිනුම් කනුවත් පහුකරගෙන ගිහින් .... එයාගේ අත ගත්තු අලුත් මනමාලි මට හිනා වෙනවා..එයාලට මාව අමතකයි ..ඒත් මට තාම මතකයි..හැම දෙයක්ම .. එක තත්පරයක් තත්පරයක් ගානෙම ...

********* ලේනෝ ලේනෝ මේ හිත අරගෙන මට අලුත් හිතක් දියෝ ... !! *************



මේ post එක විකාරයක් .. මම දන්නවා..ඒත් keyboard එකට කොට කොට ඉන්නකොට මගේ සියදිවි හානි කරගැනීමේ චේතනා පොඩ්ඩක් අමතක වෙනවා :) ඒකයි ලිව්වේ ... ඊයේ රෑ වෙනකන් මම කෙනෙක් ගෙදරට යනකන් නිදිමරාගෙන බලගෙන හිටියා..එයාගෙ ඔක්කොම කෙනෙහිළි මැද්දෙත් පරිස්සමෙන් ගෙදරට යනකන් නිදි නැතිව හිටියා.. ආතල් ගත්තේ නෑ ඒ වෙලාවේ .. තුන් හිතින්ම පරිස්සමෙන් ගෙදර එයි කියලා බලගෙන හිටියා... ඒත් ... තේරුමක් නෑ .. විකාරයි මට ... විකාරම විකාරයි ...

අතීතයේ ගිලිහී ගිය සතුට කෙසේ වෙතත් ... මගේ ජීවිතේට පුංචි හිනාවක් ගේන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ..... ආරාධනා ... !!


Sunday, June 19, 2011

කැම්පස් කථා (First episode)

මෙන්න මම ආවා :) වහින්නත් වගේ ..ආදර post එකක් ලියන්න නියම වෙලාව..එත් මහජනතා ඉල්ලීම මත මම තීරනය කලා කැම්පස් කතා මාලාව නමෝ විත්තියෙන් පටන් ගන්න. (ටි‍යුෂන් කථා සහ අසනීප කථා වෙන වෙලාවක කියන්නම්). 

හරි .. ඔන්න ඉතින් වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වීමේ අවුරුදු පහක මහා සටනකට පස්සේ මම ආතක් පාතක් නැතුව උඩ බලියන් ඉන්න දවසක තමයි මගේ කැම්පස් ජීවිතේ ගැන කථාව මුලින්ම එලියට ආවේ. මගේ දෙමාපියන්ටත් හිතා ගන්න බැරුව හිටියේ මට මොනව කරන්නද කියලා ඒ වෙද්දි.මම උයන්න පිහන්න දන්නෙත් නෑ ... ඉස්කෝලේ ගෘහ විද්‍යාවට කියලත් කලේ miss උයපුවා කාපු එක විතරයිනේ. ඒ නිසා මාව කසාද බන්දලා දෙන්නත් බෑ.වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල කිසිම දෙයක් තව දුරටත් ඉගෙන ගන්නෙම නෑ කියලා පොළොවේ පස් කකා අඩපු මාව අල්ලගෙන ගිහින් ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බාර දුන්නේ ඔන්න ඔහොම වටපිටාවක් මැද්දේ. බාලිකා පාසලක ඉගෙනගෙන ගෙදරට ගෙනත් ටියුෂන් දීල හදපු මට කැම්පස් කිව්වම නිකන් මැජික් වගේ. විස්වාස කරන්න, අවුරුදු පහක් AL කරල පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයස නාකි අම්මන්ඩි කෙනෙක් උනත් මම SLIIT එක ගැන කිව්ව ගමන් ගත් කටටම ඇහුවේ uniform එක මොකද්ද කියලා... ඒ තරම් ළදරු මනසක් මට තිබුනේ .. :) 

SLIIT එකට ලමයි තෝරගන්න placement test එක තමයි මුලින්ම තිබුනේ. මගේ අප්සෙට් ජීවිතය හරිම ලස්සනට ආරම්භ කලේ එතනින්. මම හරි අකමැති සෙරෙප්පු දාගෙන ඉන්න.කොහේ ගියත් සෙරෙප්පු දෙක ගලවලා ඉන්න තමයි මගේ උත්සාහය. Test එක ලියද්දිත් මම සෙරෙප්පු දෙක ගලවලා හරි ජොලියෙන් ඒක ලිව්වේ ... ලියල ඉවර වෙලා මලක් වගේ පහලට බැහැලා එද්දි කකුල් දෙකට වතුර පෑගෙනවා ... ජන්ජාලයයි ..සෙරෙප්පු දෙක Exam hall එකේ .. ආයෙම දිව්ව හයවෙනි තට්ටුවට ... නෝන්ඩි ගෝසාවක් මැද්දේ සෙරෙප්පු දෙක දාගෙන බිම බලාගෙන එලියට ආවා :D මට තාමත් මතකයි ඒ test එකේ තිබුනු එක ප්‍රශ්නයක්.."Why did you select to come to SLIIT?" .. මගේ උත්තරය උනේ..."Because my parents wanted me to". පුදුමයි ඒ වගේ අපත උත්තරේකිනුත් පස්සේ මාව සිස්සයෙක් විදියට බාරගත්තා ;) කොහොම හරි ... මුලින්ම ලියාපදිංචි වෙන්න ගියේ metro එකට.. මට දිගටම ඉගෙන ගන්න තිබුනෙත් එතන .... මමත් ඉතින් බන්ඩා නගරයට පැමිනීම වගේ ඇස් දෙකින් විතරක් නෙමේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ඇවිත් හිටපු ලමයි ගොඩ දිහා බල බල හිටියා.අපිට orientation එක තිබුනේ මාළඹේ SLIIT එකේ. මම ඉස්සර හිතාගෙන හිටියේ ඒක උලු මෝලක් කියලා..ලොකූ කනු එහෙම තියෙන්නේ උලු මෝලවල් වලනේ .. කොහොම හරි මාළඹේ SLIIT එකට ගියාට පස්සේ මට හිතුනා මට metro center එකේ ඉගෙන ගන්න බෑ කියලා.. මට ගස්,වැල්, මල් තියෙන තැනක් ඕනි කියලා ගෙදර ඇවිත් බූ ගාල ඇඩුවා මම.. අනේ මගේ අසරන දෙමාපියෝ කොහොම හරි මාව මාළඹේට transfer කරගත්තා .. ඔන්න ඔහොමයි මම මාළඹේ SLIIT එකට ආවේ ... :)

අනේ මන්දා කතාව කොහෙන් පටන් ගන්නද කියලා.අවුරුදු හතරක මතක එසේද මෙසේද .. මෙහෙම කරන්නම්.. මම අවුරුද්දෙන් අවුරුද්ද කථාව කියාගෙන යන්නම්. නැත්නම් මටම පැටලෙයි. හරි.. මුලිම orientation එක. ඔන්න මට හිටිය click එකක්.. මමයි, මියුසියස්  එකේ ගෑනු ලමයෙකුයි,විසාකා එකේ ගෑනු ලමයෙකුයි,කාන්තා විද්‍යාලයේ ගෑනු ලමයෙකුයි..අපි කට්ටිය ඉතින් ටිකක් එක විදියක් ඒ දවස් වල.ඩෙනිම් ඇදලා සපත්තු දාල මාල කරාඹු මුදු වලලු ඔක්කොම දාලා, කථා කරන්නේ English වලින්, කන්නේ P & S එකෙන්.. හැමදාම lecture එකේ ඉස්සරහම පේළියේ ඉද ගන්නේ .. තේරෙනවනේ ඉතිං නේද ;) ඒ හින්දමද මන්දා කවුරුත් වැඩිය අපිත් එක්ක කථා බහක් නෑ. කවුරුත් ගනන් ගන්නේ නැති orientation test එක අපිට ඉතින් හරි මැජික්. Past papers හොයාගෙන ඒවට උත්තර ලියලා sir ලට පෙන්නලා .. පිනුම් දහයයි බල්ටි දෙකයි තමයි ;) 

මගේ click එකේ අනිත් අයට කෙසේ වෙතත් ගෙදරම හැදුනු මට හැමදේම අමුතුයි. ළමයින්ට තියෙන නිදහස, ඇදුම් මෝස්තර... මට බලාගන්න දාහක් දේ ඒ අක්කර ගාන ඇතුලේ තිබුනා. එක දවසක් ඉවර වෙලා අනිත් දවස එනකන් මට තිබුනේ පුදුම නොයිවසිල්ලක්.. මම computer ගැන මෙලෝ සංසාරයක් දැනගෙන හිටි මනුස්සයෙක් නෙමෙයි.ඒ නිසා කොල්ලො ඈනුම් ඇර ඇර ඉගෙන ගත්තු දේවලුත් මට හරි ලොකු දේවල් වගෙයි දැනුනේ. ඒ නිසාමද මන්දා orientation එක ඉවර වෙද්දි මම පොත් බරගානක් පිරෙන්න notes ලියාගෙන තිබුනා ..කොල්ලො ලග එකම එක note එකක්වත් තිබුනේ නෑ :)

SLIIT එකේ නවකවදය තහනම්.ඒත් මගේ අමුතු පෙනුම,ඇදුම් පැලදුම් සහ ඒ වෙද්දි SLIIT එක ඇතුලේ හිටි මගේ අඳුරන අයියලාට පින් සිද්ධ වෙන්න මට නම් පොඩි පොඩි ජරමර වලත මූන දෙන්න උනා.දවසක් දා මමයි මගේ click එකයි තාප්ප කෑල්ලක් උඩ නැගගෙන ඉන්නකොට, ඔන්න මට පේනවා මම අදුරන අයියා කෙනෙක් එයාගේ සහචරයො රැලත් එක්ක ඒ පැත්තට එනවා.මම දැනගත්තා නඩුවක් තමයි කියලා.ෂේප් වෙලා යන්න පුලුවන්කම තිබුනත් මම එතනම හිටියා.ඔන්න ඉතින් අපි ඉන්න තැනට ආපු අදුරන අයියා කියපි "නංගී, ඔයා SLIIT එකේ උඩම තට්ටුවට පඩි පෙළෙන් නැගලා ආපහු බැහැලා මෙතෙන්ට නාවොත් ඔයාගේ දහම් පාසලේ නාට්ටියේ විස්තර මම හැමෝටම කියනවා කියලා" (දහම් පාසලේ නාට්ටිය විනාසයක්,ඒ නිසා ඒ ගැන අහන්නෙපා). විනාසයි..තට්ටු 9 ක් පඩිපෙල නැග්ගොත් මම මැරෙයි. ඒත් මම නෙමෙයි සැලුනේ. එඩිතර කාන්තාවක් වගේ මල් හිනාවක් මූනට දාගෙන මම කිව්ව "අයියත් එන්න මාත් එක්ක යන්න, නැත්නම් අයියා කොහොමද දන්නේ මම lift එකේ ගියාද පඩි පෙලේ ගියාද කියලා?" ඒකට කියන්න දේවල් අයියට මතක් වෙන්න ඇති,ඒත් මම හිතන්නේ මගේ senior උත්තමයෝ මගෙන් එහෙම ප්‍රතිචාරයක් බලපොරොත්තු උනේ නෑ. ඉතිං අයියා ගියා :D

දැන් ඊලඟ episode එක.. SLIIT එක සහ SLIIT කොල්ලෝ ... අම්මෝ ..මතක් වෙනකොටත් නිකන් මොකද්ද මොකද්ද වගේ ;) කිව්ව වගේ මම බාලිකා පාසැලකට ගිහින්, බාලිකාවන් එක්කම හැදුනු හරීම අහිංසක, හුරුබුහුටි, ලලනාවක්.. ;)  ඒ උනත් මට ඉන්න තරමක් හිටියේ පිරිමි යාලුවෝ. Tution class යන්න අවසර නැති උනත් එකේ school van එකේ එන ටිකට යාලු කරගත්තු යාලුවො මහ තොගයක් හිටියා මට. ගෑනුලමයි එක්ක මිත්‍ර සම්භන්දතා පවත්වනවට වඩා පිරිමි ලමයි එක්ක යාලු මිත්‍රකම් පවත්වන එක ලේසි කොහොමත්. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ ඉතිං.ඒ නිසා මම SLIIT එකට පය ගහපු දවසේ ඉදන් මගේ යාලු database එක update කරගෙන කරගෙන ගියා ... SLIIT යනකන් ජීවිතෙට chat service එකක් දෑහැට දැකලා තිබුනු නැති මට course web chat එක නිකන් ඇලඩින්ට පුදුම පහන ලැබුනා වගේ උනා.ඒකේ ඉන්න ඇහැට කනට පේන කොල්ලෝ ගොඩකට බොරු බොරු messages යවලා යාලු කරගන්න පුලුවන් උනාලු ඉතින් අපිට. කොහොමින් කොහොමින් හරි chat list  එක හෙන පතරංග ජාතකයක් වෙලා තමයි අන්තිමේ නැවතුනේ ;) Lab session එකක පැය දෙකම chat කරලත් හැමෝටම fair service දීගන්න බැරි තරම් අපි හතර දෙනාගේ එක chatting නැගලා ගියා :D

First Year එක මේ ගමනම ඇදලා දාන්නම් ... විෂයන් ඔක්කොම 11ක් ඉවර කරලා තිබුනා පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දි.හැම විෂයක් ගැනම රස කථා නැති උනත් .. කථා දෙක තුනක් කියලා දාන්නම්.. පලවෙනි කථාව  Technical Communication ගැන. ඒක තනිකර ගිරා subject එකක්.. වස නිදිමතයි  lecture ඒකත්... ඉතින් ඒ වෙලාව අපි ගත කලේ තාප්පයක් උඩ. Lectures දෙක තුනකට වඩා ගියෙත් නෑ.කොහොමින් කොහොමින් හරි final exam එකත් ලග ලගම එනවා ... ගිරව් අල්ලල්ල පුරුද්දක් නැති මට තේරුනා වැඩේ හරියන්නේ නෑ කියලා. එතකොටම දෙයියෝ බැලුවා වගේ course web එකේ දාල තිබුනා final එකට  presentation එකක් තියෙනවා,ඒකට ලකුනු 20 ක් ලැබෙනවා කියලා... තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේට පින් දීලා අපි හතර දෙනා presentation එකට ලෑස්ති උනා..මාතෘකාව A new era of medical science with nano robots ... පුහ්..ගෙම්බො රැලක් ගිය උඩ ;) කොහොමින් කොහොමින් හරි presentation එකට ගියයි කියමුකො ... ජීවිතේට presentation එකක් කරල නැති අපි හතර දෙනා පාට පාට ඇදුම් ඇදගෙන ආවේ..නිකන් හරියට සංචාරක circus කන්ඩායමක් වගේ.. ඔරවලා බැලීමකින් පමනක් සෑහීමකට පත් උනු  madam හරි බරි ගැහිලා අපේ සම්ප්‍රප්පලාප අහන්න ලෑස්ති උනා.. උපතින් ලැබිලා තියෙන පච කීමේ හැකියාවට පින් සිද්ද වෙන්න internet එකෙන් තොග පිටින් බාපු කථාවක් නිකන් අපි හොයගත්තා වගේ ඇදලා ඇරියා..ඔක්කොම හරි..madam ෂේප්.. ඉතින් අහන්න ඔනි නිසාම group leader විදියට ඇහුවා"Are there any questions?" කියලා.. අපරාදේ කියන්න බෑ ලමයි ටික හ්ම්ම් නැතුව හිටියා..ඒත් මෙන්න  madam අහපි ..." What is the country which has invented the technology?" කියලා. මලා..කවුරු දන්නවද ..මොකෝ මමයැ nanorobots ලව හොයා ගත්තේ .. මගේ සහායිකාවන් ටිකත් අනේ අපි ඕවට නෑ වගේ අහක බලාගෙන.ඒත් මම නෙමෙයි පස්සට ගියේ.. nanorobots ලව හොයාගත්තේ මගේ අනුදැනුම යටතේ වගේ madam දිහා බලපු මම කිව්ව " it was originally invented by America, But before they reveal it to the world Japan came up with an actual model .. කියලා. ඇත්තටම මටම තෙරෙන්නේ නෑ presentation වලදි බොරු කියන්න මට මේ තරම් හැකියාවක් කොහෙන් ලැබුනද කියලා .. මැවුම්කාර දෙවියන්ට පින් .. ;)

මගේ යාලුවන්ට love කල කොල්ලන්ගෙන් ice cream කකා.. හූ කිය කිය හිටියත් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකන්ම මම හොඳ සිස්සයෙක් වෙලා හිටියා. කුප්පි දැමීම පිළිබඳව සුට්ටි ප්‍රසිද්ධියකුත් ඒ වෙද්දි මට ලැබිලා තිබුනා... කැම්පස් ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි විදියේ වෛවර්ණ note books වලටත් මම ප්‍රසිද්ධයි ඒ කාලේ. මගේ එකත් click කැඩිලා ගියා. පළවෙනි ඉවර උනාම අපි හතර දෙනාගෙන් දෙන්නයි ඉතුරු උනේ,අනිත් දෙන්නා dgree එක නැවැත්තුවා :( කොහොම හරි ... 3.68 වාර්තාගත GPA එකකුත් එක්ක මගේ first year එක නිමා උනා...

ඒ වෙද්දි මගේ achivements .....

01) මම අපේ week end batch එකේ හැම කොල්ලෙක් එක්කම කථා කරලා තිබුනා.

02) එක්කෙනෙක්ගෙ ඇරෙන්න මට ඔනි කල අනිත් හැම කොල්ලගෙම phon number එක මගේ ලග තිබුනා. **** මගේ number එක ඒ කාගාවවත් තිබුනේ නෑ ;) ****

03) sliit canteen එකේ හැම කෑමක්ම මම කාල තිබුනා, P & S එකේ හැම අලුත් menu එකක් ගැනම මම දැනගෙන හිටියා.

04) SLIIT එකේ හැම floor එකකටම lift එක පැදල තිබුනා මම ... (ආ මගේ lift පැදීම ගැන මම කිව්වෙ නෑනේ.මම හරීම ආසයි lift එකේ යන්න. වැඩිය යන්න ලැබිලා තිබුනේ නෑ lift වල මට SLIIT එකට යන කාලේ වෙද්දි.ඉතින් SLIIT ගිය මුල් දවස් වල 8.30 lecture එකට 7 වෙද්දි  යන මම කරන්නේ lift පදින එක. lift එකට නැගල හැම තට්ටුවටම යනවා.. ආයෙම ආයෙම යනවා.. එපා වෙනකන් lift පැද්ද ඉතින් ඔහොම)

05) First year එකේ හැම sir කෙනෙක්ම හැම miss කෙනෙක්ම මාව දැක්කම හිනා උනා.එයාල මාව අදුරනවා..අම්මෝ ඉතින් ඒක හරි ලොකුයි ඒ දවස් වල.

06)ප්‍රේම ආරාධනා දෙකක් ලැබුනා.

හරි.. කැම්පස් කථා වල පලවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටසින් second,third years වල බූත බලපොරොත්තු වෙන්න ... :)

****** SLIIT එක කියන්නේ මගේ ජීවිතේ හැම සතුටක්ම මට හම්බුනු ඒ වගේම මගේ ජීවිතේ හැම දෙයක්ම මට නැති උනු තැනක්. මට තේරෙන්නේ නෑ SLIIT එක එක්ක මගේ තියෙන සම්බන්ධය කොහොම විස්තර කරන්නද කියලා..ඒක මට මතක තියගන්න ඕනි වගේම අමතක කරන්න ඕනි තැනක්.ගොඩක් ලස්සන ජීවිත වගේම මාව නොමරා මරමු මිනිස්සු මුණගැහුනු තැනක්.හොඳ යාලුවො වගේම මගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන බොරු අනුකම්පාව ඉල්ලගෙන මටම කෙලවපු ගෑනු මිනිස්සු හම්බුනු තැනක් ... 3.68 එකින් පටන් ගත්තු අධ්‍යපනය class එකක්වත් නැතුව නිකන්ම නිකන් සිම්පල් පාස් එකකින් ඉවර කෙරුනු තැනක් ... මගේ ආදරය පටන් ගත්තු ... මගේ ආදරය ඉවර කෙරුනු තැනක් ... 

කොටින්ම SLIIT එක කියන්නේ ... අමතක කරන්නත් බැරි මතක තියාගන්නත් බැරි මතකයක් .... !! ****


Thursday, June 16, 2011

ඉනූ කඳුලද සිඳෙන්නට පෙර ... යදින්නම්... ඔබ මැකී යනු මතකෙන් .. !!

මේ හැමෝම දන්න ගීතය ....
 



මේ ඒ ගීතයේ; මගේ ගීතය ....
   
සඳ කුමරි නිදිවරන ...
සීත කලුවර රැයක ...
ඉඟි මරන තරු කැලුම් ...
ගෙනෙයි ඔබ ගැන මතක ...

අහස් තල වෙතින් බැස ...
පොළෝ මව වෙත ඇදෙන ...
සිහිල් පිනි දිය අතර ...
දැනෙයි ඔබ සිසිල මට ...

තුරු ලතා පිස හමන ...
මඳ නලට හාදු දෙන ...
පුංචි විකසිත කැකුලු ...
වගෙයි ඔබ දෑස මට ...

සුදු පාට පෙණ පොකුරු ...
පා අසල පොදි බඳින ...
සයුරු රළ පෙළ අතර ...
මැවෙයි ඔබ සිනා මට ...

නිදි කුමරි වෙත ඇදුන ...
බිළිදු හිනැහෙන කලට ...
ඇදෙයි මා සිත අතර ...
මැවු සිහින පෙර කලෙක ...

නෙත වැසූ විට පෙනෙන ...
සොඳුරු රුව ඔබේමය ...
ඔබෙන් තොර ලෝකයක් ...
තවම මා හට නොමැත ...

නමුදු මට ඇවැසි හෙට ...
ඔබට ඉඩකඩ නොමැත ...
මා දමා ගිය ඔබට ...
ආයෙමත් එනු නොහැක ...

ඔබට දෙන්නට ...තවත් මා වෙත ...
නොමැත කිසිවක් ....ඉතිරි හිමි සඳ ...
ඔබට නොවටින ...මගේ හදවත ...
වීසි කල මැන ...කටු අකුලකට ...

කටු ඇනී ...රතු ලේ ගලන කල ...
මගේ සියුමැලි... හදින් දිගටම ...
ඒ ලෙයින් අබිසෙස් කරනු මැන ...
ඔබේ අතගත් අලුත් කුමරිය ...

මා ලයෙන් උතුරා ගලා ගිය ...
කිසිම දින ඔබ නොදුටු ප්‍රේමය ...
පොලව මත වැද සියක් දහසක්  ...
රෝස කුසුමන් පුබුදවනු ඇත ...

නෙලා ඒ මල් දෝතින්ම ඔබ ...
පලඳවනු මැන ඔබ බිසව් හිස ...
ඒ මලට රතු පැහැ ගෙනෙනු වස් ...
රුහිරු ලේ මා පිදූ බව දැන ...

ඒ හිලව්වට එක දෙයක් මම ...
යදින්නෙමි කඳුලින් දෙපා වැද ...
හෙට උදැසන නෙත ඇරිය විට ...
එපා මට ඔබ මතක් වෙන්නට ...

එපා ඔබ මුව මට පෙනෙන්නට ...
එපා ඔබ හඩ මට ඇසෙන්නට ...
සියලු දේ ඔබ මා එකතු කල ...
රැගෙන හෙට ඔබ නික්ම යනවද ... ?



Wednesday, June 15, 2011

අපි අපි වෙමුද ?

මෙන්න මම ආයෙමත් .. අද උදේ රැකියාවට ගියෙත් නෑ.. අද කථාවක් ලියන්නම ඕනි කියල හිතුනා ... මට චුට්ටක් සනීපත් නෑලු ඉතින් .. අසනීපේ ගැන කථාව වෙන දවසක කියන්නම්කෝ .. නැත්තම් සමහරු කෑ ගහවි මම අසනීප ගැන කියල අනුකම්පාව හොයනවා කියලා .. මම හචිමක් යැව්වත් සමහරුන්ට ඒක පේන්නේ අනුකම්පා trick එකක් විදියට ;)

හරි ..අද කතාවත් ආදරය ගැන නෙමෙයි ..ආදරය එහෙන් මෙහෙන් ගෑවිලා තිබුනත් මුලු කථාවම ආදරය ගැන නෙමෙයි ... අද කථාව පටන් ගන්නේ බොරැල්ලේ ඇක්වයිනාස්  එක ලගින් ... ඇක්වයිනාස් කියලා ඉංග්‍රිසියෙන් ලියන්න දන්නේ නෑලු මම ඉතින් .. :D කොහොම හරි .. මම පොදු ප්‍රවාහන සේවයේ නැගලා ඕප දූප බල බල යන එක දවසක් දා තමයි මේ කථාවට මූල බීජය දැක්කේ ... ඇක්වයිනාස් එක ලඟ සාමාන්‍යයෙන් බස් එක විනාඩි 15ක් විතර නවත්තලා තියෙනවා හැමදාම ... ඉතිං මට මාරම ජොලි .. ඇයි දෙයියනේ දැන් මේ පවුල් බරට කරගහපු ගොන් නෑම්බියෙක් වගේ බත් එකක් බැඳගෙන කන්තෝරු ගියාට මටත් තිබුනනේ සෙරෙප්පු දෙකට හරියන්න බෑග් එක එල්ලෙගෙන tuition ගිය, campus  ගිය සමනල කාලයක් ... 

***** Tuition කථා සහ Campus කථා ලඟදිම බලාපොරොත්තු වෙන්න ... හැබැයි සියලු නම් ගම් මනඃකල්පිතයි ඔන්න .. කොටින්ම මමත් මනඃකල්පිතයි ;) *****

හරි දැන් මේ කොහේද මම හිටියේ ... හරි හරි ..දැන් ඔන්න බස් එක ඇක්වයිනාස් එක ලගට ආවා..මමත් වැටිලා හිටිය කුකුලු නින්දෙන් ඇහැරලා දනි පනි ගාල සීට් එකේ කෙලින් වෙලා ඉදගෙන මල් හිනාවකුත් මූනට දාගෙන බස් එකෙ දඩ බඩ ගාල හෙල්ලෙන වීදුරුවෙන් ඔලු ගෙඩිය ලාවට එලියට දාගෙන හිටියා ...හරියට මම මේ සීමැදුරු කවුලුවෙන් උයන්සිරි නරඹන උන්මාදචිත්‍රා වගේ කියලා පොඩි ෆැන්ටසියකුත් මවාගෙන ... :) එතන තාප්පේ ලඟ කොලු ගැටව් පස් දෙනෙක් විතර හිටියා, ඒ පස් දෙනා විතරක් නෙමෙයි ..තව මහ ගොඩක් අය හිටියා ..නමුත් මම එදා දවසේ බලගෙන ඉන්න තීරනය කලේ ඒ පස් දෙනා දිහා ... මම එහෙමයි ..දවසින් දවස අධ්‍යනය කරන්න එක එක විදියේ අයව තෝරගන්නවා ... කොහොම හරි ඉතින් මේ කොලුවො පස් දෙනා ගැන කියන්නම්කෝ ... මෙතනින් තුන් දෙනෙක් posh.ඒ කිව්වේ දැන් අලුත්ම trend එකේ විදියට කොටු කොටු ත්‍රික්වාට කලිසම් ඇදලා, ඒකට හරියන්න තදපාට බෙල්ට් දාලා ..අර හැමෝම දාන පාට පාට කැන්වස් සපත්තු දාලා ... වොට් 40 000ක් වැදිලා වගේ කෙස් ගස් ටික ඔක්කොම කූරු කූරු හදලා ... බිග් බෙන් අතේ බැදගෙන ..අන්න එහෙම posh.

අවුලක් නෑ.. ලස්සනයි .. ඒ මගේ choice එක නොව්නට පිස්සු වයසට ඒ විලාසිතා ලස්සනයි ... කොහොම හරි කතාව ඒ තුන් දෙනා ගැන නෙමෙයි. කතාව එතන හිටි අනිත් දෙන්නා ගැන ... මේ කොලුවෝ පස් දෙනා එක click එකක්.. ගෑනු ලමයින්ටත් වඩා පුරුෂ පාර්ශවය මේ click සංස්කෘතිය ගැන දන්නවා ඇතිනේ ... අපේ set එක, අපේ කොල්ලො ටික, අපිට ගේම දෙන්න ආවනේ අරූගෙ click එක .... මෙහෙමනේ කියන්නේ .. නේද? ;) කිව්වා වගේ කලින් තුන් දෙනා සාමන්‍ය තරමේ වත් පොහොසත්කම් ඇති පවුලක ළමයි තුන් දෙනෙක් .. එයාලගේ පාසල් උනත් මට හිතාගන්න පුලුවන්..ඒත් මම කියන්නේ නෑ ;) අනිත් දෙන්නා ... පැහැදිලිවම මධ්‍යම පන්තියට තව පොඩ්ඩක් පහල ආර්ථික තත්වයක් තියෙන දෙන්නෙක් ..ඒ වගේම ෆැෂන් වලට වඩා අධ්‍යාපනයට මුල් තැන දෙන දෙන්නෙක් ... ඒත් ... එයාලා දෙන්නට ඕනි click එකට හරියන විදියට ඉන්න ...ඉතිං මේ කොල්ලෝ දෙන්නා පුදුම උත්සාහයක් දරලා තියෙනවා එයාලගෙ යාලුවො විදියට බාහිර ස්වරූපය මවාගන්න ... ජෙල් වෙනුවට තෙල් ගාලා කොන්ඩෙ කූරු කරගන්න දරලා තියෙන උත්සාහය සහ පාට කැන්චස් සපත්තු වෙනුවට පරන උනු running shoes දෙකක් දාලා යාලුවන්ට සම වෙන්න දරලා තියෙන උත්සාහය පැහැදිලි ... ඇදුමෙන් පැලදුමෙන් විතරක් නෙමෙයි ..හැසිරීමෙන් පවා යාලුවො තුන්දෙනාව එකකට එකක් අනුකරනය කරන්නයි මේ දෙන්නගේ උත්සාහ‍ය .. යාලුවො තුන් දෙනා හයියෙන් හිනා උනොත් මේ දෙන්නත් හිනා වෙනවා ... යාලුවො තුන් දෙනා ගෑනුලමයෙක්ට විසිල් ගැහුවම මේ දෙන්නත් ලාවට විසිල් ගහනවා ... මම මේ පස් දෙනා දිහා ගොඩක් වෙලා බලගෙන හිටියා ... හිතින් හිතුවා පස් දෙනාගෙන් කව්ද වැඩියෙන්ම ලස්සන කියලා ... මට ලස්සන එතන වැඩියෙන්ම ගමරාල වගේ හිටපු කොල්ලා ... හැබැයි එයාව ඒ ඇදගෙන හිටි විසුලු ඇදුමින් මුදවලා ඩෙනිමකුයි ලාපාට shirt එකකුයි අන්දලා රබර් සෙරෙප්පු දෙකක් දාල ගන්න ඕනි..අන්න එතකොට ඕනිම කෙනෙක්ගෙ ආකර්ෂනය දිනා ගන්න පුලුවන් තරම් ලස්සන ළමයෙක් එයා.. නමුත් යාලුවන්ගේ click එකට හරියන්න වෙනස් වෙන්න ගිහින් ඒ ළමයා විනාස වෙලා.

මෙන්න මෙතනයි මගේ අද කථාවේ ආරම්භය ...

අපි අතරින් බහුතරයක් ජීවත් වෙන මුලු කාලය පුරාම උත්සාහ කරන්නේ කාගෙ හරි click එකකට ඇතුල් වෙන්න ... සමාජයෙන් අවධානය ලබා ගන්න, තනිකම මකා ගන්න, නැත්නම් සමාජයෙන් කොන් වෙන එක නවත්තගන්න කවුරු හරි අපිට දෙයියෝ වගේ පෙනෙන කෙනෙක්ගේ මිතුරු කුලකයට රිංග ගන්නයි අපි දගලන්නේ ...
එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික ගෑනු ලමයාගේ චරිතය හරි ආරිය සිංහල පිරිමි ලමයාගේ චරිතය හරි රඟපාලා සමාජයේ තැනක් ලබා ගන්නයි ගොඩක් අයගේ උත්සාහය ... මමත් එහෙම උත්සාහ කලා... මාව දරුනු විදියට සමාජයෙන් සහ තවත් කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප උනාට පස්සේ මමත් උත්සාහ කලා ඒ කෙනා ආදරය කරන අගය කරන කෙනා විදියට වෙනස් වෙලා ඒ කෙනාගෙ කුලකයට රිංගන්න ... පොඩ්ඩක් අවුවක් වැටුනු ගමන් කුඩේ ඇදලා ගන්න, බෑග් එකේ කොයි වෙලෙත් තියෙන Tissue වලින් දාඩිය තෙතමාත්තු කරන්න, eye shadow, eye liner, mascara, foundation, rose powder මෙකී නොකී සියලු තීන්ත වර්ග වලින් මූන පාට කරන්න, ඉලන්දාරි ශබ්ද කෝෂේ වචන පාවිච්චි කරන්න, ඉංග්‍රිසි සින්දු අහන්න,මමත් පුරුදු උනා... පිස්සෙක් වගේ දැගලුවා ඒ click එකට අයිති වෙන්න ... ඒත් අන්තිමේ නතර උනේ මම මටම නොතේරෙන අමුතුම ප්‍රාණියෙක් වෙලා... මම මාව අදුරන්නේ නෑ.. විකාරයි ..

හිතල බලන්න. අපි ගොඩක් දෙනා අපි නෙමෙයි නේද ..අපිට ඕනි දේ නෙමෙයි නේද අපි කරන්නේ.හැම වෙලේම සමාජයට ඕනි දේ නැත්නම් අපේ posh කුලකයට ඕනි දේ නේද අපි කරන්නේ .. මම මේ අහවලාගේ යාලුවෙක් ... ඒක නේද හැමදාමත් අපේ අනන්‍යතාවය ..හිතුවේ නැද්ද කවදාවත් තමුන් වෙන්න ...තමුන්ට ඕනි විදියට ජීවත් වෙන්න ... අනිත් අයගේ නිදහසට බාධාවක් නොවී තමුන්ගේ ජීවිතය විදින්න ... කවමදාවත් හිතිලා නැද්ද එහෙම ? මට එහෙම හිතෙනවා.. මට ඕනි මම වෙන්න.මේ සමාජ බැමි ඔක්කොම කඩාගෙන ගිහින් මම වෙන්නයි මට ඕනි ... මගේ ලඟ tissue තියෙනවා.. හැබැයි ඒ makeup එක තෙතමාත්තු කරන්න නෙමෙයි .. බත් කාලා අත පිහිදාන්න.. නැත්නම් කවි ලියන්න.. නැත්නම් කඩදාසි බෝට්ටු හදන්න. මම පොඩි අවු රැල්ලට කුඩේ ඇදල ගන්නේ නෑ.. මම ලලනා ගමනින් පාරේ යන්නේ නෑ ... මම හැන්දෙන් ගෑරුප්පුවෙන් කේක් කන්නේ නෑ ... මම හෝටලෙකට ගියාම ඒකේ එලවලු පිඟන් වල තියෙන සැරසිල්ලත් කනවා මට ඒක කන්න ඕනි කියලා හිතෙනවා නම්. හිනා යනවා නේද...ඔව් මම දන්නවා.. මට ඔය හිනාව පුරුදුයි..මට හැමෝම හිනා වෙනවා ... ඒ මම සමාජ සම්මත කුලකයෙන් පිට යන නිසා... ඒත් මම සතුටින්.. මට වැදගත් එච්චරයි ...
මට තියෙන්නේ හැකර කටක්ලු .. මම වැල්ලේ කෙල්ලෙක්ලු .. මම ඔහේ කියවනවලු ..ඔන්න ඔහොමයි මාව ප්‍රතික්ෂේප කල කෙනා මට කිව්වේ ... ඒ දවස් වල මට ඒක හරි තදට දැනුනා.. ගොඩක් දුක හිතුනා... ඉතිං මම දැගලුවා ඒ කෙනාට ඕනි කෙනා වගේ වෙන්න ... ඒත් මට බෑ.. මට මහන්සි ... මේ මම ... මට බෑ ඒ කෙනාට ඕනි කුලකෙට ඇතුලු වෙන්න ගිහින් විසුලු රූපයක් වෙන්න ... ඒ ඔක්කොටම වඩා ඒකට අයිති වීමට කරන්න ඕනි මහා සටන මට කරන්න බෑ...

මම සමාජයත ඕනි විදියටවත් වෙන කාටවත් ඕනි විදියතවත් ජීවත් වෙන්නේ නෑ..මගේ වැඩවලින් කාටවත් කරදරයක් නැත්නම් මම මගේ ජීවිතේ මට ඕනි විදියට ගෙනියනවා ... දන්නවද... මිනිස්සුන්ගේ හිනාවලට පුරුදු වෙන්න පුලුවන් නම්, තනියෙම ජීවත් වෙන්න පුරුදු වෙන්න පුලුවන් නම්, මේ ජීවිතේ පුදුම ආතල් ...  විස්වාස කරන්න ... තමන් තමන් උනාම කවදාවත් තමන් තනිවෙයි කියන බයක් එන්නෙත් නෑ.. මොකද හැමදාම හැමතැනම තමන්ට ආදරය කරන කෙනෙක් ඉන්නවා එහකොට .. මම කවදාවත් තනියෙම නෙමෙයි. බස් එකේ,පාරේ ඕනිම තැනක මම තනි නෑ :)

දවසක් අපේ කන්තෝරුවේ එක කෙනෙක් කිව්ව ... " Wasana is the only person who is like Wasana" කියලා... මට ආපු සතුටට මාව පුපුරයි කියලා හිතුනා මට ඒ වෙලාවේ ... "Wasana is a very close friend of queen Elisabeth" කිව්වටත් වඩා ජොලියක් ආව මට " Wasana is WASANA " කිව්වම. ස්වයං ආත්ම වර්නාවක් කියලා හිතයි සමහරු ..ඒත් එහෙම නෑ.. මම කලින්ම කිව්වනේ.. මට පුම්බන්න දෙයක් නෑ... සමාජය මට හිනා වෙනවා... මිනිස්සු අමුතු විදියට බලනවා.. මගේ ආදරේ මට පයින් ගහලා ගියා... ඒ හැම දේම උනේ මම; මම වෙන්න ගිය නිසා .. ඒ නිසා මේක "සාර්ථක ජීවිතයට මඟ" වත්, "මගේ දියුනුවේ රහස" වත් ගැන post එකක් නෙමෙයි ... ඒත් මම නිදහස් ... වලාකුලක් වගේ ... ඔහේ පාවෙනවා මට හිතුනු හිතුනු හැටියට ... එක දවසක් උත්සාහ කරල බලන්න තමුන් වෙන්න .. ලෝකෙට එකට එපිටින් ගිහින් තමුන් කවුද තමුන්ට ඕනි මොනවද කියලා හොයාගන්න ...

ගොඩක් දෙනාට තවම තමුන්ව හමුවෙලා නැති බව .. තමුන් තමුන්ව නොදන්නා බව එතකොට තේරේවි ... !!







Friday, June 10, 2011

ALEENA :: මහ පොළවට බැහැපු සුරංගනාවක්

හැමදාම ආදරේ ආදරේ ආදරේ ... දවසකුත් කිව්වා වගේ මොන කෙහෙල් මලක් ලියන්න ගත්තත් අන්තිමේ ආදරේ .... එපා වෙලා මටම ..ඒ නිසා අද උත්සාහ කරනවා ආදරෙන් පරිබාහිර දෙයක් ගැන ලියන්න .. බලමු ..මේ post එකත් අන්තිමේ ආදරෙන්ම ඉවරවෙයිද දන්නෙත් නෑ ;)

අද ලියන්නේ අලීනා ගැන .. කන්තෝරුවේ අයට අලීනා අමුත්තියක් නොවුනට blog එක කියවන අනිත් ජනයාගෙ සුභ සිද්ධිය තකා අලීනා කව්ද කියලා මුලින් කියල ඉන්නම් .. අලීනා කියන්නේ මහ පොළවට බැහැපු සුරංගනාවක් ... ඇවිදින බෝනික්කියෙක්.. :) ම්ම්ම්..සාහිත්‍ය පැත්තකින් තියලා කියනවා නම් අලීනා කියන්නේ අපේ ඉස්කෝලෙට අලුතින් ආපු පුංචි පැංචියෙක් .... 

මෙන්න මෙයයි අලීනා ....

******** අලීනගේ පින්තූර අයින් කලා ... මම හිතන්නේ අන්තර්ජාලය අලීනාට සුදුසු තැනක් නෙමෙයි ... හිතාගන්නකො අලීනා කියන්නේ බෝනික්කියෙක් වගෙ ලස්සන පැටියෙක් කියලා ...  20/06/2011 *******

ගෑනු ළමයි අනේ Cute කියන්න ඇති ..කොල්ලො නම් post එක කියවන එකත් නවත්තන්න ඇති සමහරවිට ;) මොකක් උනත් මේ පොඩි පැට්ටා ගැන ලියන්න ඕනි කියල හිතුනා මට ... දවසක් දා මොකද්දෝ ජරමරේකට front office එකට දිව්වම මෙන්න ඉන්නවා සීනි මුරුක්කුවක් වගෙ රෝස පාට ගව්මක් ඇදගත්තු පුංචි කෙල්ලෙක් ... හරීම ලස්සනයි.. ඉතිං මටත් ඉන්න බැරිකමට ලාවට පොඩි හිනාවක් දාල බැලුවා පැට්ටගේ ප්‍රතිචාරය කොහොමද කියලා .. පොඩි අය සුවර් නෑනේ.. ටිකක් ඇත්නම් බෙරිහන් දීල අඩනවනේ..ඒ නිසා ඉස්සෙල්ලා පොඩි ටෙස්ට් කේස් එකක් run කරලා බැලුවා... ඇස්වහක් කටවහක් නෑ දරුවා කට පුරා හිනා උනා.. ඉතිං ඒ පරක්කුවට මම බබාගේ එහා පැත්තෙන් ඉදගෙන ... office එකට උස්සන් ආපු file මිටිය කැලේ :D

මගේ මුල්ම ප්‍රශ්නය ... "What's your name darling?" ." I am Aleena "කනට නුපුරුදු accent එකකින් ලැබුනා උත්තරය හැරෙන තැපෑලෙන්..ඇඹරිලි හැංගිලි මුකුත් නෑ.හරී .. ඊලග ප්‍රශ්නය..." So what is your school?"  ඔන්න විනාස උනු තැන ... චර බර චර බර  ££$3%5&78(((""3$@@''  මට තේරුනේ නෑ පැට්ටා කියපු දේ ...ඉතින් නෝන්ඩි නැතුව ආයෙම මෙන්න මම අහනවා " Sorry darling, I didnt get you correctly.. would you mind telling me your school again? .... " හරියන්නේ නෑ.. ආයෙමත් චරෝ බරෝ. තේරෙන්නෙම නෑ ... ඉතින් මම මාරු උනා ඊලග ප්‍රශ්නෙට ... "ok ..so where are you from dear?" " I am from USA" යුරේකා... තේරුනා ඇයි මට මේ බට්ටගේ ඉංග්‍රිසි නොතේරෙන්නේ කියලා... ඇයි දෙයියනේ මෙයා කතා කරන්නේ ඔබාමා මහත්තයගේ ඉංග්‍රිසිනේ... ඉතිං මට නොතේරෙන එක අහන්නත් දෙයක්යැ ...   :)

එදා ඉදන් අද වෙනකන් මේ පැට්ටා branch එකට එන දවසට මගේ වැඩ ඔක්කොම මකරකටේ ... මම ඉදිකට්ට පස්සෙන් වැටුනු නූල වගේ මේ බබා එක්කමයි... මම විතරක් නෙමෙයි... අවමය teachers ලා තුන් දෙනාගේ ඉදලා උපරිමය දහයක් පහලවක් වෙනකන් මේ පැටියගේ පස්සෙන් දුවනව කොයි වෙලෙත්.අලීනා ට තියෙන්නේ පුදුම පරිකල්පන ශක්තියක් ... දවසක් මම ඇහුවා "Darling are you the only child in your family?"කියලා. රේඩියෝවක් වගේ මෙන්න මෙහෙම එක දිගට කියවගෙන කියවගෙන ගියා අපේ පුංචි ගිරා පැටියා " No miss, Um havN A brother ..a Tiny one ..only one year old..can't walk..only crawls.. eating mashed potatoes only"කියලා. ඉතිං අනිත් teachers ලට වඩා එක ලකුනක් හරි වැඩියෙන් දාගන්න හිතාගෙන අනිත් දවසෙ අලීනා ආපු ගමන් මම ඇහුවා " darling how is your brother?" කියලා ... මේ කෙල්ල ගත් කටටම අහපි " Which brother Miss?....." ඉතිං මමත් fuse පිච්චුනු මොලේ හරිගස්සගෙන කිව්වා "Why dear, the one year old brother whom you mentioned last day...." ඒ ගමන මෙන්න මෙයා කියනවා ....."He is not yet born miss". ඉතින් කාට කියන්නද... අයියෝ දෙයියෝ කිව්වලු... මහ ලොකුවට පරිකල්පනය වවාගෙන කාගෙන blog  ලියන මටත් කොකා පෙන්නුවා මේ කොස් ඇට දෙකක් උස නැති පැට්ටා..

කොහොමින් කොහොමින් හරි teachers ලගේ බාධා කිරීම් මැද්දේ අලීනා ව බාර teacher පාඩමත් කරගෙන ගියා සුපුරුදු පිරිත කිය කිය...darling this is the system unit...this is the monitor..bla bla BLA ..color the system unit..color the monitor ...etc etc ... අලීනත් මලක් වගේ කිව්ව විදියටම ඔක්කොම පින්තූර පාට කරගෙන කරගෙන ගියා ... එක පාරටම mouse එකට පිහාටු දෙකක් ඇදපු කෙලිපොඩ්ඩ කියනවා... " Miss this is a magical flying mouse ;) " අනේ මන්දා.. මොනා කරන්නද.. මොකෝ පාට පැන්සලෙන් ඇදපු එක මකන්න කියලද.... පුංචි පැටියගේ ලෝකේ මායවන්ගෙන් පිරිලා... සුරංගනාවියෝ කියලා ජාතියක් ඇත්තටම ඉන්නවා නම් එයාල සතුටු වෙයි එයාල ගැන විස්වාස කරන තවත් සුරංගනාවියක් මේ පොළව මත්තේ ඉන්නවා කියලා ... පියාඹන අශ්වයෝ ... දිය රකුසෝ ... තව මෙකී නොකී දහසක් මනඃකල්පිත චරිත වලින් අලීනගේ ලෝකය පිරිලා ...

මම කවදාවත් සුරංගනාවියෝ විස්වාස කලේ නෑ ...කවදාවත් සින්ඩරෙල්ලා වගේ වට්ටක්කා ගෙඩියකින් රත්තරන් කරත්තයක් මැවෙනකන් බලාගෙන හිටියෙත් නෑ... මට මගේ පොඩි කාලේ ගැන ඒ හැටි මතකයක් නැති උනත් මම හිතන්නේ මම එතකොටත් කලේ ඉගෙන ගත්තු එක ... මොන්ටිසෝරි යන කාලෙත් dictation  වලට හොඳ ලකුනු ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මිසක් ආකාසෙන් පියාඹන අශ්වයෙක් ඇවිත් මාව දිවියලෝකෙට එක්කගෙන යයිද කියන ප්‍රශ්නයක් මට තිබුනේ නෑ... මගේ දෙමාපියො කවදාවත්  මට ඉගෙනගන්න කියලා බල නොකලත් මගේ ඒකායන අධිශ්ටානය උනේ පොත් කාවෙක් වීමම විතරයි ... තිබුනේ එකම හීනයයි..කවද හරි දොස්තර කෙනෙක් වෙන්න... stethoscope එක දාල සුදු coat එකක් ඇදල උදෙන්ම ඉස්පිරිතාලෙට යන්න... කුලුදුලේ තාත්ථ්තා කෙනෙක් උනු කෙනෙක්ට ඒ සතුටු පනිවිඩය දෙන්න..දස දහසක් දෙනා සනීප කරවන්න ..මට තිබුනු හීනය එච්චරයි..

ඒත් අද අලීනව දැක්කම මට හිතෙනවා මට ගොඩක් දේවල් මග ඇරිලා කියලා... ඒ ලස්සන ලෝකෙ දැක්කම මට හිතෙනවා මම අවුරුදු විසිහයක් පුරාවට ලබාගත්තු දෙයක් නෑ නේද කියලා.. ඒත් මම පරක්කු වැඩී දැන්.. පරක්කුයි...ඒත් මම දැන් උත්සාහ කරනවා මට මග ඇරුනු ලෝකෙ දකින්න.. මම දැන් සුරංගනාවියෝ විස්වාස කරනවා ... කොටින්ම මම දැන් cartoon character එකකට දිවිහිමියෙන් ප්‍රේම කරනවා .. මෙන්න එයා .. ;)



අපේ පුංචි  තාරකාවට පිං සිද්දවෙන්න මටත් අද හීනයක් තියෙනවා .. මමත් බලාගෙන ඉන්නවා මගේ ජීවිතය සුරංගනා කාතාවක් වගේ They lived happily ever after එකින් ඉවරවෙනකන්.. නපුරු මායාකාරියො, නපුරු කුඩම්මලා, ඔක්කොම නැතිභංගස්තාන වෙලා කුමාරයෙක් සුදු අශ්වයා පිටින් ඇවිදින් සත්‍ය ප්‍රේමය ඔප්පු කරලා මැරුනු මට පණ දීලා මාලිගාවට එක්කගෙන යන දවසක් එනකන් මම බලගෙන ඉන්නවා ..අලීනා ගේ කථාව මම විස්වාස කරනවා ...

ඇස්වවහක් කටවහක් වදින්නෙපා මගේ මේ කථාවෙන් ඒ පොඩි පැටියට .... අලීනා තව තවත් ලස්සන වෙලා හැමෝගෙම හිත් නිවන සහන් එළියක් වෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.


P.S :: මම කොහොම හරි ප්‍රේම ත්‍රිකෝනෙන් මිදුනු කථාවක් ලිව්වලු ඉතින් ...  ;)

Tuesday, June 7, 2011

මා .. ඔබ සහ ඇය ...




සිංදුව ඇහුවා... ඉතිං අහලා තියෙන සිංදුවක්නේ.. මොකද්ද මේකේ තියෙන අමුත්ත.. මොකද්ද කියන්න හදන්නේ ... ? හැමදාමත් ඇහුවේ සිංදුවෙ ඇහුනු වචන ටික විතරයි නේද ... ඉන් එහාට දෙයක් කවදාවත් හිතුවේ නෑ නේද ...

"මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි" ඒ ගීතයේ ආරම්භය ..... " ඔබ අත ගෙන ගිය වීදියේ හා යනවා .. සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා" ඒ ගීතයේ අවසානය ... එතකොට මේ ගීතයේ පාර්ශව තුනක් ඉන්නවා..මා.. ඔබ සහ ... මා සහ ඈ ගැන පැහැදිලියි.. ඒ දෙන්න කසාද බැඳලා.. පුංචි පුතෙකුත් ඉන්නවා.. එතකොට කෝ මේ ගීතයේ කියවෙන ඔබ ... හැමෝටම අමතක උනු අන්න ඒ  ඔබ ට ගීතයේ කියවෙන මා මුණගැහිලා.. මෙන්න ඒ කතාව ...

************************************

කාලෙකින් මුණගැහුනේ .. කොච්චර කාලෙකින්ද ඇත්තටම ..අවුරුදු තුනක්, හතරක්, පහක් ...

අවුරුදු පහක් විතර මටත් හිතෙන්නේ ...

ඉතිං ....

ඉතිං ....

ම්ම්ම්.. යමුද මොනවා හරි බොන්න.. ටිකක් කතා කර කර ඉමු.. හා ද?

වැඩි වෙලා නම් ඉන්න බෑ. ඒත් ...යමු.. හැබැයි ටික වෙලාවයි ...

වෙලාව හැමදාමත් ඔයාට ප්‍රශ්නයක් උනානේ... මම කවදාවත් වැඩි වෙලාවක් ලැබෙයි කියලා බලපොරොත්තු උනෙත් නෑ ....

හ්ම්ම් ....

මොනාද බොන්නේ?

ෆැන්ටා ...

ෆැන්ටා ... තාමත් ...?

ඔව් ඇයි ...?

නෑ නිකන් ...

ඉතිං ....

ඉතිං ...

ඉතිං ඉතිං නෙමෙයි... කියන්න ඔයා ගැන විස්තර.. අවුරුදු පහක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ ...

කියන්න තරම් දෙයක් නෑ ඉතිං.. මම ජීවත් වෙනවා...

හැමදාමත් වගේ.. හැමදාමත් ඔයාට කොහොමද ඇහුවම මට ලැබුනු උත්තරයමයි අවුරුදු පහකට පස්සේ අදත් ...

හ්ම්ම් ...

කියන්න විස්තර කොච්චර තියෙනවද ... ගෙදර ගැන .. wife ගැන.. office එක ගැන .. බබාල ගැන...

එයාල ඉන්නවා ඉතිං ... ඔයාට වැඩි විස්තර අදාල නෑනේ .. ඇයි අහන්නේ ...

ඒකත් එහෙමද..අවුරුදු පහකට පස්සෙවත් ඔයාට පැහැදිලිව කියන්න පුලුවන්ද මට අදාල මොනාද නැත්තේ මොනාද කියලා එහෙනම්?

..............................................................................................

හරි හරි ... කාලෙකින් මුණගැහිල මූණු එල්ලෙගෙන ඉන්නන ඔනි නෑ ..ඔයාට කියන්න බැරි නම් මම ආයෙම අහන්නේ නෑ.

හ්ම්ම් .. ඉතින් කියන්න බලන්න ඔයා ගැන .. කොහොමද මහත්තයා.. බබාල එහෙමත් ඇතිනේ ...

මම සතුටින්ද නේද ...අනේ මන්දා ...දන්නවද මම කවමදාකවත් ඒ ප්‍රශ්න්නේ මගෙන් අහලා නෑ.. මම හොයන්න මහන්සි උනේ නෑ මම සතුටින්ද නැද්ද කියලා පහුගිය කාලේ පුරාවටම. මම හිතන්නේ මම බය උනා ඒ ප්‍රශ්නෙට ලැබෙන උත්තරේට. ජීවත් වෙනවා.. මමත් ජීවත් වෙනවා..එච්චරයි .. මහත්තයා.. බබාලා.. ම්ම්ම්ම්.. කෝ කෝ ඉක්මනට බොන්න බීම එක..කූල් පිටනේ ඔයා කැමති ....

හ්ම්ම්.. ඔයා වෙනස් වෙලා නෑ වැඩිය ..

වෙනස් වෙලා නෑ කිව්වේ ..පෙනුමද නැත්නම් ....

පෙනුම ..

මම හිතුවා.. බාහිර රූපකාය මිසක් ඔයා කවමදාකවත් මගේ හිත, හැඟීම් තේරුම්ගත්තෙ නෑනේ.. ඉතින් කොහොමද හැඟීමක වෙනසක් තේරුම් ගන්නේ..

අනේ මන්දා...අපි යමුද ...

හැමදාමත් වගේ ..."අපි යමුද?" කවමදාකවත් මම නාහපු හැමදාමත් ඔයාම අහපු ප්‍රශ්නය ...

හ්ම්ම් ...

යමු.. ඉමු කිව්වට ඔයා ඉන්නේ නෑනේ ...ඉතිං අපි ආයෙම මුන ගැහෙයිද?

දන්නේ නෑ ..සමහරවිට මුන ගැහෙයි.. ඇයි ?

දෙයක් තියෙනවා කියන්න ... ආයෙම මුණනොගැහුනොත් මට කවදාවත් මේක කියන්න බැරි වෙයි ...

මොකද්ද.. කියන්න බලන්න.. හැබැයි ඉක්මනට ...

ඔයාට පේනවද... අපි තවම එකම ඉර හඳ යට ..අපි ආ ගිය පාරවල් තවමත් ඒ විදිහමයි.. Campus එකේ අපි හිටපු තැන් වල ඉදගෙන අලුත් පරම්පරාවක් අද ඉගෙනගන්නවා.. එදා ඔයා මවපු හීන අද හැබෑ වෙලා ...හැමදේම එදා වගේමයි.. එකම වෙනස ඔයා මගෙත් එක්ක යයි කියලා මම විස්වාස කල ගමන ඔයා වෙන කෙනෙක් එක්ක ගිය එක විතරයි.. එච්චරයි ...

හ්ම්ම් ...

හ්ම්ම් .. හැමදාමත් ඔයාගේ ප්‍රතිචාරය උත්තරය ඔච්චරයි .... එහෙනම් මම යන්නම්...

හ්ම්ම්.. ජීවිතය හීනයක් වගේ නේද ...

ඔව්.. හරියටම හරි..ජීවිතය හීනයක් වගෙයි ..ඔයාට හැබෑ උනු මට හැබෑ නොවුනු හීනයක් වගෙයි ... දන්නවද... මම කසාද බැන්ඳේ නෑ.. මට මහත්තයෙක් දරුවෙක් නෑ .. මගේ අත අරගෙන එදා ගිය පාර දිගේ ඔයා අද වෙන කෙනෙක්ගෙ අතින් අල්ලගෙන ගියාට මම එහෙම ගියේ නෑ.. ඔයා මගේ අත අතෑරපු තැන ඉදන් මම තනියෙම මගේ ගමන යන්නවා ...

.......................................................................................................

යන්නම්.. බුදු සරණයි .. ආයෙම කවදාවත් මුණනොගැහුනොත් .... සදහටම බුදු සරණයි ... !!




Wednesday, June 1, 2011

.: පුංචි ආදර කවියක් (වෙනසකටත් එක්ක) :.

 
ඔබ කවුරුන්දැයි සෙවූයෙමි .. 
ඔබ මට කවුරුන්දැයි සෙවූයෙමි ... 
ඔබට ආදරේ ඇයි දැයි සෙවූයෙමී ... 
ඔබට මගේ බස තුල උවම් සෙවූයෙමි ... !!




කෙසේ උවමිද සරා සඳ ලෙස
අඳුරු දිවි රැය කළුව දුරු කළ
පුන් පොහෝ දා හැරුනු අන් දින
සඳ මඩළ නොපීරී තිබෙන කල

කෙසේ උවමිද උදා හිරු ලෙස
මගේ ලොව අඳුරින් මුදා හල
රැය තිළිණ කර එවන් හිරු රැස්
දිනය අවසන නික්ම යන කල

කෙසේ උවමිද මහ සයුර ලෙස
පෙණ පිඩින් මා දෙපා සනසන
එවන් සයුරම රුදුරු වෙස් ගෙන
පොළෝ තළ වනසා ඇදෙන කල

කෙසේ උවමිද වැටෙන වැසි ලෙස
දිවි කතර සිසිලෙන් තෙමා හළ
මහා මේඝය ලෙසින් ඒ වැසි
අහස පෙරලා බිමට එන කල

කෙසේ උවමිද දිලෙන තරු ලෙස
රැයක අහසක් දෙව් බිමක් කළ
එවන් තරු එළි සඳ දිලෙන දින
දෙනෙත අද්දර නොපෙනි යන කල

කෙසේ උවමිද මා දිවිය ලෙස
දෙවිඳු පුද දුන් රන් මලක් ලෙස
නුදුරු දිනයක එලෙඹි මොහොතක
ඒ දිවිය මට උරුම නැති කල

මගේ ලියමන් සමත් නැත අද
ඔබ මෙසේ යැයි උවම් දෙන්නට
ඔබ ඔබයි; ඔබම වේ ඔබ
එ නිසාමයි ආදරෙත් මම .... !!