බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, June 30, 2011

.: විවාහය ගැන මගේ ගීතය :.

මෙන්න මම ආවා. අද මට අසනීපයි.. හොදටම අසනීපයි ... ඒ නිසා මම තීරනය කලා post  එකක් ලියන්න.කව්ද දන්නේ.. හෙට මැරුනොත් එහෙම මේ මම ලියන අන්තිම post එක වෙන්නත් පුලුවන්නෙ ... කොහොම හරි, මගේ campus කතා මාලාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. මම හිතුවේ නෑ මගේ අන්ධබූත SLIIT ජීවිතේ මේ තරම් රසවත් වෙයි කියලා කියවන අයට ... :)

එක දිගටම campus කතා කියන්නත් බෑනේ. ඒ නිසා අද මම කියන්නේ මම ආදරය කරන ගීතයක් ගැන. අද මගේ blog අවකාශය වෙන්වෙන්නේ ටී එම් ජයරත්න මහත්මයට.. මම අකමැති ගීතයක් නැති තරමට ලෙංගතු කටහඩක් සහ හිත නිවන රූපයක් තියෙන ගාන්ධර්වයෙක් ... ටී එම් ජයරත්න මහත්මයගේ මම පෙරේත සිංදු මහ ගොඩාරියක් තිබුනත් අද මම මගේ හිත කියන්න යන්නේ මෙන්න මේ ගීතයට අදාලවයි ....


හැමෝම දන්න හැමෝම අහල තියෙන ගීතයක් ... නාද මාලාවෙනුයි පද වැලෙනුයි මාව වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් ගීතයක් මේක. වචන ගැන මෙලෝ සංසාරයක් නොතේරුනු ඇටිකිච්චෙක් කාලෙත් මම මේ ගීතයට ගොඩක් කැමතියි කියලයි මගේ දෙමාපියෝ කියන්නේ. මේකලු ඒ කාලේ මගේ නැලවිලි ගීතය .. :)

විවාහය ...." විගහට වාහනෙන් නිමූන් මු " කියනවට වඩා මහා ලොකු ගැඹුරක් අර්ථයක් තියෙන උත්තරීතර මානුෂීය බැඳීමක්. දැන් ඔන්න පටල ගනී අපේ අය. මම අදහස් කරන්නේ නෑ පොතේ ලියලා හත් දවසක් මගුල් කාල සමරන විවාහයක්. දෙන්නෙක්ගේ හිත එකට බැඳුනු තැන, දෙන්නෙක් එකට ජීවිතේ ඉතිරි දුර යන්න තීරනය කල තැන ඇතිවෙන ආදරය සහ රාගය මිශ්‍රවුනු බැඳීමයි මම විවාහය විදියට දකින්නේ. නැතුව කඩදාසියකට සීමා උනු අයිතිවාසිකමක් නෙමෙයි. ඉඩමක අයිතිවාසිකමට ඔප්පුවක් ලියලා දෙනවා වගේ මනුස්ස ජීවිතයක අයිතිවාසිකම කවදාවත් කඩදාසියකින් කාටවත් ලියලා දෙන්න බෑ... නෛතික හේතු කාරනා නිසා නොවෙන්නට කොලේක ලියලා අත්සන් කරන විවාහයකට මම විරුද්ධයි ඇත්තටම ...

මේ ගීතයේ මම ආසම කරන පද වැල තමයි "ඔබා මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා " කියන කොටස ... කොයි තරම් රැඩිකල් අදහස් දැරුවත් තමන්ගේ ස්වාමි පුරුෂයගේ කකුල් දෙක අල්ලලා වදින එක මට හරිම ලස්සන දෙයක් විදියට පේනව හැමදාමත්. කාන්තාවාදි සම තැන ඉල්ලන අක්කලා, නංගිලා, ඇන්ටිලා, ආච්චිලට කේන්ති යයි ..නමුත් මම කවදාවත් සමතැන අදහසට එකග නෑ. බිරිඳක් විදියට බලාපොරොත්තු වෙන ආරක්ෂාව,ආදරය,රැකවරනය සපයන ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් ඒ කෙනා බිරිඳගේ ලෝකේ දෙවියන් වෙන එකේ කිසිම වැරැද්දක් නෑ ... එහෙව් කෙනෙක්ගේ දෙනෙතින් දෙවියන් දකින එක කාන්තාවාදි අදහස් වලට එරෙහිව යාමකුත් නෙමෙයි ... දෙපය නෙමෙයි දෙපය තියන තැන දූවිලි කැටයක් උනත් මුතු ඇටයක් වගේ පරිස්සමින් තියා ගන්න එකත් දීන වීමක්, යටත් වීමක් නෙමෙයි .... හැබැයි මම කියන්නේ නෑ ඒ සිප ගත් දෙපා වලින්ම පයින් ගහනවා නම් ගුටිකාගෙන ඉන්න එකයි නියම ගැහැනුකම කියලා.. එහෙම ගැහුවො බදා ගත්තු දෑත් වලින්ම අනිත් පැත්තට කන රත්වෙන්න ගහන්නත් කිසිම තහනමක් නෑ ;) 

"භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක උනත්
ඔබගෙයි මගේ හඳ මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "

විවාහය කියන්නේ එක්තරා විදියක ගමනාන්තයක්. ඉපදීම සහ මරණය අතරේ තියෙන සංක්‍රාංතියක්.හරි ගියොත් ජීවිතේ මල් පිපෙන වැරදුනොත් ජීවිතේ වල් වදින තෝරාගැනීමක්. වචන ගොලු වෙලා හදවත් කතා කරන මානයක් තියෙනවා නම් අන්න එතෙන්දි හදවත් දෙකක් කතා කරල ගන්න තීරනේ ගොඩක් දුරට හරි. වචන බොරු කිව්වත්,වචන මවා පෑවත්,වචන රැවැට්ටුවත්, වචනය ගොලු උනු තැන කතා කරන හදවත කවමදාවත් බොරු කියන්නේ නෑ ... හද මන්දිරෙන් එන ස්වරයක් එක් උනු දාට එතන මාළිගාවක් මිස අම්බලමක් හරි තාවකාලික නවාතැන්පොළක් හරි හැදෙන්නේ නෑ ....

"ඔබ මා දෙනෙත් මා ඔබෙ දෙනෙත්
එක් වී වෙලා සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා "

දැකලා තියෙනවද ඇස් කතා කරනවා ? මම දැකලා තියෙනවා. පොත් ගනන් දිග කතා ඇස් වලින් කියනවා මම දැකලා තියෙනවා. ඇහැක කතාවක් හරිම සුන්දරයි.. ඒ කතාව දැනෙන්නේ කනට නෙමෙයි හිතට ... සැබෑ මංගල ඡායාරූපෙකුයි නිරූපිකාවන් ඉදිරිපත් කන මංගල මෝස්තර ඡායාරූපෙකුයි වෙන් කරල අදුරගන්න පුලුවන් ඇස් දිහා බැලුවා නම්.ඇත්ත විවාහ ඡායාරූපෙක මනමාළියගේ ඇස් වලින් කියන කතාව නිරූපිකාවකගෙ තට්ටු තට්ටු මෙකප් දාපු ඇස් වලින්වත් කවදාවත් කියන්න බෑ. තමන්ගේ ජීවිතේ අනාගතය තව කෙනෙකුට බාර දුන්නු ගෑනු ලමයෙකුගෙ හිත මනමාළියගේ ඇස් වලින් කියවෙනවා..ඒ ජීවිතයේ වගකීමට උරදීපු සෙල්ලක්කාර කොල්ලෙක්ගේ හිත මනමාලයගේ ඇස් වලින් කියවෙනවා ... ලස්සන කතාවක් ... !!




විවාහය හැමදාමත් මගේ හිත මහා දෙගිඩියාවකින් පෙළපු මාතෘකාවක්. කොහොම නමුත් ලාංකේය විවාහ රටාව නම් මට තිත්තයි.. දෙමාපියන්ගේ නෑදෑයන්ගේ වදේට මිස කැමැත්තක් නැතුව බැඳගන්න බෙරයක් වගෙයි බොහොමයක් විවාහ. ලාංකේය විවාහ සහ අඹු සැමි සම්භන්ධතා ගැන මගේ චින්තනය කියන්න ගියොත් මට ගල් ගහවි මිනිස්සු :) මම බය නෑ..ඒත් මම දැන් තේරුම් අරගෙන ඉවරයි ලාංකේය සදාචාරය කියන බිත්තර කට්ට පොඩි කරන්න මම වගේ පුංචි කූඹියෙක්ට බෑ කියලා. ඒ නිසා මම ඒ ගැන කථා කරන්නේ නෑ ..

මම පුංචි කාලේ ඉදලා wedding car වලට හරිම ආසයි. ඒකේ යන couple එකට අතවනන්න මට තියෙන්නේ පුදුම ආසවක්... ගොඩක් වෙලාවට එයාලත් හිනා කටක් පුරෝගෙන අත වනනවා උනත්, සමහරු ඔරවලා අහක බලාගන්නේ නැත්තෙත් නෑ ... අද අවුරුදු 26ක නාකි අම්මන්ඩි කෙනෙක් වෙලත් බස් එකේ,පයින්, මොන විදියකට ගියත් wedding car එකක් දැක්ක ගමන් මෙලෝ සිහියක් නැතුව අත වනන එක නවත්තගන්න බෑ මට.මගේ දෙමාපියෝ කියන්නේ මම කොයි වෙලේ හරි wedding car එකකට යට වෙලා මැරෙයි කියලා ;) Wedding car එකක් දැක්කම මට මතක් වෙන්නේ සින්ඩරෙල්ලගේ වට්ටක්කා ගෙඩියෙන් මැවුනු අශ්ව කරත්තේ :) කොටින්ම මුලු විවාහයම මට සුරංගනා කථාවක් වගේ කියලයි හිතෙන්නේ .. විකාරයි තමයි..ඒත් මගේ මනෝ භ්‍රාන්ති වලට සීමාවක් මායිමක් නෑ :D

අදට මෙච්චරයි..මගේ සියලූම විවාහක යාලුවන්ට යෙහෙලියන්ට ආදරය සතුට පිරුනු විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරන ගමන්ම ..... තාම බැන්ඳලා නැති යාලුවන්ගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න ... 

කසාද බැඳලා මල්, රිබන් පටි ගහලා සරසපු කාර් එකෙන් දෙන්නත් එක්ක යද්දි ....
මග අද්දර ඉදන් කවුරු හරි අත වැනුවොත් ..
අනේ හිනා වෙලා අත වනන්න ..
ඒ මම වෙන්න පුලුවන් .... !!



11 comments:

  1. Don't say they have forced u again :(

    ReplyDelete
  2. නියමයි ....!

    DG

    ReplyDelete
  3. marriage is a sacred gift.. but unfortunately most of the people have forgotten it and human beings are going after false values.

    dear friend, Its true that we cannot change the rituals or this world.. but we can change ourselves...

    I love your blog. keep writing atikichcho..... :)

    ReplyDelete
  4. අනේ මන්දා අක්කියෝ .. මේ කතා කියනකොට මට ඔයාව මවාගන්න එච්චර අමාරු නෑ.මොකෝ මටත් කැම්පස් එකේ යාළුවෙක් හිටියා ඔය වගේමයි.තොරතොන්චියක් නැතුව කියවනවා එක දිගටම..මට වෙලාවකට හිතෙනවා ඒ ඔයාද කියලා..නැත්තම් එ ඔයාගේ සහොදරියක් ද? මම දන්නෑ.. මේක කියවන කොට මට මතක් වෙන්නෙම එයාව.. නමුත් එයා අද මා ලග නෑ.. කොහේ ඉන්නවද,මොනවා කරනවද කියන්න මම දන් නෑ..

    ඊ ළග ලිපියත් මොකක් උනත් මම ඉන්නවා බලාගෙන... ඔයා එක පළ කරනකම්... එ වගේම ඔයාට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  5. එක්තරා විදිහක සාහිත්‍ය විචාරයක් විදිහට තමයි පේන්නේ. හැබැයි සම්භාව්‍ය පුද්ගලයෙක්ගේ විවරණ රටාවෙන් මිදිලා සරලව තේරෙන සිංහලෙන් කියලා තියෙන නිසාද මන්දා මට ඒකේ සැබෑ රසයක් දැනුනා!

    ReplyDelete
  6. ඉස්තූතියි මල් දුන්නු හැමෝටම :)

    ReplyDelete
  7. ඊලග කොටස ලියන්න බලාපොරොත්තුවක් නැත්ද?
    DG

    ReplyDelete
  8. චත්‍රාMay 3, 2012 at 9:12 PM

    මම අදමයි ඔයාගේ බ්ලොග් එකට ආවේ. මාත් ඔයාගේ වයස කෙනෙක්. මාගෙත් ප්‍රියතම සින්දුවක්. ඒ ව‍‍‍ගේම ඔයා කියපු තව දෙයකට මාත් ගොඩක් කැමතියි. ඒ තමන්ගේ ස්වාමියාට වදින එක. මම campus ඉන්න කාලෙයි මගේ ආදරය පටන් ගත්තේ. දෙපා වදින්න තරම් උතුම් කෙනෙක් නිසා ඇත්තටම මම දවසක් එන්න ලෑස්ති වෙද්දි එයාට වැන්දා. එදා ඉදන් අපි සමුගන්න හැමදාම මම එහෙම කරනවා. ඒක මගේ ආදරවන්තයාගේ හිතේ බොහොම ලස්සන හැගීමක් ඇති කරන දෙයක් බව මම දන්නවා. මිනිස්සු බලා ඉන්න පාර අයිනෙදි තමයි බොහෝ විට. මම හිතන්නේ නැහැ එහෙම වදින කෙල්ලෙක් ලැබෙන්න හරි තමන්ට වදින්න පුලුවන් කොල්ලෙක් ලැබෙන්න හරි ශ්රී ලාංකික හිතක් තියෙන කෙනෙක් නම් අකැමැති වෙයි කියලා.
    ඉතින් ඔයා පාර තොටක යද්දි එහෙම සිද්ධියක් දැක්කොත් අත වනන්න. ඒ අපි දෙන්නා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අපොයි අත වනල විතරක් නවතින්නේ නෑ මම. ඒ වගේ ලස්සසන දෙයක් දැක්කොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා මිසක .. :) ඔයලගේ ආදරයට ජය .. ඇස්වහක් කටවහක් හෝවහක් නැතුව හැම දවසක්ම ආදරෙන් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා !!

      Delete
  9. හ්ම්ම් ලත්තනයි !!

    ReplyDelete