බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, July 14, 2011

.: හර්ද සූත්‍රය :.

කාලෙකින් මෙන්න මම ආවා..හරියටම සති දෙකක් වෙනවා අන්තිම වැල් බයිලාව ලියලා. ම්ම්ම්..ලියන්න වෙලාවක් තිබුනේ නෑ කියන්නත් බෑ.මොකද මම විස්වාස කරන විදියට උවමනාවක් තියෙනවා නම් වෙලාවක් නැති වෙන්නේ නෑ.. කොහොමින් කොහොමින් හරි .. ඔන්න මම අද ආවා... :)

හැමෝම බලාගෙන ඉන්න කැම්පස් කථාවේ තුන්වෙනි කොටස නම් ටිකක් පරක්කු වෙයි.තුන්වෙනි කොටස මගේ පෞද්ගලික ජීවිතේට ගොඩක් සම්බන්ධයි .. මගේ ජීවිතේ ඕනි කෙනෙක්ට කියවන්න ඉඩදීපු පත්තරයක් උනාට මගේ ජීවිතේට සම්බන්ධ අනිත් ජීවිත වහපු සේප්පු වගේ.ඒ නිසා ඒ ජීවිතවල පෞද්ගලිකත්වයට හානි නොවෙන විදියට මගේ කථාව ගලපගන්න මට ටිකක් කල් ඕනි.. ඔබ සියලුදෙනාගේ කමාව භජනය කරමින් කැම්පස් කථා ටිකක් ප්‍රමාද කරන්ට සිදුවෙනවා ඒ නිසා ...

අද මම හිතාගත්තා මගේ හැතැක්ම ගනන් දිග හීන කල්පනා වලට ඉඩක් දෙන්න. ඒ නිසා මේ post එකට එල්ලයක් මායිමක් නෑ. මම මට හිතෙන දේවල් හිතෙන විදියට පෙලගස්වනවා..එච්චරයි.. ඒ නිසා " Reading at your own Risk" කියවන්න ගිහින් මගදි මෝල් උනොත් මම නම් වගකියන්නේ නෑ ;)

රුසියන් සාහිත්‍යයේ ගිලිලා හිටි මට කාර්යාලයීය සගයෙක් සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත් වගයක් ගෙනත් දුන්නා.රිදී තිරංගනාව, සුබෝධාලංකාරය සහ හර්ද සූත්‍රය. ඒ වෙනකන් ඒ පොත් එකක්වත් මම කියවලා තිබුනේ නෑ. ලංකාවේ මේ තරම් හොඳ පොත් තියෙද්දි ඒවා කියවන්නේ නැතුව මම අහවල් කෙංගෙඩියක් කලාද කියලා හිතුනා මට පොත් ටික කියෙව්වම. ඒ තරම්ම මානුෂීය සම්බන්ධකම් හරිම ලස්සනට වචනයට නගන්නට කතුවරිය සමත්වෙලා තියෙනවා ... පොත්ටික ගෙනත් දීලා මම නොදුටු මානයක් මට පෙන්නපු මගේ frentha ට පිං දෙනගමන්ම මේ post එක වෙන් වෙන්නේ හර්ද සුත්‍රය පොතට මගේ අටුවා ටීකා එකතු කරන්න .. (පොත කියවලා නැතිඅය කලබල වෙන්නෙපා.. මම අවස්ථා සම්බන්ධය එහෙම දාල සාහිත්‍ය පාඩමක් කරන්න බලපොරොත්තු වෙන්නේ නෑ).

 හර්ද සූත්‍රය ... සුනේත්‍රා රාජකරුණානායක සහ සමන් අතාවුදහෙට්ටි දෙපලගේ එකමුතු ප්‍රයත්නයක්... කතුවරයන් කියන විදියට "හෘදයාංගම මිනිස් සබඳතා පිළිබඳව අපිම වියාගෙන ඇති කඩතුරා ඉවත්කල කල්හි... දක්නට ලැබෙන සත්‍ය" අකුරු කරපු පොතක්... පුන්සරාගේ ජීවිත කථාව සහ ඒ කථාවේ මුදිත ගේ චරිතය විග්‍රහ කල අපූරු කතන්දරයක් ..පොත කියවලා නැති අයට පොඩි introduction එකක් දෙන්නම්. පුන්සරා කියන්නේ පිස්සු කෙල්ලෙක්.. කැනාස් මල් පෙතිවල,ක්‍රෝටන් කොල වල ඇල්පෙනෙත්තකින් "මට මැරෙන්න ඕනි" කියලා ලියපු කෙල්ලෙක් ... දෙමාපිය ආදරයක් නොදැකපු හරිම අවුල්සගහත ලමා කාලයක් තිබුනු කෙල්ලෙක්... පුදුම තරම් අහිංසක ඒත් පිස්සු හිතක් තිබුනු කෙල්ලෙක් .. හිතට එන හීන කල්පනා ලෝකෙට කියන්න උත්සාහ කරපු,ඒත් කිසිම කෙනෙක් ඒ හිත තේරුම් නොගත්තු තැන හැම හීනයක්ම තමන් හිතෙන් මවාගත්තු virtual චරිතෙකට කියපු කෙල්ලෙක් ...මට හිතෙන්නෙ ඒ පුන්සරා මමයි කියලා ... !! 

පුන්සරාගේ සාමාන්‍ය සරල ජීවිතේට එන සෙල්ලක්කාර ප්‍රධාන චරිතේ මුදිත. ජීවිතේ ගැන බරක්පතලක් නැති, හෙටක් ගැන කල්පනාවක් නැති, ලස්සන හිනාවක්...සූකිරි වචනයක්... ලග තාවකාලික නවාතැන් හදන නූල කැඩුනු සරුංගලයක් වගේ ඔහේ පාවෙන කොල්ලෙක්. පුන්සරා තමුන්ගේ මාළිගාව හදන්න තෝරගන්නේ මුදිතගේ හදවතෙන් පර්චස් දහයක්. බිම්කඩ බලලා ... පිඹුරුපත් ... හදලා මාළිගාව හදන්න වැලි ගඩොල් සිමෙන්ති ගෙනත් ...මාළිගාවේ පාදම හදනකනුත් මුදිත ඒ හැම දේටම ඉඩ දෙනවා... නමුත් පුන්සරා තමන්ගේ මාළිගාව හදන අතරතුර තව පොඩි පොඩි ගෙවල් අටවගන්න පර්චස් තුන හතර ගානේ ලස්සන මූනු තියෙන ගෑනු ලමයිට බෙදන්න මුදිත පසුබට වෙන්නේ නෑ.. ඉතිං පුන්සරා තමන්ගේ මාළිගාවේ ඉදිකිරීම් අතරමග නවත්තලා මුදිතගේ හදවත අතෑරල යන්න යනවා... ඉඩම අතෑරල ගියාට ඒ ඉඩමේ අයිතිය පුන්සරාට කවදාවත් අමතක වෙන්නේ නෑ.. මුදිත අහන්නේ එක ප්‍රශ්නයයි ... මම පුන්සරාට මාළිගාව හදන්න ඉඩ දුන්න නම් ඇයි එයා ඒ ඉඩමෙම පොඩි පොඩි ගෙවල් හදාගන්න දුන්නු එක ගැන මේ තරම් නැහෙන්නේ ?


මේ විදියේ උත්තර නැති උභතෝකොටික ප්‍රශ්න ගොඩක් මැද කතාව ගලාගෙන යනවා. මනුස්ස හැගීම් කවදාවත් ඒකාකාර නෑ, පැහැදිලි කරන්නත් බෑ.. කොහොම හරි පොත කියවද්දි මට හිතුනා මමත් ඒ පුන්සරා වගේ නේද කියලා. මම විතරක් නෙමෙයි ගොඩක් දෙනා.. හිතල බලන්න ..අපි මොකද්ද සම්බන්ධතාවයකින් ලබා ගන්න උත්සාහ කරන්නේ. අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ හිතේ තියෙන රාමුවකට හරියන කෙනෙක් හොයා ගන්න..නැත්නම් හොයා ගත්තු කෙනාව ඒ රාමුවෙ හැඩයට නමලා කපලා හදා ගන්න.මගේ හිතෙත් එහෙම රාමුවක් තිබුනා.. මට ඕනි උනේ අමරදේව මාස්ටර්ගේ සිංදු අහන.. මැජෙස්ටික් සිටි එකෙන් චිත්‍රපටි බලලා කෑම කන, ඩෙනිමයි ෂර්ට් එකයි ඇදලා රබර් සෙරෙප්පු දාල කනට කරාබුවකුත් දාලා .. තුරුලු වෙලා හැන්දෑවක මුහුදු වෙරලේ ඉදන් ගුරු ගීතය ගැන කත කරන විදියෙ කොල්ලෙක්. මගේ requirements වල තිබුනු එකකට එකක් නොගැලපෙන පරස්පර ආශාවන් හින්දමද කොහෙද මගේ රාමුවට ගැලපෙන කෙනෙක් ගොඩක් කල් යනකන් මට හම්බුනේ නෑ... specification එකට ලගින් හරි යන ඒ කෙනා දැක්කම අනිත් හැම දේම අමතක කරල පැනලා බදා ගත්තේ සමහරවිට මම තනිකමෙන් desperate වෙලා හිටි නිසා වෙන්න ඇති.


කොහොම හරි..මමත් හොයා ගත්තේ මුදිත කෙනෙක් ... නූල කැඩුනු සරුංගලයක් වගේ එහෙමත් නැත්නම් හබලක් නැති ඔරුවක් වගේ තැන තැන නතර වෙන ජීවිතයක් .... එහෙම ජීවිතයක හදවත හැමදාම මගේ ලග තියගන්න බෑ කියන එක මට අමතක උනා. හදවතෙන් පර්චස් දහයක් කොටු කරගෙන ගේ හදන්න ගත්තු ගමන් ඒ කොටු කිරීමට බය වෙලා මගේ මුදිතත් පැනලා ගියා..එයාටත් තිබුනේ එකම ප්‍රශ්නයයි.."ඇයි ඔයාටත් බැරි අනිත් අය වගෙ මේ නිවාස සංකීර්ණයේම ඉන්න..ඇයි ඔයාට සින්නක්කර ලියාගන්න ඉඩමක් ඉල්ලන්නේ ..?" ඒ ප්‍රශ්නෙට උත්තරේ මම සිය දහස් පාරක් දීල තිබුනා උනත් එයාට කවදාවත් ඒ උත්තරේ තෙරුනේ නෑ..ඉතින් එයා ගියා.. මම මගේ රාමුවේ බැඳල තිබුනු සරුංගල් නූල ලිහාගෙන... තාවකාලික නවතැන්පොළවල් හොයාගෙන...එයාගේ හදවතෙන් සින්නකරෙටම ඉඩම් කෑල්ලක් නොයිල්ලන ගනුදෙනුකරුවන් හොයාගෙන... එයා ගියා ... එයා වාචිකව එයාගේ නික්ම යෑම ප්‍රකාශ කරන්න කලින් මමත් ගියා ... ඒත් පුන්සරාට වගේම කවදාවත් මට සින්නක්කර අයිතිකරගන්න බැරි උනු ඒ ඉඩමේ මතකයන් තාම මට තියෙනවා.

කථාවේ පුන්සරා ජීවිතේ ඉස්සරහට යනවා..එයා පොත් ගොඩක් ලියනවා..සමාජයේ ප්‍රසිද්ධ චරිතයක් වෙනවා.. ගමෙන් ඇවිත් අඩි දහයක් තනියෙම යන්න නොදැන හිටි පුන්සරා රට රාජ්‍යවල තනියෙම කරක්ගහනවා... මගේ ජීවිතේ පුන්සරාගෙන් වෙනස් වෙන්නේ මේ පියවරේදී ... මම තාමත් කවදාවත් මගේ  වෙලා නොතිබුනු...ඒත් නැති උනා කියලා මට හිතෙන පර්චස් දහය ගැන දුක් වෙවී ඉඩමෙන් එපිට බලාගෙන ඉන්නවා.. ඒ ඉඩමේ ඉදිඋනු නිවාස සංකීරනයේ පුංචි පුංචි ගෙවල් වලින් එබිල බලන ලස්සන මූණු වල සරදම් හිනා බල බල මම තාමත් ඉඩමෙන් එපිට හිටගෙන ඉන්නවා.මම හිතනවා මගේ සම්බන්ධතාවය ගැන මම කොයිතරම් ලොකු මිත්‍යා කඩතුරාවක්ද වියාගෙන හිටියේ කියලා ... දැන් මට ඇත්ත පේනවා..ඒත් ඒ ඇත්ත පිළිගන්න බැරි නිසා..පිළිගන්න අකමැති නිසා.. මම තාමත් එතනමයි..ඒත් කථාවේ පුන්සරා මාව පහු කරගෙන ගොඩක් දුර ගිහිල්ලා...
 
පොතේ අන්තිම ඡේදය....!! අවුරුදු විසිපහකට පස්සේ පුන්සරාව චීනයේ තට්ටු නිවාසයකදි හමු උනු මුදිත මෙහෙම කියනවා  " අනේ සරා, ඉස්සර වෙලා අපි දෙන්නා පරන වැරදීම් ... අතපසු වීම් ... දරුනු වන කැළැල් .... සේරම අමතක කරලා අපිටම ආදරය කරමින් සුවපත් වෙන්න පුලුවන්ද බලමු.දෙන්නෙකුටවත් එකතුවෙලා සුවපත් වෙන්න බැරිනම් කොහොමද අපි ලෝකයක් සුවපත් කරන්නේ ..."

ඇත්ත මුදිත ...
අපි ගැන අපිම මවාගෙන හිටි මහා බොරුවෙන් මිදිලා ... අපි අපිව දාගන්න උත්සාහ කල රාමු වලින් පිට පැනලා ... ඇත්තට මූන දෙමු ... ඔයත් පිළිගන්න ඇත්ත.. මම ඒ ඇත්ත මගේ හිතට ඒත්තු ගන්වන්නම්... ඔයා නිදහසේ පාවෙන සරුංගලයක් මිස එක තැන නවත්ත්තගන්න පුලුවන් ස්ථායි ඒකකයක් නෙමෙයි කියලත් .... තාවකාලික තට්ටු නිවාස මිස කවදාවත් ඔයාගේ හිතේ ස්තාවර මාළිගාවකත ඉඩ නෑ කියලත් මම මගේ හිතට ටිකින් ටික හරි තේරුම් කරන්නම් ....

දන්නවද .... මම මගේ හිත සු
පත් කරගන්න පුලුවන් හර්ද සූත්‍රයක් හොයාගන්නවාමයි.. කවදද කියලා නොදන්නවා උනත් .... කවදම හරි .... !!
 
 


7 comments:

  1. හොදයි.. හොයාගමු...ඇයි ඔයාට බැරි පුන්සරා වගේ ඉදිරියට යන්න.. පුළුවන්.. ඔයාටත් පුළුවන්..යන්න එක පියවරක් තියන්න.. )

    ReplyDelete
  2. නිසන්සලා අක්කගෙන් පාර අහගෙන ඔන්න මාත් මේ පැත්ත‍ට ආවා.. නිකම්ම නෙවෙයි බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ශෙයා කරගෙනම. වෙලාව තියෙන විදියට ලියන ඒවා කියවන්නම්. තාම සින්ඩිකේටර් එකකට ඇඩ් කරලා නැත්නම් මෙන්න මේක බලන්න
    පෝස්ට් එක ලස්සනයි..
    " ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා, සෙනේහයේ රත් පියුමන් යලිත් පිපේවා"

    ReplyDelete
  3. ගීතික කියන විදිහට එන්න අපිත් එක්ක බ්ලොග් අවකාශයේ මිතුරෝ එක්ක එකතු වෙන්න මම ඔයාට mail එකක් දාලා ඇති..දැන් ගොඩක් කල්..ඔයා එක බලලා නැ මම හිතන්නේ.. මම එකේ ලින්ක් දාලා ඇති..අද උදේ Geethika Dilruk ඔය ගේ බ්ලොග් ලින්ක් එක බ්ලොග් අවකාශයේ මිතුරෝ එකට දාලා තිබුණා..එකෙන් ගොඩක් අය බාඳුරා අසපුවට ගොඩ වදිවි..:)

    ReplyDelete
  4. I think now I know the reason......
    හෆොයි.....!

    ReplyDelete
  5. සුනේත්‍රාගේ පොත් හැම එකකටම මන් ආසයි ඒ අතිරින් ප්‍රේම පුරාණය සහ හර්ද සූත්‍රය කීප පාරක් කියවලා තියෙනවා

    ReplyDelete
  6. අදද කොහේද මන් මේකට මුලින්ම ආවේ. මග ඇරිලා තිබ්බ සිරා බ්ලොගයක්නෙ... ආයෙ එන්නම්. ටටා බායි

    ReplyDelete