බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, May 15, 2011

එක්ටැම් ගේ....

අනේ මන්දා... වෙලාවකට මට හිතෙනවා මගේ නිර්මාණාත්මක හැකියාව ආදරයේ අකුරු හතර ඇතුලේ කොටු වෙලාද කියලා ... කවියක්, කතාවක් මොකක් ලියන්න ගත්තත් අන්තිමේ ඉවර වෙන්නේ ආදරය ගැන දොඩවලා ... එළවලු සලාදයක් හදාගන්න හැටි ලියන්න ගත්තත් මම කොහොම හරි එලවළු සලාදෙයි ආදරෙයි සම්බන්ධ කරල තමයි නවතින්නේ. හරියට අර කව්ද ලමයෙක්ට මොන සතා ගැන ලියන්න කිව්වත් අන්තිමේ මැක්කා ගැන ලියල නතර කරනවා වගේ තමයි. මගේ ජීවිතේ නැත්තෙත් ආදරය .. ඒත් මම ලියන්නේත් ආදරය ගැන විතරමයි. ඒකෙත් හැටි ...

කොහොමින් කොහොමින් හරි අද post එකත් ආදරය ගැන :) හරියටම කියනව නම් විරහව ගැන.ආදරයට වඩා විරහව ගැන තියෙන සාහිත්‍ය නිර්මාණ වැඩියි. ඇයි කියන්න දන්නේ නැති උනත් මගේ හිතටත් ආදරයක් තියෙනකොට ලියන්න සිතුවිලි ගලාගෙන එනව අඩුයි තමයි. ඒත් ආදරය නැති උනාම සිතිවිලි ගලාගෙන එන්නේ වක්කඩ කැඩුවා වගේ .. සීමාවක් මායිමක් නැතුව ..

අහලා තියෙනවා ඇති නේද කපුගේ මාස්ටර්ගේ " උන්මාද සිතුවම් " ගීතය. පුදුම ලබැඳි කටහඩක්. මත්පැන් සහ දුම්වැටි නිසා අකාලයේ අපෙන් වෙන් උනු කට හඩක්.දැන් මම කියන්න යන දේට මට ගොඩක් අය බනින්න පුලුවන්. ඒත් මම ලියන්නේ මට හිතෙන දේ.... හරි උනත් වැරදි උනත් :) ගොඩක් කලාකරුවො මත්පැන් පානය කරනවා. ඒ නිසාම හරිම ඉක්මනින් සමාජයෙන් සමු ගන්නවා. මත්පැන් සෞඛ්‍යට අහිතකරයි.ඒ ගැන කථා දෙකක් නෑ. නමුත් අධි සංවේදී හිතකට මේ ලෝකේ වෙන ගොඩක් දේවල් දරාගන්න බෑ.ගණිකාවකගේ ළැමට යටින් ළයක් දකින්න පුලුවන් හිතකට ... අමාවක අහසේ ලස්සනක් දකින්න පුලුවන් හිතකට ... නොකියපු කථාවක් අහන්න පුලුවන් හිතකට ... මේ ලෝකයේ තියෙන නපුර දරාගන්න බෑ. ඒ නිසාම වෙන්න ඇති එහෙම හිත් මත්පැන් වල පිහිට පතන්නේ. මේ ලෝකේ තියෙන කුරිරුකමෙන් මදකට මිදෙන්න, හද පොදි බැඳි දුක දියකරලා පාකරලා අරින්න, ටික වෙලාවකට හරි මවාගත්තු හීන ලෝකෙක සතුටු වෙන්න ...

අපොයි post එක කැලේ යන හැඩයි. විරහව ගැනනේ ලියන්න ගත්තේ.හරි අද ලියන්නේ කපුගේ මාස්ටර්ගේ "උන්මාද සිතුවම් ගීතය ගැන". මේක එක්තරා විදියකට මගේ ජීවිතයේ තේමා ගීතය. Posh නැති උනත්, ලස්සන classy video නැති උනත් මේ ගීතය මට ගොඩාක් සමීපයි. මට ලියාගන්න බැරි උනු ගීතය මම වෙනුවෙන් වෙන කෙනෙක් ලියලා කියලයි මට හිතෙන්නේ. ඉංග්‍රිසි ගීතයකින් කවදාවත් සිංහල හදවතකට කතා කරන්න බෑ. මම හැමදාමත් විස්වාස කරන දෙයක් තමයි " I Love You " කියනවට වඩා ගොඩක් ලොකු ශක්තියක් ඕනි " මම ඔයාට ආදරෙයි " කියන්න.සිංහල හරිම ආදරණීය ලෙංගතු භාෂාවක්. ඒ නිසා ඉංග්‍රිසි ගීත පෝලිමකින් මගේ හිත මට කියන්න බෑ. posh නෑ, trendy නෑ, cool නෑ. ඒත් මේ මගේ ගීතය ... මේ මගේ හිත.  

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ....

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාලු හුදකලා සුළග පමනි උරුමේ
හඩාවැටෙන සිත සදා සරන මට
තනිවේවි එක්ටැම් ගේ...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක් ටැම් ගේ ...





කට හඬ, නාද මාලාව,පද මාලාව හැම එකක්ම කොහේ හරි හීන ලෝකෙක ඉදලා හදවතට කතාකරනවා වගෙයි දැනෙන්නේ.මට හිතෙන්නේ එක්ටැම්ගෙයි පියගැට පෙළ නගින්නේ මම කියලයි. පාලු මුහුදේ මූසල අදෝනාව මැදින් මම ඉමක් නොපෙනෙන පටු පියගැට පෙලක් දිගේ නැඟගෙන නැඟගෙන යනවා...   

"බිඳුනු පෙමින් ගිනිගත් හදවත්", හරිම සංවේදී වචන ටිකක්.ඇත්තටම බිඳුනු පෙමකින් විදවන හදවතක් එකම ගිනි ගොඩක් තමයි. "ඔයා යන්න, මට දුක නෑ, මට කමක් නෑ, මම හිත හදා ගන්නම්,මට තරහක් නෑ" මේ හැම දේම බොළඳ ප්‍රේමකථා වල වීර චරිතේ දෙබස් විතරයි.ආදරය බිඳුනම ඇවිලෙන හදවතකට ඕනි හැම දෙයක්ම ගිනි තියන්න. මුලු ලෝකෙම ගිනිතියලා අලු කරලා දාන්න.ඒත් මේ ගීතයේ ඇවිලුනු හදවත එක් ටැම් ගෙයක හිරකරලා.ඉතින් දැවෙන්නේ ඒ හදවත විතරයි.දැවිලා අලු වෙලා යන්නේ ඒ හදවත විතරමයි.කවදාවත් කවුරුවත්, අඩුමගානේ ගිනි තියපු කෙනාවත් භෂ්මාවශේෂ දකින එකක් නෑ.ඒ හැමදේම එක්ටැම් ගෙටම කොටු වෙලා තියේවි හැමදාමත්... ඒකයි මම මේ ගීතයට ආදරේ ... !!  

දහසක් මල් මැද එකම මලක් පතන එක ලේසි නෑ.දහසක් මල්වල දහසක් පෙති මැද,දහසක් සුවද මැද එකම මලකට ජීවිතේ පූජා කරන එක ලේසි නෑ.ඒත් එහෙව් මලක්, ජීවිතය දෙවෙනි කරලා ආදරය කල මලක්, ඒ ආදරයට හිනා වෙලා,ගරහලා,පයින් ගහලා,කෙල ගහලා ගියාම... යනවා නම් යනවා කියල හරි විදියට සමු අරගෙන නොගිහින් ඔහේ කුණු ගොඩක් විසිකරන ගානට ආදරය කල හදවත විසි කරලා යන්න ගියාම ... පිලිගන්න බැරි උනත් කරපු ආදරයේ වටිනාකමට ගරු නොකර අවලංගු කාසියක් ගානට ඒ ආදරේට සැලකුවම ... වැරදි හදාගන්න ඉඩක් නොදී තමන්ට ඇති උනාම මහ වැරදි ගොන්නක් හොයාගෙන බෙරිහන් දීලා අලුත්කෙනෙක් එක්ක සතුට හොයාගෙන ගියාම ..... දැනෙන සිතුවිලි කවදාවත්ම වචනයට පෙරලන්න බෑ.ඒත් තාමත් ඒ මලේ සුවද දැනෙනවා, හැමදාම.. හැම මොහොතකම ... ඒ පෙර කරුමෙට ... එහෙමයි මම හිතන්නේ .. අමතක කරන්න බැරි පෙර කරුමෙට .... කරපු පාපකර්ම වලට .... !!
 ..........................................................................................................................................................

ඇතිවෙලා නැති වෙලා ගිය ආදරයක් හරියට පිළිකාවක් වගේ.ආදරයේ මතකයන් පිළිකාවක් වගේ හදවත කාගෙන කාගෙන යනවා. පිළිකාව මැරෙන්නේ ධාරක ශරීරය මැරුනු දවසට.බිඳුනු,රැවටුනු පෙමක මතකයන් මැරෙන්නෙත් ඒ මතක පිරුනු හිත මැරුනු දවසට... ඒ දවස  එනකන්, එක්ටැම් ගෙයක හිරවුනු පාලු හුදකලා කදුලක් විතරයි එහෙව් හදවතකට උරුම ... හරියට පිළිකාවකින් විදවනවා වගේමයි ... !!

අදට ඇති .. :) "ඇයි හැමදාමත් දුක ලියන්නේ? ඔයාගේ blog එක එකම අදෝනාවක් .. ඇයි ඒ? කියලා අහන හැමෝටමයි මේ පද හතර ... 

නේක දුක් හදවත දවද්දී...
නිවාලන්නේ කෙලෙස ඔබ හද...
බිඳුනු පෙම ඉකි බිඳ හඩද්දී...
සිනා රැල්ලක වේද සොම්නස ....


හිතනවා හැමදාම අහන ප්‍රශ්නෙට උත්තර ලැබුනා කියලා ... !!

No comments:

Post a Comment