බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, May 16, 2011

මම නිදිකුම්බා මලක් වෙමි ... :)

මම පොල් ගසක් වෙමි, මම පැන්සලක් වෙමි, කියල පොඩි කාලේ සිංහල වලට රචනා ලියද්දි මට හැමදාමත් හිතුනා ඇයි මට වෙනස් දෙයක් ගැන රචනාවක් ලියන්න බැරි කියලා. රෝස මලක් කතා කරයි කියන මාතෘකාව යටතේ පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ සර් රචනාවක් ලියන්න කිව්වම මම අත උස්සලා ඇහුවේ "අනේ සර්, රෝස මලක් නෙමෙයි, නිදිකුම්බා මලක් කතා කරයි කියලා ලියන්න බැරිද? " කියලයි. ඒත් ශ්‍රිලාංකේය යල් පැනගිය ගිරා පාඩම් ක්‍රමයට පිං සිද්ධ වෙන්න මට රෝසමල වෙනුවට නිදිකුම්බා මල ආදේශ කරන්න ඉඩක් ලැබුනේ නෑ එදා .... ඒත් අද මම වෙනස්. අද මම මගේ රචනාව ලියනවා මට ඕනි හැටියට .. :)





ඔව්.... මම නිදිකුම්බා මලක්. ජීව විද්‍යාත්මක භාෂාවෙන් කියනවා නම් Mimosa pudica ශාඛයේ ප්‍රජනන මූලාංගයක්. පුංචි කටු පඳුරක් සරසන පුංචි මලක්. රෝස මලකට ලැබෙන අවධානය, ආදරය කවදාවත් අත්දැකපු නැති; ලෝකයේ ඇස් වලින් වහං උනු මලක් මම. ලංවෙලා බලන්න කිසිකෙනෙක් උනන්දු වෙන්නේ නැති, සුවඳක් නැති, දේදුනු වර්න නැති, සරල චාම් මලක් මම. හිස සරසන්න, ගත සරසන්න, බුදු පුදට මලසුනට ගන්න, හීනෙකින්වත් හිතන්නේ නැති මලක් මම. රෝස මලකට වහ වැටෙන, පිපෙනකන් නොයිවසිල්ලෙන් පොරකන බඹරු සමනලයෝ, ගිමන් නිවාගන්නවත් ලැගුම් නොගන්න පුංචි නොසලකා හල මලක් මම.මහා මන්දිරයේ ඉදන් දුගී පැල වෙනකන් වතුර දාල, පෝර දාල, දහසක් දුක් විදලා වවාගන්න දඟලන රෝස පැලයක මලක් නෙමෙයි මම.මන්දිරයේ ඉදලා අතු පැල වෙනකන් හැමදෙනාම උදලුගාලා, ගලවලා, වල්නාශක ගහලා විනාස කරන්න හදන කරදරකාර නිදිකුම්බා පැළයක මලක් මම. අද පිපිලා හෙට පරවෙලා යන, ලස්සනක් අමුත්තක් කවුරුත් නොදකින, කාටත් වදයක් කරදරයක් උනු ඇබිත්තං නිදිකුම්බා මලක් මම.

ඒත් ................

ඉඩහසරක් ලැබුනු වෙලාවක රෝස මල හිතෙන් අමතක කරලා පොඩ්ඩකට මා දිහාවත් උවමනාවෙන් බලන්න. හිටගෙන දෙපා මට්ටමෙන් ඇහැ තියාගෙන නෙමෙයි, මා ලග දණගහලා ලං වෙලා බලන්න. පේනවද ... මමත් මලක්. රෝස මලකටත් වඩා සියුම් පෙති තියෙන මලක්. අතගාල බැලුවත් තැලෙන තරම් මගේ පෙති සියුම්.මමත් රෝස පාටයි.තව ටිකක් කිට්ටුවට එන්න.මගේ ලා රෝස පාටත් ලස්සනට පෙනේවි සමහරවිට. රෝස මලෙත් නටුවේ කටු නේද? එහෙනම් ඇයි මගේ කටු වලට මේ තරම් වෛර කරන්නේ? රෝස නටුවේ කටු තරම් මගේ කටු සැර නෑ නේද? එහෙනම් ඇයි මාව විතරක් මේ තරම් වදයක් වෙලා තියෙනේ? ඇයි මම වල් පැලයක් .. රෝස කුමාරි මල් පැලයක් වෙලා ?

ඇත්ත... ලෝක සම්මතය ඒකයි. රෝස මල වටිනා, ලස්සන, වැදගත්, මලක්.. නිදි කුම්බා මල වල් ගහක පිපුනු වල් මලක්.. ඒ නිසා මම කවදවත් කියන්නේ නෑ රෝසමලට දුන්නු තැන මට දෙන්න කියලා.මම කියන්නේ නෑ මාවත් ගෙනිහින් ගෙදර මිදුලේ හිටවගන්න කියලා.මම කියන්නේ නෑ වතුර දාල පෝර දාලා මාවත් රැක බලාගන්න කියලා.මම ඉල්ලන්නේ එක දෙයයි. විනාඩි ගානක් කැප කරල මගේ දිහාත් ටිකක් උවමනාවෙන් බලන්න. පයට පාගගෙන පොඩි කරගෙන යන මගේ දිහා ටිකක් බලන්න. වල් ගහේ වල් මලක් කියල තරහින් නැතුව ආදරෙන් එක මොහොතකට මගේ පුංචි පෙති අතගාල බලන්න. සිනිඳුයි නේද? මලකට උරුම සිනිඳු බව තියෙනවා නේද? ඒත් ගහේ කටු දිහා විතරයි නේද හැමදාමත් බැලුවේ.. ?

මම රෝස මලක් නෙමෙයි. කෑගහලා කියන්නේ හැමෝටම ඇහෙන්න. මම නිදිකුම්බා මලක්. හැබැයි මම ආඩම්බරයි මගේ ආත්මය ගැන. හැමෝම ආදරය කරන අයිතිකරගන්න දගලන රෝස මලක් වෙනවට වඩා මට ලෙංගතුයි මේ නිදිකුම්බා මල් ජීවිතය. කවදා හරි කොහේ හරි ඉදලා නිදිකුම්බා මලකට ආදරය කරන කෙනෙක් ඒවි ... රෝස මලෙන් නොදැකපු ලස්සනක් නිදිකුම්බා මලේ දකීවි ... වල් පැලයවත්, ඒ පැලේ කටුවත් නැතුව මගේ පෙති වල සිනිඳු බව විතරක්ම දකීවි ... රෝස මලේ තද රතු පාටට නැතුව මගේ ලා රෝස පාටට ආදරය කරාවි ... ඒ දවස එනකන් මම බලාගෙන ඉන්නවා .... !!


4 comments:

  1. හ්ම්... නියම රචනයක්...
    ඇත්ත නිදිකුම්බා මලක් දිහා කවුරුත් බලන්නෙ නැනෙ... ඒත් ඒ පිපෙන මලත් ලස්සන මලක්.... රෝස මල වගේම මලක්

    ReplyDelete
  2. ඔබට,
    තිත නොතිත් විශ්වයකි
    පිනි බිඳුව මහ සයුරකි
    අසුරුසැන කල්පෙකි
    අබැට කප්රුකකී
    ඔබේ සිත....
    වෙරලත හැපි හැපී නොපෙළෙන
    ගොඩ බිම් තෙම තෙමා නොසිදෙන
    බැසෙන
    නැගෙන
    උදම්ලන
    පුනරුක්තියක් නැති
    රැලි මත රැලි නැගී නලියන
    .....අනන්ත සන්තානයකි .

    ReplyDelete
    Replies
    1. ඔව් .. මම එහෙමයි .. :)
      පද වැල අපූරුයි, තවත් ඌණ පූර්ණය කරන්න නැති තරමටම සර්ව සම්පූර්ණයි.
      ස්තූතියි, කොමෙන්ටුවට ..!!

      Delete