බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, December 8, 2011

~ ආදරයට ආදරෙන් ලියමි ~

මුලින් මේ වීඩියෝ එක බලන්න .... !!

ගොඩක් දෙනා දැකලා ඇති.. ඒත් අද බලනවා කියල හිතාගෙන....
දකිනවට නෙමෙයි....
උවමනාවෙන්
බලන්න..... 
ඇහෙනවට නෙමෙයි ...
වචනයක් වචනයක් ගානේ හිතට අරගෙන
අහන්න....


 සමහරවිට අද ලියමනේ මුලක් මැදක් අගක් නැති වෙන්න පුලුවන් ... සාහිත්‍යක් තියා ලියලා තියෙන්නේ මොනවා ගැනද කියලවත් නොතේරෙන්නත් පුලුවන්.. මේක තනිකරම මගේ ඔලුවේ කැකෑරෙන සිතිවිලි එලියට නිදහස් කරන්න ගන්න වෑයමක් විතරයි ... එච්චරයි ... 

ඇහුවද දාල තියෙන සිංදුව..?

මම ආසකරන සිංදුවක්.. ඒ වගේම දකින දකින වාරයක් ගානේ මාව අඩවන රූපරාමු පෙළක්... 

අද මේ සිංදුව මතක් උනේ කාර්යාලයීය සගයෙක් කිව්ව කතාවක් අහලා... එයාගේ ආදරය ඉන්නේ දුර.. ගොඩාක් දුර රටක.. ඒත් මගේ යාලුවට එයාව පේනවලු.. බස් ස්ටෑන්ඩ් එකේ... පාරක් පාරක් ගානේ එයාව පේනවලු .. 

ඒ වෙලාවේ ඉඳලා මට මේ රූප ටික එක පෙළට පේනවා.. එක දිගට... දිගට දිගටම ...

යාලු ...
අද ලියමන ඔයාගේ ඒ ආදරේ වෙනුවෙන් ...

අපි හැම දෙනාටම ආදරේ කරන්න කවුරුම හරි ඉන්නවා..දෙමාපියෝ..එහෙමත් නැත්නම් සහෝදර සහෝදරියෝ... යාලුවෝ..කවුරු හරි ...
අපි කවුරුත් තනි නෑ..

ඒත් ...

එක විදියක ආදරේක අඩුවක් කාගෙත් ජීවිත වලට දැනෙනවා... දෙමාපිය ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්න බෑ වගේම ආදරවන්තයෙක්ගෙන් ආදරවන්තියෙක්ගෙන් ලබන ආදරය පුරවන්න වෙන කිසිම විදියක ආදරයකට බෑ.තනියෙම ඉන්න පුලුවන් කියලා හිතුවට..තනියක් නෑ කියල හිතුවට... තනිවෙන එක මොහොතකට ... අනිත් අර්ධයේ අඩුව හිතට දැනෙන එක නවත්තන්න කිසිම මනුස්සයෙක්ට බෑ...

කෑමපත දිග අරින වෙලාවට අනිත් පැත්තෙන් බත් කට අනන පුරුදු අත නැත්නම් ... පාරේ යනෙන වෙලාවට අත වදින නොවදින මානයේ පුරුදු ඇඟිලිවල පහස නැත්නම්...... ඒ දැනෙන අඩුව ඒ දැනෙන හිස් බව මහ මූසල කාලකන්නි හැඟීමක්... 

දුකක් දැනුනු වෙලාවට කතා කරලා දුක නිවාගන්න පුරුදු කටහඬ නැත්නම් .... කාලකන්නි මූණු ඔරවන මූණු වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවට පුරුදු හිනා මූණ දැකගන්න බැරි නම් .... වැඩක් කර කර ඉන්නකොට ඇස් කොනට පේන ඇස් දෙකේ බැල්ම නැත්නම් .... කොටින්ම ලඟ ඉන්නවා කියලා හිතෙන බැඳීම නැත්නම්... ඒ ජීවිතය හිස්... හැඟීමක් දැනීමක් නැති.. අයාලේ පාවෙන දිරපු අතුරිකිල්ලක් වගේ.... එල්ලයක් ... ආසාවක් නැති.. පාවෙන ජීවිතයක් ... කම්මැලි ජීවිතයක්....

ආදරයක් කියන්නේ සංසාරගත බැඳීමක්... ඒකයි මගේ විස්වාසය.. දකින දකින කෙනා එක්ක ආදරයෙන් බැඳෙන්න බැරි සහ හිතේ ඇතිවෙන ආදරයක් ලේසියෙන් මරන්න බැරිවෙන හේතුවත් ඒකමයි... මම හිතන්නේ නෑ අවුරුද්දට එක ගානේ ඇත්ත ආදරයක් කරන්න පුලුවන් කියලා.. කවුරු මොනවා කිව්වත්.. කාගෙත් හිතේ එක ආදරයක් පැලපදියම් වෙලා තියෙනවා.. උදේ පාන්දර ඇහැරුනු ගමන් හිතට එන ආදරය.. හිතට එන මතකයක් කාටත් තියෙනවා.. අන්න එතනයි මම විස්වාස කරන ඇත්ත ආදරය තියෙන්නේ ....

ගිනි කාශ්ටක අතරින්... සැඩ මාරුත අතරින් නොසැලී එන ආදරය ඇත්තටම පූජනීයයි... 

කාසි වලට විකිනෙන හැඟීම අතරේ ... ඇඳක මායිමට සීමා උනු රාග ගින්නෙන් ඉපදුනු ලාබ සම්බන්ධතා අතරේ .... බැඳීමක් නැති ප්‍රේම කොන්තරාත්තු අතරේ .... ප්‍රදර්ශන ආදර ෆැන්ටසි අතරේ ....

යාලු ... 
ඔයාලගේ ආදරය මැණිකක් වගේ ...

විස්වාස කරන්න ...

මම ඇත්ත ආදරයක් ගැන අදටත් විස්වාස කරනව නම් කරන්නේ ....
ඔයාල වගේ කීප දෙනෙක්ගේ ආදරය දිහා බලාගෙන...
නැත්නම් මම ඇත්ත ආදරය කියන්නේ ෆැන්ටසියක් කියලා මේ වෙද්දි හිත හදාගෙන...
එහෙම උනා නම් මමත් ආදරයක් විස්වාස නොකරන හැගීමක් දැනීමක් නැති නරුමයෙක් වෙලා අද වෙද්දි..

ඒත් ඔයාල වගේ කීප දෙනෙක් මට විස්වාසය දෙනව..
ආදරයක් තියෙනව කියල මත ඔප්පු කරනවා..

ස්තූතියි ...

කාලෙකට පස්සෙ මට අද දුකක් දැනෙනවා..
ඒ ගැන මට සතුටුයි...
මම තාම හැහඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් වීම ගැන මට සතුටුයි..
මම හිතුව මම රොබෝවෙක් කියලා ..

නෑ..

මට දැනෙනවා..
මට පාලු දැනෙනවා ...

අදට නවතින්නම්...
මහගම සේකරයන්ගේ මේ කවි පෙලත් එක්ක ...

නිම් වලල්ලෙන් එපිට සඳ රැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතු වී
ඔබේ පා මුදු හඩ ඇසේ.

පෙල ගැසී දුර වන්දනාවක
ඉගිල යන සමනලුන්ගේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ ...

දහස් මුවගින් නැගෙන ඔල්වර
සිනා හඩ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ
මහත් තනියක් මට දැනේ ...

අහස් ගගබඩ හිමව් කුලු මත
ඔබෙ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ ....


10 comments:

  1. ‎'භක්ති ප්‍රේමය ගෞරවය හෝ
    කුමක් කීවද ඒ එකක් වත්
    නොවේ සෙනෙහස

    ඈත සිට පිරිනමන භක්තිය
    ගෙනත් පාමුල තබන බුහුමන
    ඒ එකක් වත්
    නොවේ සෙනෙහස

    දිවා රෑ දෙක හද සමීපේ
    දෑස නොපියා බලා ඉන්නා
    දෙයකි සෙනෙහස

    නොලැබ පරිභව මුත් කිසිත් අන්
    මොළොක් තෙපුලක් ලබා ගැන්මට
    ජීවිතය තිබෙනා තුරා
    මුහුණ මත ඇස් රඳා ඉන්නා
    දෙයකි සෙනෙහස'

    ReplyDelete
  2. හිතට තදින්ම දැනුනා..අසනිගෙ ආදරෙත් තියෙන්නේ අසනිගෙන් ගොඩක් දුර..ඒත් ඒ සුවද වෙලාවකට මට ඇත්තටම දැනෙනවා..ඒ වෙලාවට දරා ගන්න බැරි තරම් වෙදනාවත් දැනෙනවා..ලගින් ඉද්දි පස්සෙන්ම ඇවිත්..ආදරේ දෙන හැටි..

    දවසක ඒ ආදරේ දාලා යන්න බැරි තරම් ලෝබයි...

    ReplyDelete
  3. ආදරය විශ්වාස කරන්න එපා,ඒක දකින්න බලන්න.හොඳින් ම දැක්කට පස්සේ විශ්වාස කරාට කමක් නෑ ඔන්න.තමන්ට අවංක නම් පසු තැවෙන්න වෙන්නේ නැහැ හරිද.
    හිතේ ඉන්න කෙනා නොලැබෙන්න පුළුවන්/ලැබෙන්නත් පුළුවන් ,ආදරේ කරපු කෙනා නොලැබෙන්න පුළුවන්/ලැබෙන්නත් පුළුවන් .,හැබය් ජීවිතේ පරදින්නේ නැහැ.....heh

    ReplyDelete
  4. please don't over abuse love

    ReplyDelete
  5. ආදරේ කියන්නේ හරි අමුතු දෙයක් තමා. කොහොම නමුත් මම ආදරේ කියන්නේ මොකක්ද කියලා තාම හොයන කෙනෙක්...........

    ReplyDelete
  6. @ Ano :: May I Please Know where I have ABUSED love ?
    I d prefer comments with name .. coz I hate ppl who dsnt have a backbone to say what they want to say straight !!

    ReplyDelete
  7. වීඩියෝ එක ලස්සනම ලස්සනයි. සින්දුවේ වචන වලට හිත යොමු කරන්න හම්බුනේ නෑ, රූප රාමු දිහාම බලං හිටියා. මුල සැරේ බලද්දී මේ රූප රාමු චිත්‍රපටයකින් උපුට ගත්තු ඒවා වෙන්න ඇති කියලා හිතුණා. ඒ චිත්‍රපටය හොයාගෙන බලන්න හිතුනා. එක සැරයක් බලලා අපේ මහත්තයවත් ඇදගෙන ඇවිත් එයත් එක්ක ආයෙමත් බලන්න ගත්තා. මෙන්න බොලේ මුල සැරේ හොඳට බලපු මට දෙවෙනි සැරේ එයත් එක්ක ඉඳගෙන බලද්දි හෝ ගාලා ඇඬෙන්න ගත්තා.

    ඔයාගෙ ලිපිය හැමදාමත් වගේ උපරිමයි වාසනා. සුභ පැතුම්.

    ආදරේ විශ්වාස කරන්න. විශ්වාසය බිඳෙන කාරනා සිද්ධ උනොත් විශ්වාසය රඳවගන්න හේතු හොයාගන්න.

    When you want it the most there's no easy way out
    When you're ready to go and your heart's left in doubt
    Don't give up on your faith
    Love comes to those who believe it
    And that's the way it is

    ReplyDelete
  8. අදයි මම මේ පැත්තට මුලින්ම ආවේ.. මේ පෝස්ට් එක මං අමතක කරන්න හදන අතීතය ආයෙම අළුත් කලා..

    ReplyDelete
  9. අක්කි ආදරේ ගැන වේදනාවෙන් පසු වෙන නිසාදෝ මන්දා... :O අක්කි ආදරේ ගැන ලියන පොස්ට් බොහෝමයක් මගේ හදවතට තදින්ම දැනුණා..

    ReplyDelete
  10. නමක් ගමක් ඇතුව මම ලියපු දේකට තමන්ගේ අදහස් දක්වපු එකට වගේම.... දාපු අදහස් දිගටම තියෙන්න අරින්න තරම් ආත්මශක්තියක් තිබුනු එකට... ස්තූතියි හැමදෙනාටම ... :)

    ReplyDelete