බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, December 29, 2011

~ කඳුලින් ඇරඹි ... කඳුලින්ම නිමා වන ... 2011 ~

චාරිකා සටහන් ලියවිල්ල පොඩ්ඩක් කල් තියලා 2011 මගේ ජීවිතය ගැන ආයෙම හැරිලා බලන්න හිතුනා ... අද මගේ නීතිපීඨ අවසන් වසරේ නිබන්ධනයේ අන්තිම දවස... ඒත් මම ඒ නිබන්ධනය භාර දුන්නේ නෑ... තවත් අවුරුද්දකින් උපාධිය දිග වීමේ සතුට සමරන්න... එන්න මාව අඩවපු හැමෝම .... :)

2011... මගේ අවුරුදු 26ක ජීවිත කාලේට මම අත්වින්ද නරකම අවුරුද්ද... නාඩපු දවසක් නැති තරම් .... සතුටින් හිටි එක මොහොතක් නැති තරම්.... ඇතුලින් ලේ කඳුලු කර කර ලෝකෙට පේන්න හිනා වෙන්න මුලු ශක්තියම කැප කල අවුරුද්දක් ... කිසිම දෙයක් නොකල..කිසිම ජයක් නොලබපු... කිසිල දෙයක් සම්පූර්ණ නොකරපු... අසම්පූර්ණ අවුරුද්දක් ....




මම ....
කවදාවත් කාටවත් හිතා මතා දුකක් දුන්නු කෙනෙක් නෙමෙයි ... හැමදාමත් මිනිස්සුන්ට දෙන්නේ මොනවද කියලා මිස මිනිස්සුන්ගෙන් ගන්නේ මොනවද කියලා හිතපු කෙනෙකුත් නෙමෙයි.මට ඕනි උනේ දෙන්න..මගේ ලග තියෙන හැමදේම ... වෙලාව .. මහන්සිය..සතුට.. හිනාව.. හැමදේම ... මිනිස්සුත් ඒ හැමදේම ගත්තා... දෙන්න දෙන්න,පුදුම සතුටකින් ගත්තා... මම කවදාවත් ඒ දුන්නු දේවල් වලට ආපිට මුකුත් බලාපොරොත්තු නොවුනත්, මම හිතුවේ නෑ ඒ දුන්නු දේවල් නිසා මට විඳවන්න වෙයි කියලා.

ලෝකයෙන් බැනුම් අහගෙන ... දෙමාපියන්ගෙන් බැනුම් අහගෙන ... ළගට ගත්තු මිනිස්සුම ... මට දාහක් කථා කියලා..නින්දා කරන්න පුලුවන් හැම විදියෙන්ම නින්දා කරලා... යන්න ගියා..අද වෙනකන් තමුන් කල කිසිම දෙයක වැරැද්දක් නොදැක... මගේම වැරදි කිය කිය..මටම බනින්න තරම් මම ලගට ගත්තු මිනිස්සු දරුණු වෙලා ...

මේ අවුරුද්ද පටන් ගත්තේ කඳුලින්... අවුරුද්ද පුරාවටම ඒ කඳුලු ඇල්ල එක සීරුවට කඩාගෙන වැටුනා.. එදා අඩන්න හදනකොට කඳුලු පිහිදන්න ලඟින් හිටි උදවියම අඩපන් අඩපන් කියලා අවුරුද්ද පුරාවටම ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා... අඩන්න කඳුලු නැති උන තැන ඇස් කෙවෙනි වලින් ගැලුව ලේ බින්දු කාලයක් මම ආදරය කල අයම රිදී කුසලාන වලට එකතු කරගෙන මධු සාද පැවැත්තුවා...

මම දිගටම ඇඩුවා ...



2011... ශ්‍රිලංකා තොරතුරු තාක්ෂන ආයතනයේ උපාධිය ලබා ගත්තු අවුරුද්ද... මගේ ජීවිතේ තිබුනු ලොකුම ලොකු හීනයක් ඉටු කරගන්න මම මග බලාගෙන හිටි අවස්ථාවක්... ඒ හීනය වෙනුවෙන් මම ගොඩක් දේ පරිත්‍යාග කලා..කාතවත් හිතාගන්න බැරිතරම්..කවුරුත් නොදන්න තරම් ගොඩක් දේ...

ඔව්...

මට උපාධිය ලැබුනා... උපාධි ලෝගුව දාල උපාධි තොප්පිය දාල අත්පුඩි හඩ මැද උපාධි සහතිකේ මට ලැබුනා..

ඒත් ...

මගේ හීනය..

අවුරුදු තුනක් පුරාවට මම ඉටුකරගන්න බලාගෙන හිටි හීනය..මගේ හැමදෙයක්ම මම කැප කල හීනය කෑලි කෑලි වලට කැඩිලා සරසවි බිම පුරාම විසිරිලා තිබුනා... හරිම අහිංසක හීනයක් එදා ඒ බිමේදි මැරිලා ගියා...

මිනිස්සුන්ගේ ජීවිත වල මගේ චරිතය එක එක විදියෙන් අරුත්ගන්වන හැටි මම බලාගෙන හිටියා... කාලයt එක්ක මගේ චරිතය තමුසයෙක්,එක එකෙක්, කොහෙවත් යන එකෙක් වෙන හැටි මම බලාගෙන හිටියා... කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ආපු සුලි කුනාටු මගේ පුංචි ඔරුව කෑලි කෑලි වලට කඩන හැටි මම නිසොල්මනේ බලාගෙන හිටියා... කැඩුනු සුන් බුන් උනු ඔරු බඳේ එල්ලිල පණගැට ගහගන්න හදනකොට.. කුඩු පට්ටම් උනු ලී කෑල්ල අල්ලගෙන හිටි ඇඟිලි වලින් ලේ එනකන් පයින් ගහන්න මිනිස්සු පෙළඹුනා... සතුටු උනා ඒ හැමෝම ... මම ඒ හැමෝටම ආතල් දෙන කවටයෙක් උනා...

විභාග වලට මූන දුන්නා.. ඒත් .. කවදාවත් විභාගයක් ෆේල් නොවුනු වාසනා ඒ වෙනකොට මැරිලා... එක පිට එක අසමත් ලකුණත් එක්ක ප්‍රථිපල සටහන් එද්දි මම හිනා උනා.. සතුටු හිතුනා මිනිස්සුන්ට ඕන උනු දේ මම දුන්න කියලා හිතලා... නෑ..ඒත් මදි..තවත් මදි ... මම ජීවත් වෙලා ඉන්නකන් ඒ මිනිස්සුන්ට සතුටක් නෑ..කවද හරි මම නිදියන හතර රියන උඩ සාදයක් පවත්වන්න පුලුවන් උනු දාට ඒ මිනිස්සුන්ට සතුටක් දැනෙයි.. දුක් වෙන්න දෙයක් නෑ..ඒ දවසත් වැඩි දුර නෑ ... :)

මම ආදරය කලා.. ජීවිත කාලයේ කල ඒ එකම වරදට නොසෑහෙන්න දුක් වින්දා... ගොඩක් දේ අහගත්තා.. ගොඩක් දේ දැක්කා.. ගොඩක් දේ වින්දා... මම මාව තේරුම් ගනී කියලා හිතපු අයට, මට අනුකම්පා කරන්න කියලා, පිට මිනිස්සුන්ට කියන්න වෙන තරමට අනුකම්පා සහගත පහත් අඩියකට මාව වැටුනා ...

කොහොම හරි.. ලබන්නේ අලුත් අවුරුද්දක්... මට හීන නෑ..බලාපොරොත්තු නෑ..ඉෂ්ට කරගන්න ආසාවල් නෑ..කොටින්ම මම නරුමයෙක්..ඇවිදින රොබෝවෙක්... කිසිම පලකට නැති..කිසිම තේරුමක් නැති..පාවෙන ජීවිතයක් ... ලබන අවුරුද්ද මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන අවුරුද්දක්. තවමත් ඒ වෙනස් වෙන්නේ කොහොමද කවදද කියන එක ගැන මම දන්නේ නෑ...ඒ මගේ ජීවිතේ තවදුරටත් මට අයිති නැති නිසා.. මම මගේ ජීවිතේ ජීවත් වෙන්න උත්සාහ කලා.. මට වැරදුනා.. ඒ නිසා මම මගේ ජීවිතේ සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට සහ ලෝකයට පැවරුව... කැමති දෙනෙක් කැමති දෙයක් කරගත්තාවේ... මට තවදුරටත් මුකුත් දැනෙන්නේ නෑ ...




වාසනා ව දැනගෙන හිටි අය මේ බ්ලොග් එක කියවනව ඇති.. ආයේ අපි කවදම හරි හම්බු උනොත් ඔයාල දැකල පුරුදු..ඔයාල කථා කරල පුරුදු වාසනාව දකින්න හිතන්න එපා... එයා නෑ..එයා ආයෙම එන්නෙත් නෑ... 2011ත් එක්ක ඒ වාසනා වැලලිලා.. අලුත් වාසනාව ඔයාල අදුරන එකක් නෑ..මෙයා ගොඩක් වෙනස්..කාටවත් උදව්වක් කරන්නේ නැති..කාගෙවත් ගැන බලන්නේ නැති..හිනාවක් අඳුරන්නේ නැති... ඇවිදින මලමිනියක් විතරයි...

තේරුමක් ඇති පෝස්ට් එකක් නෙමෙයි..දන්නවා මගේ යාලුවෝ හැමෝම මට මේකට බනිනවා කියලා..අසමාවෙන්න.. මට ඉවසගෙන ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා... නැති වෙන්න දෙයක් තවත් මට නෑ :)

මේ බ්ලොග් එක පටන් ගනිද්දිම මට මිනිස්සු බැන්නා..මම ලියන්නේ වල් පල් කිව්වා.. කිසිම තේරුමක් නැති දේවල් කිව්ව.. තේරුමක් නැති වල් පල් කියවන්නත් මිනිස්සු ඉන්නවා කිව්වා... මම පාලු ගෙවල් වල වලං බිඳිනවා කිව්වා.. මම බ්ලොග් එකක් ලියාගෙන අනුකම්පාව හොය හොය ඇවිදිනවා කිව්වා... මම වාචාලයෙක් කිව්වා.. උගත් වැදග්ත් පිරිමි සහ ගැහැනු තැන තැන කියව කියව යන්නේ නෑ කිව්ව.. මම චාරයක් නැති වැල්ලේ කෙල්ලෙක් නිසා කිව්ව මේ විදියට කථා ලිය ලිය අනුකම්පාව ඉල්ලන්නේ ... මම රගපානවා කිව්වා.. මම කරන්නේ අනුකම්පාව අයදින්න නාට්‍යක් රගපාන එක කිව්වා.. මම හොඳ මිනිස්සුන්ට කථා හදනවා කිව්වා... මම මගේ අයත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ට මඩ ගහනවා කිව්වා


මහ ගොඩක් දේ කිව්වා....
තවත් කියයි ....

වෙන්න ඇති..
මට චාරයක් නැතුව ඇති.. 
මට හැදියාවක් නැතුව ඇති.. 
ඒත් මේ මම... 
මම මම මිස ඇය හෝ ඔබ නෙමෙයි ... !!



කවදාවත් අනුකම්පාව යදින්න මම කථ ලිව්වේ නෑ..අනුකම්පා කරන එක නොකරන එක මිනිස්සු සතු අයිතියක්..මට පුලුවන් නම් කථාවකින් මිනිස්සුන්ගේ අනුකම්පාව යදින්න...විශේශයෙන්ම බොරු කතාවකින්.. පාලු ගෙවල් වල වලං බිඳීමකින්... මම ශ්‍රේෂ්ට ලේඛිකාවක් වෙන්න ඕන ;) ඇයි මට පාලු ගෙවල් වල වලං බිඳින්න ඉඩ දෙන්නේ ? ඒ ගෙදරට ඇවිත් පාලු නැති කරන්න හැමෝම... මම පැනල යන්නේ නෑ..මම හැන්ගෙන්නෙත් නෑ... ලෝකයක් ඉස්සර උනත් මගේ කථාව කියන්න පුලුවන් මට..

 ඒ මම වාචාල නිසා ;)

2011 පුරාවට මගෙන් කොහොමද කියලා අහපු මගේ හැම යාලුවෙකුටම මම කිව්වෙ මම ජීවත් වෙනවා කියලා..ඔව් මම ජීවත් උනා... රුවල් ඉරී ගිය මගේම නෞකාවේ ඉරුනු රුවල් රෙදි දවටගෙන... දෝතට එක් කල වැසි දිය බිබී මම ජීවත් උනා... 2011 මට එක දෙයක් ඉගැන්නුවා..කවමදාව්ත් කිසිම කෙනෙක්ව විස්වාස කරන්න නරකයි... හැම දෙනාම ඉන්නේ තමන්ගේ වාසියට විතරයි..කවුරුත් කවදාවත් අනිත් කෙනෙක් ගැන හිතන්නේ නෑ..අවස්ථාව ලැබුනු ගමන් ඒ වෙනකන් තමුන්ගේ දුක සැප හොයපු..තමන් වෙනුවෙන් මහන්සි උනු අයගේ හුස්ම උඩින් තමන්ගේ මග හදාගන්නයි හැමෝගෙම උත්සාහය.. ( සමාවෙන්න එහෙම අදහස් නැති අය..නමුත්.මුලු මිනිස් ලෝකය ගැනම මට තියෙන්නේ අප්පිරියාවක් විතරයි ).

2011 වගේ අවුරුද්දක් ආයෙම මගේ ජීවිතයට නොඑන්නයි මගේ ප්‍රාර්ථනය... ජීවිතය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි.. සතුටක් දීලා කොන්ත්‍රාත් කාලේ ඉවර උනාම ඒක ආයේ උදුරගන්න පුලුවන් විදියේ ගනුදෙනුවක් නෙමෙයි ජීවිතය කියන්නේ... හැමදෙයකම පිලිවෙලක් තියෙනවා.. ලගට ගන්න වගේම අතහරින... සම්බන්ධකම් ඇති කරගන්න වගේම නැති කරගන්නත් පිලිවෙලක් තියෙනවා... හිතුමතේට සෙල්ලම් කරන්න තරම් ජීවිතයක් සියුම් වැඩී.. සමනල් පිහාට්ටක් වගේ ... පරිස්සමෙන් හැඩ බැලුවේ නැත්තම් ඒ පිහාටු වලට ආයෙම කවමදාවත් පියාඹින්න බෑ .... මගේ ජීවිතය ජීවිතයක් විදියට මම ආදරය කල අය මගෙත් එක්ක හිටි අය දැක්කේ නෑ.. මගේ ජීවිතය හැමෝටම වැඩ පහසු කරවන යන්ත්‍රයක් විතරයි..හැඟීමක් දැනීමක් නැති..නිකන්ම නිකන් යකඩ ගොඩක් :) මට දැනගන්න ඕන මට වැරදුනේ කොතනද කියලා..මේ තරම් අඩන්න මම කල වැරැද්ද මොකද්ද කියලා.. කොටින්ම ඇයි මට මෙහෙම උනේ කියලා ... මට ඕනි වැරදි හදාගන්න..ආයෙම 2011කට මුහුන දෙන්න මගේ ඉරිතැලුනු ආත්මයට පුලුවන්කමක් නෑ..ඒ නිසයි මට වැරදි හදාගන්න ඕන..

ඒත්...

මට මගේ වැරැද්ද අද වෙනතුරුත් හොයා ගන්න බෑ ... !!

මම අඩන්න ඕනි කෙනෙක්ද?               
මම විදවන්න ඕනි කෙනෙක්ද?
ඕනි නම් ..ඒ ඇයි .. ?
මොකද්ද මම කල වරද..?
ප්‍රශ්නයක් ... !!


15 comments:

  1. හැමොම තමන් ගැන කියාගන්නෙ ඔහොමයි ඒත් ලෝකෙ කුරිරුකම වැඩියි..අනේ මන්ද..

    ReplyDelete
  2. වැරදුනු තැන වලට අයෙමත් ගිහින් ඒවා හදාගන්න පුළුවන් නම් ඒක මාරයි. එහෙනම් මම ජිවිතේ පටන් ගත්ත තැන විතරක් නෙමෙයි ඉපදුන තැනත් වෙනස් කරනවා. අපිට සමහර තැන වලදී වැරදුනේ ඇයි කියල අපිට තේරුමක් නැ. ඒක ඇත්ත . තේරුම් හොයන්න යන්නත් එපා.කාලය ගත වෙලා යනකොට ඊටත් වඩා upset තැන හම්බෙයි.නැත්තන් හිතා ගන්න බැරි තරම් සතුටු හිතෙන තැන්. මචෝ ජිවිතේ ගේම් එකක් බන් . අපි ඉන්නේ ඒක ඇතුලේ. කැමති උනත් නැත්තන් මේක සෙල්ලම් කරන්න වෙනවා .නැත්තන් පරදිනවා. අපේ වටේ ඉන්න ගොඩක් උන් මේ ගේම් ඒක ලස්සනට සෙල්ලම් කරනවා .අපිට දුක් වෙන්න ..සුසුම් හෙලන්න ..තව එකෙක් වෙනුවෙන් අඩන්න..ආදරේ හොයන්න අස්වැසිල්ලක් දෙන්නේ නැ මේ සමාජේ. එත් අපි මොන ගේම් අස්සෙත් තාමත් අඩනවා ..සුසුම් හෙලනවා .... ආදරේ පස්සෙන් දුවනවා .අපි හැමෝම අපි අතරේ තනි වෙලා.

    ReplyDelete
  3. @Oshadi :: I expected that response ;)

    @අමිල :: කියාගන්න කාටත් පුලුවන්..ඒත් මිනිස්සු ඇත්තටම එහෙමද කියන තැනයි ප්‍රෂ්නේ තියෙන්නේ... මම මම ගැන කියන්නේ බොරු නම් ... මම ගැන දන්න ඕනම කෙනෙක්ට පුලුවන් බොරු මොනවද කියලා පෙන්නලා දෙන්න :) තම තමන් ගැන කියගන්න හැමෝටම අන්න ඒ ටික කරන්න පුලුවන් නම් ලෝකෙ ලස්සන තැනක් වේවි

    රමේෂා :: ස්තූතියි අදහසට..
    එක වාඛ්‍යකට මම ගොඩක් කැමති .."අපේ වටේ ඉන්න ගොඩක් උන් මේ ගේම් ඒක ලස්සනට සෙල්ලම් කරනවා "
    ඇත්ත..සහතික ඇත්ත..
    වටේ ඉන්න උන් මේ ගේම් එක හොදට සෙල්ලම් කරනව.. ඕනම ඉත්තෙක් බිල්ලට දීලා තමන් චෙක්මේට් වෙන එකෙන් බේරෙනවා.. ඒත්...
    සමහරු ඉන්නවා කොහොමටවත් සෙල්ලමෙන් දිනන්න බැරි..සෙල්ලම් කරන්න අකමැති..
    එතකොට ඩාවින්ගේ ස්වභාවික වරණ නියමයට අනුව එහෙම උන් මේ සමාජයෙන් අතුගෑවිලා යන්න ඕනි ...
    මම එහෙම අතුගෑවුන එකෙක්

    ReplyDelete
  4. අය්යෝ ඔච්චර ඉක්මනට පරාද වෙනවද ආ.,

    ඔයාට විතරක් නෙමේ නේ ,හුඟක් අයට එහෙම නේ ..අනික ඔයා ඉගෙනගෙන අත්දැකීම් අරගත්ත කෙනෙක් ,ඉතින් ජීවිතය කියන්නේ මෙහෙම තමා .,මොකටද ඔච්චර සිරා ගන්නේ ,අමතක කරන්න අතීතය,පලවෙනි දවස ගොඩක් අමාරුය් ,2 ටිකක් විතර ලේසිය් ,,පස්සේ පස්සේ හරිම ලේසිය් ...(කිව්වට මතක් වෙන හැම දවසක් ම අමාරු වෙනවා කියල දන්නවා ,එත් එක ඔළුවට ගන්න එපා )..

    ඔයාගේ හිත හොඳ නම් මිනිස්සු මොන දේ කිව්වත් ටික කාලකින් ඔක්කොම වෙනස් වෙනවා ..

    දැනට මේ ඇති ..ටික ටික පස්සේ කියන්නම් කෝ .

    ReplyDelete
  5. වාසනා, වීදුරුව බිම තියන්න. ඒක උස්සගෙන හිටියා කියලා වීදුරුවේ බර අඩු වැඩි වෙන්නෙත් නෑ, වීදුරුවට ඔයා ඒක උස්සගෙන හිටියා කියලා කිසිම විශේෂත්වයක් දැනෙන්නෙත් නෑ. ඔයාගෙ අත රිදෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා වීදුරුව බිමින් තියලා ඔයා ආපහු පරණ වාසනා ම වෙන්න. අපි ඉස්කෝලෙ කාලේ අපිත් එක්ක එකට හිටපු යාළුවාම වෙන්න. ඒ කාලෙන් පස්සෙ මට ඔයාව තාම හැබෑවටම මුණගැහුනෙ නෑ. ඒත් ඒ මුණ ගැහුනොත් මට ආයෙත් ඒ පරණ යාළුවාවමයි දකින්න ඕනේ.

    ReplyDelete
  6. ජීවිතේ වැරදුන තැන් බොහොමයි.. ඒත් පරාජය මේ තරම් ඉක්මනින් භාර ගන්න එපා.. අතීතය ගැන දැන් තැවිලා වැඩක් නෑ.. එළබෙන 2012 සුභ විදිහට පටන් ගන්න..

    ReplyDelete
  7. යාලුවනේ.. හිතන්නේ හැමදේම මතක තියාගෙන විඳවන්නේ කැමැත්තෙන් කියලද.. ? නෑ..මටත් ඕන අමතක කරන්න.. මම නොකල දෙයක් නෑ අතීතය අමතක කරන්න.. ඒත් ... අතීතය මගේ ජීවිතේ boot strapping program එක වගේ..ඒක මකන්න බෑ.. මකන්න ගත්තු උත්සාහය නිසා දැනටම සෑහෙන්න files currupted . ඒ නිසා ඊට උඩින් install කරන කිසිම OS එකක් හරියට වැඩ කරන්නේ නෑ..

    අතීතය මොලේ පිළිකාවක් වගේ.. පිළිකාව අයින් කලොත් මොලේ මැරෙනවා..පිළිකාව තියාගෙන හිටියත් ඒත් මොලේ මැරෙනවා.. මට ඉතුරු පිළිකාවත් එක්කම ජීවත් වෙන්න තියෙන දවස් ගනින එක විතරයි ...

    ReplyDelete
    Replies
    1. Akki adai man oyage blogs baluwe godak lassanai samahara ewa hari gamburui.hithata wadinna liyala oya.duk wennepa akki athithe kiyanne inda hita gihin enna honda thanak unata natharawenna honda thanak nemeilune.hitha dairya karaganna oyata shakthiya labenna pathanawa.

      Delete
  8. උපේක්ෂාවෙන් ජීවිතය දකින්න,වාසනා...

    ReplyDelete
  9. Just let it go Wasana, L...E...T I....T G.....O

    I know it's easier said than done..but you have no other alternative......somehow or other you have to do it....none of us can do it for you.....you have do it on your own..... come to terms with what happened....

    I am speaking from personal experience ....long ago I had to do it....it was very very difficult but I somehow managed it....

    I am sure you are capable of doing it......You can do it...Wasana you can do it......

    And finally.....don't seek reasons for everything that happens under the sun....some things are so illogical and so absurd that searching for reasons would be in vain.

    Happy New Year 2012!!!!

    ReplyDelete
  10. I am trying.. i am trying ma best to let everything go.. but ppl r soo annoying.. they act like babies.. babies who r jst born n who knows nthn.... ppl who made ma lyf a hell telling tt they were d ones who suffered.. i feel lyk killing them .. how dare ... i was d one who suffered.. but ppl go on telling tales tt they were d victims.. y cnt they just step out n tell it to ma face.. y ppl tell tales hiding... lyf is horrible :(

    ReplyDelete
  11. Oya dannawada ASD gana, tikaka kiyawanna Autism kiyana subject eka godak durata minissu gana therun ganna, amuthu harisim therun ganna puluwan vevi, api hithanawata vada api awata inna aya me ASD valata athulath, meka loku parasayk athule divena asata nopenena paththak loke.

    ReplyDelete
    Replies
    1. ASD gena denagena hitiye ne. Eeth den Tikak kiyawala beluwa. Mama hithanne matath ASD :)

      Delete