බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, September 25, 2011

දයාබර ඔබට ... !!







දයාබර ඔබට,

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උනු පුංචි සිද්ධියක ඔබේ කතාව දශක ගනනාවක් තිස්සේ මම අහගෙන හිටියා. ඔබේ කතාව හරිම සුන්දරයි.කථාව අහපු හැමකෙනෙක්ම මට වෛර කරන්න ඇති.ඒක මම දන්නවා.ඒත් මම කථා කලේ නෑ අද වෙනකන්,හැම නින්දාවක්ම අපහාසයක්ම අහගෙන හිනා වෙලා හිටියා.ඒත් අද... මම ලෝකෙන් සමුගෙන යන්න මොහොතකට කලින්,මට හිතුනා මගේ කථාවත් කියලා යන්න. නැත්නම් මල්වරුසාවේ මගේ කථාව මාත් එක්කම වැලලේවි ... !!

එදා මහ වැස්සක් ඇදන් වැටෙන වෙලාවේ ..ඔයා තෙමයි කියලා බයට... කිසිම අව්වකට වැස්සකට මම ඉහලන්නේ නැති කුඩේ එලි‍යට ඇදගත්තු මම ඔයාව ඒ කුඩේ යට හංගන්න හැදූ හැටි ඔයාට අමතක ඇති.ඒත් ඒ කුඩේ ඇදල අරන් අකුලපු ඔයා තෙමි තෙමී යමු කිව්වම,ඒ දගකාර හිනාවට වශී උනු මම,එලියට ගත්තු කුඩේ ඒ වේගයෙන්ම ඇතුලට දාගෙන,පිස්සුවෙන් වගේ වැස්සේ තෙමුනු හැටි මට අද වගේ මතකයි. වැස්ස ලාවට තුරල් වේගෙන එනකොට ඈත අහසේ පායපු දේදුන්න පෙන්නල හිනා උනු ඔයාගේ හුරතල් මූණ ඇස් වහගත්තම අදටත් මට මවාගන්න පුලුවන්.ඔයාට අමතක උනා,ඔයා නොදැක්ක උනාට,මම බලාන හිටියේ දේදුන්න දිහා නෙමෙයි, ඊට වඩා එලියට දිලිසෙන ඔයාගේ ඔය ඇස් දෙක දිහාව.දේදුන්න දිහා මිස මගේ දිහා බලාන නොහිටි ඔයා ඒක දකින්න නැතුව ඇති.

මතකද ... 

මතකද ඔයාට ... 

මගෙත් එක්ක එහෙම ගියා ඔයාම ... මම බලාගෙන ඉදිද්දි තවත් කෙනෙක් එක්ක අත්වැල් පටලගෙන ගිය අපූරුව? ඔයාට මතකද ඒ යන දිහාව මම පාරේ අයිනේ ඉදන් බලාගෙන හිටපු හැටි?දකින්න නැතුව ඇති මාව.ඔයාගේ ඇස් දෙක තිබුනේ එයාගේ මූනෙම විතරනේ.. මගේ ඇස් වලින් ආපු කඳුලු,එක දිගට හෝ හෝ ගාල ගලාගෙන ආපු කඳුලු වැස්සත් එක්කම සේදිලා ගියා.ඔයාටත් මුලු ලෝකෙටත් හොරෙන්. ඔයා කියනවා නේද එදා එකට ගිය අපි අද දෙමංසලේ යනවා කියලා.කවුද ඒ තීරනය ගත්තේ?කව්ද දෙමංසලේ යන්න තීරනය කලේ..? මමද ඔයාද? ඔයා බලපොරොත්තු උනේ ඔයා ඔයාගේ අලුත් කෙනා එක්ක යද්දි මමත් ඒ පාරෙම ඔයාගේ පිටිපස්සෙන් එයි කියලද?මම එහෙමත් ආව..ඒත් ඔයාට එක විනාඩියක් තිබුනද පිටිපස්සෙන් එන මම දිහා හැරිලා බලන්න.ඔයාගේ ගමන ඔයා ගියා.දෙමංසල තෝරගත්තු ඔයාම අද කියනවා එදා එකට ගිය දෙන්නා අද දෙමංසලේ යනවලු .... කවුද වැරදි .. ?

ඇත්ත... මම මගේ තඩි වාහනෙන් එබිලා පාරේ අයිනේ ඉන්න ඔයා දිහා බැලුවා. දෑස පියාගෙන ආයෙම අහක බලාගත්තා.. ඔයා ඒක දැක්කා..ඒ ගැන ලෝකෙට කියන්න,ඔයා ඔයාගේ කථාව කවි පද පේලියකට හැරෙව්වා.ඒත්..එක තත්පරයක් හිතුවද මම ඇයි එහෙම කලේ කියලා..ඇයි මම අහක බලාගත්තේ කියලා.නෑ..ඔයා හිතුවේ නෑ.ඔයා ඔයා කල හැමදේම සාධාරණීකරනය කරලා ඔයාගේ දුක කියලා සිංදුවක් ලිව්වා.හරි සරලයි නේද ජීවිතේ එහෙම බැලුවම ... ?

මම කියන්නම්... අහගන්න ...

වාහනේ කවුලුවෙන් එබිලා බැලුවේ ඔයාගේ මූන දකින්න.අවුරුදු ගනනාවකට පස්සෙ අහම්බෙන් දැකපු,මම හැම අගලක්ම දැනගෙන හිටි මූන දකින්නයි එබිලා බැලුවේ.ඒත් එතන එහා පැත්තේ ඔයගේ අතේ එල්ලිලා හිටපු කෙනාගේ මූණ දකින්න මට උවමනාවක් තිබුනේ නෑ.අන්න ඒකයි ඇස් දෙක වහගත්තේ.

රිය ඇතුලේ හරිම උණුසුමයි කියලා නේද හිතුවේ. ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉදිද්දි දැනුනු උණුසුම මගේ ජීවිතකාලෙටම මට ආයෙම කවමදාකවත් දැනුනේ නෑ.රියෙන් බැහැලා ඒ මල් වැස්සේ ආයෙම ඔයත් එක්ක තෙමෙන්න තිබුන නම් මට ඇත්ත උණුසුම දැනේවි.කවදාවත් මාව හරියට නොදැකපු ඔයා කොහොම මගේ සිතිවිලි තේරුම් ගන්නද....

මඩ ඉහුනා නේද මගේ වාහනෙන්. දකින්න ඇති නේද මම නෙමෙයි වාහනේ පැදගෙන ගියේ කියලා. මාව සින්නකර විකුනපු මගේ ශරීරයේ භාරකාරයා වාහනේ සුක්කානම අල්ලගෙන හිටි බව පේන්න ඇති නේද... මම ඒ වාහනේ ඇතුලේ කූඩු කරගෙන ගිය සුරතල් සතෙක් විතරයි...

අපේ සබඳකම් රිය සක දන්නේ කොහොමද .... ඔයාවත් දැනගෙන නොහිටි අපේ බැඳීම රබර් වලින් හදපු ටයර් එකක් කොහොම දැනගෙන ඉන්නද ... ?

ඔයාගේ සිංදුව හැමෝම ඇහුවා.මඩ ඉහගෙන ඉගිල්ලුනු මට මුලු ලෝකයක්ම සාප කලා,බැන්න,අපහාස කලා.සතුටින් ඉන්න,ඔයා නිදහස්.

අද මම මගේ කථාව කිව්වේ මගේ ජීවිතේ තව ටිකකින් ඉවර වෙන නිසා.ඔයාව මඩ වතුරින් නහවගෙන ගිය රියෙන් ඊට අඩි කීපයක් එපිටින් මම බිමට පැන්න.අහක බලාගෙන ගිය ඇස් දෙක තව ටිකකින් සදහටම පියවේවි ... මගේ කථාව ලෝකෙට කිව්වේ ඒකයි.

බුදු සරණයි !!

5 comments:

  1. ඔයාගේ හුඟක් ලිපි කියවලා ඉවර වෙච්ච ගමන් මට බුදු අම්මේ කියලා හිතෙන්නේ ඇයි මන්දා. ඒවා ඒ තරමටම සංවේදී නිසා වෙන්න ඇති. ගැඹුරු කාරණා සරල වචන වලින් විස්තර කරන්න ඔයා හරි දක්ෂයි. ඔයාගේ වචන ඇතුලට අපිව ඇදිලා ගිහින් ඒ තුළ අපිව අතරමං කරනවා මොහොතකට. සුභ පැතුම් යාළුවා, දිගු ඉදිරි ගමනකට ජය පතනවා!

    ReplyDelete
  2. Great work akki!!!
    (mama kaaleka indala oyaage blog eka kiyawanne. eth ada thamai comment karanna hithune.)

    ~C~

    ReplyDelete
  3. කියන්න වචන නැ මට,....... කොහේදෝ අතරමන් වෙලා වගේ....
    කවදාවත් මෙහෙම අත්දැකිමක් නැ මේ තරම් අර්ථයක්............

    හ්ම්ම්ම් නියමයි හිතට හොදටම දැනුනා

    ReplyDelete
  4. මේ සිංදුව මං හුගක් ආස එකක්.අක්කේ ඔයා පුදුම ලස්සන අර්ථකථනයක් දීලා තිවයන්නෙ..

    ReplyDelete