බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, September 16, 2014

පොත් සල්පිල් වන්දනාව 2014..

ගිය අවුරුද්දෙත් පොත් සල්පිල් කතන්දරේ ලිව්වේ නෑයි කියලා මැරුම් නොකා බේරුනේ අනූ නමයෙන්. ඒ නිසා ගත්තු පොත් ටික නිකන්ම අතෑරල නොදා මෙ පාර පොඩිවට හරි කතාවක් ලියනවා කියලා හිතුවා. ඔන්න එහෙනම්, බුක් සෙල් සාගා 2014 :D

අතිසාර්ථක කීවෙනි වතාවටද මන්දා ඔන්න ගිය සිකුරාදා මං ගියා බුක් සේල්. ටිකට් ගන්න තැනට යන්නත් කලින් මෙන්න තීනෝ මැගී ලොරිය. නිකං හරියට හෝටල් පාසැලේ තෑගි උත්සවේට ගියා වගේ. උණු උණු මැගී දැක්කම නැති බඩගිනිත් ආවට, පොත් සල්පිලට ඇවිදින් ටිකට් ගන්නත් කලින් මැගී කන එක සාදාචාර සම්පන්න නැති නිසා මැගී නොකාම ගියා ටිකට් ගන්න.ටිකට් අරං ඇතුලට ගියා විතරයි මෙන්න තීනෝ තවත් මැගී ලොරියක්. දෛවයට පිටුපාන්න බෑනෙ මෙච්චරටම දේවල් වෙද්දි. ඉතිං මැගී කන්නම වෙනවා, ඉතිං මැගී කෝප්පයක් අරගෙන කට පිච්චි පිච්චි දෙසාබාන ගමන් පොත් තියෙන තැං හොයන්න සිතියම කටපාඩං කලා.

මගේ දැඩිමතධාරී සහෝදරීට නිවාඩු ලබා ගැනීමේ ප්‍රශ්න තිබ්බ නිසා මේ පාර මට මගේම කියලා සුට්ටි වෙලාවක් තිබ්බා තනියෙම විනෝද වෙන්න. විනාඩි පහෙන් පහට ජංගමයා මරහඩ තැලුවා ඒත්. වෙන කව්ද ඉතිං, සහෝදරී තමයි අනිත් පැත්තෙන් ජාතිය ඇමතුවේ.

"මේ හලෝ, විකාර පොත් ගන්නවා නෙමෙයි ඔන්න. මං එනකං ඉන්න හරිද"
"මේ, අරාබි කාන්තාවන්ගේ දුක ඇති දැං හොඳටම, තව එක පොතක් ගත්තොත් බලාගෙනයි ඒව ගැන"
"අනේ මේ වඳින්නම් මෙලෝ යකෙකුට නොතේරෙන සම්භාව්‍ය පොත් නම් ගන්නෙපා"
"තාත්තා බනී හරිද, සල්ලි නාස්ති කරන්නෙපා තේරුමක් නැති පොත් වලට"
"ඒයි, කවරේ බලලා පොත් ගන්නෙපා හරිද"
බ්ලා බ්ලා බ්ලා ....

මලකරදරේ ඉවසන්න බැරිතැනම තැන මං තීරණය කලා කන ඇහෙන්නේ නෑ වගේ රඟපාන්න. ඉතිං ඊට පස්සේ ජංගමයා කෑගහනව මට ඇහුනෙම නෑලු ඔන්න ;)

පොත් දැක්කම මට සාමන්‍යයෙන් හැදෙන පොත් මතත් එක්ක මං පටං ගත්තා හිස් ලූ ලූ අත දුවන්න. මං ලබන ආත්මේ පොත් කාවෙක් හරි නැත්තං එහෙම මොකෙක් හරි පොත් අස්සෙ ජීවත් වෙන සුට්ටි සුද්‍ර පාණියෙක් වෙනවමයි කියන ඒකායන අදිස්ටානෙත් එක්ක පොත් තොග තොග ගොඩ ගහන්න පටන් ගත්තා මං. 

මල්ලෙන් මල්ල මල්ලෙන් මල්ල මගේ පොත් අස්වැන්න කඳු ගැහෙද්දි ඔන්න ආවා මගේ සහෝදරීගේ කෝල් එක.
"ඒයි කොහෙද ඉන්නේ, මං ඉන්නේ සිරිමාවෝ එකේ දොර ලඟ"
ඉවරායි ...
මගේ සුන්දර ලෝකෙ ඉවරයි කියලා දැනගෙන යටිපතුල ගාවට හොස්සත් දික් කරගෙන මං ගියා සහෝදරීට මූණ පෙන්නන්න. මගේ හොර බළල් මූණ දැක්ක ගමන් එයාට වැටහුනා එයාගේ කෝල් ඔක්කොම වලින් ඩයලොග් කොම්පැණිය පෝසත් උනා ඇරෙන්න වෙන අබ ඇටේක තරම්වත් සෙතක් නොවුනු බව ;)

සහෝදරී ආවට පස්සේ පටන් ගත්තා දෙවෙනි වටේට පොත් ගොඩගහන්න. හරි ජොලි ඉතිං, මෙන්න හුවමාරු උනු කතා.

------------------------------------------------------------------------------------------
"තියන්නයි කිව්වේ මාගරට් ආයෙම රාක්කෙන්"
"බෑ බෑ, තියන්නෙම නෑ. මට මාගරට් ඕනමයි"
"මොන කෝලමක්ද අනේ, ලැජ්ජ නැද්ද ළදරුවෝ ගන්න පොත් ගන්න, බිල් කරන්න යන්නෙ කොහොමද ලැජ්ජ නැතුව"
"මල කෝලං, ලැජ්ජ වෙන්න මොකෝ මම ආදරය හා ලිංගිකත්වය ගැන පොතක් ගත්තෑ. මං මාගරට් ගන්නවා. ගන්නවා ගන්නවාමයි"
"ඕන මගුලක් කරගන්නවා එහෙනං, මං නෑ ඕවට"

----------------------------------------------------------------------------------------------
"කවරේ බලලා නේද මේක ගත්තෙ, එක පිටුවක් පෙරලලා බැලුවද අඩුම ගානේ? මෙලෝ සංසාරයක් තේරෙනවද මේ පොතේ"
- කියන්න දෙයක් නැත. මෙලෝ බ්‍රන්තයක් තේරෙන්නේ නැත. සහෝදරී හරිය, කවරේ ලස්සනය, ඒ නිසා ගත්තේය, ඉතිං ඒ පොත තියන්න උනේය - 

-----------------------------------------------------------------------------------------------
" පෑගිලා මැරෙන්න හදනවද මනුස්සයෝ. බිම බඩගාන්නේ නැතුව උඩ රාක්කවල තියෙන පොත් විතරක් බලන්නකො. බිංකුන්ඩෙක් වගේ, පේන්නෙත් නෑ මිනිස්සුන්ට"

-----------------------------------------------------------------------------------------------
සහෝදරී එක්ක වසනවට වඩා කසාදයක් බැඳගෙන නැන්දම්මෙක් එක්ක වසන එක දාහෙන් සම්පතක් බව සිය වෙනි පාරටත් හිතන ගමන් කලින් වතාවෙ මඟහැරුන පොත් හොරෙන් පොදි බැඳගන්න අමතක කලේ නෑ මං.

ගහෙන් වැටුන මිනිහට ගොන්නු දුසිමක් ඇන්නා වගේ මෑණියැන්දෑ කෝල් කලේ නැතෑ ඒ අස්සේ. මාව කවුරු හරි පැහැරගෙන යයි, එහෙමත් නැත්නම් පොත් දෙක තුනක් දීල රවට්ටගෙන යයි කියලා මෑණියැන්දෑම අධ්‍යක්ශනය කරලා නිශ්පාදනය කල චිත්‍රපටිය මතක් වෙලා බොරැල්ලේ හන්දියේ ඉඳන්ම පයින් ඇවිත් දැං සිරිමාවෝ බණ්ඩාරණායක හෝල් එක ලඟ ඉන්නවා කියන්නයි කෝල් කරලා තියෙන්නෙ.

නියමයි, නින්දේ සහ සැප නින්දේ වෙනස වගේ, මේ වෙනකන් කන ලන තිබුනු තනි කුරු කුරුව දැන් ඩබල් වෙන්නයි යන්නේ. ආර්ථිකය සහ රුපියලේ අවපාතනය ගැන සහෝදරී කූං කූං ගාද්දි එතැන්පටන් මෑණියැන්දෑ පටන් ගත්තා කාන්තාවක් බුක් සේල් ඒමේ ආදීනව ගැන එක දිගට ජාතිය අමතන්න. මිනිස්සු පොරකනවය, එතකොට ඇගපත අල්ලනවය, කපල් තුරුලු වෙලා අයිස්ක්‍රීම් කනවය, දෙයියෝ සාක්කිය,  මෙකී නොකී චුරු චුරු කෝටියයි එතන ඉඳන්.

ඔය අස්සේ රූපවාහිනි ප්‍රවුර්ති කන්ඩායම හොරෙං හොරෙං බලං ඉන්නවා දැක්කා මං. රූපවාහිනියට මූණ පෙන්නීමේ මහා භීතිකාවකින් පෙළෙන නිසා කැමරාවක් තියෙන හැම තැනින්ම ශේප් එකේ ලිස්ස ලිස්සා හිටියා මං. ඒ කොච්චර බේරුනත් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රේ අස්සෙදි රූපවාහිනියේ අතටම මාට්ටු උනා මාව. පවු දෙයියනේ මං.

" Will you give a voice cut for us ? "
ඉතිං මං හරීම සුලලිත එඩිතර වීර ධීර කාන්තාවක් වගේ, විහාර මහා දේවී පරම්පරාවේ ඊලග පුරුක වගේ, යකඩ කාන්තාවක් වගේ, ගත් කටටම කිව්වා,
"NO"
:/
ඒ මිනිස්සු නෙමේ වැඩේ අතෑරියේ.
" Don't say like that, just say something, please"
ඉතිං මොනා කරන්නද, ජාතික නාලිකාව මෙච්චරත් කියද්දි මට ලොකු සීන් දාන්න බෑනේ.
අනේ ඔන්න ඉතිං අවසාන ප්‍රතිපලය උනේ මං පොත් තොගයක් බදාගෙන බිරාන්ත පූසෙක් වගේ කැමරාව ඉස්සරහ ඇස් නටෝ නටෝ  " There are so many books here" කියලා කියනවා ලක්ශ සංඛ්‍යාත ප්‍රේක්ශක ජනතාව එදා රෑ නිව්ස් වලට බලා ගත්තු එක. හතර විලි ලැජ්ජාවයි, බුක් සේල් එකක පොත් නැතුව කුම්බලාවෝයැ තියෙන්නෙ. අනේ අපරාදේ කියන්න බෑ මගේ සහෝදරී නියම සහෝදරියක් වගේ මගේ මූනට කැමරාව අල්ලපු ගමන් අඩියෙන් අඩිය පසු බැහැලා ගිහින් පොත් රාක්කයක් ලගට වෙලා මගේ මුලු නැටුමම ඉවර වෙනකන් බඩ අල්ලං හිනා උනා. තව මොනා බලාපොරොත්තු වෙන්නද එයාගෙන්.

කොහොමිං කොහොමිං හරි මට හිත ගිය පොත් ඔක්කොම වගේ ගත්තා. මේ පාර වැඩිය අලුතින් පොත් ප්‍රකාශනය වෙලා තිබුනේ නෑ. බහුතරය මගේ ලග දැනටම තියෙන ඒවා. 30%ක වට්ටමක් ලැබුනේ විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රයෙන් විතරමයි, අනිත් හැමතැනම 20% තමයි වට්ටම. පහුගිය වතාවේ මට්ටු උනු නිසා මේ වතාවේ ස්වර්ණ පුස්තක සම්මනා ලැබුනු හෝ නිර්දේශ උනු පොත් එකක්වත් ගත්තේ නෑ. අපහාසයක් කරන්න කියනවා නෙමේ, නමුත් ගිය වර නිර්දේශිත සමහර පොත් මොකට නිර්දේශ උනාද කියලා මට වැටහෙන්නේ නෑ. සමහරවිට මගේ මොලේ චූටි නිසා මට ඒ උත්කෘශ්ට සාහිත්‍ය කෘති වැටහෙන්නේ නැතුව ඇති. දන්නෑ...

හැටේ වත්තේ මග්දලේනා හෙව්වා හම්බුන්නෑ, ආයේ යන්න ඕන මහා පොත් සවාරියේ ඌණපූර්ණයට.

මේං ගත්තු පොත් ටික...





















16 comments:

  1. මොන මගුලක්ද මන්දා නම් කියවල තියනව.හොඳ කතාවක්.
    Two states ‍ෆිල්ම් එක ඔය කතාව.

    ReplyDelete
    Replies
    1. ඔව්, ජොලි කතාවක් තමයි :)

      Delete
  2. Replies
    1. ඔව්, එහෙම හිතෙන්නත් පුලුවන් කෙනෙකුට ....

      Delete
  3. පොස්ට් එක ලියල තියන විදිහ නියමයි. ටිකට් ගන්න තිබුන පෝලිම ගැන නෑ හැබැයි.
    මං එකපාරක් ඇවිත් හැරිලගියා ඒක දැකල. පස්සෙ දවසක ආව

    ReplyDelete
    Replies
    1. මං ගියේ ටිකක් හවස් වෙලා. තුනට විතර වගේ. එතකොට පෝලිමක් තිබුන්නෑ.
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  4. යශෝදරා නම් හොඳ පොතක්

    ReplyDelete
    Replies
    1. තාම ඒක කියෙව්වේ නෑ. ලොකු පොත් තියාගෙන ඉන්නෙ පස්සේ හිමින් සැරේ කියවන්න :)

      Delete
  5. //බුක් සෙල් සාගා 2014//

    බ. අ. සි!!

    ඇයි යකෝ ඕකෙ පොත් ඇර නූඩ්ල්ස්, ටැටූ එහෙමත් තිබ්බ කියල කට්ටිය බුකියෙ කිව්වෙ. මම දැක්ක විදියට ගිඩක් උන් ඒවට පෝළිමේ හිටියලු පොත් වලට වඩා.

    ReplyDelete
    Replies
    1. ටැටූත් තිබ්බලුද :-o මං නං දැක්කේ නෑ. මැගී වන්දනාවෙන් පස්සේ මම දිගටම සිරිමාවෝ බණ්ඩාරණායක හෝල් එකට වෙලාම හිටියා මිස කොහෙවත් ඇවිදින්න ගියෙ නෑ

      Delete
  6. ඔව් මචන්, ඒ ටී වී එකට දීපු කමෙන්ට් එක බලලා සෑහෙන පිරිසක් ආවලු බුක් ෆෙයාර් ඉන් පස්සේ. ඒ කමෙන්ට් එකෙන් පස්සෙ ගොඩක් මිනිස්සු දැනගෙන තියෙන්නෙ බුක් ෆෙයාර් එකේ කුම්බලාවො නෙවෙයි පොත් තියෙන්නෙ කියලා. :D

    ReplyDelete
    Replies
    1. දුස්ටයා, තේරෙයි පනහක් විතර මිනිස්සු මයික් එකක් උරුක් කරන් මූණට පැන්න දවසට x(

      Delete
  7. ප්‍රධාන මාතෘකාවට ප්‍රවේශය නියමයි!!!

    ReplyDelete
  8. අනේ ලස්සන පිට කවර ටික ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ කමෙන්ට් එකට ...

      Delete