බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, February 4, 2013

මගේ දෙවෙනි කෙටි කථාව ...

පළවෙනි එක මේක තාරුකා..

                   ට්‍රිෂා : අහස අහිමි තාරුකාව  ......

නින්ද යන්නෙම නැති තැන ලොකුම ලොකු ඩබල් බෙඩ් එකේ කෝටියක් බෙඩ් ෂීට් අස්සෙන් මම එලි‍යට බැස්සා.. නුවර එළියේ හීතල ඇටකටු අස්සෙන් ඇදෙද්දි දැනුනේ අමුතුම හැඟීමක්.. 
ඉෂානි නිදි. 
ඔව් ඉතිං.. එළිවෙන පාන්දර එකට නිදියන්නේ නැතුව වෙන අහවල් මගුලක් කරන්නද ...

හෝව් හෝව්.. 
කථාව මෙහෙම ගියොත් ආතක් පාතක් නැති වෙනවා.. 
හරියට පටන් ගමු ආයෙමත් ...

මම නිසල් .. 
නිසල් හේෂාන් සිරිවර්ධන. 
මම ඇවිත් ඉන්නේ මගේ මධු සමයට.. ඒ කිව්වේ හනිමූන් එකට .. 
නුවර එළියේ ලස්සන හෝටලේක අද මේ ගෙවන තුන් වෙනි දවස.. 
ජීව්තේ ලස්සනයි ... සතුටුයි ...

දැන් අහපල්ල පොදු ප්‍රශ්නේ.. !!

ජීවිතේ ලස්සනයි නම් සතුටුයි නම් මේ මහ රෑ ඇහැරගෙන මොනවා කරනවද නුවර එළියේ සීතලේ ගෑණිත් එක්ක ගුලි වෙලා සැපට නිදියන්නේ නැතුව..
අන්න ඒ ප්‍රශ්නෙත් එක්ක මම පටන් ගන්නම් කතාව.. මහ රෑ එකට නිදා ගන්නේ නැතුව බකමූණෙක් වගේ ඇහැරගෙන මම මොකද කරන්නේ ... මම පටන් ගන්නම් එතනින් ..

තා රු කා ...


තාරුකා කියලා කෙල්ලෙක් හිටියා .. ගොඩක් ඉස්සර..

කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ මුලින්ම තාරුකාව දකිද්දි එයා ටිකක් අමුතු පහේ කෙල්ලෙක්. ඩෙනිම ඇඳලා, ලෝකේ නැති තරම් මාල කරාබු වලලු දාලා, ඩෙක් ෂූස් දාල, කඩ්ඩෙන් කොටාගෙන .. අමු ලොකු සීන් තිබුනේ .. ඒ අමුතු බව නිසාමද කොහෙද එකෙක්වත් එයත් එක්ක කතාවට ගියේ නෑ වැඩිය. එයා එයා වගේම තවත් සීන් කෑලි දෙක තුනක් එක්ක වෙනම ග්‍රහලෝකෙකින් පහත් වෙලා වගේ හිටියේ. මම සත පහකට ගනන් ගත්තේ නෑ ඒකිව ..

කොහොම හරි තාරුකාට ඉගෙන ගන්න තිබුනේ පුදුම උනන්දුවක්. එග්සෑම් කට ලගට එද්දි නෝට්ස් හොය හොය පිස්සු බල්ලො වගේ එහෙ මෙහෙ දුවපු කොල්ලන්ට තාරුකාගේ වෝල්ට් ඩිස්නි ස්ටිකර් අලෝපු පොත් වල තිබුනු පාට පාට පෑන් වලින් බෝල අකුරින් හැඩට ලියාපු නෝට්ස් පෙනුනේ ජීවිතාන්තේ වෙනකන් හිරේට නියම උනු උන්ට ජනාධිපති සමාවදෙන ලිවුම් වගේ. අනික තාරුකාට කැම්පස් එකේ සර්ලා මිස්ලා එක්ක තිබුනේ බුදු ෆිට් එකක්. කොයි වෙලෙත් ස්ටාෆ් රූම් අස්සේ රිංග ගත්තු ගමන්මයි. ඒ නිසා අපේ උන්ට සර් කෙනෙක්ට මිස් කෙනෙක්ට මොකක් හරි කියා ගන්න ඕන නම් ඒකට මැසෙන්ජර් උනෙත් තාරුකා .. මටත් නෝට්ස් ඉල්ලගන්න, සර්ලට වචනයක් දාන්න වගේ පොඩි පොඩි උවමනාවල් වලට තාරුකා සපෝර්ට් එක දුන්න.. දවසක් දෙකක් කතා කරද්දි ඩෙනිම ගහලා ඩෙක් ෂූස් දාල හිටියට තාරුකත් අමුතු සතෙක් නොවන බව මටම තේරුනා. ඒ නිසාම ටිකින් ටික අපි කතා කරන්න පටන් ගත්තා.

කොහොම කොහොම හරි දෙවෙනි අවුරුද්ද ගෙවිලා ඉවර වෙද්දි තාරුකා මගේ ෆිට් එකක් වෙලා ඉවරයි. එයයි මමයි තව දෙතුන් දෙනෙකුයි එකට පාඩම් කලා, එකට කෑවා, එකට ලෙක්චර්ස් කට් කලා, එකට වල බැස්සා .. කාලේ හරි ඉක්මනට ගෙවිලා ගියා .. තාරුකා කෙල්ලෙක්ද කියලත් මට වෙලාවකට අමතක උනා. අපි ඒ තරම්ම ෆිට් එකේ හිටියේ.. සමහර වෙලාවට ෆිට් එකට පිට මැද්දට අතාරින පොල් අඩි පාරවල් වලට තාරුකා අඩි බර ගානක් ඉස්සරහට විසි උනාමයි මට මතක් උනේ ඒකි කෙල්ලෙක් කියලා. තාරුකා කවදාවත් සාමන්‍ය කෙල්ලෙක් වගේ හැසිරුනේ නෑ.. ලේන්සුවෙන් මේකප් පිහිද පිහිද මවිල් හැලුනු පූසන්ට අනේ හරී කියුට් කිව්වේ නෑ.. එයාට තිබුනේ හරි අමුතු ටෝක්ස්.. අපි කෑම කකා ඉදිද්දි ලගට එන පූසට බත් එකේ තිබුනු මස් කට්ටක් දැම්මම තාරුකා පටන් ගත්තා බණ දෙසන්න ..

ඔයා කැමතිද ඔයාට කෑම බිමට දාල දෙනවට .. පව් නේද පූසා..

ඔහොම කියන එයා පත්තර කොලයක් ඉරාගෙන අර මස් කට්ට අහුලලා පත්තර කොලේ උඩින් තියනවා.. පූසා කාල ඉතුරු වෙන රොඩු බොඩු අහුලගෙන ගිහින් ඩස්ට් බින් එකට දානව. මේසේ උඩ තියෙන බීල ඉතිරි උන කිරි පැකට් කොල කෑලි අරවා මේව ඔක්කොම සුද්ද කරනවා ඒවා දාල ගිය උන්ට බැන බැන .. ඒ වගේ අමුතු චරිතයක්..එයා කවි ලිවුවා.. පන්ඩිත කථා කිව්වා.. අපි රෑ පුරා චැට් කලා..මේ ඉර හඳ යට තියෙන හැම දෙයක් ගැනම.. රන්ඩු උනා ආයෙම යාලු උනා..

ටික ටික අපි ගොඩක් ලං උනා.. ගැන්සියේ තව කට්ටිය හිටියත් තාරුකයි මායි තමයි එකටම හිටියේ. ඒත් කාලෙකින් තාරුකා ටික ටික වෙනස් වෙන්න ගත්තා.. තේරුමක් නැති වාක්‍ය කෑලි කියන්න පටන් ගත්තා.. මනෝ ගහලා හිටියා හිටි ගමන්.. මමත් ඒ හැමදේම නොදැක්ක වගේ හිටියා .. එක දවසක් අපි කෑමට සෙට් උනාම තාරුකා එයාගේ බත් එකත් අරගෙන වෙන මේසෙකට ගියා. මට නිකන් හයේ හතරේ කිතුල් පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ දැනුනේ එදා. වෙන මේසෙකට ගිහින් ඉද ගත්තු එයා මට මැසේජ් කලා.

" Please let me be alone dear, Don't come near me.. Its good for u as well as for me "

ඒ කියපු බහු බූතේ අගක් මුලක් තෝරගන්න බැරි උන මම මගේ තව ෆ්‍රෙන්තෙක් එක්ක එයා හිටි මේසෙටම ගිහින් වාඩි උනා. තාරුකා නෙමෙයි ඔලුව උස්සලවත් බැලුවේ. එයා දිගටම එයාගේ බත් එක දිහාවම විතරක් බලාගෙන හිටියා. ගෙදර ගිහින් චැට් එකට සෙට් උනාම මම ඇහුවා එයාගෙන් දවාලේ කියපු කතාවේ තේරුම මොකද්ද කියලා..

එදා.. තාරුකා එයාගේ කතාව කිව්වා..

නිසල් .. 
මම ඔයාට ආදරෙයි.. 
ගොඩක් ආදරෙයි.. 
මම කවදාවත් මීට කලින් කාටවත්ම ආදරේ කරලා නෑ.දන්නවා ඔයා ඒක පිලි නොගන්න බව.. ඒත් ඒකයි ඇත්ත.. මේ දැනෙන විදිය මට මීට කලින් කවමදාවත් දැනිලා නෑ. මට බයයි නිසල්. මට බයයි මට දැනෙන විදිය නිසා හැම දෙයක්ම නැති වෙයි කියලා. අන්තිමේ මට ඔයාගේ යාලුකමත් නැති වෙයි. මම දන්නේ නෑ ඔයාට ගෑනු ලමයෙක් ඉන්නවද කියන්න හරියටම. ඒත් මම දන්න තරමින් ඔයාට කෙනෙක් ඉන්නව.. ඉතිං එහෙම තියෙද්දි මට ඔයා ගැන හිතෙන විදිය  හරිම වැරදි. ඔයා මගෙන් ඈත් වෙලා ඉන්න.. ලගට ආවොත් මට ඔයාව නැතුව ඉන්නම බැරිවේවි කවදා හරි .ඔයා නැතුව මට ජීවත් වෙන්න බැරි වේවි.. ඒකෙන් ඔයාටවත් මටවත් හොඳක් වෙන්නේ නෑ.. ඒ නිසා දැම්මම මගෙන් ඈත් වෙලා ඉන්න..

තාරුකා සීරියස් කථා කරනවා ඇහිලා මට එක පාරටම හිනා ගියා.. හරියට අර කුච් කුච් හෝතාහේ එකේ අංජලී සීරියස් ටෝක් එකක් දැම්මා වගේ. ඒ වෙලාවේ මට තාරුකා කෙල්ලෙක් කියලවත් මතක් උනේ නෑ.. මට මතක් උනේ ඕනවට වඩා බී ගත්තම ගැන්සියේ කොල්ලෝ දාන එමෝ ටෝක්.. මම තාරුකාගේ කථාව ගැන වැඩිය හිතුවෙම නෑ.

චැට් එකේ හිනා මූණු පේලියක් එක්ක මම තාරුකාට රිප්ලයි කලා .. මම කිව්ව විකාර හිතන්න එපා කියලා.. එයාට මාත් එක්ක ඉන්න ඕනතාක් කල් එයාට මාත් එක්ක ඉන්න පුලුවන් කිව්ව.. හැබැයි මම තහනම් වචනේ පාවිච්චි කලේ නෑ.
මම කිව්වේ නෑ මමත් එයාට ආදරෙයි කියලා ...

ඔන්න ඒක මේ කථාවට වැදගත්.. 
මම කොයිම වෙලාවකවත් තාරුකාට කිව්වේ නෑ මම එයාට ආදරෙයි කියලා..

කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්ද වෙද්දි තාරුකයි මායි වෙන් වෙන්ව ගියේ වොශ් රූම්ස් වලට විතරයි.අනිත් හැම තැනම හැම වෙලේම අපි හිටියේ එකට. අපි දෙන්න විතරක් නෙමෙයි.. පාඩම් සෙට් එකක් හිටියා. තාරුකා හැම වෙලේම මම ගැන හොයලා බැලුවා.. එක එකාට එක එක විදියට අපේ සම්බන්ධය පේන්න ඇති.. ගැන්සියේ එවුන් දැනගෙන හිටියා තාරුකයි මායි බුදු ෆිට් කියලා.. පිටින් බලන් හිටි උන් එක එක ඒවා හිතුවා. සමහරු හිතුවා තාරුකා මගේ කුප්පි කොක්ක කියලා, සමහරු හිතුවා තාරුකා මගේ කෑල්ල කියලා.. ඒ මොනවා උනත් මමවත් තාරුකාවත් ඒ කිසි කෙනෙක්ට උත්තර බදින්න ගියේ නෑ.. තාරුකා මට ආදරේ කලා ..පිස්සුවෙන් වගේ.. මම එයාට ආදරේ කලේ නෑ.ඒක තාරුකා දැනගෙන හිටියා. හිටි ගමන් මම ඔයාට ආදරෙයි කියල කිව්වත් ඒ කිව්වෙ ෆන් එකට මිස ඇත්තට නොවන බව එයා දැනගෙන හිටියා ..එයා මගේ පස්සෙන්ම හිටියා .. හැම දෙයක් ගැනම හොයලා බැලුවා. මම එයත් එක්ක හිටියා.. එයාට ඕන උනාම අතින් අල්ලන් ඉන්න ඉඩ දුන්නා.. එයාව සතුටින් තියන්න පුලුවන් පොඩි පොඩි දේවල් කලා .. රෑට ගුඩ් නයිට් මැසේජ් යැව්වා .. ඒත් කවමදාවත් එයාට ආදරෙයි කියලා නම් කිව්වේ නෑ.. එයා ඇහුවෙත් නෑ ආදරෙයිද කියලා .. එයා දැනගෙන හිටියා උත්තරේ.

තාරුකා මම ගැන ගොඩක් දේ දැනගෙන හිටියා .. මම කන්න කැමති මොනවද, අඳින්න කැමති මොනවද, ෂර්ට් සයිස් එක කීයද, මට පාඩම් කරවන්නේ කොහොමද, ඒ වගේ ගොඩක් දේවල්.. හරියටම ආයා කෙනෙක් එයා බලා ගන්න දරුවා ගැන දැනගෙන ඉන්නවා වගේ.  ඔය අතරෙදි මට ඉෂානිව මුන ගැහුනා .. කැම්පස් එකෙන් අවුට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි. ඉෂානිත් ඒ කැම්පස් එකේම කෙල්ලෙක්.. තාරුකාගෙත් යාලුවෙක්. මම ඉෂානිට ආදරේ කලා.. ඉෂානි මගේ ජාතියේ මට ගැලපෙන කෙල්ලෙක් කියලා හිතුනා මට මුල ඉඳලම. ඉතිං මම එයත් එක්ක අෆෙයාර් එකක් පටන් ගත්තා. ඒක දැන ගත්තු මුල්ම දවසේ තාරුකා යකා නැටුවා. මට බැන්න, කෑ ගැහුවා, එයාට ඉෂානි ගැන නොකිව්වේ ඇයි ඇහුවා...

මට අහන්න තිබුනේ එක දෙයයි.. 
ඇයි මම එයාට ඉෂානි ගැන කියන්නේ .. ?? 
ඇයි මම කියන්නේ ?? 
තාරුකා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි, මට කිසිම හේතුවක් නෑ එයාට ඉෂානි ගැන කියන්න ...

ඊට පස්සේ ගොඩාක් දේ උනා.. තාරුකා දිගින් දිගටම අඩාගෙන මගේ පස්සෙන් ආව.. ඇයි එයාට ඉෂානි වෙන්න බැරි උනේ, එයාගේ වැරැද්ද මොකද්ද ඔන්න ඔය වගේ බහු බූත අහ අහ .. මගෙත් ලිමිට් පැන්න වෙලාවල් දෙක තුනකදි මමත් හොදට බැන්නා එයාට.. බනින්න පුලුවන් උපරිම කුජීත විදියට බැන්නා.. ආයේ ඔයාට කතා කරන්නේ නෑ නිසල් කියලා ඒ හැම වෙලාවෙදිම ෆෝන් එක තිබ්බ තාරුකා ආයෙත් වැඩිම උනොත් දවස් දෙකකින් මට කථා කලා ..
ඔය විදියට කාලේ ගත උනා. මට තාරුකාව හම්බෙන්න උනේම නෑ. ඉඳ හිටලා එයා කථා කලා. මම බිසි නැති වෙලාවට මමත් ආන්සර් කලා.ඒත් ඒ එකම කෝල් එකක්වත් ඉස්සර වගේ උනේ නෑ.. ඔයාට කොහොමද..මම හොදින්.. ඔයාට කොහොමද..මමත් හොදින්.. විනාඩි පහක විතර පට්ට බෝරිං නිශ්ෂබ්දතාවයක් ඊට පස්සේ මම මේ නිකං කථා කලේ..එහෙනම් තියන්නම්... ඔච්චරයි..එයාටත් මටත් අපි දෙන්නටම තේරුනා අපිට කථා කරන්න දෙයක් නැති බව.. ටිකින් ටික කථා බහ අඩු උනා..

කාලයත් එක්ක මට තාරුකාව අමතකම වෙලා ගියා.එයා කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා හොයල බලන්න උනේම නෑ

දවසක් මට මැසේජ් එකක් ආව. ඒ තාරුකාගෙන්..

" I cant stay with ma parents .. I am a burden n I got to move out for their good.. umm.. if u ever feel lyk visiting, here is ma new address ************ .. bye .. Tc n Budusaranai "

කාලෙකට පස්සේ තාරුකාගෙන් ලැබුනු ඒ මැසේජ් එකට මගේ මොලේ පැත්තකම ෆියුස් ගියා. තනියෙම එක හෝල්ට් එකක් බස් එකේ යන්න දන්නේ නැති කෙල්ල තනියම කොහොම ජීවත් වෙන්නද කියලයි මට හිතුනේ.. කොහොම නමුත් ඒ දවස් වල වෙඩින් එකට ලෑස්ති වෙන නිසා නාහෙටත් උඩින් වැඩ තිබුනා. ඒ නිසා මට තාරුකාගේ අලුත් තැන බලන්න යන්න වෙලාවක් ලැබුනේ නෑ.

වෙඩිමේ වැඩ ඔක්කොම සෙට් කරගෙන කාඩ් බෙදන්න ලෑස්ති උනාම මට ආයෙම තාරුකාව මතක් උනා. එයා මගේ හොඳම යාලුවෙක්. මොන හේතුවක් නිසා හරි මත එයාවත් මගේ වෙඩිං එකට ගෙන්න ගන්න ඕන උනා.. දවසක් එයා එව්ව මැසේජ් එක ඒ වෙද්දිත් මගේ ෆෝන් එකේ තිබුනා. ඉතින් මම ගියා එයාව හොයාගෙන, කාඩ් එක දෙන්න ...

මම අද මේ ඇහැරිලා ඉන්නේ එදා ඒ ගිය ගමන නිසා ...
නොගිහින් ඉන්න් තිබුනු ගමනක් එදා මම ගියේ ..

තාරුකා එවලා තිබුනු එඩ්‍රස් එක අපාර්ට්මන්ට් එකක එකක්. තට්ටු බර ගානක් උඩ එයා කියලා තිබුනු අංකේ තිබුනු දොරේ තිබුනු බෙල් එක ගැහුවා මම.. දොර ඇරියේ ගැංග්ස්ටර් කෙනෙක් වගේ කොල්ලෙක්.. ෂර්ට් එකක් නැතුව පපුව පුරා පච්ච කොටාගෙන හිටි ඩයල් එක දැක්ක ගමන් මම හිතුවේ මට තැන වැරදිලා කියලා .. ඒත් තාරුකා එවලා තිබුනු අංකේ මේක ... මම ගට අරගෙන අර බුවාට ටෝක් කලා ..

"තාරුකා ඉන්නේ මෙහෙද ?"

ගලිවරයා ටිකක් හොල්මන් උනා..

"Thaaruka ... ah.. man u mean Trisha ?? 
No one calls her Tharuka anymore.. U must be from damn past I guess.. .."

ට්‍රීෂා...
මොකක් .. 
මූට මහ දවාලේ අන්දකයිප්පු කැවිලද කියලත් මට හිතුනා.. ඒ මොනා උනත් තාරුකාගේ තැන මේක වෙන්න ඇති කියලා හිතුනු මම ඇතුලට ගියා ..
ගලිවරයත් මගේ ඉස්සරහින් ඉඳ ගත්තා.. මූට සිංහල බැරි වෙන්න බෑනේ බොරුවට කඩු හරස් කලාට. 

"කෝ තාරුකා ඉන්නවද .. පොඩ්ඩක් කියන්න නිසල් ඇවිත් කියලා .."

 මම ආයෙමත් සිංහලෙන්ම ඇහුවා..

"ට්‍රිෂා නිදි .. එයා දැම්ම නැගිටින්නේ නෑ .. "

සිගරට් එකක් පත්තු කරගෙන දුම මගේ මූනට පිඹින ගමන් මේ ගස් ගෝනා ගත් කටටම කියාපි..
යකෝ මුගේ තියෙන රැස්.. හරියට තාරුකාගේ අයිතිකාරයා වගේ ..
මට හිතුනා උගේ හොම්බට අනින්න.. මූ මොනාද දන්නේ තාරුකායි මායි ගැන.. තාරුකා මගේ හොඳම යාලුවෙක්.. නිදි නෙමෙයි මැරිලා හිටියත් එයා මම වෙනුවෙන් නැගිටලා එනවා .. මූ දන්න බම්බුව...
මට මල පැනපු බව සත පහ උනු මූණෙන් පෙනුන නිසාද කොහෙද ගලිවරයා ටිකක් ෂේප් එකට කථා කලා.. 

"ට්‍රීෂා ඊයේ පාටි එකකට ගියා.. ටිකක් වැඩි උනා.. දැන් නිදි.. ස්ලීපිං පිල්ස් අරගෙන ඉන්නේ.. ඒකයි කිව්වේ දැම්ම ඇහැරෙන එකක් නෑ කියලා."

ට්‍රීෂා ට්‍රීෂා ට්‍රීෂා.. මම ආපු වෙලේ ඉඳන් මුගේ කටේ තියෙන්නෙම ට්‍රීෂා ... කව්ද ට්‍රීෂා.. මම ආවේ තාරුකා හම්බෙන්න ..
මොනවා උනත් ආපු එකේ තාරුකාව බලලම යන්න ඕන කියලා මට හිතුනා.. අනික මොනවද මේ කියන කථා.. පාටි, වැඩි උනා.. තාරුකා මේ ඉන්න තැන.. මගේ ඉස්සරහ ඉඳගෙන ඉන්න මේ ගල් බූතයා .. මේ ඔක්කොම මගේ චේන් පන්නලා තිබුනේ ඒ වෙද්දි..

"හ්ම්ම්.. කමක් නෑ.. මම ඉන්නම් එයා ඇහැරෙනකන්"

කථාවක් නැතුව හිටියත් මගේ ඉස්සරහ ඉඳගෙන හිටි පච්ච කොල්ලා මගේ දිහා බලාගෙන ඉන්න බව මට දැනුනා.. ඌම කථා කරනකන් මමත් කට වහගෙන හිටියා.

"නිසල් .. මම දන්නව උඹව .. ට්‍රිෂා හොඳටම වැඩි උන වෙලාවට උඹ ගැන කියවනවා.. උඹ කවුරු උනත් එයාට සෑහෙන්න වැදගත් කෙනෙක්. ඒත් උඹ එයාගේ කව්ද කියන්න මම දන්නේ නෑ හරියටම. ට්‍රිෂා හොඳ සිහියෙන් ඉන්න කිසිම වෙලාවක උඹ ගැන වචනයක් කියන්නේ නෑ.. මම දන්නේ නෑ එයාගේ අතීතේ, එයා කොහේ ඉඳන් කඩා වැටුනද කියල.. එයාගේ නම තාරුකා කියලා දන්නෙත් එක දවසක් අහම්බෙන් අයිඩී එක දැක්ක නිසා.. නැත්නම් එයා ක්ලබ් එකේදි අඳුන ගත්තු ට්‍රිෂාම විතරයි මට.. "

ගලිවරයා කියවගෙන කියවගෙන ගියා ...

මට උතුර දකුණ මාරු වෙලා හිටියේ.. හැබැයි එතකොට මට මතක් උනා මම තාරුකව අන්තිමට හම්බෙලා එයත් එක්ක කථා කරලා කොච්චර කල් ගත වෙලාද කියලා ඒ වෙද්දි. කාලය මම දැනගෙන හිටි තාරුකාව මරල දාල වගේ, මේ කියන ට්‍රීෂා ව මම දුරන්නේ නෑ..

"ආ.. මචං.. මම තාරුකාගේ කැම්පස් යාලුවෙක්.. කාලෙකින් එයාට කථා කරන්න බැරි උනා තමයි.. ඒත් මෙච්චර වෙනසක් වෙලා ඇති කියලා හිතිනේ නෑ එයාගේ ජීවිතේ .."

"උඹ තාරුකාගේ හස්බන්ඩ්ද.." මම ඇහුවා.. 
නෑ කියපං නෑ කියපං.. ඔව් කිව්වොත් මම උඹව මරනවා කියලා හිතින් හිත හිතා ..

කොල්ලා සීරියස් මූඩ් ගැහුවා.. 

"නෑ මම හස්බන්ඩ් නෙමෙයි.. හැබැයි එහෙම වෙන්න පුලුවන් නම් මම ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒත් එයා ඒ අයිතිවාසිකම මට දෙන්නේ නෑ .. මම ට්‍රීෂව බලාගන්නවා, එච්චරයි .."
ඌ පත්තු කරන් හිටි පලවෙනි සිගරට් එක ඉවර කරල දෙවෙනි එක පත්තු කරන ගමන් හිටියේ ...

"මට දැනගන්න ඕන නෑ උඹ කව්ද කියලා.. හැබැයි ට්‍රීෂගෙ ඔලුවේ තාමත් ඉන්නේ උඹ විතරයි.. හිටපන් මම බලන්නම් එයා ඇහැරිලාද කියලා .."

එහෙම කියපු ඌ ඉස්සරහ තිබුනු ස්ටූල් එකට පයින් ගහගෙන ඇතුලට ගියා .. හරියට මට පයින් ගහන්න බැරි නිසා වගේ. නැගිටලා යනවද නැද්ද කියලා දෙකට දෙවාරමේ ඉඳිද්දි ...

තා රු කා ..
නෑ නෑ ට්‍රිෂා..
නෑ තා රු කා ..


කවුරු හරි .. මම හම්බෙන්න ආපු කෙල්ල මම ඉස්සරහට ආවා.

"නිසල් ...." ඒ කෙල්ල කිව්වා..
මට ඉබේටම නැගිට්ටුනා ..
ඒ තාරුකා නෙමෙයි.. ඒ කොහොමටවත් මම දැනගෙන හිටි තාරුකා නෙමෙයි ..
පස්සෙන් බාගයක් වැහෙන්න පොඩි නූල් ගිය කලිසම් කොටයක් ඇඳගෙන, ඇටකටු පෑදුන ඇඟ පොඩි ටී ෂර්ට් කෑල්ලකින් වහගෙන කොටටම කපා දාපු කොන්ඩයක් එක්ක මගේ ඉස්සරහ හිටගෙන හිටියේ ගවුම් ඇඳගෙන බෑග් එකක් එල්ලගෙන හිනා වෙවී කැම්පස් එකට දුවගෙන ආපු තාරුකා නෙමෙයි..
ගලිවරයා ඇවිත් කෙල්ලගේ අතින් අල්ලලා වාඩි කෙරෙව්වා.. කෙල්ල හිටියේ හොල්මන් වෙලා වගේ.. මමත් මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව එක තැන මුල් ඇදලා හිටියේ ..

"නිසල් .. ඉඳගන්න .." කෙල්ල කිව්වා ...
"ඔයා .. ගොඩ කාලෙකට පස්සේ .. සතුටුයි දකින්න ලැබුන එක ගැන"
අර හෝතඹුවා මෙච්චර ඉඩ තියෙද්දි කෙල්ල ඉඳ ගත්තු පුටුවෙම ඇන්ඳෙන් වාඩි වෙලා හිටියා.. 
ගල් මූසලයා.. මොකද්දෝ හේතුවකට මට ඌත් එක්ක තද උනා ...
"ක්‍රිස්.. මේ නිසල් .."
"yeah.. we already got to know each other .."
ඌ උගේ මහා අනර්ඝ සිගරට් එක අදිනගමන් කිව්වා .. මම කට ඇරගෙන අද ට්‍රීෂා එදා තාරුකා දිහා බලාගෙන හිටියා .. තාරුකාගෙන් අංශු මාත්‍රයක් හරි මේ කෙල්ල ලග තියෙනවද බලන්න..
නෑ. මේ අමුතුම ප්‍රාණියෙක්.. මේ තාරුකා නෙමෙයි ..
සුදුමැලි අත දිගේ තිබුනු ඉන්ජෙක්ෂන් පාරවල් බව පැහැදිලිවම පේන පුංචි පුංචි තිත් දැක්කම මට එතනින් එහාට තවත් එයා දිහා බලාගෙන ඉන්න බෑ කියලා හිතුනා. මට තව මොනවා පෙනෙයිද කියලා මට බය හිතුනා ..

අපි ඔක්කොම ..තුන් දෙනාම ඔහෙ සද්ද නැතුව එක එකාගේ මූණු දිහා බලාගෙන හිටියා .. විනාඩි ගානක්.. කල්පයක් වගේ දැනිච්ච ඒ විනාඩි ගානට පස්සේ මම යන්න නැගිට්ටා..

"තාරුකා මම බඳිනවා..ඔයාට වෙඩිං එක කියන්නයි ආවේ .."

කෙල්ල අත දික් කලා කාඩ් එක ගන්න.. ඒ අත ගැහෙනවා සට පට ගාල.. මම නොදැක්කා වගේ අහක බලා ගත්තා...

"එහෙනම් මම ගිහින් එන්නම්.. "
කියන පරක්කුවට ගලිවරයා දොර ඇරලත් ඉවරයි ... තාරුකා මුකුත් කිව්වේ නෑ.. මම නැගිටිද්දි එයත් නැගිටින්න හැදුවා.. ඒත් එයා වැටෙන්න ගියා.. මමත් ගලිවරයත් දෙන්නම එකට පැන්නා එයාව අල්ලගන්න.. ගලිවරයා ඉස්සර උනා.. එයා කෙල්ලව අල්ලගත්තා..වැටෙන්න නොදී.. පොඩි එකෙක් අල්ලගන්න තරම් සීරුවට ... පලවෙනි වතාවට මට ඌ ගැන තිබුනු කේන්තිය නැති උනා.. ඌ මොකෙක් උනත්, තාරුකාට.. උගේ ට්‍රීෂට ආදරෙයි බොක්කෙන්ම ...


නිසල් ..
තාරුකාගේ හීනි කටහඩ මට පිටි පස්සෙන් ඇහුනා ..
"මම එන්නේ නෑ වෙඩිං එකට .. ඔයා තරහ නෑ නේද ..
සතුටුයි ඔයාව දකින්න ලැබුනු එක ගැන ..
හැමදාමත් සතුටින් ඉන්න..
බුදුසරණයි ඔයාට .."

ට්‍රීෂගේ කටින් තාරුකාගේ පුරුදු ප්‍රාර්ථනාව පිට වෙද්දි මට දැනුනා මම ආයේ අවුරුදු ගානකින් අතීතෙට ගියා කියලා .. ඒත් මම ආපහු හැරුනේ නෑ.. මම දිගටම ගියා දොරෙන් එළියටම.. ලිෆ්ට් එක තිබ්බත් පඹ ගාලක පැටලිලා තිබුන හිත නිදහස් කරගන්න පඩි පෙළ දිගේ බැහැල යන්න හිතුවා මම. මම බැස්ස පඩියෙන් පඩිය..පඩියෙන් පඩිය ..
අන්තිම පඩියට බැහැලා ...
ආපහු හැරිලා බැලුවා..

තාරුකා හැමදාමත් මම නොපෙනී යනකන් බලන් හිටියා මම යද්දි.. පාර කොනේ, පඩි පෙල කොනේ..හැම තැනදිම. මාව අන්තිමට නොපෙනී යන තැන වෙනකන් එයා බලාගෙන හිටියා ඉස්සර.. මම ආපහු හැරිලා බැලුව, මට ඕන උනේ ට්‍රීෂා එහෙම ඉන්නේ නෑ කියලා මගේ ඇස් දෙකටම දකින්න.. මගේ හිත නිදහස් කරගන්න එයා මම දිහා තවත් බලාගෙන ඉන්නේ නෑ කියලා හිතලා ..

ඒත් ...
දොර ලග ..
කෙලින් හිට ගන්න පණ නැතුව ..
ඇස් යට කට්ට කලු පාට උනු ...
හෙරොයින්ද හෂීෂ්ද ගංජද මොනවද කියලා නොදන්න දේකට ජීවිතේ දීපු කෙල්ලෙක් හිටගෙන හිටියා..
අත් දෙකෙන්ම දොර උලු අස්ස බදාගෙන.. හිටගෙන ඉන්න උපරිම උත්සාහය දීගෙන ...
එක එල්ලේ මගේ දිහා බලාගෙන හිටියා ..

ඒ ඇස්...
ඒ තාරුකා ...
ඒ තාරුකාමයි ........



මම මේ රෑ ඇහැරගෙන ඉන්නේ ඒ ඇස් නිසා..
අවුරුදු ගානක නොකියවුනු කථා ඒ ඇස් දෙකේ ඒ තත්පර ගානට ලියවිලා තිබුනු නිසා...

ඇයි තාරුකා ජීවිතේ විනාස කරගත්තේ.. මම එයාට ආදරේ කලේ නෑ.. ඒක එයත් දැනගෙන හිටියා.. මම ආදරේ කලේ ඉෂානිට විතරයි.. තාරුකා ගැන මගේ හිතේ තිබුනේ වෙන විදියක බැඳීමක්.. ඇයි එයා ඒක වැරදියට තේරුම් ගත්තේ ... ඇයි මේ හැම දේම මෙහෙම උනේ.. එයාගේ ඇස් වල තිබුනේ සමාව ඉල්ලන බැල්මක්.. ඇයි එයා මගෙන් සමාව ඉල්ලන්නේ... කව්ද සමාව ඉල්ලන්න ඕන.. මම සමාව ඉල්ලන්න ඕනද.. ඒත් ඇයි.. මම මොනව කලාටද ... ඇයි මේ කෙල්ල මෙච්චර මෝඩ උනේ .. ඇයි එයා ජීවිතේ විනාස කරගත්තේ ... මගේ චේන් ඔක්කොම පෝලිමට පැනගෙන පැනගෙන ගියා ...

"නිසල් .. ඔයා මොකද මේ රෑ ඇහැරගෙන කරන්නේ .. එන්න ඇඳට ..හීතල නැද්ද ලමයෝ .."  ඉෂානි ඇහැරිලා..

"මම මේ නිකන් පොඩ්ඩක් හුලං වදින්න ආවා ..."

ඒ කියන ගමන් මම කාමරේ ජනෙල් ඔක්කොම ඇරියා...
ඒ තාරුකා දවසක් කියපු කථාවක් මතක් වෙලා ..
මගේ අත අල්ලගෙන ඇඟිලි හුරතල් කර කර ඉන්න ගමන් එක දවසක් එයා කිව්වා ..

නිසල් .. කවද හරි මම තාරුකාවක් වෙනවා.. 

ඇත්ත තරුවක්.. 
අහසේ දිලිසෙන ...  
ඔයාගේ ජනේලෙ ලග උඩින් පායල ඔයා දිහා බලාගෙන ඉන්නව.. 
නිදාගෙන ඉන්නකනුත් ඔයාව පරිස්සම් කරනවා මම...
කවදාවත් ජනේලේ වහන්නෙපා ..
මට ඔයාව පේන්නේ නැතිව යයි එතකොට ...
!!

හරියටම මගේ ඇස් මානයේ එකම එක පුංචි තරුවක් දිලිහි දිලිහි තියෙනවා මේ දැනුත් ... !!



( තාරුකාවත්, නිසල්වත්, ඉෂානිවත්, ක්‍රිස්වත් මේ පොළව උඩ හැබෑවට ජීව්ත් උන අය නෙමෙයි .. හැමදේම මගේ හිතලුවක් විතරයි)

20 comments:

  1. ඇයි තාරුකාට එහෙම උනේ......

    මාරම කතාවක්. හිතා ගන්න බැරි උනා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. තාරුකාට එහෙම උනේ ඇයි කියන එකට හරි උත්තරයක් නෑ.. තාරුකා දුර්වල කෙනෙක් නිසා වෙන්න පුලුවන්. ඒ නිසා එයා ඇත්තට මූණ දෙන්න බයේ ඒ ඇත්තෙන් මිදෙන්න තේරුමක් නැති මාර්ගයක් තෝරගත්තා වෙන්න පුලුවන් ... !!

      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  2. ඔය කියන තාරුකා කෙනෙක්, නිසල් කෙනෙක් නිසා ට්‍රීෂා කෙනෙක් වෙනවා මම හැබෑ ජීවිතේ දී දැකලා තියෙනවා.
    Desperate times lead to desperate measures... දුකයි. නිසල් ගේ වරදකුත් නැහැ, බලද්දී.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්.. නිසල් වැරදි නෑ පොඩ්ඩක්වත් ... කවුද වැරදි කියලා කථාව ලියපු මමවත් දන්නේ නෑ.. කවුරුත් වැරදි නෑ මම හිතන්නේ. වැරදි නම් වැරදි තාරුකා විතරයි ... !!

      ස්තූතියි ඇවිත් ගියාට :)

      Delete
  3. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... කොහෙන්ද පටන් ගන්නෙ ^_^

    මේ කතාවෙ තාරුකා ගැන කියවන් යද්දි, මුල ඉදන්ම මම මවාගත්තෙ කලින් අක්කිගෙම කතාවක උන්නු චරිතයක්. හැඩරුව, විදිය, ඔක්කොම ඒ එක්ක ගැලපුනා..

    ඒත්..,//( තාරුකාවත්, නිසල්වත්, ඉෂානිවත්, ක්‍රිස්වත් මේ පොළව උඩ හැබෑවට ජීව්ත් උන අය නෙමෙයි .. හැමදේම මගේ හිතලුවක් විතරයි)// මේක නිසායි, අවසානය හින්දායි.., මගෙ සිතුවිල්ල මම ඉල්ලා අස් කරගත්තා :)

    මේක කියවලා මම කල්පනා කලේ.., කවුද වැරදි කියලා.. ඒත් හිතාගන්න බැරිවුනා.. අන්තිමට හෙව්වා කොහෙදිද වැරද්දක් වුනෙ කියලා....?? එකකටවත් උත්තර නෑ.... :( :( තාරුකා ගැන දුක හිතුනා... :'(

    ReplyDelete
    Replies
    1. මේක හිතලුවක් උනාට සමහරවිට තාරුකාලා, නිසල්ලා, ඉෂානිලා අපි අතරෙම ඉන්න පුලුවන් නංගි ..
      බොහොම ස්තූතියි හිතෙන විදිය කිව්වට ..
      මටත් දුකයි තාරුකා ගැන, ඒත් ඒ එයාගේ දෛවය ... !!

      Delete
  4. එක හුස්මට කියවගෙන ගියා...මට කට උත්තර නැත...

    ReplyDelete
  5. දිගටම ලියන්න. විරාමයක් නැතුව.

    ජය වේවා!

    ReplyDelete
  6. මං මේ කතාව නොකිවෙව්ව නම්.......................
    ජීවිතේ අපිට ආදරේ කරන හැමෝටම අපි ආදරේ කරන්නෙ නෑ.. කරන්නත් බෑ. රෙද්ද, මං මේක නොකියව හිටිය නම් ඉවරයි....

    ReplyDelete
    Replies
    1. අපොයි.. මොකෝ මේ තද වෙලා ... :-o
      ඔව්.. ඇත්ත .. ජීවිතේ අපිට ආදරේ කරන හැමෝටම අපිට ආදරේ කරන්න බෑ තමයි ..
      තාරුකා නිසල් එක්ක තරහා නැත්තේ ඒකයි !!

      Delete
  7. damn nice.....i love the style..

    ReplyDelete
  8. Sounds bit familiar.. a well known past and an elicited future..

    ReplyDelete