බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Wednesday, January 2, 2013

ජනේරු එක ...

හ්ම්ම්.. අද ජනේරු දෙක ... දවසක් පරක්කු වෙලා උනත් හිතුනා ජනේරු එක ගැන ලියන්න... 

ජීවිතෙත් එක්ක ජනේරු එක වෙනස් උන හැටි සහ අද මට දැනෙන හැටි ගැන පුංචි සටහනක් ... 



මතක ඇති ඈතම අතීතයේ ඒ කිව්වේ ළදරු පාසල් යන කාලේ, ජනේරු එක ගැන තිබුනු එකම වැදගත්කම අලුත් ගවුමක් ලැබෙන එකයි උදෙන්ම කිරිබත් ලැබෙන එකයි විතරයි .. ඊට පස්සේ එක වසර දෙක වසර කාලේ ඉඳන් පහ වසරට විතර වෙනකන් ජනේරු එක ඉස්කෝලේ පළවෙනි දවස විදියට තමයි වැදගත් උනේ.. අලුත් පොත් අරගෙන, නිල ඇඳුමේ ඉඳලා පැන්සල වෙනකන් අලුතෙන් අරගෙන පුදුම සන්තෝසෙකින් ඉස්කෝලෙට දිව්වා මතකයි ඒ කාලේ .. ඊට පස්සේ වසරින් වසර ඉස්කෝලේ ඉහල පන්ති වලට යද්දි, පොඩි කාලේ තිබුනු සරල ළදරු සන්තෝසේ හිමි හිමීට යන්න ගියා.. පොඩි පොඩි ප්‍රශ්න ජනේරු එක හිනාව ආක්‍රමය කලා.. අලුත් පාසැල් වාරේ පන්ති බෙදද්දි පරණ යාලුවන්වම ලැබෙයිද, පන්ති බාර ටීච කවුරු වේවිද.. ඔය විදියට පටන් ගත්තු ප්‍රශ්න සාමන්‍ය පෙළ උසස් පෙළ වෙද්දි කප්පරක් උසට ගොඩ ගැහිලා තිබුනා .. විභාග වල බර වැඩි වෙද්දි ජනේරු එක හිනාව සදහටම මැකිලා ගියා .. පුංචි කාලේ නොතිබුනු ආත්මාර්ථයක් ලොකු වෙද්දි හිතට ආවා වෙන්න පුලුවන්.. ඒ නිසයි පන්ති බෙදද්දි පරණ යාලුවොම ඕන කියලා හිත කැරළි ගැහුවේ.. පුංචි කාලේ ජනේරු එක වගේ ඕනම කෙනෙක් එක්ක හිනා වෙලා කෑමපත බෙදාගන්න හිත, ලොකු වෙද්දි නැති උනා නේද කියලා හිතෙද්දි හිත පුරාවට දුවන්නේ හීනි දුකක්. එක එක්කෙනාට ලැබුනු අච්චු පොත් වල අලුත් බව සංසන්දනය කරන්න, ගෙනා අලුත් වතුර බෝතල් වල ගණන් වැඩි එක මොකද්ද බලන්න, නෝට් පොතේ බ්‍රෑන්ඩ් එක මොකද්ද බලන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම ජනේරු එක ගෙනාවේ හිත් රිදිම් සහ බලාපොරොත්තු කඩවීම් ගොන්නක් විතරයි .. වඩා හොඳ මොකද්ද කියලා නොසොයපු පුංචි කාලේ හිත කොහේ ලෝකේ හැංගුනාද කියලා අදටත් හිතා ගන්න බෑ.

පාසල් කාලේ ඉවර වෙලා විශ්ව විද්‍යාලයට ඇතුලු උනාම ආයෙම ජනේරු එක අලුත් විදියකට ජීවිතයට ආවා .. පොතේ අලුත් බව, සපත්තුවේ මෝස්තරය මත්තේ නැහුනු කාලේ ඉවර වෙලා අලුත් සතුටකින් අලුත් අවුරුද්ද පිළිගන්න කාලයක් ආයෙම උදා උනා .. හැම අවුරුද්දෙම ඉගෙන ගන්න අලුත් දෙයක්, හිටපු යාලුවො නැති වෙයි කියලා බයක් නෑ, පුදුම නිදහසක්, ඒ හැම දේමත් එක්ක දිග නිවාඩුවකට පස්සේ ජනේරු එක ලස්සනට ඇඳගෙන ඉගෙන ගන්න තැනට දිව්වේ පුදුම ආසාවකින්... බලන්න බලාගෙන ඉන්න මූණ දකින්න.. එකට ඉඳගෙන කන්න... ආදර බලාපොරොත්තු ... යාලුවො එක්ක විකාර කරන්න ඒ හැම දේටම ඉඩ දෙන පළවෙනි දවස විදියට ජනේරු එකට ජීවිතේ තිබුනේ පුදුම ලොකු තැනක්...




විශ්වවිද්‍යාලේ ඇතුලෙදි, ඒ අවුරුදු හතරෙදි ජීවිතයට උනු වෙනස්කම් පස්සේ පස්සේ උදා උනු ජනේරු එකට බලපෑවා.. ජනේරු එකේ සතුටක් දකින්නම බැරි වෙන්න.. මුලු අවුරුද්ද පුරාවටම එක දිගට කඳූලු ඇල්ල කඩා වැටුනු කාලයක් ජීවිතේට ආවා. කැලැන්ඩරේ දින ගැන කිසිම හැඟීමක් නැතුව, එළි වෙන රෑ වෙන එක ගැන වගේ වගක් නැතුව ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන නැවතීමකට ජීවිතේ ආවා. හීන නැති, බලාපොරොත්තු නැති, එල්ලයක් මාවතක් නැති ඔහේ ඉන්නෙක් බවට පත් උනු ජීවිතේට ජනේරු එක ඇවිත් ගියාවත් තේරුනේ නෑ. ජනේරු එක ඇඩුවා.. දෙසැම්බර් තිස් එක වෙනකන් එක දිගට ඇඩුවා ..




ඊයේ ආයෙත් ජනේරු එක ආවා ..
මට හීන නෑ, බලාපොරොත්තු නෑ, ලබා ගන්න දෙයක් නෑ, කොටින්ම හිතේ කිසිම හැඟීමක් දැනීමක් නෑ..

                                     හැබැයි මම ඇඩුවෙත් නෑ ..

හොටු පෙරාගෙන කඳුලු පුරෝගෙන වැලපෙන්නේ නැතුව ජනේරු එක එන දිහා මම බලාගෙන හිටියා ..
මිනිස්සු රතිඤ්ඤා පත්තු කරන දිහා, පාටි දාන දිහා, එකිනෙකාට සුභ පතා ගන්නා දිහා බලාගෙන හිටියා ..
මිනිස්සු ජීවත් වෙන දිහා, මිනිස්සුන්ගේ ජීවිතේට ජනේරු එක දැනෙන විදිය දිහා මම බලාගෙන හිටියා ..

ජීව්තය සරසපු හැමෝටම වගේම ජීවිතය අසීරු කරපු හැමෝටමත් පිං..
හැම දෙයින්ම, හැම මොහොතින්ම මම දෙයක් ඉගෙන ගත්තා ..
රෑ වැටුනු වලේ දවල් නොවැටෙයි කියලා ස්ථීරෙටම කියන්න බැරි උනත්, දවල් වැටුනොත් වැටෙන්නේ වලක් බව දැනගෙනයි මින් පස්සේ ...




හිනා නොවුනත් මම අඩන්නෙත් නෑ ..

ලබන ජනේරු එක වෙනකන් ...

එළි වෙන හැම අලුත් දවසකට මගේ ඇස් ඇරෙනතාක් කල් .. 

අනිච්චානුගව සිද්ධ වෙන හුස්ම නවතිනතාක් කල්.. 


          එලඹෙන හැම ජනේරු එක දිහාම මම බලාගෙන ඉන්නවා .. 
                                  ඇස් වල කඳුලු නැතුව .. 

                                   මොකද කඳුලු පිරුනම..
                           කිසි දෙයක් හරියට බලා ගන්න බෑ ...





සිංහල දෙමළ අපේ අවුරුද්දට තව කල් තියෙනවනේ ..
මේ ලැබුවා වූ කැලැන්ඩර් අවුරුද්දේ බාඳුරා අසපුවට ගොඩ වැදෙන හැමදෙනාගේම හිත් වල තියෙන හැම හොඳ බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ..

තෙරුවන් සරණයි .. :)

14 comments:

  1. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. රස බර කතන්දර
      ගොඩ ගොඩ පළවේවා
      ගෙන ආ අසිරි සිරි
      ඔබටත් පැමිනේවා :)

      Delete
  2. ජනේරු කියන එක තේරුනේ නැහැනේ...
    අනේ සොරි මේක මට සෙන්සිටිව් වැඩි නිසා
    කියවන යද්දී නවත්තන්න උනා...
    ( ඒ ඔයාගේ ලිවීමේ හැකියාව නිසා..දැනෙන්න
    ලියල තියෙනවා )

    සුබම සුබ නව වසරක් වේවා...
    දෙවියෝ බලත්වා ..

    ReplyDelete
    Replies
    1. ජනේරුව කියන්නේ ජනවාරි වලට ...

      හ්ම්ම්... ස්තූතියි හිතෙන හැටි කිව්වට

      ඔයාටත් සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි කිව්වා ඕන් :)

      Delete
  3. හ්ම්ම් එක පාරක් කල මෝඩ කම දෙවැනි පාරට නොකරන එක මිනිසත්බවේ හොඳ ගතියක්. බ්ලොග් ලොව මා දන්නා හඳුනන අය අතර මගේ සොහොයුරියන් ගොඩට වැටෙන කෙනක් තමයි ඔබත්. එහෙනම් ඔන්න බොක්කෙන්ම සුභ නව වසරක් වේවා කිව්වා. දුකට අඬලා වැඩක් නැහැ.පහුගිය කාලවල ඇරියසුත් එක්ක අල්ලලා සතුටින්න ඉන්නට ලැබේවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇරියස් අල්ලන්න ගියොත් නම් තව ආත්ම හතක් ඉපදෙන්න වෙයි.. :D

      ඒ කොහොම උනත් බොහොම ස්තූතියි හදවතින්ම දීපු සුභ පැතුම් වලට ..
      සතුටින් ඉඳීම කෙසේ වෙතත් ලෝකෙට පේන්න නාඩා ඉන්න උත්සහ කරනවා මම..

      කෝරලේ මහත්තයාටත් හාමිනේටත් සුභ 2013 ක් වේවා :)

      Delete
  4. අපුර්ව සංකල්පයක් බොහොම ලස්සනට අප වෙතට ගෙනත්. ඔබටත් උදාවූ මේ ජනේරුවේ වාසනාවන්තම කාලයක් උදාවේවා කියා පතන්නම්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභ පැතුමට
      සහ
      ඇවිත් ගියාට :)

      Delete
  5. හම් වැදුන ඇ...
    හැම අවුරුද්දෙම පළවෙනි දවසට යාන්ත්‍රාකව වගේ සුභ පතන්න අපි කව්රුත් පුරුදු වෙලා.. අපිට ඉන්න යාලුවො... තව තව මගදි හමුවන අය පවා.. කීදෙනෙක් නම් සුභ පතනවද? අවුරුද්දක් යන්නෙ මතක ගොන්නක් අපිට දීල.. පුංචි බලාපොරොත්තුවකුත් දීල. ඒක තමයි සුන්දර කම. ඉතින් මේත් තව එක අළුත් අවුරුද්දක්.. බය වෙන්න එපා තවත් 31ක් ඒවි එදාට එකතු කරගන්න ලස්සන මතක ගොන්නක් එකතු කරගන්න.. අද ඉදලම පටන් ගන්න. මතක ගොඩාක් ලස්සනයි... සුභ වේවා! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. ලස්සන උනත් නැති උනත් මතකයන් කියන්නේ ජීවිතය එක්ක දවසින් දවස එකතු වෙන දෙයක් .. ඔව්.. මටත් සුන්දර මතක තියෙනවා .. මම ඒ මතක උඩ මෙච්චර කල් ජීවත් උනා ..
      2013 සුන්දර මතකයන් ගෙනෙයි කියලා බලාපොරොත්තුවක් නැතත් ගේන මොනව හරි මතක වැදගත් වෙයි ජීවිතය ඉස්සරහට ගෙනියන්න..
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  6. Replies
    1. ඔබටත් එසේම වේවා..
      බොහොම ස්තූතියි සුභ පැටුම් වලට :)

      Delete
  7. දැන් බොහොම කාලයක ඉදන් ජනවාරි කියන්නේත් සාමාන්‍ය මාසයක් වගේම ජනවාරි 1 වෙනිදා කියලා කියන්නේත් සාමාන්‍ය දිනයක් විදිහට මගේ හිතේ ලියාපදිංචි වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. දවස් වලට වැදගත්කමක් දෙන්නේ අපිමයි ..

      Delete