බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, December 27, 2012

මරියා .. ආදරය හොයන ගණිකාවක් .. !!


මිනිත්තු එකොළහේ කතාව පසෙකින් දැමූ ඈ යහනේ ඇල වූවාය..
නින්දකට සැරසි නිදහස් ඉරියව්වක් නොව කෙනෙක් තලා පෙලා යහනට ඇද දැම්මාක් වැනි කෙඩෙත්තුවක් පමනක් ඇගේ වතෙහි විය ...




                                             මරියා ... 
                                                            ආදරය හොයන ගණිකාවක් ......

පාවුලෝ කොයියෝගේ ආරම්භක වදන් පොත් පිටු අතරින් ඇය දෙස බලා ඉඳිනා බවක් ඇයට දැනින ..
තමා ලෝකය හමුවේ සම්පූරණයෙන්ම නිරුවත් බවත්, තමාගේ සියලු අඟ පසඟ ලෝකය හමුවේ නිරාවරණ බවත්, එක් මිනිසෙක් බයක් සැකක් නැතුව ඒ පිළිබඳව පොතක ලියා ඇති බවත් ඇයට හැඟෙන්නට විය..

                                                       ආදරය හොයන ගණිකාවක් ...
                      ආදරය හොයන ගණිකාවක් ..
                                               ආදරය හොයන ගණිකාවක් ..

වචනෙන් වචනෙට තබන බර අනුව ඒ ආරම්භයේ තේරුම විවිධාර්ථ ගන්නා ආකාරය ඇය සිතින් විශ්ලේෂනය කලාය.. සමාජය වැඩි බර තබන්නේ කවර වචනයටද යන්න ඇය සක්සුදක් සේ දැන සිටියා මෙන්ම ඒ බර තැබීමට එරෙහිව ඇයට කල හැකි කිසිවක් නොමැති වගද ඇය දැන සිටියාය.. කිසිවක් කල හැකි උවද ඒ වෙනුවෙන්, සමාජයේ සිතුම් පැතුම් වෙනස් කිරීම වෙනුවෙන් කිසිවක් කිරීමේ උවමනාවක් හෝ අවශ්‍යතාවයක්ද ඇයට තිබුනා යැයිද සිතිය නොහැක .. ඇය ඇයගේ කවචය තුල සිටින්නීය.. බාහිර පරිසරයෙන් ස්වායක්තව, බාහිර ශබ්දයන්ට නෑසු කන් ඇතිව, බාහිර දර්ශනයන්ට වැසූ ඇස් ඇතිව, බාහිර හැඟිම් දැනීම් වලට අගුලු ලූ හදවතින් ඈ ඇගේ කවචය තුල සිටින්නීය..

යහනේ ඒ මේ අත පෙරලෙද්දි පය වැදුනු තව පොත් දෙක තුනක් දඩි බිඩි හඩින් බිම වැටෙනු ඇයට ඇසින .. පෙර එක් දිනක මේ ඇඳ උඩම වාඩිගෙන සිටි කෙනෙක් ( නම දැන් ඇයට අමතකය ) මේ තරම් බරපතල පොත් කාමරේ පුරා විසුරවාගෙන සිටින්නේ සෝබනේට නේදැයි ඇසුවා ඇයට මතකය ... ඔහුගේ අතේ සිටි එමා බොවාරිව පොත් රාක්කයේ තබමින්,  ඔහුගේ දෑස් මානයෙන් ඇනා කැරනිනාව සහ අල්කෙමිස්ට්ව සගවන අතරේම ඒ කී කථාව ඇත්තයැයි ඔප්පු කරන බැල්මක් ඔහුට හෙලුවා ඇයට මතකය... ඔහුත් මහා ආඩම්බරයකින්, මේ මේ බෝනිකි සීනි බෝල කෙල්ලට මොන සාහිත්‍ය ද වැනි ජයග්‍රාහී බැල්මකින් ඇය දෙස බලා උන්නා ඇ‍යට මතකය.. කරුනු කාරණා නිම වීමෙන් පසු පසුම්බිය පිරෙන්න තිබූ ණය පත් තොගය එළියට ඇදගත් ඔහු මහා ලොකුවට ඒවා ප්‍රදර්ෂණය කරමින් "අද කන්න යන්නේ කොහේටදැයි" ඇසුවා ඇගේ මතකයේ ඇත.. කබඩයේ ලාච්චුවේ තිබෙන ණය සීමාව අසීමිත ජාත්‍යන්තර බැංකුවකින් ලබා දුන්, මේ ණය පත් සියල්ලම එකතු කලද අලගු තැබීමට නොහෙන තම නම සදහන් ණය පත සිහිවී දෙතොල රැදි මදහසින්ම, ඔයාට කැමති තැනකට යමු කීවා ද ඇයට මතකය.. තමා සොයන ආදරය ඔහු නොවන වග දුටු ඈ.. සති ගනනක ඒ හමු වීමට එදා නැවතීම තැබුවා මතකය .. 




ඒ නැවතීමෙන් පසුව සති දෙකේ මාසයේ තවත් කොතෙකුත් හමු වීම්.. ඒ හමු වීම් වල මිහිරි අමිහිරි මතක.. කල කී දේවල්.. අතරින් පතර ඇගේ මතකයේ ඇත ... ඇය හමු වන්නට අනේක විධ දෙනා දැරූ උත්සාහයන්... ඒ අතරින් වාසනාවන්ත උනු සහ තෝරගත් කීප දෙනා ඇය තේරුම් ගැනීමට දැරූ ප්‍රයත්නයන්.. ඇයට සැබෑවට ප්‍රේම කල වුන්ගේ දුක් අඳෝනා, ඇයව විහිලුවට ගත්තවුන්ගේ අපහාස වදන්, ඇයව හිමි කරගැනීමට නොහැකි උන්ගේ දෝෂාරෝපන, මේ සියල්ල ඇගේ කවචය පිටතින් වෙනම බලකොටු ලාගෙන සිටින දෙස ඈ බලා උන්නාය ..

ඒ සියලු දෙනා අතරේ තමන් සෙව්වේ ආදරයම පමනක් බව කෑ ගසා කියන්නට ඇයට සිත් විය...
මරියා මෙන්ම.. සියලු දේ මගින් සියලු දේ වෙතින් තමන්ට ඇවැසි වූයේද ආදරයම පමනක් බව මුලු ලෝකෙටම ඇසෙන්නට කියන්නට ඇයට උවමනා විය..

මරියා කුඩා කල පැන්සලක් දුන් කොලුවාට බැඳි ආදරය ලෝකයේ හතර කොනේ සොයා ගියාක් මෙන්ම ඇයද.. ඇයට යම් තැනකදී අහිමි උනු ඇගේ ප්‍රේමය සොයාගෙන මෙතෙක් දුර ආ බව කියන්නට ඇයට උවමනා විය .. ඒ ගමන අතර මැද ඇය මුහුණ දුන් ගැහැට.. ඒ ගමන අතර මැද ඇගේ චරිතය විවිධ දෙනා අරුත් ගැන්වූ අකාරය.. ඇයට සැබෑ ඇය අමතක කරවා ඇති බව විටින් විට ඇයටම සිතෙන්නීය .. සැබෑ ඇය සොයන්නට දැන් ප්‍රමාද වැඩි බව තේරුම් ගැනීමට තරම් පරිණත බුද්ධියක් ඇය සතුව ඇත ..
                             



                                 ආදරය සොයන ගණිකාවක් ...

                                         ඇතිරිලි අවුල් යහනෙහි කෙලින් වී වාඩි ගත් ඈ...
                                                සමාජය වැඩි බර තියන වචනයට නොව..
                       සැබෑ ඇය විග්‍රහ කෙරෙන වචනයට අවධානයක් දෙන්න යැ‍යි කෑගසා කීවාය ..
                                                                      නමුදු..
                                                 ඇගේම කවචයේ වැදුනු ඇගේම හඩ..
                                                                      යලිදු..
                                                     ඇගේම දෙසවන පුරවා දමමින්..
                                                     ඇයම ගොඩ නැගූ කවචය තුල..
                                                          ප්‍රතිරාව දෙන්නට විය ... !!




9 comments:

  1. හැමෝම ආදරයක් හොයනවා. ඒත් කොහෙවත් ආදරයක් නෑ. ඒය ගණිකාවක් වූ වෙරෝනිකාට වේවා මගේ බිරියට වේවා ආදරයක් සදාකාලිකව දැනෙන්නේ නෑ. හේතුව ආදරය කියන්නෙත් එක්තරා ගනුදෙනුවක් පමණක් වන නිසයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. නමුත් ඒ ගනුදෙනුවේ වටිනාකම මත හුවමාරු වෙන දේවල් මත ගනුදෙනුවේ පැවැත්ම තහවුරු වෙනවා.. සදාකාලික නොවුනත් ඇති තරම් කාලයක්වත් ආදරය්ක් පවතින්නේ ගනුදෙනුවට දෙපාර්ශවය දෙන වැදගත්කම සහ වටිනාකම මත ..

      අනික සදාකාලික නොවූ ලෝකේ සදාකලික ප්‍රේමයක් කොයින්ද :)

      Delete
  2. වෙනස්ම අන්දමේ නිර්මාණයක් හ්ම්ම්ම්ම්ම් මගේ හිතනම් සෑහෙන්න ඇඳ බැඳ ගත්ත නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කලා වෙනස් දෙයක් ලියන්න.. උත්සාහය සාර්ථකයි නම් සතුටුයි ... :)

      Delete

  3. නිවී සැනසිල්ලේ කියවන්නම් . හරි වටිනා අදහස් ටිකක් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. වටිනා අදහස් කියලා හිතුන එකත් ලොකු දෙයක් ... :)

      Delete
  4. බර වැඩිද කොහෙද

    ReplyDelete
    Replies
    1. හිකි හිකි.. එහෙනම් වැඩිය හිතන්නෙපා :)

      Delete
  5. ස්තූතියි.. හිට්ස් නැති උනත් ලියන දේ කියවලා හිතෙන දේ ලියලා යනවා නම් මට ඒ ඇති ...
    ඔබතුමාටත් සුභම සුභ 2013ක් වේවා .. !!

    ReplyDelete