බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, November 9, 2012

εжз මංමුලා සමනළිය :: X εжз

මම කොල්ලෙක්...
සමාජ සදාචාරයට අනුව පෝරුව උඩ නැගලා පොල් බිඳලා දකුණතට මුද්දක් දාපු කොල්ලෙක්...

X කියන්නේ මගේ ජීවිතේට අහම්බෙන් ඇතුලු උනු කෙල්ලෙක් ...
 
 

මේ වෙලාවේ මම ඉන්නේ එයාව තුරුලු කරගෙන.. ඉනෙනුත් පහලට වැටෙන කැරලි කැරලි කොන්ඩේ අතරේ මගේ නහය හංගගෙන ...

මගේ අත X ගේ ඇඟ පුරාම.. සිනිදු තැන් රළු තැන්.. වල ගොඩැලි නිම්න ගවේෂනයක ගිහින් ...
 
ඔන්න එක පාරට ...
 
ම්ම්ම්ම්.. බබා.. මම ටූට්ටන් ප්‍රශ්නයක් අහන්නද ...

X අහනවා ...

අහන්නකො බලන්න..

මගේ අත ඒ අස්සෙත් එහේ මෙහේ දුවන්නේ කතාව ගැන වගේ වගක් නැතුව..කෙල්ලො අහන්නේ එකම ප්‍රශ්නෙනෙ..
අනේ බබා ඔයා මට ආදරෙයි නේද ?
කවදාවත් මාව දාල යන්නේ නෑ නේද ? බ්ලා බ්ලා බ්ලා ...
ඕවට උත්තර දෙන එක මහ දෙයක්ද ...
 
දැන් ඔන්න මමයි ඔයාගේ නෝනයි පාරේ යනවා හරී.. ලොකූ වාහනයක් එනවා.. දැන් ඔයාට බේරගන්න පුලුවන් දෙන්නගෙන් එක්කෙනයි.. එක්කෝ එයාව..එක්කෝ මාව.. ඔයා කාවද බේර ගන්නේ ??

මගේ කට ඇරුනා..
යටි හක්ක එල්ලුනා දෙපතුල ගාවට...
කොල්ලෝ උඹ ඉවරයි...
මොලේ ඇතුලෙන් කව්දෝ කෑගැහුවා...

මොනාද බබා ඔය අහන මෝඩ ප්‍රශ්න ..
ඔහොම දෙයක් ජීවිතේට වෙන්නේ නෑනේ....
විකාර නැතුව මෙන්න මෙහෙ එන්න..
තව ටිකකින් යන්නත් ඕන...

 X එරෙව්වා...
දිලිහෙන ඇස් දෙක තවත් දිලිහෙන්න ගත්තා..
පුලුවන් නම් මාව පුච්චලා දාවි ඒ ඇස් දෙකෙන්..
ඒ අනතුරු ඇඟවීම මට බාරගන්නම වෙනවා..
X ට උත්තරයක් ඕන...
මට ඒක දෙන්නම වෙනවා ..

මෙහෙමනේ බබා ..
මම සීරියස් මූණ දාගත්තා..
ඇයි ඔයා තේරුම් නොගන්නේ...
මම තෙපරබාන්න ගත්තා...

ඔටුමාමා..
උඹ මොන එහෙකටද කෙල්ලගේ හැටි දැන දැනත් ඕන දෙයක් අහන්න කිව්වේ..
දැන් දීපන්කෝ උත්තර.. මම මටම සාප කරගත්තා ...

X තවමත් එක සීරුවට මා දිහා බලාගෙන..
ඒත් දැන් අර ඇහේ ගින්න නැතිවෙලා..
ඒ වෙනුවට පතුලක් නොපෙනන මහා ලිඳක් වගේ ඒ ඇස් දෙක මට පෙනුනේ..
ඇත්ත මිස වෙන මොකවත් Xට ඕන නැතිබව හොදටැම පැහැදිලි..
බොරුවකට, චාටුවකට ඉඩක් නෑ..
 
බබා මෙහෙමයි..
මම ආයේම පුරුෂ ධෛර්ය එකතු කරගෙන කට ඇරියා ...
 
X එයාගේ අතින් මගේ කට වැහුවා..
හීනි දිග ඇඟිලි තොලේ වැදුන ගමන් මට ඕන උනේ මේ විකාර ප්‍රශ්නෝත්තර සංග්‍රහය නවත්තලා ඒ ඇගිලි ඉඹගෙන ඉඹගෙන යන්න..
ඒත් X ගේ මූණේ තිබුනු බැරෑරුම් බැල්ම මගේ ඇතුලේ හිටි වල් සතා ආයෙම කූඩු කලා..
 
 
එක පාරට X හිනා උනා..

ආයෙත් අර හිනාව..

නෝන්ඩිය උතුරන..

මගේ කෙස් පැලෙන තර්ක වලින් තවුසන්ඩ් ටෝක්ස් වලින් හදාපු වීදුරු මාළිගාව සට පට ගාල කකුල් දෙක ලගට කඩාගෙන වට්ටලා මාව කට උත්තර නැති කරවන සීතල හිනාව ..

 
ඔයාගේ උත්තරේ මම දන්නවා.. ඒ නැතත් ඔයා දෙන්න ඕන උත්තරේ මම දන්නවා .. සමාජ සදාචාරයට ඔයාගේ හර්ද සාක්ෂියට අනුව ඔයා දෙන උත්තරේ මම දන්නවා... උත්තරේ නොදන්න ප්‍රශ්න මම කවදාවත් අහන්නේ නෑ.. මොකද මම කැමති නෑ එහෙම අවිනිශ්චිත ප්‍රශ්නයක් අහලා උත්තරේ ලැබෙනකන් මම විඳින වේදනාවට ... ඒ නිසා මගේ ජීවිතේ මම අහන්නේ මම උත්තරේ දන්න ප්‍රශ්නම විතරයි.. උත්තරේ ඒ කෙනාගේ කටින්ම එයාගෙම වචනයෙක් අහගන්න විතරයි මට ඕන...
 
මම තක්බීරි වෙලා බලාගෙන හිටියා..

ඒසී කාමරේ උනත් ඇග පුරාම දාඩිය ගලන්න පටන් අරගෙන තිබුනේ ඇරිසෝනා කාන්තාරේ අතරමං උන එකෙක්ගෙන් වගේ...
X ගෙ කතාවෙන් එහෙන් මෙහෙන් අල්ලගත්තු කැලි.. එහෙන් මෙහෙන් කනට ගිය කෑලි මගේ මොලේ එහෙම් පිටින්ම කොලොප්පං කරලා තිබ්බ...
ඊලගට මොනවා කරන්නද කියලා නොදැන මම පතෝල කොරටුවේ ඉන්න පඹයා වගේ ඔහේ බලාගෙන හිටියා ...
 
X ආයේ නෝමල් වෙලා.. ටිකකට කලින් කියපු බණ කතා කිව්වේ මේ ඇටකිති කෙල්ලද කියලා හිතාගන්න බැරි ගානට එයා පොඩි එකෙක් වගේ මගේ අත පුරාම මන්ඃකල්පිත අකුරු ලිය ලිය හිටියා හීනි දිග ඇඟිල්ලෙන් ..
 
විනාඩියකින් දෙකකින් X ඔලුව උස්සලා මා දිහා බැලුවා..
අපි යන්න ඕන නේද..
මොකෝ ටයිම් කීපර්ට අද ඒක අමතක වෙලා ..
X ආයෙම දැම්ම නෝන්ඩි හීතල හිනාව...

මම ගස් ගෝනෙක් වගේ බිත්තියක් දිහා බලාගෙන හිටියා..
ටිකකට කලින් මගේ ඔලුව කාල දාල මේකි දැන් ඉන්න අපූරුව..මොකවත් උනේ නෑ වගේ ...
X එක්ක තරහ ගන්න ඕන උනත් පූස් පැටියෙක් වගේ ගුලි වෙලා ඉන්න කෙල්ලත් එක්ක කොහොම තරහ ගන්නද ... මම ලොකූ හුස්මක් පිට කලා...
 
තව ටික වෙලාවයිනේ තියෙන්නේ... මට ඇහෙන්න සින්දුවක් කියනවද... ඔයාට මම ගැන හිතෙන හැටි... X මගේ අත බදාගෙනම කිව්ව ...

මොකක් කියන්නද..
ලාබ ප්‍රේම ගීතයක් කියලා ෂාරුක් කාන් වගේ කාමරේ වටේ නටන්නඋනත් මට පුලුවන් උනාට X ට ඕන ඒක නෙමෙයි කියලා මට තේරුනා..
මම දන්නව ඒ කට හඩ..
ඒක පට්ටම සීරියස්..
එයාට ඇත්තටම ඕන මට එයාව දැනෙන හැටි සිංදුවකින් ...
 
මගේ නිශ්ශබ්දතාව තේරිලා X ආයෙ මගේ මූණට එබුනා..
ඇයි ඔච්චර කල්පනා කරන්නේ.. මම කියන්නද එහෙනම් කියන්න ඕන සින්දුව...
අමරසිරි පීරිස් මහත්තයගේ ළඳුනේ සිංදුව කියන්න  ...
මට ගැලපෙන්නේ ඒක තමයි.. ඒකයි ඇත්ත ..
 
 
 
මම X ගේ කට තද කරලා අල්ලගත්තා..
ගහන්න හිතුනා ඒ වෙලාවේ නම් රෝස පාට තොල පුපුරලා ලේ වැක්කෙරෙන්න..
මේක මොන විදියේ සම්බන්ධයක් උනත් ඒ විදියේ සම්බන්ධයක් නෙමෙයි..
ඇයි මේ කෙල්ලට ඒක නොතේරෙන්නේ...
මගේ හිත කේන්තියෙන් පිස්සු වැටුනා...
 
බබා මට රිදෙනවා ... හීනියට අඩන්න ඔන්න මෙන්න කටහඩක් ඇහුනා...
 
තාමත් මම X ගේ නිකටෙන් අල්ලගත්තු ගමන් නේද කියලා මට මීටර් උනේ එතකොටයි.. මගේ ඇඟිලි පාරවල් ඒ සුදු මූණේ නිල් පාටට වැදිලා තිබුනා.. කොයි වෙලෙත් චැලෙන්ජ් එකට බලන දිලිහෙන ඇස් ඒ වෙලාවෙ නම් කඳුලු වලින් පිරිලා..ඇස් පිහාට්ට අගින් එල්ලෙන් කඳුලු බිඳුව තව ටිකකින් මගේ ෂර්ට් එක උඩට වැටෙයි... මටත් අඩන්න පුලුවන් උනා නම්, පිරිමිකම පැත්තකට දාල එතනම වැටිලා අඩන්න පුලුවන් උනා නම් කියලා මට හිතුනා ... පව් කෙල්ලට රිදෙන්න ඇති ... ඒ මදිවට හොදටම බය වෙලා..උගුලක වැටුනු හා පැටියෙක් වගේ.. ඒත් ඇයි එයා කටට එන හැම මගුලම ඔහේ කියලා දාන්නේ.. එයා වගේ හැම වෙලේම කඳුලු පෙරාගෙන නොහිටියට මටත් හිතක් පපුවක් කියලා එකක් තියෙනවා නේද.. ඇ‍යි එයාට නොතේරෙන්නේ ... ඇයි නොතේරෙන්නේ මම ආදරෙයි කියලා.. ඇ‍යි නොතෙරෙන්නේ ඒ ආදරේ සමාජය පිළි නොගත්තත් ඒ ආදරේට නමක් නැති උනත් ඒ ආදරෙත් ලයිල මජ්නුට නැත්නම් රෝමියෝ ජුලි‍යෙට්ට දුන්නු ආදරේ තරම්ම වැදගත් කියලා.. ඇ‍යි හැමදාම අන්තිම මොහොතේ එයා ඔක්කොම කාල දාන්නේ ...
 
X තාමත් මා දිහා බලාගෙන.. කඳුලු ඇල්ල එක සීරුවට කම්මුල් දිගේ ගලනවා.. මගේ හිතේ තිබුනු ඔක්කොම නපුරුකම් කේන්තිය ඒ කඳුලුත් එක්කම හේදිලා ගියා...
 

ඔයාට ඕන මට ඔයා ගැන හිතෙන හැටි කියන සින්දුවක් නේද...

ඔන්න අහගන්න ...

 
 
 
 
මම X ව තුරුලු කරගත්තා ..
ඒ හදවත ගැහෙන සද්දේ මට අහන්න ඕන ..
ඉතුරු එකම විනාඩියෙත් ....
හෙට මොනවා වෙයිද කියලා කවුද දන්නේ !!!
 
 
 



31 comments:

  1. හ්ම්ම්ම්ම්ම් වැරදි කරන්න මිනිස්සු ආසයි බයයි. මගේ ප්‍රතිපත්තියනම් බැඳගත්තා බෙරේ ගහන එක. මොකද දන්නවද. මම බෙරේ බැඳගත්තේ හොඳට හොයල බලල ගැලපීම බලල. ගුණ අගුණ බලල. පිට පෙනුමට රැවටිලා ඔය වගේ වෙන ගෑනු ලඟට යන උන් බඳින්නේ නැතිවයි ඉන්න තිබුනේ. අනෙක තමයි බැඳපු මිනිහෙක් කියල දන දන ඒ මනුස්සය එක්ක වරදේ බැඳෙන ගෑනු. අසික්කිතයි........ නිර්මාණයක් විදියට ලස්සනයි....... උඩින් කියල තියෙන දේවල් ඔබට නොව මේ සමාජයට කියපු දේවල් වේ. මවැනි දෙයක් හරිම වෙනස් බ්ලොග් අවකාසේ මම ස්තූති වන්ත වෙනවා මෙවැනි දෑ ලියනවට.

    ReplyDelete
    Replies
    1. මම ජීවිතය දිහා බලන විදිය ඔබ බලන විදියට වඩා ගොඩාක් වෙනස් ...
      සදාචාරය .. බැඳීම් ඔය හැමදේම මම දකින්නේ මගේ විදියට..
      ඒ විදිය සාමාන්‍ය රටාවෙන් ගොඩාක් වෙනස් ... :)

      Delete
    2. ස්තූතියි කොමෙන්ටුවට :) :)

      Delete
    3. එකිනෙකා සිතන විදිය කොහොමත් එකිනෙකට වෙනස් නේ. දෙදෙනක් දරන මතය සමාන වෙන්නේ කලාතුරකින්. :)

      Delete
    4. හ්ම්ම්.. සඳ සඳ වගේ.. තරු තරු වගේ ...කෝරලේ මහත්තයා කෝරලේ මහත්තයා වගේ... මම මම වගේ :D

      Delete
  2. මාරම කතාවක්නේ... මේකනම් හිතන්න ගොඩක් දේ ඉතිරිකළ කතාවක්..නියමයි..මමත් මේ කතාවට උත්තර නොබැද ලිස්සලා යනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතෙන දේ කිව්වට.. :) උත්තරයක් බඳින්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නෑ; ඒකට ඉඩකඩ තියෙනවා ... !!

      Delete
  3. /* මගේ කෙස් පැලෙන තර්ක වලින් තවුසන්ඩ් ටෝක්ස් වලින් හදාපු වීදුරු මාළිගාව සට පට ගාල කකුල් දෙක ලගට කඩාගෙන වට්ටලා මාව කට උත්තර නැති කරවන සීතල හිනාව .. */

    මේ ටික ගැන නම් කියන්න දෙයක් නෑ... සුපිරි...

    සම්පූර්ණ එකම ගත්තහම පිරිමියෙක් හිතන එව්ව කොහොම ලිව්වද කියල හිතෙනව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට ... :) :)
      පිරිමියෙක් හිතන හැති තේරුම් ගන්න එක තරම් අමාරු දෙයක් නෑ මේ ලෝකේ .. මම උත්සාහයක් කලා විතරයි.. ඒ උත්සාහය යන්තං හරි සාර්ථකයි නම් හරිම සතුටුයි :D

      Delete
  4. අපි හැමෝටම වගේ ප්‍රසිද්ධියේ නොකිවුවත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. සමහර වෙලාවට වරදෙ බැඳීලා ඒ සියල්ල අවසාන වුනාට පස්සෙ තමයි හිතෙන්නෙ අනේ මම මේ කළේ මොකද්ද කියලා. නමුත් අපි ආයෙ ආයෙම ඒ වැරැද්දම කරන්න පුළුවන්. අපි ඔක්කොගෙම බුද්ධිය අභිබවා හැඟීම් ඉස්මතු වෙනවා. ඒ අපි හැමෝම පෘත:ජන මිනිස්සු නිසා.
    ඉතිං මේකත් මම හිතන්නෙ ඒ වගේ කතාවක්... මම ආයෙ ඒ වරද කරන්නෙ නෑ කියලා හිතලා අද එතැනින් ගියාට, ආයෙම ඒ වැරැද්ද කරනවා.
    ගැහැණු කියනවා පිරිමි තේරුම් ගන්න අමාරුයි කියලා : පිරිමි කියනවා ඒකෙ අනිත් පැත්ත... සරළව කිවුවොත් මිනිස්සු තේරුම් ගන්න අමාරුයි.
    මට මාව තේරුම් ගන්න බැරිව ඉන්න එකේ කොහොමද අනිත් අය තේරුම් ගන්නෙ ?
    හොඳ නිර්මාණයක්... දිගටම ලියන්න... අදමයි මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
    Replies
    1. එක දෙයක් එක්ක එකඟ වෙනවා .. ඒ මෙන්න මේක ..
      "මට මාව තේරුම් ගන්න බැරිව ඉන්න එකේ කොහොමද අනිත් අය තේරුම් ගන්නෙ ?"
      සහතික ඇත්ත...

      අනිත් දේවල් ගැන නම් මට තියෙන්නේ වෙනස් මතයක්.. මේ කතාවේ පසුබිම වරදක් හෝ වරදේ බැඳීමක් විදියට මම දකින්නේ නෑ.. මිනිස්සු හැමදේම කරන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒ හේතුව කෙනෙක් වැරැද්දක් විදියටත් තව කෙනෙක් හරි දෙයක් විදියටත් දකිනවා.. මිනිස් හැඟීම් හරිම පුදුමයි.. හරි වැරැද්දක් හොයන්න බැරි තරම් සංකීර්ණයි .. මම කියන්නේ කෙනෙක්ගේ ච්‍රයාව දිහා මතුපිටින් බලලා ඒක හරි හෝ වැරදි කියනවට වඩා ඒ චර්යාවට හේතුව හොයන එක වැදගත් කියලයි ..

      බොහොම ස්තූතියි කොමෙන්ටුවට.. දිගටම මේ පැත්තේ එන්න :)

      Delete
  5. හපොයි ඔය වගෙ ප්‍රශ්නෙකින් ගැලවිලා යන එක ඒ තරම් දෙයක්ද?...මෙහෙමනෙ ගේම දෙන්න ඕන...

    '' හරි බබා..... ඔතන ප්‍රශ්නයක් නෑනෙ.......මම දන්නවනෙ ඔයා මට කොච්චර ආදරේද කියල....ඒ නිසා මගෙ හිතට ටූට්ටං වේදනාවක්වත් වෙනවට ඔයා සූට්ටක් වත් කැමති නෑ...මම දන්නව ඒක....ඒ නිසා මට සහතිකයි ඔයා... මයෙ රත්තරං කෙල්ල.... කෙලින්ම වාහනේ ඉස්සරහට පනිනව...මගෙ ජීවිතේ නැති උනාදෙන්..මට ඒ ගැන කිසිම වේදනාවක් නෑ. ඒත් මට ඔයා වේදනා විඳිනව බලා ඉන්න නම් බෑ...මම මැරෙනව ඔයා වෙනුවෙන්..ඔන්න ඔහොම කියල කෑගහගෙන...කියන්න මගෙ ඇස් දෙක දිහා බලාගෙන...ඔයා එහෙම කරනව නේද? ''

    මම ඇගේ නිල්පාට ඇස් දෙක දිහාවෙ ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා...

    ReplyDelete
    Replies
    1. X ඒක අහගෙන ඉඳී..
      ඔව් බබා මම එහෙම කරයි කියලත් කියයි..
      ඒත් ..
      මට දැනගන්න ඕන ඔයා ඒ වෙලාවට මොකද කරන්නේ කියලා මිස මම මොකද කරන්නේ කියන එක නෙමෙයි කියලා කියාවි....
      X ආයෙත් මුල් ප්‍රශ්නෙම අහවි..
      මේ කතාව මේ විදියටම සිද්ද වේවි ...

      X ගොඩක් වෙනස් ...
      වචන හරඹ වලින් පරද්දන්න බැරි තරමට ජීවිතෙන් තෙම්පරාදු වෙලා :)

      ස්තුතියි රවි ... !!

      Delete
  6. හෙනම සීරියස් අවුලක් නේද !!!!!! රටේ දික්කසාද නීතිය තියෙන්නේ මේවගේ දේවල් වලට උත්තරයන් විදහටයි . මිනිස්සු එක එක දේ කියාවි .... ඒත් මේම මගේ ජීවිතේනේ ..... ඒනේ දෙයක් වෙද්දෙන් කියලා ගන්න තියෙන තීරනේ ගන්න ඔනේ . අපිට රියසල් කරන්න වෙලාවක් නෑ ..... ජීවත් වෙන්න තියෙන්නේ බොහෝම පොඩි කා‍ලයක්නේ . ඒනිසා විදවන් කා‍ලයන් නෑ .
    විදින්න ඔනේ ....... මම නම් බේරන්නේ X ව . ඒත් මම එහෙම කිව්වහම ඒයා ඒක බොරුවක් කියලා කිව්වොත් එයා මාව හරියට අදුරන්නේ නෑ !!!!! :D :D

    ReplyDelete
    Replies
    1. කමෝන් දිනෙල්ක... සතුටුයි අදහස් වලට.... :D

      ඔව්... අනිවාර්යයෙන්ම X හිතයි තමයි කොල්ලා කිව්වේ බොරු කියලා...
      මොකද X බලාපොරොත්තු වෙන උත්තරේ ඒක නෙමේනේ...
      X ට කට උත්තර නැතිවෙයි තත්පර ගානකට ... :)

      Delete
  7. / පිරිමියෙක් හිතන හැති තේරුම් ගන්න එක තරම් අමාරු දෙයක් නෑ මේ ලෝකේ../

    ඇයි පිරිමියෙක් කියල විශේෂයක් කලේ.....ඔතනට ගැහැණියෙක් කියන වචනෙත් ඔය තරමටම අදාලයි. මනුස්සයෙක් කිව්වනම් හරියටම හරි.

    අනික කවුද කියන්නෙ පිරිමි/ගැහැණු තේරුම් ගන්න ඕනය කියල. අපි කාර් එහෙක නැඟල ගමනක් යනව කියමු. අතුරු ආන්තරාවක් නොවී මඟ දි එන්ජිම හිටින්නෙ නැතුව ගමනාන්තය දක්වා යන්ට අපිට එන්ජිම ක්‍රියාකරන විදිහ ගැන සම්පූර්ණ අවබෝධයක් අවශ්‍යද? තෙල්, වතුර පෙට්‍රල් මට්ටම ගැන හොඳ අවබෝධයකින් සිටීම, බ්‍රේක්, ඇක්සලරේටර් සහ ක්ලච් වෙලාවට භාවිතා කිරීම සහ එන්ජිමේ මූඩ් ගැන හොඳ අවබෝධයකින් සිටීම හොඳටම ප්‍රමාණවත්ය කියල හිතෙන්නෙ නැද්ද?...ඇයි මේ අනවශ්‍ය වගකීමක් ගන්නෙ?...:) :)

    Men.....never try to understand them...just love them....that's all you have to do & that's all they need.....:) :)

    ReplyDelete
    Replies
    1. පිරිමි කියලා විශේෂ කලේ නම් ඉතිං මම තේරුම් ගන්න උත්සාහ කරල තියෙන්නේ පිරිමින්ව විතරයි නිසා.. හැබැයි කතාව ඇත්ත..මිනිස්සු කිව්ව නම් තමයි වඩාත් හරි.. :)

      "තෙල්, වතුර පෙට්‍රල් මට්ටම ගැන හොඳ අවබෝධයකින් සිටීම, බ්‍රේක්, ඇක්සලරේටර් සහ ක්ලච් වෙලාවට භාවිතා කිරීම සහ එන්ජිමේ මූඩ් ගැන හොඳ අවබෝධයකින් සිටීම හොඳටම ප්‍රමාණවත්ය කියල හිතෙන්නෙ නැද්ද?"

      පොඩ්ඩක් හිතලා බලන්න.. මේ ටික ගැන සම්පූර්ණ හෝ එහෙමත් නැත්නම් අවශ්‍ය තරමේ අවබෝධයක් කියන්නේ එංජිම ගැන සම්පූර්ණ අවබෝධයක්ම නේද... ;)

      Yeah, But in order to Love a man completely it is soo important to understand him first.. tts how I think.. How can anyone love anyone with out knowing whom he or she is loving ??? :D

      Delete
    2. / Yeah, But in order to Love a man completely it is soo important to understand him first.. tts how I think.. /

      Me too ...agreed madam, 200 % agreed.. That previous comment was written in lighter vein of course :)

      / How can anyone love anyone with out knowing whom he or she is loving ??? :D /

      Agreed wholeheartedly once again...True love is entirely based on understanding and trust, trust comes naturally with understanding :)

      Delete
    3. :D Love n human relationships are ma favorite topics for arguing friend ...and I Normally win ;)

      Thanks for all this discussions.. feels grate to share idea with people who read d crazy stuff i write :)

      Delete
    4. What you write is definitely not crazy ..it can be anything else but crazy....:) :)

      In addition you have an immense talent so don't degrade yourself.

      on the subject on being crazy...aren't we all somewhat crazy?

      '' සබ්බේ සත්තා උම්මත්ථඨිකා '' කියල කිව්වෙ ලේසි පාසු පුද්ගලයෙක් නෙවෙයි නෙව....

      To survive in this insane world and to keep being sane you have to be at least a little bit insane...

      Heh, heh, if that quote drives you crazy just forget it...

      keep on writing please.....I like your crazy thoughts....:) :)

      Delete
    5. පුංචි නිවැරදි කිරීමක් .. "සබ්බේ සත්ථා" නෙමෙයි "සබ්බේ පෘතග්ජනා උම්මත්ථඨිකා" කියලයි තියෙන්නේ... :)

      Thankuu Thankuu Thankuuuuuuu ...
      U really made ma day
      I love writing n I feel really happy when ppl lyk d stuff I write :)

      Thanks for bringing a smile to my life !!

      Delete
    6. ස්තූතියි නෝනෙ නිවැරදි කිරීමට..මට පැටලුනෙ '' සබ්බේ සත්ථා ආහරට්ඨිතිකා'' කියන එක.....හෙහ්, හෙහ්,

      Delete
    7. Saw this lovely post and these comments only now. My two most radical friends are on a word battle. :D It was really interesting.

      And Lucky Rose, my friend, I also agree with Ravi Ayya. What you are writing is not crazy. Not at all. They are different, from what we see in other places. Your writings are unique in your own way. We like it. Keep it up!

      Delete
    8. Thanks loads for all the sweet words friend ... Its coz of few like u, I am still writing all this stuff n reveling ma life to the world ... Thanks for making ma day !!

      Delete
  8. අපි හැමොම තුල දෙදෙනෙකු ජිවත් වෙනවා.සමහරක් විට මැරෙන තුරාවටම අඹුසැමියන් උනත් දේනට දෙන්නා මැරෙන තුරාවටම අඳුරන්නේ නැති වෙන්න පුළුවන්.කවදාවත් නොකියපු කොතෙක් නම් දේවල් දෙදෙනාගෙම ජිවිත තුල ඇත්ද?පෘතක්ජන මිනිසුන් කියලා අපට හිතෙන හිතෙන දේවල් කරන්න බැ.සමහරක් ඔය වගේ හිතන අය සෙල්ලම් කරන්නේ අහිංසක ජිවිතත් එක්ක.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කාගේ ජීවිතයද අහිංසක කව්ද කාත් එක්කද සෙල්ලම් කරන්නේ කියන හැම දෙයක්ම සාපේක්ෂයි යාලු ... මතුපිටින් බලලා කතාවක් අහලා කෙනෙක්ගේ අහිංසක බවවත් තව කෙනෙක් කරන සෙල්ලමක් ගැනවත් තීරණයකට එන්න බෑ.. මිනිස් හැඟිම් ඊටවඩා සෑහෙන්න සංකීර්ණයි... මනුස්සයෙක් කව්ද කියලා සහ ඒ මනුස්සයාගේ චර්යා රටාව හරිද වැරදිද කියලා හරියටම තේරුම් ගන්න පුලුවන් කෙනෙක් මේ ලෝකේ හිටියනම් ඒ බුදුහාමුදුරුවෝ විතරයි... අන්න ඒ නිසයි අංගුලිමාල, අම්බපාලි වගේ අනුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන අය විදියට හංවඩු ගැහිලා හිටි විෂම මතධාරියෝ රහත් උනේ ....

      ස්තූතියි කොමෙන්ටුවට .. හැම අදහසක්ම මට වැදගත් .. :)

      Delete
  9. මන් ලියපු කතාවටම සමානව කොල්ලගේ පැත්තෙන් බලලා මේක ලියවිලා තියෙනවනේ.ඇත්තටම නියමයි මිනිස්සු හිතන හැටි හරියටම තේරුම් ගන්න හැමෝටම බැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මම මඩිසලේ පෝස්ට් එක කියවලා කමෙන්ට් එකකුත් දැම්මා .. ඒත් කලින් දාල තිබුනු කමෙන්ට් පෝලිම කියවගෙන එද්දි මට තේරුනා එතන මගේ කථාවට ඉඩක් නෑ කියලා .. රට්ටු කලන්තේ දායි මගේ කමෙන්ට් එක දැක්කා නම් :) ඉතිං මම අකුලගෙන පැත්තකට උනා ... ආදරේ වගේ සංකීර්ණ මිනිස් හැගීම් වල හරි වැරැද්දක් හොයන්න අපි පොඩි වැඩී ....

      බොහොම ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  10. //"මගේ කෙස් පැලෙන තර්ක වලින් තවුසන්ඩ් ටෝක්ස් වලින් හදාපු වීදුරු මාළිගාව සට පට ගාල කකුල් දෙක ලගට කඩාගෙන වට්ටලා මාව කට උත්තර නැති කරවන සීතල හිනාව .."//
    අර වුල්ෆිබෝයි කිව්ව වගේ සේපියෝසෙක්ෂුවල් පිරිමියෙක්ව උද්දීපනය කරන්නේ මෙහෙම කෙල්ලෙක්.

    //හෙට මොනවා වෙයිද කියලා කවුද දන්නේ !!!//
    මේ තමයි මට දැනෙන විදියට මේ පෝස්ට් එකේ ක්ලයිමැක්ස් එක. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක තමයි Climax එක... හෙට මොනවා වෙනවද කියලා නොදන්න නිසා තමයි මේ කථාව මේ විදියට සිද්ධ වෙන්නෙත්.. :)

      ස්තූතියි කොමෙන්ටුවට... :)

      Delete