බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, May 18, 2012

*** වලාකුළු ***


කුඩා කල අහස මොන පාටදැයි ඇසූ විට අහස සුදු පාට හැර අන් කවර පාටක්දැයි කියූ වාර අනන්තය .. ටිකින් ටික වයසින් වැඩෙන සඳ, සුදු පාට අහස නොව අහස වසන වලාකුළු බව වැටහී ගියා මතකය .. අහස් නිල වසාගෙන පැතිරි සුදු වලාකුළු අහස් නිල වැසූ බව තේරුම් ගිය සඳෙහි .. දකින දෙය නොව දකින දෙයින් වැසුනු තවත් ඇත්තක් ඇති බවත්, දකින දෙය සිසාරා බැලූ කල සැබෑව පෙනෙන බවත් උගත්තා මතකය ...

විහාර බිත්ති වල සුදු පාටින් සිත්තම් කල වලාකුළු මත නෙක පෑයෙන් දිදුලන දෙවි දේවතාවුන් දිහා දෑස නොපියා බලා හිටි අතීතයක් තිබූ බව මතකය. ඒ වලාකුළු උඩ දිව සලුවෙන් ගත වසාගෙන පාවී යන්න තිබූ කැමැත්ත නිසාම නොතේරෙන පාලි ගාථා පාඨ ගිරා ස්වරයෙන් හඩ නගා කීවා මතකය .. ටිකින් ටික වයසින් වැඩී සියලු දෙයෙහි විදු පසුබිම් සොයන රැඩිකල් මනසින් නටන සඳ ... දෙව් ලොව වලාකුළු හුදෙක් ජල වාෂ්ප ඝනීභවනයක් පමනක්ම බව තේරුම් ගියා මතකය ... අහස දෙස බලාගෙන නොදුටු තව්තිසාවක පාවුනු කාලය අතැර, ඝනීභවන ජලවාෂ්ප වල සංයුතියේ පටන් කෙඳි වලාකුලු කැටි වලාකුළු ස්ථරීභවනය වන අයුරු වනපොත් කරන්නට දැගලුවා මතකය ...


දිවි මංතලාවෙන් ඊලග කඩඉමේදී වලාකුලු රොමෑන්ටික් මනසින් දුටුවා මතකය. ජලවාෂ්ප ඝනීභවන කල්පනා හිරු දුටු පිණි බිඳිති මෙන් අමතකව යන සඳ වලාකුලු තුල ඔබේ මුහුන සෙව්වා මතකය ... අතැගිලි එකට පටලවාගෙන හිස් අහස දෙස බලාගෙන පාවෙන වලා කැටි තුල නේක විධ හැඩතල මැව් හැටි මතකය ... හදවතේ හැඩයේ පටන් ඔබේ මුහුණ මගේ මුහුණ ඉපදෙන්නට සිටින අපි දෙදෙනාගේම එකතුවේ මුහුණ තත්පර දශමයෙන් දශමයට වෙනස් වෙන වලා කැටිති අතරේ මැවුනා මතකය ...

වලාවන් දිහාම නෙත යොමාගෙන සිහිනයක වෙලී උන් අතරමැද වලාවක් ලෙසිම ඔබ ඈතට පාවී ගියා මතකය .. විරහවෙන් තෝන්තු උනු හද යන එන මංනොදැන කැඩි කැඩී විසිරෙන වලාවක් ලෙසින්ම අයාලේ ගියා මතකය .. දින සති මාස ගනන් ඔහේ ගත වී යද්දී කාලයේ හැඟීමක් නොමැතිව හුස්ම වැටෙන නිසා ජීවත් වෙන කාලයක පාවෙන වලාකුළු දිහා බලාගෙන පැය ගනන් ගෙවා දැම්මා මතකය ... එදා දුටු සිහින එදා දුටු මුහුණු පාවෙන වලාකුළු අතර ආයෙමත් හොයන්නට නෙතුපියන් නොසලා දිවා රෑ බලා උන්නා මතකය ... ඒ මතක නැවත නේන බව පසක් උනු සඳ හිතට වද දෙන මතකයෙන් මිදී වලාවක් සේ නිදහසේ කඳු මුදුන් මතින් මතින් පාවි යන්නට ඇත්නම් යැයි සිතූ වාර ගනන අනන්තය. අතීත මතකයෙන් පීඩිතව ඔලුව උඩ ලොව දරාගෙන ඉන්නවයැයි හැඟෙන තරමට මතක බරෙන් විඩාවට පත්ව සිටි කල ... නිදහසේ පාවෙන වලාකුලු වලට ඉරිසියා කලා මතකය ...




අද ...

නිදහසේ පාවෙන වලාකුළු සදාකල් නිදහසේ පානොවෙන වග අද සිතට වැටහී හමාරය. ශ්වේත වර්ණයෙන් නිදහසේ පාවෙන වලාකුළු එලෙස පාවෙමින් සිටින අතරමැද එකින් එක ජල බිඳිති, එකින් එක දූවිලි කැටිති උරා ගෙන ලඟ තබාගෙන සුදු පාටින් අලු පාටට ... අලු පාටින් කලු පාටට ... හැරෙන බැව් දෙනුවනට හසුව ඇත. නිදහසේ සැහැල්ලුවෙන් පාවුනු වලාවන් .. සිය දිවි ගමන අතරමැද එකතු කරගත් දිය බරින් දුහුවිලි බරින් විඩාපත්ව තවත් පාවෙන්නට බැරිව එක තැන රැදෙන අයුරු ... පොළවට මහත් ඉහලින් උජාරුවට පාවුනු අතීතයෙන් මිදී, එකතුකරගත් දේවල බරින් පොලවට වඩ වඩාත් ලඟින් නැංගුරමලන අයුරු අද දෑසට පෙනී ගොස් ඇත ... තවත් බර දරාගත නොහැකි වූ සඳ අකුණු පුපුරා වැටෙන මහා මෙඝයෙන් වලාකුල මියෙන බව ... අද .. පසක් වී ඇත ..

වලාකුලු සදහටම පානොවෙන වග ...
වලාකුලු සදහටම ශ්වෙතයෙන් නොදිදුලන වග ...
වලාකුලු සදහටම අහස් ගැබ රැදී නොසිටින වග ...
අද ... මතකයෙහි ඇත .... !!


4 comments: