බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, January 10, 2012

~ පිස්සිගේ කැටයම ~


කෝපි කුඩු
සැත් පිහිය (නැත්නම් බ්ලේඩ් එකක් උනත් කමක් නෑ)
පුලුං
ප්ලාස්ටර්
ඇයි .. ප්ලාස්ටර් කපන්න කතුරක් ....

සියලු අඩු වැඩිය තමන් සතුව ඇත්දැයි පිස්සි නැවත සොයා බැලුවාය.එක් දෙයක් හෝ අඩු වී ඇත්නම් නැවත එය සොයා ඒම කල නොහැක්කකි. ක්‍රියාවලිය ඇරඹි පසු සියල්ල නිම වී නැවත පිටතට එන තුරු ක්‍රියාවලියේ සුමට ගලනයට අවශ්‍ය සියලු දේ එකවර රැගෙන යාම අත්‍යාවශ්‍ය බව පිස්සිට අමතක නැත.

ඇවැසි සියලු දේ, සෝදන්නට ගෙන යන රෙදි පොට්ටනිය තුල ඔබා ගත් පිස්සි නාන කාමරයට වැදිනි.ජල කරාමය මහ හඩින් ඇර දැමූ පසු බාහිර ලෝකයෙන් එල්ල වන අනවශ්‍ය කුකුසින් නොතැවී තම කාර්ය නිදහසේ කරගෙන යා හැකි බව පිස්සී දනී... ඇඳුම් උනා ලූ පසු පෙනෙන හිරු එළියට නොදැවුනු සමේ කිරි පැහැය පිස්සිට ගෙනාවේ සතුටකි... සෝදන්නට ගෙනා රෙදි ගොඩ මත පහසුවට වාඩිගත් පිස්සි දකුනු පයේ උඩට වන්නටඇති කැටයම අතගා බැලුවේ සීරුවෙනි.

සිනිඳු සම මතුපිට එකම තැන දිගින් දිගටම කපන ලද කැටයම දැන් බොහෝ දුරට සමෙන්ම උපන් දෙයක් ලෙස පෙනෙන බව පිස්සිට වැටහිනි. සමට කොටා ඇති මුලකුර මතින් සිනිදුවට ඇගිල්ල යවන පිස්සිට එම කැටයමේ ජන්ම දිනය මතකයට ආවේ නිරායාසයෙනි.වචන වලට ඉඩක් නොතිබුනු ඒ දිනයේ තවත් අතකින් ඒ කැටයම මත සීරුවට ඉරි ඇඳුනු හැටි, පිස්සිගේ කැටයමේ වේදනාව ඒ ඇස් දෙකින් පෙනුනු හැටි, ඒ වේදනාව දරාගන්නට පිස්සිගේ දරදඩු හිතට බැරි උනු හැටි, ඒ නිසාවෙන්ම ඒ පලමු මෙන්ම අවසාන කැටයම බවට  දිවුරා පොරොන්දු උනු හැටි, පිස්සිගේ මතකයට ආවේ එක පිට එක ඇඳෙන සිනමා රූපරාමු පෙලක් විලසිනි....

*******************************************************
පොදිබැදගෙන ආව අඩුවැඩිය ආයෙම එකතු කරගෙන එලියට එන්න පිස්සිට හිතුනේ එක පාරටමයි..

ඒත්..

හමේ ගැඹුරටම කාවැදිලා තිබුනු කැටයමට තවත් කියන්න දේවල් තිබුනා.

ඒ පලමු වතාවෙන් පස්සේ..ඒ හීන ලෝකයෙන්..ඒ මායවෙන්.. ඒ බොරු දුක් ඇස්වලින් මිදුනට පස්සේ... දින සති මාස ගෙවිලා හැමදෙයක්ම වෙනස් උනාට පස්සේ... පිස්සිට ආයෙම කැටයම අලුත්කරන්න සිද්ධ උනා එක දවසක්.

එදා.. 
එක දවසක් උනු පොරොන්දුව කඩකල බව පිස්සිට මතක් උන නිසාම පිස්සි සමාව ඉල්ලුවා පොරොන්දුව ගත්තු කෙනාගෙන්..
එදා ඒ ඇස් වල තිබුනේ වේදනාවක් නෙමෙයි..
තරහක්..අප්පිරියාවක්..කරදරයක්...

"තමන්ගේ ඇගපත කපා ගන්නේ පිස්සො.පිස්සොත් එක්ක ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ"


කැටයම ආයේ ජීවිතය ලබන්න හේතුව දැන දැනත්, කැටයමට මුල්ම දවසේ හාද්දක් දීපු දෙතොලින්ම එහෙම කියවුනු බව පිස්සිට මතක් උනා..

සැත්පිහිය අතට ගත්තු පිස්සි කැටයම උඩින් ආයෙම කපාගෙන කපාගෙන ගියේ ඒ වචන ටික හිතෙන් මකලා දාන්න වගේ. සැත්පිහියේ තියුනු තුඩෙන් හතරවන පස්වන වතාවටත් ඉරිඇඳුනු මුලකුර වසාගෙන රතුම රතු පාට ලේ පාරවල් කකුල පුරාම ගලන්න ගත්තේ පිස්සිගේ හිත සතුටින් පුරවගෙන. කැටයම් කල මුලකුර ලේ වලින් වැහිලා යද්දි වතුර පාරකින් ඒ ලේ සෝදල දාපු පිස්සි කැපුම් දාර වලට අලුත් ලේ උනන හැටි බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා.පුංචි පුංචි ලේ බින්දු එකතු වෙලා ලොකු ලේ පාරක් හැදෙන හැටි හරිම ලස්සනයි කියලයි පිස්සිට හිතුනේ..

ලේ.. රතුම රතු ලේ...



ධමනියක් කැපිලා ඇති.. ඒකයි ලේ මෙච්චර රතු...
පිස්සිට උසස්පෙල ජීව විද්‍යාව මතක් උනා..
විකාර..
ධමනි කොහෙද හම මතුපිට..
මේ කැපිලා තියෙන්නේ ශිරාවක පුංචි අත්තක්..
ඇස් ඉස්සරහ මැවුනු ජීව විද්‍යාව ගුරුතුමී ඔරවගෙන එහෙම කිව්ව..

හිතන ගමනුත් සැත් පිහිය මුලකුරු කැටයම තව තවත් මසට කාවද්දමින් හම මතුපිට දුවලා වග පිස්සිට දැනෙද්දි මුලු කකුලම ලෙයින් වැහිලා ඉවරයි. කකුලේ නැතුව නලලේ මේ කැටයම කොටාගන්න පුලුවන් නම් කොයි තරම් එකක්ද කියලා පිස්සි දස දහස් වෙනි පාරටත් හිතුවා.

ඒත්..

කැටයම ලෝකෙන් හංගන්න ඕනි බව පිස්සිට තේරුම් ගිහින් තිබුන.

ලේ හෝදල දාල ආයෙම කැටයම් කල මුලකුර දිහා පිස්සි අනිමිසලෝචනයෙන් බලාගෙන හිටියා. දන්න හැම විදියකටම පොත් පිටු ගනන් පිරෙන්න ලිව්ව මුලකුර හමේ ගැඹුරේ ඉඳන් හිනා වෙන වග පිස්සිට පෙනුනා..

පිස්සිට මොකද්දෝ දැනුනා...
දුකක්..? කේන්තියක්..? ආත්මානුකම්පාවක්...?

නෑ..
ඒ එකක්වත් නෙමෙයි...

පිස්සිට දැනුනේ ආශාවක්..

ඉවසාගන්න බැරි උමතු ආශාවක්...
ඒ මුලු ඇග පුරාම කැටයම කොටාගන්න..

බාබකිවු දාන්න සූදානම් කල මාලුවෙක්ට තුනපහ උරාගන්න කපනවා වගේ, ඇග පුරාම දිගට හරහට කපාගෙන කපාගෙන යන්න ආසාවක්...


පිටතින් ඇහුනු බැන අඩගැහීමකුත් එක්ක පිස්සි පියවි ලෝකෙට ආවා. ඇත්ත ලෝකෙට මූන දෙන්න වෙලාව ඇවිත්.

වෙනදා වගේම කැටයමේ අමු ලේ උඩින් සීරුවට අතුරපු කෝපි කුඩු ටික ලේ එක්ක කලවම් වෙලා තද කලුපාට වෙන හැටි පිස්සි බලාගෙන හිටියා. ඒ උඩින් පුලුන් තියලා..ලස්සනට ප්ලාස්ටර් අතුරපු පිස්සි කැටයම මුද්‍රා තිබ්බේ පලපුරුදු වෛද්‍යවරයෙක් බරසාර සැත්කමක් නිමා කරනවා වගේ සීරුවෙන්. සතියකින් කැටයම අපූරුවට හමට බද්ධ වෙලා තියේවි,ආයෙම මාසෙකින් අලුත් කරනකන් ... සුසුමක් හෙලූ පිස්සී සුරතාන්ත ප්‍රීතියකින් පියවි ලෝකයට අඩිය තිබ්බා.


*****************************************************************



පසු සටහන...

පිස්සිව හමු උනු එක් දිනෙක ඇය මෙලෙස තම සිරුරට පීඩා ගෙන දෙන්නේ ඇයිදැයි මම ඇගෙන් විමසීමි.සිනාසුනු ඈ මෙසේ කීවාය..

මානසික පීඩාවද ශාරීරික පීඩාවද වඩා දැඩි යැයි විමසීමට මම එලෙස කරමි. මානසික පීඩාව ඉවසිය නොහැකි වු කල්හි මම ඒ පීඩාව සැත්පිහියෙන් මගේම සම මත කැටයම් කරමි.එවිට දැනෙන ශාරීරික පීඩාවෙන් මානසික පීඩාව යටපත් වේදැයි පරීක්ෂා කර බලන්නෙමි.. අද වෙනතුරුත් එය එසේ නොවුනු නමුදු යම් දිනෙක එය එලෙසම වන තුරු මම කැටයම් කිරීම අත් නොහරිමි...

නමුත්... ඒ මගේ හඩයි...
ලෝකයා... සමාජය... මිනිස්සු... ඔබ පිස්සෙක් බව තව තවත් තහවුරු කරාවි නේද?

පිස්සි සිනාසුනාය... 
මුලු ආත්මයෙන්ම සිනාසුනාය...

දන්නවද...
මිනිස්සු විතරක් නෙමේ...
මමත් හිතනව මට පිස්සු කියලා...


මම නිරුත්තර වීමි !!
 

3 comments:

  1. අදයි මේ පැත්තට මුලින්ම ආවේ!
    ඔය ශාරීරික තුවාල හොද කරනව වගේ හිතේ හැදෙන තුවාලත් හොද කරන්න පුළුවන්නම්!

    ReplyDelete
  2. පිස්සොන්ට කියනවද , නිකන් අතපය කපාගන්නේ නැතුව පුළුවන් වෙලාවක තව පිස්සෙකුට උදව් කරලා ඔය ලබන දෙයම ලබාගන්න පුළුවන් කියල ,.

    ReplyDelete
  3. එහෙම දෙයක් කරගන්න හිතේ හයිය තියෙන්න ඕනෙ....
    පිස්සොන්ට හිතේ හයිය වැඩිද?
    හිතේ හයිය වැඩි අය පිස්සොද?

    ReplyDelete