බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, September 2, 2011

ආදරයේ පශ්චාත් මරණ පරීක්ෂණය ... !!

මෙන්න මම ආවා.. කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා.. සෑහෙන්න වැඩ තිබුනා .. අනික ඉතින් මම කලිනුත් කියල තියෙනවා වගේ, පස්මහ බැලුම් නෙමේ දස මහ බැලුම් බලලනෙ මට අන්තර්ජාලයට එන්න වෙන්නේ .. කොහොමින් කොහොමින් හරි .. සුපුරුදු අඳෝනාවත් අරගෙන මෙන්න මම ආයෙමත් ... :)

උදේ ඉදන් වහිනවා... මුලු අහසම කලු කරලා..වැහි බින්දු එකින් එක වෙන් කරල අදුරගන්න බැරි තරමට එක දිය සීරාවට වැස්ස කඩන් වැටෙනවා.. කාලයක් මම ආදරය කල මේ වැස්සටම අද මම මේ තරම් වෛර කරන්නේ ඇයි මන්දා.. අද මට මේ වැහි සද්දේ වදයක් ... මේ වැහි මන්දාරම අද මට මූසලයි ... මේ වැස්ස මට අතීතේ මතක් කරනවා.. මම වලදාන්න දගලන ඒ බොරුකාර මූසල අතීතේ මේ වැහි බින්දුවක් බින්දුවක් ගානේ මගේ ඔලුගෙඩිය අස්සට රිංගගෙන වද දෙනවා.. ඒ නිසා මම වැස්ස විඳින්නේ නෑ ... විඳවනවා විතරයි ... !!

ආදරය ගැන ගොඩක් අර්ථකථන තියෙනවා.. ඒත් මෙන්න මම අත්දැකපු ආදරය .. මෙන්න මගේ මතකය ... !!
මෙන්න මගේ ආදරයේ පශ්චාත් මරණ පරීක්ෂණය ................................... !!!!!!!!!!




ආදරය අන්ධයි කියන්නේ බොරුවට කියලයි මම ඒ කාලේ හිතුවේ ... ආදරය කරන මම විතරක් ඇස් ඇරගෙන මුලු ලෝකයම ඇස් වහගෙන ඉන්නේ කියලා විස්වාස කල ෆැන්ටසියක මම ජීවත් උනේ ... හිනාව මිස ඊට යටින් හැංගිලා තිබුනු කඳුලු උල්පත මම කවදාවත් දැක්කේ නෑ .... මම හිනා උනා ඒ කඳුල පෙන්නන්න උත්සාහ කල හැමෝටම ... මම හිනා උනා මගේම හෘද සාක්ෂියට ... මම හිනා උනා මුලු ලෝකෙටම ... !! ඒත් අද .... මම අඬනවා ..හිනා උනු එක තත්පරේකට කඳුලු පැය ගනන් හිලව් කරගෙන මම අඩනවා.. මුලු ලෝකෙම හිනා වෙනවා ... !! මම හිනා උනු, මම කට වහපු, මගෙම හෘද සාක්ෂියට අද පණ ඇවිදින් .. මෙන්න අපි දෙන්නා කතා කරනවා .... !!

<*> හ්ම්ම් ... මොකද අඩන්නේ.. ආ..මොකද .. කිව්ව නේද ඔය ටික වෙනවා කියලා.. ඇහුවද එතකොට ...!!

<*> ඇහුවේ නෑ තමයි.. පිලිගන්නවා මගේ වැරැද්ද ... ඒත් එහෙමයි කියලා මගේ කඳුලට හිනා වෙන එක වැරදී නේද ....?

<*> නෑ ... තව මදි ඇඩුවා .. තව අඩන්න ඕනි .. බොරුවකට ආදරය කල වරදට මුලු ජීවිත කාලෙම අඩන්න ඕන ... ආයේ කවදාවත් හිනාවකට ඉඩක් නෑ මේ ජීවිතේ පුරාවටම ..

<*> ඇයි ඒ ... ? මම මේ ගඟ දිහා බැලුවේ ඉවුරේ ඉඳන් ... මම දැක්කේ රැළි පිට රැළි නැගෙන නිල කැටේට දිලිසුන වතුර විතරයි ... හරිම ලස්සනයි ... එක පැත්තකින් සීතල හුළඟ ... පේන යායකට විහිදුනු ඩැෆඩෙල් මල් යාය .. ඒ මැද ගලන ලස්සන දිය පාර .. ඉතිං එහෙව් ගගකට ආදරෙන් බැඳුනු එක වැරැද්දක්ද ?

<*> ඉවුරේ ඉඳන් දැකපු ගඟට ආදරෙන් බැඳෙන්න කලින් හිතුනේ නැද්ද ටිකක් වතුරට බැහැලා බලන්න ? හිතෙන් මවාගත්තු ෆැන්ටසියකට ආදරෙන් බැඳෙන්න තරම් මෝඩ නම් මොන එහෙකටද මනසින් උසස් කියාගන්න මනුස්සයෙක් උනේ ... බල්ලෙක් පූසෙක් උනා නම් ඉවරනේ .... වතුරට බැස්සනම් එක විනාඩියකට ..  එහෙනම් තේරෙයි ලස්සනට පෙනුන ගඟ කොයි තරම් සැඩ ද කියලා.. ඒ විනාඩිගාන කැප කරල ගඟට බැහැල බැලුවා නම් නිල් පළිගුවක් වගේ දිළිසුනු ගඟ දිහා ආයේ දෙපාරක් හැරිලා බලන්නේ නෑ ... !! 

<*> ඔව් .. වෙන්න පුලුවන් ..ඒත් මම හිතුවේ නෑ ඒ තරම් ලස්සනට ගලපු ගඟම මාව යටකරගෙන ... හුස්ම හිරකරගෙන ගලයි කියලා .. !!

<*> හ්ම්ම්.. හිතාගෙන හිටියා නේද තරුවක් වෙලා අඳුරු අහසක් එලිය කලා කියලා ... හරි ලොකුවට හිතාගෙන සතුටින් හිටියා නේද ...? කිව්ව නේද මම ඒ එළිය හඳ නඟිනකන් විරතයි කියලා ... ඇහුවද? එක මොහොතක් මට ඇහුම්කන් දුන්නද .. ? නෑ .... ඒක නිසා නේද අද හිනාවේ සරදම් විඳ විඳ මූදක් පුරවන්න තරම් අඬන්නේ .. ?

<*> ඔව් ..ඇත්ත .. මම හිතුවා මම අඳුරු අහසක් එළිය කලා කියලා.. මම හිතුවා ඒ අඳුරු අහසට මගේ එළිය තරම් අනිත් කිසිම එළියක් වටින එකක් නෑ කියලා.. මම හරිම සතුටින් හිටියා ඒ අහස හැමදාමත් මගේ එළියෙන් සැනසෙයි කියලා ..ඒත්  ... මට ආයෙමත් වැරදුනා .. මට නිකමටවත් හිතුනේ නෑ අඳුරු අහසට මාව ඕනි උනේ හඳ නඟිනකන් විතරයි කියලා .... හඳ නැගපු පුන් පෝයදාට, ජීවිත කාලෙකට අහපු නැති නින්දා ගැරහුම් අහන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ ....

<*> ඉතිං ඇයි තවත් විඳවන්නේ ... දැන් ඇති නැද්ද .. දැන්වත් තේරෙන්නේ නැද්ද ආදරය කලේ බොරුවකට කියලා..තිබුනා කියලා හිතගෙන හිටි මුකුත්ම නොතිබුනු මහ හිස් බොරුවකත ආදරය කලේ කියලා දැන්වත් තේරෙන්නේ නැද්ද.. මොකද්ද මේ දැනුත් කරන වැඩේ තේරුම ... නොතිබුනු ආදරයක් මැරෙන්නේ කොහොමද ... ? ඉතිං එහෙව් බොරුවකට මොන පශ්චාත් මරණ පරීක්ෂනද ... ? නවත්තන්න මේක දැන්මම ..... මනුස්සයෙක් වගේ වැඩ කරන්න දැන්වත් .. දැන් හොඳටම ඇති ..... !!

<*> ......................................................................................................................................



(ප.ලි.) මගේ blog එක කියවලා කවුරුවත් මට අනුකම්පා කරන්න එපා හරී .. ලොකූ චෝදනාවක් තියෙනවා මම මගේ කථා හරහා අනුකම්පාව යදිනවා කියලා.. ඒ නිසා.. අනේ වදින්නම් .. කවුරුවත් මට අනුකම්පා කරන්න එපා කරුනාකරලා ...... මම මගේ කතාව ලියනවා.. එච්චරයි .. !!

4 comments:

  1. හ්ම්ම්.. ඇත්තටමයි අක්කා මගේ කථාවත් ඔය වගේ.. තරුවක් වෙන්න හිතුවත් ඒ අහසේ සඳ නැඟලා ගොඩාක් කල්.. ඒ නිසා ඉරබටු තරුවක් වුනත් මට ඒ අහසට එළිය දෙන්න හයියක් නෑ..

    ඒ ගඟ සැඩයි තමයි.. මගේ හදවත හෝදගෙන හිතේ තියෙන ඔක්කොම හැඟීම් උදුරගෙන ඒ ගඟ තාමත් ගලනවා.. ඒත් තාමත් මම ඉවුරට වෙලා ඒ ගඟ දිහා බලන් ඉන්නවා.. ගඟට බහින්න මම බයයි.. ඒ සැඩ පහරට ගහගෙන යාවි කියලා මම බයයි.ඒත් ඒ ගඟේ මතුපිට ලස්සනට මම ගොඩාක් ආදරෙයි..
    මමත් අඬනවා.. හිනා වුන හැම තත්පරේකටම හරියන්න ඔයා වගේම මමත් අඬනව.. ඒත් ඒ කඳුළු ගඟ කවදාවත්ම ඉවර වෙන එකක් නෑ,..
    හ්ම්ම්,,, ලස්සනයි අක්කේ..

    ReplyDelete
  2. හ්ම්ම්.. හැබැයි ඇඩුවා කියල ලැබෙන දේකුත් නෑ නංගියෝ .. අඩන්න අඩන්න මුලු ලෝකෙම තව තවත් අපිටම හිනා වෙන එක විතරයි වෙන්නේ ... ගඟ ට ගානක් නෑ.. ගඟ තවත් හයියෙන් ගලාගෙන යාවි ... !!

    ReplyDelete
  3. කමෙන්ට් කියවන්න බැහැ. මොනවහෙරි කරන්න

    ReplyDelete
    Replies
    1. අපෝයි.. මම හිතන්නේ මගේ යුනිකෝඩ් එක හැම කොම්පියුටරේටම වැඩ නෑ වගේ .. මක්කැයි ඉතිං කොරන්නේ ...?? කරන්න පුලුවන් දෙයක් මතක් වෙනව නම් කියන්ට :(

      Delete