බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, May 22, 2014

මං ... කෙට්ටුයි .. !!

ඔයා,

කෙට්ටුයි
   කෙට්ටුයි
      කෙට්ටුයි ...

බලන්න ඔය ළමයගේ කෙට්ටු.
දැං මැරෙයි වගේ.
පාරේ එක්ක යන්නේ කොහොමද ලැජ්ජ නැතුව.
මිනිස්සු හිතයි අපි කන්න බොන්න දෙන්නේ නෑ කියලා

ආ, මේ ඔයාගේ දුවද ?
හරීයීයීයී කෙට්ටුයි නේ.
එක්ක ගියේ නැද්ද ඩොක්ටර් කෙනෙක් ලගට.

සමපෝෂ කන්න.
නැත්නම් Weight Gain ට්‍රයි කරලා බලන්න.
බෙහෙතක් ගන්න දරුවෝ, බය හිතෙනවනේ ඇටකටු කූඩුව දැක්කම.


බඳින්න අදහසක් නැද්ද දුවේ ?
බැන්ඳම මහත් වෙනවා.
ඉක්මනට කසාදයක් කරගත්තනම් හරි.

මචං, උඹලා දන්නවද කෑල්ලකයි ස්ලයිස් එකකයි වෙනස ?
ඔන්න බලාගනින් ..

කෙල්ලෙක් උනාම ලොකුවට තියෙන්න ඕන.
එතකොටනේ කොල්ලො බලන්නේ.
මොනවා කරන්නද අනේ.
Some are not born with "Asserts" LOL.

 -------------------------------------------------------------------------------

අනේ සමාවෙන්න, මට බෑ ඔයාගේ Brides' maid වෙන්න.
තේරෙනවනේ, මං කෙට්ටුයි.
ඔයාලගේ ෆොටෝ කැත වෙයි.
මං උදේම ඇවිත් සේරම වැඩ කරලා දෙන්නම්, තරහ වෙන්නෙපා පැංචෝ.

ආ, ඒක දැන් නෑනේ, එහෙම එකක් තිබුනෙත් නෑ ඉස්සරත්.
එයා කැමති ඇඟපත තියෙන ගෑණු ළමයින්ට.
මං කෙට්ටුයිනේ.

මං ගන්නම් Group ෆොටෝ එක.
ඔයාල ඉන්න එකට.
මං ආවොත් ඕක කැත වෙයි.
මං කෙට්ටුයිනේ.

මූණ විතරක් profile pic එකට දැම්මේ ඇයි කියලද අහන්නේ ?
මං කෙට්ටුයිනේ, Full Body එකක් දැම්මම කැතයි, ඒකයි.


මං

කෙට්ටුයි
   කෙට්ටුයි
      කෙට්ටුයි ...


 -------------------------------------------------------------------------------

දන්නවද දෙයක් ...
ඔයා හරි ලස්සනයි ..
හරිම ලස්සනයි.
Flowing Dress එකක් ඇන්දොත් සුරංගනාවියක් වගේ ඉඳී.

 -------------------------------------------------------------------------------

මොකක්....

ඒත්,

මං  ..

කෙට්ටුයි
   කෙට්ටුයි
      කෙට්ටුයි ...

 -------------------------------------------------------------------------------
ඉතිං ඔව්,

ඔයා,

කෙට්ටුයි
   කෙට්ටුයි
      කෙට්ටුයි ...

ඒ නිසා තමයි ලස්සන .. !!
 
-------------------------------------------------------------------------------

මං ...
ඒත් මං ............................................................

හා ...
ස්තූතියි ..
සතුටුයි, සෑහෙන්න ..

අර මං ගන්න හිටි මුලු ඇගම පේන කන්නාඩිය ගන්න පුලුවන් මට දැං =)





Friday, April 4, 2014

වැලි මැදුරු ..



දෑත ඇඟිලි තුඩු
ලේ හැලෙන තුරු
හාරමින්, පහුරුගාමින්..
බිඳෙන රළ අභිමුවේ
සේදෙන, වැනසෙන
පදනම් යලිදු තනමින් ..
බලා ඉන්නවුන්
පසු කර යන්නන්
හිනා විගඩම්, ඉවසමින් ..
ටිකින් ටික හිමිහිමින්
හිතේ ඇති මාළිගා
වැල්ල මත, මවමින් ..


කප්පරක් උස හීන
වැලි සමඟ මුහුම් කර
එමැදුරෙ, කුමරිය වෙමින් ..
මවාගත් දැසි දසුන්
ප්‍රභූ පෙළ පරයමින්
අණ දෙමින්, රජ වෙමින් ..
අසු පිටින් කුමරු තෙද
වඩින තුරු සෙනෙහසින්
ලතැවෙමින්, ඉවසමින් ..
තව තවත් තව තවත්
හීන පොදි සිය ගනන්
මැදුර වට, ගොතමින් ..


හීන ලොව නිමා කර
මාලිගා වනසමින්
සයුරු රළ ඇදෙමින් .. 
මල් හීන කුමරි රඟ
හිත් ලොවෙන් මකමින්
වැලි මැදුරු බිඳෙමින් ..
බලා සිටි ඒ කුමරු
නෙත් හමුවේ මැකෙමින්
දියඹ වෙත ඇදෙමින් ..
වැලි මැදුරු බිඳෙමින්
ඒ සමඟ රැළි එක්ක
හීන පොදි මියෙමින් ..

******************************

Monday, February 17, 2014

අන්තඃපුරිකාවන් වෙත ලියමි ...

2014 ජනවාරි ...

පට්ට වැස්ස, වාහනෙන් බැහැපු තැන ඉඳන් එක සීරුවට තෙමීගෙන සරුව පිත්තල බඩු කඩේක ටකරං වහල යටට ගාල් උනා කියමුකො. රුවන්වැලි සෑය පේන මානේ උනත් මේ වැස්සේ කොහොමද යන්නේ. ගියත් වැදුම් පිදුම් කරන්න බෑනෙ.රටකජු ගොට්ටක් අරගෙන වැස්ස පායනකන් කඩේ මිනිස්සු එක්ක කදේ දාගෙන ඉන්න එක තමයි වෙලාවේ හැටියට ඔප්ටිමම් සොලූෂන් එක.ඒ තීරණෙත් එක්ක, කඩෙං නොමිලේ හම්බුන පුටුකට්ටට සරීරේ බර වාරු කරලා වට පිටාව දිහාවේ බලං හිටියා කියමුකො.

ඔන්න දෘස්ටි පථයට ආවා කපල් එකක්. පැහැදිලිවම ඉහල පාන්තික දෙන්නෙක්. කසාද බැඳලද, නැත්තං ආදරේ කරන කාලේද කියන්න දන්නෙ නෑ. බොහෝ දුරට කසාද බැඳලා වෙන්න ඕන. කොහොම හරි කපල් එකක්. අර අනෝරා වැස්සෙ එක කුඩේ යටින්. පිරිමි ළම‍යා පුදුම ලස්සනයි. උසයි, තලෙලුයි, සික්ස් පැක් සරීරේ. කොටින්ම ඕනම ගෑණු ළමයෙක්ගේ හීන කුමාරයා ටයිප් කොල්ලෙක්. ගෑණු ලමයා ෂේප් ලුකිං. ඒ කිව්වේ කඩාහැලෙන තරමේ ලස්සනක් නෑ. පට්ට කෑල්ලක් නෙමේ. සාමාන්‍ය පෙනුමක් තියෙන සීදේවි ගෑනු ළමයෙක්.

කපල් එකක් ... එක කුඩේ යටින් ...
ආවු.. ආවු..

වැස්ස වෙලාවක, ආන්ඩුවට පලු පැලෙන බනින අන්කල් කෙනෙක්ගේ කන්දොස්කිරියාව අස්සේ, ඒ වගේ සුභ දසුනක් දැක්කම, ඇස් ගෙඩි දෙක නිකන්ම ඒ පැත්තට ෆෝකස් උනා කියමුකො.

ඔන්න ඔතනයි කථාවේ ආරම්භය ...

එක කුඩේ..
ඒ කුඩේ අල්ලගෙන හිටියේ ගෑණු ළමයා. බොහොම අමාරුවෙන්, ඇගිලි තුඩු වලින් ඉස්සීගෙන ...
මුලු කුඩේම .. සීයට අනූවක්ම කොල්ලගේ පැත්තට බර කරගෙන ..
මල් බෑග් එකයි, තව මොන මොනාවාදෝ දාපු අඩුම කුඩුම බෑග් එකයි අනිත් අතින් එල්ලගෙන ..
පිරිමි ළමයගේ එක කොන්ඩ ගහක් තෙමෙන්න ඉඩ නොදී ..
තමන්ගේ සරීරේ එක පැත්තක් එහෙම් පිටින්ම තෙමිලා තෙත බරියං වෙලා තියෙන එක ගැන වගේ වගක් නැතුව ..

දැං ඔන්න ඒ දිහා බලන් හිටපු ඇස් දෙකට ඔල්මොරොන්දන්. පොතු ඇරලා කටට දාගන්න ගත්තු රටකජු ගෙඩිය කොයි වෙලේ අතින් ලිස්සලා බිම වැටුනද කියලා දන්නේ නෑයි කියමුකො ..
වට පිටාව ඔක්කොම වැහිලා ගිහින් දැං පේන්නේ ඒ දෙන්නවම විතරයි. සිංදු කෑලිත් ෆයර් වෙනවා හෝ හෝ ගාල බැක්ග්‍රවුන්ඩ් එකෙන් ...

"මැණිකක් රකිනා නා රජිදෙකු සේ මම ඔබ නිරතුරු රකිමී ..
"නෑ නෑ ඒක හරි නෑ ..
" කලා වැවෙන් ගත් දිය දෝතක් සේ අගී අගී ඔබ මටමැ අගී ... "
එක්කො
" ඔබෙන් තොර ලෝකයක් කොහෙන්දෝ .. "
ඊට හොඳයි 
" ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ .. "

මොකක් හරි, ඒ වගේ සිංදුවක් .. 
ඇස් බෝල දෙක එලි‍යට පනින ගානට සූම් කරලා බැලුවම ඒ ගෑණු ළමයගේ ආදරේ ඉතිරෙන, ආඩම්බරේ ඉතිරෙන මූණ දැක්කයි කියමුකො. ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක් ගහන්න තිබ්බා ඒ මූණේ එළියෙන් ..

කතාවේ අනිත් චරිතේ ..

තමන්ගේ දිහා වටපිටාවේ ඉන්න සියලූම ස්ත්‍රී පරාණ බලන බව අනිත් චරිතෙට බොහොම හොඳින් තේරිලා තිබුනේ. ඒ වගේ සුන්දර ග්‍රීක දේව පිළිම සරීරයක් එක්ක ඒ අවධානය අමුතු අලුත් දෙයක් නොවෙන්න ඇති ඒ චරිතෙට. සීන් එකෙන් ඇවිදින ගමන්, සික්ස් පැක් තව ටිකක් පෙන්න පපුව පුම්බලා බර අඩි තියන්න ඇත්තෙත් තමගේ වටේ ඉන්න ප්‍රේක්ෂක පිරිසට හොඳම දර්ශනයක් ලබා දෙන්න කියමුකො. තමන්ගේ කොන්ඩේ හදාගන්න, කකුලට ඉහෙන මඩ බින්දුවක් පිහිදාන්න ඒ තරම්ම සැලකිල්ලක් දක්වපු කුමාරයට, තමන්ගේ ගෙඹි කුමාරි, තමන්ටම මුතු කුඩේ ඉහලන ගමන්, පීනසේ හැදෙන තරම් තෙමිලා හිටි බව දකින්න වෙලාවක් නොතිබෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති.

පැහැදිලිවම පෙනුන විදියට ලොකු ගෙදරක සුකුමාර විදියට හැදිලා වැඩුන ගෑණු ළමයා, තමන් ජීවිතේට නොගිනියපු තරම් බරක් එක උරේක එල්ලගෙන, අනිත් අතින් තමන්ගේ සක්විති කුමාරයට කුඩේ ඉහලගෙන, හරීම සන්තෝසෙන් .. ආඩම්බරෙන් .. තෙමි තෙමීම..
සහ
එයාගේ කුමාරයත්, තමන් වගේ සෙන්ටර් ඔෆ් අට්‍රෑක්ශන් චරිතෙකට, නෝමල් ලුකින් කෙල්ලෙක්ට කුඩේ ඉහලන්න ලැබෙන එකත් වාසනාවක් කියලා පෙන්නන තාලේ ලොකු ලයින් එකක් දාගෙන  ඇස් මානයෙන් ඈතට ගියයි කියමුකො.

-----------------------------------------------------------------------------------------------------------

සිරුරතර ගැල්වූ කොකුම් සැවැන්දරා නේක විධ ආලේපයෙන් සර්ව සම්පූර්ණව, ලමැද යන්තම් වැසෙන්නට පෙරවූ කසී රට ලියන් සියතින් ගෙතූ දුහුල් සලු හැඳ, මාළිගය පුරා තන් තන්හි පැනවූ වෙණ වයන්නියන්, රඟන්නියන්, චාමර සලන්නියන් නිසි පරිදි තත් සේවයේ යෙදෙන්නේදැයි සැක හැර දැනගෙන, කුමරි තොමෝ සුපුරුදු කවුලුව වෙත පිය මනින්නීය.

මෑත අතීතයේ එක් නියම් ගමක පල වැල නෙලමින්, කැලේ කොලේ පනිමින්, දෙමාපියන් හිතවතියන් සමග රෑණේ වැටුනු නියාවද, ගමේ නාම්බන්ගේ හද කිතිකවන කැකිරි හිනා සලමින් නිදැල්ලේ වැටුනු නියාවද, එහෙව් එක් දිනෙක රටට අධිපති බලු ගැත්තන්ගේ මහ රජතුමා ගම්තුලානට පැමිණි නියාවද, දුටුමතින් සිත් ගත්තායැයි කියමින් .. අන්තප්පුර බිසෝ පට බඳින්නට..  හැරෙන පරක්කුවෙන් මහ වාසලෙන් පල්ලැක්කියක් පැමිණි නියාවද, එහෙම රජෙකුගේ බිසෝ වන්නට පෙර වාසනා මහිමයම බලපෑවායැයි අම්මා අප්පා යහලු යෙහෙලි කැලැත්තම කියූ නියාවද, දෙපාරක් නොහිතා ඒ පල්ලැක්කියට නැග ආඩම්බරෙන් සන්තෝසෙන් මාළිගාවට පැමිනි නියාවද ඕතොමෝගේ ඇස් ඉදිරිපිට මැවෙන්නීය.

එදා ඒ ආදාම රෑ, මහා නරපති .. භූපති .. රජතුමා .. තමන් ඉදිරිපිට අත දරුවෙක් වූ අරුමය කුමරි තොමෝ සිහි කළාය. කෙඳිරිලි චාටු වදන්, සුසුම් රැසක් මැද රැය එළි උනා ඇයට මතකය. එතැන් පටන් ගෙවුනු සති කීපය ඇගෙන් තොර ලෝකයක් රජුට නොතිබුනු බවද ඇයට මතකය. දෙමාපියන් බලන්නට ගොස්, රාජ තේජස, රාජ රූපය, රාජ සිරිය, තව දෙතුන් ගුණයක් වැඩිකර වැනුවා මතකය. ඒ වචනයක් වචනයක් පාසා, ඒ රජු මගේය, මගේම පමණය, කියා සිතුවාද මතකය. ඒ රාජශ්‍රීයෙන්, ඒ රුවෙන්, ඒ තෙදින් බැබලුනා මතකය.

ඒ සති දෙක තුනෙන් පසු මේ මැදුර දෙස බලමින්ම රජු අන් මැදුරු කරා ගිය දවස් එමටය. ගම්පතීන්ගේ දුවක්ව, දැසි දසුන් පිරිවරා, ගමේ රැජිණියව උන් කල අමතක කර, සියතින්ම අහර පිස, පැන් වඩා රජු එන තුරු මේ කවුලුව ලඟම දෑස රිදෙන තුරු බලා සිටි දින ගනන් බොහෝය. රජුගේ අන්තඃපුරිකාවක් වීමම භාග්‍යක් කොට ගෙන ඔහු වෙනුවෙන් ඇන්දා පැලැන්දා මතකය, ඔහු වෙනුවෙන් ගැයුවා වැයුවා මතකය, ඔහු වෙනුවෙන් නිදි වැදුනා නිදි වැරුවා මතකය .. සූසැට බරණින් සැරසීගෙන,  නිළමේවරුන්ගේ ඉඟි බිගි නොදුටු ඇසින්, මෙලෙසම මේ කවුලුව තුලින් ඔහු එනතුරු බලා සිටියා මතකය.

මාස ගනනාවකට පසුව උන් හිටි ගමන් ඔහු ආවා මතකය. ඒ සිරුර, එක රෝමයක් රෝමයක් පාසා, දස දහසක් කාන්තා ඇසින්, අතින් .. පංචවිධ සංවේදනයන්ගෙන්ම ඉඳුල් වී කිළිටි වී ඇති බව දැන දැනම .. නෑඹුල් නෙළුමක් දෝතට ගන්නා සෙනෙහසින් බදා වැලඳ ගත්තා මතකය. රාජ චාටු කතා.. දස දහසක් කාන්තාවන්ට, සැඩොල් කුලේ සිට රාජ කුමරියන්ට තෙක්.. එක ලෙසින් කියවුනු රාජ චාටු කතා, තමන්ටම පමණක් කියවෙන ඒවා ලෙසට ගෙන, ලය පිරුනු සතුටින් රැයක් එළිවන තුරු අසා සිටියා මතකය.

ඒ එක රැයට .. එක මොහොතට..  ඒ සිරුර පිදුවා මතකය, වැන්දා මතකය, ‍යැද්දා මතකය. ඒ හදවත කිරුළක් කර හිස පැලැන්දා මතකය, ඒ සිනාව මුතුහරක් කර ගෙල පැලැන්දා මතකය, ඒ ජීවිතය.. ආත්මය .. කලලයක් කර ගර්භයෙහි ලා අනන්ත ආදරෙන් රැක්කා මතකය.

කුමරිතොමෝ කවුලුව වෙත හිඳ රජතුමා එන තෙක් බලා හිඳින්නීය..
සුපුරුදු මානයෙන්, රජෙකුට අයිති වීමේ මානයෙන් ..

ඔහු අදද අන් මැදුරක් කරා ඇදෙනු ඇත,
නැතහොත් අබිසරු ලියන් වටකර ප්‍රීති වනු ඇත,
නැතහොත් නියම් ගමක අහිංසක ගැමි කෙල්ලක හා නිදිවදිනු ඇත,
නැතහොත් තමා වෙත එළැඹෙනු ඇත.

එළැඹ, රජෙකුට හිමි වීමට තරම් පිං කර තිබීම ගැන තමන් ගැනම සතුටු වීමට ඇයව පොළඹවනු ඇත. ඉඳ හිට හෝ රාජ වරප්‍රසාද ලැබීම ඇය වැන්නියකට කප් රුකක් පහල වීමක්යැයි ඇයට ඒත්තු ගන්වනු ඇත.

ඇය,
අන්තඃපුරිකාවක් වීමේ අල්හාදය, ආඩම්බරය, මොහොතකට හෝ රජෙකු සතු වීමේ ප්‍රීතිය, අන් කාන්තාවන්ට නැති තමන්ට වෙසෙසින් ලැබුනු වරප්‍රසාදය, ඔහු ලඟ සිටින මොහොතට විඳිනු ඇත.
ඒ ආඩම්බරෙන් සතුටින් ඔහු නැවත ඇය වෙන එලැඹෙන තුරු බලා හිඳිනු ඇත.

-----------------------------------------------------------------------------------------------------------

නා නා විධ වේෂයෙන් පෙනී සිටින..
රජු වෙනුවෙන් වෙසෙන, ඔහු වෙනුවෙන් මියෙන..
අන්තඃපුරිකාවන් වෙත ලියූ මේ ලිපිය ...
කුමරි, රජු, රුවන් වැලි සෑ බිමේ දුටු යුවල හෝ වෙනයම් කරුනක් සිහි වීම නිසා නෙත උපන් කඳුලින් යුතුව ..
ලියුම්කරු මෙතෙකින් නිමා කරයි.

දී එන්ඩ් ..







Sunday, December 1, 2013

~ දෙසැම්බර් හීතල ~






මේ ජීවිතේ විසි අට වෙනි වතාවටත් දෙසැම්බර් හීතල මාව බලන්න ඇවිත්. දෙසැම්බර් හීතල අමුතුයි. හීන් අයිස් ඉදිකටු දාහකින් ඇඟට අනිනවා වගේ දැනෙන, හම පසාරු කරගෙන හිතට ආත්මයට කතා කරන, ලොකු හීතල පොරෝනාවකින් මගේ රිදෙන හිත වහලා දාන, පාලු තෙත හීතලක් ඒක. 

තනිකමේ නිහැඩියාවෙන් හැඩ උන දෙසැම්බර් හීතල තරම් ලස්සන සාමකාමී දෙයක් මම කවදාවත් දැකලා නෑ. 

මම දෙසැම්බර් හීතලට ආදරේ ඒ නිසයි.

නත්තල් හීතල මගේ හිතේ මවන්නේ අපූරු පින්තූර. එක යායට විහිදුනු හිම කන්දක්, බැලූ බැලූ අත සුදු පාට මිස වෙන මුකුත්ම නෑ. ඒ හිම යාය උඩ.. මුදුනෙම .. හමාගෙන එන මහ හුළගට මූණ දීගෙන ඉන්නෙ මම. ෆැන්ටසි ලෝකෙදි මට දිගම දිග කොන්ඩයක් තියෙනවා ;) ඒක හුලගට යනවා අස්ස වලිගයක් වගේ. මම බෙරිහන් දීලා කෑ ගහනවා හුලගට. මගේම සද්දේ මගේම කන් ඇතුලේ දෝංකාර දෙනකන්. කෑ ගහලා කියනවා මම හිතේ තියෙන හැම දෙයක්ම, ඔලුව පුපුරන්න ගොඩ ගැහිලා තියෙන හැම වදකාර හිතුවිල්ලක්ම.

අඩා වැටෙනවා මම හිතේ හැටියට ඒ හිම කන්ද උඩ දණින් වැටිලා. දෙනෝ දාහක් දෙනා රිදෝපු, හැම මතකයක්ම කදුලු එක්ක දිය වෙලා පුංචි දිය කඩිත්තක් හැදෙනකන්. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්න උන්ගේ කැපුම් පාරවල් වලින් ගලන ලේ හෝදගෙන යනකන්. ඒ ලේ වලින් පුංචි පොයින්ට්සෙටියා මල් පිපෙනකන් කදුලු වැටිලා හැදුනු දිය කඩිත්ත ඉවුරේ. 

දිය කඩිත්ත විලක් වෙනකං, විල ගගක් වෙනකං, හිත හැදෙනකං, එක දිගට අඩනවා මම. කවුද දන්නේ, සමහර විට සුරංගනාවියෝ ඒවි ඒ විල ඉවුරට. ලේ වලින් පිපුනු මල් නෙලාවි දිව්‍ය ලෝකේ යද්දි ගෙනියන්න. 



දුයිෂෙන් කිව්ව වසන්තය එනකන් බලාගෙන ඉන්න අල්තිනායිලා ඉන්න ලෝකෙක, මම බලන් ඉන්නේ නත්තල් හීතල එනකන්. රිදෙන පිච්චෙන ජීවිතේ අයිස් පොරෝනාවකින් වහලා දාලා මාව තාවකාලික නින්දකට ඇදලා දාන ලේ මිදෙන හීතල එනකන්. වසන්තය එනවමයි කියලා දුයිෂෙන් තවුසන්ඩ් ටෝක්ස් දීලා තියෙන නිසා වසන්තය එන එකක් නෑ කියන ෆැන්ටසියේ ඉන්න මට බෑ. ඒ නිසා පුලුවන් තරම් දිග කාලයක් හීතල තිබේවා, වසන්තය පුලුවන් තරම් පරක්කු වේවා කියන ප්‍රාර්ථනය හැම දෙසැම්බරයේදිම මගේ හිතට එනවා.

දෙසැම්බර් හීතල ..
පැමිණ වැළදගන්
මගේ හිත ..
ගත ..
මුලු ආත්මය ..
ඉඩ නොදී
එක සිතුවිල්ලකට
රිදුමකට ..
සත්තමයි ..
උවමනා නෑ මට ..
වසන්තය ..
හිම දිය කරන
මිදුනු හිත පණ පොවන..
ඇවැසි නෑ මට
වසන්තය
ඉන්න තුරු ඔබ මා සමග
ජීවිතය..
හීතලෙන් වෙලාගෙන..