බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, December 27, 2012

මරියා .. ආදරය හොයන ගණිකාවක් .. !!


මිනිත්තු එකොළහේ කතාව පසෙකින් දැමූ ඈ යහනේ ඇල වූවාය..
නින්දකට සැරසි නිදහස් ඉරියව්වක් නොව කෙනෙක් තලා පෙලා යහනට ඇද දැම්මාක් වැනි කෙඩෙත්තුවක් පමනක් ඇගේ වතෙහි විය ...




                                             මරියා ... 
                                                            ආදරය හොයන ගණිකාවක් ......

පාවුලෝ කොයියෝගේ ආරම්භක වදන් පොත් පිටු අතරින් ඇය දෙස බලා ඉඳිනා බවක් ඇයට දැනින ..
තමා ලෝකය හමුවේ සම්පූරණයෙන්ම නිරුවත් බවත්, තමාගේ සියලු අඟ පසඟ ලෝකය හමුවේ නිරාවරණ බවත්, එක් මිනිසෙක් බයක් සැකක් නැතුව ඒ පිළිබඳව පොතක ලියා ඇති බවත් ඇයට හැඟෙන්නට විය..

                                                       ආදරය හොයන ගණිකාවක් ...
                      ආදරය හොයන ගණිකාවක් ..
                                               ආදරය හොයන ගණිකාවක් ..

වචනෙන් වචනෙට තබන බර අනුව ඒ ආරම්භයේ තේරුම විවිධාර්ථ ගන්නා ආකාරය ඇය සිතින් විශ්ලේෂනය කලාය.. සමාජය වැඩි බර තබන්නේ කවර වචනයටද යන්න ඇය සක්සුදක් සේ දැන සිටියා මෙන්ම ඒ බර තැබීමට එරෙහිව ඇයට කල හැකි කිසිවක් නොමැති වගද ඇය දැන සිටියාය.. කිසිවක් කල හැකි උවද ඒ වෙනුවෙන්, සමාජයේ සිතුම් පැතුම් වෙනස් කිරීම වෙනුවෙන් කිසිවක් කිරීමේ උවමනාවක් හෝ අවශ්‍යතාවයක්ද ඇයට තිබුනා යැයිද සිතිය නොහැක .. ඇය ඇයගේ කවචය තුල සිටින්නීය.. බාහිර පරිසරයෙන් ස්වායක්තව, බාහිර ශබ්දයන්ට නෑසු කන් ඇතිව, බාහිර දර්ශනයන්ට වැසූ ඇස් ඇතිව, බාහිර හැඟිම් දැනීම් වලට අගුලු ලූ හදවතින් ඈ ඇගේ කවචය තුල සිටින්නීය..

යහනේ ඒ මේ අත පෙරලෙද්දි පය වැදුනු තව පොත් දෙක තුනක් දඩි බිඩි හඩින් බිම වැටෙනු ඇයට ඇසින .. පෙර එක් දිනක මේ ඇඳ උඩම වාඩිගෙන සිටි කෙනෙක් ( නම දැන් ඇයට අමතකය ) මේ තරම් බරපතල පොත් කාමරේ පුරා විසුරවාගෙන සිටින්නේ සෝබනේට නේදැයි ඇසුවා ඇයට මතකය ... ඔහුගේ අතේ සිටි එමා බොවාරිව පොත් රාක්කයේ තබමින්,  ඔහුගේ දෑස් මානයෙන් ඇනා කැරනිනාව සහ අල්කෙමිස්ට්ව සගවන අතරේම ඒ කී කථාව ඇත්තයැයි ඔප්පු කරන බැල්මක් ඔහුට හෙලුවා ඇයට මතකය... ඔහුත් මහා ආඩම්බරයකින්, මේ මේ බෝනිකි සීනි බෝල කෙල්ලට මොන සාහිත්‍ය ද වැනි ජයග්‍රාහී බැල්මකින් ඇය දෙස බලා උන්නා ඇ‍යට මතකය.. කරුනු කාරණා නිම වීමෙන් පසු පසුම්බිය පිරෙන්න තිබූ ණය පත් තොගය එළියට ඇදගත් ඔහු මහා ලොකුවට ඒවා ප්‍රදර්ෂණය කරමින් "අද කන්න යන්නේ කොහේටදැයි" ඇසුවා ඇගේ මතකයේ ඇත.. කබඩයේ ලාච්චුවේ තිබෙන ණය සීමාව අසීමිත ජාත්‍යන්තර බැංකුවකින් ලබා දුන්, මේ ණය පත් සියල්ලම එකතු කලද අලගු තැබීමට නොහෙන තම නම සදහන් ණය පත සිහිවී දෙතොල රැදි මදහසින්ම, ඔයාට කැමති තැනකට යමු කීවා ද ඇයට මතකය.. තමා සොයන ආදරය ඔහු නොවන වග දුටු ඈ.. සති ගනනක ඒ හමු වීමට එදා නැවතීම තැබුවා මතකය .. 




ඒ නැවතීමෙන් පසුව සති දෙකේ මාසයේ තවත් කොතෙකුත් හමු වීම්.. ඒ හමු වීම් වල මිහිරි අමිහිරි මතක.. කල කී දේවල්.. අතරින් පතර ඇගේ මතකයේ ඇත ... ඇය හමු වන්නට අනේක විධ දෙනා දැරූ උත්සාහයන්... ඒ අතරින් වාසනාවන්ත උනු සහ තෝරගත් කීප දෙනා ඇය තේරුම් ගැනීමට දැරූ ප්‍රයත්නයන්.. ඇයට සැබෑවට ප්‍රේම කල වුන්ගේ දුක් අඳෝනා, ඇයව විහිලුවට ගත්තවුන්ගේ අපහාස වදන්, ඇයව හිමි කරගැනීමට නොහැකි උන්ගේ දෝෂාරෝපන, මේ සියල්ල ඇගේ කවචය පිටතින් වෙනම බලකොටු ලාගෙන සිටින දෙස ඈ බලා උන්නාය ..

ඒ සියලු දෙනා අතරේ තමන් සෙව්වේ ආදරයම පමනක් බව කෑ ගසා කියන්නට ඇයට සිත් විය...
මරියා මෙන්ම.. සියලු දේ මගින් සියලු දේ වෙතින් තමන්ට ඇවැසි වූයේද ආදරයම පමනක් බව මුලු ලෝකෙටම ඇසෙන්නට කියන්නට ඇයට උවමනා විය..

මරියා කුඩා කල පැන්සලක් දුන් කොලුවාට බැඳි ආදරය ලෝකයේ හතර කොනේ සොයා ගියාක් මෙන්ම ඇයද.. ඇයට යම් තැනකදී අහිමි උනු ඇගේ ප්‍රේමය සොයාගෙන මෙතෙක් දුර ආ බව කියන්නට ඇයට උවමනා විය .. ඒ ගමන අතර මැද ඇය මුහුණ දුන් ගැහැට.. ඒ ගමන අතර මැද ඇගේ චරිතය විවිධ දෙනා අරුත් ගැන්වූ අකාරය.. ඇයට සැබෑ ඇය අමතක කරවා ඇති බව විටින් විට ඇයටම සිතෙන්නීය .. සැබෑ ඇය සොයන්නට දැන් ප්‍රමාද වැඩි බව තේරුම් ගැනීමට තරම් පරිණත බුද්ධියක් ඇය සතුව ඇත ..
                             



                                 ආදරය සොයන ගණිකාවක් ...

                                         ඇතිරිලි අවුල් යහනෙහි කෙලින් වී වාඩි ගත් ඈ...
                                                සමාජය වැඩි බර තියන වචනයට නොව..
                       සැබෑ ඇය විග්‍රහ කෙරෙන වචනයට අවධානයක් දෙන්න යැ‍යි කෑගසා කීවාය ..
                                                                      නමුදු..
                                                 ඇගේම කවචයේ වැදුනු ඇගේම හඩ..
                                                                      යලිදු..
                                                     ඇගේම දෙසවන පුරවා දමමින්..
                                                     ඇයම ගොඩ නැගූ කවචය තුල..
                                                          ප්‍රතිරාව දෙන්නට විය ... !!




Tuesday, December 25, 2012

දෙසැම්බර් තිස් එක .. !!



නවත්තපල්ලා බං ...
ඔය රතිඤ්ඤා ගැහිල්ල ..
ඩිංගක් ඇහැ පියවන්න නෑ ..
ජංගමේ කෑගැහිල්ල ..
ඒ මගුල අල්ලලා ඇඳ යටට එබුවම ..
මෙන්න පටන් අරන් රතිඤ්ඤා කෙරුවාව ..
ජනවාරි පළවෙනිදා කියලා නෑ ..
හෙටත් වැඩ ..
නිදියන්න දීපල්ලා ..

ගමේම බල්ලොත් බයවෙලා ..
ඒ මදිවට ...





Monday, December 10, 2012

ඉර ... සඳ සහ රැය ....


නුඹ..
මහද ආලයෙන්..
එකලු කල..
මගේ ගගනත..
සඳ ....

ඔහු..
සඳ මිළින සඳ..
මල හද..
රාගයෙන් පණ පෙවූ..
ඉර ....

ඉරත් සඳත්..
අයිති නැති කල..
මම..
නික්ම යමි..
අමාවක රැය සමග..
අද ....

( යායුතු නිසා මිස, කැමැත්තෙන් නොව ...)







Thursday, December 6, 2012

අන්ධ.. මැටි මෝල්... මම ... !!

මලක් ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
මල මියෙන වග ..
නේක පැහැයෙන්
දිදුල මල් පෙති
දුඹුරු කලු වී
පොහොර වන වග ..

ගඟක් ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
ගඟ හිඳෙන වග ..
පෙණ කැටිති පිරි
දිදුල නිල් දිය
යටින් දෙදරූ
මැටි පොළව වග ..

සඳක් ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
සඳ නො එන වග ..
සේද එළියෙන්
දිලෙන සඳවත
අමාවක රැය
එළිය නැති වග ..

දිවිය ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
දිවි නැසෙන වග ..
මගේ කියනා
මේ සරීරය
කවමදාවත්
මගේ නොවු වග ..


Monday, November 26, 2012

♔ ස්ලීපිං බියුටි ♔




 

අවුරුදු සීයක් ...
නිදාගෙන හිටි මාව..
කොහෙන්දෝ ආපු කුමාරයෙක්..
හැම කථාවෙම වගේ..
හාද්දක් දීලා ...
අවදි කලා ...

ඉතිං මමත් ...
ඇස් ඇරලා හිනා වෙලා ...
එහෙනම් අපි ...
හැපිලි එවර් ආෆ්ටර් ජීවත් වෙමු කීවම ...

කුමාරයා කියපි ...

විකාරද හලෝ..
මගේ වෙඩිමට ...
ජයමංගල ගාථා කියන්න කෙනෙක් නෑ...
ඒකයි ඔයාව ඇහැරුවේ ...
කියලා ...

කමක් නෑ.. 
ඇහැරුනු එකේ මම ජයමංගලානි කියන්නම්.. 
හැබැයි පොරොන්දු වෙන්න...
ඒ හිලව්වට...
ආයෙම නපුරු මන්තරකාරිව හොයගෙන ඇවිත් ...
මාව සදාකලික නින්දට දානවා කියලා ...

ආයේ මාව ඇහැරෙව්වොත් බලාගෙනයි ඔන්න ...!!

Friday, November 9, 2012

εжз මංමුලා සමනළිය :: X εжз

මම කොල්ලෙක්...
සමාජ සදාචාරයට අනුව පෝරුව උඩ නැගලා පොල් බිඳලා දකුණතට මුද්දක් දාපු කොල්ලෙක්...

X කියන්නේ මගේ ජීවිතේට අහම්බෙන් ඇතුලු උනු කෙල්ලෙක් ...
 
 

මේ වෙලාවේ මම ඉන්නේ එයාව තුරුලු කරගෙන.. ඉනෙනුත් පහලට වැටෙන කැරලි කැරලි කොන්ඩේ අතරේ මගේ නහය හංගගෙන ...

මගේ අත X ගේ ඇඟ පුරාම.. සිනිදු තැන් රළු තැන්.. වල ගොඩැලි නිම්න ගවේෂනයක ගිහින් ...
 
ඔන්න එක පාරට ...
 
ම්ම්ම්ම්.. බබා.. මම ටූට්ටන් ප්‍රශ්නයක් අහන්නද ...

X අහනවා ...

අහන්නකො බලන්න..

මගේ අත ඒ අස්සෙත් එහේ මෙහේ දුවන්නේ කතාව ගැන වගේ වගක් නැතුව..කෙල්ලො අහන්නේ එකම ප්‍රශ්නෙනෙ..
අනේ බබා ඔයා මට ආදරෙයි නේද ?
කවදාවත් මාව දාල යන්නේ නෑ නේද ? බ්ලා බ්ලා බ්ලා ...
ඕවට උත්තර දෙන එක මහ දෙයක්ද ...
 
දැන් ඔන්න මමයි ඔයාගේ නෝනයි පාරේ යනවා හරී.. ලොකූ වාහනයක් එනවා.. දැන් ඔයාට බේරගන්න පුලුවන් දෙන්නගෙන් එක්කෙනයි.. එක්කෝ එයාව..එක්කෝ මාව.. ඔයා කාවද බේර ගන්නේ ??

මගේ කට ඇරුනා..
යටි හක්ක එල්ලුනා දෙපතුල ගාවට...
කොල්ලෝ උඹ ඉවරයි...
මොලේ ඇතුලෙන් කව්දෝ කෑගැහුවා...

මොනාද බබා ඔය අහන මෝඩ ප්‍රශ්න ..
ඔහොම දෙයක් ජීවිතේට වෙන්නේ නෑනේ....
විකාර නැතුව මෙන්න මෙහෙ එන්න..
තව ටිකකින් යන්නත් ඕන...

 X එරෙව්වා...
දිලිහෙන ඇස් දෙක තවත් දිලිහෙන්න ගත්තා..
පුලුවන් නම් මාව පුච්චලා දාවි ඒ ඇස් දෙකෙන්..
ඒ අනතුරු ඇඟවීම මට බාරගන්නම වෙනවා..
X ට උත්තරයක් ඕන...
මට ඒක දෙන්නම වෙනවා ..

මෙහෙමනේ බබා ..
මම සීරියස් මූණ දාගත්තා..
ඇයි ඔයා තේරුම් නොගන්නේ...
මම තෙපරබාන්න ගත්තා...

ඔටුමාමා..
උඹ මොන එහෙකටද කෙල්ලගේ හැටි දැන දැනත් ඕන දෙයක් අහන්න කිව්වේ..
දැන් දීපන්කෝ උත්තර.. මම මටම සාප කරගත්තා ...

X තවමත් එක සීරුවට මා දිහා බලාගෙන..
ඒත් දැන් අර ඇහේ ගින්න නැතිවෙලා..
ඒ වෙනුවට පතුලක් නොපෙනන මහා ලිඳක් වගේ ඒ ඇස් දෙක මට පෙනුනේ..
ඇත්ත මිස වෙන මොකවත් Xට ඕන නැතිබව හොදටැම පැහැදිලි..
බොරුවකට, චාටුවකට ඉඩක් නෑ..
 
බබා මෙහෙමයි..
මම ආයේම පුරුෂ ධෛර්ය එකතු කරගෙන කට ඇරියා ...
 
X එයාගේ අතින් මගේ කට වැහුවා..
හීනි දිග ඇඟිලි තොලේ වැදුන ගමන් මට ඕන උනේ මේ විකාර ප්‍රශ්නෝත්තර සංග්‍රහය නවත්තලා ඒ ඇගිලි ඉඹගෙන ඉඹගෙන යන්න..
ඒත් X ගේ මූණේ තිබුනු බැරෑරුම් බැල්ම මගේ ඇතුලේ හිටි වල් සතා ආයෙම කූඩු කලා..
 
 
එක පාරට X හිනා උනා..

ආයෙත් අර හිනාව..

නෝන්ඩිය උතුරන..

මගේ කෙස් පැලෙන තර්ක වලින් තවුසන්ඩ් ටෝක්ස් වලින් හදාපු වීදුරු මාළිගාව සට පට ගාල කකුල් දෙක ලගට කඩාගෙන වට්ටලා මාව කට උත්තර නැති කරවන සීතල හිනාව ..

 
ඔයාගේ උත්තරේ මම දන්නවා.. ඒ නැතත් ඔයා දෙන්න ඕන උත්තරේ මම දන්නවා .. සමාජ සදාචාරයට ඔයාගේ හර්ද සාක්ෂියට අනුව ඔයා දෙන උත්තරේ මම දන්නවා... උත්තරේ නොදන්න ප්‍රශ්න මම කවදාවත් අහන්නේ නෑ.. මොකද මම කැමති නෑ එහෙම අවිනිශ්චිත ප්‍රශ්නයක් අහලා උත්තරේ ලැබෙනකන් මම විඳින වේදනාවට ... ඒ නිසා මගේ ජීවිතේ මම අහන්නේ මම උත්තරේ දන්න ප්‍රශ්නම විතරයි.. උත්තරේ ඒ කෙනාගේ කටින්ම එයාගෙම වචනයෙක් අහගන්න විතරයි මට ඕන...
 
මම තක්බීරි වෙලා බලාගෙන හිටියා..

ඒසී කාමරේ උනත් ඇග පුරාම දාඩිය ගලන්න පටන් අරගෙන තිබුනේ ඇරිසෝනා කාන්තාරේ අතරමං උන එකෙක්ගෙන් වගේ...
X ගෙ කතාවෙන් එහෙන් මෙහෙන් අල්ලගත්තු කැලි.. එහෙන් මෙහෙන් කනට ගිය කෑලි මගේ මොලේ එහෙම් පිටින්ම කොලොප්පං කරලා තිබ්බ...
ඊලගට මොනවා කරන්නද කියලා නොදැන මම පතෝල කොරටුවේ ඉන්න පඹයා වගේ ඔහේ බලාගෙන හිටියා ...
 
X ආයේ නෝමල් වෙලා.. ටිකකට කලින් කියපු බණ කතා කිව්වේ මේ ඇටකිති කෙල්ලද කියලා හිතාගන්න බැරි ගානට එයා පොඩි එකෙක් වගේ මගේ අත පුරාම මන්ඃකල්පිත අකුරු ලිය ලිය හිටියා හීනි දිග ඇඟිල්ලෙන් ..
 
විනාඩියකින් දෙකකින් X ඔලුව උස්සලා මා දිහා බැලුවා..
අපි යන්න ඕන නේද..
මොකෝ ටයිම් කීපර්ට අද ඒක අමතක වෙලා ..
X ආයෙම දැම්ම නෝන්ඩි හීතල හිනාව...

මම ගස් ගෝනෙක් වගේ බිත්තියක් දිහා බලාගෙන හිටියා..
ටිකකට කලින් මගේ ඔලුව කාල දාල මේකි දැන් ඉන්න අපූරුව..මොකවත් උනේ නෑ වගේ ...
X එක්ක තරහ ගන්න ඕන උනත් පූස් පැටියෙක් වගේ ගුලි වෙලා ඉන්න කෙල්ලත් එක්ක කොහොම තරහ ගන්නද ... මම ලොකූ හුස්මක් පිට කලා...
 
තව ටික වෙලාවයිනේ තියෙන්නේ... මට ඇහෙන්න සින්දුවක් කියනවද... ඔයාට මම ගැන හිතෙන හැටි... X මගේ අත බදාගෙනම කිව්ව ...

මොකක් කියන්නද..
ලාබ ප්‍රේම ගීතයක් කියලා ෂාරුක් කාන් වගේ කාමරේ වටේ නටන්නඋනත් මට පුලුවන් උනාට X ට ඕන ඒක නෙමෙයි කියලා මට තේරුනා..
මම දන්නව ඒ කට හඩ..
ඒක පට්ටම සීරියස්..
එයාට ඇත්තටම ඕන මට එයාව දැනෙන හැටි සිංදුවකින් ...
 
මගේ නිශ්ශබ්දතාව තේරිලා X ආයෙ මගේ මූණට එබුනා..
ඇයි ඔච්චර කල්පනා කරන්නේ.. මම කියන්නද එහෙනම් කියන්න ඕන සින්දුව...
අමරසිරි පීරිස් මහත්තයගේ ළඳුනේ සිංදුව කියන්න  ...
මට ගැලපෙන්නේ ඒක තමයි.. ඒකයි ඇත්ත ..
 
 
 
මම X ගේ කට තද කරලා අල්ලගත්තා..
ගහන්න හිතුනා ඒ වෙලාවේ නම් රෝස පාට තොල පුපුරලා ලේ වැක්කෙරෙන්න..
මේක මොන විදියේ සම්බන්ධයක් උනත් ඒ විදියේ සම්බන්ධයක් නෙමෙයි..
ඇයි මේ කෙල්ලට ඒක නොතේරෙන්නේ...
මගේ හිත කේන්තියෙන් පිස්සු වැටුනා...
 
බබා මට රිදෙනවා ... හීනියට අඩන්න ඔන්න මෙන්න කටහඩක් ඇහුනා...
 
තාමත් මම X ගේ නිකටෙන් අල්ලගත්තු ගමන් නේද කියලා මට මීටර් උනේ එතකොටයි.. මගේ ඇඟිලි පාරවල් ඒ සුදු මූණේ නිල් පාටට වැදිලා තිබුනා.. කොයි වෙලෙත් චැලෙන්ජ් එකට බලන දිලිහෙන ඇස් ඒ වෙලාවෙ නම් කඳුලු වලින් පිරිලා..ඇස් පිහාට්ට අගින් එල්ලෙන් කඳුලු බිඳුව තව ටිකකින් මගේ ෂර්ට් එක උඩට වැටෙයි... මටත් අඩන්න පුලුවන් උනා නම්, පිරිමිකම පැත්තකට දාල එතනම වැටිලා අඩන්න පුලුවන් උනා නම් කියලා මට හිතුනා ... පව් කෙල්ලට රිදෙන්න ඇති ... ඒ මදිවට හොදටම බය වෙලා..උගුලක වැටුනු හා පැටියෙක් වගේ.. ඒත් ඇයි එයා කටට එන හැම මගුලම ඔහේ කියලා දාන්නේ.. එයා වගේ හැම වෙලේම කඳුලු පෙරාගෙන නොහිටියට මටත් හිතක් පපුවක් කියලා එකක් තියෙනවා නේද.. ඇ‍යි එයාට නොතේරෙන්නේ ... ඇයි නොතේරෙන්නේ මම ආදරෙයි කියලා.. ඇ‍යි නොතෙරෙන්නේ ඒ ආදරේ සමාජය පිළි නොගත්තත් ඒ ආදරේට නමක් නැති උනත් ඒ ආදරෙත් ලයිල මජ්නුට නැත්නම් රෝමියෝ ජුලි‍යෙට්ට දුන්නු ආදරේ තරම්ම වැදගත් කියලා.. ඇ‍යි හැමදාම අන්තිම මොහොතේ එයා ඔක්කොම කාල දාන්නේ ...
 
X තාමත් මා දිහා බලාගෙන.. කඳුලු ඇල්ල එක සීරුවට කම්මුල් දිගේ ගලනවා.. මගේ හිතේ තිබුනු ඔක්කොම නපුරුකම් කේන්තිය ඒ කඳුලුත් එක්කම හේදිලා ගියා...
 

ඔයාට ඕන මට ඔයා ගැන හිතෙන හැටි කියන සින්දුවක් නේද...

ඔන්න අහගන්න ...

 
 
 
 
මම X ව තුරුලු කරගත්තා ..
ඒ හදවත ගැහෙන සද්දේ මට අහන්න ඕන ..
ඉතුරු එකම විනාඩියෙත් ....
හෙට මොනවා වෙයිද කියලා කවුද දන්නේ !!!
 
 
 



Saturday, November 3, 2012

< වෙ න ස >



මම S p o r t s C a R එකක්..
එහෙන් මෙහෙන් වෙට්ටු දාන..
නැති උන් අයිති කරගන්න දගලන..
යාලුවන්ට උජාරුවට පෙන්නන ...
ටයර් ගෙවෙනකන් off road show යන ..
මඩ නාගෙන trend එකට ඉන්න ...
පාරේ මහා සද්දෙන් යන ...
රට්ටු හොල්මන් වෙලා බලන ...
දෙමාපිය වැඩිහිටියන්ගෙන් ...
ජීවිතේට කොළ එළියක් නොලැබෙන ...
කොල්ල වැරදි මඟ යවන..
කොල්ලගේ ඇට කටු කඩන...

**********************************************************

එතකොට එයා...
එයා...
C l a s s i c C a R එකක්...
ගෙනල්ලා park කල දවසේ ඉඳන්...
Garage එකෙන් එළියට නොගත්ත...
උදේ හවස ග්‍රීස් ගාල පිහදන...
ටයර් සෙට් එක තවමත් තදට දිලිසෙන...
ගෙයි පෝටිකෝවක් යට...
උජාරුවට නවත්තලා තියෙන...
ගෙදරට යන එන අයට ලොරි කතා කියමින් පෙන්නන...
දෙමාපිය වැඩිහිටියන් රතු පාවඩ පිටින්...
පද්දගෙන ආව ...

    *****************************************************

මම S p o r t S C a R එකක් ..
දවස පුරාම කොල්ල එක්ක ගජරාමෙට ඉගිල්ලිලා...
ගෙදර ගෙනියන්න බැරිකමට...
හවසට යාලුවෙක්ගේ අතේ කොහෙට හරි යවන...
කවදාවත්ම ගරාජයකට වැද්ද නොගන්න ... !!

එයා C l a s s i c C a R එකක් ...
හැමදාම දිලිහෙමින් ...
ගෙදර ඉන්න ...
ගරාජයේ අයිතිය...
සින්නකර ලියවුන....

Sunday, October 14, 2012

පහන් සිළ සහ ඇය

ඇය 
පහන් වැට 
දෙසට 
ගියාය ..

පොල්තෙල් බෝතලයත් පහන්වැටි දෙක තුනත් අත්දෙකට ගුලි කරගෙන විහාර බිමේ තමන් හැමදාමත් කැමතිම කොටස වූ පහන් වැට දෙසටඇය ගියාය ...

බෝ මළුව සිත නිවනාවායැයි යමෙකු කියූවද .. බුදු කුටියෙහි ඇති පිළිම දෙස පැය ගනන් බලා සිටින්නට හැකියැයි තවෙකෙක් කියූවද... ඉතුරු උන් ශ්වෙත වර්ණ සෑ රදුන්ගේ සෙවනෙහෙහි සිහිල පැතුවද ..
ඇගේ සිත බැඳී තිබුනේ පහන් වැට සමග පමනමය..
එය කිසිසේත්ම පාට පාට විදුලි බුබුලු තොගේකට බැඳෙන්නක් වැනි ලෞකික ඇලීමක් නොවුනු අතර.. යම්ලෙසක ගුප්ත අධ්‍යත්මික බැඳීමක් පමනක්ම විය.. 
කුඩා දරුවෙක් අහස දෙස, තරු දෙස, බලන්නේ යම් සේද ඇයද එබඳුම ගුප්ත බන්ධනයකින් පහන්වැට සමඟ බැඳී සිටියාය.




ළමා වියේ සිටම පැවති පහන්වැටේ අඳුරුම මුල්ලක උසින්ම ඇති පහන දැල්වීමේ නොතිත් ආශාව ඇය තුලින් තාමත් ගිලිහී නැත.. දෙපා ඇඟිලි තුඩුමතින් නැග ඔලුවටත් උසින් ඇති පහනට තෙල් පිරවූ ඇය සීරුවට පහන් වැටියක් ගෙන දැල්වූවාය.. ඇඟිලි තුඩුමතින්ම පහනට වැටිය දැමූ ඇය පහන් වැටට එපිටින් ඇය දෙස බලමින් විකාර රූපි අංග චලන වල යෙදෙන කොලුවා දෙස වරක් බලා නැවත පහන දෙස බැලුවාය. වෙන වෙලාවකදී නම් ඒ විකාර ඇය කෝපගන්වනු ඇති නමුදු අඳුරේ දිලෙන; සැලෙන; ලෙලෙන; පහන් දැල්ල ඇගේ සිත මුලුමනින්ම නතුකරගෙන හමාරය.. කෝපයකට හෝ වෙනයම් කිසිම වූ මානුශීය හැඟීමකට පහන් එළිය විනිවිද ඇගේ සිත ආක්‍රමනය කල නොහැක.

ඛේමා තෙරණිය රහත් උනේ පහන් දැල්ල අරමුණු කරගෙන භාවනා කිරීමෙන්. ඒ තරම් සුලු දෙයකට උනත් ජිවිතයේ සැබෑව පෙන්නා දෙන්න පුලුවන්.. අවශ්‍ය එකම දේ පේන දෙයට ඔබ්බෙන් යමක් දැකීම පමනයි ...

දහම් පාසලේදී හෝ පොතක හෝ යමෙකු කල කතාවක එවන් දෙයක් කියවුනා ඇයට මතකය... නිවන ..අරහත්බව .. මේ සියල්ල ඇයගේ ඉන්ද්‍රියන්ට සහ සන්තානයට ගෝචර නොවන ඉසව්වක පැවතියද සියලු දුක් නසන්නට සියලු දේ අමතක කරවන්නට හැකි අපූර්ව වූ බලයක් එම භාවයන් තුල ඇති බව ඇය දැන සිටියාය.. ඛේමාවන්ට වඩා ඇයට නිදහස ශාන්තිය අවශ්‍යය ..ඇයට හිස මත දරා සිටින අනේකවිධ දෝමනස්සයන්ගෙන්..අනේකවිධ මතකයන්ගෙන් නිදහසක් අවශ්‍යය.. ඇයට සියලු දේ අමතක කිරීමට අවශ්‍යය.. ඇයට සියලු බන්ධනයන්ගෙන් නිදහස් ෂුද්‍රජීවී ජීවිතයක් අවශ්‍යය ...

ඛේමාවන්ට හැකි වූවානම් තමන්ටත් පහන් දැල්ල අරමුණු කරගෙන චිත්ත සමාධියකට පත් විය නොහැකිදැයි ඇය සිතුවාය.. ජීවිතය පෙලන මතක බරින් නිදහස්ව බෝ තුරු මුදුනින් අනන්ත වූ ආකසය වෙත පියා සලන හැටි ඇය මනසින් දුටුවාය.. පහන් දැල්ලෙන් ජීවිතය දැකීම ඇයට කිසිසේත්ම අරුමයක් නොවීය. ජීවිතය නොයෙක් ලෙස විඳ ඇති ඇයට, හැම ලෙසකින්ම හැම දෙයකින්ම ජීවිතය දැක ඇති ඇයට පහන් සිළ තුල සැලෙන ජීවිතය දැකීම මහ දෙයක් නොවීය.. පහන් සිල එළිය ලබන්නේ වෙනත් අලෝක ප්‍රභවකින් බවද ඒ ලෙසම මනුස්ස ජීවිතය දෙමාපියන්ගේ සම්භෝගයෙන් ඇරඹෙන බවද.. හිමින් අපහසුවෙන් සුලඟ සමග පොරබදිමින් දැල්වෙන්නට තනන දැල්ල ලෙසම මනුස්ස ප්‍රාණීන් සමාජය තුල තම පැවැත්ම ස්ථාවර කරගන්නට උත්සාහ දරන අන්දමද ඇයට පැහැදිලිය.. පහනේ තෙල් අවසන්වන තෙක් සිල නොනිමෙනවා සේම ගෙනා ආයුෂ ඇතිතාක් ජීවිතය පවතින බවද නමුත් සමහර විටෙක තෙල් තියෙද්දීම හමන සැඩ සුලගින් පහන නිවී යන්නා සේම මනුස්ස ජීවිත විනාස වී යන බවද ඇයට වැටහෙන්නීය.. පහන් සිළ එක ලෙස එකම දීප්තියෙන් නොදැල්වෙන්නා සේම ජීවිතයද එකම පීල්ලක ඒකාකාරීව ගලා නොයන බව ... ඇතුලු මෙකී නොකී පහන් දැල්ලේ සියලූම ක්ෂුද්‍ර චලන ජීවිතය හා සම්බන්ධ කරන්නට ඇයට හැකිය.
 
මෙසේ ජීවිතය විග්‍රහ කරන අතරතුර තමන්ගේ දුක් දෝමනස් මතක සිතින් පලායන්නේදැයි ඇය විමසිලිමත් උනාය.. නමුදු හදවත උඩින් තැබූ ගල තවමත් එසේමය.. තවමත් ඇය හුස්ම ගන්නේ මුලු හිමාලය පර්වතයම තම ලය මත ඇතුවාක් මෙන් බරකින් බව ඇයට වැටහින.. තමන්ට වැරදුනේ කොතනදැයි.. විශ්ලේෂනයේ තමන්ගේ වරද කොතනදැයි නැවත පහන් දැල්ල දෙස බලාගෙන ඇය සිතුවාය.. 

පහන් දැල්ල අපූරු රූප මවන බව එවිට ඇයට පෙනින.. විටෙක එය දිගු වෙමින්ද විටෙක කෙටි වෙමින්ද ඇසට නොපෙනෙන සුලගේ රිද්මයන් නෙතු අබියස මවන අයුරු ඇය උනන්දුවෙන් බලා සිටියාය. පහන් සිළ තුල තමන් ආදරය කල අයගේ රූප, තමන් වෛර කල අයගේ රූප තමන්ගේ කිසිදා ඉටු නොවූ හීන දස දහසක් මැවී බොඳ වී යනු ඇය බලා උන්නාය... 




ඛේමාවන්ගේ හා ඇයගේ වෙනස ඇය උගත්තාය.. පහන් සිල තුල ජීවිතය මිස අන් කිසිවක් ඛේමාවන් නොදකින්නට ඇත. සැලෙන ලෙලෙන පහන් සිල තුල අතීත ජීවිත මතක.. බිඳ වැටුනු හීන... දහසක් මුහුණු ඇය නොදකින්නට ඇත.. 

ඇය දකින කිසිවක් ඛේමාවන් නොදකින්නට ඇත ...

පහන් සිළ වෙතින් නෙත ඉවතට ගත් ඇයට.. ඇය නිවන සොයන අතරතුර හෝරා යන්ත්‍රයේ කටු නොසෑහෙන්න කැරකී ඇති බව පලමු වරට පසක් විය. ඇය නැවතුනද ලෝකය නැවතී නැති බවද, ඇය දැනටමත් දුවන ලෝකය අල්ලා ගැනීමට ප්‍රමාද බව ඇයට පසක් විය. පහන්වැට අතරින් ඉඟි බිඟි පෑ කොල්ලාද යන්නට ගොසින්ය...

ඇය පහන් වැට වෙතින්
ඉවතට
හැරුනාය ...

දීර්ඝ සුසුමකින් රාත්‍රී වාතයේ සිහිල් පින්න පෙනහලු තුලට ඇදගත් ඈ ආපසු ලෝකයේ දිවිල්ලට එකතු උනේ නිවන තව බොහෝ දුර බව වැටහුනු නිසාමය ...

එතෙක්..

ඇයටද ඛේමාවන්ට පෙනුනු දෙයම පමනක් පහන් සිළ තුල පෙනෙනෙන තෙක්...
ළය මත හොවා ගත් බරෙන්...
ඒ මතකයෙක්....
ඇය සෑම දිනයක්ම පහන් කල යුතු බව පමනක් ඇය සිතේ ලියැවින ...



Friday, September 28, 2012

< නොලැබීම (ඔබගේ හෝ මගේ) >

රතු රැලි
රිබන් පටි වලින්
ඔතාගෙන
දුරු කතරක ඉඳන්
මග වෙහෙස ගෙවාගෙන
දවස ගනන් අගේ කර කර
මෙන්න
ඔයා ගෙනැත්
සින්ඩරෙල්ලගේ 
වීදුරු සපත්තුව
ඇවිදින්න
බැරි
මට ....


Friday, September 21, 2012

ආවා ආවා .. මමත් එක්ක බුක්සේල් අංක දහය ආවා .. :)


ඔන්න මම ගියාලු පොත් සල්පිල් වන්දනාවේ .. අහපු දැකපු දේවල්.. හිත ගිය තැන්.. විකට රසාංග.. පඩි වදන්.. ගල් මුල් මල් ඔක්කොම එක්ක සම්පූර්ණ කතන්දරේ දානකන් ගිය අවුරුද්දේ වගේම පින්තූර ටික බල බල ඉරිසියාවෙන් ඉන්න ... :)

























Saturday, September 15, 2012

මම බවුවෙක්ව ගෙනාවෝ :)

අද සාහිත්‍ය කථාවක් ලියන්නේ නෑ ඔන්න.. සාහිත්‍ය මතක් වෙන්නේ නැතිතරමට මගේ හිත මැරිලා.එක අතකට ඒකත් හොඳයි. මැරුණු හිතකට කිසි දෙයක් දැනෙන්නෙත් නෑනේ.. හුස්ම වැටෙනවට ජීවත් වෙනවා.. රොබෝවෙක් වගේ .. :)අනික මම ලියන සාහිත්‍ය මගේ සමහර ෆ්‍රෙන්තන්ට වැටහෙන්නේ නෑ. පෝස්ටුවක් දාපු ගමන් කතාකරලා අහනවා මොන භ්‍රන්තද හලෝ අර ලියලා තියෙනේ කියලා .. හැම ෆ්‍රෙන්තම වැදගත් නිසා ඔන්න අද සරල රසාංගයක් ඉදිරිපත් කරන්න හිතුවා.
 
මට ගොඩක් කාලෙක ඉඳල සුරතල් බල්ලෙක්ව ඕනි වෙලා තිබුනලු ඉතිං. කවදාවත්ම මට බල්ලෙක් ඉඳල නෑ. යාලුවෝ ඇවිත් එයාලගේ බල්ලන්ගේ දඟ වැඩ චන්ඩි වැඩ කියද්දි මම කලේ කට උඩ බලාගෙන හූමිටි තිබ්බ එක විතරයි. බල්ලෙක් ඕන කියලා මම දන්න හැම විදියටම ගෘහමූලිකයන්ට කන්කෙඳිරි ගෑවට ඒ ඉල්ලීම ලැබුනෙම නෑ.. මෑණියැන්දෑ කිව්වේ එකම එක දෙයයි.. "ළමයිනුයි බල්ලොයි දෙකක් බෑ, එක්කො ළමයි එක්කො බල්ලෝ"ඉතිං අපිට ඇත්තටම තෝරාගැනීමක් තිබුනේ නෑ.. ළමයි වන මමයි නංගීයි කොහේ කියලා යන්නද.. බල්ලෙක්ව අරගෙන නොදුන්න නිසා පියාණෝ මට මාලු ටැංකියක් හදල දුන්න. ප්‍රොජෙක්ට් එක කොච්චර නැගල ගියාද කියනවා නම් අන්තිමේ ගෙදර ෆ්‍රිජ් එක උඩත් සාරි ගප්පි පුරෝපු මාලු ටැන්කියක් තියලයි මම නැවතුනේ.. ඔක්කොම ටැන්කි 6 ක් තිබුනා.. මාලුන්ගේ ආරෝග්‍යශාලා සහ ප්‍රජනන ටැංකිත් එක්ක ඔක්කොම 10ක් :)කොහොම නමුත් ස්විමිං පූල් වල හැදිය යුතු තරමේ තඩි තල්මස්සු ගේ ඇතුලේ ටැංකි වල හැදීමේ ආදීනව නිසා අපිට ඒ මාලුවන්ව වෙන වෙන අයට දෙන්න සිද්ද උනා .. :'(
ඉතිං ඔන්න මම ආයෙමත් තනි උනා.
 
හැම ඉල්ලීමක්ම නිශ්ප්‍රභා උනාම මම තීරණය කලා මගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කරන්න ;) ඉතිං සුපුරුදු පරිදි යටිපතුල ගාවට තොල එල්ලගත්තු මම අච්චාරු දාපු බිලිංගෙඩි මූණ හදාගෙන උදේ හවස පියාණන්දෑගේ පස්සෙන් යන්න පටන්ගත්තා මගේ සිංදුව කිය කිය .. "යාලුවෝ හැමෝටම බල්ලෝ ඉන්නවා මට විතරයි නැත්තේ .. මම මොනාද යාලුවන්ට කියන්නේ.. මම විතරයි පැත්තකට වෙලා ඉන්නේ.. මම පව් නේද.. අනිත් හැමෝටම බල්ලෙක් ඉන්නවා මට නෑ " ඔන්න ඉතිං අපේ පියානන්ගේ හදවත උණු උනා.. පියානන් අහන්න අකමැතිම දේ තමයි අනිත් හැමෝටම තියෙනවා මට නෑ කියන එක.. (මම මහා නරකට,හුරතල් කරල හැදුනු ළමයෙක්ලු ඉතිං) :D
 
ඔන්න ඉතිං දවසක් දා පියාණෝයි මායි ගියා අපේ මංගල බව්වව බලන්න. එය ඩොබමන් කෙනෙක් .. අර නැට්ට කපපු තඩි බව්වො ජාතිය. උන් ගැන ටූට්ටක් විතර දන්න නිසාම මම යන්න කලින් පි‍යාණන්ගෙන් ඇහුවා ඌ අපිව කාල දාන එකක් නෑ නේද කියලා.. බල්ලගේ අයිතිකාරය පියාණන්ට දීල තිබුනු ටොපිය එහෙම්පිටින්ම පියාණන් මටත් ගිල්ලෙව්වා.. අපෝ මූ හරීරීරී හොඳයි.. ඩොබමන් උනාට ඩොබමන්ද කියලා කියන්නවත් බෑ..ඒ තරම් සීලවන්තයි.. ගුනෝපේතයි..අහිංසකයි ..මලක් වගෙයි.. බ්ලා බ්ලා බ්ලා .. එතකොටත් ඒ බව්වට වයස අවුරුද්දයි.. ඒ කියන්නේ බලු පැටියෙක් නෙමෙයි කොහොමටවත්.
 
කොහොම හරි බවුවාගේ ගෙදරට ගියා කියමුකො.. අපි ගෙට ඇතුලු උනා විතරයි නිකන් හරියට බල්ලෝ කෝටියක් ඉන්න කාමරේකට ආවා වගේ මහා හයියෙන් බුරන සද්දයක් ඇහුනා. බව්වගේ අයිතිකාර අංකල් කොහේදෝ ඉඳන් කෑගහනවා ඇහුනා එන්න එන්න කියලා.. අපිත් ඉතිං සද්දේ එන පැත්තට ගියා. මෙන්න ඉන්නවා වෙසමුණි රජ්ජුරුවෝ වගේ තඩි බල්ලෙක් අලි බඳින චේන් එකකින් ගැටගහලා. හරියට කලු පාට හරක් පැටියෙක් වගේ.. කෘන්තක රදනක නෙමේ දත් ජාති අඩුමගානේ විසිපහක්වත් තිබුනා උගේ කටේ.. පියාණන්දැටත් දාඩිය බින්දු එකක් දෙකක් ආව නලලට.. මම නම් ආයෙ මුකුත් නෑ.. ආපසු හැරෙන්..දකුණු පය පෙරට .. සාර්ථක ලෙස පස්ස නොබලා ආයේ වාහනේටම දුවල ඉවරයි. පියාණෝත් හිමි හිමීට වාහනේ ලගට ආව.. අර අංකල් ඇවිත් කියනවා "අනේ සර් ඔය මේ සර්ලව පුරුදු නැති නිසා, අදුරගත්තම හරියයි.. ඕක පොඩි පැටියා තාම" කියලා.. පියාණෝ ටිකක් කල්පනා කරල කිව්ව "පොඩි පැටියා කාලේ ඔහොම නම් ලොකු අලියා උනාම බල්ල බලාගන්න දසමහ යෝධයෝ ඕනි වෙයි "කියලා ... ඔන්න ඔහොමයි පළවෙනි බලු ට්‍රිප් එක ඉවර උනේ
 
දෙවෙනි බලු ට්‍රිප් එක ගියේ ගිය ඉරිදා. මේ ගමන බලන්න ගියේ ජර්මන් ෂෙපර්ඩ් එකෙක්ව.. අනේ ඌ නම් අපරාදේ කියන්න බෑ දැක්ක ගමන් අපි ලගට ඇවිත් වල්ගේ වනලා අපිත් එක්ක යාලු උනා. ගියේ බවුවාව බලන්න විතරයි උනාට මම ඒ ගෙදර බිම ඉඳගෙන බල්ලා බදාගෙන පොළවේ හැපෙන්න ගත්තා මට ඌව ඒ වෙලාවෙම ගෙදර ගෙනියන්න ඕනි කියලා. ඉතිං මෑණියන්ගේ බලවත් අකමැත්ත සහ බල්ලා කෙරෙහි දැක්වූ ප්‍රතිරෝධය පියාණන්ගේ නිශේධ බලයෙන් යටපත් කරගත්තු මම බව්වාව ගෙදර කැන්දගෙන එන්න සූදානම් උනා. ඒ ගෙදර හිටි මිනිස්සුන්ට පපුවේ අමරුව හැදුනා අපි අපේ වාහනේ බව්වාව දාගෙන එන්න ලෑස්ති වෙනකොට. බව්වෙක් කෙසේ වෙතත් ගොඩක් මිනිස්සුවත් එහෙම වාහනේක ගිහින් නෑ මම හිතන්නේ.. ඒක ටූට්ටක් විතර බව්වෙක්ව ප්‍රවාහනය කරන්න තරම් හොඳ වැඩි :) ඒවා මට අදාල නෑ ඉතිං. මට ඕන නම් මම ලිමොසින් එකක හරි බව්වාව ගේනවා ..
 
ඔන්න ඔහොමයි ක්ලියෝ අපි ලගට ආවේ.. පාරේ ගොම ටිකක් දැක්කත් ඒක කවුරුහරි අයින් කරලා දානකන් ගිරිය පුප්පගෙන ලෝක අවසානේ වගේ විලාප තියපු මම දැන් බව්වගේ මළපහ ඔක්කෝම අස් කරනව .. පූසෙක් වත්තේ හතරමායිමෙන් දිව්වත් ගේ පුරාම air freshner ගහන මම දැන් බව්වව ගේ පුරාම එක්කගෙන යනවා. කොයි වෙලෙත් සබන් සුවදට හිටි මම දැන් බලු ගඳයි .. ( මෑණියැන්දෑ තමයි ගඳයි කියන්නේ, මට නම් බලු සුවඳයී ) උදෙ 5ට නැගිටිනවා.. සාලයෝ කටු අල්ල පුරාම ඇනෙද්දිත් බව්වගේ බත් එක අනනවා ..කවනවා.. කිනිතුල්ලො හොයනවා.. පිනුම් දෙකයි බල්ටි කෝටියයි .. :)
 
ක්ලියෝ හරීම මෝඩයි..මෑණියන් නම් කියන්නේ ඌ මගෙත් එක්ක ආවෙත් ඒ මෝඩකම නිසයි කියලා.. මෝඩයෝ මෝඩයොලු එකට එකතු වෙන්නේ.. කොහොම හරි.. ක්ලියෝට දුර ප්‍රමාන තේරුම් ගන්න බැරි ලෙඩක් තියෙනවා. එයාට අපේ පුංචි ඉඩම පේන්නේ සුගතදාස ස්ටේඩියම් එක වගේද කොහෙද.. කතා කලාම දුවන්න පටන් ගන්නේ පුදුම වේගෙකින්. ඉතිං ඒ එන වේගෙට බ්‍රේක් ගහගන්න බැරි නිසා දඩබඩෝරියන් ගාලා තාප්පේ හැපෙනවා.. ඊලගට එහෙමම වැටිලා ඉන්නවා තෝන්තු වෙලා.. ආයෙමත් පැයට කිලෝමීටර් පන්සීයක විතර වේගෙන් අනිත් පැත්තට දුවනවා.. ඒ පැත්තේ තාප්පේ හැපිලා නවතිනවා.අනේ මන්දා කවදා හැදෙයිද කියලා :/ කෑම බීම අතින් නම් කිසිම කරදරයක් නෑ. කෑම කාල පිගානත් ආයෙ හෝදන්න ඕනි නැතිගානට ලෙවකාලයි නවතින්නේ.
 
බවුවා මගේ කම්මැලි ජීවිතේට වෙනසක් ගෙනාවා. උදේ පාන්දරට බලු කෙල ෂැම්පූ වලින් නෑව්වත්... කකුල් වල තියෙන මඩ ඔක්කොම සාරිය පුරාම ඉලුවත් හිතට කිසිම තරහක් නෝන්නේ ඒ ඌ ආදරය පෙන්නන හැටි කියලා මට තේරෙන නිසයි. මගේ ජීවිතේ පළවෙනි වතාවට, පවුලේ කෙනෙක් ඇරුනම මටම කියලා සින්නක්කර අයිතිය කියන්න පුලුවන් කෙනෙක් ඔය මට ආදරේ කලාමයි.. බවුවා මගේ.. ඌව හම්බෙන්න මට ඇපොයින්ට්මන්ට් ගන්න ඕන නෑ.. ඌ මගෙත් එක්ක ප්‍රසිද්දියේ පෙනී ඉන්න බය නෑ.. ඌ තාම මාව හපාකෑවේ නෑ.. මට පේන්න වෙන වෙන අය එක්ක කොමළ කලේ නෑ.. මට බුරාගෙන පැන්නේ නෑ.. ෆ්ලෝ පොලිශර් එකක් වගේ වලිගේ වන වන කෙළ තප්ප තප්ප ඇගපුරාම පෙරන එක විතරමයි කරන්නේ.. ඒ ඔක්කොම ආදරේ මම ඌට කන්න දෙන එකම එක බත්පත වෙනුවෙන් විතරමයි ...
 
බවුවා මට මුණගැහුනු ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ අතින් ඉහලයි ... :)
 
මෙන්න ක්ලියෝ .. <3


 



දැන් එයාට හොඳ වාසස්ථානයක් තියෙනවා.. මෙ එදා ගෙනා ගමන් නිසයි පත්තර කොළ උඩ ඉන්නේ .. අපි බවුවාව බලන්න මිස ගේන්න නෙමෙයිනේ ගියේ .. ඒකයි :)


Thursday, August 23, 2012

~ සතීගේ කතාව .. ~

සැප්තැම්බර්.. 
හේතු කීපයක් නිසා මගේ ජීවිතේ වැදගත්ම මාසේ .. 
ඒ හේතු අතරින් එක හේතුවක් වෙන පොත් මංගල්ලෙ ගැනත් හිතලා අද ලියන්න හිතුවේ පොතක් ගැන .. 

පොතේ නම සතීගේ කතාව .. ලියුම්කරු කරුණාසේන ජයලත් මහතා ...




ඇත්තටම මම ලාංකේය නවකතාකරුවන්ගේ පොත් කියවලා තියෙන්නේ හරීම සුලු ප්‍රමානයි .. සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය,මාර්ටින් වික්‍රමසිංහ සූරින් සහ කරුණාසේන ජයලත් මහත්මයා ඇරුනම ලාංකේය නවකථා කරුවන් ගැන මගේ දැනුම අල්පයි.. ආඩම්බරයක් දැනෙන්නේ නෑ ඒ ගැන.. හීනමානයක් මිස... ඒත් මගේ රසාස්වාදනයට 80%ක්ම පොහොර දාන්න මේ දක්වා සමත්වෙලා තියෙන්නේ පරිවර්තන සාහිත්‍ය විතරයි.. කොහොමින් කොහොම උනත් කරුනාසේන ජයලත් මහත්මයාගේ සතීගේ කතාව මගේ ඇස් කඳුලින් පුරවන්න සමත් උනු පොතක්.. පොතක අකුරු ටිකකට පුලුවන් නම් ඒ අකුරු වලින් පාඨකයාගේ ඇස් ඉස්සරහ රූප දාමයක් මවන්න.. අකුරුවලට පුලුවන් නම් කතා කරන්න .. එහෙම කෘතියක් ඇත්තටම ප්‍රශංසනීයයි ..

සතීගේ කතාව .. සරස්වතී මානවඩු නම් වූ දුප්පත් ගැමි තරුණිය වටා ගෙතුනු කතාවක්... ඇගේ ජීවිතය.. ජීවිතයේ එක් එක් අවධි ... 

සරස්වතී මානවඩු හෙවත් සතී.. 

ගමේ හැදී වැඩුනු.. චීත්ත ගවුම අඳින ගැමි කෙල්ලක්.. එතනින් විශ්වවිද්‍යාලයට යන ගමන .. විශ්වවිද්‍යාල ජීවිතය... ඇගේ ජීවිතයට එන අනේකවිධ වෙනස්වීම් .. ඇස් ඉදිරිපිට එක පිට එක මවන්නට ලියුම්කරු සමත්වෙන අපූරුව .... ඉහල පෙලේ නවාතැන් පොළවල් වල නවාතැන් ගන්නට තරම් වත්කමක් නැති ඇගේ නවාතැන වන බෝගහවත්ත ... එයින් ඇය ඉගෙන ගන්නා ජීවිතය .. ඇය දකින ලෝකය .. යට ගවුම පිටින් මහ පාරේ දත මදින තරුණියන්.. පයිප්පය ලග තමන්ගේ වතුර වාරයට පොරබදින කාන්තාවන්.. වැටවල් අයිනේ සිට අමු සුද්ද සිංහලෙන් ජාතක කතා දිග අරින දෙනෝදාහකගේ; පිටට පෙනෙන දැඩි රලු පරලු අසීලාචාර හැසිරීම් ජීවන රටා තුලින් ..ඔවුන් තුල වෙසෙන, ජීවත් වෙන්න පොරබදින, ආත්ම සතීගේ දෙනෙත තුලින් දකින්නට ලියුම්කරු ඉඩ හසර පාදයි... ඒ සියලූම කුහුඹු ජීවිත සමාජ ප්‍රවාහයට නතුව හිස ජලයට උඩින් තබාගෙන තව එක් දිනක් ගතකරන්න දරන වෑයම.. බෝගහවත්තේ කුණුකානු අතරින් ගලා යන ජීවිත සටන... සතීගේ කතාවේ අඩිතාලමයි ... මෙය හුදෙක් ප්‍රේම කතාවක් නොවන්නේ එනයිනි ..

මේ සියලු හැලහැප්පිම් මැද සරස්වතී මානවඩුගේ ජීවිතයට එන නිශ්ශංක ... වැසි දවසක එක සීරුවට නටුවෙන් ගිලිහි පොළවට වැටෙන රොබරෝසියා මල් දෙස බලාගෙන දැහැනක සිටින ඔහු දකින ඇගේ සිතෙහි; ඒ දිග ඇසට.. නොවක් නහයට .. හැඟීමක් නැති දෙතොලට බැඳෙන ආදරය ... 

සතීගේ කතාවේ ප්‍රේමය හරියටම විනාවක ප්‍රධාන තතට යටින් නාද වෙන අනු තතක් වගේමයි .. සුපුරුදු ප්‍රේම කතා සුපුරුදු ප්‍රේම ජවනිකා කිසිවක් සතීගේ කතාවේ සොයායාගන්නට නැහැ

සතී සාමාන්‍ය කෙල්ලක්.. ඇයට ඕන පෙම්වතා එක්ක හුරතල් වෙන්න.. පෑනෙන් අතේ කුරුටුගාන.. අත දිගෙ ඇඟිලි ඇදගෙන ඇදගෙන යන්න ... අත්වැල් පටලගෙන පාර දිගේ යන්න.. ඇගේ ගැහැණු සිතට..ගැහැණු ගතට ඕන සාම්ප්‍රදායික ප්‍රේමයක්.. 

නමුත් නලුවා ඊට විරුද්ධයි ..

"කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳෙන්න මට පුලුවන්කමක් නෑ නංගී..."

ඒ නලුවගේ දෙබස ...

නමුත් ඔහු ඇය සමග ඉන්නවා..ඔහේ ඉඳගෙන..පැය ගනන් ඔහේ ඉඳගෙන .. කතාවක් බහක් නැතුව.. ඇගේ ආත්මය.. ඇගේ සිතේ ඇති දේ කියවන්න වෑයම් කරමින්.. ඇගේ ආත්මය විනිවිද දකින්නට උත්සාහ කරමින් ඔහු පැය ගනන් ඇයට මනෝ ලෝකේ සැරිසරන්නට ඉඩ දීල ඇය ලඟින් ඉන්නවා .. ඔහුගේ කොන්දේසි වලට ඇය යටත්වන තාක් කල් ඔහු ඉන්නවා.. ඇයට ඔහු හා ප්‍රේමයෙන් බැඳෙන්න තහනම්.. එක මොහොතක් ඔහු සමග ජීවත් වෙන්න අවසර ඇතිමුත් එතනින් එහාට ඔහුගේ හිතත් ගතත් ඇයට තහනම්.. සරසවියේ එකම බංකුවක අතේ දුරින් වාඩි වී ඉඳීමටත්.. පුස්තකාලයේ එක ලඟින් ඉඳන් පාඩම් කිරීමත් ඇරුනුකොට වෙනත් කිසිම ආකාරයක ලංවීමක් තහනම් .. ඒ ඔහුගේ නීති ... නමුත් ඔහුගේ නීති පැහැදිලීයි.. ඔහුට ඇය හා ආලයෙන් බැදෙන්න බෑ.. ඇයට ඔහු හා ආලයෙන් බැඳෙන්නත් අවසර නෑ.ඒ ඇයි කියන්න සතී දන්නෙත් නෑ ... නමුත් ඇය හීන මවනවා ..කවද හරි කවදම හරි නිස්සංක ඇයට ආදරෙයි කියයි කියලා.. ඇයට ඔහුගේ ආදරය පේනව.. ඇස් දෙකෙන් ...

නිශා .. සතී .... සෑම හමුවීමක්ම අවසාන වෙන්නේ නිස්සංකගේ එකම එක වාඛ්‍යයෙන්..

"සතී.... එහෙනම් අදට ඇති නේද.."

ඇති නෑ.. 
අදට නෙමේ කවදාටවත් ඇති නෑ.. 
අනේ තව ටිකක්..
තව එක තත්පරයක් ඔහොම මගේ ලඟින් වාඩි වෙලා ඉන්න... 
අතින්වත් අල්ලන්න ඉඩ නොදුන්නත් ඔහොම වාඩි වෙලා ඉන්න ..

සතීගේ උත්තරය පපුව ඇතුලේ ඉදන් බෙරිහන් දෙනවා.. ඒත් ඇයට ඒ උත්තරය වචන කරන්න අවසර නෑ. ඇය පොරොන්දු වෙලා ඉවරයි නිශ්ශංකගේ ක්‍රීඩාවේ කොටසක් වෙන්න..ඇයට තරග නීති උල්ලංඝනය කරන්න අවසර නෑ..ඉතිං ඈ නැඟිටිනව.. අහඹුවකින් වගේ නිශ්ශංකගේ සුරතේ ඇඟිලි පටලවාගන්න වෑයම් කරනවා.. නමුත් නිශ්ශංක පියවරක් ඉදිරියෙන්.. සතීගේ ඊලග උත්සාහය දන්නා ඔහු ඇගිලි මිටි කරගෙන.. ඒ සුරතේ වෙලෙන්නට ඉඩක් නෑ... !!

කථාව ගලාගෙන යනවා.. අන්තිමට ..පොතේ අන්තිමට නිශ්ශංක ඔහු එතෙක් හිරකරගෙන හිටි රහසට පණ දෙනවා.. ඔහු කථා කරනවා..ඔහුගේ පුරුදු වචන දෙකතුනට අමතරව තව ගොඩක් දේ ඔහු කියනවා ...එක හුදකලා හැන්දෑවක.. අවුරුද්දකට පසුව .. පළමු වතවට සරසවියේ බංකුව මත නැතිව වෙනත් තැනක ඔවුන් හමුවූ මොහොතේ.. බැසයන හිරුට මූණ හරෝගෙන ... නිශ්ශංක ඔහුගේ කතාව කියනවා ..

ඒ ටික මම ලියුම්කරුගේ වචනයෙන්ම කියන්නම් ...




"සතී ඔයා මට ආදරෙයි .."

ඒ වනාහී ප්‍රශ්නයක්වත් සැක දුරු කිරීමේ කියමනක්වත් නොවේ.. කෙළින්ම නිගමනයකි .. ඇයගේ ගත කිළිපොලා ගියේය. කිසිකාරනයක් නැතිව ඇයගේ ඇස් කඳුලින් තෙත් විය.

"ආදරේ නිශා.. එක්තරා විදියකට! ඔය හිතන .. "

"ගෑණියෙක් පිරිමියෙකුට ආදරය කරන විදියට? තරුණයෙක් තරුණියකට ආදරය කරන විදියට?"
...........

"එහෙම කියන්නෙපා"
"කොච්චර හොඳද එහෙම කියන්න බැරිනම් "
...........

"කෙනෙක්ට බැරිද කොන්දේසි විරහිත ආදරයක් කරන්න?"

"හොඳයි ඔයා හරි වෙන ගෑනුලමයෙක් හරි එහෙම කොන්දේසි ඉදිරිපත් නොකර, වෙන වචන වලින් කියනවා නම් විවාහය,ගෙදරක්,දරුවෝ ගැන නොතකා තරුණයෙකුට ආදරය කරනවා.. එයා ඒ කියන්නේ ඒ ගෑණුලමයා මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ?"

"මම හරියට දන්නේ නෑ නිශා, ආදරය ගැන අත්දැකීම මට නෑ.නමුත් මට හිතෙනවා තමන්ගේ ආදරයෙන් තවත් කෙනෙකුට මොකක් හරි සහනයක් වෙනවා නම් ඒකම මදිද කියලා....... "

"ඔයාට පුලුවන්ද එල්ලුම් ගහකට නියම වෙලා ඉන්න කෙනෙක්ට ආදරය කරන්න සතී?" ඔහු මුහුණ ඇයගෙන් වසන්වෙන ලෙස ඉවතට හරවාගෙන ඇසීය..
...........................................................................................................................................................

ඒ ප්‍රශ්නයට සතී දෙන පිළිතුර සෑහෙන්න දිගයි.. ඒ නිසා මම ඒක සංශිප්ත කරන්නම් මෙන්න මෙහෙම.. 
සතී කියනවා මරනයට කැප වෙලා ඉන්න කෙනා දන්නව නම් තමන්ගේ ජීවිතේ අවසාන කලය ගත වෙන්නේ කියලා.. ඇයත් දන්නවා නම් ඔහු ඉක්මනින් මිය යනවා කියලා.. ඔහුට අවශ්‍ය ආදරය දෙන්න ඇයට බැරිකමක් නෑ කියලා. ඔහු මියගියායින් පස්සෙ.. ඒ ටික කාලේ ඔහුට දුන්නු ආදරය හදවතට තුරුලු කරගෙන මුලු ලෝකෙටම ආදරය බෙදන්න.. ඒ වගේ මැරෙන්න නියම උනු දාහක් දෙනාට දවසකට හරි ආදරයක් දෙන්න.. අර එක පුද්ගලයට දුන්නු සීමාරහිත ආදරයෙන් තමන්ට පුලුවන් වේවි කියලා සතී කියනවා ...

නිස්සංක බලාගෙන ඉන්නව සතී දිහා.. රකුසු බැල්මකින්.. ඒත් ඒ රකුසු රතුපාට ඇස් දෙක යටින් නහර පුපුරවාගෙන එළියට එන්න දගලන ආදරය සතීට පේනවා ..

...............................................................................................................................................................

 " මමත් අර පුද්ගලයා වගේ කෙනෙක් සතී, මමත් මරණයට කැප උනු කෙනෙක්"
"අපි සේරම නිශා .. අපි සේරම දවසක ... "

නිස්සංක වහාම ගෙල හරවා සරස්වතී දෙස අඩ බැල්මෙන් බැලුවේය. මුලින්ම දවසේ ඔහුගේ දෙනෙතින් තමා වෙන එල්ල උනු අනතුරු ඇඟවීම ඈ අලුතින් හඳුනා ගත්තාය.එහෙත් මෙවර ඈ තැති ගත්තේ නැත.

"ඔයා අහලා තියෙනවද ලියුකේමියා??" යි තොලමතුල නිස්සංක ඇගෙන් පිළිතුරක් පමා වන කල කෝප වූවකු ලෙසින් "සතී ඔයා අහලා තියෙනවද ලියුකේමියා?" යි කෑගැසුවේය...

ලියුකේමියා යනු ගමක්ද නගරයක්ද දුර රටක්ද නැතහොත් රෝගයක්දැයි නිශ්චය කරගන්නට ඇයට උවමනා වූයේ නැත. ඔහුගේ අඩ බැල්මෙහි සියල්ල ලියවී තිබිනි.

"වැඩිම උනොත් අවුරුද්දයි සතී. අවුරුද්දකට වැඩිය මට .." යි නතරකල ඔහු යලි මුහුද දෙසට හැරුනේය.

සමස්ත නිම්වලල්ල දිගටම- එකම ගිනි වැටක් ඇවිළීගෙන යන බවක් සතී ඉදිරියේ මැවෙන්නට විය. එහි රශ්නයට ඇයගේ හදවත අසුවිය. සප්තමහා සාගරය නිමේෂයකින් මුලුමනින්ම සිඳී ගොස් මත්ස්‍යයන්ද තල්මසුන් සහ බෙල්ලන්ද ඇතුලු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සකලවිධ ප්‍රාණීන් ආස්වාස ප්‍රශ්වාසය සඳහා අවසන්- වියරු ප්‍රයත්නයක යෙදෙන බව ඕ දුටුවාය.

.....

හැම දෙයටම ගතවූයේ මොහොතකි. මොහොතකින් හැමදෙයක්ම මැකී ගොස් ආ නැවත යථා තත්වයට පත් වූවාය. වෙන්සකට වූයේ එකම කරුණකි. ගින්නෙන් දැවී ගියේ ඇයගේ හදවත නොව එහි නිදන්ගතව තිබුනු සියලු ආකරයේ බැඳීම් සහ ආත්මාර්ථකාමි තෘෂ්නාව පමනකි. ඇයගේ අධ්‍යාත්මය අතිශය පවිත්‍ර සහ නිරවුල් විය...

වුන් තැනින් ඉවත් උනු සරස්වතී ගලින් ගලට පිය නගා ඔහු වෙත ගොස්, පිටුපසින් ඔහුගේ දෙවුරමත දෑත් තබා පිටට කම්මුල ඔබා ගත්තාය ..

"නිශා.. !"

නිස්සංක කතා නැතිව සෙල් රුවක් සේ එහෙමම සිටියේය.

හිමින් හිමින් සෙනෙහසින් දෑත් පහලත අද්දගෙනවිත් බඳ වටා ඉදිරියට යවා ඔහු වැලඳගත් ඈ,

"නිශා අර කිව්ව විදියට මම ඔයාට ආදරෙයි නිශා. කොන්දේසි විරහිතව සදහටම ආදරෙයි!" යනුවෙන් තෙපළාය ...

සරස්වතී මානවඩු ගේ ඒ අව්‍යාජවූ ද ළයාන්විත වූද කටහඩ ඉමක් කොනක නැති ගමනක යෙදී සිටි සැඳෑ සුලඟ සමඟ මුසු විය ............

.........................................................................................................................

ඒ සතීගේ කතාවය ...
ඒ ඇගේ මෙන්ම මගේද කතාවය... !!





Tuesday, July 31, 2012

රහස් පෙම්වතා (Bel Ami)

මාසෙකටත් වඩා වැඩි කාලයක් මම මුකුත්ම ලියලා නෑ.. ඇත්තටම ලියන්න දෙයක් කල්පනාවට ආවේ නෑ. බාදුරා අසපුව ආරම්භ උනේ මගේ හිතේ කැකෑරෙන දාහකුත් එකක් සිතිවිලි පිට කරගන්න ..  අහන්න අකමැති උනු කියන්න කෙනෙක් නැති උනු සිතිවිලි.. මගේ වේදනාව අකුරු කලේ මේ අසපුව ඇතුලේ.කොහොම හරි .. ඒ අතීතය දැන් ඉවරයි .. මට පේන ලෝකය ගැන මම ලියනවා. බාදුරා අසපුව කියන්නේ ලෝකයට කියවන්න ඉඩදීපු මගේ ජීවිතය... මේ සාහිත්‍ය නෙමෙයි ... ලොකු ලොකු පන්ඩිත වාක්‍ය නෙමෙයි.. මේ මගේ ජීවිතය.. මට හිතෙන හැටි... :)

අද ලියන්නේ කාලෙකට පස්සේ මගේ හිත සසල කරපු කලා නිර්මාණයක් ගැන. සතපහක රසාස්වාදනයක් නැති වෙයි මේ පෝස්ට් එකේ.. මට දැන් ලියන හැටි මතක නෑ ඇත්තටම :(

චිත්‍රපටිය BeL AmI .. Bel Ami කියන වචනයේ තේරුම හරියටම සිංහලට පරිවර්තනය කරන්න මට නොතේරෙන නිසා අන්තර්ජාලයෙන් ගත්තු මේ තේරුම ගෙඩි පිටින් ඉදිරිපත් කරන්න හිතුවා.

"It's a kind of old fashioned term for 'lover' - in particular, the sometimes secret lover of a lady who might have a husband or fiance and her 'bel ami' might be termed a little something on the side. It usually refers, at least in literature anyway, to a younger stud taking care of the sentimental and fleshly needs of an older and socially superior woman. Kind of like, in modern terms, the society lady having a Thingie with the pool guy"




අන්ත දුප්පත් ජීවිතයක් ගත කරන කොල්ලෙක් ඒ ජීවිතයෙන් මිදෙන්න ඉහල පන්තියේ කාන්තාවන්ගේ ආදරය ප්‍රයෝජයනට ගන්න විදිය පුදුමාකර විදියට කලා මාධ්‍යකට නගපු කතාවක්.

ඔහු ... 
ජීවිතයක් නැති, එදා වේල වෙනුවෙන් අන්තිම මාංශය තෙක්.. අන්තිම ඇටකටුවත් ගෙවෙනතෙක් දහඩිය වැගිරූ ජීවිතයක්.. මුදු තෙපුල්, වයින් මතින් ඉතිරෙන සාද සිහිනයෙන් දකිමින් වතුර උගුරකට මෙහෙ කල ජීවිතයක්. ඉහල සමාජයට.. රෝස පෙත්තෙන් ඉපදුනු ජීවිතයකට අසීමිතව පෙම් බැඳි, එවන් ජීවිත ගෙවන්නවුන්ට වෛර කල ජීවිතයක්..

ඔහු ඒ ලෝකෙට තමන්ගේ මාර්ගය සොයා ගන්නේ අපූරු ආකාරයකට.. 
ඔහුගේ මාර්ගය ආදරය... ශාරීරික ආදරය .. රාගය ...
ඇත්ත ආදරය නොව මවා පාන ආදරය ... 
එහෙමම කියන්නත් බෑ.. 
මෙහෙම කියමු.. 
ආදරයක්දැයි ඔහුම නොදන්න ඔහුටම නොහැගෙන මානව බැඳීමක් .. 
ඒ මාර්ගයේ යන්නට ඔහුට උදව් වෙන ජීවිත හතරක්... 
ඉහල සමාජයේ ජීවත් වෙන ආදරයට සහ ලිංගිකත්වයට පෙරේතකමින් ජීවත් වෙන ආත්ම හතරක්.
එකිනෙකට වෙනස් භාවයන්ගෙන් ඔහුගේ ගමනට ඉණිමං තනන මේ සිව් ජීව්ත අතර දෝලනය වෙන ... ඒ ඉණිමං හරහා අහසට ගොඩවෙන්නට උත්සාහ කරන සහ අවසානයේ ඒ උත්සාහය සාර්ථක කරගන්නා ඔහු ... ආදරය කල යුතුද වෛරකලයුතුදැයි නොතේරෙන තරමට සංකීර්ණ චරිතයක් ... ඔහුගේ ගමන පැහැදිලියි, ඔහුගේ ක්‍රීඩාව පැහැදිලියි.. ඔහුගේ ගමනාන්තය පැහැදිලියි ... අපහැදිලි එකම දෙය ඔහුගේ ක්‍රීඩා විලාසය විතරමයි ... 
"එය සාධාරණීකරනය කිරීමටවත් අසාධාරණයැයි කීමටවත් ඔබ කව්ද ... ??"
ඒ ඔහුගේ ප්‍රශ්නය ...

මා අත්විඳ ඇති දෙයින් බාගයක් ඔබ අත්විඳ  නැත.
මම ගෙවූ ජීවිතය ඔබ ගෙවා නැත...
"එසේනම් මගේ ගමන ගැන යමක් කීමට ඔබ කව්ද .. .?"
මේ ඔහුගේ ප්‍රශ්නය ...

ඔහුට යාවී ඇදෙන ජීවිත හතර අතර ඔහුට ඇත්තටම ආදරය කල ජීවිතය ... 
ඇයටත් තියෙනවා අහන්න ප්‍රශ්නයක් ...
 " Its not enough to be loved, is it ? No; You Must be a King " 
අවශ්‍යවන්නේ ආදරයම පමණක් නොවේද ?? 

එදා ඉදන් අද වෙනකන් මමත් අහන ප්‍රශ්නය... 
අවශ්‍යවන්නේ ආදරයම විතරක් නෙමේද... 
ඒ ආදරයත් එක්ක බැඳුනු කැප කිරීම් සහ අනිකුත් ශාරීරික ප්‍රධානයන් පමණක්ම නෙමේද ... 
මගේ ආදරයෙන් ඔබට ජීවත් වෙන්නට බැරිද ?? 
ඔබට රජ වීමට අවශ්‍ය ඇයි ... ??

රහස් පෙම්වතා ඒ එකම ප්‍රශ්නෙට තනි වාක්‍යයෙන් උත්තර දෙනවා...
ඔහුගේ කටහඩේ වෙව්ලීමක් නෑ.. 
තිගැස්මක් නෑ.. 
සැකයක සේයාවක්වත් නෑ.. 
ඔහුගේ වචන ගැන ඔහු මහා ආත්ම විශ්වාසයකින් යුතුව ඔහු මෙහෙම කියනවා
" No, Its not enough to be loved; Even by you "

ඔබ නොකී කතාව .. 
ඔබ වචන වලින් නොකී කතාව .. 
නමුත් ඔබ මා හැර යන්නට හේතුව රහස් පෙම්වතා වචන වලට හරවනවා.. 
හරීම අපූරුවට ... 
ආදරය විතරක් ප්‍රමානවත් නෑ ... 
කවදාවත් කවමදාවත් ආදරය විතරක්.. මනසට කයට දෙන ආදරය විතරක් ප්‍රමානවත් නෑ ... !!

හැබැයි තවත් අඩු උනේ මොනවාදැයි මට වැටහෙන්නෙත් නෑ.. 
අද වෙනකනුත් ... !!
ඒ කොහොම උනත් රහස් පෙම්වතා ජයග්‍රාහකයෙක් ..
හැම බිඳුනු හදවතක්ම උඩින් ඔහු ඔහුගේ ගමන යනවා ..
ඔහු ඔහුගේ ඉලක්කයට යනවා ..
බිඳුනු හදවත් වල අයිතිකරුවන්.. ඒ කැබලි මතිනුත් ඔහුටම ආදරය කරන බව ඔහු දන්නවා ...
ඔහු හිනා වෙනවා...
හිනාව අතරින්ම හිරු රැසින් දිලෙන අලුත් දවසකට දෙනෙත් අරිනවා ..
ඔහු දිනනවා..
ඔහුගේ ක්‍රීඩාව ..
ඔහුගේ ක්‍රමයට ... !!
වැරැද්දක් කියන්න කාටවත් ඉඩ නොතබාම..
ඔහුගේ ක්‍රීඩාවේ නීති පැහැදිලියි...
ඔහුගේ ක්‍රීඩාවට අකමැති, නීති පිලි නොගන්නා අයට ක්‍රීඩාවෙන් අයින් වෙන්න පුලුවන්..
ඕනම මොහොතක ....
නමුත් ඔහු දන්නවා ක්‍රීඩකයන් ක්‍රීඩාවතම ජිවීතය කැපකරලා හමාරබව .. !!




Saturday, June 30, 2012

වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි .. !!

ජීවිතය නිමාකරගැනීමේ මොහොත දැන් එළඹ ඇති බව වෙරෝනිකා 1997 නොවැම්බර් 11 වෙනිදා තීරණය කළාය. තමන් විසූ කන්‍යාරාමයේ කුලී කාමරය සැලකිල්ලෙන් අස්පස් කර ඈ තාප යන්ත්‍රය නිවා දමා දත කට මැදගෙන ඇඳේ ඇලවුනාය .... !!

දැන් ඈ සියදිවි නසාගන්නේ, තමා ශෝකී දුක්බර ගැහැණියක නිසා නොවේ. නිරන්තර වූ මනෝභංගත්වයෙන් පීඩාවිඳි ගැහැණියක වූ නිසාද නොවේ. තමා මුලුමනින්ම සාමාන්‍ය පුද්ගලයෙක්යැයි ඈ විශ්වාස කලාය.මැරෙන්නට ගත් තීරණය පසුපස තිබුනේ අතිශය සරල හේතු දෙකකි.

මුල් හේතුව,
ඇගේ ජීවිතයේ හැමදෙයක්ම ඒකාකාරීය

දෙවන හේතුව වඩාත් දාර්ශනිකය,
ලෝකයේ සිදුවන බොහොමයක් දේ සිදුවන්නේ වැරදියටය. මේවා නිවැරදි කිරීමට ඇයට මගක් නැත. ඒ කල්පනාව ඇය තුල ඇතිකලේ සම්පූර්ණ බෙලහීන හැඟීමකි.

(ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කල පාවුලෝ කොයියෝ ගේ Veronica Decides to Die කෘතියෙන්)





මාසයකටත් වඩා දිගු නිහැඩියාවකින් පසු බඳුරා අසපුවේ අකුරු කොටන්නට පැමිණි මුත් ලියන්නේ මොනවාදැයි තවමත් මගේ සිතේ නැත. ලියන්නට දෙයක් නැති බව මොලය දන්වන නමුදු ඉල ඇට කූඩුව පුපුරාගෙන එලියට පනින්නට ගැහෙන හද මුකුත් නොලියා යෑමට ඉඩ දෙන්නේද නැත. මා තුලම වූ යුද්ධයකින් දිනන්නේ කවර පාර්ශවයද යන්න තවම නොදන්න මම ඇඟිලි වලට යතුරු පුවරුව පුරා ඉබාගතේ යන්නට ඉඩ දෙමි.. මේ සාහිත්‍ය නොවන්නේ ඒ නිසාය, මේ උත්කෘෂ්ට රචනයන් නොවන්නේ ඒ නිසාය.. මේ මගේ පටලැවුනු සිතිවිලි වල එකතුවක් පමනක්ම වන්නේ ඒ නිසාය ...

ඒකාකාරීත්වය ..

හැමදාම ගෙවෙන්නේ එකම දිනයදැයි සැක සිතෙන තරමට මා වෙලාගත් ඒකාකරීත්වය මා නරුමයෙකු කර හමාරය. අවුරුදු දස දහස් ගානක් පොළව යට වැළලි පොසිලයක් මෙන් මගේ ජීවිතය හැඟිම් දැනීම් වලින් තොරව ඝනීභනය වී හමාරය. පොසීලයට කලෙක ජීවිතයක් තිබුනා මෙන්ම, මටත් හුස්ම වැටුනු ජීවිතයක් අතීතයේ තිබුනු බව මතකය. හීන සතක් නොව හීන සත්ලක්ශයක් මත තැනූ විමනක් මත සිනාවෙන් සිටි යුගයක් මටද තිබුනා මතකය. ඒකාකාරීත්වය පිළිබඳ වගේ වගක් නැති, උදා වෙන හැම දවසක්ම වෙත විදාහල දෑතින් දුවගෙන ගිය අතීතයක් මගේ පොසීලභවනය වූ ජීවිතයට තිබුනා මතකය ...

එනමුත් ... තේරුම්ගත නොහෙන සිද්ධි සමුදායක් මැදින් ගල්පර බාධක වල හැපෙමින් කඳුලු සාගරයක හබල බිඳී අතරමං උනු දිවි ඔරුව.. කෑලි කෑලි වලට කැඩී බිඳී විසිරී ගියේ අද මා දවන ඒකාකරීත්වය තුල මුලු ජීවිතයම උන්ඩිකොට සිරගත කොටය.


උදෑසන අවදි වූ තැන් පටන් හැමදෙයක්ම හැම මොහොතකම හැම පිකෝ තත්පරයක්ම ඒකාකාරීය. රැකියාවට යන්නට සාරිය ඇඳ ගැනීම, ඒ සටනේදී ඇතිවන දෙබස්.. එතනින් රැකියාවට පිටත් වීම.. මඟ දිගට සියලු දේ හිසරදය හැදෙනතරමට ඒකාකාරිය. කොටින්ම, රැකියාවට යන මඟේ ඇති ගුවන් පාලම මත සිටින හිඟන්නන් තිදෙන සිටින තැනද අවසාන දශමස්ථාන තුනට නිවැරදිව ඒකාකාරිය. පළමුවැනි සිගන්නිය.. පළමු හැරුම ලඟ වැටේ කම්බි කූරු දෙකකට මෙහායින් හරියටම තුන්වෙනි කම්බියට පිට දීගෙන .. දෙවන සිගන්නා (අතක් අහිමී) පාලමේ වැටේ කොනටම වෙන්න ඉතිරී වී ඇති එකම අත පසුකරයන්නන් වෙන පාගෙන.. අන්තිම සිගන්නා පහලට බසින දෙවන පඩිය ලඟ දකුනු පැත්තේ මුල්ලට වන්නට ... ඇයි අඩුමතරමින් ඔවුන්ටවත් වෙන වෙන තැන් වල ඉන්නට බැරි යැයි මට සිතෙන වාර ගනන අනන්තය. 

මග දිගට මිනිස්සු කියන හැම දෙයම, උදේ නිවසින් ගිය පසු නිවසට එන තෙක් හැම දෙයක්ම... නිවසට පැමිනි පසු නින්දට යන තෙක් හැමදේම.. නිදා ගත් පසු අවදිවන තුරු හැමදේම .... කොටින්ම මුලු ජීවිතයම එකම එකම එකම තැන කැරකෙන සෙක්කුවක් මිස අන් කිසිවක් නොවේය ... මා වට කොටගත් මිනිස්සු සිනාසෙති.. කති .. බොති.. ජීවත් වෙති ... මම ඒ දෙස ඔහේ බලා සිටිමි.. සිනාවෙන්නට මතක නැත.. හඩන්නටද මතක නැත ... අනිච්චානුගව වන දෙයක් නිසා හුස්ම නම් එකක් පසුපස එකක් රිද්මයට වැටෙයි.. හුස්ම වැටෙන තෙක් හදවත දිවෙයි.. හදවත දිවෙනතෙක් මොළය පණපිටිනි ... මොලය පනපිටින් සිටිනතාක් කල් මම පණ පිටිනි .... 

වෙරෝනිකා මැරෙන්නට තීරනය කලාය ...
ජීවිතය අවුරුදු පහකින් ඉදිරියට හෝ පසුපසට ගෙනයාමේ අවකාශයක් නැත්නම් ... 
එකම දිනය හැමදාම ගෙවනවාට වඩා ... 
මමද ඒ මගේ යමි ..