බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, March 25, 2012

~ ඔක්කෝටම මුල බෝනික්කා ... ~



මතකද බෝනික්කව ..?
අමතක ඇති ..
පණ තියෙන, හිනා වෙන, හැරෙන පෙරලෙන මිනිස්සු අතරේ පණ නැති බෝනික්කෙක්ව මතක තියාගෙන ඉන්නේ කවුද ...
හැබැයි ...
බෝනික්කට මුකුත් අමතක නෑ ...


මේ ඒ බෝනික්කගේ කථාව ... !!


මම බෝනික්කෙක්...
හිතක් පපුවක් නැති...
දුකක් වේදනාවක් දැනෙන්නේ නැති ...
මිනිස්සුන්ගේ කාන්සිය මකන්න ...
සෙල්ලමට ගන්න හදපු ...
නිකන්ම නිකන් බෝනික්කෙක් ...


මම ආවේ පුංචි බබෙක්ගේ තනිය මකන්න ... මම ආපු මුල දවස් වල හැමෝටම මාව හරිම අගෙයි.. කාටත් වඩා සතුටින් හිටියේ පුංචි බබා... බබාට තව බෝනික්කෝ මහ ගොඩක් හිටියත් මට හිටිය එකම අයිතිකාරයා උනේ බබා නිසා එයාගේ මූණකට උනත් මට අද වෙනකන් මතකයි ... ඒ මූණේ ඇඳුනු හැම හිනාවක්ම...හැම කේන්තියක්ම.. හැම දුකක්ම මම මගේ අජීවී ඇස් දෙකෙන් බලගෙන හිටියා ... බබා නොදන්නවා උනාට මගේ වීදුරු ඇස් වල බබාගේ හැම හැඟීමක්ම හොදට පෙනුනා ... මට නොතේරෙනවා කියලා හිතාගෙන බබා කිව්ව හැම දෙයක්ම මම අහගෙන හිටියා... මට හැමදේම ඇහුනා..හැම දේම පෙනුනා... මම හිනා උනා..රතු තීන්තෙන් නොමැකෙන්න ඇඳල තිබුනු මගේ හිනාව මම අඩුවක් නැතුව බබාට දුන්න... බබා හිතුනු වෙලාවට මගෙත් එක්ක සෙල්ලම් කලා... හිතුනු වෙලාවට මගේ කකුල් දෙකක් අල්ලලා වීසි කරල වෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කලා..ඒත් මට අඩන්න පුලුවන්කමක් තිබුනේ නෑ.. ඒ මගේ හිනාව මගේ අජීවි මූණ උඩ ස්ථීරවම පාට කරල තිබුනු නිසා... මම හැමදාම බබත් එක්ක හිනා උනා ... කොහොම උනත් ආපු අලුත නිසා බබා ගොඩ වෙලාවට මගෙත් එක්කමයි සෙල්ලම් කලේ ... අපි සතුටින් හිටියා.. බබයි මමයි .... අනිත් හැමෝමත් බබාගේ සතුට දැකල සතුටු උනා...

මේ හැම දේම තිබුනේ ටික කාලයයි .. ටිකෙන් ටික බබා මගෙන් ඈත් වෙන බව මට දැනුනා.. දුකක් හිතුනේ නෑ කිව්වොත් බොරු..ඒත් මම ඇත්ත තේරුම් අරගෙන තිබුනා..ඒ වෙද්දි මගේ ගවුමේ පාට මැකිලා..පිරුනු කම්මුල් වල ගැහිලා..එහෙම උනේ බබත් එක්ක ගෙවපු කාලේ නිසයි කියලා මම දන්නවා උනාට මගේ කාලේ ටිකින් ටික ඉවර වේගෙන එන බව මට තේරුනා ... බබාට අලුත් බෝනික්කෝ ලැබුනා... මාව මතක් උනු වෙලාවට බබා මගෙත් එක්කත් සෙල්ලම් කලත් බබාගේ වැඩි කැමැත්ත අලුත් බෝනික්කන්ට බව මට රහසක් උනේ නෑ... මාව බබාගේ සමාජයෙනුත් ප්‍රතික්ශේප උනා... අනිත් හැමෝම අලුත් ජපන් බෝනික්කො එක්ක සෙල්ලම් කරද්දි බබා විතරක් කඩමලු බෝනික්ක එක්ක සෙල්ලම් කල නිසා වෙන්න ඇති.. බබා එයාගේ පන්තියේ අයගෙන් අන්තිමයා උනා... ඒ මම පන්තියට ගැලපෙන්න රූපයෙන්,ගුණයෙන්,පොෂ්කමින් හිටපු නැති නිසා. ඔන්න ඔය අතරෙදි තමයි බබා මාව එහෙම් පිටින්ම අතෑරියේ... අතෑරල බබාගේ පන්තියට ගැලපෙන ජපන් බෝනික්කෙක් හොයාගෙන ගියේ.. බබාට බෝනික්කන්ගෙන් අඩුවක් තිබුනේ නෑ කවදාවත්ම..ඒ නිසාම බබා මගෙත් එක්ක සෙල්ලම් කලත් නොකලත් මම ආඩම්බරෙන් අනිත් බෝනික්කො දිහා බලගෙන කිව්වේ.. " පේනවද ... මගේ බබා කුමාරයෙක්" කියලා. බබාගේ හැම අඩුපාඩුවකටම බැනුම් ඇහුවේ මම.. ඔක්කෝටම මුල මේ කඩමලු බෝනික්ක...එහෙමයි බබාගේ යාලුවොත් අනිත් හැමොමත් මට කිව්වේ... බබාගේ හිනාව මගේ හිනාව කියල නොදන්න.. බබාගේ එක කඳුලකට මම අවුරුද්දක් අඩපු බව නොදන්න හැමෝම කිව්වේ බබාගේ හැම අඩුපාඩුවකටම වැරැද්ද මගේ කියලා.. බබාගේ අලුත් බෝනික්කොත් මට නොකියා කිව්වේ බබාගේ සමාජයට බබාට යන්න ඇරල මට පැත්තකට වෙන්න කියලයි ...

ඉතිං... මම ආව...

කවදාවත් බබා මාව විසි නොකරයි කියල හිතල ... පරණ උනත් අඩුම ගානේ ගෙයි මුල්ලකට දාල හරි මාව තියගනි කියල හිතල.. හීනයක ජීවත් උනු මම.. බබාගේ ජීවිතෙන් එලියට බැහැල ආවා...  ඒ එද්දි එකම එක හිනාවක්වත් බබාට දෙන්න මට පුලුවන්කමක් තිබුනේ නෑ..අඩල අඩලම රතු පාටින් පාට කරල තිබුනු මගේ හිනාව ආයෙ නො එන්නම මැකිලා ගිහින්... රෝස කම්මුල් අඳුරු පාට කරගෙන අවුරුදු ගානක් ගලාගෙන ගිය කඳුලු වැල් වලින් මුලු මූණම කලුගැහිලා... බබා දිහාවම විතරක් බලාන උන්නු නිල්පාට වීදුරු ඇස් වතුර හිඳුනු ඇළක පතුල වගේ හැඟීමක් නැති බෝල දෙකක් විතරක් වෙලා තිබුනා .... තවත් ගන්න දෙයක් මගේ ඉතුරු වෙලා තිබුනේ නෑ.. කාටවත් ආයෙම මාව බෝනික්කෙක් වගේ පෙනුනෙත් නෑ ... මම පාවිච්චි කරල ඉවත දාපු භාණ්ඩයක් විතරයි ... ඒත් මම සතුටින් හිටියා.. මම ගියාම බබ එයාගේ පන්තියේ පළවෙනියා වෙයි කියලා මම හිතුවා.. එයාට ගැලපෙන එයාගේ අලුත් බෝනික්කන්ව අයාගෙ පන්තියේ අය දොතින් පිලිගත්තා.. මම පැත්තකට වෙලා බලගෙන හිටියා මට දෙන්න බැරි උනු සතුට බබා ලබා ගන්න දිහා...

ඔක්කෝටම මුල බෝනික්ක කියාපු අයගේ කටවල් වැහුනා..බබාගේ ජීවිතේ හැම අතින්ම හොඳ උනා.. මම ඔහේ ඇවිදගෙන ඇවිදගෙන ගියා.. මාව අදුරන අය,මම දන්න අය කොහෙවත් හිටියේ නෑ... හිටියත් ඒ වෙද්දි මම පරන පුරුදු බෝනික්කා නෙමේ..ඉතිං කවුරුවත් මාව අදුරගනී කියලා බලපොරොත්තු වෙන්නත් බෑ ... ඔක්කෝටම මුල උනු මම ගියාම හැමදේම හරිම ලස්සනට ඉවර උනා...

මම අඩනව දැකලා හිත උණු උනු සමහරු මාව නලවන්න හැදුවා... සමහරු මට හිනා උනා..තවත් සමහරු හොඳ වැඩේ කිව්වා.. කවුරු මොනව කිව්වත් කලත් මම ලෝකෙට අන්ධයි... බීරියි ... ගොලුයි ... මම ජීවත් වෙන්නේ බබාගේ ලෝකේ ... මට සතුටක් දෙන්න බැරි උනු.. විනාසයක් මිස කිසිම සතුටක් හොඳක් නොගෙනාපු බබාගේ ලෝකෙ විතරයි මම දකින්නේ ... ඒ බබාට බෝනික්කො ගොඩක් හිටියත් මේ බෝනික්කට හිටියේ එකම අයිතිකාරයෙක් විතරක් නිසා... !!

ඔව් ..
ඔක්කෝටම මුල බෝනික්කා තමයි..
ඒ නිසයි මම යන්න ගියේ ...
ඒත් ...
මේ බෝනික්කගේ ප්ලාස්ටික් ඇඟට යටින් තිබුනේ ලේ මස් නහරින් හැදුනු ඇත්තම හදවතක් ....
කාටවත් නොදැනුනු ..කවුරුවත් නොදැකපු වීදුරු ඇස් දෙකින් දැකපු බබාගේ හැම හැඟීමක්ම ... ඒ ගැහෙන හදවතේ සදහටම නිදන් වෙලා තියේවි...
ඒ මතකය තියෙනකන් බෝනික්කගේ හදවත එක දිගට ගැහේවී ...

Saturday, March 24, 2012

ඇයි .... !!

මගේ ජීවිතේ වැඩියෙන්ම කියවුනු වචනය...
එක එක අය එක එක විදියට අරුත් ගන්වපු වචනය...
ඇයි ... ?
ඇයි මට මෙහෙම උනේ ...
ඇයි මටම හැම දේම වෙන්නේ ...
ඇයි ඇයි ඇයි ... ?
උදේ අවදි උනු වෙලේ ඉඳන් රෑ නින්දට යනකන් මාව පෙලන එකම එක වචනය ..
ඇයි ... ??


සමහර දේවල් වලට ඇයි කියල අහල වැඩක් නෑ.. 
ඒ උත්තර නැති නිසා නෙමෙයි.. උත්තර හොයන්න අකමැති නිසා...
එහෙමත් නැත්නම් උත්තර පිළිගන්න අකමැති නිසා.. 
එහෙමත් නැත්තනම් උත්තර දෙන්න තරම්වත් උවමනාවක් නැති නිසා ... 

ඒත් .. 
ඇයි කියන්නේ මහා බලගතු වචනයක් .... 
මොකක් හරි දෙයක් උනේ ඇයි කියල තේරුම් ගත්තම විතරයි ඒකට විසදුමක් හොයන්න පුලුවන් ...
මට ගොඩක් දේ දැනගන්න තියෙනවා...

ඇයි කියන වචනෙට ලැබෙන උත්තර උඩයි මගේ අලුත් ජීවිතේ ගොඩ නැගෙන්නේ ... 





ඇයි....??
ඇයි මේ හැමදෙයක්ම මෙහෙම උනේ ... ??
මම උත්තර ලැබෙනකන් බලාගෙන ඉන්නවා ... !!