බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, August 23, 2012

~ සතීගේ කතාව .. ~

සැප්තැම්බර්.. 
හේතු කීපයක් නිසා මගේ ජීවිතේ වැදගත්ම මාසේ .. 
ඒ හේතු අතරින් එක හේතුවක් වෙන පොත් මංගල්ලෙ ගැනත් හිතලා අද ලියන්න හිතුවේ පොතක් ගැන .. 

පොතේ නම සතීගේ කතාව .. ලියුම්කරු කරුණාසේන ජයලත් මහතා ...




ඇත්තටම මම ලාංකේය නවකතාකරුවන්ගේ පොත් කියවලා තියෙන්නේ හරීම සුලු ප්‍රමානයි .. සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය,මාර්ටින් වික්‍රමසිංහ සූරින් සහ කරුණාසේන ජයලත් මහත්මයා ඇරුනම ලාංකේය නවකථා කරුවන් ගැන මගේ දැනුම අල්පයි.. ආඩම්බරයක් දැනෙන්නේ නෑ ඒ ගැන.. හීනමානයක් මිස... ඒත් මගේ රසාස්වාදනයට 80%ක්ම පොහොර දාන්න මේ දක්වා සමත්වෙලා තියෙන්නේ පරිවර්තන සාහිත්‍ය විතරයි.. කොහොමින් කොහොම උනත් කරුනාසේන ජයලත් මහත්මයාගේ සතීගේ කතාව මගේ ඇස් කඳුලින් පුරවන්න සමත් උනු පොතක්.. පොතක අකුරු ටිකකට පුලුවන් නම් ඒ අකුරු වලින් පාඨකයාගේ ඇස් ඉස්සරහ රූප දාමයක් මවන්න.. අකුරුවලට පුලුවන් නම් කතා කරන්න .. එහෙම කෘතියක් ඇත්තටම ප්‍රශංසනීයයි ..

සතීගේ කතාව .. සරස්වතී මානවඩු නම් වූ දුප්පත් ගැමි තරුණිය වටා ගෙතුනු කතාවක්... ඇගේ ජීවිතය.. ජීවිතයේ එක් එක් අවධි ... 

සරස්වතී මානවඩු හෙවත් සතී.. 

ගමේ හැදී වැඩුනු.. චීත්ත ගවුම අඳින ගැමි කෙල්ලක්.. එතනින් විශ්වවිද්‍යාලයට යන ගමන .. විශ්වවිද්‍යාල ජීවිතය... ඇගේ ජීවිතයට එන අනේකවිධ වෙනස්වීම් .. ඇස් ඉදිරිපිට එක පිට එක මවන්නට ලියුම්කරු සමත්වෙන අපූරුව .... ඉහල පෙලේ නවාතැන් පොළවල් වල නවාතැන් ගන්නට තරම් වත්කමක් නැති ඇගේ නවාතැන වන බෝගහවත්ත ... එයින් ඇය ඉගෙන ගන්නා ජීවිතය .. ඇය දකින ලෝකය .. යට ගවුම පිටින් මහ පාරේ දත මදින තරුණියන්.. පයිප්පය ලග තමන්ගේ වතුර වාරයට පොරබදින කාන්තාවන්.. වැටවල් අයිනේ සිට අමු සුද්ද සිංහලෙන් ජාතක කතා දිග අරින දෙනෝදාහකගේ; පිටට පෙනෙන දැඩි රලු පරලු අසීලාචාර හැසිරීම් ජීවන රටා තුලින් ..ඔවුන් තුල වෙසෙන, ජීවත් වෙන්න පොරබදින, ආත්ම සතීගේ දෙනෙත තුලින් දකින්නට ලියුම්කරු ඉඩ හසර පාදයි... ඒ සියලූම කුහුඹු ජීවිත සමාජ ප්‍රවාහයට නතුව හිස ජලයට උඩින් තබාගෙන තව එක් දිනක් ගතකරන්න දරන වෑයම.. බෝගහවත්තේ කුණුකානු අතරින් ගලා යන ජීවිත සටන... සතීගේ කතාවේ අඩිතාලමයි ... මෙය හුදෙක් ප්‍රේම කතාවක් නොවන්නේ එනයිනි ..

මේ සියලු හැලහැප්පිම් මැද සරස්වතී මානවඩුගේ ජීවිතයට එන නිශ්ශංක ... වැසි දවසක එක සීරුවට නටුවෙන් ගිලිහි පොළවට වැටෙන රොබරෝසියා මල් දෙස බලාගෙන දැහැනක සිටින ඔහු දකින ඇගේ සිතෙහි; ඒ දිග ඇසට.. නොවක් නහයට .. හැඟීමක් නැති දෙතොලට බැඳෙන ආදරය ... 

සතීගේ කතාවේ ප්‍රේමය හරියටම විනාවක ප්‍රධාන තතට යටින් නාද වෙන අනු තතක් වගේමයි .. සුපුරුදු ප්‍රේම කතා සුපුරුදු ප්‍රේම ජවනිකා කිසිවක් සතීගේ කතාවේ සොයායාගන්නට නැහැ

සතී සාමාන්‍ය කෙල්ලක්.. ඇයට ඕන පෙම්වතා එක්ක හුරතල් වෙන්න.. පෑනෙන් අතේ කුරුටුගාන.. අත දිගෙ ඇඟිලි ඇදගෙන ඇදගෙන යන්න ... අත්වැල් පටලගෙන පාර දිගේ යන්න.. ඇගේ ගැහැණු සිතට..ගැහැණු ගතට ඕන සාම්ප්‍රදායික ප්‍රේමයක්.. 

නමුත් නලුවා ඊට විරුද්ධයි ..

"කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳෙන්න මට පුලුවන්කමක් නෑ නංගී..."

ඒ නලුවගේ දෙබස ...

නමුත් ඔහු ඇය සමග ඉන්නවා..ඔහේ ඉඳගෙන..පැය ගනන් ඔහේ ඉඳගෙන .. කතාවක් බහක් නැතුව.. ඇගේ ආත්මය.. ඇගේ සිතේ ඇති දේ කියවන්න වෑයම් කරමින්.. ඇගේ ආත්මය විනිවිද දකින්නට උත්සාහ කරමින් ඔහු පැය ගනන් ඇයට මනෝ ලෝකේ සැරිසරන්නට ඉඩ දීල ඇය ලඟින් ඉන්නවා .. ඔහුගේ කොන්දේසි වලට ඇය යටත්වන තාක් කල් ඔහු ඉන්නවා.. ඇයට ඔහු හා ප්‍රේමයෙන් බැඳෙන්න තහනම්.. එක මොහොතක් ඔහු සමග ජීවත් වෙන්න අවසර ඇතිමුත් එතනින් එහාට ඔහුගේ හිතත් ගතත් ඇයට තහනම්.. සරසවියේ එකම බංකුවක අතේ දුරින් වාඩි වී ඉඳීමටත්.. පුස්තකාලයේ එක ලඟින් ඉඳන් පාඩම් කිරීමත් ඇරුනුකොට වෙනත් කිසිම ආකාරයක ලංවීමක් තහනම් .. ඒ ඔහුගේ නීති ... නමුත් ඔහුගේ නීති පැහැදිලීයි.. ඔහුට ඇය හා ආලයෙන් බැදෙන්න බෑ.. ඇයට ඔහු හා ආලයෙන් බැඳෙන්නත් අවසර නෑ.ඒ ඇයි කියන්න සතී දන්නෙත් නෑ ... නමුත් ඇය හීන මවනවා ..කවද හරි කවදම හරි නිස්සංක ඇයට ආදරෙයි කියයි කියලා.. ඇයට ඔහුගේ ආදරය පේනව.. ඇස් දෙකෙන් ...

නිශා .. සතී .... සෑම හමුවීමක්ම අවසාන වෙන්නේ නිස්සංකගේ එකම එක වාඛ්‍යයෙන්..

"සතී.... එහෙනම් අදට ඇති නේද.."

ඇති නෑ.. 
අදට නෙමේ කවදාටවත් ඇති නෑ.. 
අනේ තව ටිකක්..
තව එක තත්පරයක් ඔහොම මගේ ලඟින් වාඩි වෙලා ඉන්න... 
අතින්වත් අල්ලන්න ඉඩ නොදුන්නත් ඔහොම වාඩි වෙලා ඉන්න ..

සතීගේ උත්තරය පපුව ඇතුලේ ඉදන් බෙරිහන් දෙනවා.. ඒත් ඇයට ඒ උත්තරය වචන කරන්න අවසර නෑ. ඇය පොරොන්දු වෙලා ඉවරයි නිශ්ශංකගේ ක්‍රීඩාවේ කොටසක් වෙන්න..ඇයට තරග නීති උල්ලංඝනය කරන්න අවසර නෑ..ඉතිං ඈ නැඟිටිනව.. අහඹුවකින් වගේ නිශ්ශංකගේ සුරතේ ඇඟිලි පටලවාගන්න වෑයම් කරනවා.. නමුත් නිශ්ශංක පියවරක් ඉදිරියෙන්.. සතීගේ ඊලග උත්සාහය දන්නා ඔහු ඇගිලි මිටි කරගෙන.. ඒ සුරතේ වෙලෙන්නට ඉඩක් නෑ... !!

කථාව ගලාගෙන යනවා.. අන්තිමට ..පොතේ අන්තිමට නිශ්ශංක ඔහු එතෙක් හිරකරගෙන හිටි රහසට පණ දෙනවා.. ඔහු කථා කරනවා..ඔහුගේ පුරුදු වචන දෙකතුනට අමතරව තව ගොඩක් දේ ඔහු කියනවා ...එක හුදකලා හැන්දෑවක.. අවුරුද්දකට පසුව .. පළමු වතවට සරසවියේ බංකුව මත නැතිව වෙනත් තැනක ඔවුන් හමුවූ මොහොතේ.. බැසයන හිරුට මූණ හරෝගෙන ... නිශ්ශංක ඔහුගේ කතාව කියනවා ..

ඒ ටික මම ලියුම්කරුගේ වචනයෙන්ම කියන්නම් ...




"සතී ඔයා මට ආදරෙයි .."

ඒ වනාහී ප්‍රශ්නයක්වත් සැක දුරු කිරීමේ කියමනක්වත් නොවේ.. කෙළින්ම නිගමනයකි .. ඇයගේ ගත කිළිපොලා ගියේය. කිසිකාරනයක් නැතිව ඇයගේ ඇස් කඳුලින් තෙත් විය.

"ආදරේ නිශා.. එක්තරා විදියකට! ඔය හිතන .. "

"ගෑණියෙක් පිරිමියෙකුට ආදරය කරන විදියට? තරුණයෙක් තරුණියකට ආදරය කරන විදියට?"
...........

"එහෙම කියන්නෙපා"
"කොච්චර හොඳද එහෙම කියන්න බැරිනම් "
...........

"කෙනෙක්ට බැරිද කොන්දේසි විරහිත ආදරයක් කරන්න?"

"හොඳයි ඔයා හරි වෙන ගෑනුලමයෙක් හරි එහෙම කොන්දේසි ඉදිරිපත් නොකර, වෙන වචන වලින් කියනවා නම් විවාහය,ගෙදරක්,දරුවෝ ගැන නොතකා තරුණයෙකුට ආදරය කරනවා.. එයා ඒ කියන්නේ ඒ ගෑණුලමයා මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ?"

"මම හරියට දන්නේ නෑ නිශා, ආදරය ගැන අත්දැකීම මට නෑ.නමුත් මට හිතෙනවා තමන්ගේ ආදරයෙන් තවත් කෙනෙකුට මොකක් හරි සහනයක් වෙනවා නම් ඒකම මදිද කියලා....... "

"ඔයාට පුලුවන්ද එල්ලුම් ගහකට නියම වෙලා ඉන්න කෙනෙක්ට ආදරය කරන්න සතී?" ඔහු මුහුණ ඇයගෙන් වසන්වෙන ලෙස ඉවතට හරවාගෙන ඇසීය..
...........................................................................................................................................................

ඒ ප්‍රශ්නයට සතී දෙන පිළිතුර සෑහෙන්න දිගයි.. ඒ නිසා මම ඒක සංශිප්ත කරන්නම් මෙන්න මෙහෙම.. 
සතී කියනවා මරනයට කැප වෙලා ඉන්න කෙනා දන්නව නම් තමන්ගේ ජීවිතේ අවසාන කලය ගත වෙන්නේ කියලා.. ඇයත් දන්නවා නම් ඔහු ඉක්මනින් මිය යනවා කියලා.. ඔහුට අවශ්‍ය ආදරය දෙන්න ඇයට බැරිකමක් නෑ කියලා. ඔහු මියගියායින් පස්සෙ.. ඒ ටික කාලේ ඔහුට දුන්නු ආදරය හදවතට තුරුලු කරගෙන මුලු ලෝකෙටම ආදරය බෙදන්න.. ඒ වගේ මැරෙන්න නියම උනු දාහක් දෙනාට දවසකට හරි ආදරයක් දෙන්න.. අර එක පුද්ගලයට දුන්නු සීමාරහිත ආදරයෙන් තමන්ට පුලුවන් වේවි කියලා සතී කියනවා ...

නිස්සංක බලාගෙන ඉන්නව සතී දිහා.. රකුසු බැල්මකින්.. ඒත් ඒ රකුසු රතුපාට ඇස් දෙක යටින් නහර පුපුරවාගෙන එළියට එන්න දගලන ආදරය සතීට පේනවා ..

...............................................................................................................................................................

 " මමත් අර පුද්ගලයා වගේ කෙනෙක් සතී, මමත් මරණයට කැප උනු කෙනෙක්"
"අපි සේරම නිශා .. අපි සේරම දවසක ... "

නිස්සංක වහාම ගෙල හරවා සරස්වතී දෙස අඩ බැල්මෙන් බැලුවේය. මුලින්ම දවසේ ඔහුගේ දෙනෙතින් තමා වෙන එල්ල උනු අනතුරු ඇඟවීම ඈ අලුතින් හඳුනා ගත්තාය.එහෙත් මෙවර ඈ තැති ගත්තේ නැත.

"ඔයා අහලා තියෙනවද ලියුකේමියා??" යි තොලමතුල නිස්සංක ඇගෙන් පිළිතුරක් පමා වන කල කෝප වූවකු ලෙසින් "සතී ඔයා අහලා තියෙනවද ලියුකේමියා?" යි කෑගැසුවේය...

ලියුකේමියා යනු ගමක්ද නගරයක්ද දුර රටක්ද නැතහොත් රෝගයක්දැයි නිශ්චය කරගන්නට ඇයට උවමනා වූයේ නැත. ඔහුගේ අඩ බැල්මෙහි සියල්ල ලියවී තිබිනි.

"වැඩිම උනොත් අවුරුද්දයි සතී. අවුරුද්දකට වැඩිය මට .." යි නතරකල ඔහු යලි මුහුද දෙසට හැරුනේය.

සමස්ත නිම්වලල්ල දිගටම- එකම ගිනි වැටක් ඇවිළීගෙන යන බවක් සතී ඉදිරියේ මැවෙන්නට විය. එහි රශ්නයට ඇයගේ හදවත අසුවිය. සප්තමහා සාගරය නිමේෂයකින් මුලුමනින්ම සිඳී ගොස් මත්ස්‍යයන්ද තල්මසුන් සහ බෙල්ලන්ද ඇතුලු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සකලවිධ ප්‍රාණීන් ආස්වාස ප්‍රශ්වාසය සඳහා අවසන්- වියරු ප්‍රයත්නයක යෙදෙන බව ඕ දුටුවාය.

.....

හැම දෙයටම ගතවූයේ මොහොතකි. මොහොතකින් හැමදෙයක්ම මැකී ගොස් ආ නැවත යථා තත්වයට පත් වූවාය. වෙන්සකට වූයේ එකම කරුණකි. ගින්නෙන් දැවී ගියේ ඇයගේ හදවත නොව එහි නිදන්ගතව තිබුනු සියලු ආකරයේ බැඳීම් සහ ආත්මාර්ථකාමි තෘෂ්නාව පමනකි. ඇයගේ අධ්‍යාත්මය අතිශය පවිත්‍ර සහ නිරවුල් විය...

වුන් තැනින් ඉවත් උනු සරස්වතී ගලින් ගලට පිය නගා ඔහු වෙත ගොස්, පිටුපසින් ඔහුගේ දෙවුරමත දෑත් තබා පිටට කම්මුල ඔබා ගත්තාය ..

"නිශා.. !"

නිස්සංක කතා නැතිව සෙල් රුවක් සේ එහෙමම සිටියේය.

හිමින් හිමින් සෙනෙහසින් දෑත් පහලත අද්දගෙනවිත් බඳ වටා ඉදිරියට යවා ඔහු වැලඳගත් ඈ,

"නිශා අර කිව්ව විදියට මම ඔයාට ආදරෙයි නිශා. කොන්දේසි විරහිතව සදහටම ආදරෙයි!" යනුවෙන් තෙපළාය ...

සරස්වතී මානවඩු ගේ ඒ අව්‍යාජවූ ද ළයාන්විත වූද කටහඩ ඉමක් කොනක නැති ගමනක යෙදී සිටි සැඳෑ සුලඟ සමඟ මුසු විය ............

.........................................................................................................................

ඒ සතීගේ කතාවය ...
ඒ ඇගේ මෙන්ම මගේද කතාවය... !!