බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, September 16, 2013

පොත් පින්තූර 2013

මුකුත් ලියන මූඩ් එකක් නෑ..
ඒ නිසා දැනට පොත් ටික විතරක් අතාරින්නම් බලා ගන්න.

ඔන්න ඇනෝලට කලින්ම කියන්නේ..
මේ පින්තූර පල කරන එකේ බලාපොරොත්තුව මම මහා පොත් ගොඩක් කියවන පොරක් කියලා පෙන්නීම එහෙම නෙමේ..
ෆේස් බුක් වගේ සමාජ සම්බන්ධතා ජාල වාරණය කල රටවල් වල ඉන්න වගේම මට එදිනෙදා මුණ නොගැහෙන .. ඒත් පොත් වලට මම තරම්ම ආදරය කරන මගේ යාලුවන්ට මගේ පොත් අස්වැන්න පෙන්නන්න විතරයි මට ඕන ..
ඒ අය කොහෙ හිටියත් මේව දැකලා සතුටු වෙයි ..
මට ඕන එච්චරයි ..



























Sunday, July 28, 2013

මගේ මළගම ..




මම මළදාක ..
අද හෙට කෙදිනක ..
ඇවැසි නැහැ මට ..
මූණ පෙන්නන්න ලයිට් කණුවල ..
උපත .. විපත ..
ඒ මැද දත් විරිත්තගෙන මම ..
මතක් වෙනකොටත් ..
විකාරයි මට ..
බලාගෙනයි ඇලෙව්වොත් ..
එක මරණ දැන්වීමක් ..
මගෙ නමට ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
එක ශෝක ප්‍රකාශයක්
එල්ලනවා හෙම නෙමෙයි ..
මගේ නමට ..
අඩන ඇස් වලින් පිරුනු ..
දාහක් මකර තොරන් ..
"යලි අප අතරම ඉපදේවා .."
"නිවන් සැප ලැබේවා .."
මොන මඟුලක්ද මන්දා ..
නිවන් සැප ලැබුනොත් ..
කොහොම යලි ඉපදෙන්නද ..
ගෙයි බිත්ති වහගෙන ..
වතුපිටි වැටවල් පුරෝගෙන ..
පෝස්ටර් බැනර්..
එල්ලනවා හෙම නෙමේ ඔන්න ..
නිකරුනේ නාස්ති නොකර ..
දීල දැම්මම ඉවරයි ..
සුදු රෙදි ටික ..
සිල් රෙදි හදා ගන්න ..
උපාසකම්මෙක්ට ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
තේක්ක පෙට්ටි ඕන නෑ මට ..
සැටින් කවර ඕනත් නෑ මට ..
පෙට්ටියේ අස්සට මොන එහෙකටද පුලුං මට ..
රබර් ලීයෙන් හදපු, පිදුරු දාපු පෙට්ටියක් ..
අපොයි හොදටම ඇති නිදියන්න ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
"අද අපෙන් වෙන් වෙන ..
සත්ගුණවත් දියණිය ..
පින්බර කුළ කුමරිය .."
~ මළවුන් හිනස්සනෙපා ඔන්න .. ~
ජීවිතේට සත් ගුණවත් නොවුනු මට ..
හෙළ කුළයක් ගෑවුනු තැනක නැති මට ..
මොන එහෙකටද බොරු නම්බු නාම ..
රෙද්දක් කතා නොකර .. 
වයධම්මා සංඛාරා කියලා ..
පාංශුකූලේ දුන්නම ඇති හොදටම ..
බොරු සැර පූචානම් නැතුව ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
පෙරහැර එපා මට ..
මල් වඩම් ලයිට් වැල් ..
එපා මට මග දිගට ..
පෑගෙන්න ඉහන පොරි ..
දෙන්න මාලුන්ට, පරවින්ට ..
මැරුණු කය පුලුස්සපු ..
අලු දියට නොම දෙන්න ..
වැඩෙන එක ගහක මුල ..
අලු පොහොර කරලන්න ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
මම මතකයට නැගෙන සඳ
මදහසක් ඒවි නම් මුවගට
ඒ ඇති මට හොඳටම ...
:)





Saturday, June 1, 2013

මං ආසයි ...

හෙට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස නම් ..
මගේ ජීවිතේට ලැබුනු කෝටා එක හෙටින් ඉවරයි නම් ..
හෙට දවසත් එක්ක බහින ඉරත් එක්ක මගේ අන්තිම හුස්මත් මේ ලෝකෙන් යන්නම යනවා නම් ...

මං 
       ආ
              ස
                    යි ..

මං ආසයි පියාඹන්න.. 
වලාකුළු වලටත් උඩින්. මූණට එන හුලගට විරුද්ධව.. කුරුල්ලන්ට සම්මාන්තරව..  රාජාලියෙක් වගේ අහසේ කැරකෙන්න, වෙලාවක හුළගත් එක්ක ඔහේ හුළගට ඕන අතට ගහගෙන යන්න.පුලුං ගුලියක් තරම් හෑල්ලුවට අහස පුරාම කරක් ගහන්න.
ඔව්..
මම ආසයි පියාඹන්න..
ලෝකෙට උඩින් .. පාවෙන මල් පෙත්තක් තරම් සැහැල්ලුවෙන්.. පරිමාවක් තියෙන ස්කන්ධයක් නැති පධාර්ථයක් වෙලා ...

ෆැන්ටසි මානයෙන් එහාදි හිතලා බැලුවොත් මං ආසයි බන්ගි ජම්පින් කරන්න. මැරෙන්න කලින් එකම එක වතවක්.. අත් දෙක දෙපැත්තට දාල ගිරිය යටින් කෑගහගෙන පාලමක් උඩින් පනින්න.. වතුරේ නහය ගෑවෙන මානයක් වෙනකන් ඔහේ බිමට වැටෙන්න..
යතාර්ථවාදීව පියාඹන්න ...


මං ආසයි කැලිප්සෝ සිගර් කෙනෙක් වෙන්න. පන්කොල තොප්පියක් දාගෙන බැන්ජෝ බෙරයක් ගගහ මූදු වෙරලක් අද්දර සිංදු කියන්න. කොහේ හරි හෝටලේක මේසෙන් මේසෙට ගිහින් කෙනෙක් කැමති.. කෙනෙක් ඉල්ලන සිංදුවක් කියන්න.. සන්තෝසම්, මුදලින් නැතුව අත්පුඩියකින් හිනාවකින් ලබන්න. මම ආසයි පාරක් පාරක් ගානේ සිංදු කියන්න. පාරේ යන අයට අහන්න, ඒ අයගේ මහන්සිය කේන්තිය ආත්මාර්ථය එක මොහොතකට හරි නිමන්න .. මම ආසයි ඒ එකතු කරගන්න කීයක් හරි ගානෙන් චපාති එකක් අරගෙන ගෝල්ෆේස් එකට වෙලා රෑ එලි වෙනකන් ගිටාර් එකක් ගගහා සිංදු කියන්න මූද දිහා බලාගෙන. තනියට ඉබා ගාතේ යන බල්ලෙක් විතරක් පාමුල තියාගෙන ...


මං ආසයි රෑ දෙගොඩහරි ජාමේ කොලඹ පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.මින්ට් පැකට් එකක් විතරක් සාක්කුවේ දාගෙන පාට ගිය ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි රබර් සෙරෙප්පු දෙකකුයි දාගෙන හෙඩ් සෙට් එක කනේ ගහගෙන අමරසිරි පීරිස් මහත්තයගේ සිංදු අහ අහ නිදා නොගන්න කොළඹ නගරේ නියෝන් එළි දිහා බලාගෙන පාර දිගේ යන්න.මං ආසයි ෂැංහයි බේබි පොතේ කොකෝ ටියෑන් ටියෑන්ට පේන්න නැටුවා වගේ ඒ නියෝන් එළි මැද නටන්න .. මං ආසයි බලන්න ඉන්න කාට හරි පේන්න දේදුන්නක් වගේ නටන්න.. පිස්සෙක් වගේ මහ හයියෙන් හිනා වෙවී වෙරිමතෙන් වගේ නටන්න.. ලැජ්ජාවක් බයක් සීමාවක් නැතුව ..


මං ආසයි වැස්සේ තෙමෙන්න.. සාරි වලින් බර ඇඳුම් වලින් මිදිලා නිදහසේ තෙමෙන්න..වතුර බින්දු වලට මූන හරෝගෙන ඇස් ඇරගෙන ඉන්න. අහසින් වැටෙන වතුර බින්දු කට ඇරල බීගෙන බීගෙන යන්න. මඩ වලවල් වලට පනින්න.. පාරේ රැඳිලා තියෙන වතුර ගොඩවල් වලට පයින් ගහන්න.. මං ආසයි තෙතබරියන් වෙනකන් ඇඟිලි රැලි වැටෙනකන් මහ අනෝරා වැස්සක තෙමෙන්න..


මං ආසයි පාරේ ඉන්න හිගන්නෙක් එක්ක කථා කරන්න.. පිස්සෙක් එක්ක කථා කරන්න.. මං ආසයි වත්තකට යන්න. මං ආසයි කුප්පියාවත්ත පැත්තේ වත්තක මිනිස්සු ජීවත් වෙන හැටි බලන්න. චූටි ක්ෂුද්‍ර ප්‍රාණියෙක් වෙලා කාටවත් නොපෙනී ඒ ජීවිත වල දවසක් ගෙවෙන හැටි බලන්න. මං ආසයි ගණිකාවක් වෙන්න. මිනිස්සු එන්නේ ඇඟ නිසාම විතරද කියලා බලන්න. ඇඟක් ඕන නම් ඇයි ඒ මිනිස්සු තමන්ගේ බිරිඳ පෙම්වතිය ලගට නොයන්නේ කියලා බලන්න. ඒ එන මිනිස්සුන්ට ඇඟකට වඩා දෙයක් ... ඒ අයගේ දුක අහන්න කෙනෙක්.. ඕන නිසා එනවද බලන්න.. මං ආසයි මිනිත්තු එකොළහේ කථාවේ මරියා වගේ ආදරය හොයන ගනිකාවක් වෙන්න.. විරාගයේ අරවින්ද වගේ ජීවිතයක් එක තත්පරේකට හරි ගින්නෙන් පුච්චලා අලු කරලා දාන්න. මං ආසයි සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන චරිතයක් රගපාන්න. මම ආසයි කුපාඩියෙක් වෙන්න, කාලකන්නියෙක් .. හිපියෙක් වෙන්න ... මං ආසයි ටැටූ එකක් ගහන්න.කොන්ඩේ තට්ටේ ගාන්න.. මම ආසයි මේ මුලු සමාජ ප්‍රවාහයටම විරුද්ධව උඩු ගං පීනන්න.


 මං ආසයි නිශ්ෂබ්දතාවයේ සද්දේ අහන්න. මූසල පාලු තනිකමක වෙලෙන්න. ගෙදර යතුරු දාගෙන කාගෙවත් රූපයක් හඩක් ඇහෙන්නේ නැතුව ඉන්ටර්නෙට්.. සෙල්ෆෝන්.. අයිපෑඩ්.. කේබල් ටීවි .. අනං මනං සකලවිධ ආටක නාටක ඔක්කොම වීසි කරලා මේන් ස්විච් එකෙන්ම කරන්ට් එකත් ගලවලා විසි කරලා ඇඳ උඩට වෙලා නිහඩතාවයේ හඩ අහන්න... නිහඩතාවය මගේ මොලේ ඇතුලේ අඳින රූප දිහා බලන් ඉන්න.. ඒ රූප වලට පාට පොවන්න ..


ඒ හැම දේම ඉවර වෙලා ... 
අන්තිම හුස්මට තත්පරයක් තියලා ... 
මං ආසයි ඔය පපුව උඩ මගේ රිදෙන ඔලුව නිදි කරවන්න .. 
කෝටියක් ආසවල් වලට තිත තියලා.. හිතේ නිදහසෙන්..  
ඔය හදවත බිග් බෙන් එකටත් වඩා හය්යෙන් ගැහෙන සද්දේ අහගෙන...
ඔය සුවඳින් හිත පුරවගෙන ..
ඇස් දෙක පියා ගන්න ... 

     ද
          හ
               ට
                   ම ...




Monday, May 6, 2013

තනි තටුවෙන් ....



 

 2010 ජුනි 15 ..

ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..
එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..
කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ.
"මොන මගුලක්ද .. " ඔහු සිතයි ..
"මෙච්චර ගෑණු දැකල තියෙන මට මේ කෙල්ලගේ අඩු වැඩියට මෙච්චර කෑදර හිතෙන්නේ ඇයි .."
ඔහු ඔහු ගැනම තරහින් ..

එහේ මෙහේ දුවන ඔහුගේ ඇස් බැල්ම ඇයට වැටහෙන්නට ගත වන්නේද සුලු වෙලාවකි.
රාගයට වෙනස් වූ ආදරයක, උණුසුමක සේයාවක් ඔහුගේ නෙත තුල දැවෙනු ඇය දකී.
අද පමනක් නොව ගෙවුනු බොහෝ දිනෙක ඈ එනතුරු හොරගල් ඇහිලූ ඔහුගේ දිලිසෙන ඇසින් යුතු සොඳුරු මුහුණ දැකගැනීම, සුපුරුදු බස් නැවතුම් පොළේ ඇගේද නොකී බලාපොරොත්තුවයි.

"අද නම් කතා කරනවමයි.." ඔහු තිර අදිටනින් ..
"අදවත් කතා කලොත්.. "ඈ දෙනෙතින් ආරාධනාවෙන් ..

2011 මාර්තු 31 ..

"දන්නවද .. මම මුලින්ම ඔයාව දැක්ක දවසේ මට මතක හිටිය එකම දේ ඔයාගේ මූණයි මෙන්න මේ ලස්සන ...  " ඔහුගේ අත ඇගේ ළමැද සිසාරා දිවෙයි ..
"චිකේ වල් කොල්ලා .. "සෙනෙහසින් රතු වූ මුහුණින් ඇය ඔහුගේ පපුතුරෙහි සැඟවෙයි.
"දැකපු මුල්ම දවසේ මම හිතා ගත්තා වෙන කාටවත් මේවා අයිති වෙන්න දෙන්නම නෑ කියලා .. "ඔහුගේ අතැඟිලි දඟ පිම්මකින් ඇගේ උඩුකය පිරිමදී.
"හ්ම්ම්.. "ඇයට ඉතිරි ඒ දිගු සුසුම හෙලන්නට තරම් ශක්තියක් පමණි.
විවාහයෙන් පසු එළඹෙන සොඳුරුතම නිමේෂයට ඉඩ දෙමින් ඇය දෙනෙත පියා ගනී ..


2012 පෙබරවාරි 14 ..

"මගේ රෝස මල මට දුන්නු රෝස පොහොට්ටුවට මම ලෝකයක් තරම් ආදරෙයි .. "ඔහු දාඩියෙන් පෙඟුනු ඇගේ කෙහෙරැළි සීරුවට අතගාමින් මුමුණයි.
පැය ගානක් පුරා ඇඳුනු අනන්ත අප්‍රමාන දුක් වේදනා අතුරින් ඇගේ මුහුනේ සිනා මලක් පිපෙයි ..
"දන්නවා රත්තරං.. මම දන්නවා.. "ඈ ඔහුගේ අතක් සිප ගනී.
යාබද ලදරු තොටිල්ලේ සැතපෙන බිළිඳු අත මිට මොළවමින් කිරි වේල ඉල්ලා හඬා වැටෙයි ..
ඇය බිළිඳා ඇකයෙහි හොවා ඔහු දෙස බලයි ..
"ඔන්න ඉතිං.. ඉරිසියාව වැක්කෙරනවා මූණෙන් .. "ඇය ඔහුට සරදම් කරයි ..
ඔහු සිනාසෙයි ..


2012 මැයි 05 ..

"සමාවෙන්න.. අපිට ඒක කරන්නම වෙනවා.ජීවිතේ වැදගත් අනිත් කොයි දේටත් වැඩිය.
හිත ශක්තිමත් කරගන්න, මේ වෙලාවේ එයාට වැඩියෙන්ම ඕන කරන්නේ හිතේ නිදහස."
ඇය නිතර අඳින සාරියේ පාටම ලෝගුවක් දාගත් දොස්තර ඔහුට කියමින්..
ඔහු.. ලෝකය ගැන නිනව්වක් නැතිව හිසට ඉහලින් කැරකෙන විදුලි පංකාව දෙස බලමින් ..
ඇය... දොරෙන් එපිට සිට කඳුලු වැක්කෙරෙන මූණෙන් සියල්ලට ඇහුම් කන් දෙමින් ..


2012 සැප්තැම්බර් 06 ..

ඇය රෝහල් යහන මත අවසඟව උඩුඅතට වැතිර ..
ඇය වටකොට ගත් අනේක විධ යන්ත්‍ර සූත්‍ර වලින් නික්මෙන් මූසල හඩට සවන් යොමමින් .. ඔහේ වැක්කෙරෙන කඳුලු වැල් වලින් සුදෝ සුදු ඇතිරිලි තෙමමින් ..
ඇගේ අත සේලයින් බටයෙන් ඔද්දල්ව නිල් පාට වී ..
ඒ අත අමාරුවෙන් ඔසවාගත් ඈ හිමිහිට හිමිහිට ගෙල මුල සිට පහලට ඇගේම සිරුර ගවේශනයක යෙදෙමින් ..
එක තැනක ඒ අත නතර වී ..

අමාරුවෙන් පාට කල චිත්‍රෙකට වතුර වැඩි වෙලා බොඳ වෙලා වගේ ..
සීගිරි චිත්‍ර වලට තාර ගහලා වගේ ..
වීන්ස් පිළිමේ බිම අතෑරලා වගේ ..

කඳුලු ඇල්ල ආයෙත් අලුතෙන් ... මහවැළිය වාන් දැම්මා වගේ ..

"එයා කොච්චර ආදරේ කලාද මේ ඇඟට ..
කොච්චර නම් එයාගේ ඔලුව මගේ පපුව අස්සේ හංගගෙන ඉඳලා තියෙනවද ..
එයා .. එයා ..." ඇය සිහි විකල්ලෙන් ..
අතට හසුවන දළ මැහුම් පාරවල් සමග වෛරයෙන්, ඈ කෙරෙහිම් උපන් මහා අප්පිරියාවකින්, ඔහු කෙරෙහි උපන් දුකකින් ..

ඔහු.. හෙමීට රෝහල් කාමරයේ දොරෙන් එබෙයි.
අත රැඳි විසාල නෙලුම් මල් පොකුර මේසය මත ඇති මැටි බඳුනට දමයි.
"සුදු නෙළුම් .. කැළණියෙන්මයි ගෙනාවේ .. ඔයා ආස නිසාම .."
ඇය .. කිසිත් නොදුටු ඇසින්, නොඇසූ කනින් ..
ඔහු ඇගේ ඇඳ කොනකින් අඩමානෙට ඉඳ ගනී..
"ඔයාට කොහොමද දැන් .. සතියකින් ගෙදර යමු හොඳේ .. පුතා බලන් ඉන්නවා .."
ඔහු සිනාසෙයි ..
ඇය තවමත් ඇය වටා කිසිත් සිදුවන බවක් නොසිතමින්,ඇගේම ලෝකක .. තනියෙන් ..

ඔහු ආදරෙන් ඇගේ හිස අතගායි .. පුරුදු උණුසුමක් හිස් මුදුනින් පටන්ගෙන ඇගේ ගත පුරා දිවෙයි .. තවත් මුරන්ඩු හිතට ඉඩ දිය නොහී ඈ ඔහු දෙසට හැරී ඔහු වැළඳ ගෙන හඬා වැටෙයි..
"මේ මොකද මේ .. ඇයි මම එච්චරටම කැත වෙලාද සතියක් රැවුල නොකැපුවාම.. "
ඔහු විහිලුවක් කිරීමේ අසාර්ථක උත්සාහයක ..
ඇය ඉකි ගසමින් අඬයි ..

ඔහුගේ අත ආදරෙන් එදා මෙන්ම කොපුලත ගෙල මුල වන්දනා කරගෙන හිමි හිමීට පහළට ..
ඇය දරදඩු වෙයි..
එදා තිබුනු සුමුදු අවයවය වෙනුවට අද එතන ඇති වල ගොඩැලි ....
ඒ අත ගැටෙන ඔහුගේ වෙන විපිරියාසය .. ගෝනුස්සෙක්.. නෑ නෑ ගැරඩියෙක් අතේ ගෑවුනා වගේ අප්පිරියවාක් දැනීවි එයාට ..
ඇය සිතයි ..
අඩයි ..

ඔහුගේ අත සුපුරුදු පරිදිම නියමිත ආකරයෙන්ම හැසිරෙයි .. පළවෙනි මැහුම ඔහුගේ අත ගැටෙයි .. ඇගේ හදවත නවතී .. ඔහු ඒ මැහුම වටා මල් පෙත්තක් අල්ලන තරම් මෘදුව අතැගිලි ගෙන යයි .. දෙවන තුන්වන හතරවන මැහුම .. ඔහුගේ විකෘති වන මුහුණ දැකීමට බියෙන් තදකර පියාගත් දෙනෙත් ඈ හෙමින් විවර කරයි ..ඔහු ඇස් පියාගෙන .. මධුසමයේදිවත් ඇය නොදුටු තරමේ ආදරයකින් උණුසුමකින් ඔහුගේ මුහුණම එළිය වී .. සමනළ පියාපතක් අල්ලන තරමේ මුදු බවකින් ඇය නළවමින් ..

ඈ තනි තටුවෙන් පියාඹමින් .. 
ඔහු ඇගේ අහිමි අත් තටුව වෙමින් ..
මා ඒ ආදරය අකුරු කරමින් ..