බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, November 19, 2011

වෙන මුකුත් එපාද?







හ්ම්ම් ..
ඔය ලියලා තියෙන්නේ මහ ලොකුවට පද පේලි බර ගානක්....
හැමදාමත් ඔහොමමයි...
ඔන්න ඔය බරපතල දර්ශනේ තමයි මට පෙන්නන්න බැරි....
මහ ගොඩක් දේවල් කියලා තියෙන්නේ...
අහපු මිනිස්සු කඳුලු පිහ පිහ අහගෙන ඉන්න ඇති ...
මල් තියලා වදින්න ඇති ...
ඇයි දෙයියනේ .. සුලුපටු පරිත්‍යාගයක්ද ඔයා කරලා තියෙන්නේ...

මට හිනා ... 
මට පණ යනකන් හිනා ...

ටිකක්වත් මහන්සි උනේ නෑ නේද මට කියන්න තියෙන දේ අහන්න ....
අහගන්න.. හොඳට අහගන්න මට කියන්න තියෙන ටිකත් ..

හන්තානට පායන හඳ ලස්සනයිද කියලා අහන්නේ සාමන්‍ය පෙළ පාස් වෙලා උසස්පෙලටත් ලියපු ඔයාමද හැබෑටම.. ?

පෘථිවියට තියෙන්නේ එක උප ග්‍රහ ලෝකයයි... පෘථිවියේ ඉන්න හැමෝටම පේන්නේ ඒ උප ග්‍රහයම තමයි.. හන්තානට එක හඳකුයි.. කුප්පියාවත්තට එක හඳකුයි පේන්නේ නෑ.. හඳ කොහෙටත් එකයි..
හඳේ සුන්දරත්වය තියෙන්නේ හිතේ මිසක ඒ මැරුනු ග්‍රහ ලෝකේ නෙමෙයි.... දිව්‍යලෝකෙට පෑව්වත් හඳ ලස්සන නැති වෙන්න පුලුවන්.. ඒ වගේම බ්ලූ මැන්ඩල් කුණු කන්දට උඩින් පායන හඳත් කෙනෙක්ට ලස්සනට පේන්න පුලුවන්... එතෙන්දී බලපාන්නේ හිත විතරමයි.. හිත ලස්සන නම්.. හිත සතුටින් නම් හඳ කොහොම පෑව්වත් ලස්සනයි ...

කොහොම හරි..අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම්..

නෑ..

හන්තානට පායන හඳ ලස්සන නෑ...
ඒ ඔයා මගේ ලඟින් නැති නිසා ... 



අපි දෙන්නා එදා ගිය කුඩේ යටින් අද වෙන කෙනෙක්ව අරගෙන යන්න කියන්නේ ඇයි? මගේ කුඩේ පොදු බස් ස්ටෑන්ඩ් එකක් වගේ පේනවද ඔයාට.. ? ඔයා හිතන්නේ ඔයා නැති උනාම කුඩේ යටට තව කාව හරි ඇදගන්න තරම් තනියක් මට තියෙනවා කියලද.. ? මට තනියම යන්න පුලුවන්.. මුලු කැම්පස් එකටම ඉන්නේ මමම විතරයි උනත් මට තනියෙම ඉන්න පුලුවන්...තෙමෙන තෙමෙන උන් එගොඩ කරන්න මගේ කුඩේ ජන සතු දේපලක් නෙමෙයි.. අන්න ඒක මතක තියාගන්න...

අත වනන වනන ලතා මඩුල්ල අස්සේ රිංගන්න මම මොකෙක් වගේද පේන්නේ? ඔයා කිව්ව පලියට පඳුරු ගානේ රිංගන්න තරම් අමාරුවක් තාමත් නෑ මට...

මතකය ගුලි කරලා මහවැලියට දාන්නලු....

මතකය ටොපි කොලයක් කියලද හිතේ ඕන ඕන වෙලාවට ගුලි කරලා මහවැලියට දාන්න...

අනේ හැබෑටම.. ඔයාට හැඟීමක් දැනීමක් කියලා නාමයක් නැද්ද ...?
මට ඕනි උනේ ඔයාව..
ඔයාව විතරමයි...
එකට පටන් ගත්තු ගමනක් ඔයා කොහොමද මෙහෙම තනි කැමැත්තට ඉවර කරන්නේ?
මට ඕනි මොනාද කියලා අහල බලන්න එක තත්පරයක් තිබුනද ඔයාට?

කුඩෙටයි අරකටයි මේකටයි තනි රකින්න කෙනෙක් හොයාගන්න අවසර දීලා.. මහා කථාවක් කියලා... යන්න ගියාම මමත් හුරේ දායි කියලා හිතුවද...?
හිතුවද ඔයාගේ සින්දුව අහපු අනිත් අය වගේ මමත් ඔයාගේ දාන පාරමිතාවට සාදු සාදු කියයි කියලා.. ?

හිතුවද එහෙම ... ?

මට තනියක් තියෙනවා.. ඔව් මම තනියෙම.. ඒ ඔයා නැති නිසා.. ඔයාට ඇරෙන්න වෙන කාටවත් ඒ තනිය නිවන්න බෑ.. බෑ බෑමයි...

මට ඕනි උනේ රන්තලියක් වගේ පෙරේතකමින් මාව රැකගන්න සේරිවාණිජ කෙනෙක් මිස හැම දෙයක්ම දන් දීල තපසට යන්න පුලුවන් වෙස්සන්තර කෙනෙක් නෙමෙයි..

මට ඕනි උනේ බැඳීම් තියෙන ආත්මාර්ථකාමී ආදරයක් මිස.. නික්ලේශී බැඳීම් නැති ලෝකෝත්තර ප්‍රේමයක් නෙමෙයි...

මොලේ මැටිද ඒ ටික තේරුම් ගන්න බැරි ... ?


මොකද විරිත්තන්නේ... ?
මට විකාරයි ඔය මෝඩ තේරුමක් නැති විරිත්තිල්ල ...
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ පණ්ඩිත වාක්‍ය මට දාන්න බෑ කියලා නේද ...?
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ ලස්සන කාව්‍යමය කතන්දර මට නෑ කියලා නේද ..?

අහගන්න එහෙනම් ...

හන්තාන කඳුවැටිය එකලු කර නිශා කත සනසවා ඇදෙන රිදී සිසි කැන් දහර ලොවට පිවිතුරු නමුදු.. මට එය සීතල අරුත්සුන් තවත් එක් අලෝක පුංජයක් පමනමය... ඔබ ගතට වාරු වී.. ඔබ සුසුම කොපුල් තල වැදුනු එක රැයක සඳවත අහස්තල හැරදමා ගොස් තිබුනද.. ඒ අමාවක රැය.. මට හන්තානේ සඳ පහන් රැයකටත් වඩා සොඳුරු... ඒ රැය පුරාවට ඔබ සුවඳ මා අවට ගැවසුනු නිසාවය.... 

ඔබ සමග අමාවක... හන්තානේ පුන් පොහොයට වඩා මට එලියය..

අහස් කුස දෙදරවාගෙන මහා මේඝයන් පොලෝතල සිඹින සඳ පෙරදිනක එකට බැඳී මෙවැනි වැහි කෝඩයක ආගිය ගමන් අද මට සිහියට එන්නේ නිතැතින්මය... දෙනෝ දහසක් දෙනා එදා ඔබ සිටි තැනට එන්නට පෙරුම් පිරුවද ඒ කිසිවෙකුට ඔබේ හිස් තැන පිරවිය නොහැකිබව මා තරම් හොඳින් මෙලොව කිසිවෙකුත් දන්නේද නැත... ඒ තනිය ඇත්තේ සිතේ මිසක... කුඩේ යට ඔබ සිටි භෞතික අවකාශයේ නොවන නිසාවෙන්ය.. 

ඔබට හැර සිතේ ඇති හිඩැස කිසිවෙකුටත් කිසිදා පිරවිය නොහැක...

මල් පිපුනු වසන්තය මට අරුමයක් නොවේය. නෙතු කෙවෙනි රූරා ගලන කඳුලින් බොඳව පෙනෙන කුසුමක ඇති සුන්දරත්වය කුමක්ද ... ? මට ඇවැසි මලින් පිරි තුරුගොමුවක පහස නොවන්නේය... මට ඇවැසි ඔබ අසල.. ඔබ ළය මඩල මත මගේ රිදුම් දෙන හිස එක මොහොතකට සැතපවීමට පමණය...

ඒ නිමේෂයේදී.. මට කතර කෙම් බිමක් වන්නේය ...

මතකය මහ සයුරක් නම් .. කෙලෙස මම එය හකුලුවා මහවැලියට දමමිද.. ? මහවැලිය මෙන් දෙතුන් ගුනයක්... විටෙක ලක්ෂ කෝටි වාරයක් විසල් ඔබ ගැන වූ සොඳුරු මතකන් මම කෙලෙසක මහවැලිය තුල සඟවමිද ... ? මතකය මහවැලි දියට වඩා විසල් නම් ... ආදරය මහවැලියේ සීමා මායිම් ඉක්මවා යන්නේ නම් ... එහෙව් ආදරයක්.. එහෙව් මතකයක් ... කෙලෙස ලඝුකොට මහවැලි දියේ හෙලන්නද ... ?


හරිද...
දැන් හරිද...
තේරුනාද ...?
ඔන්න ඔයාගේ භාෂාවෙන් කිව්වා...
දැන්වත් තේරුනාද..?

මොකෝ කථා නැතුව ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෙක් වගේ බලාගෙන ඉන්නේ..?

හඳ බැලීමයි.... කුඩේ යටින් යන්න කෙනෙක් හොයා ගැනීමයි.. මල් පඳුරු අස්සේ කාත් එක්ක හරි ගාල් වෙන්නයි ... මහවැලියට මතකය දාන්නයි ඇරුනම ...
මගෙන් ඔයාට
වෙන මුකුත් එපාද :/


Monday, November 14, 2011

මම.. පහ වසරට වෙනකන් ඉස්කෝල කථා .. !!

අපෙ අප්පොච්චියේ .. මාස ගානකින් මුකුත් ලියලා නෑනේ බොලේ මම.. අර එක මල්ලි කෙනෙක් කිව්ව වගේ සහලවලා වැඩ තිබුනා.. තාමත් තියෙනවා.. ඒත් මගේ මූඩ් එක අවුල් නිසා මම තීරනය කලා හොරෙන්ම ජාලයට රිංගලා පොඩි කතාවක් ලියන්න...

සාහිත්‍ය කථා නම් මුකුත්ම හිතට එන්නේ නෑ.. ඒ නිසා මම තීරනය කලා මම ගැන ලියන්න.. හැම දේම නෙමෙයි .. ආරම්භයක් විදියට මගේ පාසැල් ජීවිතේ ගැන.. එහෙනම් අදින් ඇරඹෙන මම ගැන කතා පේලියට හැමෝවම ආදරෙන් පිළිගන්නවා.. හැබැයි මේ කතාත් කැම්පස් කථා වගේ අතරමග නවතින්න පුලුවන්... හැමදේම මගේ මූඩ් එක අනුව තමයි :)

මුලින්ම කියන්න ඕනි .. මම ගැන මිනිස්සුන්ට තේරෙන්නේ බාගයයි.. ඒ තේරෙන බාගෙත් මිනිස්සු තේරුම් ගන්නේ වැරදියට .. ඒ නිසා මම ගැන කථා කියවලා කවුරු කොහොම මගේ ගැන හිතයිද මම දන්නේ නෑ.. කෙනෙක් කියයි පම්පෝරියක් කියලා.. කෙනෙක් කියයි පට්ට බොරු කියලා.. තවත් කෙනෙක් කියයි ආත්ම වර්නනාවක් කියලා.. සමහරවිට පොරක් වෙන්න දගලනවා කියලත් කියයි ...කවුරු කොහොම හිතුවත් මට කියන්න තියෙන්නේ එක දෙයයි ...

I Don'T DamN CarE :)

හරි.. කථාව පටන් ගමු. මම ඉපදුනේ ගාල්ලේ.. ගාල්ලේ කිව්වට ගාල්ලෙම නෙමේ.. හික්කඩුවේ... ඉතිං ළදරු පාසල් ගියේ ගාල්ලේ. මම ළදරු පාසල් යන්න පටන් ගත්තේ අවුරුදු දෙකෙන් ... අවුරුදු දෙකේ ඇටිකිත්තෙක්ට මොන මොන්ටිසෝරිද .. එහෙම නේද හිතෙන්නේ.. ඇත්ත.. මාව ළදරු පාසැල් දාල තියෙන්නේ මට කෑම කවා ගන්න බැරි නිසා මිස උගන්නන්න නෙමේ .... කැරට් අල හතරක් පහක් තම්බලා කෑම පෙට්ටියට දාල දුන්නම අනිත් ළමයි කන වෙලාවට මමත් කනවලු.. කනවා නෙමෙයි ඉතිං නානවලු ඇත්තටම.. අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත .. අම්මා තමයි කිව්වේ .. ;) 

ඔන්න ඊට ටික කාලෙකට පස්සේ අපි ආව කොලඹ.. ඉතිං මම ආයෙම කොළඹ මොන්ටිසෝරියකට යන්න පටන් ගත්තා..මේ පාර නම් ඇත්තටම ඉගෙන ගන්න. මේ වෙද්දි අපේ අම්මට නංගිව හම්බෙන්න හිටි නිසා අම්ම ක්ලිනික් ගිහින් එනකන් ගොඩක් දවසට මම රෑ වෙනකන් හිටියේ මොන්ටිසෝරියේ. අකුරු ලියන්න,චිත්‍ර අඳින්න ඇරුනම මම දැනගෙන හිටි එකම දේ බෝංචි කරල් වල නූල අයින් කරන වැඩේ විතරයි. ඉතිං අම්මා එනකන් මම මොන්ටිසෝරි ටීචගේ කුස්සියට වෙලා බෝංචි කිලෝ ගානක නූල අයින් කරන්න ඇති.. ඒ නිසා මගේ ළදරු පාසැල් ජීවිතෙන් මට තියෙන එකම මතකය බෝංචි විතරමයි :)

මගේ පලවෙනි ඉස්කෝලේ කොලොන්නාව ශ්‍රි රාහුල මහා විද්‍යාලය. අපේ ගෙදර ඉඳන් පයින් යන දුර. පුංචි ඉස්කෝලයක්. ඇත්තටම මම පෝසත් ගනයට වැටෙන ළමයෙක්. මිනිස්සුන්ගේ ඇස් බැල්මට අනුව මම රිදී හැන්ද කටේ ගහගෙන ඉපදුන ළමයෙක්. ඒත් මගේ පියාණන්දෑ කිව්ව මම පොඩි ඉස්කෝලෙකට යන්නම ඕනි කියලා..අමාරුවෙන් ඉගෙන ගන්න ඕනි කිව්වා.. සැපට ඉගෙන ගත්තම පිහිටන්නේ නෑ කිව්වා.ඉතිං මම පයින්ම ඉස්කෝලේ ගියා,පයින්ම ආපහු ආවා.  මගේ මුලු පන්තියටම සපත්තු මේස් දාලා ඉස්කෝලෙ ආව ළමයි හිටියේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒත් මට නම් කිසිම වෙනසක් තේරුනේ නෑ.මට සෙල්ලම් කරන්න යාලුවෝ ඇතිපදම් හිටියා. ඉහල මධ්‍යම පාන්තික දෙමාපියෝ හිටි එකත සහ මගේ ටිකිරි මොළේට පිං සිද්ධ වෙන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට දෙවෙනි තැන ලැබිලා තිබුනේ මට. මම හරීම හොඳ ළමයෙක්..මොන තක්කඩිකම කලත් කවමදාවත් මම ගුටි කෑවේ නෑ..එකක් මම හරීඊඊඊම හොඳ ළමයෙක් කියලා ගුරුවරු ඔක්කොම විස්වාස කිරීම සහ,මම කල වැරදි ඔක්කොම තමුන් පිට පටවගෙන ශුද්ධ වූ ආදරයේ නාමයෙන් ගුටි කන්න ලෑස්තිවෙලා හිටි පුංචි ආදරවන්තයෝ ටිකක් මට සිටීම ;)

එක දෙක වසර වල මට ඒ හැටි දෙයක් මතක නෑ.. ඒත් තුන වසරෙදි උනු දෙයක් හොඳට මතකයි.ඒ ඉස්කෝලේ ඒ දවස් වල එක දෙක වසරෙදි පවා ලමයින්ව ෆේල් කරනවා. අකුරු ලියන්න දන්නේ නැති ළමයින්ව තුන වසරට දාන්නේ නෑ. ඉතිං එහෙම ෆේල් උනු ළමයි අපේ පන්තියෙත් හිටියා.තුන වසරෙදි මම පටන් ගත්තා හැමදාම ඉන්ටවල් එකට එක වසරෙයි, දෙක වසරෙයි ගුරුවරුන්ට වදින්න යන්න. මේ වැඩේට රොෂාන් කියලා පිරිමි ළමයෙකුත් මට හවුල් උනා. ඉතිං අපි දෙන්න අත්වැල් අල්ලගෙන යනකොට අර ෆේල් වෙලා හිටි ලොකු ලමයි (ලොකු කිව්වට ඉතිං අපිට වඩා අවුරුදු දෙකක් විතර තමයි ලොකූ) කොල්ලයි කෙල්ලයි යාලුයි කිය කිය හැමදාමත් කෑගහනවා.ඒ දවස් වල යාලුයි කියන එක හරි ලොකු දෙයක්. ඔන්න ඉතිං මම රොෂාන්ට පඩි ටෝක් දෙනවා.. එයාල මොනව කිව්වම අපිට මොකද..අපි යන්නේ හොඳ වැඩකටනේ.. අරකයි මේකයි.. දැන් මතක් වෙද්දිත් හිනා.. තුන වසරේ අපිට මොන ලව් ද ;) ඒ රොෂාන් අද කොහේ ඉන්නවද දන්නේ නෑ..

කොහොම කොහොම හරි හතර වසර පහ වසර පන්ති වලදි ඔන්න මට නිල වශයෙන් ප්‍රේම ආරාධනා ලැබුනා.. (හිනා) ඒ කාලේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාලුයි නම් ඉස්කෝලේ ඇරිලා යද්දි දෙන්නට දෙන්න සී යූ (See You) කියාගන්න ඕනි .. එච්චරයි.. සී යූ කියනවා විතරමයි .... අයියෝ දෙයියෝ .. ඔය සී යූ එක කොච්චර සීරියස් අරගෙන තිබ්බද කිව්වොත් ලිවුමේ ලියලා දෙන්නෙත් ඇයි ඔයා මට සී යූ නොකිය අරයට සී යූ කිව්වේ කියලයි. විකාරයි දැන් මතක් වෙද්දිත්. කොහොම හරි,මම කාටවත්ම සී යූ කියන්න ගියේ නෑ.මගේ කුඩා මොලේ වැඩ කල එකම දේ ශිෂ්‍යත්ව විභාගේ විතරමයි. ඉස්කෝලේ සෑහෙන්න තරගයක් තිබ්බා ශිෂ්‍යත්ව විභාගෙට. ළමයි අරත කොහොම වෙතත් අම්මලා අම්මලා අතරේ තිබුනේ මහා සටනක්. ඒ කොහොම උනත් එක වසරේ ඉඳන් පහ වසර වෙනකන්ම, වාර විභාග තුනෙන්ම මම පන්තියේ පළවෙනියා උනා.. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙනුත් මම ඉස්කෝලෙන් පළවෙනියා උනා :)

ඉස්කෝලේ පුංචි උනත්.. අපි තුන් දෙනෙක්ටම ලියන්න තිබුනේ එකම එක මේසයයි උනත්..පුටු දෙකක් තුන් දෙනෙක් බෙදාගෙන පාවිච්චි කලත්, ලිට්මස් පාවිච්චි කරන්න තිබුනු පරීකෂනය දවසේ මුලු විද්‍යාගාරයටම තිබුනු එකම ලිට්මස් කෑල්ල පෙන්නපු අපේ ගුරුතුමී පුතේ මෙන්න මේවයි ලිට්මස් කිව්වත් .... ඒ පුංචි ඉස්කෝලේ හිටි ගුරුවරුන්ට තරම් ලොකු හදවත් මේ ලෝකේ කාටවත්ම නැතුව ඇති.තමන් කන්න ගෙනා බත්පත ළමයින්ට දීලා නොමිලේ ශිෂ්‍යත්ව පන්ති කරන්න තරම් ඒ ගුරු දෙවිවරු ලමයින් ගැන හිතුවා.
මම අද ඉන්න තැනට ගේන්න ඒ පුංචි ඉස්කෝලෙන් ලැබුනේ සුලුපටු හයියක් නෙමෙයි.දැනට උපාධි දෙකක් නමට පිටිපස්සෙන් තියාගෙන, අද නීතී උපාධියකට ඉගෙන ගන්න මම මුලින්ම මහ සෙනගක් ඉස්සරහ කථා කලේ ඒ පුංචි ඉස්කෝලෙදි. එතකොට තුන වසරේ හිටි පුංචි බට්ටෙක් උනු මට හය වසරෙන් ඉහල ලොකු ළමයින්ගේ රැස්වීමෙදි කථා කරන්න ලබා දුන්නු ඉඩ, මම ගැන තියපු විස්වාසය සහ .... හිතේ තිබුනු බය වැඩි කමට ඒබ්‍රහම් ලින්කන් නම් ජනාධිපති තුමා වෙනුවට.. ඒබ්‍රහම් ලින්කන් නැමති කාන්තාව කියලා පටන් ගත්තු කථාව ඉවර උනාම ලැබුනු මහා අත්පුඩිය මගේ ගමනට අඩිතාලම දැම්මා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලැබුනු ළකුනු අනුව මට විසාකා විද්‍යාල‍යට යන්න පුලුවන්කම තිබුනත් මම තෝර ගත්තේ දේවි බාලිකා විද්‍යාලය.ඒ ඇයි කියන්න මම අද වෙනකනුත් දන්නේ නෑ.

දේවි බාලිකාවේ ගෙවුනු ජීවිතය හරීම සුන්දරයි.. ඒ කතාව ඊලගට කියන්නම්.. කිව්වනේ ..හොරෙන් ජන්ජාලයට ආවේ..දැන් යන්න වෙලාව ඇවිදින්...

Thursday, October 13, 2011

ශුද්ධ වූ ජලය ... !!

ශුද්ධ වූ ජලය සාක්ෂ්‍ය කොටගෙන කාන්තා ජීවිත සුදු සාරියකට සහ තට්ට හිසකට සීමා කල යුගයක් ...

වැන්දඹු ලෙස අර්ථකථනය කල කාන්තා ජීවිත වලට තෝරා ගැනීමට අවස්ථා තුනක් ....


1. සැමියාගේ බාල සහෝදරයා විවාහ කර ගැනීම.
2. සැමියාගේ චිතකයට පැන සියදිවි නසාගැනීම.
හෝ
3. තමන් විසින් තමන්ව ප්‍රතික්ෂේප කරගත් ආත්ම ප්‍රතික්ෂේපිත ජීවිතයක් ගත කිරීම.

මානව අයිතිවාසිකම් නොව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ලේ කදුලු දහඩිය හෙලූ වනිතා ආත්මයන් වල එකතුවක් ...

ජීවිතය නොව ආදරය කිරීමේ අයිතිය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ එක් ජීවිතයක් ...

මේ සියල්ලේම එකතුව පොත් පිටු අතරට පෙරලූ කථාවක්....

දීපා මේතාගේ Water චිත්‍රපටය ඇසුරෙන් ලියවුනු, බප්සි සිධ්වා විසින් රචිත, අනුල ද සිල්වා මහත්මිය විසින් පරිවර්තනය කල, ශුද්ධ වූ ජලය .... සිතන පතන තරමටම ශුද්ධ නොවූ ජලයක් ගැන කථාවක් ....



 චුයියා :: අවුරුදු 6 න් විවාහ වී අවුරුදු 8 න් විධ්වාවක් වන සමනල් වියේ පුංචි සුරංගනාවක්.

මධුමතී :: තමන් විදවන නරකාදියේ වෙසෙන අනිත් පාපතරයන්ගේ ජීවිත තවත් අපායක් කරන පාලිකාව. චුයියාගේ වචන වලින් නම් මහත තල්මස් ධේනුවකගේ ඇගපත ඇති ලතෙත් බවක් මිනිස්බවක් නැති... විධ්වාවන් ගනිකාවන් කරවන ... මිනිස් වෙස් ගත් රකුසියක්.

සකුන්තලා :: චුයියාගේ ආරක්ෂිකාව. තමන් විදවන ජීවිතය චුයියාට යන්තමින් හෝ පහසුකර දීමට වෙහෙසෙන කැපකරු මව.

කල්‍යානී :: විධ්වාවකගෙන් නොනැවතී ගණිකාවක් තරමට ජීවිතය විදවන, කාන්තාරයට වැහි පොදක් මෙන් තමන්ගේ ජීවිතයට ආදරයක් ලැබෙන තෙක් බලාගෙන ඉන්න, චුයියාට පේන විදියට නම් සරස්වතී දෙවගන තරම්ම සුන්දර යුවතියක්.

නාරායන් :: අමුතු විදියට හිතන, ආදරය හමුවේ අන් සියලු මානව සීමා කිරීම් වලට අර්ථයක් නැතැයි හිතන, කල්‍යානිට ආදරය කරන උගත්,ගුණවත්,රූමත්, හීන කුමාරයෙක්.

----------------------------------------------------------------------------------

චුයියා අවුරුදු 6 න් විවාහ වෙනවා... ඒ අවුරුදු 44 ක් වයස පිරිමියෙක් එක්ක. විවාහය කියන අකුරු හතරේ තේරුමවත් නොදන්න මේ පුංචි කෙල්ලට විවාහය ගැන අහන්න තිබුනු එකම ප්‍රශ්නය "අම්මේ.. මට මගේ බලු පැටියවත් ඒ ගෙදරට අරගෙන යන්න පුලුවන්ද" කියන එක විතරමයි... චුයියාගේ ස්වාමියා විවාහයෙන් අවුරුදු දෙකකට පස්සේ මිය යනවා... විවාහය වගේම තමන් වැන්දඹුවක් උන බවත් චුයියාගේ ලදරු මනසට වැටහෙන්නේ නෑ. ශුද්ධ වූ ගංගා ජලය සාක්ෂ්‍ය කරගෙන චුයියාගේ දිග කැරලි කැරලි කොන්ඩය බූ ගාලා..අතේ දාගෙන හිටි වීදුරු වලලු බිඳලා...ඇය ජීවිතකාලයටම විධ්වාවක් විදියට ජීවත් වෙන්න ඕනිබව ප්‍රකාශ කරද්දිත් චුයියාගේ ඇස් දෙකේ තියෙන්නේ හිස් බැල්මක් විතරමයි. එල්ලුම් ගහට නියම උනු මිනිහටත් නිදහසට කරුනු කියන්න ඉඩක් තියෙද්දි, චුයියා තමන්ගේ මරණ වරෙන්තුව නිහඩව පිලිගන්නවා.. ඒ වෙන විකල්පයක් ඉතුරු නැති නිසා...

තමන්ගේ ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න වෙන වැන්දඹු නිවාසය චුයියාගේ හදිසි ආගමනය නිසා උඩු යටිකුරු වෙනවා.තවමත් සෙල්ලම් වයසේ ඉන්න මේ දගකාරිය ආගමිග ග්‍රන්ථ වලින් තමන්ගේ ආත්මය වහගෙන හිටි සාම්ප්‍රදායික වැන්දඹුවන්ගේ ජීවිතය කනපිට පෙරලනවා..ඇය රන්ඩු කරනවා... තමන්ගේ ජීවිතය ආගමික ග්‍රන්ථ වලට සීමා කලාට විරුද්ධව තමන්ට පුලුවන් තරමින් කැරලිගහනවා.ඒත් මහා සමාජ ප්‍රවාහයකට එරෙහිව යන්න චුයියායේ චුට්ටි කටහඩට බැරිවෙනවා... චුයියාගේ හඩ ආගමික පොත් අස්සෙම වැලලිලා යනවා.

කතාවේ අතුරු කතාව..
කල්‍යාණී..
විධ්වාවක් උනත් රූමත් වීමේ පවට ගණිකාවක් වෙන්න සිද්ධ උනු අහිංසක ජීවිතයක්. ඇඟ ඇතුලේ කැකෑරෙන ආසවන් සුදු සාරියෙන් වහගෙන .. තමන්ට ගරහන පිරිමින්ගේ කුපාඩි ආශාවන් නිවන්න වෙළඳ භාන්ඩයක් උනු තරුණියක්.කල්‍යාණිගේ ජීවිතයට නාරායන් එන්නේ කල්ය්‍යානී තමන්ගේ ඉරනම පිලිගන්න ඔන්න මෙන්න අවස්තාවක.නාරායන් කල්‍යානිට අලුත් බලපොරොත්තුවක් දෙනවා... සුදු සාරිය විනිවිද යන තරමට ආදරයක් උණුසුමක් නාරායන්ගේ ඇස් දෙකෙන් කල්‍යානිට දැනෙනවා.කල්‍යානී ජීවිතයට ආදරය කරන්න පටන්ගන්නවා..ජීවිතය විඳින්න පටන්ගන්නවා..හීන දකින්න පටන්ගන්නවා..කොටින්ම ජීවිතය ජීවත් වෙන්න පටන් ගන්නවා...

ඒත් ...

ආදරයට සමාජ සීමා වලින් එහාට යන්න බැරි වෙනවා..ජීවත් වෙන්න පටන් ගත්තු වරදට..ආදරය කල වරදට .. කල්‍යානි තමන්ගේ හීනත් එක්කම ශුද්ධ වූ ජලයෙම හැංගිලා යනවා.

කොහොම හරි චුයියා ජීවිතය ජයගන්නවා... මිනුස්සකම් අදුනන කීප දෙනෙක්ගේ උදව්වෙන් චුයියා සමාජ බන්ධන වලට එපිටින් තියෙන ජීවිතය හොයාගන්නවා ... සතුටු අවසානයක් වගේ පෙනුනට ශුද්ධ වූ ජලය සාක්ෂි කරගෙන විවාහ උනු කල්‍යානි වගේ තව කීදාහක් ගැහැණු ආත්ම ඒ ශුද්ධ ජලයෙම ගිලිලා මැරෙන්න ඇද්ද ? තමන්ගේ ඉරනම වෙනස් කරන්න උත්සාහ කල,උඩු ගං බලාගෙන පීනන්න ගිහින් කී දාහක් ජීවිත සැඩ පාරට ගහගෙන යන්න ඇද්ද? එහෙම පීනන්න උත්සාහ නොකර ආගමික ග්‍රන්ථ වලටයි පන්ඩිත නරුමයගේ වචන වලටයි හිස නවාගෙන ආත්ම ප්‍රතික්ෂේපිත ජීව්ත ගතකල කී දාහක් ගැහැනු අතීතයේ ඉන්න ඇද්ද?

අදටත්... අදටත් වෙන්නේ මේ ටිකම නෙමෙයිද... තට්ටේ නොගෑවත් ... සුදු සාරියෙන් ඇග නොවැහුවත් ... අදටත් වෙන්නේ මේ ටිකම නෙමේද ? පෝරුවක් උඩ නග්ගලා රත්තරන් කෙන්ඩියෙන් ශුද්ධ ජලය එකට බැඳුනු ඇඟිලි වලට ඉහලා අදටත් කරන්නේ ශුද්ධ වූ ජලයේ නාමයෙන් කාන්තා ජීවිත වහල් බවට පත් කරන එක නෙමෙයිද? අදටත් ගැහැනු වෙලා ඉපදීමේ පාපය නිසා ජීවිතය නැති කරගන්න කල්‍යානිලා කොයි තරම් නම් ඉන්නවද .... වතුර කල දෙකක් නාවල ගෙට ගත්තම පිරිසිදු වෙන පිරිමි අතරේ රෑ නමයෙන් පස්සේ ගෙදර ආවම කිලුටු ගොඩක් විදියට නින්දා අපහාස වලින් නෑවෙන කාන්තා ආත්ම අදටත් කොච්චර ඉන්නවද?


                                         මටත් අහන්න තියෙන්නේ චුයියා අහපු ප්‍රශ්නෙමයි ....

                                      කෝ පිරිමින්ගේ වැන්දඹු නිවාසේ .... ?


                          කෝ පිරිමින්ගේ අග්නි පරීක්ෂාව ... ?

Sunday, October 2, 2011

නූපන් මගේ කථාව

අම්මේ ...

අම්මේ ඇස් අරින්නකෝ ...

මට තව වැඩි වෙලාවක් නෑ ... 

එක පාරක් ඇස් අරින්න.

එකම එක පාරක්...

මම තරහ නෑ අම්මේ.. මේ ඇත්තමයි කියන්නේ.මම ටිකක්වත් තරහ නෑ අම්මත් එක්ක. ඒ නිසා ඇස් වහගෙන ඉන්න එපා.බලන්න.. දොස්තරත් බය වෙලා..මගේ ආච්ච්යි සීයයිත් බය වෙලා.. මම නිසා මහ ගොඩක් දෙනා දුක් විදිනවා.ඒ නිසා හොඳ අම්ම වගේ ඇස් අරින්නකො.

අම්මගේ කතාව මම දන්නවා අම්මේ. අම්මා කොයි තරම් අසරණද කියලත් මම දන්නවා.එහෙනම් මෙහෙම කරමු. මම මගේ කතාවත් කියන්නම්.අම්ම අහගෙන ඉන්න.හැබැයි කතාව කියලා ඉවර උනාම ඇස් අරින්න ඕනි ඔන්න.ආච්චියි සීයයි එක්ක පරිස්සමෙන් ගෙදර යන්න ඕනි.පොරොන්දු වෙනවා නේද ...!!

මම එහේ මෙහේ පාවි පාවි හිටපු ජීවිතයක්. කිසිම බරක් නැතුව සැහැල්ලුවෙන් එහෙ මෙහෙ ගිය ජීවිතයක්.ඒත් මට ඒ ජීවිතයේ වැඩි කල් ඉන්න අවසර නැතිබව මම දැනගෙන හිටියා.ඒ විතරක්මත් නෙමෙයි,මගේ වටේ හිටි අනිත් පාවෙන්නෝ පොළවට බැහැල ආදර වරුසාවක් මැද ජීවත් වෙද්දි මටත් හිතුනා තේරුමක් නැතුව පාවෙන ජීවිතෙන් අත්මිදිලා ආදරය පිරුනු තැනක නතර වෙන්න. ඉතිං මම පටන් ගත්තා මට ගැලපෙන තැනක් හොයන්න.එහෙම හොයාගෙන හොයාගෙන යද්දි තමයි මට අම්මවයි තාත්තවයි මුණ ගැහුනේ.දෙන්නත් එක්ක මූදු වෙරලේ තුරුලු වෙලා ආදරය උතුරන කථා කිය කිය ඉදිද්දි මමත් එතනම නැවතිලා ඒ ඔක්කොම අහගෙන හිටියා. තාත්තා අම්මගේ නිකට මිරිකලා, මට ඕනි ඔයා වගේම පුංචි දුවෙක් කියද්දි මට බයත් හිතුනා,මට අම්ම වගේ ලස්සන කෙනෙක් වෙන්න බැරි වෙයිද කියලා.ඒත් ඒ වෙලාවේ තාත්තගේ ඇස් වල තිබුනු ආදරය දැකලා මම හිතුවා ටිකක් කැත උනත් තාත්තා මට ආදරේ වෙයි කියලා,ඒ මම අම්මගේ දුව වුනු නිසා.

මම හැමදාම අම්මයි තාත්තයි පස්සෙන් ආවා.ඒ තරම් ආදරයක් මම මගේ පාවෙන ජීවිතේ ඇතුලේ කවමදාවත් දැකලා තිබුනේ නෑ.මට පාවීම එහෙම් පිටින්ම එපා වෙලා තිබුනා.මට ඕනි උනේ පුලුවන් ඉක්මනට අම්මයි තාත්තයි ලඟට එන්න.

මට තාම මතකයි ඒ දවස. මහ වැහි අඳුර තිබුනු මූසල පාට දවසක්.වෙනදා පුරුදු විදියටම අම්මයි තාත්තයි මුණ ගැහුනා..මමත් පුරුදු විදියටම පස්සෙන් වැටිලා ආවා. එදා අම්මා අමුතුයි,බයෙන් වගේ හිටියේ.තාත්තා මොන මොනාදෝ කිය කිය අම්මව සංසුන් කර කර හිටියා.ඒ කිවූ ගොඩක් දේ මට තේරුනේ නෑ. වෙනදා යන මුහුදු වෙරලට නැතුව තට්ටු තට්ටු ලොකු හෝටලේකට එදා අම්මයි තාත්තයි ගියේ. මට ඒක ඇතුලට එන්න බය හිතුනා.ඒ නිසා මම එලියේ නැවතුනා.
අන්න හරි..

හොඳ අම්මා.. 

ඒ විදියටම හිමින් හුස්ම ගන්න.. 

මම කැමතිම නෑ කොල පාට මැෂිමේ එන තනි තිරස් ඉරට... 

පිලිවෙලක් නැති උනත් දැන් එන ඉරි ගොඩ ඒ තනි ඉරට වඩා හොඳයි..

මම ඉක්මනට මගේ කතාව ඉවර කරන්නම්. හෝටලේ එලියේ පා වෙවී හිටි මාව එක පාරට කොහේටදෝ ඇදිලා ගියා.මට තවත් පාවෙන්න බැරි උනා..මාව කොහේ හරි හිර වෙලා.ටිකක් සිහියෙන් බලද්දි මට තේරුනා මම අම්මත් එක්ක මාස නමයක් ඉන්නයි යන්නේ කියලා.මට දැනුනු සතුට කියලා නිම කරන්න බැරි උනා.ඒත් මෙන්න අම්ම අඩනවා.තාත්තා කොයිතරම් සැනසුවත් අම්මා දිගටම දිගටම ඇඩුවා.ඒ ඇයි කියලා මට තේරුනේ නෑ.සමහරවිට මම ආපු සතුටට අඩන්න ඇති කියලයි මට හිතුනේ.

මම තීරනය කලා මම අම්මට කරදර නොකර හොඳ ලමයෙක් වගේ ඉන්නවා කියලා.වමනේ දාන්නවත්,කරකැවිල්ලවත් ඇති වෙන්නවත් නොදී දගලන්නේ නැතුව ඉන්න මම තීරනය කලා. මාස දෙක තුනක් යද්දි අම්මා එන්න එන්නම දුර්වල උනා.වෙනදා සතියට දෙතුන් පාරක් හම්බුනු අම්මයි තාත්තයි මාස ගානකින් හම්බුනේ නෑ.අම්මා දවස පුරා ඇඩුවා.වෙන්නේ මොකද්ද කියල මට හරි හැටි තේරුමක් තිබුනේ නෑ.කොහොම හරි දවස් ගානක් මොකද්ද මැෂිමකින් කතා කල අම්මා තාත්තා හම්බු වෙන්න දවසක්දා ගියා. එදත් අම්මා පැය ගානක් ඇඩුවා.තාත්තා මූණ බෙරි කරගෙන හිටියා.ඉස්සර වගේ අම්මගේ කර වටේ අත දාල මගේ සුදු මැණික කිව්වේ නෑ.අම්මට බෝවෙන ලෙඩක් තියෙනවා වගේ තාත්තා අඩි ගානක් ඈතට වෙලා හිටියා.මම ටිකක්වත් දගලන්නේ නැතුවා අම්මගේ ඇතුලට වෙලා ගුලි වෙලා හිටියා. කතාව මැද සැරින් සැරේ අම්ම බඩට අත තිබ්බ.තත්තා ඒ දිහා බැලුවේ හරියට කුණු ගොඩක් දිහා බලන ගානට. ඒ දෙන්නා කතා උනු දේවල් මට නොතේරුනත් තාත්තා අන්තිමට කියපු දේ මට තේරුනා.

උඹ එක එකා එක්ක ගිහින් බඩවල් හදාගත්තට මම පලි නෑ

****************************************************

මොකක් .. 

ඇයි තාත්තේ.. තාත්තට මතක නැද්ද මම ආවේ කොහොමද කියලා.තාත්තම නේද කිව්වේ අම්මා වගේම දුවෙක් ඕනි කියලා.අනේ අම්මට බනින්නෙපා.මම අම්ම වගේම දුවෙක් වෙන්නම්.අම්ම හරි හොඳයි.ඇයි අම්මට ඔහොම බනින්න්නේ. ඇයි ඔහොම කරන්නේ..

මට කෑ ගහලා අහන්න හිතුනා.. 

ඒත් මගේ කැලඹීමේ, දැගලීමේ ප්‍රතිපලය උනේ අම්මට නවතින්නේ නැතුව වමනේ යන්න පටන් ගත්තු එක විතරයි.

මල ජරාව.. එහෙම කියපු තාත්තා නැගිටලා යන්න ගියා.

දන්නවද අම්මේ ..එදා මට තේරුනා මේ හැමදේටම මුල මමයි කියලා.ඒත් විස්වාස කරන්න,මට කවදාවත් ඕනි උනේ නෑ අම්මට දුකක් දෙන්න,අම්මව අඩවන්න.

අම්මට හැමෝම බැන්නා. නා නාප්‍රකාර බෙහෙත් ගෙනත් දුන්නා.අන්නාසි ගැට, පාට පාට පෙති..මහ ගොඩක් වස විස.මම දන්නනවා අම්ම ඒවා බාරගත්තේ කැමැත්තෙන් නොවන බව.මම දන්නවා අම්මා මගෙත් එක්ක තරහට නොවන බව ඒ හැම දේම ඇඟට දාගත්තේ.. මමත් ඒ හැම දේම උපරිමයෙන් උරාගත්තා අම්මේ. පෙකණිවැල හරහා ඒ හැම විසක්ම පෙනහලු පිරෙන්න...මුලු ඇගම පිරෙන්න මම උරා ගත්තා.මට රිදුනා..මගේ හැම අවයවයක්ම පුදුම විදියට රිදුනා..ඒත් මම ඒ හැම දෙයක්ම විද දරා ගත්තා.මට ඕනි උනේ අම්මා ආයෙම හිනා වෙනවා දකින්න විතරමයි.

ඒත් ඒ කිසිම දේකින් මාව නැති කරන්න බැරි උනා. තාත්තා එක දවසක් කතා කරල මොනවටදෝ සල්ලි දෙන්න කැමතී කිව්වා.එදා ආච්චිලා සීයලා ඔක්කොම එකතු වෙලා ලොකූ කතාවක් තිබ්බා.මම ගුලිවෙලා මගේ ජීවිතේ ගැන තීන්දුව ගන්න හැටි අහගෙන හිටියා.මම දන්නවා අම්මේ ඒ කතාව ඇතුලේ අම්මගේ කතාවට ඉඩක් තිබුනේ නෑ කියලා.මම වගේම අම්මත් අසරනයි.ඒ මුලු වෙලාවෙම මගෙයි අම්මගෙයි ජීවිතේ තීරන ගත්තේ රැස් වෙලා හිටි අනිත් අය.ගොඩක් පින් මාව තනි නොකර බඩ උඩින් අම්මගේ අත තියාගෙන හිටියට.මගේ ඔලුවට අම්මගේ අතේ උනුසුම දැනුනා.මට හිතුනා මොනව උනත් ඒ විනාඩි ගාන වෙනුවෙන් මට ඕනි දෙයක් විඳවන්න පුලුවන් කියලා.

එතනින් පස්සේ හැමදේම හරි ඉක්මනට සිද්ධ උනා.පිට රටකට යන්න ටිකට් ගෙනාව.මම දැනගෙන හිටියා මම ඒ රටට යන්නේ නෑ කියලා.මහා රැස්වීමෙන් දවස් දෙක තුනකට පස්සේ .. අද ... අම්මයි මමයි ආච්චියි සීයයි මේ පොඩි සුදු පාට කාමරේට ආවා. මම දැනගත්තා මම අම්මත් එක්ක ඉන්න අන්තිම දවස අදයි කියලා.දුකක් නෙමෙයි මට දැනුනේ සතුටක්.. මම යන්නයි යන්නේ..අම්මා ආයෙම හිනා වේවි.තාත්තා ආයෙම අම්ම ලගට ඒවි..හැම දෙයක්ම ආයෙම තිබුන විදියට වේවි..එහෙමයි මම හිතුවේ..

අම්මා දිගටම ඇඬුවා.ඉන්ජෙක්ෂන් දෙද්දිත් දිගටම දිගටම ඇඩුවා. තාත්තත් ආව,තවත් කවුද ඇන්ටි කෙනෙක් අතේ එල්ලගෙන.එයා අම්මා තරම් ලස්සන නැති උනත් සුදු නැති උනත් තාත්තා එයාට කතා කලේ සුදූ කියලා. තාත්තා හැසිරුනේ අම්මව අදුරන්නේ නැතිගානට..

මේ මගේ යාලුවෙක් සුදූ..වැද වරද්දගෙන.තියෙන මෝඩකම තමයි ඉතින්.මගේ යාලුවෙක් නිසා මම සල්ලි ටිකක් දුන්න ඔපරේෂන් එකට...

එහෙමයි තාත්තා කිව්වේ.... මට ඒ ගැන මුකුත් හිතගන්න වෙලවක් තිබුනේ නෑ.. මහ යකඩ අඩුවක් මගේ කකුල් දෙක හිරකර ගත්තා..අනේ අම්මේ මට ගොඩක් රිදුනා.. කකුල් දෙක ඇඟෙන් ගැලවිලා යද්දි මම විලාප තිය තිය ඇඩුවා.මම හිතුවා අම්ම නැගිටලා මාව බේරගනී කියලා.ඒත් අම්මට නින්ද ගිහින් හිටියේ.. කකුල් දෙක,අත් දෙක,කෑල්ලෙන් කෑල්ලා මාව එලියට ඇදල ගත්තා..අන්තිමට මගේ ඔලුව.. මට රිදුනා අම්මේ..කියාගන්න බැරිතරම් මට රිදුනා..ඒත් මම අම්මට ටිකක්වත් වෛර කලේ නෑ.අම්මට පුලුවන්කමක් තිබුන නම් මාව බේරගන්න බව මම දැනගෙන හිටියා.තාත්තා එයාගේ සුදූ එක්ක යන්න ගියා..ආච්චි කලන්තේ දැම්මා..සීය අහක බලාගත්තා.. මගේ අවෂේශ මේසයක් උඩ ගොඩගහල තිබුනා. ලේ ගොඩක් මැද අත පය ඔලුව වෙන වෙනම දාල තියෙන්නේ අම්මගෙයි තාත්තගෙයි ආදරය නේද කියලයි මට හිතුනේ...

ඕකයි අම්මේ මගේ කතාව..
කිව්වනේ .. මම තරහ නෑ.මට ඕනි අම්මා ආයෙම හිනා වෙලා ඉන්නව බලන්න. මම ආයෙම පාවෙන්නෙක් වෙනවා..පා වෙවී ඉන්නවා.. මට තේරුම්ගන්න බැරි ආදරයක් හොයගෙන ගිහින් තවත් අම්මා කෙනෙක්ගේ හිතට දුක් නොදී මම හැමදාම පාවෙන්නෙක් වෙනව.
ඇස් අරින්න අම්මේ..අම්මට ජීවිතයක් තියෙනවා.. වෙන රටකට ගිහින් සතුටින් ඉන්න..

දැන් ඇස් අරින්න.. මට යන්න කලින් බලගන්න ... !!

අන්න හරි... කොල පාට ඉර දැන් හරි..ආච්චි සතුටින්..සීය සතුටින්..
දොස්තරට හුස්ම වැටෙන්න ගත්තේ දැනුයි ..

මම යනවා අම්මේ..

මම හැමදාමත් අම්මට ආදරෙයි ...

බුදුසරණයි !!