බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, September 19, 2011

කෙටි කථාවක් ...

හැමෝම කියනවා පොතක් ලියන්නලු.. ආසවක් නැතුව නෙමෙයි. ඒත් මගේ හිතට එන අදහස් වලට සීමවක් මායිමක් නැති නිසා පොතක් වෙනුවට පොත් වැලක් ලියන්න වෙයි එක කථාවක් ඉවර කරන්න ... ඒ කොහොම උනත්.. කථාවක් ලියන්න උත්සාහ කරල බලන්න හිතුනා .. පොඩි බොලඳ එකක් .. ජේන් ඔස්ටින් ලියන ජාතියේ සාහිත්‍යමය කථාවක් නෙමෙයි .. සරල බොලඳ කතන්දරයක් .... 

තාරුකා

රොබින් හුඩ් නාට්‍යයේ අනුවාදනයත් එක්ක තිසරගේ ජංගමය එකොළොස්වෙනි වතාවටත් සිංදු කියන්න පටන් ගත්තා... දුරකතන තිරය දිහා බලපු තිසරට ආවේ ඉහ වහා යන කේන්තියක් ...

මේ ගෑණි මොන එහෙකට මට ආයෙම කතා කරනවද මන්දා ... කාලයක් සද්ද නැතුව හිටියා ..ආයෙම පටන් අරගෙන ... ඉවරයක් නෑ කරදරේ. අවුරුදු එකහමාරක් ගිහිල්ලත් මේ ගෑනිට බැරි හැටි තමන්ගේ පාඩුවේ ඉන්න ... අද නම් කියනව කන්දෙකේ ඇඟිලි ගහන්න.. කොච්චර උනත් කෙල්ලෙක්නේ.. ලැජ්ජාවක් ඇතිනේ ...

නපුරුකමින් ඇබරුනු මූණින් තිසර දුරකතනට උත්තර දෙන්න තීරණය කලා..

එහා පැත්තෙන් හලෝ කියන්නත් කලින් තිසර තමන්ගේ හිතේ තිබුනු කෙන්තිය එහෙම්පිටින්ම පිට කරගෙන කරගෙන ගියා. මොන මොනා කිව්වද කියලා තිසරටත් මතක නැති තරම්.ඔක්කොම කියල ඉවර වෙලත් අනිත් පැත්තෙන් කිසිම සද්දයක් නැති තැන තිසර ටිකක් පුදුම උනා ..

හලෝ .. ඇයි තමුසේ කතා නැත්තේ? කෝල් කලේ මොනා හරි කියන්නනේ..මොකද සද්ද නැත්තේ?

හලෝ .. තිසර අයියේ .. මම තාරුකාගේ නංගී කතා කරන්නේ ..

තිසරට ටිකක් පුදුම හිතුනා. තාරුකාගේ නංගී කවමදාවත් තිසරට කතා කරලා නෑ.. ඒ ගමන මොන නැටුමකට එනවද දන්නේ නෑ කියලත් හිතුන තිසරට ..

ආ.. ඇත්තද .. ඉතිං ඇයි කතා කලේ ?
අයියේ ... අක්කට සනීප නෑ. එයා ඉන්නේ ආසිරි සෙන්ට්‍රල් එකේ .. ඔයාට පුලුවන්ද ටිකකට ඉස්පිරිතාලෙට එන්න ?
ටිසර ටිකක් කලබල උනා.. තාරුකා ඇයි ඉස්පිරිතාලේ .. අනික එයා ඉස්පිරිතාලේ කියලා ඇයි මට කතා කරන්නේ ..එහෙමයි තිසරට හිතුනේ ..
කොහොම උනත් හතුරෙක් හරි ඉස්පිරිතාලේ කිව්වම බලන්න යන එක මනුස්සකමනේ කියලා හිතුනා තිසරට.. ඒ එක්කම තාරුකා එක්ක ගත කල අවුරුදු දෙක තුනත් මතක් උනා.කොච්චර උනත් පව්.ඔන්න ඔහේ ගිහිල්ලා බලන එක හොදයි කියල තිසරට හිතුනා.

හරි නංගී මම එන්නම් .. කොයි වෝඩ් එකේද ඉන්නේ ...?
අයියා එන්න.. ඇවිත් රිං එකක් දෙන්න.. මම එන්ට්‍රන්ස් එක ලගට ඇවිත් ඉන්නම්.

වෙන මුකුත් අහන්න කලින් කෝල් එක කට් උනා. ඔෆිස් එකෙන් හාෆ් ඩේ එකක් ගත්තු තිසර ඉස්පිරිතාලෙට යන්න පිටත් උනා. ඒ යන අතරමග තිසරට මතක් උනා ඉෂානි ව ගන්න එයාගේ ඔෆිස් එක ලගටත් යන්න ඕනි නේද කියලා. එදා හවස දෙන්න එක්ක ගෝල්ෆේස් යන්න ප්ලෑන් කරල තිබුනේ.. ඒ සොඳුරු හැන්දෑව ගැන හීන මව මව ගිහින් තිසරට බහින තැනත් අමතක උනා.. කොහොම හරි හෝල්ට් එකක් පරක්කු වෙලා බැහැලා ආපහු ඇවිදගෙන එන ගමන් තිසරට හිතුනා තාරුකා දැන් කොහොම ඇතිද කියලා. මාස ගානකින්,අවුරුද්දක් විතරද මන්දා , කතා කලේවත් හම්බුනේවත් නැති නිසා තාරුකාව දැක්කම අදුරගන්නත් බැරි වෙයි කියල තිසරට හිතුනා .. කොහොම උනත් ඉස්පිරිතාලේ දොරටුව ලඟට ගිය තිසර තාරුකාගේ අංකෙට ඇමතුමක් ගත්ත .. විනාඩි පහකින් විතර තාරුකාගේ නංගී එතෙන්ට ආව. තිසරට පලවෙනි වතාවට අතීතේ මතක් උනා. ඉස්සර තාරුකාගේ ගෙදර ගිය හැටි ..නංගීට විහිලු කල හැටි ... ඒ හැටි පැහැදිලි නැති උනත් එහෙම අතීතයක් තිබුනා කියල තිසරට මතක් උනා ...

ගොඩක් ස්තූතියි අයියේ ආවට ... තාරුකාගේ නංගී කිව්වේ තිසරගේ මූන දිහා කෙලින් නොබලා. එයාගේ මූණ දැක්කම තිසරට තේරුනා කොහේ නමුත් මොකක් හරි වැරැද්දක් තියෙන බව.

ඕක මොකද්ද නංගී.. කෝ දැන් තාරුකා? ඇයි එයා ඉස්පිරිතාලේ?මොකද්ද අසනීපේ?
නංගී එක පාරට අඩන්න ගත්තා.. තිසර හොදටම කලබල උනා..දෙනෝ දාහක් මැද්දේ කෙල්ලෙක් අඩද්දී මොනවා කියලා කරන්නද .. ඉෂානි අඳුරන කවුරු හරි හිටියොත්.. තිසරට හීන් දාඩිය දැම්ම.

ඇයි නංගී අඩන්නේ.. මේ මිනිස්සුත් බලනවා.එන්න අපි එහාට ගිහින් කතා කරමු.
හිමින් සැරේ පැත්තකට ගිහින් තිසර ආයෙත් ඇහුවා තාරුකාට මොකද්ද හැදිලා තියෙන අසනීපේ කියලා.
අයියේ ... අක්කා ඉන්නේ ICU එකේ.. එයාට හොඳටම අමාරුයි. එයා ... එයාට ... එයාට තව පැය 24යි උපරිමයෙන් තියෙන්නේ ...

තිසරට කැරකැවිල්ල ගතියක් දැනුනා..දුකක් කනගාටුවක් නොවුනත් ටිකක් පුදුමයක් වගේ පැටලිලි හැඟීමක් දැනුනා.තාරුකා ඇයි ICU එකේ..එයාට කිසිම අසනීපයක් තිබුනේ නෑනේ..මොකද එක පාරටම උනේ ... තිසරට ප්‍රශ්න ගොඩක් මතක් උනා අහන්න.ඒත් තාරුකාගේ නංගී එක දිගට අඩන අස්සේ ඕවා කොහොම අහන්නද. ඒත් එක ප්‍රශ්නයක් නම් අහන්නම හිතුනා තිසරට.

ඉතිං ඇයි මට එන්න කිව්වේ?

අක්ක ඔයාට එන්න කියන්න කිව්ව ..එයාට සිහි නැති වෙන්න කලින් අන්තිමටම කිව්වෙ ඔයාට එන්න කියන්න කියලා..
ඒකයි.. 

තාත්තයි අම්මයි නම් කිව්ව ඔයාට එන්න කියන්න එපා කියලා.ඒත් අක්ක ගැන දන්නේ මමයි.. එයාගෙ අන්තිම ඉල්ලීම ඉෂ්ට නොකර ඉන්න මට බෑ.

හ්ම්ම්.. තිසරට හිතාගන්න බැරි උනා මොනව කරන්නද මොනව කියන්නද කියලා.කොහොම උනත් ආපු එකේ තාරුකාව බලලම යනව කියල තිසර හිතාගත්තා.මෙතන කාලේ නාස්ති කරන්නේ නැතිව ඉක්මනට එකට ගියා නම් තාරුකාව බලලා වෙලාවට ඉෂානි ව හම්බෙන්න යන්න පුලුවන් කියල තිසර හිතුවා.

හරි නංගී.අඩන්න එපා.අපි බලමුකො.සමහරවිට අක්කට සනීප වෙයි. තාරුකාගේ නංගී හිනා උනා..හරියට විහිලු කතාවක් ඇහුවා වගේ. තිසර ICU එකට ගියා.තාරුකාගේ අම්මයි තාත්තයි තව අදුරන්නේ නැති බොහෝ දෙනෙකුයි එතන හිටියා. අම්මයි තාත්තයි නම් තිසරගේ මූනවත් බැලුවේ නෑ. හිටපු අනිත් අය අතරේ ඉස්සර තිසරගේ යාලුවෝ වෙලා හිටපු කීප දෙනෙක් ආව තිසර එක්ක කතා කරන්න.තිසරට අඩුමගානේ ඒ අයගේ නම්වත් මතක තිබුනේ නෑ.කොයි තරම් කාලෙකට ඉස්සර තිබුනු යාලුකම්ද. කතා කරන්න ආපු අයට හිනාවකින් ප්‍රතිචාර දක්වපු තිසර ICU එක ඇතුලට ගියා..බැලූ බැල්මට බෙඩ් ශීට් ගොඩක් මිස මනුස්සයෙක් ඉන්න පාටක්වත් තිසරට පෙනුනේ නෑ..දෙවෙනි වතාවට බලද්දි දි රෙදි ගොඩ අස්සෙන් ඇට කටු පෑදුන මනුස්ස සරීරයක් තිසරට පෙනුනා.

තාරුකා ...

කිව්ව නෙමෙයි තිසරට එහෙම කිය උනා. 
මේ නම් තමුන් දැනගෙන හිටි තාරුකා නෙමෙයි. ලස්සන නැති උනත්, ගැහැනු ගතියක් ගෑවිලාවත් තිබුනේ නැති උනත්, කොයි වෙලෙත් කට පියවන්නේ නැතුව රේඩියෝවක් වගේ දොඩවපු ගෑනු ලමයා නෙමෙයි එතන හිටියේ. මේ එහෙම්පිටින්ම ඇටකටු ගොඩක්.. අඳුරන්නේ නැති,දැකලා නැති ඇටකටු ගොඩක්..

තිසර එතන තිබුනු පුටුවේ වාඩි උනා.මොකක් වෙලාද..ඇයි මෙහෙම උනේ.. කොච්චර උනත් කාලයක් තමන්ගේ යාලුවෙක් වෙලා හිටි කෙනෙක් නේද මේ කියලා තිසරට හිතුනා..ඇල්ලුවත් දෙකට කැඩෙයි වගේ කියලා හිතුන නිසා තාරුකාගේ අතින්වත් අල්ලන්න තිසරට හිතුනේ නෑ.අනික මේ තාරුකා නෙමෙයි.මහ ගොඩක් මැෂින් මැදි කරගෙන ඇඳේ ඉන්න ඇට සැකිල්ල තාරුකා නෙමෙයි කියලමයි තිසරට හිතුනේ.
මුලු කාමරේටම ඇහුන එකම සද්දේ ECG මැෂින් එකේ මූසල සද්දේ විතරයි..තාරුකා දිහා තව එක පාරක් බලපු තිසර කාමරෙන් එලියට ආව. ඉස්සර තිසරගෙත් යාලුවො වෙලා හිටපු තාරුකාගේ යාලුවෝ ඇවිත් තිසර එක්ක කතා කලා.

බලපං මචං .. මෙච්චර අමාරු වෙනකන් අපි කවුරුත් දන්නේ නෑනේ. අපි හිතුවා උඹ දන්නව ඇති කියලා..ඒත් නංගී කිව්වමයි දන්නේ උඹත් එන්නේ දැන් කියලා..

හ්ම්ම් ..එපමනකින් ප්‍රතිචාර දක්වපු තිසර කල්පනා කලා මොකද කරන්නේ කියලා.. තාරුකාගේ තත්වේ අවදානම්.නංගී කිව්ව දේ ඇත්ත නම් තාරුකා හෙට මේ වෙලාවට යන්න ගිහින්.මේ වගේ වෙලාවක මම ගියොත් ඒක හොඳ මදී.යාලුවො උනත් මොනව නොකියයිද... එහෙම හිතපු තිසර ඉෂානි ට කෝල් එකක් ගත්තා.

ඉෂානි අද මට එන්න වෙන්නේ නෑ.. මේ ඔෆිස් එකේ වාත කේස් එකකට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නේ. හොඳ කෙල්ල වගේ පරිස්සමින් ගෙදර යන්න.හෙට යමු ගෝල්ෆේස්. කෝල් එක කට් කල තිසරට ඉෂානිගේ ඇද උනු මූන මැවිලා පෙනුනා..කමක් නෑ,හෙට වෙද්දි මේ කරදරේ ඉවරයිනේ ..දවසක්ම ඉෂානි එක්ක ඉන්නවා... තිසර එහෙම හිතුවා.

හැමෝම තැන තැන එකතු වෙලා කතාව.තමුන් ඒ එකම කණ්ඩායමකටවත් අයිති නෑ කියලයි තිසරට හිතුනේ.ඉස්පිරිතාලේ කැන්ටීන් එකෙන් ෆැන්ටා එකක් බීලා එනවා කියලා හිතාගෙන තිසර ඒ පැත්තට ගියා..
ඔයා තිසර නේද? ස්ටෙතස්කෝප් එකක් අතින් ගත්තු කෙනෙක් ඇවිත් තිසරගෙන් ඇහුවා.

ඔව්..මේ කව්ද කියලා මතක් කරගන්න උත්සාහ කරන ගමන් තිසර කිව්වා.
මම මාධව. තාරුකාගේ යාලුවෙක්..හොඳම යාලුවෙක්.. මම ඔයාව දන්නවා.තාරුකා මට ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා ඉස්සර..
ආ ඇත්තද .. තිසර අන්ද මන්ද වෙලා කිව්ව.
ඔයත් මාව දැකල තියෙනවා..ඒත් අමතක ඇති දැන්.සෑහෙන්න කාලෙකට ඉස්සරනේ..
හ්ම්ම් වෙන්න ඇති..
ඒක නෙමෙයි තිසර..මට ඔයාගෙන් වැදගත් දෙයක් අහන්න තියෙනවා.
මොකද්ද ..?
ඔයා දැනගෙන හිටියද තාරුකාට brain tumor එකක් තියෙනවා කියලා?
Tumor එකක් ගැන නම් මම දන්නේ නෑ.එයාට ඉතිං කොයි වෙලෙත් ලෙඩනේ..ඔලුව රිදෙනව කියල නම් නිතරම කිව්ව.. තව එක එක රිපෝට් ගන්න කතාත් ඉදල හිටල කිව්ව.. මට එයාව අවුද්දකින් විතර හම්බුනෙත් නෑ කොහොමත්.මට සෑහෙන්න වැඩ ඉතිං. තාරුකත් එක්ක තිබුනු යාලුකම එහෙමම දුරස් වෙලා ගියා.
ඒකත් එහෙමද ... මම හිතුවා මගේ ප්‍රශ්නෙට උත්තරේ මට තිසරගෙන් ලැබෙයි කියලා..
මොකද්ද දැන් ප්‍රශ්නේ ..? තිසර ඇහුවේ පුදුමෙන් වගේ ...
තිසර ..තරුකාට brain tumor එකක් තිබුනා..එයා ඒකට ගොඩක් කල් ඉදන් බෙහෙත් ගත්තා. බෙහෙත් වලින් තමයි එයාගේ අසනීපේ පාලනය වෙලා තිබුනේ.ඒත් එයා මීට අවුරුදු දෙකකට තුනකට කලින් බෙහෙත් ගන්න එක නවත්තලා.. එහෙම්පිටින්ම නවත්තලා නෑ.ඒත් එයා නියමිත විදියට බෙහෙත් අරගෙන නෑ..ඒක හරියට එයා සියදිවි නසා ගන්න තීරනය කරලා වගේ ..
මොකක් .. තිසර ටික වෙලාවකට ගල් උනා ...
ඔව්.. මීට අවුරුදු දෙක තුනක ඉදන් එයාගේ මොලේ තිබුනු ගෙඩිය ටික ටික වැඩි වෙලා.. මේ කෙල්ල කොහොම මේ හැම දේම හංගගෙන හිටියද මන්දා... සමහරවිට pain killers බිබී ඉන්න ඇති ... කොහොම හරි..අන්තිම stage එකට ආවට පස්සෙ තමයි හැම දෙයක්ම එලි උනේ ... දැන් අපි පරක්කු වැඩි ...
එයා එයාට ඕනි වෙලා තිබුනු ගමන එයා යයි ..අද හරි හෙට හරි ...

තිසරට කතා කරගන්න අමතක උනා.. අවුරුදු දෙක තුනකට කලින් ඉදන් තාරුකා සිය දිවි නසාගන්න තීරනය කරල..ටික ටික... තිසරට අවුරුදු දෙක තුනකට කලින් උනු හැම දේම මතක් උනා... තාරුකා එක්ක එකට හිටපු හැති ... කතා කල දේවල් .. ඊට පස්සේ ඉෂානි ව මුණ ගැහුන හැටි .. තාරුකාව අමතක කල හැටි .. තාරුකා පිස්සුවෙන් වගේ අඩාගෙන පස්සෙන් ආපු හැටි ... එතකොට බෙනල එලවපු හැටි .. ඉෂානි ගේ සතුට මිස තාරුකා හිටියද කියලවත් ඒ කාලේ හොයල බලන්න අමතක උනා නේද කියලා තිසර්‍රට මතක් උනා ...
ඒත් තිසරට ඇති උනේ දුකක් නෙමේ ..තිසරට ඇති උනේ තරහක්.. තාරුකා ට පිස්සු. තමන් දීපු අනුකම්පාව ආදරයක් විදියට වරදවා වටහා ගත්ත තාරුකා ගැන තිසරට ඇති උනේ තරහක්.

මම එක එක කතා කිව්ව තමයි..ඒත් තාරුක ඒ තරම් මෝඩයිද ඒව හැම දේම ඇත්තට ගන්න.එයාට මම කවදාවත් ආදරෙයි කියල නෑනේ.අනුකම්පාවයි ආදරයයි පටලවගන්න තරම් තාරුකා මෝඩ උනාට මම මොනව කරන්නද.ඉෂානි කිව්ව දේ හරි,එයා වගේම මටත් කෙලින්ම කිව්ව නම් හරි හැමදේම. ඒත් ඉතිං මම මොන එහෙකටද තාරුකට ඉෂානි ගැන කියන්නේ.තාරුකා කව්ද මගේ පෞද්ගලික දේවල් කියන්න.එයත් එක්ක හිටිය,ඒ කාලේ ගත කලා,ඒක එච්චරයි.මේ මෝඩ ගෑනිට ඒ ටික තේරුනේ නැති හැටි..අපරදේ ජීවිතේ විනාස කරගත්තා.. තිසර එහෙම හිතුවා.

මේ මුලු කාලේ පුරාම මාධව තමුන් දිහා බලගෙන හිටි බවවත් තිසරට මතක තිබුනේ නෑ..

තිසර බර කල්පනාවක වගේ.තාරුකා ගැන මට වඩ හොඳට තිසර දන්න බව මම දන්නවා.එයත් එක්ක ඉන්න.එයාට තව වැඩි වෙලාවක් නෑ..එහෙම කියපු මාධව නැගිටල යන්න ගියා.

කාලය ටික ටික ගෙවිලා ගියා.තාරුකාගේ යාලුවො නෑදෑයෝ,තරහකාරයෝ,හැම දෙනාම ආව ගියා.තිසරත් ඔහේ ඉඳගෙන හිටියා.කිසිම දෙයක් හිතුනේ නෑ.තාරුකා ගැන තරහක් විතරයි තසරගේ හිතේ තිබුනේ.ඒ වගේම මේ කිසිම දේකට තමන් වග කියන්න ඕනි නෑ කියලත් තිසර කල්පනා කලා.

අද මම මේ ඇවිත් කන කට්ටම මදිද ... ඉෂානි එක්ක ඉන්න තිබුනු වෙලාව ඉස්පිරිතාල බංකුවක් උඩ ගෙවන එකම මදිද ..තාරුකාගෙ අම්ම මොන එහෙකට මට ඔරවනද මන්දා..තාරුකා කියන්න ඇති එයා මමයි අතරේ සම්බන්ධයක් තිබ්බ කියලා.පුදුම ෆැන්ටසියක හිටපු කෙල්ලෙක්නේ .. 

රෑ දෙගොඩහරි ජාමේ කොහෙදෝ ඉදන් තාරුකාගේ නංගී තිසර ව හොයාගෙන ආවා.

අයියේ .. අක්කට සිහිය ආවා ... කනට ඇහෙන නෑහෙන තරම් හිමින් එයා කිව්වා.

හ්ම්ම් .. තිසර නැගිට්ටා ..හිමි හිමීට එකට ගියා. කවුරුත් නෑ.තාරුකා කියල කියන ඇට කටු ගොඩ විතරක් මූසල කාමරේ මැද්දේ ඉන්නවා .. තිසර ඇඳ ලඟින් ඉද ගත්තා.. මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නකොට තාරුකා හිමි හිමීට ඇස් ඇරියා.. පලවෙනි වතාවට තිසර හිස්කබලට ගිලුනු ඇස් බෝල දෙකක් අස්සෙන් තාරුකාව දැක්කා.ඒ ඇස් .. ඒ ඇස් තාරුකාගෙමයි ... එක දවසක් තිසර දිහා බලගෙන ඉදිද්දි..අම්මෝ ඔයාට තියෙන්නේ හරිම භයානක ඇස් දෙකක් කියන්න තරම් දිලිසුන තාරුකාගෙ ඇස් දෙක ඔලු කට්ටක් ඇතුලේ ඉඳන් තිසර දිහා බලගෙන හිටියා.. තාරුකාගේ ඇඟේ පන තියෙනවා කියලා ලකුනක් හරි තිබුනු එකම අවයවය ඒ ඇස් දෙක විතරමයි.. ඒ ඇස් දෙකේ තාරුකා ජීවත් උනා.

තිසරට එක මොහොතකට ඉෂානිව අමතක උනා. තිසර තාරුකාගේ ඇට පෑදුනු අතින් අල්ලගත්තා ...
ඇයි ... තාරුකා ඇයි මේ ... තිසරට අහන්න පුලුවන් උනේ එච්චරයි ...

තාරුකාගේ ඇස් කෙවෙනි දෙකෙන් බේරුනු කඳුලු බින්දු දෙකක් සුදු බෙඩ්ෂීට් එක උඩට වැටිලා බොඳ වෙලා ගියා..එකක් පිටිපස්සේ එකක් කඳුලු බින්දු පෝලිමේ කම්මුල තිබුනු තැන අද තියෙන කම්මුල් ඇටේ දිගෙ බේරුනා. තාරුකා මුකුත්ම කිව්වේ නෑ..ඔහේ තිසර දිහා බලගෙන හිටියා..

තිසරට මොනව කරන්නද කියල තේරුනේ නෑ..ඉෂානි එක්ක යාලු උනු දවස් වල තාරුකා කත කරල රන්ඩු වෙද්දි කට වහගෙන හිටපන් කියපු හැටි තිසරට මතක් උනා..ඒ වහන්න කියපු කටෙන් අද එක වචනයක් කියනව නම් කොච්චර හොඳද කියල තිසරට හිතුනා.කවදාවත් තාරුකාගේ නිශ්ෂබ්දතාවයක් අත්විඳලා නැති තිසර මොනව කියන්නද කියල හිතගන්න බැරුව ගොලු උනා.. තවත් තාරුකාගේ මූන දිහා බලන්න ඉන්න බෑ කියල තිසරට හිතුනා.. තිසර නැගිටින්න හැදුවා..

එතකොට තිසරගෙ අතට හිර වෙලා තිබුනු තාරුකාගේ අතින් තිසරගේ අතේ ඇඟිලි තද වෙනව තිසරට දැනුනා.. කිසිම හැඟීමක් නැති ඇස් දෙකෙන් තමන් දිහා බලගෙන ඉන්න හිස් කබලක් මිස වෙන මුකුථ් ආපහු හැරිලා බලපු තිසරට පෙනුනේ නෑ.ඒත් අතට හිර වෙලා තිබුනු තාරුකාගේ ඇගිලි වල ලාවට නැගුනු උනුසුම තිසරට දැනුනා.. කත කරගන්න බැරි උනත් තාරුකාගේ ඉල්ලීම තිසරට තෙරුනා.. තිසර ආයෙම ඉඳ ගත්ත..
තිසරට දැනුනා අතේ ඇඟිලි වලින් තාරුකා තමන්ගේ කථාව තිසරට කියනවා කියලා..තාරුකාගේ අතින් ආපු සිතිවිලි වැල තිසරගේ හිතට දැනුනා ...
කඳුලු වැල් බේරෙන හිස් ඇස් දෙක දිහා බලාගෙන තිසර තාරුකාගේ කතාව අහගෙන හිටියා ...

තිසර ... සමාවෙන්න එන්න කිව්වට.. මට ඔයා නොදැක යන්න බෑ කියලා හිතුනා..ඒකයි එන්න කිව්වේ.මම ඔයත් එක්ක තරහ නෑ..මම යන්නේ ඔයත් එක්ක තරහට නෙමෙයි.. හැමෝම හොයනව ඇති ඇයි මම බෙහෙත් ගත්තේ නැත්තේ කියලා..මට මහන්සි තිසර.. මට ජීවත් වෙලා මහන්සි. මට මිනිස්සු වෙනුවෙන් හිනා වෙලා මහන්සි. ඇත්ත ඔයා කවදාවත් මට ආදරෙයි කිව්වේ නෑ. ඔයගේ හැසිරීමෙන් එහෙම දෙයක් හිතාගත්තු මමයි වැරදි. ඔයා ඉෂානිට ආදරය කරනව කියල ඉෂානි කිව්වම මට දරාගන්න බැරි උනේ මගේ ෆැන්ටසිය මගේ ඇස්පනා පිටම කඩාගෙන වැටුනු නිසයි..මම ගොඩක් දේ කිව්ව..ඔයාට සීමවක් නැතුව බැන්න ..තරහට නෙමෙයි තිසර ... මට ඇත්තට මූන දෙන්න බැරි නිසයි ඒ හැම දෙයක්ම කලේ.. මගෙත් එක්ක තරහ වෙන්න එපා කවදාවත්.

මම යනවා... මම යන්නම යනවා... ඒක ඔයගේ ජීවිතේට ලොකු වෙනසක් නෙමෙයි. ඔයාට මම හිටියා කියල කවදාවත් දැනුනේ නෑනේ. ඒත් මට ඔයා මගේ ලඟ හිටියා..අද වෙනකන් මම අපේ අතීතේ ජීවත් උනා.. මම යන්නේ ඒ අතීතය මතකයේ තියගෙන... දුක් වෙන්න එපා.. මම යන්නේ සතුටින්.. ඔයා මගේ ලග ... තවත් මොනවද මට දුක් වෙන්න තියෙන්නෙ ... ඔහොමම ඉන්න..ඔහොමම මා දිහා බලගෙන ඉන්න.. මට බයයි ඔයා අහක බලයි කියල. මට ඕනි ඔය ඇස් දෙක දිහාවම බලගෙන නිදාගන්න .. ඔහොමම ඉන්න තිසර ... ඔහොමම ඉන්න ..

තිසරට නොදැනිම තිසරගේ ඇස් වලටත් කඳුලක් ඉනුව. කොච්චර නරක උනත් ..කැත උනත් .. හැදියාවක් නැති උනත් ..මේ ඇදේ ඉන්න කෙල්ල තමන් වෙනුවෙක් එක දවසක් හරි හිටිය නේද කියල තිසරට හිතුනා.ඉෂානි ට වගේ ආදරයක් දෙන්න සුදුසු නැති උනත් මේ කෙල්ල ගැන පහු ගිය කාලෙ ටිකක් හොයල බැලුව නම් හොඳයි කියලත් තිසරට හිතුනා ...

තිසරගේ සිතිවිලි වැල ECG machine එකේ අමුතු සද්දෙන් එක මොහොතකත නැවතුනා.මේ වෙනකන් රිද්මයට ඇහුනු සද්දෙ එන්න එන්නම වෙනස් වෙනව කියල තිසරට හිතුනා. දොස්තරල දෙන්නෙක් දුවගෙන ආව.. තිසරගේ අතට බැඳිලා තිබුනු තාරුකාගේ ඇගිලි වෙන් කරන්න එක දොස්තර කෙනෙක් උත්සාහ කලා.. ඒත් ඒ ඇඟිලි වෙන් කරන්න බැරි තරම් තදට බැඳිලා තිබුනා... උත්සාහය අතෑරපු දොස්තර electric shock එක දෙන්න පටන් ගත්ත.

මොනව වෙනවද කියල නිනව් නැතුව තාරුකගේ අත අල්ලගත්තු ගමන් තිසරත් ඔහේ බලන් හිටිය....

1 2 3 ok ...
තාරුකගේ සිරුර සුදු ඇඳ ඇතිරිලි උඩින් එක පාරට ගැස්සුනා.
දොස්තරලගේ මූනේ තිබුනේ බලපොරොත්තු කඩ උනු පෙනුමක්. 


1 2 3 ok ..
ආයෙත් පාරක් ...
දොස්තරලා උත්සාහය අතඅරින්නේ නැති පාටයි.

ඒත් ...

පරක්කු වැඩි බව තිසරට තේරුනා. තාරුකාගේ අතින් කාන්දු වේවී තිබුනු රස්නෙ ටිකින් ටික අඩු වෙලා ගිහින් නැත්තටම නැති වෙන හැටි තිසරට දැනුනා ... ඊට මොහොතකට පස්සෙ ECG යන්ත්‍රය එක දිකට තිරස් රේඛවක් පෙන්නුව...

තාමත් ඇරිලා තිසර දිහාවට යොමු වෙලා තිබුනු තාරුකාගෙ ඇස් දිහා තිසර එක මොහොතකට බැලුව. දුකක් වේදනාවක් නෙමෙයි..ඒ ඇස් වල තිබුනේ සතුටක් ... හැම කරදරයකින්ම මිදුන වගේ පුදුම නිස්කලංක හැඟීමක්. තාරුකාගෙ අතෙන් තමන්ගේ අත ගැලෙව්වේ කව්ද, කොහොමද කියල තිසරට මතකයක් තිබුනේ නෑ. ගොඩක් දේ උනා..ගොඩක් දෙනෙක් ඇඩුවා..තව මොන මොනාදෝ උනා කියලා තිසරට හීනෙන් වගේ පෙනුනා. තිසර ICU එකෙන් එලියට ආව. ජංගමය පැය ගානක් තිස්සෙ නාද වෙනවා කියලා තිසරට දැනුනේ එතකොටයි...

ඔව් ඉෂානි කියන්න ...
ඔව් තාම ඉස්පිරිතාලේ ..
මේ ඉෂානි .. හෙට නෙමෙයි අපි අනිද්ද හම්බුවෙමු හොඳෙ..අර මම කිව්ව ලෙඩා මේ දැන් නැතිඋනා ... මම ඔයාට හෙට කතා කරන්නම්..දැන් නිදා ගන්න.

ජංගමය නිවා දාපු තිසර ඉස්පිරිතාලේ ජනේලෙන් නොනිදන කොලඹ නගරය දිහා බැලුවා... ඒ විදුලි එලි අතරෙන් අන්තිම නින්දට වැටුනු තාරුකාගේ ඇස් දෙක තිසරට පෙනුනා ... !!




Sunday, September 11, 2011

ආදරයේ සරල සිත්තමක් ....

ආදරය ... කොයි තරම් කතා කලත් .. කොයි තරම් පරන මාතෘකාවක් උනත් විශ්වය පවතින තාක් කල් කාටවත්ම එපා නොවෙන සදාතනික මතකයක් ... මහා කවි කාලිදාසයන්ගේ මේඝ දූතයේ ඉදලා ... විලියම් ෂෙක්ස්පියර් යුගයත් පහු කරගෙන .. සහස්‍රකය වෙනකන් ආපු දිග ගමනෙන් ආදරය කියන අකුරු හතරට කිසිම මහන්සියක් කළකිරීමක් නෑ.. එදා වගේම අදත් හැම දෙනාම කොයි කොයි හැටියෙන් හරි ආදරය විඳිනවා ..නැත්නම් විඳවනවා ... ආදරය විශ්ව සත්‍යයක් ... :)

ලොකු ලොකු බරසාර වචන වලින් විතරක් නෙමෙයි .. සරල බොලඳ වචන වලිනුත් ආදරයේ  නොපෙනෙන මානයන් හොයගෙන යන්න පුලුවන් ... මම සම්භාව්‍ය නිර්මාණ වලට වැරදි කියනවා නෙමෙයි .. මට පෙන්නන්න ඕනි ශේක්ස්පියර් ... ජේන් ඔස්ටින් ... කථා වලින් එහා මානයක .... හෝඩි පොත් භාෂාවෙන් උනත් ආදරයේ අකුරු හතරට ...ජීවයක් පැවැත්මක් තියෙනවා කියලයි .... !!

ඒ නිසා .. අද මම ලියන්නේ සරල නිර්මානයක් ගැන.. මම ආදරය කරන..මම පෙරේත ..සරල ආදර චිත්‍රපටියක් ගැනයි අද ලියන්නේ .. film එකේ නම  WakE Up SID :)

මෙන්න මෙයා තමයි SiD ;)


ජීවිතයක් ගැන බරක්පතලක් නැති ... ඔහේ පාවෙන ජීවිතයක් ගෙවන පිස්සු කොලුවෙක් ... කෑමක් බීමක් හදා ගන්නවත් .. ඇදුමක් හෝදගන්නවත් ... අඩුමගානේ තමන් නිදිය ගන්න තැන අස් කරගන්නවත් නොදන්න .... අහසින් වැටුනු ජීවිතයක් ... ලෝකෙට මුහුන දීල පුරුදු නැති.. සමාජය අදුරන්නේ නැති .... සමනල ලෝකෙක ජීවත් වෙන පිස්සුම පිස්සු චරිතයක් ...

එතකොට මෙයා තමයි  AisHa :)



මේ Sid ගේ ප්‍රතිලෝමය.. හැම දෙයක් ගැනම මහා බරපතලෙට හිතන .. සරල ෆැන්ටසියක ලස්සන කවදාවත් නොදැකපු අධි යථාර්තවාදී චරිතය ....කඩා හැලෙන ලස්සනක් නැති .. ලලනාවක් විදියට කවදාවත් ජීවත් නොවුනු .. පොළවේ පය ගහල ජීවත් වෙන බරපතල ගෑනු ළමය තමයි මේ ...

කොහොමින් කොහොමින් හරි මේ දෙන්නා එකට හමු වෙනවා .. හමු උනු දවසේ ඉදන් ගැටීම් හැල හැප්පීම් ගොඩයි ... සුපුරුදු හින්දි චිත්‍රපටියක තියෙන සින්දු ... ඇස් දිහා බලාගෙන ඉඳීම් .. විහිලු ජවනිකා හැම එකක්ම කිසිම අඩු පාඩුවක් නැතුව මේ චිත්‍රපටියෙත් තියෙනවා ... ඒත් ඒ වට්ටෝරු කථා තේමාව ඇතුලින් මේ එකකට එකක් වෙනස්... අන්ත දෙකක ජීවත් වෙන ජීවිත දෙක අතර හරි අපූරුවට සම්භන්දතාවයක් ගොඩ නැගෙනවා ... හැම දෙබසකින්ම.. හැම අලුත් දර්ශනයකින්ම ... ඒ නොකිය කියන කථාව හදවතට දැනෙනවා .... බරපතල අන්තෙයි, සමනල අන්තෙයි ..ටිකින් ටික තම තමන් හිරවෙලා හිටි කොන් වලින් මිදිලා අනිත් කෙනාගේ ජීවිතේ විඳින්න පටන් ගන්නවා.. බරපතල අන්තේ සමනළ අන්තේ ලස්සනත් .. සමනල අන්තේ බරපතල අන්තේ වගකීමුත් ටිකින් ටික තේරුම් ගන්නවා ... මේ අන්ත දෙක හරි අපූරුවට එකකට එකක් පෑහෙනවා ...

චිත්‍රපටියේ නම Wake Up Sid උනාට Sid විතරක් නෙමේ .. Aisha ත් අන්තිමේ තමන් වැටිලා හිටි නින්දෙන් අවදි වෙනවා ... දෙන්නම ඒ වෙනකන් විඳවපු ජීවිතය විඳින්න පටන් ගන්නවා ...

මහා හරබර වචන නැති උනාට ... මහා බරපතල් සාහිත්‍ය දෙබස් නැති උනාට ... මේ චිත්‍රපටිය පුරාවටම ... නිහඩ ආදරයක සුවඳ දෝර ගලනවා ... සිතුම් පැතුම් වලින් .. සමාජ තත්ව වලින් ... වයසින් ... මේ හැම නිර්ණායකයකින්ම වෙනස් ආත්ම දෙකක් ... තම තමන් එල්ලිල හිටි ජීවිතයෙන් මිදිලා .. අලුත් ලෝකයක් දකිනවා ... ආදරයට ඒ තරම් ශක්තියක් තියෙනවා ....

ඔපෙරාවකින් .. මුද්‍රා නාට්‍යකින් කියවෙන ආදරය මට කවදාවත් තේරුම් ගන්න බැරි තරම් ගැඹුරුයි .. මම මහා සාහිත්‍යවාදියෙක් කියලා ..හිතට වද දි දී .. මෙලෝ සංසාරයක් නොතේරෙන බරසාර නිර්මාණ දිහා බලාගෙන ඉන්න ඕනි නෑ මට ... මම මේ සරල නිර්මාණයට ආදරෙයි .. ඒ සරල බව ඇතුලේ තියෙන සංකීර්ණ මනුස්ස හැඟීම් වලට මම ආදරෙයි .... අන්තිමට මූදු වෙරලට දුවගෙන එන Sid කියන වචන ටිකට මම ආදරෙයි ..ඒකට උත්තරයක් විදියට Aisha කියන " I LovE YoU SiD "  වචන හතරට මම ආදරෙයි ..... !!

චිත්‍රපටියේ මෙන්න මේ සිංදුවට මම ආදරෙයි ....


මම ආදරයට ආදරෙයි .... !!


Tuesday, September 6, 2011

ජීවිතය සොයන්නට ගියෙමි .... !!

පුරා වසර 26ක් නොකඩවා කෙරුනු ආශ්වාස ප්‍රශ්වාසයෙන් හෙම්බත් උනු ජීවිතයට නව අරුතක් ඇවැසියැයි හිතුනු වාර ගනන අනන්තය .. හුස්ම වැටෙනවා නොව, මම හුස්ම ගන්නවා යැයි ..හිත පිරුනු ආඩම්බරයෙන් ලොවට හඬ ගා කියන්නට .. මගේ සිත තුල ඇත්තේ ..නොනිත් ආශාවකි ... ජීවිතය ජීවත් කරවන්නට ..දිවි මඟේ සොඳුරු තැන් දකින්නට ... තව ඉතිරි ... අල්ප වූ කාලයකි... ඒ ලැබෙන ඉසිඹුවේ ...ජීවිතය සොයා යන්නට ..ජීවිතයේ පරමානන්දය, පරම තෘප්තිය ලබන්නට ... දිව්‍යමය සංතෘෂ්ටියක් එක මොහොතකට විඳින්නට ... හති වැටුන ජීවිතය නොයිවසිල්ලෙන් බලා සිටී ... එවන් දෙව් සැපතක් .. සැබෑවට විඳින්නට පින් මදි වූ සඳ ... ජීවිතයේ සොඳුරු නිමේශයන් මෙලෙස වේ යැයි ... පුංචි හීනයක් මවන්නට .... හිත කැමති කරගත්තා මම ... !!

ඉරබසින සැදෑවක ..අඳුර සහ ආලෝකය අතර රිදී සුලඟින් රටා වියෙන හෝරාවක ... රතු පැහැ අවරගිර එකලු කර සයුරු ලඳ වෙත ඇදෙන ... ගිනි විදින ඉර වෙතට නෙතු දැහැන් යාකොට ..සයුරු තෙර සුදු වැලි තලාවක ශුන්‍ය සිතුවිල්ලකින්... ඔහේ ඉන්නට ඇත්නම් .... ඇදුම්කන හිසේ බර ... ආදර උරහිසකට වාරු කර ... මමත් මගේ හිත දවන හැමදේමත් ... එක මොහොතකට හිතෙන් අත් හැර... ඒ මොහොත තුල පමනක් ජීවත් වෙන්නට ඇත්නම් ... බහින මළ ඉර දෙස බලාගෙන ... මගේ දුකත් ඒත් සමගම .. සයුරු දිය ගැඹර තුල දියකර ... පා සිඹින පෙණ කැටිති එක්ක ලෙංගතුව හිනැහෙන්නට ඇත්නම් ... එවන් මොහොතක .. සොයා ගිය දිව්‍යමය සුවය මගේ ජීවිතයට වඩීවි ... !!

ඉර බසින සැඳෑවක ... පාලු උයනක තණපලසක් මත්තෙන් ඉඳගෙන ... හමන සුලඟට වැටෙන .. රොබරෝසියා මල් ගනින්නට ඇත්නම් ... අතුමතින් ගිලිහී හිමි හිමින් පොළව මත්තට ඇදෙන සුදු,රෝස මල් කැකුලු එක එකක් දිහා නොසෙල්වී බලා ඉන්නට ඇත්නම් ... ඒ මල් ඕවිල්ල මතම ..සුමුදුවට දිගඇදී ... හිස් අහස සසලවන සුදෝ සුදු වලාකුලු පාවෙනා අපූරුව ... මුහුනට වැටෙන ආදර සුසුමක පහස විඳිමින්ම බලා ඉන්නට ඇත්නම් ... මගේ විඩාබර ජීවිතය ..පාවෙන හැම වළාකුලකටම වඩා සැහැල්ලුවෙන් .. දිව්‍යලෝකෙටම පාවෙලා යාවි ... සම්පූර්න සතුට .... පරමානන්දය .. මට ලැබේවි ... !!

සප්ත ස්වර රැව් නැගෙන ... සුගායන වාතල සමඟ එක්ව නැගෙන සඳ ... එවන් ගීතාවලියක් සම්ඟ ඒකාත්මික වෙන්නට ඇත්නම් .. කනට නොව මනසට... ඇතුලාන්තයට .. අධ්‍යාත්මයට ... එවන් ගීපද වැලක එතෙන්නට ඉඩ දී ... ඇස්කන් වසාගෙන ..සියලු දේ අමතක කර .. මමත් මගේ හිතත් අමතක කර .. සත්සරින් සැඳි ලොවක.. එක් නිමේෂයකට ඉපදෙන්න හැකි නම්.. මම සොයා යන ජීවිතය.. එතැන මට හමුවේවි .... !!

විඳවන්නට නොව විඳින්නට ලැබුනු ජීවිතය ... වසර 26ක් පුරාවට විඳවා හති වැටුනු මම ... අයාලේ ගිය වසර ගනනක මතකයේ හිලව්වට ... නික්ම යෑමට මොහොතකට පෙර .. ජීවිතයේ පරමානන්දය..ජීවිතයේ අරුත ... මෙසේ වේයැයි ... විඩාබර සිතට.. විඩාබර ගතට ... මවාපෑමට දැරූ සුවිසල් තැත ... තඹ පයිසෙකට මායිම නොකල ..මේ මගේම හිත .... ඔලොක්කුවට හිනා වෙයි මගේ ගත තුලම සිට.....

පල් හිනාවක් හැමතැනම අලෝගෙන ... කන අසල කෑගසන හිත කියයි මේ ලෙසට ...

දිව්‍යමය ජීවිතය සොයා ගොස්... තිබුනු ජීවිතය නැති කරගත් උඹ ... පරමානන්දයක් වෙනුවෙන් ... ජීවිතයේ එකම හිනාවත් ඔට්ටු ඇල්ලූ උඹ .... මුහුදු වෙරලක, රොබරෝසියා මල් යායක වල්මත්ව ... ෆැන්ටසිය බදාගෙන මාළිගා හදලා ඉවර උනු වෙලාවක ... බලාපන් ඇස් විවර කර ... මුහුදු වෙරලක, මල්යායක නොව ... උඹ උඹේ කාමරේ කලුවරේ ගිලීගෙන .... තට්ට තනියෙම .. අඩා වැලපෙන අපූරුව ... !!


Saturday, September 3, 2011

කිරිල්ලිය .. ආදරය ... සහ මගේ ඌන පූර්ණය ... !!

අද ලියනවා ... ඇඟිලි ගෙවෙනකන් කොම්පියුටරයට කොටනවා අද ... වැස්ස පායනකන් මට බෑ මගේ සිතිවිලි එක් තැන් කරගන්න... ඒ නිසා .. වැස්ස පායනකන් ... මම අතීතෙන් මිදිලා ආයෙම වර්තමානෙට එනකන් ... මම පිස්සුවෙන් වගේ ලියනවා ... !!

පත්තරේක කියවපු කතාවක් මතක් උනා ... කවුරු හරි රුසියන් ලේඛකයෙක් ලියපු කෙටිකතාවක්.මගේ හිත පුදුම විදියට සසල කල ... අදටත් මට අමතක කරන්න බැරි ලියැවිල්ලක්.. කෙටියෙන් කියන්නම් කතාව ...

ඔන්න එක ගෙදරක් තියෙනවා.ඒ ගෙදර තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා.මේ පිරිමි ළමයා ගෑනු ළමයෙක්ට ආදරෙයි.ඒ ගෑනුළමයා ඉතින් ටිකක් ගනන් උස්සනවා.එක දවසක් දා මේ ගෑනුලමයා කොලුවට කියනවා රතු රෝස මලක් අරගෙන ආවොත් එයා කැමති වෙනවා කියලා.කොල්ලට ඉතිං හරිම සතුටුයි.ගෙදරට ගිය කොල්ල වත්ත පුරාම රතු රෝස මලක් හොයනවා.. හැම තැනම.. අහල පහල වතු වලත් හොයනවා..ඒත් ඒක රතු රෝස මල් අවාරේ..එකම එක රතු රෝස මලක්වත් කොයියම්ම තැනකවත් නෑ ... ඉතිං මේ කොලුවා පුදුම දුකෙන් වැලපෙනව කාමරේට වෙලා .... මේ ගෙදරට අයිති උයනේ තරුණ පිරිමි ලමයගේ කාමරේ අද්දර ගහක ඉන්නව ලස්සනට සිංදු කියන කිරිල්ලියක්.. මේ කිරිල්ලිය අර පිරිමි ළමයට ආදරෙයි.. හැමදාමත් රෑට පිරිමි ළමයට නින්ද යනකන් සිංදු කියන්නේ මේ කිරිල්ලි.

ඒත් පිරිමි ළමය දන්නෙවත් නෑ එහෙම කිරිල්ලියක් ඉන්නව කියලා.. හැමදාම සතුටෙන් නිදා ගන්නවා මිසක් ඒ නින්දට සංගීතය දෙන පුංචි අලු කිරිල්ලියව මේ පිරිමි ළමය දැකලවත් නෑ.කොහොම හරි, රතු රෝස මලක් නැති දුකින් වැලපෙන පිරිමි ළමයව දැක්කම කිරිල්ලිට වාවන්නේ නැතුව යනවා.. කිරිල්ලි යනව රතු රෝස මලක් හොයන්න.. දවස පුරම පියෑඹුවත් කිරිල්ලිට එකම රතු රෝස මලක්වත් හොයගන්න බැරි වෙනවා.. ඉතිං කිරිල්ලි ආයෙම උයනට එනව..ඇවිදින් දුකෙන් ඉන්නවා..මේක දකිනවා පිරිමි ලමයගේ ජනේලේ ගාව තියෙන සුදු රෝස පඳුර ... උයනේ හැමෝම කිරිල්ලිට ආදරෙයි.කිරිල්ලි දුකෙන් ඉන්නව බලාගෙන ඉන්න බැරිතැන සුදු රෝස පඳුර කියනව රතු රෝස මලක් ලබා ගන්න පුලුවන් විදියක් තියෙනව හැබැයි ඒක මාරාන්තිකයි කියලා.. කිරිල්ලි පුදුම විදියට සතුටු වෙනවා.. සතුටු වෙලා ඕනිම විදියකින් රතු රෝස මලක් ලබා ගන්න කැමති වෙනවා.

අකමැත්තෙන් උනත් සුදු රෝස පඳුර කියනවා රතු රෝස මලක් ලබා ගන්න විදිය ... කිරිල්ලිය උදෙ වෙනකන් තමන්ගේ හදවත සුදු රෝස පඳුරේ තියුනු කටුවකට තියාගෙන ගී ගයන්න ඕනි.. කිරිල්ලියගේ හදවතෙන් ගලන රතු ලේ වලින් සුදු රෝස පඳුරේ රතු රෝස මලක් උපද්දවන්න පුලුවන්. කිරිල්ලිය සතුටින් ඉතිරෙනවා..එදා රෑ වෙනකොටම පිරිමි ළමයගේ කාමරේ ජනේලෙ ලගට යන කිරිල්ලිය තමන්ගේ ආදරේට සමු දෙනවා.. අඩල දොඩලා වැලපිලා නෙමෙයි .. හිනාවෙන් ආදරෙන් සමු දෙනවා.. තමන්ගේ ලෙයින් ඉපදෙන රතු රෝස මලෙන් හෙට දවසේ තමන්ගේ ආදරය එයාට ඕනි කරපු ආදරය ලබා ගන්නවා කියන සතුටින් කිරිල්ලිය සමුගන්නවා... හඳ මෝදු උනු වෙලාවේ ඉදගෙන තමන්ගේ හදවත රෝස පඳුරේ කටුවකට තියාගත්තු කිරිල්ලිය තමන්ගේ අන්තිම ගීතය කියන්න පටන් ගන්නවා..බින්දුවෙන් බින්දුව රතු ලේ රෝස නටුව දිගේ වෑහෙනවා..ටිකෙන් ටික සුදු රෝස මල රතට හැරෙනවා ..

කිරිල්ලිය රෑ එලිවෙනකන්ම එක දිගට ගී ගයනවා.. පිරිමි ළමයා ඒ ගීය අහගෙන සැපට නිදියනවා ..උදේ ඇහැරිල බලද්දි මෙන්න ජනේලේ ලඟම රතු රෝස මලක්.. ඒ මල විතරයි පිරිමි ලමය දකින්නේ.. මල් පඳුර යට සුදු රෝස පෙති ගොන්නක් උඩ වැටිලා තියෙන අලු කිරිල්ලිගේ නිසල සිරුර පිරිමි ලමයට පේන්නේ නෑ... පිරිමි ලමය මලත් අරගෙන එයා කැමති ගෑනු ලමය බලන්න යනවා..නමුත් ගෑනු ලමය කියනවා එයාට වෙන කෙනෙක් හම්බුනා ඒ නිසා පිරිමි ලමයව ඕනි නෑ කියලා..පිරිමි ලමයගේ හිතත් ගොඩක් රිදෙන්නේ නෑ..අයෙම ගෙදර ආපු පිරිමි ළමය ඒ ගෑනු ලමයව අමතක කරල දාලා හිත හදගන්නවා..රතු රෝස මල රනේලෙන් එලියට වීසි කරනවා..ඒ මල වැටෙන්නේ අලු කිරිල්ලිගේ පණසුන් පිහාටු උඩට .....

 



එතනින් ඒ කතාව ඉවරයි ..... !!
දැන් ඒ කතාවේ .. මගේ කතාව .. !!


අඳුරනවද මේ දෙන්නව ?



අපොයි ඔව්.. මේ ලගාන් චිත්‍රපටියේ couple එකනේ ... මතකයි නේද .... හුරේ දම දම බැලුවේ .... අහිංසක ගැමි ගෑනුලමයයි ... වීර ගැමි පිරිමි ලමයයි එකතු වෙන සියලු දෙනා සතුටින් විසිර යන පුදුම ආතල් හින්දි film එකක්.කොහොම අමතක වෙන්නද.. cricket match එක එහෙම මාර ආතල්... පුදුම happy ending එකක් තියෙන film එකක්නෙ.

හ්ම්ම්ම්.. එතකොට මෙයාව මතකද ?
එහෙමටම මතකයක් නෑ.මෙයත් ලගාන් එකේම නේද හිටියේ .. ? අර මේ දුස්ටයොත් එක්ක ඉන්න සුදු ගෑනු ලමය නේද මෙයා.. ටිකක් වගේ මතකයි ...

................................................................................................................................................

දන්නවද මේ තමයි අලු කිරිල්ලි.. තමගේ අයට පිටුපාලා ... ගමක හිටපු කිසිම වැදගම්මක් නැති කොල්ලෙක් වෙනුවෙන් ජීවිතේ කැප කල අලු කිරිල්ලි තමයි මේ.. ලගාන් බැලුව මිසක් ... match එකට හුරේ දැම්ම මිසක් .... ඒ match එකට උදව් උනු..ඒකට ධෛර්යක් උනු මේ කිරිල්ලිව කාටවත් මතකයක් නෑ.. match එක ඉවර උනු ගමන් දුවගෙන ඇවිත් භුවන් ව බදා ගන්න ගමේ ගෑනු ළමයා දිහා බලාගෙන විසිල් ගහපු එක විතරයි හැමෝම කලේ....ඒ ජයග්‍රහනය ලබා දෙන්න ..ඒ රතු රෝස මල උපද්දවන්න ... ලේ පූජා කල අලු කිරිල්ලිව කාටවත් මතක නෑ.. අඩුමගානේ භුවන්ටවත් මතක නෑ... මතකද film එකේ අවසානය.. අලුකිරිල්ලි යන්න යනවා..පිට රටක, දූවිල්ලක් තරම් වටින්නෙ නැති, කොල්ලෙක්ට පිදුව ආදරේ වෙනුවෙන් ඒ අලු කිරිල්ලි මුලු ජීවිත කාලෙම සීතාවක් වෙනවා ... ඒත් ඒ ටික film එක බලපු අයටවත් මතක නැතුව ඇති..මොකද ඒ වෙද්දි වීරයට කෙල්ලව හම්බෙලා.. වැස්ස වැටිලා .. පිනුම් බල්ටි ඔක්කොම ඉවරයි ..ඉතින් කට්ටිය හුරේ දාලා නැගිටල ගිහිල්ලත් ඉවරයි...

ගමේ ගෑනු ළමයට භුවන් ව ලැබෙනවා.. ගමේ අයට වැස්ස ලැබෙනවා .. ඒත් ඒ හැම දේටම මුල් උනු මේ කිරිල්ලිට මොනවද ලැබුනේ .. එක ආදර වචනයක් .. හිත හැදෙන්න එක ඇත්ත ලෙංගතු වචනයක් ... මොනවද ලැබුනේ ... හිතුවේ නෑ නේද කවුරුත් ..? මොකට හිතන්නද .. කෙල්ලට කොල්ල හම්බුනාට පස්සේ .. සභාතොමෝ සතුටින් විසිර ගියාට පස්සේ තව මොනවා හිතන්නද ...

අලු කිරිල්ලි ආදරේ වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවලා සදහටම යන්න ගිහිල්ලත් ඉවරයි.. කිසිම සද්දයක් නැතුව..කල කැප කිරිමට එකම ස්තූතියක්වත් නැතුව ... තමන්ගෙම අය තරහ කරගෙන .. අලු කිරිල්ලි යන්නම ගිහින් ඉවරයි .... !!

ගියා කියලවත් කවුරුවත්ම තාමත් දන්නේ නෑ.. 
භුවන් ගේ කතාවේ, අලු කිරිල්ලිගේ චරිතය, ඒ තරම්ම පුංචියි.. !!