බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, September 21, 2012

ආවා ආවා .. මමත් එක්ක බුක්සේල් අංක දහය ආවා .. :)


ඔන්න මම ගියාලු පොත් සල්පිල් වන්දනාවේ .. අහපු දැකපු දේවල්.. හිත ගිය තැන්.. විකට රසාංග.. පඩි වදන්.. ගල් මුල් මල් ඔක්කොම එක්ක සම්පූර්ණ කතන්දරේ දානකන් ගිය අවුරුද්දේ වගේම පින්තූර ටික බල බල ඉරිසියාවෙන් ඉන්න ... :)

























Saturday, September 15, 2012

මම බවුවෙක්ව ගෙනාවෝ :)

අද සාහිත්‍ය කථාවක් ලියන්නේ නෑ ඔන්න.. සාහිත්‍ය මතක් වෙන්නේ නැතිතරමට මගේ හිත මැරිලා.එක අතකට ඒකත් හොඳයි. මැරුණු හිතකට කිසි දෙයක් දැනෙන්නෙත් නෑනේ.. හුස්ම වැටෙනවට ජීවත් වෙනවා.. රොබෝවෙක් වගේ .. :)අනික මම ලියන සාහිත්‍ය මගේ සමහර ෆ්‍රෙන්තන්ට වැටහෙන්නේ නෑ. පෝස්ටුවක් දාපු ගමන් කතාකරලා අහනවා මොන භ්‍රන්තද හලෝ අර ලියලා තියෙනේ කියලා .. හැම ෆ්‍රෙන්තම වැදගත් නිසා ඔන්න අද සරල රසාංගයක් ඉදිරිපත් කරන්න හිතුවා.
 
මට ගොඩක් කාලෙක ඉඳල සුරතල් බල්ලෙක්ව ඕනි වෙලා තිබුනලු ඉතිං. කවදාවත්ම මට බල්ලෙක් ඉඳල නෑ. යාලුවෝ ඇවිත් එයාලගේ බල්ලන්ගේ දඟ වැඩ චන්ඩි වැඩ කියද්දි මම කලේ කට උඩ බලාගෙන හූමිටි තිබ්බ එක විතරයි. බල්ලෙක් ඕන කියලා මම දන්න හැම විදියටම ගෘහමූලිකයන්ට කන්කෙඳිරි ගෑවට ඒ ඉල්ලීම ලැබුනෙම නෑ.. මෑණියැන්දෑ කිව්වේ එකම එක දෙයයි.. "ළමයිනුයි බල්ලොයි දෙකක් බෑ, එක්කො ළමයි එක්කො බල්ලෝ"ඉතිං අපිට ඇත්තටම තෝරාගැනීමක් තිබුනේ නෑ.. ළමයි වන මමයි නංගීයි කොහේ කියලා යන්නද.. බල්ලෙක්ව අරගෙන නොදුන්න නිසා පියාණෝ මට මාලු ටැංකියක් හදල දුන්න. ප්‍රොජෙක්ට් එක කොච්චර නැගල ගියාද කියනවා නම් අන්තිමේ ගෙදර ෆ්‍රිජ් එක උඩත් සාරි ගප්පි පුරෝපු මාලු ටැන්කියක් තියලයි මම නැවතුනේ.. ඔක්කොම ටැන්කි 6 ක් තිබුනා.. මාලුන්ගේ ආරෝග්‍යශාලා සහ ප්‍රජනන ටැංකිත් එක්ක ඔක්කොම 10ක් :)කොහොම නමුත් ස්විමිං පූල් වල හැදිය යුතු තරමේ තඩි තල්මස්සු ගේ ඇතුලේ ටැංකි වල හැදීමේ ආදීනව නිසා අපිට ඒ මාලුවන්ව වෙන වෙන අයට දෙන්න සිද්ද උනා .. :'(
ඉතිං ඔන්න මම ආයෙමත් තනි උනා.
 
හැම ඉල්ලීමක්ම නිශ්ප්‍රභා උනාම මම තීරණය කලා මගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කරන්න ;) ඉතිං සුපුරුදු පරිදි යටිපතුල ගාවට තොල එල්ලගත්තු මම අච්චාරු දාපු බිලිංගෙඩි මූණ හදාගෙන උදේ හවස පියාණන්දෑගේ පස්සෙන් යන්න පටන්ගත්තා මගේ සිංදුව කිය කිය .. "යාලුවෝ හැමෝටම බල්ලෝ ඉන්නවා මට විතරයි නැත්තේ .. මම මොනාද යාලුවන්ට කියන්නේ.. මම විතරයි පැත්තකට වෙලා ඉන්නේ.. මම පව් නේද.. අනිත් හැමෝටම බල්ලෙක් ඉන්නවා මට නෑ " ඔන්න ඉතිං අපේ පියානන්ගේ හදවත උණු උනා.. පියානන් අහන්න අකමැතිම දේ තමයි අනිත් හැමෝටම තියෙනවා මට නෑ කියන එක.. (මම මහා නරකට,හුරතල් කරල හැදුනු ළමයෙක්ලු ඉතිං) :D
 
ඔන්න ඉතිං දවසක් දා පියාණෝයි මායි ගියා අපේ මංගල බව්වව බලන්න. එය ඩොබමන් කෙනෙක් .. අර නැට්ට කපපු තඩි බව්වො ජාතිය. උන් ගැන ටූට්ටක් විතර දන්න නිසාම මම යන්න කලින් පි‍යාණන්ගෙන් ඇහුවා ඌ අපිව කාල දාන එකක් නෑ නේද කියලා.. බල්ලගේ අයිතිකාරය පියාණන්ට දීල තිබුනු ටොපිය එහෙම්පිටින්ම පියාණන් මටත් ගිල්ලෙව්වා.. අපෝ මූ හරීරීරී හොඳයි.. ඩොබමන් උනාට ඩොබමන්ද කියලා කියන්නවත් බෑ..ඒ තරම් සීලවන්තයි.. ගුනෝපේතයි..අහිංසකයි ..මලක් වගෙයි.. බ්ලා බ්ලා බ්ලා .. එතකොටත් ඒ බව්වට වයස අවුරුද්දයි.. ඒ කියන්නේ බලු පැටියෙක් නෙමෙයි කොහොමටවත්.
 
කොහොම හරි බවුවාගේ ගෙදරට ගියා කියමුකො.. අපි ගෙට ඇතුලු උනා විතරයි නිකන් හරියට බල්ලෝ කෝටියක් ඉන්න කාමරේකට ආවා වගේ මහා හයියෙන් බුරන සද්දයක් ඇහුනා. බව්වගේ අයිතිකාර අංකල් කොහේදෝ ඉඳන් කෑගහනවා ඇහුනා එන්න එන්න කියලා.. අපිත් ඉතිං සද්දේ එන පැත්තට ගියා. මෙන්න ඉන්නවා වෙසමුණි රජ්ජුරුවෝ වගේ තඩි බල්ලෙක් අලි බඳින චේන් එකකින් ගැටගහලා. හරියට කලු පාට හරක් පැටියෙක් වගේ.. කෘන්තක රදනක නෙමේ දත් ජාති අඩුමගානේ විසිපහක්වත් තිබුනා උගේ කටේ.. පියාණන්දැටත් දාඩිය බින්දු එකක් දෙකක් ආව නලලට.. මම නම් ආයෙ මුකුත් නෑ.. ආපසු හැරෙන්..දකුණු පය පෙරට .. සාර්ථක ලෙස පස්ස නොබලා ආයේ වාහනේටම දුවල ඉවරයි. පියාණෝත් හිමි හිමීට වාහනේ ලගට ආව.. අර අංකල් ඇවිත් කියනවා "අනේ සර් ඔය මේ සර්ලව පුරුදු නැති නිසා, අදුරගත්තම හරියයි.. ඕක පොඩි පැටියා තාම" කියලා.. පියාණෝ ටිකක් කල්පනා කරල කිව්ව "පොඩි පැටියා කාලේ ඔහොම නම් ලොකු අලියා උනාම බල්ල බලාගන්න දසමහ යෝධයෝ ඕනි වෙයි "කියලා ... ඔන්න ඔහොමයි පළවෙනි බලු ට්‍රිප් එක ඉවර උනේ
 
දෙවෙනි බලු ට්‍රිප් එක ගියේ ගිය ඉරිදා. මේ ගමන බලන්න ගියේ ජර්මන් ෂෙපර්ඩ් එකෙක්ව.. අනේ ඌ නම් අපරාදේ කියන්න බෑ දැක්ක ගමන් අපි ලගට ඇවිත් වල්ගේ වනලා අපිත් එක්ක යාලු උනා. ගියේ බවුවාව බලන්න විතරයි උනාට මම ඒ ගෙදර බිම ඉඳගෙන බල්ලා බදාගෙන පොළවේ හැපෙන්න ගත්තා මට ඌව ඒ වෙලාවෙම ගෙදර ගෙනියන්න ඕනි කියලා. ඉතිං මෑණියන්ගේ බලවත් අකමැත්ත සහ බල්ලා කෙරෙහි දැක්වූ ප්‍රතිරෝධය පියාණන්ගේ නිශේධ බලයෙන් යටපත් කරගත්තු මම බව්වාව ගෙදර කැන්දගෙන එන්න සූදානම් උනා. ඒ ගෙදර හිටි මිනිස්සුන්ට පපුවේ අමරුව හැදුනා අපි අපේ වාහනේ බව්වාව දාගෙන එන්න ලෑස්ති වෙනකොට. බව්වෙක් කෙසේ වෙතත් ගොඩක් මිනිස්සුවත් එහෙම වාහනේක ගිහින් නෑ මම හිතන්නේ.. ඒක ටූට්ටක් විතර බව්වෙක්ව ප්‍රවාහනය කරන්න තරම් හොඳ වැඩි :) ඒවා මට අදාල නෑ ඉතිං. මට ඕන නම් මම ලිමොසින් එකක හරි බව්වාව ගේනවා ..
 
ඔන්න ඔහොමයි ක්ලියෝ අපි ලගට ආවේ.. පාරේ ගොම ටිකක් දැක්කත් ඒක කවුරුහරි අයින් කරලා දානකන් ගිරිය පුප්පගෙන ලෝක අවසානේ වගේ විලාප තියපු මම දැන් බව්වගේ මළපහ ඔක්කෝම අස් කරනව .. පූසෙක් වත්තේ හතරමායිමෙන් දිව්වත් ගේ පුරාම air freshner ගහන මම දැන් බව්වව ගේ පුරාම එක්කගෙන යනවා. කොයි වෙලෙත් සබන් සුවදට හිටි මම දැන් බලු ගඳයි .. ( මෑණියැන්දෑ තමයි ගඳයි කියන්නේ, මට නම් බලු සුවඳයී ) උදෙ 5ට නැගිටිනවා.. සාලයෝ කටු අල්ල පුරාම ඇනෙද්දිත් බව්වගේ බත් එක අනනවා ..කවනවා.. කිනිතුල්ලො හොයනවා.. පිනුම් දෙකයි බල්ටි කෝටියයි .. :)
 
ක්ලියෝ හරීම මෝඩයි..මෑණියන් නම් කියන්නේ ඌ මගෙත් එක්ක ආවෙත් ඒ මෝඩකම නිසයි කියලා.. මෝඩයෝ මෝඩයොලු එකට එකතු වෙන්නේ.. කොහොම හරි.. ක්ලියෝට දුර ප්‍රමාන තේරුම් ගන්න බැරි ලෙඩක් තියෙනවා. එයාට අපේ පුංචි ඉඩම පේන්නේ සුගතදාස ස්ටේඩියම් එක වගේද කොහෙද.. කතා කලාම දුවන්න පටන් ගන්නේ පුදුම වේගෙකින්. ඉතිං ඒ එන වේගෙට බ්‍රේක් ගහගන්න බැරි නිසා දඩබඩෝරියන් ගාලා තාප්පේ හැපෙනවා.. ඊලගට එහෙමම වැටිලා ඉන්නවා තෝන්තු වෙලා.. ආයෙමත් පැයට කිලෝමීටර් පන්සීයක විතර වේගෙන් අනිත් පැත්තට දුවනවා.. ඒ පැත්තේ තාප්පේ හැපිලා නවතිනවා.අනේ මන්දා කවදා හැදෙයිද කියලා :/ කෑම බීම අතින් නම් කිසිම කරදරයක් නෑ. කෑම කාල පිගානත් ආයෙ හෝදන්න ඕනි නැතිගානට ලෙවකාලයි නවතින්නේ.
 
බවුවා මගේ කම්මැලි ජීවිතේට වෙනසක් ගෙනාවා. උදේ පාන්දරට බලු කෙල ෂැම්පූ වලින් නෑව්වත්... කකුල් වල තියෙන මඩ ඔක්කොම සාරිය පුරාම ඉලුවත් හිතට කිසිම තරහක් නෝන්නේ ඒ ඌ ආදරය පෙන්නන හැටි කියලා මට තේරෙන නිසයි. මගේ ජීවිතේ පළවෙනි වතාවට, පවුලේ කෙනෙක් ඇරුනම මටම කියලා සින්නක්කර අයිතිය කියන්න පුලුවන් කෙනෙක් ඔය මට ආදරේ කලාමයි.. බවුවා මගේ.. ඌව හම්බෙන්න මට ඇපොයින්ට්මන්ට් ගන්න ඕන නෑ.. ඌ මගෙත් එක්ක ප්‍රසිද්දියේ පෙනී ඉන්න බය නෑ.. ඌ තාම මාව හපාකෑවේ නෑ.. මට පේන්න වෙන වෙන අය එක්ක කොමළ කලේ නෑ.. මට බුරාගෙන පැන්නේ නෑ.. ෆ්ලෝ පොලිශර් එකක් වගේ වලිගේ වන වන කෙළ තප්ප තප්ප ඇගපුරාම පෙරන එක විතරමයි කරන්නේ.. ඒ ඔක්කොම ආදරේ මම ඌට කන්න දෙන එකම එක බත්පත වෙනුවෙන් විතරමයි ...
 
බවුවා මට මුණගැහුනු ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ අතින් ඉහලයි ... :)
 
මෙන්න ක්ලියෝ .. <3


 



දැන් එයාට හොඳ වාසස්ථානයක් තියෙනවා.. මෙ එදා ගෙනා ගමන් නිසයි පත්තර කොළ උඩ ඉන්නේ .. අපි බවුවාව බලන්න මිස ගේන්න නෙමෙයිනේ ගියේ .. ඒකයි :)


Thursday, August 23, 2012

~ සතීගේ කතාව .. ~

සැප්තැම්බර්.. 
හේතු කීපයක් නිසා මගේ ජීවිතේ වැදගත්ම මාසේ .. 
ඒ හේතු අතරින් එක හේතුවක් වෙන පොත් මංගල්ලෙ ගැනත් හිතලා අද ලියන්න හිතුවේ පොතක් ගැන .. 

පොතේ නම සතීගේ කතාව .. ලියුම්කරු කරුණාසේන ජයලත් මහතා ...




ඇත්තටම මම ලාංකේය නවකතාකරුවන්ගේ පොත් කියවලා තියෙන්නේ හරීම සුලු ප්‍රමානයි .. සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය,මාර්ටින් වික්‍රමසිංහ සූරින් සහ කරුණාසේන ජයලත් මහත්මයා ඇරුනම ලාංකේය නවකථා කරුවන් ගැන මගේ දැනුම අල්පයි.. ආඩම්බරයක් දැනෙන්නේ නෑ ඒ ගැන.. හීනමානයක් මිස... ඒත් මගේ රසාස්වාදනයට 80%ක්ම පොහොර දාන්න මේ දක්වා සමත්වෙලා තියෙන්නේ පරිවර්තන සාහිත්‍ය විතරයි.. කොහොමින් කොහොම උනත් කරුනාසේන ජයලත් මහත්මයාගේ සතීගේ කතාව මගේ ඇස් කඳුලින් පුරවන්න සමත් උනු පොතක්.. පොතක අකුරු ටිකකට පුලුවන් නම් ඒ අකුරු වලින් පාඨකයාගේ ඇස් ඉස්සරහ රූප දාමයක් මවන්න.. අකුරුවලට පුලුවන් නම් කතා කරන්න .. එහෙම කෘතියක් ඇත්තටම ප්‍රශංසනීයයි ..

සතීගේ කතාව .. සරස්වතී මානවඩු නම් වූ දුප්පත් ගැමි තරුණිය වටා ගෙතුනු කතාවක්... ඇගේ ජීවිතය.. ජීවිතයේ එක් එක් අවධි ... 

සරස්වතී මානවඩු හෙවත් සතී.. 

ගමේ හැදී වැඩුනු.. චීත්ත ගවුම අඳින ගැමි කෙල්ලක්.. එතනින් විශ්වවිද්‍යාලයට යන ගමන .. විශ්වවිද්‍යාල ජීවිතය... ඇගේ ජීවිතයට එන අනේකවිධ වෙනස්වීම් .. ඇස් ඉදිරිපිට එක පිට එක මවන්නට ලියුම්කරු සමත්වෙන අපූරුව .... ඉහල පෙලේ නවාතැන් පොළවල් වල නවාතැන් ගන්නට තරම් වත්කමක් නැති ඇගේ නවාතැන වන බෝගහවත්ත ... එයින් ඇය ඉගෙන ගන්නා ජීවිතය .. ඇය දකින ලෝකය .. යට ගවුම පිටින් මහ පාරේ දත මදින තරුණියන්.. පයිප්පය ලග තමන්ගේ වතුර වාරයට පොරබදින කාන්තාවන්.. වැටවල් අයිනේ සිට අමු සුද්ද සිංහලෙන් ජාතක කතා දිග අරින දෙනෝදාහකගේ; පිටට පෙනෙන දැඩි රලු පරලු අසීලාචාර හැසිරීම් ජීවන රටා තුලින් ..ඔවුන් තුල වෙසෙන, ජීවත් වෙන්න පොරබදින, ආත්ම සතීගේ දෙනෙත තුලින් දකින්නට ලියුම්කරු ඉඩ හසර පාදයි... ඒ සියලූම කුහුඹු ජීවිත සමාජ ප්‍රවාහයට නතුව හිස ජලයට උඩින් තබාගෙන තව එක් දිනක් ගතකරන්න දරන වෑයම.. බෝගහවත්තේ කුණුකානු අතරින් ගලා යන ජීවිත සටන... සතීගේ කතාවේ අඩිතාලමයි ... මෙය හුදෙක් ප්‍රේම කතාවක් නොවන්නේ එනයිනි ..

මේ සියලු හැලහැප්පිම් මැද සරස්වතී මානවඩුගේ ජීවිතයට එන නිශ්ශංක ... වැසි දවසක එක සීරුවට නටුවෙන් ගිලිහි පොළවට වැටෙන රොබරෝසියා මල් දෙස බලාගෙන දැහැනක සිටින ඔහු දකින ඇගේ සිතෙහි; ඒ දිග ඇසට.. නොවක් නහයට .. හැඟීමක් නැති දෙතොලට බැඳෙන ආදරය ... 

සතීගේ කතාවේ ප්‍රේමය හරියටම විනාවක ප්‍රධාන තතට යටින් නාද වෙන අනු තතක් වගේමයි .. සුපුරුදු ප්‍රේම කතා සුපුරුදු ප්‍රේම ජවනිකා කිසිවක් සතීගේ කතාවේ සොයායාගන්නට නැහැ

සතී සාමාන්‍ය කෙල්ලක්.. ඇයට ඕන පෙම්වතා එක්ක හුරතල් වෙන්න.. පෑනෙන් අතේ කුරුටුගාන.. අත දිගෙ ඇඟිලි ඇදගෙන ඇදගෙන යන්න ... අත්වැල් පටලගෙන පාර දිගේ යන්න.. ඇගේ ගැහැණු සිතට..ගැහැණු ගතට ඕන සාම්ප්‍රදායික ප්‍රේමයක්.. 

නමුත් නලුවා ඊට විරුද්ධයි ..

"කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳෙන්න මට පුලුවන්කමක් නෑ නංගී..."

ඒ නලුවගේ දෙබස ...

නමුත් ඔහු ඇය සමග ඉන්නවා..ඔහේ ඉඳගෙන..පැය ගනන් ඔහේ ඉඳගෙන .. කතාවක් බහක් නැතුව.. ඇගේ ආත්මය.. ඇගේ සිතේ ඇති දේ කියවන්න වෑයම් කරමින්.. ඇගේ ආත්මය විනිවිද දකින්නට උත්සාහ කරමින් ඔහු පැය ගනන් ඇයට මනෝ ලෝකේ සැරිසරන්නට ඉඩ දීල ඇය ලඟින් ඉන්නවා .. ඔහුගේ කොන්දේසි වලට ඇය යටත්වන තාක් කල් ඔහු ඉන්නවා.. ඇයට ඔහු හා ප්‍රේමයෙන් බැඳෙන්න තහනම්.. එක මොහොතක් ඔහු සමග ජීවත් වෙන්න අවසර ඇතිමුත් එතනින් එහාට ඔහුගේ හිතත් ගතත් ඇයට තහනම්.. සරසවියේ එකම බංකුවක අතේ දුරින් වාඩි වී ඉඳීමටත්.. පුස්තකාලයේ එක ලඟින් ඉඳන් පාඩම් කිරීමත් ඇරුනුකොට වෙනත් කිසිම ආකාරයක ලංවීමක් තහනම් .. ඒ ඔහුගේ නීති ... නමුත් ඔහුගේ නීති පැහැදිලීයි.. ඔහුට ඇය හා ආලයෙන් බැදෙන්න බෑ.. ඇයට ඔහු හා ආලයෙන් බැඳෙන්නත් අවසර නෑ.ඒ ඇයි කියන්න සතී දන්නෙත් නෑ ... නමුත් ඇය හීන මවනවා ..කවද හරි කවදම හරි නිස්සංක ඇයට ආදරෙයි කියයි කියලා.. ඇයට ඔහුගේ ආදරය පේනව.. ඇස් දෙකෙන් ...

නිශා .. සතී .... සෑම හමුවීමක්ම අවසාන වෙන්නේ නිස්සංකගේ එකම එක වාඛ්‍යයෙන්..

"සතී.... එහෙනම් අදට ඇති නේද.."

ඇති නෑ.. 
අදට නෙමේ කවදාටවත් ඇති නෑ.. 
අනේ තව ටිකක්..
තව එක තත්පරයක් ඔහොම මගේ ලඟින් වාඩි වෙලා ඉන්න... 
අතින්වත් අල්ලන්න ඉඩ නොදුන්නත් ඔහොම වාඩි වෙලා ඉන්න ..

සතීගේ උත්තරය පපුව ඇතුලේ ඉදන් බෙරිහන් දෙනවා.. ඒත් ඇයට ඒ උත්තරය වචන කරන්න අවසර නෑ. ඇය පොරොන්දු වෙලා ඉවරයි නිශ්ශංකගේ ක්‍රීඩාවේ කොටසක් වෙන්න..ඇයට තරග නීති උල්ලංඝනය කරන්න අවසර නෑ..ඉතිං ඈ නැඟිටිනව.. අහඹුවකින් වගේ නිශ්ශංකගේ සුරතේ ඇඟිලි පටලවාගන්න වෑයම් කරනවා.. නමුත් නිශ්ශංක පියවරක් ඉදිරියෙන්.. සතීගේ ඊලග උත්සාහය දන්නා ඔහු ඇගිලි මිටි කරගෙන.. ඒ සුරතේ වෙලෙන්නට ඉඩක් නෑ... !!

කථාව ගලාගෙන යනවා.. අන්තිමට ..පොතේ අන්තිමට නිශ්ශංක ඔහු එතෙක් හිරකරගෙන හිටි රහසට පණ දෙනවා.. ඔහු කථා කරනවා..ඔහුගේ පුරුදු වචන දෙකතුනට අමතරව තව ගොඩක් දේ ඔහු කියනවා ...එක හුදකලා හැන්දෑවක.. අවුරුද්දකට පසුව .. පළමු වතවට සරසවියේ බංකුව මත නැතිව වෙනත් තැනක ඔවුන් හමුවූ මොහොතේ.. බැසයන හිරුට මූණ හරෝගෙන ... නිශ්ශංක ඔහුගේ කතාව කියනවා ..

ඒ ටික මම ලියුම්කරුගේ වචනයෙන්ම කියන්නම් ...




"සතී ඔයා මට ආදරෙයි .."

ඒ වනාහී ප්‍රශ්නයක්වත් සැක දුරු කිරීමේ කියමනක්වත් නොවේ.. කෙළින්ම නිගමනයකි .. ඇයගේ ගත කිළිපොලා ගියේය. කිසිකාරනයක් නැතිව ඇයගේ ඇස් කඳුලින් තෙත් විය.

"ආදරේ නිශා.. එක්තරා විදියකට! ඔය හිතන .. "

"ගෑණියෙක් පිරිමියෙකුට ආදරය කරන විදියට? තරුණයෙක් තරුණියකට ආදරය කරන විදියට?"
...........

"එහෙම කියන්නෙපා"
"කොච්චර හොඳද එහෙම කියන්න බැරිනම් "
...........

"කෙනෙක්ට බැරිද කොන්දේසි විරහිත ආදරයක් කරන්න?"

"හොඳයි ඔයා හරි වෙන ගෑනුලමයෙක් හරි එහෙම කොන්දේසි ඉදිරිපත් නොකර, වෙන වචන වලින් කියනවා නම් විවාහය,ගෙදරක්,දරුවෝ ගැන නොතකා තරුණයෙකුට ආදරය කරනවා.. එයා ඒ කියන්නේ ඒ ගෑණුලමයා මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ?"

"මම හරියට දන්නේ නෑ නිශා, ආදරය ගැන අත්දැකීම මට නෑ.නමුත් මට හිතෙනවා තමන්ගේ ආදරයෙන් තවත් කෙනෙකුට මොකක් හරි සහනයක් වෙනවා නම් ඒකම මදිද කියලා....... "

"ඔයාට පුලුවන්ද එල්ලුම් ගහකට නියම වෙලා ඉන්න කෙනෙක්ට ආදරය කරන්න සතී?" ඔහු මුහුණ ඇයගෙන් වසන්වෙන ලෙස ඉවතට හරවාගෙන ඇසීය..
...........................................................................................................................................................

ඒ ප්‍රශ්නයට සතී දෙන පිළිතුර සෑහෙන්න දිගයි.. ඒ නිසා මම ඒක සංශිප්ත කරන්නම් මෙන්න මෙහෙම.. 
සතී කියනවා මරනයට කැප වෙලා ඉන්න කෙනා දන්නව නම් තමන්ගේ ජීවිතේ අවසාන කලය ගත වෙන්නේ කියලා.. ඇයත් දන්නවා නම් ඔහු ඉක්මනින් මිය යනවා කියලා.. ඔහුට අවශ්‍ය ආදරය දෙන්න ඇයට බැරිකමක් නෑ කියලා. ඔහු මියගියායින් පස්සෙ.. ඒ ටික කාලේ ඔහුට දුන්නු ආදරය හදවතට තුරුලු කරගෙන මුලු ලෝකෙටම ආදරය බෙදන්න.. ඒ වගේ මැරෙන්න නියම උනු දාහක් දෙනාට දවසකට හරි ආදරයක් දෙන්න.. අර එක පුද්ගලයට දුන්නු සීමාරහිත ආදරයෙන් තමන්ට පුලුවන් වේවි කියලා සතී කියනවා ...

නිස්සංක බලාගෙන ඉන්නව සතී දිහා.. රකුසු බැල්මකින්.. ඒත් ඒ රකුසු රතුපාට ඇස් දෙක යටින් නහර පුපුරවාගෙන එළියට එන්න දගලන ආදරය සතීට පේනවා ..

...............................................................................................................................................................

 " මමත් අර පුද්ගලයා වගේ කෙනෙක් සතී, මමත් මරණයට කැප උනු කෙනෙක්"
"අපි සේරම නිශා .. අපි සේරම දවසක ... "

නිස්සංක වහාම ගෙල හරවා සරස්වතී දෙස අඩ බැල්මෙන් බැලුවේය. මුලින්ම දවසේ ඔහුගේ දෙනෙතින් තමා වෙන එල්ල උනු අනතුරු ඇඟවීම ඈ අලුතින් හඳුනා ගත්තාය.එහෙත් මෙවර ඈ තැති ගත්තේ නැත.

"ඔයා අහලා තියෙනවද ලියුකේමියා??" යි තොලමතුල නිස්සංක ඇගෙන් පිළිතුරක් පමා වන කල කෝප වූවකු ලෙසින් "සතී ඔයා අහලා තියෙනවද ලියුකේමියා?" යි කෑගැසුවේය...

ලියුකේමියා යනු ගමක්ද නගරයක්ද දුර රටක්ද නැතහොත් රෝගයක්දැයි නිශ්චය කරගන්නට ඇයට උවමනා වූයේ නැත. ඔහුගේ අඩ බැල්මෙහි සියල්ල ලියවී තිබිනි.

"වැඩිම උනොත් අවුරුද්දයි සතී. අවුරුද්දකට වැඩිය මට .." යි නතරකල ඔහු යලි මුහුද දෙසට හැරුනේය.

සමස්ත නිම්වලල්ල දිගටම- එකම ගිනි වැටක් ඇවිළීගෙන යන බවක් සතී ඉදිරියේ මැවෙන්නට විය. එහි රශ්නයට ඇයගේ හදවත අසුවිය. සප්තමහා සාගරය නිමේෂයකින් මුලුමනින්ම සිඳී ගොස් මත්ස්‍යයන්ද තල්මසුන් සහ බෙල්ලන්ද ඇතුලු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සකලවිධ ප්‍රාණීන් ආස්වාස ප්‍රශ්වාසය සඳහා අවසන්- වියරු ප්‍රයත්නයක යෙදෙන බව ඕ දුටුවාය.

.....

හැම දෙයටම ගතවූයේ මොහොතකි. මොහොතකින් හැමදෙයක්ම මැකී ගොස් ආ නැවත යථා තත්වයට පත් වූවාය. වෙන්සකට වූයේ එකම කරුණකි. ගින්නෙන් දැවී ගියේ ඇයගේ හදවත නොව එහි නිදන්ගතව තිබුනු සියලු ආකරයේ බැඳීම් සහ ආත්මාර්ථකාමි තෘෂ්නාව පමනකි. ඇයගේ අධ්‍යාත්මය අතිශය පවිත්‍ර සහ නිරවුල් විය...

වුන් තැනින් ඉවත් උනු සරස්වතී ගලින් ගලට පිය නගා ඔහු වෙත ගොස්, පිටුපසින් ඔහුගේ දෙවුරමත දෑත් තබා පිටට කම්මුල ඔබා ගත්තාය ..

"නිශා.. !"

නිස්සංක කතා නැතිව සෙල් රුවක් සේ එහෙමම සිටියේය.

හිමින් හිමින් සෙනෙහසින් දෑත් පහලත අද්දගෙනවිත් බඳ වටා ඉදිරියට යවා ඔහු වැලඳගත් ඈ,

"නිශා අර කිව්ව විදියට මම ඔයාට ආදරෙයි නිශා. කොන්දේසි විරහිතව සදහටම ආදරෙයි!" යනුවෙන් තෙපළාය ...

සරස්වතී මානවඩු ගේ ඒ අව්‍යාජවූ ද ළයාන්විත වූද කටහඩ ඉමක් කොනක නැති ගමනක යෙදී සිටි සැඳෑ සුලඟ සමඟ මුසු විය ............

.........................................................................................................................

ඒ සතීගේ කතාවය ...
ඒ ඇගේ මෙන්ම මගේද කතාවය... !!





Tuesday, July 31, 2012

රහස් පෙම්වතා (Bel Ami)

මාසෙකටත් වඩා වැඩි කාලයක් මම මුකුත්ම ලියලා නෑ.. ඇත්තටම ලියන්න දෙයක් කල්පනාවට ආවේ නෑ. බාදුරා අසපුව ආරම්භ උනේ මගේ හිතේ කැකෑරෙන දාහකුත් එකක් සිතිවිලි පිට කරගන්න ..  අහන්න අකමැති උනු කියන්න කෙනෙක් නැති උනු සිතිවිලි.. මගේ වේදනාව අකුරු කලේ මේ අසපුව ඇතුලේ.කොහොම හරි .. ඒ අතීතය දැන් ඉවරයි .. මට පේන ලෝකය ගැන මම ලියනවා. බාදුරා අසපුව කියන්නේ ලෝකයට කියවන්න ඉඩදීපු මගේ ජීවිතය... මේ සාහිත්‍ය නෙමෙයි ... ලොකු ලොකු පන්ඩිත වාක්‍ය නෙමෙයි.. මේ මගේ ජීවිතය.. මට හිතෙන හැටි... :)

අද ලියන්නේ කාලෙකට පස්සේ මගේ හිත සසල කරපු කලා නිර්මාණයක් ගැන. සතපහක රසාස්වාදනයක් නැති වෙයි මේ පෝස්ට් එකේ.. මට දැන් ලියන හැටි මතක නෑ ඇත්තටම :(

චිත්‍රපටිය BeL AmI .. Bel Ami කියන වචනයේ තේරුම හරියටම සිංහලට පරිවර්තනය කරන්න මට නොතේරෙන නිසා අන්තර්ජාලයෙන් ගත්තු මේ තේරුම ගෙඩි පිටින් ඉදිරිපත් කරන්න හිතුවා.

"It's a kind of old fashioned term for 'lover' - in particular, the sometimes secret lover of a lady who might have a husband or fiance and her 'bel ami' might be termed a little something on the side. It usually refers, at least in literature anyway, to a younger stud taking care of the sentimental and fleshly needs of an older and socially superior woman. Kind of like, in modern terms, the society lady having a Thingie with the pool guy"




අන්ත දුප්පත් ජීවිතයක් ගත කරන කොල්ලෙක් ඒ ජීවිතයෙන් මිදෙන්න ඉහල පන්තියේ කාන්තාවන්ගේ ආදරය ප්‍රයෝජයනට ගන්න විදිය පුදුමාකර විදියට කලා මාධ්‍යකට නගපු කතාවක්.

ඔහු ... 
ජීවිතයක් නැති, එදා වේල වෙනුවෙන් අන්තිම මාංශය තෙක්.. අන්තිම ඇටකටුවත් ගෙවෙනතෙක් දහඩිය වැගිරූ ජීවිතයක්.. මුදු තෙපුල්, වයින් මතින් ඉතිරෙන සාද සිහිනයෙන් දකිමින් වතුර උගුරකට මෙහෙ කල ජීවිතයක්. ඉහල සමාජයට.. රෝස පෙත්තෙන් ඉපදුනු ජීවිතයකට අසීමිතව පෙම් බැඳි, එවන් ජීවිත ගෙවන්නවුන්ට වෛර කල ජීවිතයක්..

ඔහු ඒ ලෝකෙට තමන්ගේ මාර්ගය සොයා ගන්නේ අපූරු ආකාරයකට.. 
ඔහුගේ මාර්ගය ආදරය... ශාරීරික ආදරය .. රාගය ...
ඇත්ත ආදරය නොව මවා පාන ආදරය ... 
එහෙමම කියන්නත් බෑ.. 
මෙහෙම කියමු.. 
ආදරයක්දැයි ඔහුම නොදන්න ඔහුටම නොහැගෙන මානව බැඳීමක් .. 
ඒ මාර්ගයේ යන්නට ඔහුට උදව් වෙන ජීවිත හතරක්... 
ඉහල සමාජයේ ජීවත් වෙන ආදරයට සහ ලිංගිකත්වයට පෙරේතකමින් ජීවත් වෙන ආත්ම හතරක්.
එකිනෙකට වෙනස් භාවයන්ගෙන් ඔහුගේ ගමනට ඉණිමං තනන මේ සිව් ජීව්ත අතර දෝලනය වෙන ... ඒ ඉණිමං හරහා අහසට ගොඩවෙන්නට උත්සාහ කරන සහ අවසානයේ ඒ උත්සාහය සාර්ථක කරගන්නා ඔහු ... ආදරය කල යුතුද වෛරකලයුතුදැයි නොතේරෙන තරමට සංකීර්ණ චරිතයක් ... ඔහුගේ ගමන පැහැදිලියි, ඔහුගේ ක්‍රීඩාව පැහැදිලියි.. ඔහුගේ ගමනාන්තය පැහැදිලියි ... අපහැදිලි එකම දෙය ඔහුගේ ක්‍රීඩා විලාසය විතරමයි ... 
"එය සාධාරණීකරනය කිරීමටවත් අසාධාරණයැයි කීමටවත් ඔබ කව්ද ... ??"
ඒ ඔහුගේ ප්‍රශ්නය ...

මා අත්විඳ ඇති දෙයින් බාගයක් ඔබ අත්විඳ  නැත.
මම ගෙවූ ජීවිතය ඔබ ගෙවා නැත...
"එසේනම් මගේ ගමන ගැන යමක් කීමට ඔබ කව්ද .. .?"
මේ ඔහුගේ ප්‍රශ්නය ...

ඔහුට යාවී ඇදෙන ජීවිත හතර අතර ඔහුට ඇත්තටම ආදරය කල ජීවිතය ... 
ඇයටත් තියෙනවා අහන්න ප්‍රශ්නයක් ...
 " Its not enough to be loved, is it ? No; You Must be a King " 
අවශ්‍යවන්නේ ආදරයම පමණක් නොවේද ?? 

එදා ඉදන් අද වෙනකන් මමත් අහන ප්‍රශ්නය... 
අවශ්‍යවන්නේ ආදරයම විතරක් නෙමේද... 
ඒ ආදරයත් එක්ක බැඳුනු කැප කිරීම් සහ අනිකුත් ශාරීරික ප්‍රධානයන් පමණක්ම නෙමේද ... 
මගේ ආදරයෙන් ඔබට ජීවත් වෙන්නට බැරිද ?? 
ඔබට රජ වීමට අවශ්‍ය ඇයි ... ??

රහස් පෙම්වතා ඒ එකම ප්‍රශ්නෙට තනි වාක්‍යයෙන් උත්තර දෙනවා...
ඔහුගේ කටහඩේ වෙව්ලීමක් නෑ.. 
තිගැස්මක් නෑ.. 
සැකයක සේයාවක්වත් නෑ.. 
ඔහුගේ වචන ගැන ඔහු මහා ආත්ම විශ්වාසයකින් යුතුව ඔහු මෙහෙම කියනවා
" No, Its not enough to be loved; Even by you "

ඔබ නොකී කතාව .. 
ඔබ වචන වලින් නොකී කතාව .. 
නමුත් ඔබ මා හැර යන්නට හේතුව රහස් පෙම්වතා වචන වලට හරවනවා.. 
හරීම අපූරුවට ... 
ආදරය විතරක් ප්‍රමානවත් නෑ ... 
කවදාවත් කවමදාවත් ආදරය විතරක්.. මනසට කයට දෙන ආදරය විතරක් ප්‍රමානවත් නෑ ... !!

හැබැයි තවත් අඩු උනේ මොනවාදැයි මට වැටහෙන්නෙත් නෑ.. 
අද වෙනකනුත් ... !!
ඒ කොහොම උනත් රහස් පෙම්වතා ජයග්‍රාහකයෙක් ..
හැම බිඳුනු හදවතක්ම උඩින් ඔහු ඔහුගේ ගමන යනවා ..
ඔහු ඔහුගේ ඉලක්කයට යනවා ..
බිඳුනු හදවත් වල අයිතිකරුවන්.. ඒ කැබලි මතිනුත් ඔහුටම ආදරය කරන බව ඔහු දන්නවා ...
ඔහු හිනා වෙනවා...
හිනාව අතරින්ම හිරු රැසින් දිලෙන අලුත් දවසකට දෙනෙත් අරිනවා ..
ඔහු දිනනවා..
ඔහුගේ ක්‍රීඩාව ..
ඔහුගේ ක්‍රමයට ... !!
වැරැද්දක් කියන්න කාටවත් ඉඩ නොතබාම..
ඔහුගේ ක්‍රීඩාවේ නීති පැහැදිලියි...
ඔහුගේ ක්‍රීඩාවට අකමැති, නීති පිලි නොගන්නා අයට ක්‍රීඩාවෙන් අයින් වෙන්න පුලුවන්..
ඕනම මොහොතක ....
නමුත් ඔහු දන්නවා ක්‍රීඩකයන් ක්‍රීඩාවතම ජිවීතය කැපකරලා හමාරබව .. !!