බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Wednesday, December 28, 2011

~ චාරිකා - පලවෙනි කොටස ~

ඔන්න මම ආවා කාලෙකට පස්සේ ...
අද කථාව ආදරය ගැන නෙමෙයි .. 
ඒ හේතු තුනක් නිසා ...

01) ආදරයේ අකුරු හතර අස්සේ මගේ ලිවීම කොටු කරන්න මම අකමැති වීම ...

02) මම ලියන සැබෑ ආදරය කියල එකක් ඇත්තටම ලෝකේ නැති වීම ..(ෆැන්ටසියකට සීමාවක් තිබිය යුතුය) 

03) කවුදෝ මන්දා ඇනෝනිමස් කෙනෙක් මගේ " ආදරයට ආදරෙන් ලියමි " පොස්ට් එකට " please dont over abuse LOVE " කියා ලියා තිබීම .. (මම කවදාවත් Love එක abuse කලේ නම් නෑ.. එහෙම කලා නම් අද මට මෙහෙම වෙන්නෙත් නෑ....අනේ මන්දා...)

ඒ නිසා අද ලියන්නේ මගේ කතරගම චාරිකාව ගැන... මම ඇසූ දුටු දේවල්..මග දිගේ මුණගැහුනු සුන්දර මෙන්ම අසුන්දර මිනිසුන් .. පාර දෙපැත්තේ දැකපු අද්දර ජීවිත සහ මට හිතුනු දේවල් .... 

ආදරය ගෑවිලාවත් නෑ ඔන්න ;)



අපි කතරගම යන්න තීරනය කරල හිටියේ 24 වෙනිදා උදෙන්ම... ඒත්..උදෙන්ම නැගිටීම කෙරෙහි අපේ මෑණියැන්දෑ හැර අනිත් සාමාජිකයක් දක්වන අධික ප්‍රතිරෝධය සහ ඊට කලින් දවසේ ගියපු සාදයේ බලපෑම නිසා චාරිකාව පිටත් වෙන්න හිතපු වෙලාව වෙද්දිත් අපි ඔක්කොම නිදි .. :) වෙලාවට සූදානම් උනු එකම සාමාජිකයා උනු මගේ මෑණියැන්දෑගේ ජාතිය ඇමතීම අස්සේ නිදිමරගාතේ ඇවිදගෙන ගිහින් දත කට මැදගෙන මොන මොනවාදෝ ඇද පැලදගෙන ඔන්න අපි පිටත් උනා නමෝ විත්තියෙන් පවුලේ චාරිකාවට :)

කලින්ම තීරනය කරලා තිබුනු විදියට Highway එකේ ගාල්ලට වෙනකන් යන්නයි සූදානම.. බ්‍රේක් ගහන හැටි ඉදගෙන සුක්කානම කරකවන හැටි වෙනකන් උපදෙස් දෙන මෑණියැන්දෑගේ කෑගැහිල්ලත් එක්ක වාහනේ පදින්න බෑ කියලා තීරනය කල පියානැන්දෑ කලින්ම මෑණියැන්දෑව වාහනේ පිටිපස්සේ ආසනේට පිටත් කලා. දෙවෙනියට නිෂේධ බලය ඇති මට ඉස්සරහ ආසනේට උස්සවීමක් ලැබුනේ ඔන්න ඔහොමයි .... කොට්ටාව පිවිසුමෙන් වාහනේ අධිවේගී මාර්ගයට වාහනය ඇතුලු කරද්දිම පිටිපස්සේ ආසනෙන් පටන්ගත්තේ නැතෑ මුණු මුණුවක්.. බැලින්න්ම මෑණියැන්දෑ ඉතිපිසෝ ගාථාව කියනවා :)

අධිවේගී මාර්ගය.. 

ඇත්තටම කථා කල යුතු මාතෘකාවක් .. දේශපාලන මතිමතාන්තර කොහොම උනත් හොඳ දේ හොඳ විදියට දකින්න ඕන... අධිවේගී මාර්ග කන්නද කියලා අහපු විපක්ෂයේ ඇමතිවරුන්ට නොදැනුනාට.. ආච්චිට සීයට අසනීපයි කිව්ව ගමන් සියලු වැඩ අතහැර ගාලු දුවන්න වෙන අපි වගේ අයට ... මේ පාර සම්පතක් ... කොට්ටාව පිවිසුමෙන් අතුලු වෙලා ගාල්ල පිවිසුමෙන් පිට වෙන්න ගියේ හරියටම පැයයි.. 9.45 ට ඇතුලු උනු අපි 10.44 ට ගාල්ලේ ...

ඇගට එන ප්‍රයිවෙට් බස් .. පාර පුරා දුවන මෝටසයිකල්.. මහ සද්ද දගත්තු ත්‍රිවීලර්.... ඉවක් බවක් නැතුව හීනෙන් ඇවිදින මිනිස්සු ... හරක්... එලුවො.. මේ සා ප්‍රකාර කේන්ති අවුස්සන සුලු කිසිම දෙයක් අධිවේගී පාරේ නෑ... එක නලා සද්දයක් නෑ..වාහන හැම එකක්ම එකක් පිටිපස්සෙ එකක් පේන තෙක්මානයක් දුරට යනවා.. දැන් හිතන්න එපා මම මහා ධනවාදිනියක් වගේ පොඩි වාහන වලට පහර ගහනව කියලා..නමුත් රටක වාහන පද්ධතිය හරි පිලිවෙලකට සකස් කරන්නම ඕනි ..එතකොට කාටත් ලේසි ....

ගාල්ලට යන්න අපිට අවම පැය දෙකහමාරක් ගතවෙනවා.. එහෙම ගථකරලත් ගාල්ලට වෙනකන් යහතින් යන්න ලැබේද කියල හිතාගන්න බෑ..හැමෝම ගාලු පාරේ එක පාරක් හරි ගිහින් ඇතිනේ ... අපි ඒ දුක වින්දා ගොඩක්.. උදේ වැඩට ඇවිත් හවස ගාලු ගිහින් ආයෙම උදේ වැඩට ආපු කාලෙකුත් මගේ ජීවිතේ තිබුනා... අද ඒ ගමනම කිසි කරදයක් නැතුව පැයකින් යන්න පුලුවන් කියන්නේ හීනයක් හැබෑ උනා වගෙයි අපිට...

ගරු විපක්ෂයේ ඇමතිවරුනි මන්ත්‍රීවරුනි,

අධිවේගී මාර්ග කන්න බෑ තමයි... ඒත් ඒ මාර්ග භාවිතයෙන් ඉතුරුවෙන වෙලාව සහ ඉන්ධන වියදමෙන් කන්න පුලුවන්... ජීවත්වීම කියන්නේ කෑමම නෙමෙයි... ගමනක් යද්දි ඉස්සරහින් පිටිපස්සෙන් පරිවාර වාහන නැති... රතු ලයිට් පොලු පෙන්නලා අනිත් වාහන බය කරලා පාර අයිනට දාල පාර හදා ගන්න ඉඩකඩ නැති අපි වගේ පුංචි මිනිස්සුන්ට .. ආච්චි සීය අසනීප උනාම ගමට යන්න අධිවේගී පාරවල් ඕනි ... ඒ මිනිස්සුනේ ජීවිත අපි ගාලු පාරේ පැය දෙකහමාරක් නටල එනකන් රැකිලා නොතිබෙන්න පුලුවන් ... !!

ඇත්ත.. මේක ලෝකෙ හොඳම අධිවේගී මාර්ගය නෙමෙයි.. ඒ වගේම මේ පාරට මුවාවෙන් ආණ්ඩුවේ ගොඩක් දෙනා බඩ වඩාගෙන ඇති.. මම නෑ කියන්නේ නෑ.. ඒත්..අපිට පාරක් තියෙනවා..ඒ පාරෙන් ගාල්ලයි කොළඹයි අතර කාල වෙනස අඩුකරල තියෙනවා..ඒ මදිද ....

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට ඕන තරම් අය ස්තූති කරල තියෙන නිසා මම ඒ පාර්ශවය ටිකක් අමතක කරන්නම්... පාර හදපු පොඩි මිනිස්සුන්ට පින්... මහ කැලෑවක් කපලා..ගල් පුපුරවලා.. මේ සා විශාල වැඩ ගොඩක් කරපු කම්කරුවන්ට ..ඉංජිනේරු මහත්වරුන්ට.. හැමදෙනාටම ගොඩක් පින් ... ඒ පාරේ යන හැම වාරක් ගානෙම පින් ... !!

හ්ම්ම්...

ඉතිං ඔන්න කිව්ව වගේ මම ඉස්සරහ ආසනේ ඉදගෙන අවට සිරි නරඹමින් ගියා.. පාර හරිම ලස්සනයි..හැබැයි පටුයි... මේ අස්සේ පියානන්දෑ පටන් ගත්තා කෙඳිරි ගාන්න.. පාර හිස්..ඕන හැටියේ පැ‍යට කිලෝමීටර් සීයේ වේග සීමාවට එපිටින් යන්න පුලුවන්..ඒත් ඉතිං විහිලුවටවත් මාරිග නීති කඩන්නේ නැති මගේ මෑණියැන්දෑ  සහ පිටිපස්සේ ආසනේ ඉදන් වෙග මාපකය දිහා දන්ඩි පැටවුන්ට ඇහැගහගත්තු කොකෙක් වගේ බලාගෙන ඉන්න මගේ නැගනියත් එක්ක කොහේ හයියෙන් යන්නද... දිගටම කෙදිරි ගගා 100ට යනව ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ පියානන්දැටත් .. මටත් වස කම්මැලී.. නින්ද යාගෙනත් ආව කීප තැනකදිම ... ඇගට දැනෙන්නේ නෑ වාහනේ යනව කියලවත්... 

පාරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බල්ලන් සහ පොල්කිච්චන්.. බල්ලෝ පාර දිගේ දුවන්නේ උන්ට බෙල්ල තියන්න ආස වාහනයක් එනකන් වගේ.. අපේ වාහනේට බල්ලො දෙන්නෙක් ආස උනා..දුවගෙන දුවගෙන ඇවිත් දිවි පිදූ විරුවන් වෙන්න උත්සාහ කලත් අපි ඒ අවස්ථාව උන්ට ලබා දුන්නේ නෑ :) පොල්කිච්චෝ පාර හරහා පියාඹිනවා.. උන්ට තාම HIghway අත්දැකීම නැද්ද කොහෙද ..ඕන හැටියේ උඩින් පියාඹන්න ඉඩ තියෙද්දිත් මුන් පියාඹන්නේම වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහින්.. බටර් කුට්ටි වගේ පත කුරුල්ලෝ..වැදුනොත් කුරුල්ලට වගේම වාහනේ වීදුරුවටත් සොරි තමයි ...

මෙන්න Highway එකේ අද්දර ජීවිත ලැයිස්තුව...

මැරුනු බල්ලෝ හතරයි...
මැරුනු කුරුල්ලෝ දොලහයි ...
මැරුනු පූසො එකයි...
මැරුනු තලගොයි එකයි...
පණ පිටින් බල්ලො ගොඩායි...
පණ පිටින් කුරුලු රංචු අටයි...
පණ පිටින් පූසෝ දෙකයි..
පණ පිටින් කබරයො එකයි ...

ගාල්ලෙන් පිට උනු අපි මාතර පාරේ කඩයක් අයිනේ නැවැත්තුවා තැඹිලි බොන්න.. චාරිකාවෙදි මට හමු උනු පලවෙනි සොඳුරු මිනිස්සු දෙන්නා හිටියේ එතන.. අපි බැහැල ගිහින් තරගෙට වගේ තැඹිලි කූරුම්බා බිව්වා.. පොෂ් විදියට තැඹිලි වතුර ටික බීල කෝම්බේ විසි කරල පුරුදු නැති අපි කෝම්බෙත් පලාගෙන ලොඳ ටිකත් කෑවා...කන බොන අතරේ අපි කතා උනේ තැඹිලි ගෙඩියක් කීයක් විතර වෙයිද කියලයි ... අපේ වාහනේට ඕනම කඩේකින් වදින අධි සුඛෝපභෝගී බද්දත් එක්ක තැඹිලි ගෙදියක් රුපියක් පනහක් විතර වෙයි කියලයි අපි තීරනය කලේ... කොහොම හරි තැඹිලි ගෙඩි තුනයි කුරුම්බා ගෙඩියටයි සල්ලි ගෙවන්න ගියාම එයාල ඉල්ලුවෙ රුපියල් 80යි..අපි ආයෙම ගාන ඇහුවේ වැරදුනාද බලන්න... අපේ පුදුමය තේරුම් ගත්තු එතන හිටි මනුස්සය කිව්වෙ මෙහෙම කතාවක් ...

" නෝනා අපි මේ වෙලදාම කරන්නේ ජීවත් වෙන්න බව ඇත්තයි.. ඒත් අපි විකුනන දෙයින් කෙනෙක්ගේ තිබහ නිවෙනවා නම්..කෙනෙක් සතුටු වෙනවා නම් අපිට දැනෙන්නේ කියන්න බැරි තරම් සතුටක්.. ඔයගොල්ලො තැඹිලි බිව්වෙ පුදුම සතුටෙන්.. තැඹිලි ගෙඩිය පලල දෙන්න කිව්වම අපිටත් විස්වාස කරගන්න බැරි උනා... ඔයාලගේ සතුට අපිට සල්ලි වලට වඩා වටිනවා... එක ගෙඩියකට රුපියක් 20ක් ඇති"

අහල තියෙනවද කතාවක් සත්‍ය ප්‍රභන්ධයකට වඩා පුදුමාකාරයි කියලා.. මේක මම ගොතපු කතාවක් වගේ පේනවා ඇති..ඒත් මේක ඇත්තට මේ මහ පොළව මත සිදු උනු දෙයක්... ඒ වගේ සොඳුරු මිනිස්සු තවමත් ඉන්නවා.. වන සිව්පාවුන් වගේ මිනිස්සු මැද මට හම්බුනු දෙවිදේවතාවුන් දෙපලක් ගැනයි ඒ කථාව ... :)

චාරිකා විස්තර තව ගොඩාක් තියෙනවා.. ටික ටික ලියන්නම් .... දැනට ඇතිනේ ... :)

Tuesday, December 20, 2011

සුරංගනා කතාවක් ... !!

හෙට විභාගයක් ..
පොත හෙව්වේ දැනුයි ...
ඔන්න එතකොටයි දන්නේ හෙට විභාගෙට ඕනි කරන පොත මගේ ලග නෑ කියලා ...
ඉතිං මම තීරණය කලා අධ්‍යාපනේ අමතක කරල වැල් වටාරමක් ලියන්න ..
මොකෝ ඉතිං නැති පොත මම කොහෙන් මවන්නද දැන් .... :(

 සුරංගනා කතාව



හිතිලා තියෙන්වද අපේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ කියලා... ?
මන්දා..
මට නම් හිතිලා තියෙනවා ...
සුරංගනා කතාවකට ඕනි අඩු වැඩිය මගේ ජීවිතෙන් හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් ...
කුමාරයෙක් හිටියා ...
මම හිටියා...
මම හිතාගෙන හිටියා මම තමයි කුමාරි කියලා ...
නපුරු මන්තරකාරියෝ හිටියා ...
ගිනි පිඹින මකරු හිටියා ...
කේලම් කියන අසල්වැසියෝ හිටියා ...
හැම දෙනාම හිටියා ....

මට කථාවක් තිබුනා...
මම කථාවක් ගොතාගෙන තිබුනා..
මම හිතුවා මගේ කුමාරය සුදු අශ්වයා පිටින් ඇවිත් මගේ දුක ඉවරයක් කරලා මාව අරගෙන යයි කියලා...
මම හිතුවා නපුරු සුරංගනාවි මට කල සාපෙන් මාව මුදවන්න කුමාරයගේ හාද්දට පුලුවන් වේවි කියලා ...
මම මගේ කතාව දිගට දිගට ගෙතුවා...
 



ඒත් ....

අද මට ඇත්ත තේරෙනවා...

මගේ කතාවේ මම ඔටුන්න හිමි කුමාරි උනාට ...
අනිත් කථාවේ මමයි නපුරු කුඩම්මා...
ඒ කථාවේ කුමාරි වෙන කෙනෙක් ...

අපි හැමෝටම අපි හදාගත්තු කතාවක් තියෙනවා...
අපි ඒ කතාවේ සතුටින් ඉන්නවා.. සමහරවිට අපිට ඇත්ත දකින්න ඉඩක් ලැබෙන්නේ අපේ කතාව අපි ගොඩාක් දුර  ගොතාගෙන ගියාට පස්සේ ... එතකොට කථාවයි ජීවිතෙයි හොදටම පැටලිලා..ආයෙම ලිහාගන්න බැරි තරමටම ...

අපේ කථාවේ අපේ චරිතයයි අපේ කතාවේ ඉන්න අනිත් අයගේ කතාවල අපේ චරිතයයි වෙනස් ගොඩක් වෙලාවට..
අපේ කතාවේ අපියි සින්ඩරෙල්ලා..
අපේ කතාවේ අපියි කුමාරි..
ඒත් අනිත් කෙනාගේ කතාවේ අපේ චරිතේ ඊට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් ... ඒ කතාවේ අපියි නරක චරිතේ..
අපියි නපුරු චරිතේ ...

එහෙම වෙලා නැද්ද... ?

හිතිලා නැද්ද අපේ සුරංගනා කථාවේ ප්‍රධාන චරිතෙට.... අපි කව්ද කියලා... ?

අපි අපේ කථාව ගොතන ගමන්ම අනිත් අයගේ කතා වල රගපානවා...
ඒකයි ඇත්ත ...
ගොඩක් වෙලාවට අපේ කතාවෙන් අපි දකින අපිව වෙන කවුරුවත් ඒ විදියට දකින්නේ නෑ...
ඒ අපි ගැන දන්නේ අපි විතරක්ම නිසා ... !!

කොහොම උනත්...
මම මගේ කථාව ගොතනවා..
දිගටම...
මෙතුවක් කාලයක් මම අනිත් කථා වල මගේ චරිතේ ගැන වද උනා විතරයි...
මම අනිත් කතා වල මගේ චරිතේ හොදට රගපාන්න උත්සාහ කලා විතරයි...
මම අනිත් කතාවේ සුදු චරිතය වෙන්න උත්සාහ කලා විතරයි...

ඒත්...

ඒ උත්සාහයේ ප්‍රථිපලය මගේ කතාවට අවසානයක් ගොතාගන්න මට බැරි උනු එක විතරමයි ...
මගේ කතාවේ මගේ චරිතය වල්වැදිලා..
පටන්ගත්තු තැනක් ඉවර උනු තැනක් නැතුව...

මම මගේ කතාව ලියනවා...
හැම සුරංගනා කථාවක්ම සුඛාන්තයක් නෙමෙයි කියලා මම ලෝකෙට ඔප්පු කරලා පෙන්නනවා ...

                            කාගේ කතාවක මම කවුරු උනත් මගේ කථාව මම තනියෙම ලියනව... 
හැබැයි මගේ කථාවේ අවසානය වෙනස්... 
TheY LiveD HappilY EveR AfteR නෙමෙයි ... 
මගේ සුරංගනා කථාව ඉවර වෙන්නේ ....
He LiveD HappilY EveR AfteR එකකින් ...

මට වඩා වැදගත් අවසානය මොකද්ද කියන එක නෙමෙයි ....
                                 අවසානයක් තියෙන එකයි... !!

Thursday, December 8, 2011

~ ආදරයට ආදරෙන් ලියමි ~

මුලින් මේ වීඩියෝ එක බලන්න .... !!

ගොඩක් දෙනා දැකලා ඇති.. ඒත් අද බලනවා කියල හිතාගෙන....
දකිනවට නෙමෙයි....
උවමනාවෙන්
බලන්න..... 
ඇහෙනවට නෙමෙයි ...
වචනයක් වචනයක් ගානේ හිතට අරගෙන
අහන්න....


 සමහරවිට අද ලියමනේ මුලක් මැදක් අගක් නැති වෙන්න පුලුවන් ... සාහිත්‍යක් තියා ලියලා තියෙන්නේ මොනවා ගැනද කියලවත් නොතේරෙන්නත් පුලුවන්.. මේක තනිකරම මගේ ඔලුවේ කැකෑරෙන සිතිවිලි එලියට නිදහස් කරන්න ගන්න වෑයමක් විතරයි ... එච්චරයි ... 

ඇහුවද දාල තියෙන සිංදුව..?

මම ආසකරන සිංදුවක්.. ඒ වගේම දකින දකින වාරයක් ගානේ මාව අඩවන රූපරාමු පෙළක්... 

අද මේ සිංදුව මතක් උනේ කාර්යාලයීය සගයෙක් කිව්ව කතාවක් අහලා... එයාගේ ආදරය ඉන්නේ දුර.. ගොඩාක් දුර රටක.. ඒත් මගේ යාලුවට එයාව පේනවලු.. බස් ස්ටෑන්ඩ් එකේ... පාරක් පාරක් ගානේ එයාව පේනවලු .. 

ඒ වෙලාවේ ඉඳලා මට මේ රූප ටික එක පෙළට පේනවා.. එක දිගට... දිගට දිගටම ...

යාලු ...
අද ලියමන ඔයාගේ ඒ ආදරේ වෙනුවෙන් ...

අපි හැම දෙනාටම ආදරේ කරන්න කවුරුම හරි ඉන්නවා..දෙමාපියෝ..එහෙමත් නැත්නම් සහෝදර සහෝදරියෝ... යාලුවෝ..කවුරු හරි ...
අපි කවුරුත් තනි නෑ..

ඒත් ...

එක විදියක ආදරේක අඩුවක් කාගෙත් ජීවිත වලට දැනෙනවා... දෙමාපිය ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්න බෑ වගේම ආදරවන්තයෙක්ගෙන් ආදරවන්තියෙක්ගෙන් ලබන ආදරය පුරවන්න වෙන කිසිම විදියක ආදරයකට බෑ.තනියෙම ඉන්න පුලුවන් කියලා හිතුවට..තනියක් නෑ කියල හිතුවට... තනිවෙන එක මොහොතකට ... අනිත් අර්ධයේ අඩුව හිතට දැනෙන එක නවත්තන්න කිසිම මනුස්සයෙක්ට බෑ...

කෑමපත දිග අරින වෙලාවට අනිත් පැත්තෙන් බත් කට අනන පුරුදු අත නැත්නම් ... පාරේ යනෙන වෙලාවට අත වදින නොවදින මානයේ පුරුදු ඇඟිලිවල පහස නැත්නම්...... ඒ දැනෙන අඩුව ඒ දැනෙන හිස් බව මහ මූසල කාලකන්නි හැඟීමක්... 

දුකක් දැනුනු වෙලාවට කතා කරලා දුක නිවාගන්න පුරුදු කටහඬ නැත්නම් .... කාලකන්නි මූණු ඔරවන මූණු වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවට පුරුදු හිනා මූණ දැකගන්න බැරි නම් .... වැඩක් කර කර ඉන්නකොට ඇස් කොනට පේන ඇස් දෙකේ බැල්ම නැත්නම් .... කොටින්ම ලඟ ඉන්නවා කියලා හිතෙන බැඳීම නැත්නම්... ඒ ජීවිතය හිස්... හැඟීමක් දැනීමක් නැති.. අයාලේ පාවෙන දිරපු අතුරිකිල්ලක් වගේ.... එල්ලයක් ... ආසාවක් නැති.. පාවෙන ජීවිතයක් ... කම්මැලි ජීවිතයක්....

ආදරයක් කියන්නේ සංසාරගත බැඳීමක්... ඒකයි මගේ විස්වාසය.. දකින දකින කෙනා එක්ක ආදරයෙන් බැඳෙන්න බැරි සහ හිතේ ඇතිවෙන ආදරයක් ලේසියෙන් මරන්න බැරිවෙන හේතුවත් ඒකමයි... මම හිතන්නේ නෑ අවුරුද්දට එක ගානේ ඇත්ත ආදරයක් කරන්න පුලුවන් කියලා.. කවුරු මොනවා කිව්වත්.. කාගෙත් හිතේ එක ආදරයක් පැලපදියම් වෙලා තියෙනවා.. උදේ පාන්දර ඇහැරුනු ගමන් හිතට එන ආදරය.. හිතට එන මතකයක් කාටත් තියෙනවා.. අන්න එතනයි මම විස්වාස කරන ඇත්ත ආදරය තියෙන්නේ ....

ගිනි කාශ්ටක අතරින්... සැඩ මාරුත අතරින් නොසැලී එන ආදරය ඇත්තටම පූජනීයයි... 

කාසි වලට විකිනෙන හැඟීම අතරේ ... ඇඳක මායිමට සීමා උනු රාග ගින්නෙන් ඉපදුනු ලාබ සම්බන්ධතා අතරේ .... බැඳීමක් නැති ප්‍රේම කොන්තරාත්තු අතරේ .... ප්‍රදර්ශන ආදර ෆැන්ටසි අතරේ ....

යාලු ... 
ඔයාලගේ ආදරය මැණිකක් වගේ ...

විස්වාස කරන්න ...

මම ඇත්ත ආදරයක් ගැන අදටත් විස්වාස කරනව නම් කරන්නේ ....
ඔයාල වගේ කීප දෙනෙක්ගේ ආදරය දිහා බලාගෙන...
නැත්නම් මම ඇත්ත ආදරය කියන්නේ ෆැන්ටසියක් කියලා මේ වෙද්දි හිත හදාගෙන...
එහෙම උනා නම් මමත් ආදරයක් විස්වාස නොකරන හැගීමක් දැනීමක් නැති නරුමයෙක් වෙලා අද වෙද්දි..

ඒත් ඔයාල වගේ කීප දෙනෙක් මට විස්වාසය දෙනව..
ආදරයක් තියෙනව කියල මත ඔප්පු කරනවා..

ස්තූතියි ...

කාලෙකට පස්සෙ මට අද දුකක් දැනෙනවා..
ඒ ගැන මට සතුටුයි...
මම තාම හැහඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් වීම ගැන මට සතුටුයි..
මම හිතුව මම රොබෝවෙක් කියලා ..

නෑ..

මට දැනෙනවා..
මට පාලු දැනෙනවා ...

අදට නවතින්නම්...
මහගම සේකරයන්ගේ මේ කවි පෙලත් එක්ක ...

නිම් වලල්ලෙන් එපිට සඳ රැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතු වී
ඔබේ පා මුදු හඩ ඇසේ.

පෙල ගැසී දුර වන්දනාවක
ඉගිල යන සමනලුන්ගේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ ...

දහස් මුවගින් නැගෙන ඔල්වර
සිනා හඩ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ
මහත් තනියක් මට දැනේ ...

අහස් ගගබඩ හිමව් කුලු මත
ඔබෙ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ ....


Sunday, December 4, 2011

යදින්නී ඈ .... !!



 නෙතට කඳුලක් නොව
මුවට හසරැල් ගෙනා වරදට....

හදට සුසුමන් නොව
සිතට සිසිලක් ගෙනා වරදට....

ලොවට අඳුරක් නොව
සහන් එළියක් ගෙනා වරදට....

අතැර යාමට නොව
ලඟින් ඉන්නට පැතූ වරදට.....

සතුට ගන්නට නොව
සතුට දෙන්නට
පැතූ වරදට....

මුලු ලොවම නොව
එකම හදවත පැතූ වරදට.....

සයනයේ ඉඩක් නොව
හදවතේ ඉඩක්
ඇවැසි වූ වරදට.....

බිමට වට මහා මේඝයට
දෑත එක් කර
හිස සෙවන කල වරදට......

පතුල කටු ඇනේයැයි
රෝසමල් පෙති
බිම අතුල වරදට.......

දිය පවස නිවන්නට
රුහිරු ලේ
පිනි කඳුලු කල වරදට...........

නිදි සුවය ගෙනෙන්නට
සෝ සුසුම්
කවි පොකුරු කල වරදට.......

මිනිස් වෙස් රකුසියන්
නැසූවෙන් නොව
ලඟට ගත් වරදට.......

අන් ඇසට කඳුලු දී
අනුරාගයේ
පොත් නොකියු වරදට.......

පැය දින සති මාස නොව
මුලු දිවිය පුරවට
සෙනේ කල වරදට.......

කැබලි කර විකුනන
සෙනෙහෙ බිම් කඩ
එපා කී වරදට.........

දහක් දෙන ගිනි නිවූ
සිරුර 
දෙවොලක් කල වරදට.....

වෛර කල නිසා නොව
ආදරය කල වරදට......

මුසාවක් මත
මන්දිර තැනුව වරදට.....

විකිනෙන ආදරය
ලොවක් ලෙස පිදුව වරදට.......
අභය ඉල්ලා යදින්නී ඈ ............
ආලයේ නාමෙන්...... !!