නූලෙන් ගිලිහි සරුංගලය දෙස..
බලා උන්නාය ...
වෙරළ පුරා කෑකොස්සන් දෙන ළමා පෙල අතර, එකට තුරුලුව පෙම් සුව විඳින පෙම්වතුන් අතර, අඳුනන නාඳුනන දහසකුත් මිනිසුන් අතර...
තනි උනු...
ඈ...
නූලෙන් මිදී පලා යන සරුංගලය දෙස බලා උන්නාය...
මෙතෙක් වෙලා සරුංගලය බැඳි නූල හැසිරූ ළමා අතට කීකරුව නූල දිග තෙක් අහස පුරා දිවූ සරුංගලය ඇගේ සිත පැහැර ගත්තේ නිතැතිනි... ළමා අතට ඇවැසි දෙසකට, ළමා සිතට ඇවැසි උසකට, ළමා ඇසට පෙනෙන මානෙට පමනක් සිය අණසක පැතිරවූ සරුංගලය නූලක අග බැඳි සුවිසල් සළබයකු ලෙස ඇයට හැඟිනි. බැස යන හිරුගේ රතු රන් පැහැති කිරණින් ආලේපිත අඳුරු අහස්ගැබ පසුබිමේ මහේශාක්‍ය ලීලාවෙන් ඒ මේ අත දිව්වද සරුංගලයේ පාලනය ළමා අතක පවතින බව සිහිඋනු ඇගේ දෙතොල මදහසකින් විවර විය...
නටපන් ...
හිතේ හැටියට උජාරුවට කරණම් ගහපන්...
නටවන විදියට නටපන්...
ඔක්කොම නූලේ දිග තියෙනකන් විතරයි ...
සරුංගලයට ඇහෙන්නට කෑගසා කියන්නට ඇයට සිත්විය.
සරුංගලය දෙසම අනිමිසලෝචනයෙන් බලාසිටි ඇයට සුළං අත ,වේගය වෙනස් වනු දැනුනේම නැති. එක්වරම හමා ආ චන්ඩ සුළං රැල් ළමා අතෙන් පාලනය උනු සරුංගලය නූලෙන් මුදා අහස මත හුදකලා කරදමන නිමේශය ඇයට මග හැරුනේ එනිසාය. මොහොතකට පෙර නූලක බැඳී පා උනු සරුංගලය දැන් තනිවම ගගන මත රැඳෙන්නත පොරබදන අයුරු ඇයට පෙනිනි...
දැන් සරුංගලයේ චලනය වියරුය, ප්රචන්ඩය, පාලනයෙන් තොරය... මහේශාඛ්‍ය ලීලාවක් ගෑවුනු තැනක්වත් නැත. ඉහල අහසේ රැඳී ඉන්නට දරන තැතින් ඉරී විසිරී ගිය සව්කොලින් යුතු කණාටු උණපතුරු සැකිල්ලක් පමනක් සරුංගලය සිටි තැන රැඳී ඇත.
ඈ...
සිතන්නට වූවාය...
නූලින් බැඳි සරුංගලයයට සිනාසුනු ඈ...
සිතන්නට වූවාය...
ඈ සිනාසුනද...
ලෝකය සිනාසුනද...
සරුංගලය..
එය බැඳි නූලට ආලය කරන්නට ඇත...
එය පාලනය කල ළමා අතේ විධානයන් ආදරයෙන් පිලිගන්නට ඇත..
ඈ සිනාසුනද...
සරුංගලය තමාගේ පැවැත්ම පිළිබඳ සත්‍ය තේරුම්ගෙන සිටින්නට ඇත...
නූලෙන් තොරව.. පාලනයෙන් තොරව.... තමන්ට පැවැත්මක් නැතිබව සරුංගලය දැනසිටින්නට ඇත...
ඈ සිතන්නට වුවාය...
සරුංගලය ගැන ඇගේ පූර්ව නිගමනය වැරදිබව පසක්වන තුරු ඇය සිතන්නට වූවාය...
සරුංගලය අහසේ රැඳෙන්නට පොරබදන අතර, මොහොතකට පෙර එය මෙහෙයවූ ළමා අත කොයිබදැයි ඇය සෙව්වාය... තත්පර දශමගානකටත් අඩුවෙන් නූලෙන්..තම පාලනයෙන් මුදාහල සරුංගලය දෙස බලා උන් ළමා නෙත..ඊට වඩා මහේශාඛ්‍ය නව සරුංගලයක් දෝතට සිරකරගෙන සිනා සලන අයුරු ඇය බලා සිටියාය...
ඇගේ බැල්ම ළමා සිනාවෙන් මියෙන සරුංගලයට මාරු විය..
අහසේ රැඳෙන්නට දැරූ තැත අතැර.. පරාජය බාරගෙන... අලුත් සරුංගලයට අහස්කුස පවරමින්... ගොලු මුහුදට ඇදවැටෙන කෑලි කැඩුනු සරුංගල් සැකිල්ල ඇගේ නෙත් මානයේ රැඳින...
තව මොහොතකින් සරුංගලය සයුරේ ගිලෙනු ඇත...
කිසිවෙකුත් එය නොදකිනු ඇත...
තව මොහොතකින් නව සරුංගලය අහසට නැගෙනු ඇත...
එය සියලු දෙනා දකිනු ඇත...
ඈ...
නූලෙන් ගිලිහි...
සරුංගලය දෙස...
බලා උන්නාය... !!
පාට පාට සරුන්ගල ඈත ඉන්න අයගේ ඇස් පිනෙව්වට ඒකෙ ලස්සන සරුන්ගලේටවත් අයිති නෑ තමයි......
ReplyDeleteඅපූරු සිතුවිල්ලක්...:)
මේ පැත්තට ගොඩ උනාටත්.. ලිපිය කියවලා හිතුන දේ ලියලා ගියාටත් ගොඩක් ස්තූතියි .. :)
Deleteහිතට දැනෙන්න ලියපු කතාවක්. ලස්සනයි..
ReplyDeleteමේ පැත්තට ගොඩ උනාටත්.. ලිපිය කියවලා හිතුන දේ ලියලා ගියාටත් ගොඩක් ස්තූතියි .. :)
Delete//ඈ...
ReplyDeleteනූලෙන් ගිලිහි...
සරුංගලය දෙස...
බලා උන්නාය... !!//
හ්ම්ම්..... නූලෙන් ගිලිහිලා ගිය සරුංගලයක් පස්සෙ දුවලා දුවලා හති වැටෙන එක කාගෙත් විදියනෙ.. ටික කාලයක් යනවා ඉතිං තේරුම් ගන්න කඩාගෙන යන සරුංගල් පස්සෙ දුවන්න ගිහින්, තුවාල කරගන්නෙ, හති වැටෙන්නෙ අපරාදෙ කියලා අවබෝධ කරගන්න..:)
හ්ම්ම්ම්
Deleteඒක ලෝක ස්වභාවය බව ඔය කියන කෙනාට වටහගන්න බැරි උනාද??
ReplyDeleteහැම සරුංගලයකම ඉරණම මේක නෙමේ.. ඒ නිසා මේ සරුංගලයේ කථාව ලෝක ස්වභාවය විදියට අර්ථදක්වන්න බෑ... !!
DeleteWoww Wasana, this is excellent. අපි සාමාන්‍ය ඇහැකින් දකින දේවල් ඔයා මේ වෙනස් ඇහැකින් බලලා ලියන විදිහ හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි යාලු.. ඒත් වෙනස් ඇහැකින් වෙනස් විදියට ලෝකය දකින්න ගිහින් මට නැතිඋනු දේ අනන්තයි
Delete