බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, January 10, 2012

~ පිස්සිගේ කැටයම ~


කෝපි කුඩු
සැත් පිහිය (නැත්නම් බ්ලේඩ් එකක් උනත් කමක් නෑ)
පුලුං
ප්ලාස්ටර්
ඇයි .. ප්ලාස්ටර් කපන්න කතුරක් ....

සියලු අඩු වැඩිය තමන් සතුව ඇත්දැයි පිස්සි නැවත සොයා බැලුවාය.එක් දෙයක් හෝ අඩු වී ඇත්නම් නැවත එය සොයා ඒම කල නොහැක්කකි. ක්‍රියාවලිය ඇරඹි පසු සියල්ල නිම වී නැවත පිටතට එන තුරු ක්‍රියාවලියේ සුමට ගලනයට අවශ්‍ය සියලු දේ එකවර රැගෙන යාම අත්‍යාවශ්‍ය බව පිස්සිට අමතක නැත.

ඇවැසි සියලු දේ, සෝදන්නට ගෙන යන රෙදි පොට්ටනිය තුල ඔබා ගත් පිස්සි නාන කාමරයට වැදිනි.ජල කරාමය මහ හඩින් ඇර දැමූ පසු බාහිර ලෝකයෙන් එල්ල වන අනවශ්‍ය කුකුසින් නොතැවී තම කාර්ය නිදහසේ කරගෙන යා හැකි බව පිස්සී දනී... ඇඳුම් උනා ලූ පසු පෙනෙන හිරු එළියට නොදැවුනු සමේ කිරි පැහැය පිස්සිට ගෙනාවේ සතුටකි... සෝදන්නට ගෙනා රෙදි ගොඩ මත පහසුවට වාඩිගත් පිස්සි දකුනු පයේ උඩට වන්නටඇති කැටයම අතගා බැලුවේ සීරුවෙනි.

සිනිඳු සම මතුපිට එකම තැන දිගින් දිගටම කපන ලද කැටයම දැන් බොහෝ දුරට සමෙන්ම උපන් දෙයක් ලෙස පෙනෙන බව පිස්සිට වැටහිනි. සමට කොටා ඇති මුලකුර මතින් සිනිදුවට ඇගිල්ල යවන පිස්සිට එම කැටයමේ ජන්ම දිනය මතකයට ආවේ නිරායාසයෙනි.වචන වලට ඉඩක් නොතිබුනු ඒ දිනයේ තවත් අතකින් ඒ කැටයම මත සීරුවට ඉරි ඇඳුනු හැටි, පිස්සිගේ කැටයමේ වේදනාව ඒ ඇස් දෙකින් පෙනුනු හැටි, ඒ වේදනාව දරාගන්නට පිස්සිගේ දරදඩු හිතට බැරි උනු හැටි, ඒ නිසාවෙන්ම ඒ පලමු මෙන්ම අවසාන කැටයම බවට  දිවුරා පොරොන්දු උනු හැටි, පිස්සිගේ මතකයට ආවේ එක පිට එක ඇඳෙන සිනමා රූපරාමු පෙලක් විලසිනි....

*******************************************************
පොදිබැදගෙන ආව අඩුවැඩිය ආයෙම එකතු කරගෙන එලියට එන්න පිස්සිට හිතුනේ එක පාරටමයි..

ඒත්..

හමේ ගැඹුරටම කාවැදිලා තිබුනු කැටයමට තවත් කියන්න දේවල් තිබුනා.

ඒ පලමු වතාවෙන් පස්සේ..ඒ හීන ලෝකයෙන්..ඒ මායවෙන්.. ඒ බොරු දුක් ඇස්වලින් මිදුනට පස්සේ... දින සති මාස ගෙවිලා හැමදෙයක්ම වෙනස් උනාට පස්සේ... පිස්සිට ආයෙම කැටයම අලුත්කරන්න සිද්ධ උනා එක දවසක්.

එදා.. 
එක දවසක් උනු පොරොන්දුව කඩකල බව පිස්සිට මතක් උන නිසාම පිස්සි සමාව ඉල්ලුවා පොරොන්දුව ගත්තු කෙනාගෙන්..
එදා ඒ ඇස් වල තිබුනේ වේදනාවක් නෙමෙයි..
තරහක්..අප්පිරියාවක්..කරදරයක්...

"තමන්ගේ ඇගපත කපා ගන්නේ පිස්සො.පිස්සොත් එක්ක ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ"


කැටයම ආයේ ජීවිතය ලබන්න හේතුව දැන දැනත්, කැටයමට මුල්ම දවසේ හාද්දක් දීපු දෙතොලින්ම එහෙම කියවුනු බව පිස්සිට මතක් උනා..

සැත්පිහිය අතට ගත්තු පිස්සි කැටයම උඩින් ආයෙම කපාගෙන කපාගෙන ගියේ ඒ වචන ටික හිතෙන් මකලා දාන්න වගේ. සැත්පිහියේ තියුනු තුඩෙන් හතරවන පස්වන වතාවටත් ඉරිඇඳුනු මුලකුර වසාගෙන රතුම රතු පාට ලේ පාරවල් කකුල පුරාම ගලන්න ගත්තේ පිස්සිගේ හිත සතුටින් පුරවගෙන. කැටයම් කල මුලකුර ලේ වලින් වැහිලා යද්දි වතුර පාරකින් ඒ ලේ සෝදල දාපු පිස්සි කැපුම් දාර වලට අලුත් ලේ උනන හැටි බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා.පුංචි පුංචි ලේ බින්දු එකතු වෙලා ලොකු ලේ පාරක් හැදෙන හැටි හරිම ලස්සනයි කියලයි පිස්සිට හිතුනේ..

ලේ.. රතුම රතු ලේ...



ධමනියක් කැපිලා ඇති.. ඒකයි ලේ මෙච්චර රතු...
පිස්සිට උසස්පෙල ජීව විද්‍යාව මතක් උනා..
විකාර..
ධමනි කොහෙද හම මතුපිට..
මේ කැපිලා තියෙන්නේ ශිරාවක පුංචි අත්තක්..
ඇස් ඉස්සරහ මැවුනු ජීව විද්‍යාව ගුරුතුමී ඔරවගෙන එහෙම කිව්ව..

හිතන ගමනුත් සැත් පිහිය මුලකුරු කැටයම තව තවත් මසට කාවද්දමින් හම මතුපිට දුවලා වග පිස්සිට දැනෙද්දි මුලු කකුලම ලෙයින් වැහිලා ඉවරයි. කකුලේ නැතුව නලලේ මේ කැටයම කොටාගන්න පුලුවන් නම් කොයි තරම් එකක්ද කියලා පිස්සි දස දහස් වෙනි පාරටත් හිතුවා.

ඒත්..

කැටයම ලෝකෙන් හංගන්න ඕනි බව පිස්සිට තේරුම් ගිහින් තිබුන.

ලේ හෝදල දාල ආයෙම කැටයම් කල මුලකුර දිහා පිස්සි අනිමිසලෝචනයෙන් බලාගෙන හිටියා. දන්න හැම විදියකටම පොත් පිටු ගනන් පිරෙන්න ලිව්ව මුලකුර හමේ ගැඹුරේ ඉඳන් හිනා වෙන වග පිස්සිට පෙනුනා..

පිස්සිට මොකද්දෝ දැනුනා...
දුකක්..? කේන්තියක්..? ආත්මානුකම්පාවක්...?

නෑ..
ඒ එකක්වත් නෙමෙයි...

පිස්සිට දැනුනේ ආශාවක්..

ඉවසාගන්න බැරි උමතු ආශාවක්...
ඒ මුලු ඇග පුරාම කැටයම කොටාගන්න..

බාබකිවු දාන්න සූදානම් කල මාලුවෙක්ට තුනපහ උරාගන්න කපනවා වගේ, ඇග පුරාම දිගට හරහට කපාගෙන කපාගෙන යන්න ආසාවක්...


පිටතින් ඇහුනු බැන අඩගැහීමකුත් එක්ක පිස්සි පියවි ලෝකෙට ආවා. ඇත්ත ලෝකෙට මූන දෙන්න වෙලාව ඇවිත්.

වෙනදා වගේම කැටයමේ අමු ලේ උඩින් සීරුවට අතුරපු කෝපි කුඩු ටික ලේ එක්ක කලවම් වෙලා තද කලුපාට වෙන හැටි පිස්සි බලාගෙන හිටියා. ඒ උඩින් පුලුන් තියලා..ලස්සනට ප්ලාස්ටර් අතුරපු පිස්සි කැටයම මුද්‍රා තිබ්බේ පලපුරුදු වෛද්‍යවරයෙක් බරසාර සැත්කමක් නිමා කරනවා වගේ සීරුවෙන්. සතියකින් කැටයම අපූරුවට හමට බද්ධ වෙලා තියේවි,ආයෙම මාසෙකින් අලුත් කරනකන් ... සුසුමක් හෙලූ පිස්සී සුරතාන්ත ප්‍රීතියකින් පියවි ලෝකයට අඩිය තිබ්බා.


*****************************************************************



පසු සටහන...

පිස්සිව හමු උනු එක් දිනෙක ඇය මෙලෙස තම සිරුරට පීඩා ගෙන දෙන්නේ ඇයිදැයි මම ඇගෙන් විමසීමි.සිනාසුනු ඈ මෙසේ කීවාය..

මානසික පීඩාවද ශාරීරික පීඩාවද වඩා දැඩි යැයි විමසීමට මම එලෙස කරමි. මානසික පීඩාව ඉවසිය නොහැකි වු කල්හි මම ඒ පීඩාව සැත්පිහියෙන් මගේම සම මත කැටයම් කරමි.එවිට දැනෙන ශාරීරික පීඩාවෙන් මානසික පීඩාව යටපත් වේදැයි පරීක්ෂා කර බලන්නෙමි.. අද වෙනතුරුත් එය එසේ නොවුනු නමුදු යම් දිනෙක එය එලෙසම වන තුරු මම කැටයම් කිරීම අත් නොහරිමි...

නමුත්... ඒ මගේ හඩයි...
ලෝකයා... සමාජය... මිනිස්සු... ඔබ පිස්සෙක් බව තව තවත් තහවුරු කරාවි නේද?

පිස්සි සිනාසුනාය... 
මුලු ආත්මයෙන්ම සිනාසුනාය...

දන්නවද...
මිනිස්සු විතරක් නෙමේ...
මමත් හිතනව මට පිස්සු කියලා...


මම නිරුත්තර වීමි !!
 

Saturday, January 7, 2012

~ අවාරයේ පොත් වන්දනාව ~

සෙනසුරාදා..
සතියේ දවස් වලින් මට පෙන්නන්නම බැරි දවස...
මට නිවාඩු තියෙන එකම දවස සෙනසුරාදා...
නිවාඩු දවසක් කියන්නේ මගේ සිතුවිලි ඉබාගාතේ යන කරුමක්කාර දවසක්...
කරන්න දෙයක් නැතුව යන්න තැනක් නැතුව ගෙදරට හිර වෙලා ඉදිද්දි හිතට එන හැඟීම් අනන්තයි අප්‍රමානයි ...
මම අකමැතී හිතට හිතන්න ඉඩ දෙන්න...
ඉඩක් ලැබුන ගමන් මේ කරුමක්කාර හිත දුවන්නෙම මම අමතක කල කිලිටු අතීතෙට...

අදත් වෙනදා වගේම ඇහැරුනු වෙලේ ඉඳන් හිත ඉබාගාතේ දුවනවා...
මොනව කරන්නද කියලා හිතාගන්න බැරි උනා..
කාමරේ අස් කරන්නත් බෑ ඒක දැනටමත් මට ඔලුවෙ කැක්කුම හැදෙන තරමට පිලිවෙලට අස්කරල නිසා...
රෙදිත් නෑ හෝදන්න...
පාඩම්.... :)
පාඩම් නෑනේ.. මාව උපාධියෙන් දොට්ට දැම්මනේ ....
බ්ලොග් එක ලියන්න හිතුවත් සුපුරුදු අදෝනාව ඇර වෙන ලියන්න මුකුත්ම හිතාගන්න බෑ තාමත්...
කරන්න දෙයක් නැතිම තැන ඉවර නොකරපු මැහුමක් අතට ගත්තේ ඒකවත් ඉවරයක් කරන්න..
වැරදියට මැහුන මැහුම දෙපාරක් ලිහල තුන්වෙනි පාරට මහද්දි ඉදිකට්ට අතේ ඇනුනම.. ඒකත් එපා උනා...

ඔහොම ඉන්නකොට තමයි මතක් උනේ විදර්ශනා පාඨක ජාලයෙන් එවල තිබුනු ලිවුම ...
ඉතිං සුපුරුදු ඩෙනිමයි ටී කමිසෙයි දාගෙන ගමන්ගත උනා නුගේගොඩට යන්න...


පුංචි කඩයක් පුරවලා පොත් ...
හැමදෙයක්ම ඒ පොත් ටික දැක්කම අමතක වෙලා ගියා... :)
බලු කුක්කෙක්ට මස් කට්ටක් හම්බුනා වගේ.. එහෙමත් නැත්නම් ගණිකාවකට පෝසත් තැරැව්කාරයෙක් හම්බුනා වගේ පුදුම සතුටක් දැනුනා පොත් වල සුවඳ ආපු ගමන් ....
දැනටම එතන තිබුනු පොත් වලින් 80%ක් විතරම මගේ ලග තිබුනත් පොත් අත ගගා ඉන්නකොට දැනුනු සනීපේ කියලා නිම කරන්න බැරි තරම් ...
කොහොම කොහොම හරි මගේ ලග නොතිබුනු පොත් ටිකක් මම හොයා ගත්තා..
මේ තියෙන්නේ ඒවා ..









මම පොත් හොයන අස්සේ කඩයට ගොඩ උනා ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි..ආදර කපල් එකක්ද කොහෙද.. :) කොහොම හරි ඒ දෙන්නා මාව කඩේ වැඩ කරන්නෙක් විදියට වරදවා වටහාගත්තා..මමත් මුකුත් නොකිය එයාල ඉල්ලුව පොත් ඔක්කොම හොයලා දුන්නා.. ඇත්තමයි මම කැමතී පොත් කඩේක වැඩ කරන්න... ඒක හරීම සතුටුදායක රස්සාවක් ... :)

වෙන ලියන්න දෙයක් නෑ..
මට ලියන්න දෙයක් මතක් වෙන්නේ නෑ..
දුක ලිව්වොත් යාලුවො බනින නිසා දුක ලියන්නත් බෑ..
කවදා හරි සතුටක් දැනුන දවසක... මටත් ඉරක් පායපු දවසක.. ආයෙම ලියන්නම්...
එතකන්...
මාව අමතක කරන්න එපා ... !!

Sunday, January 1, 2012

~ මගේ කථාව ~

අලුත් අවුරුද්ද පටන්ගන්න පුලුවන් හොඳම විදියට පටන් ගත්තා... සතුටු වෙන්න පුලුවන් අඩවන්න ඕනි වෙලා හිටි මිනිස්සුන්ට... තමන්ගේ උත්සාහය සාර්ථකයි... :)




මගේ බ්ලොග් එක මම පටන් ගත්තේ මම ගැන ලියන්න... සාහිත්‍ය ගැන නෙමෙයි මම ගැන ලියන්න.. අහන්න කෙනෙක් නැති .. කියන්න කෙනෙක් නැති .. මගේ කථාව සයිබර් අවකාශෙට මුදා හරින්න.. පිවිසුමේ කියලා තියෙනව වගේම..බාඳුරා අසපුව බිහි උනේ මගේ ලේ මස් නහර උරා බීපු..ඒත් ඒ බව නොදැන මම දිගටම පුද පූජා කරපු... නෙලුම් අසපුවක් කියලා මම රැවටුනු...බාඳුරා අසපුවකින් මගේ ජීවිතේ තැලිල පොඩි උනාට පස්සේ .... මේක සාහිත්‍යමය බ්ලොග් එකක් නෙමෙයි..එහෙම හිතිලා වැරදිලා මේ පැත්තේ ආව අය මට සමාවෙලා ආපහු යන්න.. 

මෙ මගේ ජීවිතේ... 
ලෝකෙට නිරාවරනය කල මගේ පෞද්ගලික ජීවිතේ ...

මම කාලකන්නි ජීවිතයක්.. මම ඒක නෑ කියන්නේ නෑ... මම කවදාවත් කඩේකින් මුලින්ම බඩුවක් ගන්නේ නෑ.. බස් එකකට මුලින්ම ගොඩ වෙන්නේ නෑ..ඒ මගේ ජීවිතේ කාලකන්ණිකමෙන් අනිත් ජීවිත වලට වදයක් වෙන්න මට ඕන නැති නිසා.. මම කවදාවත් කිසිම කෙනෙක්ගේ ජීවිත වලට ඕනවට වඩා ලංඋනේ නෑ..කාටවත් ලංවෙන්න දුන්නෙත් නෑ.. මගේ රාමුව ඇතුලේ මම තනියෙම හිටියා...

ඒත් එක දවසක් මට ආදරේ දැනුනා... මට දැනුනා එක ජීවිතයකට ලංවෙන්න මම කැමතී කියලා.. මම ගොඩක් බය උනා... මම ඒ ජීවිතෙන් ඈත් උනා.. ඒ ජීවිතේට කිව්ව මගෙන් ඈතට යන්න කියලා..

මගේ හෝ ඒ ජීවිතේ කරුමෙට ..එයා ඈතට ගියේ නෑ එදා... මගෙත් එක්ක ඉන්නම් කියලා..දුක නිවන්නම් කියල මගේ ලගට ආව..මම දුවන්න දුවන්න තව තවත් ලගට ආව... මමත් ඒ ජීවිතේ මගේ ජීවිතේට ලං කරගත්තා...ඉබ්බ දියේ දාන්න හැදුවම ඇන්නෑවේ කිව්වා වගේ ;)

ගොඩක්  දේ උනා..ගොඩක් දේ කිව්වා.. එදා මගේ අනතුරු ඇඟවීම නොතකා මගේ ලඟට ආපු ජීවිතය..පස්සේ කාලෙකදි එයා හොයගත්තු ජීවිතයත් එක්ක යන්න ගියා... එද්දි කියලා ආවත් යද්දි කියල යන්න එයාට අමතක උනා... 



අද මම තනියෙම... මම දකින්න බය උනු ජීව්තය මට පෙන්නල ඒක ආයෙම උදුරගෙන වෙන කෙනෙක්ට දෙන්න තරම් මගේ ජීවිතයට ආව කෙනා නපුරු උනා... කවදාවත් මම දැනගෙන හිටියේ නෑ මට අහිමි මොනවද කියලා... මම ජීව්තය දැකල තිබුනේ නෑ..මොකද... මම විහිලුවටවත් ඒ වෙනකන් අකුරු හතරේ ආදරය දැකලා තිබුනේ නෑ..ඒත් එයා ගිය දා ඉඳන් මම දන්නව මට නැතිඋනේ මොනවද කියලා... උපතින්ම ඇස් නොපෙනුන කෙනෙකුට අහිමි උනු දේවල් අඩුයි.. නමුත් ඇස් නොපෙනී තිබිලා ආයෙම ඇස් පෙනිලා..ආයෙම ඒ ඇස් දෙක උදුරගත්තු කෙනෙක්ගේ කථාව ඇස් පෙනෙන නොපෙනෙන කිසිම කෙනෙක්ට කවදාවත් තේරුම් ගන්න බෑ...

මම ඇඩුවා..ගොඩක් ඇඩුව..අදත් තාමත් අඩනව.. කැමති කෙනෙක්ට පුලුවන් අනුකම්පා කරන්න..කැමති කෙනෙක්ට පුලුවන් හිනා වෙන්න ..කැමති කෙනෙක්ට පුලුවන් කැමති විදියකට මගේ කඳුලු අරුත්ගන්වන්න ...

ගිය කෙනාට මම සාප කරන්නේ නෑ..සමහරවිට මගෙත් එක්ක ඉන්න එක ඒ කෙනාටත් දුකක් වෙන්න ඇති.. මම ඒ ජීවිතයටත් කවදාවත් හිනාවක් ගේන්න නැතුව ඇති.. දුකක් කරදරයක් ... අඳුරු මතකයක් මිස ඒ ජීවිතයට මම වෙන මුකුත් නොවෙන්න ඇති... මට කවදාවත් බැරි උනා ඕනි එකෙක්ට හෙන ගහපුදෙන් කියලා මගේ ජීවිතය විඳින්න.. මම හැමදාමත් දුක් උනා.. අනිත් මිනිස්සු ගැන..මම නිසා විදවන අනිත් අය ගැන... ඒ නිසා මගෙත් එක්ක හිටි කාලය ඒ ජීවිතයත සතුටක් ගේන්න නැතුව ඇති.. නිදහස් එලිමහන් ඇවිදීම්..හින පිරුනු කථා... කුරුලු පිහාටු කාලයන්...සීනි බෝල කථා කවදාවත් මගේ ලග තිබුනේ නෑ එයාට දෙන්න... හැමදාමත් මම දුක් උනා මම නිසා..මගේ ජීවිතෙට සතුටක් දෙන්න ආව නිසා එයාට නැති උනු දේවල් ගැන... මම කවදාවත් එයාගේ ලෝකෙ දේදුන්න උනේ නෑ...ඒත්.. මට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි... ආපහු උදුරගන්න නම් ඇයි ජීවිතයක් දුන්නේ ... ? ඇයි එයා තේරුම් නොගත්තේ එයාගේ දේදුන්න වෙන්න මට බෑ කියලා? ඇයි එයාගේ දේදුන්නව එයා කලින්ම හොයා නොගත්තේ? ප්‍රෂ්නයක් ..... !!





මගෙත් එක්ක එකට හිටි ජීවිතය මාව තේරුම් නොගත්තනම් ඒ වටේ පාවෙන අනිත් ජීව්ත මාව කොහොම තේරුම් ගන්නද :) මගේ ගැන.. මගේ ජීවිතය ගැන මුකුත් නොදන්න මිනිස්සුන්ට උත්තර බඳින්න යන්නේ නෑ මම... මාව තේරුම් ගනී කියල හිතපු එකම මනුස්සයගෙන් මේ තරම් බැනුම් අහගත්තට පස්සේ .... තවත් මොන කථාද ...

මට ආඩම්බරයි මම ගැන.. හැම දෙයක්ම උනාට පස්සෙත්..... හිත හදන්න...ලඟින් ඉන්න... එක ආදර වචනයක් කියන්න කෙනෙක් ලඟින් නැති උනත්.. මමත් ජීවත් උනා... අවුරුද්දක්ම මගේම කඳුලු වලින් ජීවිතය හදාගෙන මමත් ජීවත් උනා... මගේ චරිතය එක එක්කෙන කැමති කැමති විදියට විවෙචනය කරද්දි.. මගේ ජීවිත කථාව Drama එකක් විදියට මිනිස්සු දකිද්දි.. මම හැමෝගෙම ජීව්ත වල Drama queen කෙනෙක් විදියට හංවඩු ගැහෙද්දිත් මම ජීවත් උනා... නිදිපෙති බිව්වෙවත්..කෝච්චියට බෙල්ල තිබ්බෙවත් නෑ :) අනුකම්පාව යදින ආත්ම කථනයක් විදියට මිනිස්සු දැකපු මගේ පුංචි බ්ලොග් එකට මගේ දුක දිය කර ඇර ඇර මම ජීවත් උනා.. අහන්න කෙනෙක් නැති මගේ කථාව අන්තර්ජාලය හරහා ඔහේ ගලාගෙන ගියා...

මම තාම පණ පිටින්...

හැමදේම වෙන්නේ හේතුවක් ඇතුව කියලයි මගේ ජීවිතේට ආව කෙනා මට කියල දුන්නේ...
අද මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල මම දැනගන්න කැමති....

දේදුන්නක් හැදෙන්න අවුවයි වැස්සයි දෙකම ඕනිලු... 
ඔව්..
මම අව්වත් වින්දා..
වැස්සත් වින්දා...
ඒත් කෝ මගේ දේදුන්න ?

මගේ බ්ලොග් එකත් සමහරවිට බොහොම ඉක්මනින් මේ අවකාෂයෙන් මිදිලා යාවි... මගේ කථාව මාත් එක්කම මැරිලා යයි... 

මේ පෝස්ට් එකෙන් පස්සේ මට තියෙන ඔක්කොම බැඳීම නැති වෙන බව මම දන්නවා.. බැනුම් මහ ගොඩක් මැද.. මම තනිවෙන බවත් මම දන්නවා... ඒත් මට තවත් නැති වෙන්න දෙයක් ඉතුරු නෑ..මගේ ගැන මගේ කථාවට වඩා පිට මිනිස්සුන්ගේ කථා වැදගත් උනු දවසේ ඉඳලා....
මම විස්වාස හැමදේම අමු බොරුවක් මිස ඇත්තයි නෙමෙයි කියලා මම දැනගත්තු දවසේ ඉඳලා... 
මම ගෙවල් හැදුවේ බොරු ගොඩකින් හැදුනු පාදමක් උඩ කියලා මම දැනගත්තු දවසේ ඉඳලා.....
මම මැරිලා ඉවරයි .... 




(මගේ ගැන නොදන්න.... ඒත් මම හැමදේම දන්න මිනිස්සුන්ට මගේ කථාව කියන්න මට උවමනාවක් නෑ.. ඒ මිනිස්සු වෙනුවෙන් මම කලේ මොනවද..නොකලේ මොනවද...ඒ හිලව්වට මට දුන්නේ මොනවද කියලා හෘද සාක්ෂිය දන්නවා ඇති.. තමුන් හිතනව නම් තමුන් හරි කියලා.. එච්චරයි ... !! කියන්න තියෙන්නේ එක දෙයයි... තම තමන්ට ඕන උනු දේ උනා... ඒ මීට ගොඩ කලකට ඉස්සර .... 2012 සතුටින් ඉන්න.. ඒ වගේම අනිත් අයවත් සතුටින් තියන්න..කරුණාකරලා)