බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, November 19, 2011

වෙන මුකුත් එපාද?







හ්ම්ම් ..
ඔය ලියලා තියෙන්නේ මහ ලොකුවට පද පේලි බර ගානක්....
හැමදාමත් ඔහොමමයි...
ඔන්න ඔය බරපතල දර්ශනේ තමයි මට පෙන්නන්න බැරි....
මහ ගොඩක් දේවල් කියලා තියෙන්නේ...
අහපු මිනිස්සු කඳුලු පිහ පිහ අහගෙන ඉන්න ඇති ...
මල් තියලා වදින්න ඇති ...
ඇයි දෙයියනේ .. සුලුපටු පරිත්‍යාගයක්ද ඔයා කරලා තියෙන්නේ...

මට හිනා ... 
මට පණ යනකන් හිනා ...

ටිකක්වත් මහන්සි උනේ නෑ නේද මට කියන්න තියෙන දේ අහන්න ....
අහගන්න.. හොඳට අහගන්න මට කියන්න තියෙන ටිකත් ..

හන්තානට පායන හඳ ලස්සනයිද කියලා අහන්නේ සාමන්‍ය පෙළ පාස් වෙලා උසස්පෙලටත් ලියපු ඔයාමද හැබෑටම.. ?

පෘථිවියට තියෙන්නේ එක උප ග්‍රහ ලෝකයයි... පෘථිවියේ ඉන්න හැමෝටම පේන්නේ ඒ උප ග්‍රහයම තමයි.. හන්තානට එක හඳකුයි.. කුප්පියාවත්තට එක හඳකුයි පේන්නේ නෑ.. හඳ කොහෙටත් එකයි..
හඳේ සුන්දරත්වය තියෙන්නේ හිතේ මිසක ඒ මැරුනු ග්‍රහ ලෝකේ නෙමෙයි.... දිව්‍යලෝකෙට පෑව්වත් හඳ ලස්සන නැති වෙන්න පුලුවන්.. ඒ වගේම බ්ලූ මැන්ඩල් කුණු කන්දට උඩින් පායන හඳත් කෙනෙක්ට ලස්සනට පේන්න පුලුවන්... එතෙන්දී බලපාන්නේ හිත විතරමයි.. හිත ලස්සන නම්.. හිත සතුටින් නම් හඳ කොහොම පෑව්වත් ලස්සනයි ...

කොහොම හරි..අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම්..

නෑ..

හන්තානට පායන හඳ ලස්සන නෑ...
ඒ ඔයා මගේ ලඟින් නැති නිසා ... 



අපි දෙන්නා එදා ගිය කුඩේ යටින් අද වෙන කෙනෙක්ව අරගෙන යන්න කියන්නේ ඇයි? මගේ කුඩේ පොදු බස් ස්ටෑන්ඩ් එකක් වගේ පේනවද ඔයාට.. ? ඔයා හිතන්නේ ඔයා නැති උනාම කුඩේ යටට තව කාව හරි ඇදගන්න තරම් තනියක් මට තියෙනවා කියලද.. ? මට තනියම යන්න පුලුවන්.. මුලු කැම්පස් එකටම ඉන්නේ මමම විතරයි උනත් මට තනියෙම ඉන්න පුලුවන්...තෙමෙන තෙමෙන උන් එගොඩ කරන්න මගේ කුඩේ ජන සතු දේපලක් නෙමෙයි.. අන්න ඒක මතක තියාගන්න...

අත වනන වනන ලතා මඩුල්ල අස්සේ රිංගන්න මම මොකෙක් වගේද පේන්නේ? ඔයා කිව්ව පලියට පඳුරු ගානේ රිංගන්න තරම් අමාරුවක් තාමත් නෑ මට...

මතකය ගුලි කරලා මහවැලියට දාන්නලු....

මතකය ටොපි කොලයක් කියලද හිතේ ඕන ඕන වෙලාවට ගුලි කරලා මහවැලියට දාන්න...

අනේ හැබෑටම.. ඔයාට හැඟීමක් දැනීමක් කියලා නාමයක් නැද්ද ...?
මට ඕනි උනේ ඔයාව..
ඔයාව විතරමයි...
එකට පටන් ගත්තු ගමනක් ඔයා කොහොමද මෙහෙම තනි කැමැත්තට ඉවර කරන්නේ?
මට ඕනි මොනාද කියලා අහල බලන්න එක තත්පරයක් තිබුනද ඔයාට?

කුඩෙටයි අරකටයි මේකටයි තනි රකින්න කෙනෙක් හොයාගන්න අවසර දීලා.. මහා කථාවක් කියලා... යන්න ගියාම මමත් හුරේ දායි කියලා හිතුවද...?
හිතුවද ඔයාගේ සින්දුව අහපු අනිත් අය වගේ මමත් ඔයාගේ දාන පාරමිතාවට සාදු සාදු කියයි කියලා.. ?

හිතුවද එහෙම ... ?

මට තනියක් තියෙනවා.. ඔව් මම තනියෙම.. ඒ ඔයා නැති නිසා.. ඔයාට ඇරෙන්න වෙන කාටවත් ඒ තනිය නිවන්න බෑ.. බෑ බෑමයි...

මට ඕනි උනේ රන්තලියක් වගේ පෙරේතකමින් මාව රැකගන්න සේරිවාණිජ කෙනෙක් මිස හැම දෙයක්ම දන් දීල තපසට යන්න පුලුවන් වෙස්සන්තර කෙනෙක් නෙමෙයි..

මට ඕනි උනේ බැඳීම් තියෙන ආත්මාර්ථකාමී ආදරයක් මිස.. නික්ලේශී බැඳීම් නැති ලෝකෝත්තර ප්‍රේමයක් නෙමෙයි...

මොලේ මැටිද ඒ ටික තේරුම් ගන්න බැරි ... ?


මොකද විරිත්තන්නේ... ?
මට විකාරයි ඔය මෝඩ තේරුමක් නැති විරිත්තිල්ල ...
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ පණ්ඩිත වාක්‍ය මට දාන්න බෑ කියලා නේද ...?
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ ලස්සන කාව්‍යමය කතන්දර මට නෑ කියලා නේද ..?

අහගන්න එහෙනම් ...

හන්තාන කඳුවැටිය එකලු කර නිශා කත සනසවා ඇදෙන රිදී සිසි කැන් දහර ලොවට පිවිතුරු නමුදු.. මට එය සීතල අරුත්සුන් තවත් එක් අලෝක පුංජයක් පමනමය... ඔබ ගතට වාරු වී.. ඔබ සුසුම කොපුල් තල වැදුනු එක රැයක සඳවත අහස්තල හැරදමා ගොස් තිබුනද.. ඒ අමාවක රැය.. මට හන්තානේ සඳ පහන් රැයකටත් වඩා සොඳුරු... ඒ රැය පුරාවට ඔබ සුවඳ මා අවට ගැවසුනු නිසාවය.... 

ඔබ සමග අමාවක... හන්තානේ පුන් පොහොයට වඩා මට එලියය..

අහස් කුස දෙදරවාගෙන මහා මේඝයන් පොලෝතල සිඹින සඳ පෙරදිනක එකට බැඳී මෙවැනි වැහි කෝඩයක ආගිය ගමන් අද මට සිහියට එන්නේ නිතැතින්මය... දෙනෝ දහසක් දෙනා එදා ඔබ සිටි තැනට එන්නට පෙරුම් පිරුවද ඒ කිසිවෙකුට ඔබේ හිස් තැන පිරවිය නොහැකිබව මා තරම් හොඳින් මෙලොව කිසිවෙකුත් දන්නේද නැත... ඒ තනිය ඇත්තේ සිතේ මිසක... කුඩේ යට ඔබ සිටි භෞතික අවකාශයේ නොවන නිසාවෙන්ය.. 

ඔබට හැර සිතේ ඇති හිඩැස කිසිවෙකුටත් කිසිදා පිරවිය නොහැක...

මල් පිපුනු වසන්තය මට අරුමයක් නොවේය. නෙතු කෙවෙනි රූරා ගලන කඳුලින් බොඳව පෙනෙන කුසුමක ඇති සුන්දරත්වය කුමක්ද ... ? මට ඇවැසි මලින් පිරි තුරුගොමුවක පහස නොවන්නේය... මට ඇවැසි ඔබ අසල.. ඔබ ළය මඩල මත මගේ රිදුම් දෙන හිස එක මොහොතකට සැතපවීමට පමණය...

ඒ නිමේෂයේදී.. මට කතර කෙම් බිමක් වන්නේය ...

මතකය මහ සයුරක් නම් .. කෙලෙස මම එය හකුලුවා මහවැලියට දමමිද.. ? මහවැලිය මෙන් දෙතුන් ගුනයක්... විටෙක ලක්ෂ කෝටි වාරයක් විසල් ඔබ ගැන වූ සොඳුරු මතකන් මම කෙලෙසක මහවැලිය තුල සඟවමිද ... ? මතකය මහවැලි දියට වඩා විසල් නම් ... ආදරය මහවැලියේ සීමා මායිම් ඉක්මවා යන්නේ නම් ... එහෙව් ආදරයක්.. එහෙව් මතකයක් ... කෙලෙස ලඝුකොට මහවැලි දියේ හෙලන්නද ... ?


හරිද...
දැන් හරිද...
තේරුනාද ...?
ඔන්න ඔයාගේ භාෂාවෙන් කිව්වා...
දැන්වත් තේරුනාද..?

මොකෝ කථා නැතුව ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෙක් වගේ බලාගෙන ඉන්නේ..?

හඳ බැලීමයි.... කුඩේ යටින් යන්න කෙනෙක් හොයා ගැනීමයි.. මල් පඳුරු අස්සේ කාත් එක්ක හරි ගාල් වෙන්නයි ... මහවැලියට මතකය දාන්නයි ඇරුනම ...
මගෙන් ඔයාට
වෙන මුකුත් එපාද :/


Monday, November 14, 2011

මම.. පහ වසරට වෙනකන් ඉස්කෝල කථා .. !!

අපෙ අප්පොච්චියේ .. මාස ගානකින් මුකුත් ලියලා නෑනේ බොලේ මම.. අර එක මල්ලි කෙනෙක් කිව්ව වගේ සහලවලා වැඩ තිබුනා.. තාමත් තියෙනවා.. ඒත් මගේ මූඩ් එක අවුල් නිසා මම තීරනය කලා හොරෙන්ම ජාලයට රිංගලා පොඩි කතාවක් ලියන්න...

සාහිත්‍ය කථා නම් මුකුත්ම හිතට එන්නේ නෑ.. ඒ නිසා මම තීරනය කලා මම ගැන ලියන්න.. හැම දේම නෙමෙයි .. ආරම්භයක් විදියට මගේ පාසැල් ජීවිතේ ගැන.. එහෙනම් අදින් ඇරඹෙන මම ගැන කතා පේලියට හැමෝවම ආදරෙන් පිළිගන්නවා.. හැබැයි මේ කතාත් කැම්පස් කථා වගේ අතරමග නවතින්න පුලුවන්... හැමදේම මගේ මූඩ් එක අනුව තමයි :)

මුලින්ම කියන්න ඕනි .. මම ගැන මිනිස්සුන්ට තේරෙන්නේ බාගයයි.. ඒ තේරෙන බාගෙත් මිනිස්සු තේරුම් ගන්නේ වැරදියට .. ඒ නිසා මම ගැන කථා කියවලා කවුරු කොහොම මගේ ගැන හිතයිද මම දන්නේ නෑ.. කෙනෙක් කියයි පම්පෝරියක් කියලා.. කෙනෙක් කියයි පට්ට බොරු කියලා.. තවත් කෙනෙක් කියයි ආත්ම වර්නනාවක් කියලා.. සමහරවිට පොරක් වෙන්න දගලනවා කියලත් කියයි ...කවුරු කොහොම හිතුවත් මට කියන්න තියෙන්නේ එක දෙයයි ...

I Don'T DamN CarE :)

හරි.. කථාව පටන් ගමු. මම ඉපදුනේ ගාල්ලේ.. ගාල්ලේ කිව්වට ගාල්ලෙම නෙමේ.. හික්කඩුවේ... ඉතිං ළදරු පාසල් ගියේ ගාල්ලේ. මම ළදරු පාසල් යන්න පටන් ගත්තේ අවුරුදු දෙකෙන් ... අවුරුදු දෙකේ ඇටිකිත්තෙක්ට මොන මොන්ටිසෝරිද .. එහෙම නේද හිතෙන්නේ.. ඇත්ත.. මාව ළදරු පාසැල් දාල තියෙන්නේ මට කෑම කවා ගන්න බැරි නිසා මිස උගන්නන්න නෙමේ .... කැරට් අල හතරක් පහක් තම්බලා කෑම පෙට්ටියට දාල දුන්නම අනිත් ළමයි කන වෙලාවට මමත් කනවලු.. කනවා නෙමෙයි ඉතිං නානවලු ඇත්තටම.. අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත .. අම්මා තමයි කිව්වේ .. ;) 

ඔන්න ඊට ටික කාලෙකට පස්සේ අපි ආව කොලඹ.. ඉතිං මම ආයෙම කොළඹ මොන්ටිසෝරියකට යන්න පටන් ගත්තා..මේ පාර නම් ඇත්තටම ඉගෙන ගන්න. මේ වෙද්දි අපේ අම්මට නංගිව හම්බෙන්න හිටි නිසා අම්ම ක්ලිනික් ගිහින් එනකන් ගොඩක් දවසට මම රෑ වෙනකන් හිටියේ මොන්ටිසෝරියේ. අකුරු ලියන්න,චිත්‍ර අඳින්න ඇරුනම මම දැනගෙන හිටි එකම දේ බෝංචි කරල් වල නූල අයින් කරන වැඩේ විතරයි. ඉතිං අම්මා එනකන් මම මොන්ටිසෝරි ටීචගේ කුස්සියට වෙලා බෝංචි කිලෝ ගානක නූල අයින් කරන්න ඇති.. ඒ නිසා මගේ ළදරු පාසැල් ජීවිතෙන් මට තියෙන එකම මතකය බෝංචි විතරමයි :)

මගේ පලවෙනි ඉස්කෝලේ කොලොන්නාව ශ්‍රි රාහුල මහා විද්‍යාලය. අපේ ගෙදර ඉඳන් පයින් යන දුර. පුංචි ඉස්කෝලයක්. ඇත්තටම මම පෝසත් ගනයට වැටෙන ළමයෙක්. මිනිස්සුන්ගේ ඇස් බැල්මට අනුව මම රිදී හැන්ද කටේ ගහගෙන ඉපදුන ළමයෙක්. ඒත් මගේ පියාණන්දෑ කිව්ව මම පොඩි ඉස්කෝලෙකට යන්නම ඕනි කියලා..අමාරුවෙන් ඉගෙන ගන්න ඕනි කිව්වා.. සැපට ඉගෙන ගත්තම පිහිටන්නේ නෑ කිව්වා.ඉතිං මම පයින්ම ඉස්කෝලේ ගියා,පයින්ම ආපහු ආවා.  මගේ මුලු පන්තියටම සපත්තු මේස් දාලා ඉස්කෝලෙ ආව ළමයි හිටියේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒත් මට නම් කිසිම වෙනසක් තේරුනේ නෑ.මට සෙල්ලම් කරන්න යාලුවෝ ඇතිපදම් හිටියා. ඉහල මධ්‍යම පාන්තික දෙමාපියෝ හිටි එකත සහ මගේ ටිකිරි මොළේට පිං සිද්ධ වෙන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට දෙවෙනි තැන ලැබිලා තිබුනේ මට. මම හරීම හොඳ ළමයෙක්..මොන තක්කඩිකම කලත් කවමදාවත් මම ගුටි කෑවේ නෑ..එකක් මම හරීඊඊඊම හොඳ ළමයෙක් කියලා ගුරුවරු ඔක්කොම විස්වාස කිරීම සහ,මම කල වැරදි ඔක්කොම තමුන් පිට පටවගෙන ශුද්ධ වූ ආදරයේ නාමයෙන් ගුටි කන්න ලෑස්තිවෙලා හිටි පුංචි ආදරවන්තයෝ ටිකක් මට සිටීම ;)

එක දෙක වසර වල මට ඒ හැටි දෙයක් මතක නෑ.. ඒත් තුන වසරෙදි උනු දෙයක් හොඳට මතකයි.ඒ ඉස්කෝලේ ඒ දවස් වල එක දෙක වසරෙදි පවා ලමයින්ව ෆේල් කරනවා. අකුරු ලියන්න දන්නේ නැති ළමයින්ව තුන වසරට දාන්නේ නෑ. ඉතිං එහෙම ෆේල් උනු ළමයි අපේ පන්තියෙත් හිටියා.තුන වසරෙදි මම පටන් ගත්තා හැමදාම ඉන්ටවල් එකට එක වසරෙයි, දෙක වසරෙයි ගුරුවරුන්ට වදින්න යන්න. මේ වැඩේට රොෂාන් කියලා පිරිමි ළමයෙකුත් මට හවුල් උනා. ඉතිං අපි දෙන්න අත්වැල් අල්ලගෙන යනකොට අර ෆේල් වෙලා හිටි ලොකු ලමයි (ලොකු කිව්වට ඉතිං අපිට වඩා අවුරුදු දෙකක් විතර තමයි ලොකූ) කොල්ලයි කෙල්ලයි යාලුයි කිය කිය හැමදාමත් කෑගහනවා.ඒ දවස් වල යාලුයි කියන එක හරි ලොකු දෙයක්. ඔන්න ඉතිං මම රොෂාන්ට පඩි ටෝක් දෙනවා.. එයාල මොනව කිව්වම අපිට මොකද..අපි යන්නේ හොඳ වැඩකටනේ.. අරකයි මේකයි.. දැන් මතක් වෙද්දිත් හිනා.. තුන වසරේ අපිට මොන ලව් ද ;) ඒ රොෂාන් අද කොහේ ඉන්නවද දන්නේ නෑ..

කොහොම කොහොම හරි හතර වසර පහ වසර පන්ති වලදි ඔන්න මට නිල වශයෙන් ප්‍රේම ආරාධනා ලැබුනා.. (හිනා) ඒ කාලේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාලුයි නම් ඉස්කෝලේ ඇරිලා යද්දි දෙන්නට දෙන්න සී යූ (See You) කියාගන්න ඕනි .. එච්චරයි.. සී යූ කියනවා විතරමයි .... අයියෝ දෙයියෝ .. ඔය සී යූ එක කොච්චර සීරියස් අරගෙන තිබ්බද කිව්වොත් ලිවුමේ ලියලා දෙන්නෙත් ඇයි ඔයා මට සී යූ නොකිය අරයට සී යූ කිව්වේ කියලයි. විකාරයි දැන් මතක් වෙද්දිත්. කොහොම හරි,මම කාටවත්ම සී යූ කියන්න ගියේ නෑ.මගේ කුඩා මොලේ වැඩ කල එකම දේ ශිෂ්‍යත්ව විභාගේ විතරමයි. ඉස්කෝලේ සෑහෙන්න තරගයක් තිබ්බා ශිෂ්‍යත්ව විභාගෙට. ළමයි අරත කොහොම වෙතත් අම්මලා අම්මලා අතරේ තිබුනේ මහා සටනක්. ඒ කොහොම උනත් එක වසරේ ඉඳන් පහ වසර වෙනකන්ම, වාර විභාග තුනෙන්ම මම පන්තියේ පළවෙනියා උනා.. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙනුත් මම ඉස්කෝලෙන් පළවෙනියා උනා :)

ඉස්කෝලේ පුංචි උනත්.. අපි තුන් දෙනෙක්ටම ලියන්න තිබුනේ එකම එක මේසයයි උනත්..පුටු දෙකක් තුන් දෙනෙක් බෙදාගෙන පාවිච්චි කලත්, ලිට්මස් පාවිච්චි කරන්න තිබුනු පරීකෂනය දවසේ මුලු විද්‍යාගාරයටම තිබුනු එකම ලිට්මස් කෑල්ල පෙන්නපු අපේ ගුරුතුමී පුතේ මෙන්න මේවයි ලිට්මස් කිව්වත් .... ඒ පුංචි ඉස්කෝලේ හිටි ගුරුවරුන්ට තරම් ලොකු හදවත් මේ ලෝකේ කාටවත්ම නැතුව ඇති.තමන් කන්න ගෙනා බත්පත ළමයින්ට දීලා නොමිලේ ශිෂ්‍යත්ව පන්ති කරන්න තරම් ඒ ගුරු දෙවිවරු ලමයින් ගැන හිතුවා.
මම අද ඉන්න තැනට ගේන්න ඒ පුංචි ඉස්කෝලෙන් ලැබුනේ සුලුපටු හයියක් නෙමෙයි.දැනට උපාධි දෙකක් නමට පිටිපස්සෙන් තියාගෙන, අද නීතී උපාධියකට ඉගෙන ගන්න මම මුලින්ම මහ සෙනගක් ඉස්සරහ කථා කලේ ඒ පුංචි ඉස්කෝලෙදි. එතකොට තුන වසරේ හිටි පුංචි බට්ටෙක් උනු මට හය වසරෙන් ඉහල ලොකු ළමයින්ගේ රැස්වීමෙදි කථා කරන්න ලබා දුන්නු ඉඩ, මම ගැන තියපු විස්වාසය සහ .... හිතේ තිබුනු බය වැඩි කමට ඒබ්‍රහම් ලින්කන් නම් ජනාධිපති තුමා වෙනුවට.. ඒබ්‍රහම් ලින්කන් නැමති කාන්තාව කියලා පටන් ගත්තු කථාව ඉවර උනාම ලැබුනු මහා අත්පුඩිය මගේ ගමනට අඩිතාලම දැම්මා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලැබුනු ළකුනු අනුව මට විසාකා විද්‍යාල‍යට යන්න පුලුවන්කම තිබුනත් මම තෝර ගත්තේ දේවි බාලිකා විද්‍යාලය.ඒ ඇයි කියන්න මම අද වෙනකනුත් දන්නේ නෑ.

දේවි බාලිකාවේ ගෙවුනු ජීවිතය හරීම සුන්දරයි.. ඒ කතාව ඊලගට කියන්නම්.. කිව්වනේ ..හොරෙන් ජන්ජාලයට ආවේ..දැන් යන්න වෙලාව ඇවිදින්...