බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, August 14, 2011

මගේ හීනය ... !!

මම තීරණය කලා කැම්පස් කතා තව දුරටත් නොලියන්න. තුන්වෙනි සහ හතරවෙනි අවුරුදු මතක් කරන්නවත් ඕන නෑ මට.ඒ නිසා යාලුවනේ සමාව භජනය කරලා මගෙත් එක්ක කැම්පස් කථා වලට තිත තියමු හොදේ ...

අද කතාවට නිමිත්ත වෙන්නේ ගිය සතියේ බදාදා මම බස් එකේදි දැකපු දෙයක්.ගොඩක් වෙලාවට මගේ බස් කතා ගොඩක් කේන්තියෙන් ලියන දේවල්..ඒත් මේ කතාව එහෙම නෙමෙයි..මේ කුපාඩි ලෝකේ වෙයි කියලා හිතන්න බැරි තරම් සුන්දර ලස්සන දෙයක් ගැනයි අද ලියන්න යන්නේ ...

120 කැස්බෑව පිටකොටුව බස් එක .... Odel එක ලගින් නැග්ගා ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි... පිරිමි ලමයා ගෑනු ලමයව වඩාගෙන වගේ නැග්ගේ...ආදරයෙන් උමතු උනු  couple එකක් කියලයි මම හිතුවේ.බස් එකේ හිටපු ඇන්ටිලා කීප දෙනෙක් මල විකාර කියල අහකත් බලා ගත්තා ..

ඒත් ....

ඒ ගෑනු ලමයගෙ ඇස් දෙකම පේන්නේ නෑ... 

ඇස් දෙකේ කලු ඉංගිරියාවක් කියල දෙයක් ඇත්තෙම නෑ.නිකන්ම නිකන් හැඟීමක් නැති තනි සුදු පාට ඇස් දෙකක් විතරයි.මට නිකන් කවුරු හරි තඩි පොල්ලකින් ඔලුවට ගැහුව වගේ දැනුනා...පිරිමි ලමයගේ ඇස් පේනව..ලස්සන ලමයි දෙන්නෙක්.කොහොම හරි දෙන්නටම එකට ඉදගන්න සීට් එකක් ලැබුනා..අනුන්ගේ ඕප දූප බැලීම නරක පුරුද්දක් උනත් මට ඒ දෙන්නගෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ. මම දිගටම ඒ ලස්සන ලෝකේ දිහාව බලන හිටියා.. ඒ දෙන්න බැස්සේ කොළඹ කැම්පස් එක ලගින්.ඒ බහින්න හෝල්ට් එකක් කලින් අර පිරිමි ලමය නැගිටල ගිහින් රියදුරු මහත්තයට කිව්වා බස් එක ටිකක් වෙලා නවත්තගෙන ඉන්න කියලා එයා ගෑනු ලමයව පරිස්සමෙන් බස්ස ගන්නකන්...

ඒ වෙනකන් අමාරුවෙන් තද කරගෙන හිටි කඳුලු ගංගාව හෝ හෝ ගාල පිටාර ගලන්න පටන් ගත්තේ ඒ වචන ටික ඇහුනට පස්සෙයි... මුලු බස් එකම අන්ද මන්ද වෙනකන් මම ඇඬුවා..දෙවියො අර ගෑනු ලමයගේ ඇස් දෙක අරගත්තා..ඒත් ඒ වෙනුවට ඒ ඇස් දෙකට ආදරය නොකරන ලස්සන ජීවිතයක් එයාට දීලා..ඇයි දෙවියන්ට බැරි උනේ මගේ ඇස් දෙකත් අරගෙන මටත් ඒ වගේ කෙනෙක්ව දෙන්න.ඇයි දෙවියෝ මගේ ඇස් දෙකේ ඉදල යටිපතුලට වෙනකන් මගෙන් ප්‍රයෝජන අරගෙන කුණු ගොඩක් ගානට මාව විසි කල අයව මගේ ජීවිතේට ලං කලේ.. ප්‍රශ්නයක් ... !!

කොහොම හරි..මෙන්න මට හිතුනු දේ ... මෙන්න මගේ හීනය ...



මගේ ඇස් දෙක ඒ ගෑනු ලමයට දෙන්න පුලුවන් නම්.. එයාට ලෝකයක් තරම් ආදරය කරන එයාගේ පිරිමි ලමයව බලාගන්න මගේ ඇස් දෙක මට එයාට දෙන්න පුලුවන් නම් .... එයා එයාගේ පිරිමි ලමයව දකියි..ඒ වෙනකන් කට හඩ විතරක් අහල තිබුනු,ඒ වෙනකන් අතක පහස විතරක් දැනිලා තිබුනු තමන්ගේ අනාගත බාරකාරයගේ මූණ ඒ ලමයා දකියි ... සතුටු හිතෙයි එයාට එතකොට.. කවදාවත් ඇත්ත ආදරයක් දකින්න පින් කරල නොතිබුනු මගේ ඇස් එයාගේ මූනේ ඉදන් ඇත්ත ආදරයක් දකී.. මගේ ඇස් වලටත් සතුටු හිතෙයි..හැමදාමත් දුකට අඩපු ඇස් වලින් එකම එක සතුටු කඳුලක් වැටෙයි... ඒ ගෑනු ලමයගේ ජීවිතයෙන් මගේ ඇස් වලට ජීවිතයක් ලැබෙයි... මගේ ඇස් හිනාවෙයි ... !!

 විස කටු ඇරෙන්න මල් පෙත්තක පහසක් කවදාවත් නොවින්ද මගේ හදවත මැරෙන්න පණ අදින ජීවිතයකට බද්ධ කරන්න පුලුවන් නම්... තමන්ගේ ආදරේ අවසන හුස්ම හෙලනකන් ඉස්පිරිතාල ඇදක් ලග ඉන්න කෙනෙක්ගේ මූනට හිනාවක් ගෙනත්, මැරෙන්න යන කෙනාට මගේ හදවත බද්ධ කරලා ජීවිතයක් දෙන්න පුලුවන් නම් ... ඒ කෙනා ජීවත් වේවි..එයාගේ ආදරය හිනා වේවි ... කවදවත් ඇත්තට හැඟීමක් නොදැනුනු මගේ මිදුනු හදවත ඒ හිනාවෙන් උනුසුම් වේවි..මගේ පපුව ඇතුලෙදි නොදැනුනු ලෙංගතුකම, ආදරය ඒ පපුව ඇතුලෙදි මගේ හදවතට දැනේවි.. ඒ ආදරයෙන් මගේ හදවත ඇත්තට ජීවත් වේවි.. ගැහෙන්න ඕනිවට නෙමෙයි.. ජීවත් වෙන්න කැමැත්තෙන් ගැහේවි ....

දෙපය පණ නැතිව තමන්ගේ ආදරයත් එක්ක මූදු වෙරලක ඇවිදින්න බැරුව රෝද පුටුවක ඉන්න කෙනෙකුට මගේ කකුල් දෙක දෙන්න පුලුවන් නම් .... කාමරයක් ඇතුලට කූඩු වෙලා තියෙන මේ කකුල් දෙකෙන් මට කාව හරි ඇවිද්දවන්න පුලුවන් නම් ... තමන් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ඔහේ දිගට දිගට ඇවිදගෙන යනකොට මගේ කකුල් දෙකෙන් ඇවිදින කෙනාට සතුටක් දැනෙයි ... එයාට ජීවිතයක් ලැබෙයි..එයා හිනා වෙයි එයාගේ ආදරයත් එක්ක ... මගේ කකුල් දෙකත් සතුටෙන් එයාව එයාගේ ගමන අරගෙන යයි ... කවදාවත් වෙහෙසක් මහන්සියක් දැනෙන එකක් නෑ ....

මට ඕනි එක දෙයයි .. මට ඕනි මගේ අවයව ඔක්කොම උපරිම විදියට පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියකට මැරෙන්න.. මට ඕනි මගේ නහරයක් නහරයක් ගානේ තවත් කෙනෙකුට ජීවිතයක් ලැබෙනවා දකින්න.. මට ඕනි මගේ ජීවිතේට මට දෙන්න බැරි උනු සතුට ආදරය වෙන කෙනෙක් මාර්ගයෙන් හරි ලබා දෙන්න ...

මට ඕනි කාගෙ හරි දෙතොලක හිනාවක් වෙලා රැදෙන්න ..

ඒ මගේ හීනය ... !!




Monday, August 8, 2011

කාලෙකින් GallE faCe ගියෙමි .. :)

කල්ප කාලාන්තරේකට පස්සේ මෙන්න මම ආවා ... :) සෑහෙන්න වැඩ තිබුන පහුගිය දවස් ටිකේ ... තාමත් වැඩ ඉතිං.ඒත් ඊයේ රෑ අංසක 101 ට උණ අරගෙන System Error එකක් ආපු නිසා අද උදේ ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න හිතුනා.එතකොට මතක් උනා මගේ ළමා blog එක..මෙන්න ඉතිං මම ආවා ... !!

ආ..මගේ blog එකට කොමෙන්ටු දාන්න අමාරුයි කියලා චෝදනාවක් තියෙනවා..ඒක ඇත්ත..අසහනකාරයො දෙතුන් දෙනෙක්ගෙ කක්කි වැඩ නිසා මට සිද්ධ උනා කොමෙන්ටු moderate කරන්න.. සමාවෙන්ට හොදේ.. කරදරයි කියලා මගේ හෑලි වලට ඔයාලගේ ඌන පූර්ණ නොදා ඉන්නෙපා :)

දැං ගොඩක් දෙනා මගේ blog එක කියවනවලු..පුදූම සන්තෝසයක් දැනෙන්නේ ... ඔහේ නිකන් වල් පල් ලිව්වට ඒක blog එකක් නෙමෙයි කියලයි මට සමහරු නෝන්ඩි දැම්මේ.. බලාගෙන ගියාම වල් පල් කියවන්නත් සෑහෙන්න දෙනෙක් ඉන්නවා ... මගේ යාලුවෙක්ගේ යාලුවෙක් කිව්වලු මේ blog එක කියෙව්වම මම පිප්පි වගේ ඇති කියල දැනෙනව කියලා :) (දැං ඉතිං පිප්පි දිග මේස් පොත් පේළිය කියවල නැති අය බූත වෙලා බලනවලු මේ මොනා ගැන කියවනවද කියලා). කොහොම හරි ඒක ඇහුවම මට මතක් උනේ AL කාලේ උනු දෙයක්. ඔන්න ඉතිං මම ගිය එක ටියුෂන් පංතියක හිටිය මට ටිකක් ප්‍රේම බැලුම් හෙලපු කොලුවෙක්..හරීම ලාමක අහිංසක දරුවෙක් ඉතිං.කොහොම හරි දවසක් මෙයා හෙමින් හෙමින් මගේ ලගට කිට්ටු කරල ඇහෙන නෑහෙන ගානට අහුවා "ඔයාගෙ නම මොකද්ද?" කියලා (නම නොදන්නවට නෙමෙයි..අර නිකන් කතා කරන්න මාර්ගයක් හදා ගන්න,අපි රැවටෙයි ඕවට) මම හරීම අහිංසක සුකොමල ලලනාවක් වගේ එය දිහා මුදු බැල්මක් පාල එක පාරටම මෙහෙම කියාගෙන ගියා "පිප්පි ලොක්කි,ලටපට සපයන්නී,පටකම්බිලි සැවැන්දරා,නාවික පදක්කම්ලාගේ,දෝන දිග මේස් කැකුළී" හිකිස්... :) කොලුවගේ මූන අච්චාරු දාපු දෙහි ගෙඩියක් වගේ උනබව ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ නේද .. ;)

ඒ ඉතිං අතුරු කතාවක් ... අද කතාව ගිය සෙනසුරාදා මම ගිය ගාලු මුවදොර සවාරිය ගැන ... මට නිවාඩු තියෙන එකම වෙලාව සෙනසුරාදා හවස නිසා මට සෙනසුරාදා උදෙන්ම හිතුනා හවස කොහේ හරි රවුමක් යන්නම ඕනි කියලා.ඉතිං උදේ පන්ති ගිහින් ඇවිත් හවස බුකවගෙන පැත්තකට වෙලා හිටියා මිනිහා මැරුනු ගෑනි වගේ.යටි පතුල ගාවට කට එල්ලගෙන ඇඳ කොනේ ගුලි වෙලා ඉන්නකොට මගේ දෙමාපියෝ දන්නවා එන පොට හොඳ නෑ කියලා :) ඉතිං මගේ පියාණෝ ඇවිත් ඇහුවා වම්බටු මෝජුවක වැඩියෙන් තැම්බුනු වම්බට්ටක් වගේ මූණ හදාගෙන ඉන්නේ මොකෝ කියලා..ඉතිං මම මගේ මහා යාන් හෑල්ල දිග ඇරියා..මගේ ජීවිතේ කොයි තරම් busy වෙලාද..මගේ තරුණ ජීවිතේ අපරාදෙ නේද..යනාදි වශයෙන් ..ඉතිං පියාණෝ කිව්වා අටුවා ටීක නැතුව මොනාද ඕනි කියලා බොහොම කෙටියෙන් කියන්න කියලා..ඉතිං මම කිව්වා මට Galle face යන්නම ඕනි කියල ඒ මොහොතෙම .. මොනා කරන්නද,කපා ගත්තනම් ඉතිං කරතියාගන්න එපැයි කියලා ඔන්න ඉතිං මුලු පවුලම ලෑස්ති උනා යන්ට .. :)

ඉතිං ඔන්න අපි රෑ 8 වගේ වෙද්දි Galle face එකට සම්ප්‍රාප්ත උනා.අවුරුදු ගානක් තිබුනු යුද්දේ ඉවර උනු එක කොයි තරම් දෙයක්ද කියල හිතුනා මට...යුද්දේ තිබුනු කාලෙ Galle face එක තහනම් කලාපයක්නෙ :( කොහොම හරි,බොහොම අමාරුවෙන් අපේ සුට්ටි වාහනේට ඉන්න තැනක් හොයල දීලා අපි පිට්ටනියට බැස්සා..ඒ හරිය කට්ට කරුවලයි ..කෑම කඩ එහෙම තිබුනේ තව ඉස්සරහ.. හරි දැන් ළමයි කියන්න බලන්න කලුවරට කැමති සතුන් කීප දෙනෙක් ;) වවුලෝ ...සහ ආදර couples :) කලුවර පැත්ත එහෙම්පිටින්ම ආදර couples බදු අරගෙන තිබ්බා. මූනක් කටක් මුකුත් පේන්නේ නෑ..ඈතට පේන්නේ තැබිළි කෝම්බ නවල වගේ ඔලු ගෙඩි ටික.. හරි සෝක් අප්පා එහෙම ඉන්න පුලුවන් නම්..මට ඉතින් ලාවට දුකකුත් දැනුනා.. :( ඒත් ඒ අස්සෙම මට ප්‍රශ්නයකුත් ආව..දැන් කොල්ලත් එක්ක එහෙම තුරුලු වෙලා ඉන්නකොට අපි හිතමු කොල්ලට / කෙල්ලට හදිසි සාරීරික අවශ්‍යතාවයක් ඇති උනා කියලා..ඉතිං එයා නැගිටල ගිය අතරේ එහෙම අවශ්‍යතාවයකට ගිය වෙන couple එකක better half එකක් ඇවිත් වෙන couple එකක half එක ලගින් වාඩි වෙන්න පුලුවන්නේ..මොකො කට්ට කලුවරේ කොහොම කියල හොයන්නද ... ඒ නිසා ඇවිදින ගමන්ම මම ඒ ප්‍රශ්නෙට උත්තර හෙව්ව... කොල්ල හරි කෙල්ල හරි ආපහු ආවම මූනට phon එකෙ ලයිට් එක අල්ලල බලන්න පුලුවන් ඒ තමුන්ගෙම half එකද කියලා.නැත්නම් මොකක් හරි ආවේනික සුවදක් තමන්ගේ half එකේ ඇගේ උලන්න පුලුවන්..අර මදුරුවො පන්නන්න ගාන පැඟිරි තෙල් සුවඳ වගෙ ... නැත්නම් password එකක් දෙන්න ඕනි එයාට.... ;)

ඔන්න ඉතිං ඇවිදගෙන ඇවිදගෙන ආව අපි.. අම්ම එක පැත්තක..තාත්තා එක පැත්තක..නැගනිය සහ මම ටයිල් දෙකක් මැදට දාපු ටයිල් ග්‍රවුට් වගේ ඒ මැද ... කොල්ලෙක්ට විරිත්තන්නවත් බෑ ඉතිං :( ජීවිතේ දුකයි ... අර කව්ද කිව්ව වගේ අපිට කොයින්ද පූසෝ මාලුවෝ තමයි ... :'(

බුදු අම්මෝ තියෙන ඇදුම් මෝස්තර තොගේ. නා නාප්‍රකාර ඇදුම් මෝස්තර වැහි වැහැලා... සමහර ඒව ඇදුම්ද නැත්නම් වෙන මොන හරිද කියලත් තේරෙන්නේ නෑ.. එක ඇදුමක් තිබුනා හරීම කුජීත..මම හිතන්නේ ඒ ගවුම මහල තියෙන්නේ සරමකට උර පටි දෙකක් අල්ලලා... :) තව බකට් වගේ ගවුම් තිබුනා..මාලුවො වගේ ගවුම් තිබුනා..බැලුම් බෝල වගේ ගවුම් තිබුනා .. ;) යට ඇදුම් වලට වඩා සුට්ටිත්තක් විතර දිග කලිසම් තිබුනා ..සමහරු නම් යට ඇදුම් පිටින්මත් ඇවිත් හිටියා මගේ හිතේ :) එක අතකට ඉතිං එහෙම නැතුව මූදු හුලං හරියට විදගන්නත් බෑනේ ... :D

ඉතිං එහාට මෙහාට රවුම් දෙකක් විතර ගිය අපි අන්තිමේ කන්න තැනක් හොයාගත්තා... ඒකේ මුදලාලි මහ තඩි කොස් ගෙඩියක් වගේ මනුස්සයෙක්... එයා හැමෝටම කතා කරන්නේ boss කියලා..අර පරන චිත්‍රපටි වල රත්තරන් පුරෝගත්තු දුස්ටයා ඉන්නේ..අන්න ඒ වගේ.. මේස ඔක්කොම පිරිලා නිසා මේ මනුස්සයා අපිට පැදුරක් දුන්නා..තවත් කට්ටිය එහෙම පැදුරු එලාගෙන බිම ඉදගෙන කෑම කනව අපි දැක්කා..ඒ මට නම් පැදුර දැක්කම කන් දෙකෙන් දුංදාන්න පටන්ගත්තා.. මමත් ඇදගෙන ගියෙ සුට්ටන් සායක්..සුට්ටන්මත් නෑ,ඒත් බිම ඉදගන්න නම් කීයටවත් බෑ ඒක ඇදගෙන ... ඉතිං මට බූ ගාල ඇඩුනා... මම පුවක්බඩ මනමාලි වගේ ඇඹරෙනකොට අපේ පවුල ඉතිං ප්‍රශ්නේ තේරුම්ගත්තා ..මෙන්න එක එක සාමජිකයාගේ ප්‍රතිචාර ... :)

නැගනිය : (එයා ඇදගෙන ගිහින් හිටියේ අර තීන්ත බාසුන්නැහේලා අඳින විදියේ තුන්කාලේ කලිසමක්..කොහොමත් කාන්තා ලාලිත්යයක් ගෑවිලවත් නැති දැඩිමතධාරි කාන්තාවක් එයා)... "කිව්ව නේද චූටි චූටි කෑලි ඇදගෙන එන්න එපා කියලා.. ඇහුවද..හැමදාම ඔහොමයි ඔයා..දැන් ඉන්නව උඩ බලියගෙන..මම වගේ හැම තැනටම මෙ කලිසමම ඇන්දම ඉවරයිනේ .... මට බඩගිනියි..මම පැදුර එලාගෙන කනවා...ඔයා ඔහොම නාරිලතා ල‍යිට් කනුවක් වගෙ හිටගෙන ඉන්න ....

මෑණියැන්දෑ : (අම්ම හැමදාමත් අදින විදියට රැලි මාල,රෙන්ද,ලොච්චි,බකල්,බොත්තම් මහ ගොඩක් තියෙන සායක් සහ හැට්ටයක් ඇදගෙන ගියේ..අම්ම කෙනෙක් අඳින්න ඕනි විදිය එහෙම තමයි..එත් ඉතිං මූදු හුලං බින්දුවක්වත් අම්මගේ ඇගේ නම් නොවැදුනු බව මට සහතිකයි ) අනේ ඒයි අපි යමු..වෙන කොහෙන් හරි කමු..මෙතන බීපු මිස්සුත් ඉන්නවා.. මම කිව්ව නේද ඔය ලමයට හරියට ඇඳුමක් ඇදගෙන එන්න කියල..අර මම ගෙනාපු සායයි හැට්ටෙයි ඇදගෙන ආව නම් හරිනෙ... කියන දෙයක් අහන්නෙ නෑ..දැන් එහෙනම් කෑම ටික ඔතාගෙන ගෙදර ගිහින් කමු ...(අම්ම ගෙනත් දීපු සායයි හැට්ටෙයි හරිම බයන්කරයි.. එකෙ හරියට එක එක ඒවා.. මල්, පලතුරු, ගස්, කුරුල්ලො,බොත්තං,රිබන්... ඒක ඇන්දම මම රෙදි ගොඩකින් ඔතපු පඹයෙක් වගේ).

පියාණෝ : වඩාත්ම practical comment එක දුන්නේ තාත්තා.. :) අපොයි මෙයා සාය ගලවලා හිටියත් මෙතන කවුරුත් බලන්නේ නෑ..විකාර නැතුව ඉදගෙන කන්න..මීටවඩා කොච්චර කොට ඇදුම් මෙතන තියෙනවද... බූරු පැටව් වගේ දගලන්නේ නැතුව ඉන්න. (අන්න මගෙ තාත්තාආආ)

මූදු මාලු ජාති ගොඩකුයි...රොටියි..බතුයි තව ආරලු බූරලු මහ ගොඩකුයි අරගෙන අපි කන්න සූදානම් උනා..මමත් මගේ දිග කකුල් දෙක කොහොම හරි දෙකට තුනට නවාගෙන සදාචාර සම්පන්න විදියට පාක් කරගත්තා පුංචි සාය යට :) දෙවියන්වහන්සේ කකුලුවෝ මවද්දි කට්ට නැතුව මැව්වෙ නැත්තේ ඇයි කියලා දහස්වෙනි වතාවටත් හිතන ගමන් කන්න පටන්ගත්තු ගමන් පටන් ගත්තේ නැතෑ වහින්න.. අයියෝ දෙයියෝ කිව්වලු ..ඉතින් හතරට පහට නවපු මගේ කකුල ආයෙම දිග ඇරගෙන කෑමටිකත් උන්ඩි කරගෙන හෙවනක් හොයාගෙන දිව්වා අපි. හෙවනකට ගියා විතරයි වැස්ස පෑව්වා..සුභාෂිතේ මතක් වෙන්නේ ආන් ඒ වගේ වෙලාවට තමයි... x( ආයෙත් ඇවිත් පැදුර පිහිදලා කාල බීල බිලත් ගෙවලා එන්ට පිටත් උනා අපි... ආ..අමතක උනානේ කියන්න..ඒ කෑම කඩේ රොටි හදන්න හිටි කොල්ල මාරම cute. එයා මොකට රොටි හදන්නෙක් උනාද මන්දා අප්පා ... !!

ඉතිං ඔන්න ඔහොමයි උනේ ..තව මහ ගොඩක් තියෙනවා කියනවා නම් කියන්න..ඒත් දැන් මගේ බේත් බොන වෙලාව ලඟයි කියලා මෑණියැන්දෑ ජාතිය අමතනවා.. ඒ නිසා මම යන්ට ඕනි ... පුලු පුලුවන් වෙලාවට පුලු පුලුවන් දෙයක් ලියන්නම්කෝ .... කාලෙකට පස්සේ හරිම ලොකු වෙනසක් දැනුනා...ඇත්තටම වැඩි වියදමක් නැතුව ලොකු සතුටක් ගන්න පුලුවන් තැනක් විදියට Galle face එකට ලැබෙන්නේ මුල්තැනක් ... යුද්දේ ඉවර කරල අපිට ආයෙත් නිදහසේ ඒ වගේ තැන්වල ලස්සන බලන්න ඉඩ කඩ හදල දුන්නු ත්‍රිවිද හමුදාවට පින්දෙන ගමන් ගොලු මූදේ විලාපය හිතේ හිරකරගෙන මම ආයෙම ආවා.. මූද කියන්නේ සිතිවිලි ගොඩක උල්පතක්... ඒව ගැන ලියන්න ගියොත් අම්මා ඇවිත් මාව මරාවි..ඒ නිසා ඒව පසුවට කල්තබමි ... !!