බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, May 29, 2011

50% 50% ආදරය !!


හැමදේටම කලින් ... ඉපදෙන්නත් කලින් මැරෙන්න ගිය මගේ ළදරු blog එක වෙනුවෙන් හඩක් නඟපු හැමදෙනාටම ගොඩක් පින් ... බාඳුරා අසපුවේ මූලාරම්භයට හේතුව, අසපුවේ විනාසයටත් හේතුව වෙන්න නොදී මගේ ළමා ලියමන් වෙනුවෙන් වචනයක් ලියන්න, මේ දුවන දිවිල්ල අස්සේ, ඉඩක් වෙන් කරගත්තු හැමෝටම ස්තූතියි ... කියවන්න එක්කෙනෙක් හරි ඉන්නකන් :: මම දිගටම ලියනවා .. :)

අද post එකට මාතෘකාවක් නෑ ... නිමිත්තක් නෑ .. මුකුත් නෑ ... මේ මගේ හිත ... මගේ හිතට එන සිතිවිලි හැතැක්ම ගනන් දිගයි ..එක එල්ලයක් ... තේරුමක් ... ගැලපීමක් .. නෑ කවදාවත් .. ඒත් ඒ මගේ හිත,මොනවා කරන්නද :)

නන්දා මාලිනී මහත්මියගේ ගීතයක් මතක් උනා. ගොඩක් ප්‍රේමවන්තයන්ගේ පෙම් ලිපි වල අන්තිමට අකුරුකරන ගීතයක් ...
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි ... සුරම්‍යයි ..
.

හ්ම්ම් ..... ලස්සන පද වැල් ..ලෙංගතු හඬ ... මේ ගීතයේ නිවුන් ගීතයට හඬ දෙන්නේ අමරසිරි පීරිස් මහත්මයා  ...

ස්නේහයේ නගරයයි සිත මගේ ...
මාවතක් හෝ නොවූ රාගයේ ...


ආයෙමත් ලබැඳි හඬකින් ගැයෙන ලස්සන ගී සංකල්පනාවක්....
ඒත් කතා කරලා බලන්න හදවතට ...කවුරුත් අහගෙන නෑ තමුන් තනියෙම කියලා හිතලා කතා කරල බලන්න  ...

ප්‍රේමය රාගයෙන් තොරයිද ?
ආදරය පිරුනු හදවතක රාගයට ඉඩක් නැද්ද ?

මගේ ආදරය නම් රාගයෙන් තොර නෑ. දැන් ඉතින් ලෝකයා කෑ ගහවි ... හැදියාවක් නැති කෙල්ලක් කියලා විලාප තියාවි ... හෙලකුළ විනීත කාන්තාවෝ ලැජ්ජාවෙන් ඇඹරේවී ... ආරිය සිංහල කොල්ලෝ තුඃ නොදකින් කියාවි ... අවුලක් නෑ ... මම බය නෑ .. මගේ ආදරේ 50% 50% ආදරයේ සහ රාගයේ සංකලනයක් ...

බුදු අම්මෝ කියන කැත කතා .. හැදිච්ච ගෑනුළමයෙක් කියන කතාවක්ද මේ ..අනිච්චේ දුක්ඛේ ...

ඔව් ඉතිං .. ඉතිං ගල් ගහනවද මට? ගල්ගහල මරනවද මාව සමාජ සදාචාරය වැනසුවා,ආදරයට නිග්‍රහ කලා කියලා?රාගයෙන් තොර ආදරයක් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් කෙනෙක් පලවෙනි ගල ගහන්න .. මම දුවන්නේ නෑ ... !!

එමා බොවාරි,යෙර්මා,එහෙමත් නැත්නම් චැටර්ලි ආර්යාව වගේ ප්‍රේමයත් වහගෙන වැඩෙන පිළිලයක් විදියට රාගය බදා ගන්න එක හරියි කියලා මම කොයි වෙලේවත් කියන්නේ නෑ. ඒත් වෙස් මූණු ගලවමු අපි හැමෝම.බැඳීම් රහිත නික්ලේශී ආදර ෆැන්ටසියෙන් අපි අපිවම රවට්ටගත්තා ඇති දැන්... රාගයට කෙලින්ම සම්බන්ධ නැතත් දැන් අලුත්ම trendy LovE clause එක තමයි "අනේ මට තියෙන්නේ බැඳීමක් නැති ආදරයක්..එයා නිදහස්..එයාට ඕනි වෙලාවක මාව දාල යන්න පුලුවන්" කියන එක. ආදරය කියන වචනයම බැඳීමක්. ඉතිං කොහෙද දෙයියනේ බැඳීමක් නැති ආදරයක් තියෙන්නේ? එහෙම එකක් තියෙනවා නම් ඒක ආදරයක් නෙමෙයි business එකක් .. ගත්තා, දුන්නා, ගෙව්ව, ඉවරයි.. බැඳීම් නෑ .. මුකුත් නෑ ..මගේ ආදරය මට බැඳීමක්... මම ආදරය කරන කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්න එක මට දුකක්..මාව අතෑරලා වෙන කෙනෙක් ලගට යන එක මට දුකක්..මාත් එක්ක ඉදිද්දි තවත් අය එක්ක ඉන්න එකත් මට දුකක්.. මට එහෙම යන්න දීල උඩ බලියගෙන ඉන්නත් බෑ.. අනේ කාත් එක්ක කොහොම ගියත් මට මොකද මට Time pass කරගන්න ඕනි වෙලාවට ලග ඉන්නවා නම් කියලා හිතන්නත් මට බෑ.. මට තරහයි, මට කේන්තියි ... ඒ කියන්නේ මට බැඳීමක් තියෙනවා..මම ඒ බැඳීමට ආදරෙයි..ඒ බැඳීම ගැන ආඩම්බරයි ..ඒ වගේම ඕනි තැනක ඒ බැඳීම පිළිගන්නත් මට පුලුවන් බොරු උදාන වාක්‍ය නොදා ..

මට මගේ ආදරේ දකින්න ඕනි..ඇඟිල්ලෙන් අනින්න ඕනි... කොන්ඩෙ අවුල් කරන්න ඕනි..තව ටීක් ටීක් ටීක් මහ ගොඩක් දේවල් ඕනි.. මට විතරද එහෙම ඕනි ..? නැත්නම් මම විතරද ඕනි කියල පිළිගන්නේ ..? මම විතරද ආදම් සහ ඊවාගෙන් පැවතගෙන එන ලේ,මස්,නහර තියෙන එකම ප්‍රාණියා ..? නැත්නම් පැවැත්මක් තියෙන්නේ ..මිනිස්සුන්ට ඕනි කරන්නේ රාගයෙන් තොර නික්ලේශී ප්‍රේමයක්ද ...? එතකොට මම වෙනස්ද..? එතකොට ඩාවින්ගේ පරිනාම වාදයට අනුව මම මේ සමාජයෙන් තුරන් වෙන්න ඕනිද ..? ඔව් මම හිතන්නේ ... !!
ඇත්ත ..කට වචනෙට, ආදරය වනාහි කුම්ක්ද කියන ධර්ම දේශනා වලට, හරිම ලස්සනට ගැලපෙන මාතෘකාවක් රාගයෙන් තොර,බැඳීම් රහිත,පරම පවිත්‍ර නික්ලෙශී ආදරය ... ඒත් ඒක ෆැන්ටසියක් විතරයි .. තමන් ආදරය කරන කෙනාගෙ අතින් අල්ලගත්තම ඒ අත දිගේ කාන්දුවෙන විදුලියක් ඇඟ දිගේ දුවන්නේ නැත්නම්, පුං චි ආදර හාද්දකින් කන් වලින් මල් වෙඩි විසි වෙන්නේ නැත්නම්, ඇඟිල්ලක් නියපොත්තක් ගෑවුනත් බඩ පපුව සීතල වෙලා ඔලුව වටේට සමනල්ලු පියාඹන්නේ නැත්නම් ...අනේ මන්දා ..මට නම් ඒක ආදරයක් නෙමෙයි ... !!

දන්නවා..මට හැමෝම බනී ..චාරයක් නෑ කියයි, හැදියාවක් නෑ කියයි ..ඒත් මට සමාජය ගහන පදේට වෙස් මූනක් දාගෙන නටන්න බෑ. සදාචාර සීම අති භයනක විදියට උල්ලංඝනය නොකරනවා කියලා මම විස්වාස කරන රාමුවක් ඇතුලේ ඉදගෙන මම මගේ හිත කියනවා... හැමෝම සභ්‍යත්වයෙන් වහගෙන විඳවන සිතිවිලි ගොන්න මම ලිහලා දානවා..එච්චරයි.. ඕනි කෙනෙක්ට ඕනිද් එයක් හිතාගන්න පුලුවන් ... "සබ්බේ පෘථඃජනා උන්මත්තකා" කියලයි බුදුහාමුදුරුවොත් දේශනාකලේ..ඉතිං  මාත් එයින් එක උන්මත්තකයෙක් විතරයි .. :)

මෙන්න මගේ හීන ආදරයේ තේමා ගීතය ....



මගේ ආදරය එහෙමයි ... මට ඕනි ආදරයත් එහෙමයි ... 
පරම පවිත්‍ර, අනගිභවනීය, අති රමණීය, සුපිරිසිදු, නිකලැල් සුදු නෙලුමක් නෙමෙයි ... 
රාගයෙන් තොර නෑ, 
සඳ එළිය සේ සුරම්‍ය නෑ, 
ඒත් කම්මැලිත් නෑ ;)



Thursday, May 26, 2011

දන්න කතාවක් ගැන මගේ කතාව ... !!


කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා. අන්තර්ජාලය මට තහනම් කලාපයක්, බොහොම අමාරුයි මගේ මේ හෑලි ලියන්න වෙලාවක් හොයාගන්න. කොහොම උනත් මෙන්න මම ආයෙමත්, පුරුදු විදියට හිට්ලර් චින්තනයත් අරගෙන කතාවක් කියන්න ආවා. ආ .. මේ සමහරුන්ට මගේ blog එක හරි කරදරයක් වෙලාලු .. මෙහෙමයි, URL එක type කලොත් විතරයි මේ blog එක load වෙන්නේ. Auto load වෙන්නේ නෑ තාමත් ;) ඒ නිසා blog එක කියවලා විදවන්නේ නැතුව නොකියවා ඉන්න එක හොදයි එහෙම අය ... :D

හරි දැන් කතාවට එමු. හැමෝම බලලා තියෙනවා නේද කුච් කුච් හෝතා හේ චිත්‍රපටිය? ඔව් මම හිතන්නේ .. මුලින්ම බලපු දවස් වල මමත් පුදුම විදියට ආදරය කල කලා නිර්මාණයක් ඒක. බොලඳ ආදරයක් විස්වාස කරපු කාලේ, හැම බාධාවක්ම දුරු වෙලා වීරයා නිළියව ලබා ගන්නකන් කට ඇරගෙන බලන් ඉදපු කාලේ, අන්තිමේ නලුවයි නිළියයි එකතු උනාම හුරේ දමපු කාලේ මමත් පුදුම ආසාවකින් බලපු චිත්‍රපටියක් කුච් කුච් හෝතා හේ  කියන්නේ ... ඒත් අද ... අද මට ඒ සරල කතාවේ එදා නොදුටු ගොඩක් පැති පේනවා..ඒ නිසා මම ඒ කතාවට වෛර කරනවා.. කොටින්ම එදා ආදරය  කල කතාව මහ කුපාඩි කතාවක් කියලයි අද මට හිතෙන්නේ .. කියන්නම් ඇයි කියලා.. කවුරු එකඟ වුනත් නැතත් හැමදාම කියනවා වගේ මම ලියන්නේ මගේ කතාව :)

හින්දි සිනමා වට්ටෝරුවේ හම ගහපු කතා තේමාවක් අරගෙන ආපු කුච් කුච් හෝතා හේ කියන්නෙත් සාමාන්‍ය තුන්කොන් ප්‍රේම කතාවක් විදියටයි හැමෝම දැක්කේ. රාහුල්,ටීනා සහ අංජලී. මෙතනයි පළවෙනි වැරැද්ද... කතාවේ චරිත තුනක් නෙමෙයි හතරක් තියෙනවා .. කෝ අමන් ..කෝ ඇත්තටම ආදරය කල කොල්ලා ..එයාව අමතකයි හැමෝටම .. මේක තුන් කොන් ප්‍රේමයක් නෙමෙයි..මේක හතරකොන් ප්‍රේමයක් ... ඒ පදනමේ ඉදගෙන මගේ කතාව අහන්න ..

අංජලී ... සුපුරුදු පරිදි පණ එපා කියලා කොල්ලට ප්‍රේම කරන කෙල්ල ..අදටත් වලංගු චරිතයක්.. ඇත්ත ජීවිතයෙත්  ගොඩක් ප්‍රේම කතා වල අදටත් කෙල්ල පණ නහගෙන ප්‍රේම කරනවා කොල්ලා රට වටේ කෙල්ලොත් එක්ක නැටුවට... (ඔන්න මගේ මොලේ විකල් වේගෙන එනවා ... හුස්ම ඉහලට ..හුස්ම පහලට ... සීයේ ඉදන් එකට ආපස්සට .. 100, 99,98 ...... ... හරී ) අංජලී ගැනනේ කිය කිය හිටියේ ... රාහුල් සෙල්ලම් කරලා එනකන් වතුර බෝතලේ තියාගෙන ඉන්නේ අංජලී  ... රාහුල්ට ගෙදර වැඩ ටික කරලා දෙන්නේ අංජලී  ... කොටින්ම රාහුල් ශරීර කෘත්‍ය කලාම අදාල ප්‍රදේශය හෝදල දෙන එක ඇරුනම අනිත් හැම දේම කරන්නේ අංජලී ... රාහුල්ටත් අංජලීගෙන් තොර ලොවක් නෑ.. බොහොම ලස්සනට මලක් වගේ කතාව ගලාගෙන යනවා :)

ඔය අතරේ එනවා ටීනා.. කොටට අදින, රූපලාවන්‍ය පිළිබද ඩිප්ලෝමාධාරි හැමෝගෙන සිහින කුමරිය ... රාහුල්ට දැන් අංජලී අමතකයි ... දැන් රාහුල්ගේ මුලු ලෝකෙම ටීනා විතරයි ... ඒත් අංජලී මී හරකියෙක් වගේ තාමත් රාහුල්ට වතුර අදිනවා .. එදා මම ඒක දැක්කේ නෑ.. දැක්කේ ටීන කොයි තරම් ලස්සනද කියලා විතරයි..ඒත් අද මට පේන්නේ ටීනටයි රාහුල්ටයි වතුර අදින අංජලීව විතරයි ... කොහොමින් කොහොමින් හරි .. අංජලීටත් ටික ටික තේරෙනවා රාහුල් දුරස් වෙනවා කියලා. අංජලීට තේරුම් ගන්න බෑ කොතනද වැරදුනේ කියලා..තමන්ගේ ආදරේ වැරැද්ද හොයාගන්න බැරි උනු තැන අංජලී හිතනවා ටීනා වගේ වෙන්න ... ඉතින් එහෙන් මෙහෙන් පාට උලාගෙන ..ඇගට හිර ඇදුමක් ඇදගෙන එනවා රාහුල්ට පේන්න, එතකොටවත් රාහුල්ට අංජලී ව මතක් වෙයිද බලන්න. රාහුල් හිනා වෙනවා..බඩ අල්ලගෙන දෙකට නැමිලා හිනා වෙනවා .. රාහුල් විතරක් නෙමෙයි.. චිත්‍රපටිය බලපු මමත් හිනා උනා ... ඉතිං ටීනාට සිද්ද වෙනවා රාහුල්ට කියන්න එහෙම හිනා උනු එක වැරදි කියලා.. හිතලා බලන්න.. ටීනා ද රාහුල් ද අංජලී ගැන දන්නේ?.. අංජලී හිටියේ කාත් එක්කද?  ටීනා එක්කද රාහුල් එක්කද? ඒත් අන්තිමේ අංජලී ට හිතෙන හැටි සහ අංජලී ට හිනා වෙන එක වැරදී කියල ටීනා යි රාහුල්ට කියලා දෙන්නේ .. කොයි තරම් කුපාඩියෙක්ද රාහුල් ? අනික් අතට රාහුල් හිනා වෙන්නේ කාටද? අංජලී ටද නැත්නම් අංජලී ගේ ආදරේටද? මට හිතෙන්නේ, රාහුල් හිනා වෙන්නේ තමන්ටමයි ... තමන්ගේ නොලැබීමට තමන් පයින් ගහපු ආදරේටයි රාහුල් හිනා වෙන්නේ.

තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන හැටි පුහුනු වෙන්නත් රාහුල් තෝර ගන්නේ අංජලීව..මොකද රාහුල්ගේ සෙල්ලම් භාණ්ඩේ අංජලී නිසා.වැස්ස නිසා අංජලීගේ කදුලු පේන්නේ නැති බවයි චිත්‍රපටියේ නිශ්පාදකතුමා පෙන්නන්නේ.. ඒත් ඒ වැස්සෙම රාහුල් ඇඩුවා නම් අංජලී ට ඒ කඳුලු නොපෙනී තියෙන එකක් නෑ කියලයි මම හිතන්නේ.කොහොම හරි අංජලී යනවා.. රාහුල්ටයි ටීනටයි සුභ පතලා යන්නම යනවා. සින්දු සහ ආදර ජවනිකා පේලියකින් පස්සේ රාහුල් ටීනාව විවාහ කරගෙන ලමයි හදාගෙන හොද සතුටින් ඉන්නවා ... කොයිම වෙලාවකවත් අංජලීව මතක් වෙන්නේ නෑ රාහුල්ට. අංජලී අතීත‍යට එකතු වෙනවා .. 

ටීන මැරෙනවා .. රාහුල් දැන් තනියෙම.. ඔන්න දැන් තමයි අපේ වීරයට අංජලීව මතක් වෙන්නේ. එදා මට හිතුනේ රාහුල් අංජලීව හොයාගෙන එන්නේ ඇත්ත ආදරය නිසා කියලා..ඒත් අද මට හිතෙන්නේ රාහුල්ට අංජලීව ඕන වෙන්නේ තමන් තනි උනු නිසා විතරයි කියලයි. ටිනා මැරුනේ නැත්නම් අංජලී කියලා කෙනෙක් හිටියා කියලා රාහුල්ට කවදාවත් මතක් වෙන්නේ නෑ. අංජලී තාමත් ඕනි උනාම ලගට ගන්න එපා උනාම විසි කරන සෙල්ලම් බඩුවක් විතරයි. ඒත් අංජලී .. ඒ මුලු කාලය පුරාම තමන්ට ගොඩක් ආදරේ කරන අමන් ලගින් හිටියත් හැමදාමත් රාහුල්ට හිතෙන් ආදරය කර කර දුක් විදිනවා.රාහුල් ළමයි හදාගෙන ජොලියෙන් ඉන්න අතරේ අංජලී රාහුල්ට තිබුනු ආදරේ නිසා හිතෙන් දුක් විදිනවා..අසාධාරනයි ... !!

එක එක දේවල් වෙනවා.. අඩනවා.. වැලපෙනවා.. සින්දු කියනවා...අන්තිමේ අංජලී රාහුල් එක්ක එකතු වෙනවා.. මට පෙන්නන්නම බැරි කොටස.. කව්ද අංජලීට ඇත්තටම ආදරේ..? කොට සායට අංජලීව අතෑරපු රාහුල් ද.. නැත්නම් අංජලීගේ දහසක් ප්‍රතික්ෂේප කිරීම් මැද්දේ එක මොහොතක් හරි කවදා හරි අංජලී තමන්ට ආදරේ කරයි කියල හිතාගෙන සීමා රහිත ආදරයක් දුන්නු අමන් ද? අමන් .. අමන් තමයි අංජලී ට ආදරේ.. රාහුල්ට වගේ, අංජලී අමන්ගේ second choice එක නෙමෙයි... එහෙමත් නැත්නම් IF cases ගනනාවකට පස්සේ execute වෙන default case එක නෙමෙයි... ඒත් අංජලී ඒ ආදරයට පිටු පානව. මොන තරම් දුෂ්ටකම් කලත් තමන්ගේ ආදරේ වෙනුවෙන් අංජලී තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනාට පිටුපානවා.. මට දුකයි අංජලී ගැන.. මම එදත් ඇඩුවා අමන් අංජලී ව රාහුල්ට බාර දුන්නම..හැබැයි ඒ ඇඩුවේ වීරයයි කෙල්ලයි එකතු උනු සතුටට.. මම අදත් අඩනව.. හැබැයි අද අඩන්නේ අංජලී ගැන දුකට.. අංජලී කොයි තරම් පහත් තත්වෙකට වැටිලද කියන දුකට.එපා කියල පයින් ගහල ගිය මිනිහා.. තමන් තනි උනාම ..තමන්ගේ වාසියට හොයාගෙන ආවම..හැම දේම අමතක කරලා ඒ මිනිහත් එක්ක සතුටින් යන්න තරම් නීච උනු අංජලී ගේ ආත්මය ගැන දුකටයි මම අද අඩන්නේ ...

මේ post එක ඒ තරම් ලස්සන නැතුව ඇති. වැඩිය සාහිත්‍ය කෑලි එහෙමත් නෑනේ.ඒත් මට මගේ කතාව කියන්න ඕනි වෙලා හිටියා ගොඩ කාලෙක ඉදලා..ඉතින් මම කිව්වා :) ආ..දවසක් මේ කතාව මම කෙනෙක්ට කිව්වම ඒ කෙනා කිව්වා රාහුල් අංජලීව අතෑරලා ටීනා ට ලංවෙන්නේ අංජලී රාහුල්ට ඕනි විදියේ ස්වරූපයකින් ඒ වෙද්දී හිටියේ නැති නිසයි කියලා .. කොට සාය ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ ... එහෙනම් ... අංජලී ගේ ජීවිතේ තවත් අනතුරේ .. අමන්ගෙනුත් උදුරගෙන බැඳගෙන අරගෙන ගියාට .. ඊට වඩා ලලනා විදියට ඇදගෙන ඉන්න වෙන කෙනෙක් යන අතරමග දැක්කොත් රාහුල් අංජලී ව මහ පාරේ දාලා ඒ ගෑනිත් එක්ක යයි නේද .... තේරුමක් නෑ.. වතුර ඇදපු, ගෙදර වැඩ කරල දීපු, කුදු මහත් හැම දේම තමන්ගේ දෙයක් වගේ කරල දීපු අංජලී ට වඩා කොට සාය ඇදගෙන ආපු හීන කුමාරි ලොකු උනු, අංජලී ගේ ආදරේ සත පහකට ගනන් නොගෙන ඒ ආදරේට පයින් ගහල පොඩි පට්ටම් කරල දාල ගියපු, ආපහු ආදරයක් දෙන්න බැරි නම් ඒක හරියට කියල හිත හදල නොගිහිපු, රාහුල්... කුපාඩියෙක් විතරමයි ... එච්චරයි ... ඒත් රාහුල් හැමදාමත් සතුටින් ..එක්කෙනෙක් යද්දි එක්කෙනෙක්. කවදාවත් තනිකමක්,දුකක්, පාලුවක් නෑ ... අසාධාරණයි .. !!!! 



මමත් අංජලී කෙනෙක් ... 
තාමත් ... මම අඬනවා .. 
ඒ අංජලී ගැන දුකට .. 
මම ගැන දුකට ... 
මගේ නීච ආත්මේ ගැන දුකට ... !!


 

Friday, May 20, 2011

මාතෘකාවක් නැති කතාවක් ... !!

අද ලියන්නේ ගොඩක් දෙනා මූසලයි කියලා බනින්න ඉඩ තියෙන post එකක් :) "මරණය" මූසල මාතෘකාවක් බොහොමයක් අයට.ඒත් මට එහෙම නෑ. බොරැල්ල කනත්ත මම පුදුම විදියට ආදරය කරන තැනක්. හරිම නිස්කලංක ගුප්ත තැනක්. මම කැමති ඒ වටපිටාවට. මෙහෙමයි, මමත් අකමැති මගේ ආදරණීයයන්ගේ අවසානය දකින්න.නමුත් මම කැමති මැරෙන්න.මැරිලා බලන්න මරණය කොයි වගේද කියලා :D මට හිතෙනවා මරණය කියන්නේ හරිම ශාන්ත හැගීමක් වෙන්න ඇති කියලා.දුවල දුවල මහන්සි උනු ජීවිතයට නවාතැන්පළක් වගේ ... !!

අද ලියන්නෙත් මම ආදරය කරන ගීතයක් ගැන.ආදර ගීත දස දහස් ගනනක් මේ ලෝකයේ බිහි වෙලා ඇති.ඕනම ආදරවන්තයෙක්, ආදරවන්තියක් කැමති තමන්ගේ කෙනා තමන් වෙනුවෙන් එහෙම ගීයක් ගායනා කරනවා නම් .. අලුත් විදියට නම් Face Book වල post කරනවා නම් .. නැත්නම් Radio හරි Tv හරි channel එකකට කතාකරලා එහෙව් ප්‍රේම ගීතයක් තමන් වෙනුවෙන් dedicate කරනවා නම් :) ඒකනේ සමහරු FB එක පිරෙන්න සින්දු පේලි පේලි post කරන්නේ ;) කොහොම හරි.... ඉතින් මෙන්න මේකයි මගේ ආදර ගීතය ... මේකයි මට මම වෙනුවෙන්, කවද හරි මගේ කියලා කෙනෙක් හිටියොත්, ගායනා කරන්න ඕනි ගීතය ..




 

බලාපොරොත්තු උනු මාදිලියේ ගීතයක් නෙමෙයි නේද? මම දන්නවා .. මේ ගීතය වෙනස් .. නමුත් මට මේ ගීතය දැනෙනවා .. ඉතිං මේ මගේ ගීතය. ඇයි එහෙම උනේ .. ? මුලින්ම, මම කැමති නෑ මගේ ආදරය නැතුව එක දවසක්වත් ජීවත් වෙන්න.ඒ කිව්වේ මේ එයා මැරුනොත් මම සියදිවි හානි කරගන්නවා කියන එක නෙමෙයි..මම කැමති නෑ ආදරය නැතුව එක දවසක්වත් වැඩිපුර ඉන්න.. ඒක කැමැත්ත ගැන ප්‍රශ්නයක් ... මට හැමදාමත් ඕනිකරන්නේ ඒ කෙනාට දවස හරි කලින් ජීවිතයෙන් සමුගන්න.ආත්මාර්ථකාමි සිතුවිල්ලක් ..ඒත් ආදරය යම්තාක් දුරකට ආත්මාර්ථකාමි චිත්තවේගයක් තමයි ..ඒ ආත්මාර්ථකාමය නිසා .. තනිකම, දුක විදින්න තියෙන බය සහ අකමැත්ත නිසා ... මට අවසන් ගමන කලින් යන්න ඕනි.ඉතින් මමයි දෑත ලයේ බැද අවසන් ගමන යන්නේ ... ඒක මට සතුටක් ... !!

"මේ ගීතයේ කොහෙද ආදරයක් තියෙනේ ..මෙක මහ මූසල ගීතයක්" කියලා හිතන අය, එන්න මගෙත් එක්ක කතාවක් මවන්න... ඇස් වහගන්න.මවාගන්න මරණ ගෙදරක්.පෝස්ටර්,බැනර්,ශෝක ප්‍රකාශ,වාහන,සෙනඟ එක පෝලිමට මැවෙනවා නේද? දැන් බලන්න සෙනඟ දිහා..එක එක්කෙන දිහා උවමනාවෙන් බලන්න ..ගොඩක් දෙනා ලෝක සම්මතේට මිනිය බලන්න ආපු අය.නාවොත් ගෙදර අය තරහවෙයි කියන බයට එක දාන්න ආපු අය.වැරැද්දක් කියන්න බෑ ඒ අයට.මැරුනු කුනක මොනවා බලන්නද ... කොහොමහරි ... දැන් අපි යනවා ගේ ඇතුලට .. මිනිස්සු ගොඩ මැද මල් ගොන්නකින් සරසපු මිනිය... හැමෝම කළබලෙන් එහෙ මෙහේ දුවන අස්සේ එකම එක කෙනෙක් ලෝකය ගැන වගේ වගක් නැතුව එක දිගට මේ කුණ දිහාව බලාගෙන ඉන්නවා. වටපිටාවේ වෙන සද්ද,කලබල මොකවත් මේ කෙනාගේ ඉන්ද්‍රියන්ට ගෝචර නෑ.මේ කෙනාට නිනව්වක් නෑ ඇයි තමන් ආදරය කරන කෙනා වෙනදා වගේ හිනා වෙලා කතා නොකරන්නේ කියලා... මේ කෙනාට තේරෙන්නේ නෑ ඇයි තමන්ගේ ආදරේ ඇස් පියාගෙන, අත් පපුවේ බැදගෙන ඔහේ ඉන්නේ කියලා ..මේ කෙනා ඔහේ බලාන ඉන්නවා .. තමන්ගේ ආදරේ පෙට්ටියෙන් නැගිටලා ඇවිදින් කථා කරනකන් ...වෙනදා වගේම හුරතලේට හිනා වෙලා .."මට නින්ද ගිහින් හිටියේ, ඔයා තරහද?" කියලා අහනකන් ...

හරි ..දැන් අපි ආව නියම තැනට ..දැන් අහන්න ගීතය..ඇස් වහගෙනම.. අර බලාගෙන ඉන්න ආදරණීය ආත්මේ ඇතුලට රිංගල ඇහුම්කන් දෙන්න ..පේනවද ආදරය? දැනෙනවද ආදරය ? 

මට ඕනි එහෙව් ආදරයක් .... !!

කවුරු බලාන හිටියත් පෙට්ටියේ දාල තියෙන මළකුණේ නලලතට හාද්දක් දෙන්න හිතන .. පෙට්ටිය වහන්න කලින් හලන සුවද පැන් වලට වඩා මලකුණේ සුපුරුදු ජීවන සුවදට ආදරය කරන ... ලෙංගතු ආත්මයක් තමයි මම මේ මුලු ලෝකෙම පීර පීර හොයන්නේ ... පණ ඇති සිරුරකින් ලැබෙන සතුට නොලැබුනත්, ෆෝමලින් සැර ඉහ මොළ හාරගෙන ඇදුනත් .. මට ඕනි මගේ කෙනා "මටත් මගේ හිතටත් ඔබ සුවදයි" කියන්න..ඒකයි මේ ගීය මගේ ආදර ගීතය උනේ ... !! මේ ගීයේ මළකුණ .. මගේ හුස්ම වැටෙන ජීවිතයට වඩා වාසනාවන්තයි .... !! ඇත්තටම මට ඉරිසියයි ඒ මලකුණ ගැන ...

මට ඕනි මගෙන් ප්‍රයෝජන නොගන්න ... මාව භාන්ඩයක් ගානට පාවිච්චි නොකරන ... කවද හරි මගෙන් පලක් නැතුව පොලවට පස් වෙන්න යන දවසටත් ලෝබ නැතුව, කැත නැතුව, ආදර හාද්දකින් මගේ නලල සරසන කෙනෙක් ...මට ඕනි මැරුනට පස්සෙත් මගේ සොහොන්කොතේ දුක්ගීයක් ලියන ආදරයක ආඩම්බර අයිතිකාරිය වෙන්න ... මට ඕන මේ ලෝකේ කවුරු හරි මම මැරුණත් මට හැමදාම ආදරය කරන්න ....මගේ පංචස්කන්දයට, එහෙමත් නැත්නම් මගෙන් ගන්න පුලුවන් ප්‍රයොජන නිසා නැතුව .. ඇත්තටම මගේ මතකයට ආදරය කරන්න ... !! බොළදයි, වැරදියි, තාත්වික නෑ,ප්‍රායෝගික නෑ,ආත්මාර්ථකාමියි,කවදාවත් වෙන දෙයකුත් නෙමෙයි.... ඒත් ඒ මගේ ආසාව ... !! 



Tuesday, May 17, 2011

ආදරය සහ මගේ හුස්ම ... !!

හැමදාමත් අඳෝනාව ... ඇත්තටම ඔයාට බැරිද ජීවිතේ ලස්සනක් දකින්න? විරහව නැතුව ආදරය දකින්න? ඔන්න මගේ යාලු මිත්‍රාදීන්ගෙන් ප්‍රශ්න කෝටියයි :)

පුලුවන් ... මට පුලුවන් .. !! ආදරය ගැන නොලියන්නේ ලියන්න බැරිකමකට නෙමෙයි. ආදරය ගැන නොලියන්නේ මට උරුම නැති දේවල් අමතක කරන්න ඕනි නිසයි .. විරහවේ වේදනාව විදින්න පුරුදු වෙන්න ඕනි නිසයි ... ඒත් .. හරි, අද ලියන්නම් ආදරය ගැන ... නැත්නම් මටම අමතක වෙලා යාවි මේ ලෝකේ විරහව විතරක් නෙමෙයි ආදරයත් තියෙනවා කියලා :)



.: නිදි නැති රැයක සයනයේ සිහිනයට සපැමිණි මනඃකල්පිත ඔබට ලියමි :.

ඔබ සියලු තැන්හි සිටී ...
ඉර හඳ තාරුකා අතරද ...
සිසිලස සහ උණුසුම අතරද ...
ඔබ සිටී ... !!

විශ්ව භාෂාවේ ... මානව වංශ කතාවේ... මිහිරිතම වචනය " ආදරය " මගේ වදන් වැලට එක කලේ නුඹයි ... උදා හිරු එළිය නැගෙන විට ලොවට නෙත හරින මගේ පළමු සිතිවිල්ල නුඹයි ... දිනය ගෙවෙන තෙක් හෝරා යතුරේ කටු කැරකෙන වේගයටත් වඩා වැඩි වේගයකින් මගේ සිත තුල දිග හැරෙන්නේ ඔබ ගැන සොඳුරු මතකයන් පමනමයි ... නිශා කුමරිය අහස් ගැඹ එකලු කර වඩින විට ඉඟිමරන තරු කැකුලු, මට සිහි කැදවන්නේ, හුරතලේට හිනා වෙන නුඹේ ඔය සිනා කට විතරමයි ... බැලු බැලූ අත මට පෙනෙන සොඳුරු සිහිනය, සොඳුරු රුව, ඔබගේම විතරමයි ... !!

අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබම පමණයි ... ඔබ අනන්තයි ... !!

ඔව් ... ඔබ අනන්තයි. මුලු අහස් තලයටත් වඩා ඔබ ගැන මතක අනන්තයි. පොළව වසාගෙන ඇදෙන සුළගටත් වඩා ඔබ ගතේ සුවඳ අනන්තයි.රැළි පිට රැළි නැගෙන මහා සයුරටත් වඩා ඔබගේ මුදු සිනාව අනන්තයි ... මගේ ලෝකයේ සීමාව ඔබේ හිස් මුදුනේ සිට දෙපතුල දක්වාම පමණයි .. සරලවම .. මගේ මුලු ලෝකයම ඔබයි ... !!
 
වෙණ තතක් හැඩවෙන තැනක් ඔබ ...
මධු විතක් උතුරන තැනක් ඔබ ...
තෙළි තුඩක් දැවටෙන තැනක් ඔබ ...
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ ....!!

මගේ ගීතයේ තනුව ඔබයි ... මගේ මධුවිතේ රස රහස ඔබයි ... මගේ සිතුවමේ නේක විධ වර්ණයන් ඔබයි ... මගේ පන්හිඳෙන් මැවෙන ගීයට උල්පත ඔබයි ... නෙත විවර කල විට නයන අද්දර පිපි පියුම නුඹයි ... නෙත වසා ගත් විට අඳුර මැද දිලෙන පහනද නුඹයි ... නැගෙන හසරැල් ඔබ නිසාමයි ... හෙලන කඳුලක සිසිල නුඹටයි ... !!


අඩ සඳක් සැඟවෙන තැනක් ඔබ ....
රළ පෙළක් පෙරලෙන තැනක් ඔබ ...
සිසිලසක් දනවන තැනක් ඔබ ....
උණුසුමක් ගෙන එන තැනක් ඔබ ... !!

 මගේ දිවි අඹර උදා හිරු නුඹයි ... රැය එකලු කර දිලෙන සඳ මඩලද නුඹයි ... දිවිය සනසන සයුරු රළ නුඹයි ... දිවි ගීතයට සප්ත ස්වරයද නුඹයි ... සියලු ඉඳුරන් අවදි කරවන උණුසුමද ඔබයි ... දිවි ගිම් නිවන සිහිල් මද නලද නුඹයි ... ආදරය යන අකුරු හතරට අරුත් දුන්නේ නුඹයි ... විඩාබර මා හිසට උරස දුන්නේ නුඹයි ... ලෙහි හොවා, හඬන මා සැනසවූයේ නුඹයි ... දිවිය මා තිබෙන තුරු සදා මම ආදරෙයි .. !!




Monday, May 16, 2011

මම නිදිකුම්බා මලක් වෙමි ... :)

මම පොල් ගසක් වෙමි, මම පැන්සලක් වෙමි, කියල පොඩි කාලේ සිංහල වලට රචනා ලියද්දි මට හැමදාමත් හිතුනා ඇයි මට වෙනස් දෙයක් ගැන රචනාවක් ලියන්න බැරි කියලා. රෝස මලක් කතා කරයි කියන මාතෘකාව යටතේ පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ සර් රචනාවක් ලියන්න කිව්වම මම අත උස්සලා ඇහුවේ "අනේ සර්, රෝස මලක් නෙමෙයි, නිදිකුම්බා මලක් කතා කරයි කියලා ලියන්න බැරිද? " කියලයි. ඒත් ශ්‍රිලාංකේය යල් පැනගිය ගිරා පාඩම් ක්‍රමයට පිං සිද්ධ වෙන්න මට රෝසමල වෙනුවට නිදිකුම්බා මල ආදේශ කරන්න ඉඩක් ලැබුනේ නෑ එදා .... ඒත් අද මම වෙනස්. අද මම මගේ රචනාව ලියනවා මට ඕනි හැටියට .. :)





ඔව්.... මම නිදිකුම්බා මලක්. ජීව විද්‍යාත්මක භාෂාවෙන් කියනවා නම් Mimosa pudica ශාඛයේ ප්‍රජනන මූලාංගයක්. පුංචි කටු පඳුරක් සරසන පුංචි මලක්. රෝස මලකට ලැබෙන අවධානය, ආදරය කවදාවත් අත්දැකපු නැති; ලෝකයේ ඇස් වලින් වහං උනු මලක් මම. ලංවෙලා බලන්න කිසිකෙනෙක් උනන්දු වෙන්නේ නැති, සුවඳක් නැති, දේදුනු වර්න නැති, සරල චාම් මලක් මම. හිස සරසන්න, ගත සරසන්න, බුදු පුදට මලසුනට ගන්න, හීනෙකින්වත් හිතන්නේ නැති මලක් මම. රෝස මලකට වහ වැටෙන, පිපෙනකන් නොයිවසිල්ලෙන් පොරකන බඹරු සමනලයෝ, ගිමන් නිවාගන්නවත් ලැගුම් නොගන්න පුංචි නොසලකා හල මලක් මම.මහා මන්දිරයේ ඉදන් දුගී පැල වෙනකන් වතුර දාල, පෝර දාල, දහසක් දුක් විදලා වවාගන්න දඟලන රෝස පැලයක මලක් නෙමෙයි මම.මන්දිරයේ ඉදලා අතු පැල වෙනකන් හැමදෙනාම උදලුගාලා, ගලවලා, වල්නාශක ගහලා විනාස කරන්න හදන කරදරකාර නිදිකුම්බා පැළයක මලක් මම. අද පිපිලා හෙට පරවෙලා යන, ලස්සනක් අමුත්තක් කවුරුත් නොදකින, කාටත් වදයක් කරදරයක් උනු ඇබිත්තං නිදිකුම්බා මලක් මම.

ඒත් ................

ඉඩහසරක් ලැබුනු වෙලාවක රෝස මල හිතෙන් අමතක කරලා පොඩ්ඩකට මා දිහාවත් උවමනාවෙන් බලන්න. හිටගෙන දෙපා මට්ටමෙන් ඇහැ තියාගෙන නෙමෙයි, මා ලග දණගහලා ලං වෙලා බලන්න. පේනවද ... මමත් මලක්. රෝස මලකටත් වඩා සියුම් පෙති තියෙන මලක්. අතගාල බැලුවත් තැලෙන තරම් මගේ පෙති සියුම්.මමත් රෝස පාටයි.තව ටිකක් කිට්ටුවට එන්න.මගේ ලා රෝස පාටත් ලස්සනට පෙනේවි සමහරවිට. රෝස මලෙත් නටුවේ කටු නේද? එහෙනම් ඇයි මගේ කටු වලට මේ තරම් වෛර කරන්නේ? රෝස නටුවේ කටු තරම් මගේ කටු සැර නෑ නේද? එහෙනම් ඇයි මාව විතරක් මේ තරම් වදයක් වෙලා තියෙනේ? ඇයි මම වල් පැලයක් .. රෝස කුමාරි මල් පැලයක් වෙලා ?

ඇත්ත... ලෝක සම්මතය ඒකයි. රෝස මල වටිනා, ලස්සන, වැදගත්, මලක්.. නිදි කුම්බා මල වල් ගහක පිපුනු වල් මලක්.. ඒ නිසා මම කවදවත් කියන්නේ නෑ රෝසමලට දුන්නු තැන මට දෙන්න කියලා.මම කියන්නේ නෑ මාවත් ගෙනිහින් ගෙදර මිදුලේ හිටවගන්න කියලා.මම කියන්නේ නෑ වතුර දාල පෝර දාලා මාවත් රැක බලාගන්න කියලා.මම ඉල්ලන්නේ එක දෙයයි. විනාඩි ගානක් කැප කරල මගේ දිහාත් ටිකක් උවමනාවෙන් බලන්න. පයට පාගගෙන පොඩි කරගෙන යන මගේ දිහා ටිකක් බලන්න. වල් ගහේ වල් මලක් කියල තරහින් නැතුව ආදරෙන් එක මොහොතකට මගේ පුංචි පෙති අතගාල බලන්න. සිනිඳුයි නේද? මලකට උරුම සිනිඳු බව තියෙනවා නේද? ඒත් ගහේ කටු දිහා විතරයි නේද හැමදාමත් බැලුවේ.. ?

මම රෝස මලක් නෙමෙයි. කෑගහලා කියන්නේ හැමෝටම ඇහෙන්න. මම නිදිකුම්බා මලක්. හැබැයි මම ආඩම්බරයි මගේ ආත්මය ගැන. හැමෝම ආදරය කරන අයිතිකරගන්න දගලන රෝස මලක් වෙනවට වඩා මට ලෙංගතුයි මේ නිදිකුම්බා මල් ජීවිතය. කවදා හරි කොහේ හරි ඉදලා නිදිකුම්බා මලකට ආදරය කරන කෙනෙක් ඒවි ... රෝස මලෙන් නොදැකපු ලස්සනක් නිදිකුම්බා මලේ දකීවි ... වල් පැලයවත්, ඒ පැලේ කටුවත් නැතුව මගේ පෙති වල සිනිඳු බව විතරක්ම දකීවි ... රෝස මලේ තද රතු පාටට නැතුව මගේ ලා රෝස පාටට ආදරය කරාවි ... ඒ දවස එනකන් මම බලාගෙන ඉන්නවා .... !!


අයාලේ යන ජීවිතේ ...

හබලක් අතැතිමුත්
ඇවැසි නැත මට
ඉවුරකට ලංවෙන්න ...
ඉඩ හරිමි ගඟ දියට
දිවි ඔරුව ...
ඇවැසි තැනකට ගෙන යන්න ....

නෙක පහන් දිළෙන මුත්
ඇවැසි නැත මට
දිවි අඳුර මැඩලන්ට ...
ඉඩ හරිමි දෙනයනට
අඳුර මැද ...
පෙනෙන ලෙසකින් දකින්නට ...

දිවි ගීය පබැඳි මුත්
ඇවැසි නැත මට
එයට තනුවක් දෙන්ට ...
ඉඩ හරිමි නෙක දනට
මා ගීය ...
ඇවැසි ලෙසකින් ගයන්නට ...

 හසරැල්ල පෙනෙන මුත්
ඇවැසි නැත මට
ඒ වෙතට ඇදෙන්නට ...
ඉඩ හරිමි දෙනයනට
උණු කඳුලු ...
ඇතිතරම් හෙලන්නට ...

නෙක සිහින බිඳුනු කල
ඇවැසි නැත මට
නව සිහින මවන්නට ...
ඉඩ හරිමි කාලයට
මා දිවිය ...
නැවතුමට ගෙනයන්න ... !!


කේන්තියෙන් ලියමි ... x(

අද post  එක ලියන්නේ කේන්තියෙන් .. ලේ, මස්, ඇට, නහර උතුරවාගෙන එන කේන්තියෙන් ... ඒ නිසා කලින්ම කියලා තියන්නම් ...  post එකේ වචන නරක වෙන්න පුලුවන් ... අඩෝ කියන්නේ හරිම posh, trendy, classy, sexy වචනයක්, නමුත් තමුසේ කියන්නේ මහ නරක චාරයක් නැති වචනයක් කියල හිතන අමුතු භාෂා විශාරදයන්ට දරාගන්න බැරි වෙන්න පුලුවන් .. සභ්‍ය විනීත සුකොමල කාන්තාවට සහ එහෙම කාන්තාවන්ට පමනක් කැමති පුරුෂ පක්ෂයට fuse පිච්චෙන්නත් පුලුවන්. ඒ නිසා post එක කියවලා පස්සේ පුප්පගෙන කෑගහන්නේ නැතුව දැම්ම මේක  කියවන එක නවත්තන එක හොදයි එහෙම චරිතවත් උන්දැලා.

මම බස් වල ගිහින් පුරුදු කෙනෙක් නෙමෙයි.මම වැඩිය සමාජයට නිරාවරනය වෙලා පුරුදු කෙනෙකුත් නෙමෙයි. ලොකු කමකට කියනව කියලා හිතන්නෙපා. ඇත්තටම සමාජයට මුහුන දීල පුරුදු නැති නිසා මම වින්ද දුක් අනන්තයි අප්‍රමානයි.මිනිස්සු පැල් බැදගෙන මගෙන් ප්‍රයෝජන ගත්තේ මගේ තිබුනු ඒ නොදැනුවත්කම නිසාමයි.මම හිතුවා හිනා උනාම, ඔලුව අතගෑවම ඒ ඇත්තටමයි කියලා. ඒ මිනිස්සු එහෙම කරන්නේ ඇත්තටම මම ගැන හිතන නිසා කියලා. ඒත් තමන්ගේ වැඩේ ඉවර උනාම වට පිටාවේ අයයි .. තමන්ගේ අලුත් කෙනයි එක්ක ... මට හිනා වෙලා මාව විසි කරල ගියාමයි මට තේරුනේ ඔලුව අතගාල තියෙන්නේ අං එනවද බලන්නයි කියලා :D

කොහොම හරි ... ඒ යට ගියාව ගැන කතා කරන්න නෙමෙයි අද post එක ලියන්නේ. අද බස් එකේදි උනු දේවල් තොගයක් ගැන කියන්නයි මට ඕනි උනේ.ඒත් සුපුරුදු පරිදි වැල් වටාරම් ගොඩක් කියලයි කතාවට එන්නේ. අද කොහොමත් මගේ චේන් පැනලා නිසා මේ post එකේ මුලක් මැදක් අගක් නැති වෙයි.

අද දවස හරිම මහන්සි දවසක්. එක එක්කෙනාගේ බණ දේශනා එහෙමත් අහන්න උනා ඒ මදිවට. හරි චරිතවත් කෙනෙක් එක්ක සම්බුද්ධ ජයන්තිය සමරන හරිම චරිතවත් එක්කෙනෙක් මට ගරුත්වය රැක ගන්න හැටි ගැන ඉගැන්නුවා. පුදුම සතුටුයි, මට එච්චරයි අඩු වෙලා තිබුනේ ඒ වෙලාවේ.ආයේ post එක කැලේ යනවෝ :( හරි ඔන්න දැන් නම් බස් එක ගැන කියනවාමයි.

අපේ පාරේ බස් වල සෙනග පිරිලා. දොරෙන් නම් අතුල් වෙනවා බොරු. ජනේලෙකින් වගේ තමයි බස් එක ඇතුලට රිංගගත්තොත් රිංගගන්න වෙන්නේ. අනේ ඉතින් බණ අහල මහන්සි වෙලා බස් එකට නැග්ග මමත් කොහොම හරි තුන්වෙනි පේලියේ සීට් එකක් හොයගෙන වාඩි උනා. කොන්දොස්තර මහත්තයා ආවා .. අල්ල කොනිත්තලා ඉතුරු සල්ලි දුන්නා x( ලිංගික අවපීඩනය. මේ මිනිස්සුන්ට අන්දකයිප්පු. කොහොම හරි ඔරවා බැලීමකින් පමනක් සෑහිමකට පත් වෙලා දෙයියනේ කියලා ටිකක් හේත්තු වෙලා හරි බරි ගැහිලා වාඩි උනා කියමුකෝ.බස් එකේ ඉතින් ගිනි කසේට සෙනග. හිටගෙනම පේලි තුනක්. ඔය අස්සේ ඇබින්දිත්තන් පැට්ටෙක් වඩාගෙන කාන්තාවක් බස් එකට නැග්ගා. මාස ගානක් වයස පොඩි එකා විලාප තිය තිය අඩනවා. අනේ ඉතින් මේ ගෑනු කෙනා කුනාටුවකට අහු උනු නැවක එනවා වගේ එක අතකින් ළමයව බදාගෙන අනිත් අතින් බස් එකේ අහු වෙන අහු වෙන තැන් අල්ලගෙන බොහොම අමාරුවෙන් නැග්ගේ. මට එක පාරටම මතක් උනේ හුනු වටේ කතාවේ ගෘෂා. සතුරො එලවගෙන එද්දි ගෘෂා වැල් පාලමේ ගියා වගේමයි ඒ අම්මා දරුවව වඩාගෙන නැග්ගේ. මේ මනුස්සයා පලවෙනි සීට් පෝලිම ලගට ආවා, එකෙක් නෙමෙයි නැගිටලා සීට් එක දුන්නේ.දෙවෙනි සීට් පෝලිම ලගට ආව, ඒ වෙනකන් ගජරාමෙට sms යව යව හිටපු උන් මෙන්න බුදි. ඊලගට මම.මමත් සත් ගුණවත් බෝධි සත්වයෙක් නෙමෙයි.උදේ ඉදන් මැරිලා මැරිලා කෙලින් හිටගන්න පණ නැතුවයි මමත් ආවේ.ඒත් මට ඉදගෙන ඉන්න බෑමයි කියල හිතුනා. මම හරීම හොද සීලවන්ත ගුනෝපේත ගෑනු ලමයෙක් කියල පෙන්නන්න හදනව නෙමෙයි. මම නැගිට්ටෙත් ඒ අම්මට හිතෙන් බැන බැන. දැන් මට මාවම කාගන්න තරම් දුකක් ඒ ගැන ඇති වෙනවා උනත් ඒ වෙලාවේ මට හිතුනේ මේ රෑ ළමයිවත් උස්සගෙන කොහේ දේවාලේ යනවද කියලයි :(

සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙල ගැහෙන රටේ ... ධර්මද්වීපය කියල ගිරිය පුප්පන් කෑගහන රටේ ... ඇටිකිත්තෙක් උස්සගෙන බස් එකට නගින ගෑනු කෙනෙක්ට සීට් එකක් දෙන්න එකෙක් නෑ. ඒ උනාට මොකද කථා කරලා බැලුවම හතරපෝයට සිල් සමාදන් වෙන බෝ පැල ඉන්න රටක් මේක. Love කරන්න trend එකට කොල්ලත් එක්ක පන්සල් යන උන් සහ ඕප දූප දොඩවන්න පන්සල් යන උනුයි මේ රටේ වැඩි.වචනෙට කියන්නෙත් පන්සල් යනවා කියලනේ. zoo එක බලන්න යනව, ෆිල්ම් එකක් බලන්න යනවා වගේ පන්සලුත් යනවා :D

අනේ ඉතින් අර පැටියගේ කෑගැහිල්ල නවත්තන්න බැරි තැන අම්ම කිරි ටිකක් දෙන්න හැදුවා. පොදු ස්ථාන වල සහ පොදු ප්‍රවාහන සේවා වල මව් කිරි දීමට මම තරයේම විරුද්ධයි.එකක් ඒ නිසා බබාට විෂබීජ යන්න පුලුවන් දාඩිය එහෙම එක්ක කවලම් වෙලා, අනික මේ කුපාඩි මිනිස්සු ඉන්න රටේ පුලුවන් නම් හිජාබ් එකක් ඇදගෙන එලියට බහිනව මිසක් දරුවට කිරි ටිකක් දෙන්නවත් හැට්ටේ ඈත් මෑත් කරන්න නරකයි. ඉතින් සුපුරුදු පරිදි පිරිමි රොත්තක් වලිකනවා මොනා හරි පේන දෙයක් බලාගන්න. අජූතයි.. මට පුලුවන්කමක් තිබ්බානම් උන් හැම එකාවම මරලා දාන්න මම මරනවා එකෙක් නෑර.

හරි.. කොහොම හරි ඉතින් ඒ ගෑනු කෙනා වාඩි උනා. මම හිටගත්තා. එතකොටම මෙන්න එකෙක් ඇගට වාරු වෙලා. මම හැරිලා බැලුවා ඇග පත වාරු නැති සීය කෙනෙක්වත්ද කියලා .. මොන.. හොද හයේ හතරේ මිනිහෙක්. මිනිහගේ ටිකට් එකේ සල්ලි හරි නම් මටයි දෙන්න  ඕනි, මොකො මිනිහා ගියේ මගෙ කර පිට මිසක් බස් එකේ නෙමෙයිනේ. හිටියා හිටියා එන පොට හොද නැති බව තේරුනාම සුලලිත ලලිතකම පැත්තකට දාල ප්‍රසිද්ධියේ භාවිතාකරන්න පුලුවන් උපරිම සුභාෂිතයෙන් මිනිහට ඇමතුවා. අපරාදේ කියන්න බෑ ඒ මනුස්සයට ඒ භාෂාව තෙරුනා.මිනිහා ඊලග halt එකෙන් බැස්සා.මම දිනුම් :) 

හ්ම්ම්.. හුස්මක් අරගෙන ඒ වෙනකන් බිම තියන් හිටි කකුල උස්සගෙන උස්සගෙන හිටි කකුල බිමින් තිබ්බා. බස් එකේ ඉඩ තියෙන්නේ එක කකුලක් තියාගන්න විතරයි. හිතුවා ඉතින් දැන්වත් ගෙදරට යනකන් නිදහසේ යන්න පුලුවන් වේ කියලා. කොහෙද ඊලග episode එක පටන් ගත්තා එතන ඉදන්.බස් එකට නැග්ගා couple එකක්. මම මිනිස්සුන්ට ගරහන්නේ නෑ බාහිර පෙනුම නිසා කවදාවත්. ඒ මමත් සර්ව සම්පූර්න ඉටි රූපයක් නොවෙන නිසා. ඒත් මනුස්සයෙක් දිහා බලපුවාම ඇදුමෙන් පැලදුමෙන් හැසිරීමෙන් ඒ අය ගැන නිගමනයකට එන්න පුලුවන් මට (එහෙම බැරි උනේ එකම එක අවස්ථාවකදි විතරයි. ඒ වැරදි තේරුම් ගැනීම නිසා මම අදටත් විදවනවා ). නැග්ග couple එක දමිත් අසංගගේ සිංදු අහන සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතා කියවන දෙන්නෙක් බව දැක්ක ගමන් පැහැදිලියි. ගරහනවා නෙමේ. නමුත් ඒ මගේ type එක නෙමෙයි සහ මම අකමැති එහෙම අයට.කොහොම හරි..දැන් ඉතින් බස් එකෙ පේලි තුනක් හිටගෙන. ඒ අතරමැද්දේ මේ ජෝඩුව හරහට හිටගෙන..දෙන්න දෙන්නව බදාගෙන.දැන් හිතන්නෙපා මට මේ ආදර couple එකක් දිහා බලාගෙන ඉන්න බැරි අමාරුවක් තියෙනව කියලා. කාගෙ හරි උරහිසකට වාරු වෙලා යන්න පිනක් මට නැති උනත් එහෙම එකක් දිහා බලාගෙන, නැහැදිච්ච එව්න් කියල දත්මිටි කාල නැටුමක් නටන්න තරම් කුහක හිතක් මට නෑ. ඒත් මේ couple එකෙ ආදරේ නම් මට මහ ඉසරදයක් උනා. වෙන මුකුත් නිසා නෙමෙයි, ගෑනු ලමයා  මහතයි. එයා කොල්ලව බදාගෙන ඉන්නව මිසක් බස් එකේ කොහෙන්වත්  අල්ලගෙන නෑ. ඉතින් බස් එක බ්‍රේක් ගහන ගහන පාරට මේ සද්දන්ත කාන්තාව මගෙ අසරණ ඉල ඇට කූඩුව උඩ. ඒ දෙන්නගේ ආදරේට මම පලි නෑනේ :( කමක් නෑ.. ආදරේ අන්ධ නිසා මට වෙන දුක දෙන්නට පේන්නේ නැතුව ඇති කියලා මම හිත හදා ගත්තා. මාවව්ලෙක් වගේ බස් එකේ උඩම පොල්ලේ එල්ලිලා චීන සර්කස් එකේ වගේ කොහොම හරි ප්‍රේම කපල් එකේ බරත් බැලන්ස් කරගෙන ගමනේ ඉතුරු ටික යන්න හිත හදාගත්තා විතරයි මෙන්න මුනු මුනුවක් ඇහෙනවා කන ගාවින් ... " මගේ රත්තරනේ ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ .. bla bla bla.."ඉතින් මටත් බෑනේ මගේ පාඩුවේ ඉන්න.මමත් බැලුවා මේ මොන සමයන් සින්දුවක්ද කියලා.ඒ මදිවට කෝදුරු සද්දෙන් ඇහෙන්නේ. කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු... ප්‍රේම couple එකෙ ගෑනු ලමයා එයාගේ පිරිමි ලමයට තමයි මේ ගීතය ගායනා කරන්නේ. හ්ම්ම්ම් .. ඒකත් ජයසිරි මංගලම් කියලා මම අයෙම මගේ පාඩුවේ වෙන අතක් බලාගන්න හදකොට මෙන්න බොල couple එකේ කොලුවා ඇස් ගහනවා මට.. විකාරයි .. හැබෑටම මොකද්ද මේ ආසියානු සදාචාරය? මම හැමදාමත් කියන්නේ ආසියානු සංස්කෘතිය බටහිර සංස්කෘතියෙන් වෙනස් වෙන ප්‍රධානම නිර්ණායකය තමයි එහේ එලිපිට කරන දේවල් මෙහේ හැංගි හොරා කරන එක... ඒකයි වෙනස  :)

දිගයි post එක. මෙහෙමයි, කෙනෙක් හිතන්න පුලුවන් මේ මුලු කථාවම මවා පෑමක් කියලා.ඒත් මේ හැම වචනයක්ම ඇත්ත. එක දවසට දරගන්න බැරි තරම් දේවල් ගොඩක්. සත්‍ය හැම වෙලේම ප්‍රබන්ධයකට වඩා පුදුමාකාරයි :) තවත් කෙනෙක් කියන්න පුලුවන් පිරිමි ඇගට එන්නේ නරක ගෑනු ලමයින්ගේ විතරයි..අනේ මගේ ගෑනු ලමයා නම් හරීම හොදයි. හරීම සුලලිතයි, කෝමලයි, මම ටිකක් හයියෙන් කතා කලත් ඇකිලෙන තරම් ගැහැනු ගති පිරිලා.එයාට නම් කවදාවත් ඔහොම දේවල් වෙන්නේ නෑ කියලා. වෙන්න පුලුවන්... මේ මගේ කථාව මිසක් ඒ ගෑනු ලමයින්ගේ කථාව නෙමෙයි :)

කේන්තියට ලිව්වේ .. හැබැයි වන සිව්පාවුන් මැද දෙවි දේවතාවනුත් නැතුව නෙමෙයි. ඒත් හිඟයි ... කුපාඩි 1000 ට හොද මිනිස්සු 1 අනුපාතයක් වගෙ තමයි ඉන්නේ.

පිහිටක් නැති සරනක් නැති...
සතුටක් ඇති මුහුනක් නැති...
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ ... !!



Sunday, May 15, 2011

එක්ටැම් ගේ....

අනේ මන්දා... වෙලාවකට මට හිතෙනවා මගේ නිර්මාණාත්මක හැකියාව ආදරයේ අකුරු හතර ඇතුලේ කොටු වෙලාද කියලා ... කවියක්, කතාවක් මොකක් ලියන්න ගත්තත් අන්තිමේ ඉවර වෙන්නේ ආදරය ගැන දොඩවලා ... එළවලු සලාදයක් හදාගන්න හැටි ලියන්න ගත්තත් මම කොහොම හරි එලවළු සලාදෙයි ආදරෙයි සම්බන්ධ කරල තමයි නවතින්නේ. හරියට අර කව්ද ලමයෙක්ට මොන සතා ගැන ලියන්න කිව්වත් අන්තිමේ මැක්කා ගැන ලියල නතර කරනවා වගේ තමයි. මගේ ජීවිතේ නැත්තෙත් ආදරය .. ඒත් මම ලියන්නේත් ආදරය ගැන විතරමයි. ඒකෙත් හැටි ...

කොහොමින් කොහොමින් හරි අද post එකත් ආදරය ගැන :) හරියටම කියනව නම් විරහව ගැන.ආදරයට වඩා විරහව ගැන තියෙන සාහිත්‍ය නිර්මාණ වැඩියි. ඇයි කියන්න දන්නේ නැති උනත් මගේ හිතටත් ආදරයක් තියෙනකොට ලියන්න සිතුවිලි ගලාගෙන එනව අඩුයි තමයි. ඒත් ආදරය නැති උනාම සිතිවිලි ගලාගෙන එන්නේ වක්කඩ කැඩුවා වගේ .. සීමාවක් මායිමක් නැතුව ..

අහලා තියෙනවා ඇති නේද කපුගේ මාස්ටර්ගේ " උන්මාද සිතුවම් " ගීතය. පුදුම ලබැඳි කටහඩක්. මත්පැන් සහ දුම්වැටි නිසා අකාලයේ අපෙන් වෙන් උනු කට හඩක්.දැන් මම කියන්න යන දේට මට ගොඩක් අය බනින්න පුලුවන්. ඒත් මම ලියන්නේ මට හිතෙන දේ.... හරි උනත් වැරදි උනත් :) ගොඩක් කලාකරුවො මත්පැන් පානය කරනවා. ඒ නිසාම හරිම ඉක්මනින් සමාජයෙන් සමු ගන්නවා. මත්පැන් සෞඛ්‍යට අහිතකරයි.ඒ ගැන කථා දෙකක් නෑ. නමුත් අධි සංවේදී හිතකට මේ ලෝකේ වෙන ගොඩක් දේවල් දරාගන්න බෑ.ගණිකාවකගේ ළැමට යටින් ළයක් දකින්න පුලුවන් හිතකට ... අමාවක අහසේ ලස්සනක් දකින්න පුලුවන් හිතකට ... නොකියපු කථාවක් අහන්න පුලුවන් හිතකට ... මේ ලෝකයේ තියෙන නපුර දරාගන්න බෑ. ඒ නිසාම වෙන්න ඇති එහෙම හිත් මත්පැන් වල පිහිට පතන්නේ. මේ ලෝකේ තියෙන කුරිරුකමෙන් මදකට මිදෙන්න, හද පොදි බැඳි දුක දියකරලා පාකරලා අරින්න, ටික වෙලාවකට හරි මවාගත්තු හීන ලෝකෙක සතුටු වෙන්න ...

අපොයි post එක කැලේ යන හැඩයි. විරහව ගැනනේ ලියන්න ගත්තේ.හරි අද ලියන්නේ කපුගේ මාස්ටර්ගේ "උන්මාද සිතුවම් ගීතය ගැන". මේක එක්තරා විදියකට මගේ ජීවිතයේ තේමා ගීතය. Posh නැති උනත්, ලස්සන classy video නැති උනත් මේ ගීතය මට ගොඩාක් සමීපයි. මට ලියාගන්න බැරි උනු ගීතය මම වෙනුවෙන් වෙන කෙනෙක් ලියලා කියලයි මට හිතෙන්නේ. ඉංග්‍රිසි ගීතයකින් කවදාවත් සිංහල හදවතකට කතා කරන්න බෑ. මම හැමදාමත් විස්වාස කරන දෙයක් තමයි " I Love You " කියනවට වඩා ගොඩක් ලොකු ශක්තියක් ඕනි " මම ඔයාට ආදරෙයි " කියන්න.සිංහල හරිම ආදරණීය ලෙංගතු භාෂාවක්. ඒ නිසා ඉංග්‍රිසි ගීත පෝලිමකින් මගේ හිත මට කියන්න බෑ. posh නෑ, trendy නෑ, cool නෑ. ඒත් මේ මගේ ගීතය ... මේ මගේ හිත.  

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ....

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාලු හුදකලා සුළග පමනි උරුමේ
හඩාවැටෙන සිත සදා සරන මට
තනිවේවි එක්ටැම් ගේ...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක් ටැම් ගේ ...





කට හඬ, නාද මාලාව,පද මාලාව හැම එකක්ම කොහේ හරි හීන ලෝකෙක ඉදලා හදවතට කතාකරනවා වගෙයි දැනෙන්නේ.මට හිතෙන්නේ එක්ටැම්ගෙයි පියගැට පෙළ නගින්නේ මම කියලයි. පාලු මුහුදේ මූසල අදෝනාව මැදින් මම ඉමක් නොපෙනෙන පටු පියගැට පෙලක් දිගේ නැඟගෙන නැඟගෙන යනවා...   

"බිඳුනු පෙමින් ගිනිගත් හදවත්", හරිම සංවේදී වචන ටිකක්.ඇත්තටම බිඳුනු පෙමකින් විදවන හදවතක් එකම ගිනි ගොඩක් තමයි. "ඔයා යන්න, මට දුක නෑ, මට කමක් නෑ, මම හිත හදා ගන්නම්,මට තරහක් නෑ" මේ හැම දේම බොළඳ ප්‍රේමකථා වල වීර චරිතේ දෙබස් විතරයි.ආදරය බිඳුනම ඇවිලෙන හදවතකට ඕනි හැම දෙයක්ම ගිනි තියන්න. මුලු ලෝකෙම ගිනිතියලා අලු කරලා දාන්න.ඒත් මේ ගීතයේ ඇවිලුනු හදවත එක් ටැම් ගෙයක හිරකරලා.ඉතින් දැවෙන්නේ ඒ හදවත විතරයි.දැවිලා අලු වෙලා යන්නේ ඒ හදවත විතරමයි.කවදාවත් කවුරුවත්, අඩුමගානේ ගිනි තියපු කෙනාවත් භෂ්මාවශේෂ දකින එකක් නෑ.ඒ හැමදේම එක්ටැම් ගෙටම කොටු වෙලා තියේවි හැමදාමත්... ඒකයි මම මේ ගීතයට ආදරේ ... !!  

දහසක් මල් මැද එකම මලක් පතන එක ලේසි නෑ.දහසක් මල්වල දහසක් පෙති මැද,දහසක් සුවද මැද එකම මලකට ජීවිතේ පූජා කරන එක ලේසි නෑ.ඒත් එහෙව් මලක්, ජීවිතය දෙවෙනි කරලා ආදරය කල මලක්, ඒ ආදරයට හිනා වෙලා,ගරහලා,පයින් ගහලා,කෙල ගහලා ගියාම... යනවා නම් යනවා කියල හරි විදියට සමු අරගෙන නොගිහින් ඔහේ කුණු ගොඩක් විසිකරන ගානට ආදරය කල හදවත විසි කරලා යන්න ගියාම ... පිලිගන්න බැරි උනත් කරපු ආදරයේ වටිනාකමට ගරු නොකර අවලංගු කාසියක් ගානට ඒ ආදරේට සැලකුවම ... වැරදි හදාගන්න ඉඩක් නොදී තමන්ට ඇති උනාම මහ වැරදි ගොන්නක් හොයාගෙන බෙරිහන් දීලා අලුත්කෙනෙක් එක්ක සතුට හොයාගෙන ගියාම ..... දැනෙන සිතුවිලි කවදාවත්ම වචනයට පෙරලන්න බෑ.ඒත් තාමත් ඒ මලේ සුවද දැනෙනවා, හැමදාම.. හැම මොහොතකම ... ඒ පෙර කරුමෙට ... එහෙමයි මම හිතන්නේ .. අමතක කරන්න බැරි පෙර කරුමෙට .... කරපු පාපකර්ම වලට .... !!
 ..........................................................................................................................................................

ඇතිවෙලා නැති වෙලා ගිය ආදරයක් හරියට පිළිකාවක් වගේ.ආදරයේ මතකයන් පිළිකාවක් වගේ හදවත කාගෙන කාගෙන යනවා. පිළිකාව මැරෙන්නේ ධාරක ශරීරය මැරුනු දවසට.බිඳුනු,රැවටුනු පෙමක මතකයන් මැරෙන්නෙත් ඒ මතක පිරුනු හිත මැරුනු දවසට... ඒ දවස  එනකන්, එක්ටැම් ගෙයක හිරවුනු පාලු හුදකලා කදුලක් විතරයි එහෙව් හදවතකට උරුම ... හරියට පිළිකාවකින් විදවනවා වගේමයි ... !!

අදට ඇති .. :) "ඇයි හැමදාමත් දුක ලියන්නේ? ඔයාගේ blog එක එකම අදෝනාවක් .. ඇයි ඒ? කියලා අහන හැමෝටමයි මේ පද හතර ... 

නේක දුක් හදවත දවද්දී...
නිවාලන්නේ කෙලෙස ඔබ හද...
බිඳුනු පෙම ඉකි බිඳ හඩද්දී...
සිනා රැල්ලක වේද සොම්නස ....


හිතනවා හැමදාම අහන ප්‍රශ්නෙට උත්තර ලැබුනා කියලා ... !!

Saturday, May 7, 2011

Gateway බම්බලපිටිය :)

අද කතාව මගෙ රැකියා ස්ථානය ගැන. කවදාවත් ලියයි කියල හිතපු post එකක් නෙමේ මේක. ඇත්තම කියන්න පලවෙනි දවසේ office එකට ගිහින් ගෙදර ආවේ ආයේ යන්න බෑ කියාගෙන. හැමදාමත් හිටියේ මඩේ හිටවපු ඉන්න වගේ .. අද ගෙදර නවතිනවද හෙට ගෙදර නවතිනවද දෙගිඩියාවෙන් .. ඒත් ඒ පුංචි බිත්ති හතර අතරේ මට මුන ගැහුනු ලෙන්ගතු හදවත් ටික අතෑරල යන්න ලෝබකමෙන් මම අදටත් එතනම රැදිලා ඉන්නවා. පාසල් කාලෙන් පස්සේ මගෙන් ප්‍රයෝජන ගන්න මගෙත් එක්ක නොහිටි, තමන්ගෙ වැඩ ටික කරගන්න විතරක් මාව ලංකර නොගත්තු මනුස්ස පරාණ ටිකක් මට මුනගැහුනේ, මරන්න වගේ ගෙදර වදේට ගිය office එක ඇතුලෙදියි .. ඒකෙත් හැටි ... :)

"මොකද්ද අනේ බිග් බෙන් කියන්නේ? හැබෑටම කව්ද අනේ ඔබාමා කියන්නේ?" කියල අහන සාමාන්‍ය දැනීම විශාරදවරු වගේම ලෝකය බෝලාකරයි කියන පුංචි ලදරුවොත් අපේ ගුරු මණ්ඩලයේ ඉන්නවා :) ඒ විතරක්  නෙමෙයි.. Film fare magazine  එක magazine එකක්ද කියල හිතෙන තරමට නලු නිලි කතා, ඇදුම් මෝස්තර ගැන ඇවිදින විශ්වකෝෂ ඇතිපදමට. එතනින් නැවතුනොත් මදැයි ... ශරීරය ලස්සනට තබාගැනීම, ඇග කෙට්ටු කර ගැනීමේ පහසු ක්‍රම වල ඉදගෙන දත් කැක්කුම, හන්දිපත් රුදාව, ලමයි හම්බවීම වෙනකන් හැම දෙයක් ගැනම මහාචාර්යවරියන් පිරිලා ... හැම තැනම හැම වෙලේම පොඩි පොඩි pocket meeting :)

"See girl, you are so thin. You should eat more" කිය කිය අල බොන්ඩා, තෝසේ, වඩේ, ඉටිලි සහ තවත් නම නොදන්නා අනේක විධ කෑම ජාති මගේ කටේ ඔබන Tamil teachers ලා ටික ගැන නොකිව්වොත් ලොකු අඩුවක්. දෙමල භාශාවේ අති සුන්දර වචන වලින් මගේ ශබ්දකෝෂය පෝෂනය කරන්න ඔවුන් කරන්නේ ලොකු මෙහෙයක්. එකම ප්‍රශ්නේ ඒ උගන්නන වචන දෙමළ දරුවෙක්ට කිව්වම ඒ දරුවෝ ආතා බූතා නැතුව දුවන එක තමයි ;) බොහොම අමාරුවෙන් අකුරු ගැටගහගෙන "බාආආ ඩු රාආ අ සාආ පු වාආ" කියල blog එකේ නම කියවගන්න එයාලා දරපු උත්සාහයම ඇති මට. කොල ගනන් පොත් ගනන් ලියපුවා සමහරුන්ට සත පහකට අගේ නැති උනාට තමන්ගේ මුලු සිංහල දැනුමම යොදවලා blog title එක කියවන්න උත්සාහ කරන්න තරම් මගේ Tamil teachers ල මට ලෙන්ගතුයි. ඒ ඇති .. :)

මම කවදාවත් නටලා නෑ.නටන්න දන්නෙත් නෑ. ළදරුපාසලේ විවිධ ප්‍රසංගෙටත් මම හිටියේ මලකට.. කුරුල්ලෙකුට මාව ගත්තේ නෑ මට නටන්න බැරි නිසා. එහෙව් මම මෙන්න office එකේ awards day එකට Lambada නටනවා :) Degree දෙකක් ගත්තටත් වඩා ලොකු ජයග්‍රහනයක් ඒක. මැන්ඩියට හිටු කියලා අසරණ කකුල් දෙකට තඩිබාන මගේ ආදර ගුරු සගයන්ට අමතකයි ස රි ග ම ඇරුනුකොට මම මැන්ඩියක් දන්නේ නෑ කියලා. නැටුම් කන්ඩායමේ අනිත් 7 දෙනාම එක පැත්තකට හැරිලා එක දෙයක් නටද්දි, මෙන්න මම වෙනම පැත්තකට හැරිලා වෙනම නැටුමක් නටනවා.. :) ඒත් ඔයාට හොදට නටන්න පුලුවන් .. ජෝගි නොකර හරියට step එක කරන්න කියන්න තරම් ඉවසීමක් සහ කැපවීමක් මගේ කාර්යාලයීය සගයන්ට තියෙනවා ... ගොඩක් ස්තූතියි ඒ ඉවසීමට .. :) කොහොම නමුත් මගේ නැටිමේ හොදකමට Managers ලගේ ඉදල maid aunt ල දෙන්නා වෙනකන් මගේ නැටුම බලන්න පෝලිමේ දුවගෙන එනවා.. ඒ තරම් හැඩට මම නටනවා :D

මගේ පුංචි දරුවෝ ටික ගැනත් ලියන්නම ඕනි. Undergraduates ලට කුප්පි දාලා පුරුදු මම IT Lecturer කෙනෙක් විදියට වැඩට ගිය පලවෙනි දවසෙම කොස් ඇට දෙකක් තරම්වත් උස නැති පුංචිබට්ටිත්තෙක් ඇවිදින් බොහොම බරපතල විදියට " Are you going to be my new teacher? " කියලා ඇහුවම මොලේ පැත්ත පලාතකම fuse ගියා මට. දෙය්යනේ මේ ඇටිකිත්තන්ට මොන IT ද කියලයි හිතුනේ :) කියල දහ පාරක් විතර "Darling this is the system unit" කියලා කෑගහල කෑගහල එකොලොස්වෙනි වතාවට System unit එක පෙන්නලා "What is this? " කියල ඇහුවම හරිම ලස්සනට හිනා වෙලා " Teacher that is the mouse " කියල කියන මගේ පුංචි පැටව් ටික ඇතුවත් බැරි නැතුවත් බැරි සත්ව කොට්ඨාශයක් ඇත්තටම ... Pablo Picaso ගේ රේඛා චිත්‍රයක් වගේ මුලක් මැදක් අගක් හොයා ගන්න බැරි ගම් තප්ප තප්ප ගාපු කුරුටු බලියක් ගෙනත් අත් දෙකින්ම මට දීලා " Teacher, this is you, this is me and this is computer" කියනකොට මැවෙන කිරි හිනාව... ලොලිපොප් එකක් නැත්නම් බාගෙට ඉවර උනු පෑනක් ගෙනත් පැය ගානක් අගේ කරල කරල මට දෙනකොට තියෙන ආඩම්බර මූණ මට සදහටම මතක තියේවි... database, Artificial intelligence, Software Engineering මෙකී නොකී මහා පරිමාන දේවල් උගන්නලා ලැබුනේ නැති සතුටක් මගේ පොඩි බටු ඇට ටිකට A B C උගන්නලා මට ලැබෙනවා. Undergraduates ල වගේ තමන්ගේ වැඩේ ඉවර උනාම, තමන් graduate උනාම කුප්පි කෙල්ලට හෙණ ගහපන් කියලා හිතන්නේ නෑ මගේ ABC ගෝලයො ටික. මම මගේ පුංචි පැටවුන්ගේ ලොකේ සියල්ල දත් දෙයියෝ  :)



මට ජීවිතේ අන්තෙටම එපා වෙලා ඉන්න කාලෙක ... මම විස්වාස කල, මම ආදරේ කල හැමෝම මගෙන් ප්‍රයෝජන අරගෙන මාව කුනු ගොඩක් ගානට විසි කරපු කාලෙක ... සතුටක් පිරුනු දවසක් වෙනුවෙන් මම ඕනම දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්න කාලෙක ... හැමෝවම හිනස්සලා ලෝකෙට හොරෙන් කදුලු හිදෙනකන් අඩන කාලෙක ... මගේ ජීවිතේට පුංචි හරි සතුටක් ගෙනාපු gateway Bambalapitiya branch එකේ මගේ සහෝදරියන් හැමෝටම ගොඩක් පින්. මගේ රැකියා ජීවිතේ ගමනාන්තය නොව්නත්, ඒ ගමන් මගේ gateway නවතැන්පොල මට හැමදාමත් මතක තියේවි ... ඒ ඔයාල හැමෝගෙම ආදරය නිසාමයි .. :)


Tuesday, May 3, 2011

අඳුරට ඉඩ දී අඳුරේ සැඟ වී ... ඔබගෙන් වෙන් වී මම යන්නම්.. !!

ලියන්න නම් දේවල් එමටයි. ඒත් කාලය, දීපය, දේශය බලලා අන්තර්ජන්ජාලයට ගොඩවෙන්න සිද්ද වෙලා තියෙන නිසා ලියන්න වෙලාවක් හොයා ගන්න එක කලුනික හොයනවටත් වඩා අමාරුයි ඉතිං :(

කොහොමින් කොහොමින් හරි අද post එක මම ගොඩක් ආදරය කරන ගීතයක් ගැන.සංගීතය මගේ ජීවිතෙන් කොටසක්. ඒ නිසාම හිත නැවතුනු ගීත බොහොමයක් තියෙනව. මේකත් ඒ අතරින් අමරදේව මහත්මයා ගායනා කරන තවත් එක සුන්දර ගීතයක්.  කලින්ම කියන්නම්. සින්දුව posh නෑ, අමරදේව මාස්ටර් ගායනා කරන එකක් නිසා English song එකකුත් නෙමෙයි, ඒ වගේම maxaa video එකකුත් නෑ.ඒ නිසා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන සහ එහෙම දේවල් වලට විතරක් LIKE කරන අය මට බනින්නෙපා post එක කියවලා.කලින්ම කිව්වා ඔන්න.

මෙන්න මේකයි පද මාලාව ....

මල ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අදුරට ඉඩ දී අදුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යානේ රෑ යාමේ
කාන්සියෙන් ඔබ හිදිනා වේලේ
සුලගේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදිකරවා මම යන්නම් ..

අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති මත පිනි කදුලක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟ වී
ඔබගෙන් වෙන් වී මම යන්නම්..



 නැවතීමේ ලකුනක් තැබූ ප්‍රේමයක්ද? නැහැ ... නැවතීමක් නමුදු සැබෑ නැවතීමක් නැති ඒත් පැවැත්මකුත් නැති ප්‍රේමයක් ... මුලු ගීතය පුරාවටම මැවෙන්නේ එකම චිත්‍රයයි ... වැහි මන්දාරමට අදුරු උනු අහසත් එක්ක රැලි පිට රැලි නැගෙන මහ මුහුද පසුබිම් කරගත්තු පාලු අදුරු මුහුදු වෙරලක් ... (මෙහෙමයි .. මට ටිකක් බූත බූත visuals මැවෙනවා.. මනෝ භ්‍රාන්ති කියන්නේ ඒවට මගේ හිතේ ... :) ) කොහොම උනත් මුලු ගීතය පුරාවටම මට දැනෙන්නේ පාලුවක්, තනිකමක් ... ආදරයකට කවමදාවත් අවසානයක් තියෙනවද? අද ඉවරයි, දැන් ඉවරයි, හෙට ඉවරයි කිව්වට ඇත්තටම ඉවරයක් තියෙනවද? මම යනවා .. යන්නම යනවා කිව්වට කවමදාකවත් එහෙම යන්න පුලුවන්ද? ප්‍රශ්න කෝටියයි ...

ඒ කොහොම උනත් ලෝකෙට පේන්න අඬබෙර ගහගෙන ... ලොකු ලොකු ප්‍රේම කථා, බණ කථා කියාගෙන දෙන ආදරේකට වඩා මේ ගීතයෙන් කියවෙන ගොලු ආදරය මට ලෙන්ගතුයි.වෙන් වෙලා ගියත් .. තමන් ආදරය කරන කෙනා පාලුවෙන් තනිකමෙන් ඉන්න එක තත්පරයක් ආවොත් සුලඟක දැවටිලා හරි එතෙන්ට ඇවිදින් ඒ තනිකම මකන්න පුලුවන් නම් කියලා හිතෙන වාර ගනන අනන්තයි අප්‍රමානයි. නමුත් ඒ කෙනා දන්නේ නෑ එහෙව් ආදරයක දිග පලල. මොකද ලෝකෙට පේන්න ගස් වැල්  පෙරලගෙන එන කුනාටුවක් විදියට නෙමේ ඒ අහිංසක ආදරය එන්නේ.. බොහොම හෙමින්.. ඔබටත් හොරෙන්.. ඉතින් කොහොම නම් පෙනෙන්නද ... කොහොම නම් දැනෙන්නද ...  !!

ලියන්න අමාරුයි තවත් .. කොයි තරම් උත්සහ කලත් මගේ මානසික ඒකාග්‍රතාවයද මොකද්ද එක රට වටේ දුවනවා .. ඉතින් දැන් මොලේ fruit salad :( මගේ ලගම යාලුවෙක් දුන්නු උපදෙසක් " නංගි ... ඔයා ලියන්න, වෙන කාටවත් ඔයාගෙ ඇතුලේ ඉදන් ලියන්න ඉඩ දෙන්නෙපා. " ඒ නිසා අදට මෙච්චරයි ... අවසානයට කොහෙදෝ පත්තර කෑල්ලක තිබිල කියවපු කවියක් අකුරු කරන්නම්. ඒ මේ ගීතයේ සාරාන්ශය ...

මංමුලා කදුලක් මම
කොපුලත දිගේ ඔහේ වෑහෙන
ලොවට පෙනෙතැයි බියෙන්
රහසින් ඔබ පිස දමන
මංමුලා කදුලක් මම
ආගිය වගට කිසිදා සිහිවටනයක් නොතියන
නමුදු ...
තනිකම දැනුනු මොහොතක
කොපුලත හිමින් පිරිමදින .... !!

මම යනවා .. යන්නම යනවා .. ඒත් මම ඉන්නවා ...  !!
බැඳීම් හැම දෙයක්ම ලිහනවා .. ඒත් අන්තිම හුයෙන් හරි ඒ බැඳීම් දිගටම තියෙනවා ... !!


Sunday, May 1, 2011

වැස්ස, පොල් ගස සහ ගුරු ගීතය .. !!


නින්ද යන්නේ නැති තවත් එක රැයක්. අනෝරා වැස්සකුත් ඇදගෙන වැටෙනවා. වැස්ස බලන්න බැරි උනා කාලෙකින්. අද නම් බලන්නම ඕනි. ඒ නිසා කාමරේ ජනෙල් ටික ඔක්කොම ඇරියා (අම්මා ඇහැරුනොත් මාව ටින් කරලා රට පටවයි ජනෙල් ටික තෙමුවා කියලා. තාත්තා ඇහැරුනොත් රාත්‍රි කාලයේ ජනෙල් ඇරීම නිසා ගැහැනු ලමුන්ගේ ආරක්ෂාවට වෙන තර්ජන ගැන බණ දේශනාවක් අහන්න පුලුවන් :) ) කොහොමින් කොහොමින් හරි ජනෙල් ටික ඇරලා බහුබූත මූඩ් එකෙන් ඇදට උනා කියමුකෝ.ජනේලේ ලගම පොල් ගහක් හුලගට එහෙට මෙහෙට වැනෙනවා. හරි ලස්සන සද්දයක් එන්නේ පොල් අතු වලින්. එක අතකට පොල් ගහක් හුලගට වැනෙන සද්දෙත් මාරම රොමැන්ටික් ;)

ඇයි මන්දා වැස්සෙ නටන පොල් ගහ දැක්කම මට එක පාරටම ගුරු ගීතයේ අයිලයේ කන්ද උඩ තියෙන පොප්ලර් ගස් දෙක මතක් උනා (හරි හරි .. පොල් ගහයි පොප්ලර් ගහයි එක වගේ නෙමෙයි. ඒත් වහින වෙලාවට කාගෙත් චේන් පනිනවනේ. අනික මේ මහ රෑ). ඇත්තටම අද කතාව ගුරු ගීතය ගැන. ඒත් එක පාරට ගුරු ගීතය ගැන කියන්න බෑනේ ඒක මතක් උනේ ඇයි කියන නිධාන කතාව නැතුව :)

"සටන් වලින් පිරි අසීරු ජීවිතයත්, විවිධ ඉරනම් වලට කැපවුනු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත්, තෙලි තුඩින් සහ සායම් වලින් පිලිබිබු කල හැකි දැයි මම නොදනිමි. සියල්ල කැටි කර දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද... මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියා පෑමට පමනක් නොවේ...ඔබ මා සමග එක් වී නිර්මාණ කලාවේ කොටස්කරුවෙක් විය යුතුය.... " පොතේ අන්තිම පිටුවේ එන අල්තීනායි සුලෙයිමානාවා පඩිවරියගේ ඉල්ලීම... අවසන් නොකල සිත්තමක්, ඇගේ අප්‍රකාශිත ආදරය වගේම අවසානයක් නැති නිර්මානයක් .. ඕනෑම මොහොතක ඕනෑම අතකට පෙරලිය හැකි අසම්පූර්ණ කලා කෘතියක් ... අපි හැමෝගෙම ජීවිත වගේම පෙරවදනක් අවසානයක් නැති පාට ගොඩක එකතුවක්...

ලයිලා මජ්නු, රෝමියෝ ජුලියට්, මෙකී නොකී දහසක් ආදර කථා අතරේ අල්තීනායි දුයිෂෙන් හැන්ගිලා ගිහින්. ඒත් තේරුම් ගන්න බැරි අපූරු හැඩතල ගොන්නක් පුන්චි කථාවේ හැන්ගිලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් ජීවිතය පූජා කරනවට වඩා වැඩි ධෛර්යයක් වෙනුවෙන් ජීවත් වෙන්න අවශ්යයි." ආයුබෝවන් අල්තීනායි, ආයුබෝවන් රත්තරන් කෙල්ලේ" කියන දුයිෂෙන්ගේ අන්තිම සමුගැනීමේ තියෙන ගැඹුර සහ ආදරය මේ ලෝකෙ වෙන කිසිම ප්රේම කතාවක නෑ, මට හිතෙන විදියට...

" අල්-තීනා-යී ! ඔහු කෑගැසුවේ හරියට අමතක වූ වැදගත් යමක් කියන්නට සූදානම් වූ නමුදු එසේ කීමට වෙලාවක් නැතිව ගියාක් මෙනි. මගේ හදවතේ පතුල දක්වා සහ අධ්යාත්මයෙහි ගැඹුර දක්වා විනිවිද ගිය ඔහුගේ හඩ තාමත් සුරැකිව පවතී." මොන හේතුවක් නිසාද මන්දා මේ ඡේදය කියවද්දි මට මහ මූසල පරණ කෝච්චියකුයි.. පාලුවට ගිය දුම් රිය පොලකුයි ... මැද හිටගෙන ඉන්න මනුස්සයෙකුයි ... කෝච්චියෙන් එලියට ඔලුව දාගෙන ඉන්න ගෑනු ලමයෙකුයි ඉන්න කලු අලු පින්තූරයක් මැවිලා පේනවා. මමත් පැත්තක හිටගෙන එයාලා දිහාව බලාගෙන ඉන්නවා. ඒත් එයාලට මාව පේන්නේ නෑ.මට ඕනි ගෑනු ලමයට කියන්න ගුරුතුමා එයාට ආදරෙයි කියලා... ගුරුතුමාට කියන්න එයාගේ පුන්චි කෙල්ලත් පණටත් වඩා ආදරෙයි කියලා.. ඒත් දෙන්නා වගේම මමත් ගොලුයි... පාලු මූසල කම මැද ඔහේ හිටන් ඉන්න පිලිමයක් විතරයි මමත් ... "ගුරුවරයාට සහ මගේ පලමුවැනි පාසල ආයුබෝවන්. ලමා කාලයත සහ එලිපිට නොකී ආදරයට ආයුබෝවන්" අල්තිනායිගේ සමු ගැනීම.

ආදරය වෙනුවෙන් මිය යනවාට වඩා ආදරය නොලැබී වෙනුවෙන් ජීවත් වීම අසීරුයි. අල්තිනායි දුයිෂෙන් අසීරු දේ ජයගත්ත සුන්දර මිනිසුන් දෙදෙනෙක්. මම චරිත දෙකට මේ තරම් ආදරය කරන්නේ නිසයි. වැස්සට සුලගට නොබියම මූණ දුන්නු පොප්ලර් ගස් දෙක, ඇත්තටම අල්තිනායි සහ දුයිෂෙන්ගේ ආත්ම දෙක නේද කියලයි මට හැමදාමත් හිතුනේ ...

"ශීත කාලය පැමිනේවි, තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත නපුරු සුලි සුලන් හමාවි. ඒත් වසන්තය එනවා සත්තයි." වසන්තය ඇත්තටම ආවත් නාවත්, හිම කැට සුලි සුලන් අතරින් වසන්තය ඒවි කියන සුන්දර බලපොරොත්තුව ජීවිතයට පාර කියාවි... හැමදාමත් .... !!